මෙරට ජනගහනයෙන් සියයට 3 ක් තැලසීමියා වාහකයන් – මහාචාර්ය වෛද්‍ය සචිත් මෙත්තානන්ද කියයි

මෙරට ජනගහනයෙන් සියයට 3 ක් තැලසීමියා වාහකයන් – මහාචාර්ය වෛද්‍ය සචිත් මෙත්තානන්ද කියයි


මෙරට ජනගහනයෙන් සියයට 3 ක් තැලසීමියා වාහකයන් – මහාචාර්ය වෛද්‍ය සචිත් මෙත්තානන්ද කියයි

(13.05.2023 – 13:11 +0530 – hirunews.lk/sinhala)

මෙරට ජනගහනයෙන් සියයට 3 ක් තැලසීමියා වාහකයන් බව කැළණිය විශ්වවිද්‍යායේ ළමා රෝග ඒකකයේ ළමා රෝග පිළිබද මහාචාර්ය වෛද්‍ය සචිත් මෙත්තානන්ද පවසනවා.

ශ්‍රී ලංකාව තැලසීමියා රෝගය වළක්වා ගැනීම සම්බන්ධයෙන් අසමත් රාජ්‍යයක් බවට පත් වී ඇති අතර විවාහයට පෙර රුධිර පරීක්ෂාවක් සිදුකර රෝග වාහකයෙක් ද යන්න සම්බන්ධයෙන් හදුනාගත හැකි බවයි කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ.

එම මාධ්‍ය හමුවට එක්වෙමින් කුරුණෑගල ශික්ෂණ රෝහලේ තැලසීමියා ඒකකයේ රක්තව්‍යාධිවේදී විශේෂඥ වෛද්‍ය මානෙල් රත්නායක කියා සිටියේ තැලසීමියා රෝගීන් දෙදෙනෙකු (2) අතර විවාහයකදී සියයට 25 කටම තැලසීමියාව සහිත දරුවන් බිහිවිමේ වැඩි ඉඩකඩක් පවතින බවයි ෴


ළමා නිවාස දරුවෙක් සිඟමනේ යෙදවූ කාන්තාවක් අත්අඩංගුවට

(13.05.2023 – 09:57 +0530 – hirunews.lk/sinhala)

ළමා නිවාසයක සිටි දරුවකු සිඟමනේ යෙදවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රාජගිරිය ඔබේසේකරපුර ප්‍රදේශයේ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැලිකඩ පොලීසියට ලද තොරතුරකට අනුව අදාළ කාන්තාව එම දරුවා සමඟ සිඟමනේ යෙදී සිටියදී ඊයේ (12) අත්අඩංගුවට ගෙන ඇත්තේ බොරැල්ල ප්‍රදේශයේදීයි.

මෙම කාන්තාව දෙදරු (2) මවක් වන අතර ඇගේ අවුරුදු 11 ක් වයසැති පුත්‍රයා සමඟ අබේපුස්ස ළමා නිවාසයේ සිටි අවුරුදු 10 ක් වයසැති මහනුවර ප්‍රදේශයේ පදිංචි දරුවෙකු ඉන් පැනවිත් තිබෙනවා.

ඔවුන් එලෙස පැනගොස්, පැමිණ ඇත්තේ අත්අඩංගුවට ගත් කාන්තාවගේ නිවසටයි.

මෙම සැකකාරිය සිය දරුවා නිවසේ තබා අනෙක් දරුවා සමඟ සිඟමනේ යෙදී ඇති බවයි මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ.

අදාළ සැකකාරිය එම දරුවා සමඟ බොරැල්ල, රාජගිරිය සහ මහරගම යන ප්‍රදේශවල සිඟමනේ යෙදී තිබෙන බවයි වාර්තා වී ඇත්තේ.

මෙම කාන්තාව සහ ඇයගේ සැමියා දැඩි ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් බවටද පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වි තිබෙනවා ෴


රිලවුන් නිසා තම කර්මාන්තය තර්ජනයකට ලක්ව ඇති බව කිතුල් කර්මාන්තකරුවන් කියයි

(13.05.2023 – 10:13 +0530 – hirunews.lk/sinhala)

රිලවුන් නිසා බොහෝ ප්‍රදේශවල කිතුල් කර්මාන්තය ද විනාශ වීමේ තර්ජනයකට මුහුණදී ඇති බව එම කිතුල් කර්මාන්තකරුවන්ගෙන් පැමිණිලි ලැබී ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

ඇහැලියගොඩ හා රත්නපුර ප්‍රදේශවල කිතුල් කර්මාන්තකරුවන්ගේ ගැටලු සම්බන්ධයෙන් සිදුකළ සොයා බැලීමකදී මේ බව අනාවරණ වූ බවයි ඔහු කියා සිටියේ.

රිලවුන් කිතුල් මල් විනාශ කරන බැවින් ඇතැම් අවස්ථාවල පැණි බෝතලයක් හෝ ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් පවතින බවයි ගොවීන් පෙන්වා දී ඇත්තේ.

මෙරට රිලවුන් චීනයට යැවීමට ඉදිරිපත් වූ යෝජනාව සම්බන්ධයෙන් සමාජය තුල දැඩි කතාබහකද් ඇතිවූයේ පක්ෂ, විපක්ෂ මත රැසක් ඉදිරිපත් වීමත් සමගයි.

මේ අතර, රිලවුන් චීනයේ උද්‍යානයක් වෙත ලබාදීමට කර තිබූ යෝජනාව කාලෝචිත බවට උකුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පැවති සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී සහය පළ කර තිබෙනවා.

චීනයට ඉල්ලූ රිලවුන් ලක්ෂයෙන් 10,000 ක් මාතලේ දිස්ත්‍රික්කය ආවරණය වන පරිදි ලබාදීමට අපේක්ෂා කරන බවයි ක්‍රිඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක කියා සිටියේ.

මෙරට රිලවුන් චීන උද්‍යානයක් වෙත යැවීමට කර ඇති යෝජනාව බල රහිත කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති රීට් පෙත්සම සම්බන්ධයෙන් කරුණු දැක්වීම ලබන 19 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් ඇතුළු පාර්ශවකරුවන්ට අභියාචනාධිකරණය දැනුම්දී තිබෙනවා ෴


බස් සඳහා GPS උපකරණ සවි කිරීමට පියවර

(13.05.2023 – 10:20 +0530 – hirunews.lk/sinhala)

සියලුම අන්තර් පළාත් බස් සඳහා GPS උපකරණ සවි කිරීමට පියවර ගන්නා බව ජාතික ගමනාගමන කොමිසම සඳහන් කරනවා.

එහි අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරැන්ඩා ප්‍රකාශ කළේ, දැනටමත් ලියාපදිංචි වී ඇති අන්තර් පළාත් බස් රථවලින් තුනෙන් එකකට (1/3) ආසන්න සංඛ්‍යාවකට අදාළ උපකරණ සවිකර ඇති බවයි.

ඒ යටතේ වැඩි වේලාවක් බස්, නැවතුම්පොළවල නවතාගෙන සිටීමට නොහැකි වනු ඇතැයි ද ඔහු ප්‍රකාශ කළේ ය ෴


අණ නොතකා ධාවනය කළ කාර් රථයකට වෙඩි

(13.05.2023 – 10:50 +0530 – hirunews.lk/sinhala)

කීර්තිබණ්ඩාරපුර පොලිස් මාර්ග බාධකයේ නිලධාරීන්ගේ අණ නොතකා පලා යමින් සිටි කාර් රථයකට වෙඩි තබා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් තිදෙනෙකු (3) පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වෙඩි පහර මධ්‍යයේ පලා ගිය කාර් රථය පොලිස් ස්ථානයේ සිට කිලෝමීටර් 20 ක පමණ දුරක් පලාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එම රථය ලුහු බැඳි නිලධාරීන් විසින් පුද්ගලයන් තිදෙනා (3) සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් විස්සක් (20) ද අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

ඩුබායි රාජ්‍යයේ සිට මෙහෙයවනු ලබන මත්ද්‍රව්‍ය ජාලයක පොළොන්නරුව ප්‍රදේශයේ ජාවාරම මෙහෙයවනු ලබන්නේ මෙම පුද්ගලයින් තිදෙනා (3) බව මූලික පොලිස් විමර්ශනවල දී අනාවරණය වී තිබෙනවා ෴


වව්නියාවේ වෙඩි තැබීමකින් දෙදෙනෙකු (2) මරුට

(13.05.2023 – 11:13 +0530 – hirunews.lk/sinhala)

වව්නියාව – පරයනාලන්කුලම් ප්‍රදේශයය් නිවසක් තුලදී පැරණි පෙම්වතාගේ වෙඩි තැබීමකින් විවාහක තරුණියක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

පසුව මෙම තරුණයා ද වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සදහන් කළේ.

මෙලෙස වෙඩි තබා ඝාතනය කර ඇත්තේ පුවරසන්කුලම් නිලියාමොටෙයි ප්‍රදේශයේ පදිංචි 26 ක එක්දරු මවක්.

සියදිවි නසාගෙන ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 24 හැවිරිදි තරුණයෙකු වනවා. මියගිය කාන්තාව විවාහක වී සිය සැමියා සහ දරුවා සමග නිලියාමොටෙයි ප්‍රදේශයේ පදිංචිව සිට තිබෙනවා.

ඇය විවාහ වීමට පෙර මියගිය පුද්ගලයා සමග තිබූ ප්‍රේම සම්බන්ධතාවයක් හේතුවෙන් ඇති වූ ආරවුලක් මත අද (13) අලුයම මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි පොලීසිය සදහන් කළේ.

මෙම ඝාතනයෙන් පසු සැකකරු නිලියාමොටෙයි කෝවිල අසලට පැමිණ වෙඩි තබා ගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා ෴


රජයට එරෙහිව කුමන්ත්‍රණයක් – කොළඹ ආරක්ෂාවත් තර වෙයි

(13.05.2023 – 12:34 +0530 – hirunews.lk/sinhala)

අද (13) පෙරවරුවේ සිට කොළඹ විශ්ව විද්‍යාලය අවට දැඩි ආරක්ෂාවක් යොදවා ඇති අතර, පොලිස් කැරලි මර්දන ඒකකය ද එහි කැඳවා තිබෙනවා.

රජයට දැඩි බලපෑමක් කිරීමේ ක්‍රියාදාමයක් ක්‍රියාත්මක වෙමින් ඇති බවට ලද බුද්ධි තොරතුරක් හේතුවෙන් කොළඹ නගරයේ වැදගත් ස්ථාන රැසක ආරක්ෂාව තර කර තිබෙන බවයි වාර්තා වී ඇත්තේ.

ඒ අනුව කොළඹ නිදහස් චතුරශ්‍රය සහ අවට ප්‍රදේශය, කොල්ලුපිටිය මංසන්ධිය අවට ප්‍රදේශය, අරලියගහ මන්දිරය අවට ප්‍රදේශය සඳහා මෙසේ විශේෂ ආරක්ෂාවක් යොදවා තිබෙන වාර්තා වන්නේ.

ඒ සඳහා පොලිසියට අමතරව ත්‍රිවිධ හමුදාව සහ කැරලි මර්දන ඒකකය ද කැඳවා තිබෙනවා.

ඊයේ (12) රාත්‍රියේ සිට කොළඹ කොටුව ලංකා බැංකු මාවත අවට ආරක්ෂාව ද තර කර තිබුණා.

රජයට දැඩි බලපෑමක් කිරීමේ ක්‍රියාදාමයක් ක්‍රියාත්මක වෙමින් ඇති බවට රජයේ ඉහළම තැන් වෙත බුද්ධි තොරතුරක් ලැබී තිබෙන බවයි වාර්තා වන්නේ.

ආරක්ෂාව භාර රජයේ ඉහළම ප්‍රධානියෙකු හිරු ප්‍රවෘත්ති අංශය වෙත සඳහන් කළේ, එය කොළඹ විශ්ව විද්‍යාලය මුල් කරගෙන ක්‍රියාත්මක වන බවට එම බුද්ධි තොරතුරේ සඳහන්ව ඇති බවයි.

එම හේතුව නිසා කොළඹ නගරයේ වැදගත් ස්ථාන රැසක පොලිසියට අමතරව, ත්‍රිවිධ හමුදාව ද යොදවා එම ආරක්ෂාව තර කිරීමට පියවර ගත් බව ආරක්ෂාව භාර ප්‍රධානියා සඳහන් කළා.

ඔහු වැඩිදුරටත් පැවසුවේ, මෙලෙස ගත් ආරක්ෂක පියවර හේතුවෙන් කොළඹ විශ්ව විද්‍යාලය මුල් කරගනිමින් ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ රජයට බලපෑම් කිරීමේ උත්සාහය මේ වන විට අසාර්ථක වී ඇති බවයි ෴


උපයන විට බද්ද අඩු කිරීමට රජයේ අවධානය – බදු අය කරන පරාසයත් වෙනස් වන ලකුණු

(13.05.2023 – 13:12 +0530 – hirunews.lk/sinhala)

උපයන විට අය කෙරෙන බද්ද ඉදිරියේදී අඩු කිරීමට බලාපොරොත්තු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

කෙසේ වෙතත් ඔහු කියා සිටියේ, බදු අය කරන පරාසයන් වෙනස් කිරීමට ඉදිරියේදී කටයුතු කරන බවයි ෴


බිම්මල් වගාව ගැන විශේෂ ව්‍යාපෘතියක් දිවයින පුරා ආරම්භ කිරීමට පියවර

(13.05.2023 – 13:26 +0530 – hirunews.lk/sinhala)

කාන්තාවන් ව්‍යවසායකයින්ට බිම්මල් වගාව පිළිබද ප්‍රායෝගික මෙන්ම න්‍යායාත්මක දැනුම ලබාදීමේ විශේෂ ව්‍යාපෘතියක් දිවයින පුරා ආරම්භ කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව, එහි පළමු (1) වැඩසටහන පොළොන්නරුව කෘෂිකර්ම ප්‍රාදේශීය කාර්යාලයෙන් ආරම්භ කෙරුණා. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ආරම්භ කිරීම සදහා කාන්තා ව්‍යවසායකත්ව කණ්ඩායම් බිහිකරලීම මෙහි අරමුණයි ෴


රත්නපුර ඇඹිලිපිටිය මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් තරුණ යුවළක් ජීවිතක්ෂයට

(13.05.2023 – 13:43 +0530 – hirunews.lk/sinhala)

රත්නපුර – ඇඹිලිපිටිය මාර්ගයේ තිරිවානාකැටිය ඉන්ධන පිරවුම්හල අසළ ඊයේ (12) අනතු‍රක් සිදුවී තරුණ යුවළක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස අනතුරට පත්ව ඇත්තේ කහවත්ත ප්‍රදේශයේ පදිංචි මෑතකදී විවාහ දිවියට ඇතුලත් වූ යුවළක්.

තරුණයා හෙට (14) විදෙස් ගතවීමට සිට ඇති අතර ඒ සඳහා පූජාවකට යමින් සිටිය දී මෙලෙස අනතුරට ලක් වී ඇති බවයි සඳහන් වන්නේ.

මොවුන් දෙදෙනා (2) ගමන් ගත් යතුරු පැදිය බස් රථයකට ඉස්සර කිරීමට යෑමේ දී මෙම අනතුර සිදු වී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ ෴


පූකුඩුකන්නාගේ ගෝලයෙකු අත්අඩංගුවට

(13.05.2023 – 15:18 +0530 – hirunews.lk/sinhala)

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු මෙන්ම, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන පූකුඩුකන්නාගේ ගෝලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු කොටහේන – ආමර්බාබර් මංසන්ධියේදී අත්අඩංගුවට ගෙන ඇති අතර එම අවස්ථාවේදී ඔහු සන්තකයේ තිබූ ගංජා කිලෝග්‍රෑම් 2 කට වැඩි ප්‍රමාණයක් පොලිස් භාරයට ගනු ලැබුවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 43 හැවිරිදි කොළඹ – ජම්පටාවීදිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔහුගෙන් සිදුකරන ප්‍රශ්න කිරීම් වලදී අනාවරණ වී ඇත්තේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන පූකුඩුකන්නා සමග මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරන බවටයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *