‘ලෝක අම්මාවරුන්ගේ දිනය’ අදයි (14)

‘ලෝක අම්මාවරුන්ගේ දිනය’ අදයි (14)


‘ලෝක අම්මාවරුන්ගේ දිනය’ අදයි (14)

(14.05.2023 – 08:51 +0530 – hirunews.lk/sinhala)

‘ලෝක අම්මාවරුන්ගේ දිනය’ අදට (14) යෙදී තිබෙනවා.

අම්මා සමරන්නට දින අවැසි නොමැති බව අප සැමදා සිහිපත් කළත්, අද (14) සැමරෙන ලෝක මව්වරුන්ගේ දිනයේ ඉතිහාසය 1912 වසර දක්වා ඈතට දිව යනවා.

සෑම වසරකම මැයි මාසයේ දෙවන (2) ඉරිදා දිනයයි අම්මාවරුන්ගේ දිනය ලෙස සැමරෙන්නේ.

ඇතැම් රටවලට අද (14) මව්වරුන්ගේ ඉරිදාවයි.

උපන් දා සිට අම්මා ජීවිතය කරගත් අපටත්, ඒ, සෙනෙහසේ මහිමය තව තවත් සිහිකැඳවා ගන්නට අද (14) දිනය වැදගත් වන්නේ අදවත් අම්මාගේ ගුණ සිහි නොවන අල්පයක් වූ දරුවන් සිටින නිසාවෙන්.

දරු සෙනෙහස මහමෙරටත් වඩා දරාගෙන ඒ වෙනුවෙන්ම ජීවිතය කැප කළ අම්මාගේ ගුණ සුවද මෙදියත දසත විසිරෙන්නේ කිසිදිනෙක කිසිවකට සම කළ නොහැකි ලෙසින්.

ගෙදර බුදුන් අම්මා ලොව වදනින් අරුත් ගැන්විය නොහැකි වටිනාම වස්තුවයි. දහසක් දුක් විඳින දයාබර අම්මාවරුන්ට ඒ දුක් සියල්ල නිමා වේවා යන්න අම්මාවරුන් වෙනුවෙන් අප සැමගේ ප්‍රාර්ථනයයි ෴

+++++++++

දරු තිදෙනෙකු (3) සමග අසරණ වූ ආදරණීය මවක්

(14.05.2023 – 15:01 +0530 – sinhala.adaderana.lk)

අම්මා ගැන සමරන්නට දිනයක් අවශ්‍ය නැතත් සෑම වසරකම මැයි මස දෙවන (2) ඉරිදා දිනය අම්මාවරුන්ගේ දිනය ලෙස සැමරනු ලබයි.

දරුවන් වෙනුවෙන් දහසකුත් දුක්විඳින අම්මාවරු අතරේ තවත් එක් අම්මා කෙනෙකුගේ කතාවයි මේ.

J.M. චාන්දනී කුමාරී, පිරිමි දරුවන් තිදෙනෙකු(3) ගේ මවක්.

ගලෙන්බිඳුණුවැව හුරුළුනිකවැව රත්මල්වැටිය ප්‍රදේශයේ චාන්දනීත් ඇයගේ දරුවන් තිදෙනාත් (3) නිවසේ කුලී පදනම මත ජීවත් වේ.

ඉතා හොඳ ජීවිතයක් ගත කළ චාන්දනීගේ ජීවිතය විවාහයෙන් පසු දැඩි අසීරු තත්ත්වයට පත්වන්නේ ඇයගේ සැමියා මත්කුඩු භාවිතයට හුරුවීම නිසයි.

සැමියාගේ අඩත්තේට්ටම් මැද ජීවත්වූ චාන්දනී මීට වසර 2 කට පෙර තුන්වෙනි (3) දරුවා කුස තුළ තබා ගෙන අනෙක් දරු දෙදෙනා (2) ද සමඟ මොරටුව ප්‍රදේශයේ සිට අනුරාධපුරයට පැමිණෙන්නේ ඇයගේ සැමියා ඇයවත් දරුවන්වත් අතහැර යාම නිසයි.

“මට ගහනවා. අපිට කන්න බොන්න දෙන්නේ නෑ. එයාලගේ අම්මලාලේ ගෙදර තමා හිටියේ. අම්මා අපිව එළියට දැම්මා. මහ පාරේ තමා හිටියේ. මගේ යාළුවෙකුගේ මාර්ගයෙන් තමා අනුරාධපුර ප්‍රදේශයට ආවේ. ගෙයක් හොයලා දුන්නේ ග්‍රාමසේවක මහත්තයා. මේ ගෙදරත් තව මාසයකින් ඉල්ලනවා.”

ඇය තම දරු තිදෙනාගේ (3) කුස පුරවන්නේත්, වැඩිමහල් දරුවන් දෙදෙනා (2) පාසල් යවන්නේත් කුලී රැකියාවන්වල නිරත වී ලබා ගන්නා සොච්චම් ආදායමෙනි.

“එයාලට පොත්පත් නෑ. මේ කැඩුණු සපත්තු දෙක තමා දාන්නේ. අනිත් දරුවාගේ සපත්තු දෙකත් ඒ වගේමයි. උදේ මැල්ලුමක් හදලා තමා දරුවන්ට කන්න දුන්නේ.”

නමුත් මේ වන විට ඇයගේ ජීවිතය තව තවත් අසීරු වී තිබේ.

ඒ අවුරුද්දක් (1) වයසැති ඇයගේ සිඟිති පුතු උපන්දා සිට අසනීප තත්ත්වයේ පසුවීම හේතුවෙනි.

“එයාගේ ‘හාට්’ එකේ දකුණු පැත්තේ සිදුරු දෙකක් (2) තියෙනවා. ඉස්පිරිතාලේට අරන් යන්න. ඊයේත් (13) බබාට ලේ දෙන්න යන්න බැරි වුණා. බස් එකේ යන්න සල්ලි නැති නිසා. ඒ ගිහාම ලේ පරීක්ෂණයක් පිටින් කරන්න තියෙනවා. රු. 2800 ක් යනවා. කරගන්න බැරි නිසා මම ගියේ නෑ.”

දරු සෙනහස මහ මෙරටත් වඩා දරාගෙන ඒ වෙනුවෙන්ම ජීවිතය කැප කරන අම්මාවරු අතරේ චාන්දනී තවත් එක් මවක්.

දහසක් දුක්විඳින දයාබර අම්මාවරුන්ගේ ඒ දුක් සියල්ල නිමා වේවා යන්න අම්මාවරුන් වෙනුවෙන් අපගේ එකම ප්‍රාර්ථනයයි.

ඒ වගේම චාන්දනීගේ දුක් ගිනි නිවන්න ඔබටත් හැකි පමණින් දායකවිය හැකි නම් එයද මහඟු උපකාරයක් වනු නොඅනුමානය.

ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු 077 985 3100 යන දුරකථන අංකයට කතා කිරීමෙන් ලබාගත හැකිය.

+


පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයින් දෙදෙනෙක් (2) අත්අඩංගුවට

(14.05.2023 – 12:44 +0530 – hirunews.lk/sinhala)

පුපුරණ ද්‍රව්‍ය තොගයක් යතුරුපැදියකින් ප්‍රවාහනය කළ පුද්ගලයින් දෙදෙනෙකු (2) දෙහිඅත්තකන්ඩිය පොලිස් මාර්ගබාධකයේදී ඊයේ (13) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කෑගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක් (2).

ඩෙටනේටර් දාහතරක් (14), ඇමෝනියා කිලෝ එකක් (1), කළු වෙඩිබෙහෙත් කුඩු ග්රෑම් 50 ක්, අඩි තිස් දෙකක් (32) දිග සේවා නූලක්, ඔහු සතුව තිබී පොලිසිය සොයා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

නිධානයක් ලබාගැනීමට කළුගල් පර්වතයක් පිපිරිමට මෙම පුපුරන ද්‍රව්‍ය මෙලෙස රැගෙනවිත් ඇති බවට සැකයක් පවතින බවයි වැඩිදුරටත් පොලීසිය පවසන්නේ ෴


අනතුරට ලක් වූ යාත්‍රාවක් වෙරළාරක්ෂක නිලධාරීන් විසින් බේරා ගැනේ

(14.05.2023 – 12:54 +0530 – hirunews.lk/sinhala)

බේරුවල ප්‍රදේශයට ඔබ්බෙන් වූ බටහිර මුහුදේ දී අනතුරට පත් ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් 06 ක් නාවික හමුදාව බේරාගෙන තිබෙනවා.

ඒ ශ්‍රී ලංකා නාවික හමුදාව අද (14) දින උදෑසන සිදුකල විශේෂ සෙවීමේ හා මුදවා ගැනීමේ මෙහෙයුමක් මඟින්.

බේරුවල ප්‍රදීපාගාරයේ සිට නාවික සැතපුම් 08 ක් පමණ (කිලෝ මීටර් 15 ක් පමණ) දුරින්, ශ්‍රී ලංකාවට බටහිර දෙසින් වූ මුහුදේ දී අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් යාත්‍රාව තුළට ජලය කාන්දු වී මුහුදේ ගිලෙමින් තිබෙන අතරතුරයි මෙම ගලවා ගැනීම සිදුව ඇත්තේ.

බහුදින ධීවර යාත්‍රාවේ ධීවරයින් හය දෙනෙකු (06) සිට ඇති අතර ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් ‘සීජී 208’ යාත්‍රාව මඟින් ඔවුන්ව නිරුපද්‍රිතව බේරාගැනීමට කටයුතු කර තිබෙනවා.

ඒ අනුව, බහුදින ධීවර යාත්‍රාවේ (IMUL-A-438-CHW) හිමිකරු විසින් නාවික හමුදා මූලස්ථානයේ පිහිටි කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත සිදුකල දැනුම්දීමකට අනුව‍යි නාවික හමුදාව වහා ක්‍රියාත්මක වී ඇත්තේ ෴


උතුරේ දැරියක් පැහැර ගැනීමට උත්සාහ කළ පුද්ගලයෙකු අත්ඩංගුවට

(14.05.2023 – 13:30 +0530 – hirunews.lk/sinhala)

මුලතිව් – පුදුකුඩිඉරිප්පු – කයිවෙලි ප්‍රදේශයේ දී දස (10) හැවිරිදි පාසල් දැරියක් පැහැර ගැනීමට උත්සාහ කළ කණ්ඩායමක එක් (1) පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ දැරිය සිය මව සමග උපකාරක පන්තියකට පැමිණ ඇති අවස්ථාවේ දී පිරිසක් විසින් පැමිණ ඇයගේ මුහුණට යම් දියරයක් ඉස ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

එම අවස්ථාවේ දී දැරිය සිහිසුන්ව ඇද වැටී ඇති අතර එය දුටු ප්‍රදේශවාසීන් විසින් අදාළ පිරිසෙන් එක් (1) සැකකරුවෙකු අල්ලා පොලීසියට භාර දී තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු 23 හැවිරිදි මුලතිව් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

දැරිය පැහැර ගැනීමට උත්සාහ කළ අනෙක් පිරිස සොයා මේ වනවිට විමර්ශන ආරම්භ කර තිබෙනවා ෴


කිරිපිටි මිල අඩු වීමේ වාසිය පළමුව බස්නාහිරට

(14.05.2023 – 13:44 +0530 – hirunews.lk/sinhala)

මිල අඩු වූ කිරිපිටි පළමුව බෙදා හරින්නේ බස්නාහිර පළාතට බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

ඉන් අනතුරුව සෙසු පළාත්වලට බෙදා හැරීම ආරම්භ කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

රුපියල් 200 කින් අඩු කළ මිල ගණන් ඇතුළත් ලේබල් කිරිපිටි පැකට්ටුවෙහි අද (14) සටහන් කරන බව එම සංගමයේ සාමාජික ලක්ෂ්මන් වීරසූරිය ප්‍රකාශ කළා.

වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පසුගියදා මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ හෙට (15) සිට ආනයනික කිරිපිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 200 කින් අඩු කරන බවයි.

කෙසේ වෙතත්, ඇණවුම් කළ කිරිපිටි නෞකාවක ප්‍රමාදයක් හේතුවෙන් නව මිල ගණන් යටතේ පාරිභෝගිකයින්ට කිරිපිටි නිකුත් කිරීම කල් යනු ඇති බව කිරිපිටි ආනයන සංගමය ද පසුගියදා සඳහන් කළා.

මේ අතර, ආනයනික කිරිපිටි මිල අඩු කිරීමට සාපේක්ෂව දේශීය කිරිපිටි නිෂ්පාදකයින් මිල සංශෝධනයක් සිදුකරන්නේ ද යන්න සම්බන්ධයෙන් මිල්කෝ සමාගමෙන් අප කළ විමසීමක් කළා.

එහිදී සඳහන් කළේ ආනයනික කිරිපිටි මිලට සාපේක්ෂව තවදුරටත් සිය නිෂ්පාදන වල මිල ගණන් පවතින්නේ පහළ මට්ටමක බවයි.

දේශීය කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක් වෙළඳපොලේ රුපියල් 950 ක මිලකට අලෙවි කෙරෙන අතර ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 ක මිල පවතින්නේ රුපියල් 1160 ක් ලෙසයි.

එහි කිලෝග්‍රෑම් එකක (1) කිරිපිටි පැකට්ටුවක් රුපියල් 2895 කට අලෙවි වෙනවා ෴


කොළඹ ආරක්ෂාව තවදුරටත්

(14.05.2023 – 13:51 +0530 – hirunews.lk/sinhala)

කොළඹ නගරයේ සහ තදාසන්න ප්‍රදේශවල ඊයේ (13) පස්වරුවේ සිට තර කළ ආරක්ෂක රැකවල් තවදුරටත් ක්‍රියාත්මකයි.

ඒ පිළිබඳ ඉදිරි තීරණ ක්‍රියාත්මක කරනු ලබන්නේ පවතින තත්ත්වය සමාලෝචනය කිරීමෙන් අනතුරුව බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති කළ විමසීමකදී සඳහන් කළා.

ඊයේ (13) අප කළ විමසීමක දී රජයේ ඉහළ ප්‍රධානියෙකු සඳහන් කළේ රජයට දැඩි බලපෑමක් ඇති කිරීමේ සූදානමක් ඇති බවට ලද බුද්ධි තොරතුරක් හේතුවෙන් මෙලෙස ආරක්ෂාව තර කර ඇති බවයි.

අද (14) පෙරවරුව වනවිටත් කොළඹ මර්මස්ථාන ඇතුළු මාර්ග සහ ස්ථාන රැසක දැඩි ආරක්ෂාවක් යොදවා තිබුණා.

මීට අමතරව, කොළඹ විශ්වවිද්‍යාල අවට සහ ඒ ආශ්‍රිත මාර්ගවල මෙන්ම, එම විශ්වවිද්‍යාලයට අයත් පීඨ ආශ්‍රිතව පොලීසිය කැරලි මර්දන ඒකක සහ යුද හමුදාව යොදා තිබූ බව සඳහන්.

මෙලෙස ආරක්ෂාව තර කිරීමට හේතුවී ඇත්තේ රජයට දැඩි බලපෑමක් එල්ල කිරීමේ ක්‍රියාදාමයක් ක්‍රියාත්මක වෙමින් ඇති බවට රජයේ ඉහළම තැන් වෙත ලැබී ඇති බුද්ධි තොරතුරක්.

ආරක්ෂාව භාර රජයේ ඉහළම ප්‍රධානියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ එය කොළඹ විශ්ව විද්‍යාලය මුල් කරගනිමින් මෙය ක්‍රියාත්මක වන බවට බුද්ධි තොරතුරුවල සඳහන්ව ඇති බවයි.

ඒ, හේතුවෙන් කොළඹ නගරයේ වැදගත් ස්ථාන රැසකට පොලිසියට අමතරව, සහ ත්‍රිවිධ හමුදාව යොදවා ආරක්ෂාව තර කළ බව ද ඔහු සඳහන් කළා.

ආරක්ෂක පියවර ගැනීමත් සමග කොළඹ විශ්ව විද්‍යාල කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වීමට තිබූ රජයට බලපෑම් කිරීමේ උත්සහය මේ වන විට අසාර්ථක වී ඇති බවද එම ප්‍රධානියා කියා සිටියා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *