ත්‍රිකුණාමලයේ ආගමික උත්සවයක් අතරතුර නොසන්සුන්තාවයක්

ත්‍රිකුණාමලයේ ආගමික උත්සවයක් අතරතුර නොසන්සුන්තාවයක්


ත්‍රිකුණාමලයේ ආගමික උත්සවයක් අතරතුර නොසන්සුන්තාවයක්

(14.05.2023 – 21:53 +0530 – hirunews.lk/sinhala)

තායිලන්තයේ සිට භික්ෂූන් වහන්සේලා පනස් නමක් වැඩම කොට ත්‍රිකුණාමලයේ ආගමික උත්සවයක් පැවත්වීමට ගිය අවස්ථාවේදී ත්‍රිකුණාමලය විශ්ව විද්‍යාලයේ දෙමළ සිසුන් පිරිසක් එම ස්ථානයට පැමිණ විරෝධය දැක්වීමත් සමගම අද (14) නගරයේ දැඩි නොසන්සුන්තාවයක් හට ගත්තා.

මෙම විරෝධය එල්ල වී ඇත්තේ තායිලන්තයේ සිට උපසම්පදාව ශ්‍රී ලංකාවට රැගෙන විත් වසර 270 ක් සැපිරීම සනිටුහන් කර ඒ සම්බන්ධයෙන් තායිලන්තයේ භික්ෂූන් වහන්සේගේ සහභාගිත්වයෙන් සිදුකළ ආගමික සැමරුම් උළෙලක් සඳහායි.

මෙම ආගමික උළෙල එදා උපසම්පදාව මේ රටට වැඩම කරවීම නිමිත්තෙන් රෝපණය කරණ ලද බෝධීන් වහන්සේලා හතර ඉදිරිපිටදි පැවැත්වීමට සැලසුම් කොට තිබූ අතර ඊට එල්ල වූ විරෝධයත් සමගම ජනාධිපති ලේකම් කාර්යාලයේ දැනුම් දීමක් මත එම ආගමික උත්සවය යොදා ගත් ආකාරයට පැවැත්වීමට නොහැකි වී ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ.

මෙම අවස්තාවේ දී මීට උරණ වූ ත්‍රිකුණාමලයේ ජනතාව බෞද්ධ කොඩි රැගෙන විශ්ව විද්‍යාල සිසුන් විරෝධතාවය දියත් කරමින් සිටි ස්ථානයට පෙරහැරකින් ගමන් කර ඇති අතර එම අවස්ථාවේදී සිසුන් අදාල ස්ථානයෙන් පලා ගොස් තිබෙනවා.

කෙසේ වෙතත් ත්‍රිකුණාමලයේ ආරක්ෂක අංශ වල සහය ඇතිව කළින් යොදා ගත් ආගමික උත්සවයේ වැඩ සටහන වෙනස් කොට වෙනත් ආකාරයකින් පැවැත්වීමට සංවිධායක මණ්ඩලය පියවර ගත් අතර මේ දැඩි නොසන්සුන්තාවය හේතුවෙන් නගරයේ ආරක්ෂාව යුද හමුදාව හා පොලීසිය විසින් දැඩි කොට තිබෙනවා.

++++++++++

ත්‍රිකුණාමලය උණුසුම් කළ විරෝධය

(14.05.2023 – 20:13 +0530 – sinhala.adaderana.lk)

මෙරට සියම් මහානිකාය ස්ථාපිත කර වසර 270 ක් සපිරීම සිහිකරමින් සංවිධානය කළ ආගමික වැඩසටහනකට විරෝධය කළ කණ්ඩායමක් ත්‍රිකුණාමලය ‍බෝගස් හතර පුරාවිද්‍යා ස්ථානයේ ඊයේ (13) සිට විරෝධතාවක නිරතවුණි.

කෙසේවෙතත් ඊට ප්‍රදේශයේ භික්ෂූන් වහන්සේගේ සහ සිවිල් සංවිධාන නියෝජිතයින්ගේ විරෝධය පළ වූ අතර ගැටුමක් ඇතිවීම වැළැක්වීම සඳහා යුදහමුදාව යෙදවීමටද පියවර ගැනුණි.

සියම් මහා නිකාය මෙරට ස්ථාපනයකර වසර 270 ක් සපිරීම වෙනුවෙන් තායිලන්තයේ සිට මුහුදු මාර්ගයෙන් භික්ෂූන් වහන්සේ ත්‍රිකුණාමලයට වැඩම කර ආගමික වැඩසටහන් මාලාවක් පැවැත්වීමට සැලසුම් කර තිබුණි.

ත්‍රිකුණාමල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එම ආගමික වැඩසටහන සංවිධාන කර තිබුණේ මීට වසර 270 කට පෙර සියම් මහා නිකාය ස්ථාපනය කිරීමට තායිලන්තයේ සිට භික්ෂූන් වැඩම කළ අයුරු යළි සිහිගන්වමිනි.

ඒ අනුව, තායිලන්තයේ සිට භික්ෂූන් වහන්සේ 50 නමක් මුහුදු මාර්ගයෙන් ත්‍රිකුණාමලයට අද (14) වැඩම කර එහි සිට පාගමනින් ‘බෝගස් හතර’ දක්වා පැමිණ එහි ආගමික වතාවත් සිදුකිරීමට සැලසුම් කර තිබුණි.

උන්වහන්සේ ත්‍රිකුණාමලය ජයසුමනාරාම විහාරස්ථානය දක්වා පාගමනින් වැඩමකිරීමට සැලසුම් කර තිබුණේ ඉන් අනතුරුවය.

කෙසේවෙතත් ත්‍රිකුණාමලය ‘බෝගස් හතර’ නම් ස්ථානයට ඊයේ (13) පැමිණි යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් ඊට විරෝධය කළහ.

‘අද දෙරණ’ වාර්තාකරු පැවසුවේ, විරෝධතාවයේ නියැලුණු පිරිස එහි අට්ටාලයක්ද ඉදිකරමින් රාත්‍රියේ එහි රැඳීසිටි බවය.

මෙවැනි වාතාවරණයක භික්ෂූන් වහන්සේ වැඩම කර පැවැත්වීමට නියමිත වැඩසටහනේ යම් වෙනස්කමක් සිදුකර ඇතැයි දෙමළ ජාතික සන්ධානයේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් සභාපති ශන්මුගම් කුහදාසම් සඳහන් කළේය.

මේ බව සැලවීමත් ඊට විරෝධය දක්වමින් භික්ෂූන් වහන්සේ සහ සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් ඇතුළු පිරිසක් ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ඔරලෝසු කණුව අසලට අද (14) පෙරවරුවේ රැස්වුණි.

පිරිස පාගමනින් ‘බෝගස් හතර’ දෙසට යාමට උත්සාහ කිරීමේදී ආරක්ෂක අංශ ඔවුන් වැළැක්වීමට උත්සාහ කළත් පිරිස එය නොතකමින් ඉදිරියට ගමන් කළ බව අප වාර්තාකරු පැවසීය.

‘බෝගස් හතර’ අසලට පිරිස ළඟාවන විට එහි විරෝධය පළකරමින් සිටි යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිස ඉවත්ව ගොස් සිටි බව ‘අද දෙරණ’ වාර්තාකරු සඳහන් කළේය.

අනතුරුව එහි වැඩි භික්ෂූන් වහන්සේ සහ සෙසු පිරිස එහි ආගමික වතාවත්වල නිරතවුණි.

අනතුරුව පිරිස විසිර ගියේය.

මේ අතර තායිලන්තයේ සිට වැඩම කළ භික්ෂූන් වහන්සේ ත්‍රිකුණාමල වරායේ සිට බස් රථයකින් ත්‍රිකුණාමලය ජයසුමනාරාම විහාරස්ථානයට වැඩම කරවීමට පියවර ගෙන තිබුණි.

අනතුරුව උන්වහන්සේ ත්‍රිකුණාමලය ජයසුමනාරාම විහාරස්ථානයේදී ආගමික වතාවත්වල නිරතවුණි.

++++++++++

පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඇතුළු පිරිසක් පැන උපසම්පදා උත්සවය කඩාකප්පල් කරති…

(15.05.2023 – 09:20 +0530 – lankacnews.com)

ත්‍රිකුණාමලය ගාන්ධි වෙරළ තීරය අසල දී ඊයේ (14) දිනයේ පැවැත්වීමට සංවිධානය කර තිබූ සියම් උපසම්පදාවේ දෙසිය හැත්තෑ (270) වන සැමරුම් උත්සවය දෙමළ දේශපාලන පක්ෂවල හා යාපනය විශ්වවිද්‍යාල සිසුන්ගේ විරෝධතා නිසා නවතා දැමීමට සිදුව තිබේ.

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් කජෙන්ද්‍රන්, විශ්ව විද්‍යාල සිසුන් ඇතුළු පිරිසක් විසින් මෙම උත්සවය කඩාකප්පල් කර ඇත.

මෙම උත්සවය ආරම්භ කිරීමට පෙර එම ස්ථානයේ මෙම විරෝධතා පැවැත්වීම මත පොලිසිය විසින් ආරක්ෂාකාරීව තායිලන්ත භික්ෂූන් පිරිස ස්ථානයෙන් ඉවත් කරගෙන තිබේ.

විරෝධතාකරුවන් ද එම ස්ථානයෙන් ඉවත් කරන ලද ලදුව පසුව ඔවුන් ත්‍රිකුණාමලය නගරයේ විරෝධතා පැවැත්වීමට කටයුතු කළහ.

විරෝධතාවය මත ගාන්ධි වෙරළතීරයේ බෝධීන් වහන්සේලා අසල පිරිත් සජ්ඣායනය හා පාද චාරිකාව පැවැත්වීමෙන් පසු භික්ෂූන් වහන්සේලා ජයසුමනාරාමය වෙත බස්රථවලින් රැගෙන ගොස් තිබේ.

මේ අතර කොළඹ තායිලන්ත තානාපති වරයා වෙත ලිපියක් යවමින් දෙමළ සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා ද පවසා ඇත්තේ තායිලන්ත භික්ෂුන් වහන්සේලා විසින් ත‍්‍රිකුණාමලයේ බුදු පිලිම තැන්පත් කිරීමෙන් වළකින ලෙසයි ෴

+


හැරිසන්ට, සජිත් එපා වෙයි

(14.05.2023 – 18:43 +0530 – hirunews.lk/sinhala)

තමන් සමගි ජනබලවේගයෙන් ඉවත් වී යළිත් එක්සත් ජාතික පක්ෂය සමග එක්වන බව සමගි ජනබලවේගයේ උප සභාපති, හිටපු අමාත්‍ය පී. හැරිසන් පවසනවා.

අනුරාධපුරයේ අද (14) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ක්‍රියාකලාපය විවේචනය කර, ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ගමන් මග පැහැදිලි බව ප්‍රකාශ කළා.

+


සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් කොට්ඨාශ 59 ක් ඩෙංගු අධි අවදානම් කලාප කරයි

(14.05.2023 – 18:52 +0530 – hirunews.lk/sinhala)

වර්ෂාවත් සමඟ දිවයින පුරා ඩෙංගු රෝග ව්‍යාප්තිය ඉහළ ගොස් තිබෙනවා.

එවන් වපසුබිමක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 59 ක් ඩෙංගු අධි අවධානම් කලාප ලෙස නම් කිරීමටයි බලධාරින් පියවර ගෙන ඇත්තේ.

මෙතෙක් අධි අවධානම් කලාප ලෙස නම් කර තිබුණේ, වෛද්‍ය නිලධාරි කොට්ඨාස 19 ක පමණක් වන අතර ඩෙංගු උණ සීග්‍රයෙන් පැතිර යාම හේතුවෙන් අධි අවධානම් කලාප සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කළේ.

එමෙන්ම, අද (14) වනවිට මෙරටින් ඩෙංගු රෝගීන් 33,400 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවයි ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමය සඳහන් කළේ.

එවන් පසුබිමක බස්නාහිර පළාතේ පිහිටි උස් ගොඩනැගිලි ඩ්‍රෝන යානා මගින් පරීක්ෂා කර ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන නිරීක්ෂණය වන්නේ නම් රසායනික දියර ඉසීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බවයි කොළඹ දිස්ත්‍රික් ලේකම් කේ.ජී. විජේසිරි කියා සිටියේ.

මේ අතර ඩෙංගු මර්ධනය සඳහා මධ්‍යගත දත්ත පද්ධතියක් මේ වන තෙක් නිවැරදිව ක්‍රියාත්මක නොවන බවට සෞඛ්‍ය වෘත්තීයවේදින්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් චෝදනා කරනවා.

+


රජයේ ඉඩමක මැණික් ගැරූ අයෙක් STF අත්අඩංගුවට

(14.05.2023 – 19:00 +0530 – hirunews.lk/sinhala)

බගවන්තලාව පින්සිල් බසාර් ප්‍රදේශයේ බලපත්‍ර නොමැතිව රජයේ ඉඩමක මැණික් ගරමින් සිටි පුද්ගලයෙකු ඊයේ (13) රාත්‍රියේ පොලිස් විශේෂ කාර්‍ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්‍ය බලකායේ මස්කෙළිය කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති බවයි පොලිසිය පවසන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 32 ක් වන බගවන්තලාව ප්‍රදේශයේම පදිංචිකරුවෙක් බවත්, බගවන්තලාව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරන බවත් සඳහන් කරනවා ෴


අහුංගල්ලේ සංචාරක හෝටලයක දෙවෙනි (2) මහලෙන් කුඩා දරුවෙක් බිමට

(14.05.2023 – 19:07 +0530 – hirunews.lk/sinhala)

අහුංගල්ලේ සංචාරක හෝටලයක දී අද (14) අවුරුදු 04 ක කුඩා දරුවෙකු දෙවෙනි (2) මහළෙන් බිමට වැටී තිබෙනවා..

මෙලෙස අනතුරට පත්ව ඇත්තේ දඹුල්ල ප්‍රදේශයේ දෙකේ කණුව ප්‍රදේශයේ පදිංචි දරුවෙකු බවයි වාර්තා වන්නේ.

දරුවා සිය දෙමාපියන් සමඟ මෙම හෝටලයට පැමිණ ඇති අතර එහි දී දරුවා අද (14) උදෑසන 02:45 ට පමණ ‘නින්දෙන් ඇවිද ගොස්’ මෙම අනතුරට ලක් වී ඇති බවයි වාර්තා වන්නේ.

දරුවා මේ වනවිට කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

අහුංගල්ල පොලීසිය මේ පිළිබඳ වැඩිදුරටත් පර්යේක්ෂණ ක්‍රියාත්මකයි ෴

+++++++

(14.05.2023 – 18:49 +0530 – sinhala.adaderana.lk)

අද (14) අලුයම අහුංගල්ලේ සංචාරක හෝටලයක නැවතී සිටි කුඩා දරුවෙක් හෝටලයේ දෙවැනි (2) මහලෙන් ඇදවැටී තිබේ.

අප වාර්තාකරු පැවසුවේ, කුරුණෑගල ප්‍රදේශයේ සිට පැමිණි පවුලක සිව් (4) හැවිරිදි දරුවෙකු එලෙස ඇදවැටී ඇති බවය.

අනතුරින් තුවාල ලැබු දරුවා බලපිටිය මුලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ගාල්ල කරාපිටිය රෝහල වෙත මාරු කර යවා තිබේ.

කුරුණෑගල ප්‍රදේශයේ පවුල් 4 ක පමණ සාමාජිකයින් පිරිසක් නිවාඩුව ගත කිරීම සඳහා අදාළ හෝටලයට ගොස් සිටිය දී මෙම අනතුර සිදුව තිබේ.

අනතුර සිදුව ඇත්තේ පියා සහ සහෝදරයා සමග හෝටලයේ දෙවැනි (2) තට්ටුවේ කාමරයක නිදා සිටි දරුවා කාමරයෙන් ඉවතට පැමිණ හෝලයේ කොරිඩෝව දිගේ ඇවිද යෑමේ දීය ෴


රාජ්‍ය සේවකයින් හෙට (15) සිට ඇඟිල්ල තැබීම අනිවාර්යයි

(14.05.2023 – 20:03 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් පාලන සහ සභා අමාත්‍යාංශය විසින් නිකුත් කළ චක්‍රලේඛනයට අනුව හෙට (15) සිට ඇඟිල්ල තැබීම අනිවාර්‍යය කර තිබෙනවා.

කොවිඩ් සමයේ මෙම ක්‍රියාවලිය සෞඛ්‍යාරක්ෂිත මාර්ගෝපදේශවලට අනුව තාවකාලිකව නතර ලැබුවා.

එදා සිට මෙය ක්‍රියාත්මක නොවූ අතර හෙට (15) සිට සියලුම රාජ්‍ය සේවකයින් එය නොවරදවාම සිදු කළ යුතු බවයි චක්‍රලේඛනයේ සඳහන් වන්නේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *