සුද්දන් පැහැරගත් පුස්කොල පොත් විද්‍යුත් ප්‍රතිමුද්‍රණ වශයෙන් යලි ලංකාවට ගේනවා.. – ඇමති සිසිර ලන්ඩනයේදී කියයි

සුද්දන් පැහැරගත් පුස්කොල පොත් විද්‍යුත් ප්‍රතිමුද්‍රණ වශයෙන් යලි ලංකාවට ගේනවා.. – ඇමති සිසිර ලන්ඩනයේදී කියයි


සුද්දන් පැහැරගත් පුස්කොල පොත් විද්‍යුත් ප්‍රතිමුද්‍රණ වශයෙන් යලි ලංකාවට ගේනවා.. – ඇමති සිසිර ලන්ඩනයේදී කියයි

(16.05.2023 – 08:40 +0530 – lankacnews.com)

ශ්‍රී ලංකාව අධිරාජ්‍යවාදීන්ගේ යටත් විජිතයක්ව පැවති සමයේදී විදේශයන් වෙත රැගෙන ගිය පුස්කොළ පොත් ඇතුළු පෞරාණික උරුමයන් රැසක් නැවත විද්‍යුත් ප්‍රතිමුද්‍රණ වශයෙන් දිවයිනට ගෙන්වා ගැනීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතා ඇතුළු ලන්ඩනයේ, යූස්ටන්හි පිහිටි බ්‍රිතාන්‍ය පුස්තකාලයේ පාලනාධිකාරිය සමග එම පුස්තකාලයේ දී පැවැත්විණ.

දේශීය දැනුම් සම්භාරයන්ගෙන් සපිරි පුස්කොළ පොත් ඇතුළු පෞරාණික උරුමයන් රැසක් විදේශයන්‌ වෙත රැගෙන ගිය අතර එම උරුමයන් විදේශයන්හී පිහිටි පුස්තකාළ සහ කෞතුකාගාර තුළ අදටත් සුරැකිව පවතිනු ලබයි. ඒ තුළ අපගේ පාරම්පරික වෛද්‍ය ක්‍රම හා බැඳුණු පුස්කොළ පොත් ද විශාල සංඛ්‍යාවක් පවතින අතර ලන්ඩනයේ යූස්ටන්හි පිහිටි බ්‍රිතාන්‍ය පුස්තකාලයේ ද දැනට දිවයිනේ වෙනත් පුස්තකාලයකින් සොයා ගත නො හැකි දුර්ලභ පුස්කොළ පොත් විශාල සංඛ්‍යාවක් තිබේ.

එක්සත් රාජධානියේ ජාතික පුස්තකාලය වන බ්‍රිතාන්‍ය පුස්තකාලය ලොව විශාලත ම පුස්තකාලය වන අතර ලොව ප්‍රධාන ම පර්යේෂණ පුස්තකාලයක් ලෙස ද පිළිගැනේ. මෙහි තැන්පත් කොට ඇති ග්‍රන්ථ හා ලේඛන ප්‍රමාණය මිලියන 200 ක් ඉක්මවන අතර මුද්‍රිත පොත්, අත් පිටපත්, පුවත්පත් හා සඟරා, චිත්‍ර, සිතියම්, සැලසුම් හා මුද්දර ද විද්‍යුත් පුස්තක ද ඒ එකතුවට ඇතුළත් වෙයි. හියු නෙවිල් එකතුව, ඉන්දියා කාර්යාලයීය එකතුව හා බ්‍රිතාන්‍ය කෞතුකාගාර එකතුව යන ප්‍රධාන එකතු තුන (3) යටතේ සිංහල හා පාලි අත් පිටපත් තුන්දහසකට (3000) ආසන්න සංඛ්‍යාවක් මෙහි තැන්පත් කොට ඇති අතර ඒ අතුරෙන් 118 ක් වෛද්‍ය ග්‍රන්ථ වෙයි.

එයින් 35 ක් පමණ දිවයිනේ අනිකුත් පුස්තකාලවලින් වාර්තා නොවන බව පැවසේ. එමෙන්ම දිවයිනේ අන් කිසිදු පුස්තකාලයකින් හමු නොවන සිංහල හා පාලි ග්‍රන්ථ ද 200 ක් පමණ මෙහි ඇති බව හඳුනාගෙන ඇති අතර ඒවා 17 වන සහ 19 වන සියවස් අතර කාලයේ රචනා කරන ලද පුස්තකයන් වේ.

එම සාකච්ඡාවේදී දුර්ලභ පුස්තකයන්හී පිටපත් විද්‍යුත් ප්‍රතිමුද්‍රණ වශයෙන් දිවයිනට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් රාජ්‍යතාන්ත්‍රික වැඩපිළිවෙළක් සකස් කිරීම පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක්විය. එම සාකච්ඡාවේදී බ්‍රිතාන්‍ය පුස්තකාලයේ දකුණු ආසියා එකතුවේ අධ්‍යක්ෂ ආචාර්ය අරාණි ඉලන්කූබරන් විසින් ශ්‍රී ලංකා එකතුව හා ශ්‍රී ලංකාව සම්බන්ධ කෘති පිළිබඳ නිදර්ශනාත්මක ඉදිරිපත් කිරීමක් සිදු කර තිබෙන අතර බ්‍රිතාන්‍ය පුස්තකාලය ලංකාවේ අත් පිටපත් විධිමත්ව හා ක්‍රමවත්ව සංරක්ෂණය කර තිබීම මෙන්ම ඒවා පර්යේෂණ හා අධ්‍යයන කටයුතු සඳහා පහසුවෙන් ලබා ගත හැකි වන පෙළ ගැසීම සම්බන්ධයෙන් එම පුස්තකාලය වෙත රාජ්‍ය අමාත්‍යතුමා සිය ප්‍රසාදය පළ කර තිබේ.

මේ පිළිබඳව අමාත්‍ය සිසිර ජයකොඩි මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා ප්‍රකාශ කළේ ඒ සඳහා අවශ්‍ය කටයුතු කඩිනමින් සම්පාදනය කර එම දැනුම් සම්භාරයන් නැවත දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය මෙන්ම දේශයේ උන්නතිය වෙනුවෙන් දායාද කිරීමට කටයුතු කරන බවයි ෴


දෙනිපිටියේ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට

(16.05.2023 – 06:39 +0530 – hirunews.lk/sinhala)

වැලිගම පොලිස් වසමේ දෙනිපිටිය මුල්ලබොක්ක පාරට හැරෙන හන්දිය අසලදී ඊයේ (15) වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

යතුරු පැදියෙන් ගමන් කරමින් සිටි පුදලයින් දෙදෙනෙකු (2) හට මෙලෙස නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු (2) පැමිණ මෙලෙස වෙඩි තබා පලා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

වෙඩි වැදී එක් (1) පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර යතුරු පැදියේ ගමන් කළ අනෙක් (1) පුද්ගලයා තුවාල ලබා මාතර රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 52 ක් වන වැලිගම පැලෑන පදිංචි කරුවෙක් බව සඳහන්.

තුවාල ලබා ඇත්තේ ජීවිතක්ෂයට පත් පුද්ගලයාගේ පුතා බවයි වාර්තා වන්නේ.

වෙඩික්කරුවන් විසින් වෙඩිතැබීම සිදුකරන අවස්ථාවේ පුතා එම ස්ථානයෙන් පළා ගොස් ඇති අතර ඔහුව ලුහුබැඳ ගොස් වෙඩිතැබීම සිදුකර තිබෙන බව සඳහන්.

අදාළ වෙඩිතැබීම ටී 56 ගිනිඅවියක් භාවිතයෙන් සිදුකර ඇති බවයි පොලීසිය සඳහන් කරන්නේ.

ඔවුන් එහිදී වෙඩි උණ්ඩ 20 ක් පමණ භාවිත කර ඇති බවට අවට විසිරී තිබූ පතොරොම් කොපුවලින් අනාවරණය වී තිබෙනවා.

ජීවිතක්ෂයට පත් පුද්ගලයා පාතාල සාමාජිකයෙක් වන අතර ඔහුට පෙර වැරදි රැසක් ඇති බව ද පොලීසිය සඳහන් කරනවා.

මියගිය පුද්ගලයාගේ මෘත දේහය මාතර මහ රෝහලේ තැන්පත් කර ඇති අතර වෙඩිතැබීම සිදුකළ ස්ථානය පොලීසිය විසින් නිරීක්ෂණය කර තිබෙනවා ෴


ඉදිරි සති දෙක (2) තුළ ඖෂධ මිළ පහලට

(16.05.2023 – 06:59 +0530 – hirunews.lk/sinhala)

ඉදිරි සති දෙක (2) ඇතුළත ඖෂධ මිළ ගණන්වල මිල අඩු කරන බව සෞඛ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල ප්‍රකාශ කරනවා.

පවතින මිල ගණන්වල වෙනසක් සිදු කරන බවයි ඔහු ප්‍රකාශ කළේ.

ඊයේ (15) ‘හිරු ටීවී’ ඔස්සේ විකාශය වූ ‘සලකුණ’ වැඩසටහන අතරතුරු අමාත්‍යවරයා මේ පිළිබඳ සඳහන් කර තිබෙනවා ෴


පියාගේ මන්න පහරින් පුතා ජීවිතක්ෂයට

(16.05.2023 – 07:24 +0530 – hirunews.lk/sinhala)

ඉදුරුව ඇටවලවත්ත ‘එස්.ඕ.එස්. සුනාමි ගම්මානයේ’ දී පිය පුතු අතර ඇති වූ ගැටුමක් අතර තුර පියා එල්ල කළ පිහි පහරකින් පුතා ජීවිතක්ෂයට පත්වී ඇතැයි කොස්ගොඩ පොලීසිය පවසනවා.

මෙසේ මරාදමා ඇත්තේ ඉදුරුව ඇටවලවත්ත පදිංචි 21 හැවිරිදි තරුණයකු බවයි වාර්තා වන්නේ.

නිවසේදී පියා සහ පුතා අතර ඇතිවූ කතා බහක් දුර දිගයාමෙන් පසු පියා නිවසේ මුලුතැන් ගෙයි තිබූ මන්න පිහිය ගෙන පුතාගේ ගෙලට කොටා ඇති බවයි පොලීසිය පවසන්නේ.

ගෙලට පිහි පහර වැදී අසාධ්‍යව සිටි පුතා බළපිටිය රෝහලට රැගෙන යමින් සිටියදී මියගිය බවයි වාර්තා වන්නේ.

හැටපස් (65) හැවිරිදි සැකකාර පියා සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බවයි පොලීසිය ප්‍රකාශ කරන්නේ.

+


කතරගම ප්‍රදේශයේ සුළු භූ චලනයක්

(16.05.2023 – 07:57 +0530 – hirunews.lk/sinhala)

කතරගම ප්‍රදේශය ආශ්‍රිතව සුළු භූ චලනයක් ඇති වී තිබෙනවා.

එය රිච්ටර් පරිමාණයේ 2.1 ක සුළු භූ චලනයක් බවයි වාර්තා වන්නේ.

භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය සඳහන් කළේ මෙය සුළු භූ චලන තත්ත්වයක් බවයි.

+


යූරියා පොහොර මෙට්‍රික් ටොන් 25,000 ක් ආනයනයට කැබිනට් අනුමැතිය

(16.05.2023 – 08:30 +0530 – hirunews.lk/sinhala)

තවත් යූරියා පොහොර ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

යූරියා මෙට්‍රික් ටොන් 25,000 ක් මෙලෙස ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී ඇති බවයි කැබිනට් ප්‍රකාශක දක්වා සිටින්නේ.

ඒ අනුව ඉදිරියේ දී මෙමෙ යූරියා ලංකාවට රැගෙන ඒමට නියමිතයි ෴


ඉන්දියාවෙන් ගෙන් වූ හදිසි හෘදයාබාධ පරීක්ෂණ කට්ටලත් භාවිතයෙන් ඉවතට

(16.05.2023 – 09:28 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාවෙන් ගෙන්වන ලද හදිසි හෘදයාබාධ හඳුනා ගැනීමේ පරීක්ෂණ කට්ටල තත්ත්වයෙන් බාලවීම නිසා භාවිතයෙන් ඉවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇති බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය පවසනවා.

එහි සභාපති වෛද්‍ය චමල් සංජීව ඉන්දියාවෙන් ගෙන්වන ලද ප්‍රමිතියෙන් තොර නිර්වින්දන ඖෂධ කුප්පි ලක්ෂයක් (1,00,000) භාවිතයෙන් ඉවත් කළ බවද ඊයේ (15) අනාවරණය කළා.

ඔහු කියා සිටියේ පසුගිය කාලයේ අවස්ථා කිහිපයකදී ඉන්දියාවෙන් ගෙන්වන ලද ඇතැම් ඖෂධ වල ප්‍රමිතිය සම්බන්ධයෙන් ගැටලු පැවති බවයි ෴


දෙමටගොඩ දුම්රිය අංගනයට ඇතුළු වූ සොරුන් වෙඩි තබා මෙල්ල කරයි

(16.05.2023 – 09:31 +0530 – hirunews.lk/sinhala)

දුම්රිය දෙපාර්තමේන්තුවට සතු දෙමටගොඩ ධාවනාගාරයට ඇතුළු වූ සොරුන් තිදෙනෙකු (3) අහසට වෙඩි තබා මෙල්ල කර ඉන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගත් බව දුම්රිය ආරක්ෂක අංශය කියා සිටියා.

කෙසේ වෙතත් එක් (1) සැකකරුවෙකු එම අවස්ථාවේ පළාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අක්කර 54 ක් වූ දෙමටගොඩ දුම්රිය ධාවනාගාරයේ විවිධ උපාංග කාලයක් තිස්සේ කිසියම් පිරිසක් සොරා ගන්නා බවට පැමිණිලි ලැබී තිබුණා.

ඊයේ (15) දහවල් මෙලෙස ඇතුළු වූ සොරුන් තුන්දෙනෙකු (3) ගෙන් එක් අයෙකු දුම්රිය ආරක්ෂක නිලධාරියෙකුගේ ගිනි අවිය උදුරා ගැනීමට උත්සහ කර තිබෙනවා.

එම අවස්ථාවේ ආරක්ෂක අංශයේ සිටි සෙසු පිරිස අහසට වෙඩි තබා සැකකරුවන් දෙදෙනෙකු (2) මෙල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම පිරිස ඩීසල්, දුම්රිය අමතර කොටස් සහ තඹ කම්බි ද සොයාගෙන තිබූ බව දුම්රිය ආරක්ෂක අංශය ප්‍රකාශ කළා.

පැය දෙකක (2) පමණ කාලයක් මෙම සොරුන් තිදෙනා (3) මෙල්ල කිරීමට ගත කර ඇති අතර පළාගිය සැකකරු සොයා විමර්ශන ක්‍රියාත්මකයි.

මේ අතර, කවුරු අකමැතිවුවත් දුම්රිය දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධණ ප්‍රකාශ කළා ෴


සියයට 3 කින් විදුලිබිල අඩු කිරීමට යෝජනා

(16.05.2023 – 09:42 +0530 – hirunews.lk/sinhala)

විදුලිබල මණ්ඩලය ජුලි මස 01 වනදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සකස් කළ විදුලි ගාස්තු යෝජනාව ඊයේ (15) පස්වරුවේ මහජන උපයෝගිතා කොමිසම වෙත භාරදී තිබෙනවා.

ඒ අනුව සියයට 3 ක ප්‍රතිශතයකින් විදුලි ගාස්තු අඩු කිරීමට යෝජනා කර ඇති බවයි විදුලිබල මණ්ඩලයේ ආරංචි මාර්ග සඳහන් කළේ.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර කියා සිටියේ විදුලි ජනන දත්ත සහ විකුණුම් දත්ත, ඉන්ධන, ගල් අඟුරු සහ අනෙකුත් අමුද්‍රව්‍ය මිල ගණන් මෙන්ම මෙම වසරේ විදුලි ජනන සැළසුම හා අවශ්‍යතාව සැළකිල්ලට ගනිමින් එම යෝජනාව සකස් කර ඇති බවයි.

කෙසේ වෙතත්, විදුලි නිෂ්පාදනය සඳහා දැරීමට සිදුවන වියදම් මේ වනවිට පහත වැටී තිබෙනවා.

ඩීසල්, පෙට්‍රල්, ගල් අඟුරු මිල ද පහත වැටී ඇති අතර, විදුලි ඉල්ලුම ද සියයට 18 කින් පමණ අඩු වී ඇති බවයි මහජන උපයෝගිතා කොමිසම සඳහන් කළේ.

ඒ අනුව, පවතින තත්ත්වය හමුවේ සියයට 20 කින් පමණ විදුලි ගාස්තු අඩු කිරීමට හැකි බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක පසුගියදා පෙන්වා දුන්නා ෴


‘දන්නෝ බුදුන්ගේ’ ගීය ජාතික උරුමයක් කිරීමට කැබිනට් අනුමැතිය

(16.05.2023 – 08:45 +0530 – hirunews.lk/sinhala)

‘දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා’ ගීතය ජාතික උරුමයක් බවට පත්කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

1903 වර්ෂයේ දී ‘ජෝන් ද සිල්වා ශූරින්’ විසින් රචනා කර ඇති ‘විශ්වනාත් ලව්ජි මහතා’ විසින් තනු නිර්මාණය කර තිබෙන සිරිසඟබෝ නාට්‍යයේ ඇතුළත් මෙම ගීතය ජාතික උරුමයක් ලෙස නම් කිරීම යෝග්‍ය බවට හඳුනාගෙන මෙම තීරණය ගෙන තිබෙනවා.

මෙරට ජාතික ගීය භාවිතයට ගැනෙන තුරු උත්සව හා වෙනත් අවස්ථාවලදී එම ගීතය ජාතික ගීතය හා සමානව භාවිතයට ගත් බවට සාක්ෂි ඇති බව ද අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසන්නේ.

ඒ සියලු හේතුන් සැලකිල්ලට ගනිමින් දන්නෝ බුදුන්ගේ ගීතය ජාතික උරුමයක් ලෙස නම් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බවයි වාර්තා වන්නේ.

+

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *