කළුතර 16 හැවිරිදි පාසල් සිසුවියගේ මරණය : ලැගුම්හල් හිමිකරුගේ බිරිඳ රිමාන්ඩ්

කළුතර 16 හැවිරිදි පාසල් සිසුවියගේ මරණය : ලැගුම්හල් හිමිකරුගේ බිරිඳ රිමාන්ඩ්


කළුතර 16 හැවිරිදි පාසල් සිසුවියගේ මරණය : ලැගුම්හල් හිමිකරුගේ බිරිඳ රිමාන්ඩ්

(11.05.2023 – 15:23 +0530 – hirunews.lk/sinhala)

කළුතර පස් (5) මහල් ලැඟුම්හල් ගොඩනැගිල්ලෙන් ඇද වැටී මියගිය 16 හැවිරිදි පාසල් සිසුවියගේ මරණයට අත්අඩංගුවට ගත් එහි පිළිගැනීමේ නිලධාරිනිය ලෙස කටයුතු කළ එම හෝටලයේ හිමිකරුගේ බිරිඳ රක්ෂිත බන්ධානාගාර ගතකර තිබෙනවා.

ඒ කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත් නීතා හේමමාලි හාල්පන්දෙණිය හමුවට ඇය අද (11) ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

ජාතික හැදුනුම්පත නිසි අවධානයකින් පරීක්ෂා නොකර බාල වයස්කාර දැරියකට හෝටලයේ නවාතැන් පහසුකම් ලබාදීම ඇයට එල්ලවී ඇති චෝදනාව බවයි කොළඹ අද (11) පැවති මාධ්‍ය හමුවකදී සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව කියා සිටියේ.

එමෙන්ම හෝටලය පවත්වාගෙන යන ඇයගේ සැමියාගෙන්ද ප්‍රකාශයක් ලබාගත් බවයි පොලිසිය සඳහන් කළේ.

16 හැවිරිදි සිසුවියගේ මරණයට අදාළව මේ වන විට ප්‍රධාන සැකකරු, ඇගේ මිතුරිය සහ මිතුරියගේ පෙම්වතා අත්අඩංගුවට ගෙන සිටිනවා.

එහිදී මිතුරිය සහ මිතුරියගේ පෙම්වතා මේ මස 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු අතර ප්‍රධාන සැකකරුට පැය 48 ක රැඳවුම් නියෝග ලබාදීමටයි අධිකරණය නියෝග කළේ.

මේ අතර කළුතර පාසල් සිසුවිය මියයාමේ සිද්ධියට සම්බන්ධ ලැඟුම්හල නියමිත ප්‍රමිතියට ඉදිකර ඇත්ද යන්න සම්බන්ධයෙන් සොයා නාගරික සංවර්ධන අධිකාරියද විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා ෴

කළුතර පාසල් සිසුවිය මියයාමේ සිද්ධියට සම්බන්ධ ලැඟුම්හල නියමිත ප්‍රමිතියට ඉදිකර ඇත්ද යන්න සම්බන්ධයෙන් සොයා නාගරික සංවර්ධන අධිකාරිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

එම අධිකාරියේ සභාපතිවරයා ඊට අදාළ නියෝගය එම අධිකාරියේ කළුතර දිස්ත්‍රික් කාර්යාලයට ලබාදී ඇති බවයි නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යංශය සඳහන් කළේ.

යම් හෙයකින් එම ගොඩනැගිල්ල නිසි ප්‍රමිතියකින් තොරව සහ අනවරයෙන් ඉදිකර ඇති බවට තහවුරු වුවහොත් එහි හිමිකරුට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි එම අමාත්‍යංශය සඳහන් කළේ ෴

මියගිය කළුතර 16 හැවිරිදි සිසුවිය මිය යෑමේ සිද්ධියට අදාළ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබෙනවා.

පොලිස් පතිවරයාගෙ උපදෙස් මත මෙය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇති බවයි වාර්තා වන්නේ.

කළුතර ලැගුම්හලක ඉහළ මහලින් වැටී මියගිය සිසුවියට අවසන් දුරකතන ඇමතුම ලැබී ඇත්තේ උපකාරක පංති ගුරුවරයෙකුගෙන් බවට පොලිසිය සැකකරනවා ෴

+

එමෙන්ම පාසල් සිසුවියන් 16 දෙනෙකු අපයෝජනයට ලක් කරමින් ඒවා වීඩියෝ ගත කළ බව කියන සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් කළුතර ප්‍රදේශයේ උපකාරක පන්ති ගුරුවරයා තවදුරටත් කළුතර උතුර පොලිසියේ රඳවාගෙන ප්‍රශ්න කෙරෙනවා.

සැකකරු ප්‍රකාශයක් ලබාදීම සඳහා කළුතර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යාංශයට අද (11) උදෑසන පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන තිබුණා.

එමෙන්ම ෆේස්බුක් ඔස්සේ කුඩා දැරියන් හිංසනයට ලක්වන ආකාරයෙන් ඔවුන්ගේ ඡායාරූප ඇතුළත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු මේ මස 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

වත්තේගම ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි මෙම සැකකරු ‘නිලු නිලූ’ නමින් ව්‍යාජ ෆේස් ගිනුමක් සකස්කර එහි කුඩා දැරියන්ගේ ඡායාරූප පළකර තිබුණා ෴

+++++++++++

+++++++++++

කළුතර සිසුවියගේ මරණයේ ප්‍රධාන සැකකරු රිමාන්ඩ්

(12.05.2023 – 10:58 +0530 – hirunews.lk/sinhala)

කළුතර දී 16 හැවිරිදි දැරියක් පස් මහල් ගොඩනැගිල්ලකින් ඇද වැටී මියයාමේ සිදුවීමට අදාල මරණයට සම්බන්ධ ප්‍රධාන සැකකරු මැයි 26 දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.

කළුතර හෝටලයක තුන්වන (3) මහලෙන් වැටී පාසල් සිසුවියක් මියයාමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු, රැඳවුම් නියෝගයෙන් අනතුරුව අද (12) අධිකරණයට ඉදිරිපත් කිරීම සිදු වුණා.

කළුතර දකුණ ඉසුරු උයන අංක 63 ලිපිනයේ පදිංචි ධනුෂ්ක ගයාන් සහබන්දු නම් සැකකරු පැය 48 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමටයි කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත් නීතා හේමමාලී හාල්පන්දෙනිය මහත්මිය පසුගිය නඩු වාරයේදී අවසර ලබා දුන්නේ ෴

+

+

https://www.youtube.com/watch?v=O9r_oj7bPEE

+


සිසුවියන්ට චොක්ලට් දෙන්න ගිය තරුණයන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට

(12.05.2023 – 07:09 +0530 – hirunews.lk/sinhala)

තලේමන්නාරම, පනන්කට්ටු බටහිර ප්‍රදේශයේ දී වෑන් රථයකින් ගොස් පාසල් සිසුවියන් තිදෙනකුට (3) චොක්ලට් ලබා දීමට උත්සහ කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් තරුණයන් දෙදෙනකු (2) ඊයේ (11) පස්වරුවේ තලේමන්නාරම පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම වෑන් රථය තලේමන්නාරම ප්‍රදේශයේ රසකැවිලි ප්‍රවාහන කරන (ඩිලිවරි) වෙළෙඳ සැලකට අයත් වෑන් රථයක් බව පොලිස් ආරංචි මාර්ග පවසන්නේ.

මන්නාරම ප්‍රදේශයේ සිසුන්ට චොකලට් ලබා දී පැහැර ගැනීමට තැත්කිරීමේ සිද්ධීන් කිහිපයක් වාර්තා වී ආන්දෝලනයක් හටගෙන ඇති අවස්ථාවක මෙම වෑන් රථයේ ගමන් ගත් තරුණයන් දෙදෙනා (2) මාර්ගයේ ගමන් ගත් පාසල් සිසුවියන් තිදෙනකුට (3) චොකලට් ලබා උත්සහ ගෙන ඇති බව පොලිසිය කියයි.

සිසුවියන් කෑගසා දිවගොස් ඇති බවත්, අවට සිටි පිරිසක් කළ දැනුම් දීමකට අනුව ආවේක්ෂණ රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් සැකකරුවන් දෙදෙන එම ස්ථානයේ දීම අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴

සිද්ධිය සම්බන්ධයෙන් තලෙයිමන්නාරම සහකාර පොලිස් අධිකාරීවරයාගේ උපදෙස් මත ඉදිරි පරික්ෂණ ක්‍රියාත්මකයි.

පසුගිය දිනවල ළමයින් පැහැරගැනීමේ උත්සහයක් පිළිබඳ පැතිර ගිය ප්‍රචාර හේතුවෙන් මන්නාරම ප්‍රදේශයේ පාසල් අසළ ආරක්ෂාව ද තර කෙරුණා ෴


රාගල සතොසේ හිටපු සහකාර කළමනාකරු අත්අඩංගුවට

(12.05.2023 – 07:39 +0530 – hirunews.lk/sinhala)

පදියපැලැල්ල ප්‍රදේශයේ දී ලංකා සතොසට අයත් රාගල අලෙවිසැලේ භාණ්ඩ තොග වංචා කිරීමක් සම්බන්ධයෙන් සැකකරුවෙකු ඊයේ (11) දහවල් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සිදුකරනු ලැබූ විමර්ශනකට අදාලවයි මෙම සැකකරුව අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.

මොහු විසින් වංචා කර ඇති භාණ්ඩවල වටිනාකම රුපියල් 1,51,13,012 ක් වන බවයි පොලිසිය පවසන්නේ.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 47 ක් වන පදියපැලැල්ල ප්‍රදේශයේ පදිංචි ඉහත අලෙවිසැලේ සහකාර කළමණාකරුවෙකු ලෙස සේවය කල අයෙක්.

සැකකරු අද (12) දින ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි ෴


කුරුණෑගල රෝහලේ වෛද්‍යවරයෙකුට පහරදුන් සිද්ධියේ සැකකරු අල්ලයි

(12.05.2023 – 07:40 +0530 – hirunews.lk/sinhala)

කුරුණෑගල රෝහලේ වෛද්‍යවරයෙකුට පහරදීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු කුරුණෑගල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ එම සැකකරු දඹුල්ල ප්‍රදේශයේදී මෝටර් රථයෙන් ගමන් කරමින් සිටියදීයි.

මෙම පහරදීමට විරෝධය පළ කරමින් එම රෝහලේ වෛද්‍යවරුන් ඊයේ (11) වැඩ වර්ජනයකද නිරතවුණා ෴


ඩෙංගු අවදානම තවත් ඉහළට

(12.05.2023 – 07:47 +0530 – hirunews.lk/sinhala)

ඉදිරි මාස කිහිපයේ දී ඩෙංගු රෝගීන් තවත් ඉහළ යාමේ අවදානමක් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

මේ වසරේ ගත වූ කාලසීමාව තුල ඩෙංගු රෝගීන් 32,600 ක් වාර්තා වී ඇති අතර එය පසුගිය වසරට සාපේක්ෂව ඉහළ අගයක් බවයි එහි විශේෂඥ වෛද්‍ය නිමල්කා පන්නිලහෙට්ටි ප්‍රකාශ කළේ.

එමෙන්ම පෙර වසරට වඩා ඩෙංගු රෝගීන්ගෙන් සියයට 50 ක් බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති බව ඩෙංගු මර්ධන ඒකකය ප්‍රකාශ කළා.

මේ වසරේ මේ දක්වා ඩෙංගු මරණ 16 ක් වාර්තා වී තිබෙනවා.

මේ අතර, ඩෙංගු රෝගයට ගොදුරු වූ දරුවන් 40 ක් පමණ මේ වනවිට ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා ප්‍රකාශ කළා.

ඊයේ (11) කොළඹ දී කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ ඩෙංගු රෝගය වැළදී සුවය ලැබූ දරුවන් වෙහෙසකර කාර්යයන්ට යෙදවීම තුළින් අක්මාවට හානි සිදුවිය හැකි නිසා ඒ පිළිබද දෙමාපියන් අවධානයෙන් කටයුතු කළ යුතු බවයි ෴


රේගුවෙන් වාප්පු ලිපිකරුවන්ට ඉල්ලීමක්

(12.05.2023 – 08:01 +0530 – hirunews.lk/sinhala)

සෑම දිනකම උදෑසනම රාජකාරියට වාර්තා කරන ලෙස රේගු දෙපාර්තමේන්තුව වාප්පු ලිපිකරුවන්ගෙන් ඉල්ලීමක් කරනවා.

දින කිහිපයක සිට ඔවුන් උදෑසන 09:30 වන තෙක් සේවයට වාර්තා කිරීම ප්‍රමාද වී ඇති අතර මේ හේතුවෙන් නිශ්කාශණය කළ බහාලුම් මෙන්ම නිශ්කාශණයට නියමිත බහාලුම් රැගත් රථ ඔරුගොඩවත්ත රේගු නිශ්කාශණ අංගනයේ සහ ඉන් පිටත ගොඩගැසී තිබුණා.

ඔරුගොඩවත්ත – අවිස්සාවේල්ල මාර්ගයේ පැවති දිගු බහාලුම් පෝලිම හමුවේ එම මාර්ගයේ ගමනාගමනයට ද බාධා එල්ල වුණා.

ඊයේ (11) දිනයේත් උදෑසන 09:30 වන විට සේවයට පැමිණ තිබුණේ වාප්පු නිලධාරින් දෙදෙනෙකු (2) පමණක් බවයි රේගු දෙපාර්තමේන්තුවේ මධ්‍යම භාණ්ඩ පරීක්ෂණ අංශයේ අධ්‍යක්ෂ පීටර් ගුණවර්ධන කියා සිටියේ ෴


ඉන්දියාවෙන් ආනයනය කරන ලද බිත්තර තොගයක් මාතර වෙළඳසැලකින් හමුවෙයි

(12.05.2023 – 08:36 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාවෙන් ආනයනය කරන ලද බිත්තර තොගයක් මාතර – වල්ගම ප්‍රදේශයේ වෙළඳසැලක් තුළ අලෙවියට තබා තිබියදී සොයාගෙන තිබෙනවා.

ඒ, ලද තොරතුරකට අනුව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන ඒකකයේ නිලධාරීන් විසින්.

මේ සම්බන්ධයෙන් ඔවුන්, සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව දැනුවත් කර ඇති බවද සඳහන්.

රාජ්‍ය වානිජ නීතිගත සංස්ථාව විසින් ඉන්දියාවෙන් ආනයනය කරනු ලබන බිත්තර සාමාන්‍ය පරිභෝජනය සඳහා වෙළඳසැල් තුළ අලෙවියට අවසර නොදීමටත්, බේකරි නිෂ්පාදන සඳහා පමණක් ලබාදීමට එම දෙපාර්තමේන්තුව අවසර ලබාදුන්නා.

ඒ, කුරුළු උණ වෛරසය මෙරටට ඇතුලුවීම වැළැක්වීමේ අරමුණින්.

කෙසේ වෙතත් මෙම බිත්තර හමුවූ වෙළඳසැලේ හිමිකරුගේ සහෝදරයෙකුට බේකරි නිෂ්පාදන ආයතනයක් පවතින බවට තොරතුරු ලැබී ඇති අතර, ඒ හරහා අදාළ බිත්තර තොගය වෙළඳසැලට ලැබුණු බවට සැක කෙරෙනවා ෴

+++++++++

ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර වෙළඳපොලට නිකුත් වීම ගැන බේකරි හිමියන්ගෙන් ප්‍රකාශයක්

(12.05.2023 – 13:22 +0530 – hirunews.lk/sinhala)

පාරිභෝගිකයින්ට අලෙවි කිරීම සඳහා ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර ලබා දුන් මාතර – වල්ගම ප්‍රදේශයේ බේකරි හිමියාට මින් ඉදිරියට බිත්තර නිකුත් නොකරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන ඒකකයට ලද තොරතුරකට අනුව ඊයේ (11) එම ප්‍රදේශයේ වෙළඳසැලක් පරීක්ෂා කිරීමේ දී එහි තිබී ආනයනික බිත්තර තොගයක් සොයාගනු ලැබුවා ෴

+

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *