කිරිපිටි මිල ගණන් පහළ දැමීමේ හැකියාවක් නැහැ – කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය

කිරිපිටි මිල ගණන් පහළ දැමීමේ හැකියාවක් නැහැ – කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය


කිරිපිටි මිල ගණන් පහළ දැමීමේ හැකියාවක් නැහැ – කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය

(13.05.2023 – 13:39 +0530 – hirunews.lk/sinhala)

වෙළෙඳ අමාත්‍යවරයා පැවසූ අයුරින් ලබන සඳුදා (15) සිට කිරිපිටි මිල ගණන් පහළ දැමීමේ හැකියාවක් නැතැයි කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

ඔවුන් පවසන්නේ පැවති මිල ගණන් යටතේ ගෙන්වන ලද කිරිපිටි තොග තවමත් වෙළඳපොළ තුළ පවතින බවයි.

අමෙරිකානු ඩොලරයේ අගය තවදුරටත් පහළ යෑම හේතුවෙන් ලබන සඳුදා (15) සිට කිරිපිටි මිල යළිත් පහළ දැමීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබෙනවා.

අවසන් වරට කිරිපිටි මිල පහළ දැමුණේ ඉකුත් අප්‍රෙල් මස පළමුවනදා (01) සිටයි.

එහිදි කිරිපිටි කිලෝග්‍රෑම් එකක (1) පැකට්ටුවක මිල රුපියල් 200 කින් සහ ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 80 කින් පහළ දැමුණා.

වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා ඊයේ (12) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදි සඳහන් කළේ ලබන සඳුදා (15) සිටි කිරිපිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 200 කින් පමණ යළි අඩුකිරීමට ආනයනකරුවන් එකඟත්වය පළ කළ බවයි.

කෙසේවෙතත් කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පැවසුවේ මිල අඩුකිරීම් සම්බන්ධයෙන් අමාත්‍යවරයා ප්‍රමුඛ නිලධාරීන් සමඟ සාකච්ඡා පැවතියද ලබන සඳුදා (15) සිට මිල අඩුකිරීමට එකඟත්වයක් තමන් පළ නොකළ බවයි.

එම සාකච්ඡාවලදී රුපියල් 200 කින් පමණ මිල අඩුකිරීමට එකඟත්වය පළ කළ අතර එය ලබන 23 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කළ බවද එම සංගමය සඳහන් කළා.

පැවති මිල ගණන් යටතේ ගෙන්වන ලද කිරිපිටි තොග තවමත් වෙළඳපොළ තුළ පැවතීම ඊට හේතුව බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ.

කෙසේවෙතත් ලබන සඳුදා (15) සිට මිල අඩුකළ හැකිද යන්න පිළිබඳව සංගමයේ සෙසු සාමාජිකයින් හා වෙළඳුන් සමඟ සාකච්ඡා කර අවසන් තීරණයකට එළැඹීමට අපේක්ෂා කරන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

මේ අතර, සීනි මිල වැඩි කිරීමට පියවර නොගන්නා ලෙස වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා ආනයනකරුවන්ගෙන් ඉල්ලා සිටිනවා.

++++++++++

කිරිපිටි මිල වැඩි වන්නේ 23 වනදා සිටයි – ආනයනකරුවන්

(13.05.2023 – 23:31 +0530 – hirunews.lk/sinhala)

ලබන 23 වනදා සිට වෙළඳපොල තුල නව මිල ගණන් යටතේ පාරිභෝගිකයින්ට කිරිපිටි මිලදී ගැනීමේ හැකියාව පවතින බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජික ලක්ෂ්මන් වීරසූරිය මේ බව කියා සිටියේ අද (13) පැවති මාධ්‍ය හමුවකදීයි ෴


ඔස්ට්‍රේලියානු රජයෙන් ශ්‍රී ලංකාවට ගුවන් යානයක්

(13.05.2023 – 15:23 +0530 – hirunews.lk/sinhala)

ඔස්ට්‍රේලියානු රාජකීය ගුවන් හමුදාවට අයත් ගුවන් ඕස්ට්‍රේලියානු රජය විසින් ශ්‍රී ලංකාවට ප්‍රධානය කර තිබෙනවා.

මෙසේ තිළිණ කර ඇත්තේ නවීන ද්විත්ව එන්ජින් සහිත Turboprop ගුවන් යානයක් වන Beechcraft KA350 King Air යන ගුවන් යානයයි.

Beechcraft KA350 ගුවන් යානය පිරිනැමීමට අදාළ ලිපිය ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍ය Clare O’Neil විසින් ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටීවන්ස් වෙත භාර දී තිබෙනවා.

ඔහු විසින් එම ලිපිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත නිල වශයෙන් භාර දුන් බවයි වාර්තා වන්නේ.

ටිවිටර් සටහනක් තබමින් ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා සඳහන් කළේ මෙම ත්‍යාගය ශ්‍රී ලංකාවට සිය සමුද්‍රීය ආරක්‍ෂාව ශක්තිමත් කරනු ඇති බවයි.

එය ජාත්‍යන්තර අපරාධ මැඩලීමේ සමීප සහයෝගීතාවය විදහා දැක්වීමක් බව වැඩිදුරටත් අදහස් දක්වමින් මහ කොමසාරිස්වරයා ප්‍රකාශ කළා ෴


ශ්‍රී ලංකාව ප්‍රථම වරට ‘ලෝක ගිනි නිවීමේ භට දිනය’ සැමරීමට සූදානම්

(13.05.2023 – 15:41 +0530 – hirunews.lk/sinhala)

ඉතිහාසයේ ප්‍රථම වතාවට ‘ලෝක ගිනි නිවීමේ භට දිනය’ සැමරීමට ශ්‍රී ලංකාව සූදානම් වනවා.

හෙට (06) දිනයේ එය නිදහස් චතුරස්‍රයේ අති උත්කර්ෂවත් අන්දමට පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවයි වාර්තා වන්නේ.

1998 දෙසැම්බර් 02 වනදා ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ ඇතිවූ ලැව් ගින්නක් මැඩ පැවැත්වීමට ගිය ගිනි නිවීමේ භටයන් 05 දෙනෙකු ගින්නට හසුවීමෙන් මිය ගොස් ඇති අතර ඔවුන් සිහිගැන්වීම පිණිස 1999 වර්ෂයේ මැයි 04 වන දිනය, ‘ලෝක ගිනි නිවීමේ භට දිනය’ ලෙස නම් කර තිබෙනවා.

ලෝකයේ ධනවත් රටවල් මෙම දින‍ය සැමරුවත් ශ්‍රී ලංකාව වැනි කුඩා රටවල් මීට පෙර එම දිනය සමරා නැහැ.

එනමුත් 2023 වසරේ එය සැමරීමට කොළඹ මහ නගර සභාව තීරණය කර තිබීම විශේෂත්වයක්.

1982 වසරේ ආරම්භ වූ මෙරට ගිනි නිවීමේ සේවාව අද වන විට පුළුල් පරාසයක විහිදී ගොස් අවසන්.

ප්‍රජාවට පුළුල් සේවයක් සපයමින් සිදු කරන මෙම සේවාව තව තවත් පෘථුල කරමින් ජනතාවට නව අවබෝධයක් ලබා දෙමින් හෙට (14) දිනයේ කැලණි නව පාලම අසලින් සමාරම්භක උත්සවය ආරම්භ වී ඔරුගොඩවත්ත, මාළිගාවත්ත, පංචිකාවත්ත, මරදාන, ඩාලි පාර, මහජන පුස්තකාලය අසල ‘ආර්ට් ගැලරිය’ යන ස්ථාන පසු කරමින් ‘නිදහස් චතුරශ්‍රය’ දක්වා ගමන් කිරීමට නියමිතයි ෴


හාලිඇල කරවල ගබඩාවකට සීල් තියයි

(13.05.2023 – 15:54 +0530 – hirunews.lk/sinhala)

හාලිඇල ප්‍රදේශයෙන් ආහාරයට නුසුදුසු කරවල තොග තැම්පත් කර තිබූ ගබඩාවක් සොයාගෙන තිබෙනවා.

හාලිඇල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ට ලද ඔත්තුවක් මත සිදු කල සෝදිසි කිරීමකදීයි අදාළ කරවල ගබඩාව සොයා ගෙන ඇත්තේ.

එහි තිබී ආහාරයට ගත නොහැකි කරවල විශාල ප්‍රමාණයක් පොලිසිය විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ නරක් වී තිබූ කරවල විශාල ප්‍රමාණයක් වේලා විකිණීමට උත්සාහ කර ඇති බවයි.

එමෙන්ම එම නරක් වූ කරවල වෙළදපොලට රැගෙන යමින් තිබූ ලොරි රථයක්ද අදාළ පුද්ගලයා සමඟ අත් අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී තිබෙනවා.

කෙසේ වෙතත් එම කරවල ගබඩාවට හා ලොරි රථයට සීල් තිබූ බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.

+


බන්ධනාගාර නියාමකවරයෙකුට සහ මවට පහරදුන් සිද්ධියක් ගැන විමර්ශන

(13.05.2023 – 15:59 +0530 – hirunews.lk/sinhala)

කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ නිලධාරියෙකුගේ නිවසට බලහත්කාරයෙන් ඇතුළු වූ ආයුධ සන්නද්ධ පුද්ගලයින් තිදෙනෙකු (3) එම නිලධාරියාට පහර දී තිබෙනවා.

ඒ, බන්ධනාගාරගත වූවන් හරහා ක්‍රියාත්මක වන මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩපැවැත්වීමට උත්සාහ නොකරන්නැයි තර්ජනය කරමින්.

කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ සේවයේ නියුතු එම්.පී.එස්.එම්. මාරසිංහ නමැති නිලධාරියාගේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික නිවසට බලහත්කාරයෙන් නාඳුනන පුද්ගලයින් තිදෙනෙකු (3) ඇතුළු වී තිබුණේ ඊයේ (12) අලුයම් කාලයේදීය.

එම පුද්ගලයින් සිය අනන්‍යතාව හඳුනාගන නොහැකි වන අයුරින් ජැකට් සහ හිස් ආවරණ සහිතව එහි පැමිණ තිබුණු බවයි වාර්තා වන්නේ.

එහිදී අදාළ බන්ධනාගාර නිලධාරියා දෙසට ගිනිඅවි දිගුකර තර්ජනය කරමින් පහර දී තිබෙනවා.

පසුව බන්ධනාගාර නිලධාරියාගේ මවට ද පහර දී ඇති එම පුද්ගලයින් ඔහුගේ සහෝදරියගේ ජංගම දුරකථනයද පොළොවේ ගසා කඩා දමා තිබුණා.

ඉන්පසු එම නිලධාරියාව දණ ගස්වා මාංචු දමා ඡායාරූප සහ වීඩියෝ දර්ශන ලබාගත් පුද්ගලයින් තිදෙනා (3) පලා ගොස් තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අදාළ බන්ධනාගාර නියාමකවරයා මිනුවන්ගොඩ පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

තුවාල ලැබූ බන්ධනාගාර නියාමකවරයා මිනුවන්ගොඩ රෝහලෙන් ගම්පහ දිස්ත්‍රික් මහ රෝහල වෙත වැඩිදුර ප්‍රතිකාර සඳහා යොමු කර තිබෙනවා ෴


පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහර දුන් 8 ක් අත්අඩංගුවට

(13.05.2023 – 17:47 +0530 – hirunews.lk/sinhala)

නෙල්ලිඅඩි පොලිස් වසමේදී පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහරදී බරපතල තුවාල සිදුකිරීමේ සිද්ධියකට අදාළව සැකකරුවන් 8 දෙනෙකු එම ආයුධ සමග කන්කසන්තුරය කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වයස අවුරුදු 18 ත් 30 ත් අතර පසුවන ඔවුන් අත්තායි සහ කරවෙඩ්ඩි ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය පවසන්නේ.

අත් අඩංගුවට ගත් සැකකරුවන් මහේස්ත්‍රාත් අධිකරනයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිදුවීම සම්බන්ධයෙන් කන්කසන්තුරය කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනු ලබයි ෴


ප්‍රංශයේ ‘ලෝක යුධ හමුදා තුන් ප්‍රයාම තරගාවලිය’ට ගිය පුද්ගයින් කිහිපදෙනෙක් පළා යයි

(13.05.2023 – 19:29 +0530 – hirunews.lk/sinhala)

ප්‍රංශයේ පැවැත්වෙන 24 වන ‘ලෝක යුධ හමුදා තුන් ප්‍රයාම තරගාවලිය’ට ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ 13 ක් අතරින් 07 දෙනෙකු යලි දිවයිනට නොපැමිණ තිබෙනවා.

හමුදා ප්‍රකාශක පවසන්නේ මෙරටට නොපැමිණි පුද්ගලයින් 07 දෙනා එරට දී පළා ගොස් ඇති බවයි.

මෙහි දී යුධ හමුදාවේ 04 ක්, ගුවන් හමුදාවේ 02 ක් සහ නාවික හමුදාවේ 01 ක් අයෙක් මෙලෙස පැනගොස් තිබෙනවා ෴


වව්නියාවේ දී කාන්තාවක් වෙඩි තබා ඝාතනය කෙරේ

(13.05.2023 – 19:39 +0530 – hirunews.lk/sinhala)

වවුනියාවේ පරයානාලන්කුලම් නීලියාමොට්ටේ ප්‍රදේශයේ දී අද (13) දින පුද්ගලයෙකු කාන්තවකට වෙඩිතබා ඝාතනය කොට ඔහු ද එම තුවක්කුවෙන්ම වෙඩි තබා ගෙන සිය දිවි හානි කරගෙන තිබෙනවා.

පොලීසිය විසින් දැනට සොයාගෙන ඇති තොරතුරු වලට අනුව මියගිය කාන්තාව විවාහ වීමට පෙර මෙම පුද්ගලයා සමග ප්‍රේම සම්බන්ධයක් පවත්වා ගෙන ගොස් ඇති අතර පසුව ඇය වෙනත් අයෙකු සමග මීට කාලයකට පෙර විවාහ වී ඇති බවයි වාර්තා වන්නේ.

මේ වන විට එම කාන්තාව එක් (1) දරු මවක් වන අතර ඇය සිය ස්වාමියා සමග නීලියාමුට්ටෙයි ගම්මානයේ පදිංචිව සිට තිබෙනවා.

පැරණි පෙම්වතා ද එම ගමානයේම ජීවත් වෙමින් සිට ඇති බවයි වාර්තා වන්නේ.

වෙඩිතැබූ පුද්ගලයා කාන්තාවගේ නිවසට පැමිණ ඇයට වෙඩි තබා මරා දමා නීලියාමොට්ටෙයි කෝවිල අසල්ට ගොස් ඔහුද එම තුවක්කුවෙන්ම වෙඩි තබා ගෙන සිය දිවි හානි කරගෙන තිබෙනවා.

මියගිය පුද්ගලයාගේ මළ සිරුර අසල තිබී තුවක්කුවක් ද පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 26 ක කාන්තාවක් සහ අවුරුදු 24 ක පුද්ගලයෙක් ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *