මන්නාරම දිස්ත්‍රික්කයේ පාසල් අවට විශේෂ ආරක්ෂාවක්

මන්නාරම දිස්ත්‍රික්කයේ පාසල් අවට විශේෂ ආරක්ෂාවක්


මන්නාරම දිස්ත්‍රික්කයේ පාසල් අවට විශේෂ ආරක්ෂාවක්

(11.05.2023 – 07:47 +0530 – hirunews.lk/sinhala)

පසුගිය දිනක වෑන් රථයකින් පැමිණි කිසියම් පිරිසක් ළමයින් දෙදෙනෙකුට (2) ආහාර වර්ගයක් ලබා දී එම ළමයින් දෙදෙනා (2) පැහැර ගැනීමට උත්සාහ ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

එම අවස්ථාවේ ළමයින් දෙදෙනා (2) ඔවුන්ගෙන් මිදී කෑ ගැසීමත් සමඟ වෑන් රථය පලාගොස් තිබෙන බවයි පොලිසිය සඳහන් කළේ.

මන්නාරම දිස්ත්‍රික්කයේ පාසල් ළමුන් පැහැර ගැනීමේ සංවිධානාත්මක උත්සාහයක් ඇති බවට ලද තොරතුරකට අනුව පාසල් අසළ සහ අවට මාර්ගවල විශේෂ ආරක්ෂාවක් යෙදවීමට පියවර ගෙන තිබෙනවා.

වෑන් රථයකින් පැමිණි පිරිසක් පාසල් ළමුන් දෙදෙනෙකුට (2) ආහාර වර්ගයක් දී ඔවුන් පැහැර ගැනීමට උත්සාහ දරා ඇති බවට වාර්තා වීමත් සමගයි මෙලෙස ආරක්ෂාව යෙදවීමට පියවර ගත් බව පොලිසිය සඳහන් කළා.

මන්නාරම පොලිසිය සඳහන් කළේ පසුගිය සෙනසුරාදා දින ආගමික කටයුත්තක් සඳහා පල්ලියට යන අවස්ථාවේදී එක් සිසුවෙකු පැහැර ගැනීමේ උත්සාහයක් තිබූ බවට පොලිසියට පැමිණිල්ලක් ලැබුණු බවයි.

ඊට අමතරව පසුගිය සඳුදා, දිනයේදී ද තවත් පැමිණිලි 2 ක් වාර්තා වුණේ වෑන් රථයකින් පැමිණි පිරිසක් පාසල් සිසුන් දෙදෙනෙකුට (2) කිසියම් ආහාරයක් ලබාදීමට උත්සාහ කළ අවස්ථාවේ අදාළ සිසුන්ගේ කෑගැසීම හේතුවෙන් වෑන් රථයේ පිරිස පළා ගිය බවටයි.

කෙසේ වෙතත් අදාළ ප්‍ර දේශයේ සීසීටීවී කැමරා දර්ශන පරීක්ෂා කළද මෙවැනි සිද්ධියක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ වී නොමැති බවයි මන්නාරම පොලිසිය සදහන් කළේ.

එමෙන්ම අදාළ ප්‍රදේශවලින් කිසිදු පැහැරගැනීමක් සිදුවී නොමැති බවද පොලීසිය තහවුරු කළා.

කෙසේ වෙතත් මව්පියන් විසින් මන්නාරම පොලිස් ස්ථානයට සහ පාසල්වල විදුහල්පතිවරුන්ට කර තිබූ පැමිණිලි අනුව පොලිසිය පාසල් ළමුන්ට විශේෂ ආරක්ෂාවක් ලබා දීමට පියවර ගෙන තිබෙනවා.

මේ අතර, මෙම පාසල් ළමුන් පැහැරගැනීමට තැත්කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් මන්නාරම දිස්ත්‍රික්කයේ ඇතැම් පිරිස් සමාජ මාධ්‍ය ඔස්සේ පතුරුවන තොරතුරු පිළිබඳවද පොලිස් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

+


මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

(11.05.2023 – 07:10 +0530 – hirunews.lk/sinhala)

මහවත්ත ප්‍රදේශයේ දී සිරිපාගම පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ (10) දින වැටලීමක් සිදුකර මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 53 ක් වූ ශ්‍රී පලාබද්දල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරු අද (11) දින රත්නපුර ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

සිද්දිය සම්බන්ධයෙන් සිරිපාගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකර ගෙන යනු ලබනවා ෴


‘ලියාපදිංචි වෛද්‍යවරු’ 350 ක් මෙම වසරේ විශ්‍රාම යෑමට නියමිතයි

(11.05.2023 – 07:18 +0530 – hirunews.lk/sinhala)

ග්‍රාමීය රෝහල් රැසක් වැසී යෑමේ දැඩි අවදානමක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පවසනවා.

ඒ, රජයේ රෝහල්වල සේවයේ නියුතු ‘ලියාපදිංචි වෛද්‍යවරු’ 350 කට ආසන්න පිරිසක් ලබන මාසයේ දී එකවර විශ්‍රාම යෑම හේතුවෙන්.

මෙලෙස ලියාපදිංචි වෛද්‍යවරු 350 දෙනෙකු එකවර විශ්‍රාම ලැබුවහොත් අවම වශයෙන් ග්‍රාමීය රෝහල් 50 ක් පමණ වසා දැමීමට සිදුවන බවයි වාර්තා වෙන්නේ.

මේ වන දුෂ්කර ප්‍රදේශ ද ඇතුළුව රට පුරා ග්‍රාමීය රෝහල්වල සේවයේ නියුතු ලියාපදිංචි වෛද්‍යවරු සංඛ්‍යාව 650 ක්.

තවද, ලියාපදිංචි වෛද්‍යවරු 350 දෙනෙකු මෙන්ම, උපාධිධාරි වෛද්‍ය නිලධාරින් 400 දෙනෙකු, විශේෂඥ වෛද්‍යවරු 300 දෙනෙකු ඇතුළු සමස්ත වෛද්‍යවරු 1000 කට අධික පිරිසක් මෙම වසරේ දෙසැම්බර් මස වන විට විශ්‍රාම ගැන්වීමට නියමිත බව ද වාර්තා වෙනවා.

චක්‍රලේකයක් හරහා ලබන ජුනි මස 30 සහ දෙසැම්බර් 31 වැනිදා අදාළ වෙවද්‍යවරුන් එකවර විශ්‍රාම ගැනීමට නියමිතව තිබීමෙන් රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය දැඩි අර්බුදයකට පත්වීම වැළැක්වීම නොහැකි බවයි සෞඛ්‍ය අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පවසන්නේ ෴


දේපළ කොල්ල කෑ සැකකරු හෙරො‍යින් සමග අත්අඩංගුවට

(11.05.2023 – 07:25 +0530 – hirunews.lk/sinhala)

ගල්කිස්ස පොලිස් වසමේ පිහිටි වෙළඳ සැලකට පැමිණි පුද්ගලයන් කිහිප දෙනෙකු පසුගිය මැයි 01 වනදා තියුණු ආයුධ පෙන්වා වෙළඳසැල් හිමිකරු බිය ගන්වා රන් භාණ්ඩ හා මුදල් කොල්ලකෑමක් සම්බන්ධව ගල්කිස්ස පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් කර තිබෙනවා.

එහිදී ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විමර්ශන සිදුකර සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු ඊයේ (10) දින හෙරොයින් ග්‍රෑම් 05 ක් මිලිග්‍රෑම් 200 ක් සන්තකයේ තබාගෙන සිටිය දී අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීමේ දී කොල්ලකෑම සඳහා යොදා ගත් ත්‍රිරෝද රථය, රන් අත් පළඳනාවක් සහ ග්‍රෑම් 80 බර රන් භාණ්ඩ සොයා ගෙන තිබෙනවා.

දේපල සහ සැකකරු වැඩිදුර විමර්ශන සඳහා ගල්කිස්ස පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති අතර අත්අඩංගුවට ගත් ඔහු වයස අවුරුදු 37 ක් වූ දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරු අද (11) දින ගල්කිස්ස ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්දිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකර ගෙන යනු ලබයි ෴


අධිආරක්ෂිත පොලිස් ගොඩනැගිල්ලේ තිබූ යතුරුපැදියක කොටස් අතුරුදහන්

(11.05.2023 – 07:40 +0530 – hirunews.lk/sinhala)

දැඩි ආරක්ෂක විධිවිධාන ක්‍රියාත්මක විශේෂ පොලිස් අංශ කිහිපයක්ම ස්ථාපිත කර ඇති පොල්හේන්ගොඩ භූතානි ගොඩනැගිල්ලෙහි නතර කර තිබුණු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට අයත් යතුරුපැදියක් කොටස් රැසක් සොරාගෙන ගොස් තිබෙනවා.

ඒ පිළිබඳ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ ප්‍රවාහන අංශයේ රාජකාරි සිදු කරනු ලබන පොලිස් සැරයන් සිසිර බණ්ඩාර නමැති නිලධාරියා විසින් කිරුලපන පොලිස් ස්ථානයට පෙරේදා (09) දින පැමිණිල්ලක්ද කර තිබෙනවා.

එම පැමිණිල්ලට අනුව භූතානි ගොඩනැගිල්ලෙහි නතර කර තිබුණු NP WM 1167 දරන යතුරුපැදියේ ඉදිරිපස පහන් කට්ටලය, පැති කණ්ණාඩි යුගලය, රෝදයට සව්කර ඇති පෝක් දෙක, යතුරු පැදියේ මීටර් කොටස මෙසේ සොරාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙම යතුරුපැදිය අලුත්වැඩියාවකින් පසු මෙයට මාස 04 කට පෙර ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ භාවිතයට ලද එකක් බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළා.

මෙම ගොඩනැගිල්ලෙහි ඇති ආරක්ෂක තත්වය අනුව බලන විට පිටස්තරයකුට මෙවැනි සොරකමක් කළ නොහැකි බවයි එම නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේ ෴


‘බූරු මූණා’ සැඟවූ පිස්තෝලයක් සොයා ගනී

(11.05.2023 – 07:53 +0530 – hirunews.lk/sinhala)

ඝාතන රැසකට චෝදනා එල්ලවී සිටිය දී අත්අඩංගුවට ගත් ‘සංඛ ද සිල්වා’ නොහොත් ‘බූරු මූණා’ සඟවා තිබූ විදේශ රටක නිෂ්පාදිත පිස්තෝලයක් සහ ජීව උණ්ඩ 06 ක් පොලිසිය සොයාගෙන තිබෙනවා.

ඒ, ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී හෙළිවූ තොරතුරු වලට අනුවයි. පසුව සැකකරු බණ්ඩාරගම – රයිගම ප්‍රදේශයේ පිහිටි සුසාන භූමියක් අසළට රැගෙන ගොස් ඇති අතර එහි තිබිය දීයි මෙම පිස්තෝලය සහ ජීව උණ්ඩ සොයා ගෙන ඇත්තේ.

අදාළ පිස්තෝලය චීනයේ නිෂ්පාදිත විශේෂ වර්ගයේ ගිනිඅවියක් වන අතර ඊට උණ්ඩ 16 ක් යෙදිය හැකි බවට අනාවරණය වී තිබෙනවා.

හංවැල්ල ආපනශාලා හිමිකරු ඝාතනයෙන් පසුව කටුනායක ගුවන් තොටුපළෙන් විදේශ ගතවීම සඳහා පැමිණ සිටිය දී පසුගියදා බූරු මූණා අත්අඩංගුවට පත්වුණා.

එහෙත් එම අවස්ථාවේ දී ඔහු පළාගිය අතර සැකකරු සැඟව සිටි බණ්ඩාරගම – රයිගම මල්වත්ත ප්‍රදේශයේ නිවසට ආසන්නයේ පිහිටි සුසාන භූමියක ඔහු විසින් මෙම ගිනිඅවිය වළදමා සඟවා තිබුණා ෴


දුම්රිය සංකේත වැඩවර්ජනය අවසන් – අඛණ්ඩ වර්ජනයක් ගැනත් අනතුරු අගවයි

(11.05.2023 – 08:11 +0530 – hirunews.lk/sinhala)

අද (11) සිට දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුකරන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති සුමේධ සෝමරත්න හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ සිය ගැටලුවට විසදුම් නොලැබෙන්නේ නම් ඉදිරි සතියේදී ‘අඛණ්ඩ වැඩවර්ජනයකට’ යොමුවන බවයි.

කෙසේ වෙතත් අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරි, මෙහෙයුම් වී.එස්. පොල්වත්තගේ කියා සිටියේ වෘත්තීය සමිති තමන් ගන්නා තීරණ සම්බන්ධයෙන් දෙවරක් සිතිය යුතු බවයි.

මේ අතර දුම්රිය ස්ථානාධිපතිවරුන් ඊයේ (10) ක්‍රියාත්මක කළ සංකේත වැඩවර්ජනය හේතුවෙන් ඊයේ (10) දිනයේ දී කාර්යාල ඇතුළු දුම්රිය ගමන්වාර 22 ක් අවලංගු වුණා.

චෝදනා එල්ලවී ඇති පුද්ගලයෙකුට ‘වානිජ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී තනතුර’ පිරිනැමීම සම්බන්ධයෙන් විරෝධය පළ කිරීම සඳහායි ඔවුන් මෙම වර්ජනය ඊයේ (10) දිනයේ දී ක්‍රියාත්මක කෙරුණේ ෴


අස්ථානගත වූ මුදල් පසුම්බියක් සොයාදුන් පොලිස් සැරයන්වරයෙක්

(11.05.2023 – 08:14 +0530 – hirunews.lk/sinhala)

කටුගස්තොට දී සිදු වූ රිය අනතුරකින් මියගිය කහටගස්දිගිලිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුගේ දේහය රැගෙන යාමට පැමිණි ඥාතිවරයකු සතුව තිබුණු රුපියල් 65,000 ක මුදලක් සහිත පසුම්බියක් අස්ථානගත වී තිබෙනවා

මුදල් පසුම්බියේ හිමිකරු ඇතුළු ඥාති පිරිස පසුගිය 07 වැනිදා කටුගස්තොට පොලීසිය වෙත පැමිණ ඇත්තේ එම අනතුර සම්බන්ධව ඇවැසි ලියකියවිලි සකස්කර ගැනීමටයි.

එසේ පැමිණි පිරිස රථවාහන අංශයට ගොස් සිටිය දී රථ වාහන අංශයේ රාජකාරියේ නියුතු පොලිස් සැරයන් (47140) ඩී.එම්. විද්‍යාරත්න තම රාජකාරි යතුරුපැදිය සුද්ධ පවිත්‍ර කරමින් සිටිය දී රථහල අසල මුදල් පසුම්බියක් වැටී තිබෙනු දැක තිබෙනවා.

පසුව සැරයන්වරයා එම මුදුල් පසුම්බිය රැගෙන විවරකර බැලු විට දැක ඇත්තේ කුඩා දරුවකුගේ ඡායාරූපයක් හා රුපියල් පන්දහසේ මුදුල් නෝට්ටු රැසකි.

පසුව සැරයන්වරයා පොලිස් ස්ථානයේ සිටි නිලධාරීන්ගෙන් හා සේවය කුඩා ගැනීමට පැමිණි සිටි අයවලුන්ගෙන් මුදල් පසුම්බියක් නැති වුණා දැයි විමසා තිබෙනවා.

එසේ විමසමින් සිටි සැරයන් වරයා රථවාහන අංශයටද ගොස් එහි සිටි කහටගස්දිගිලියෙන් පැමිණි අයගෙන් ද විමසීමක් කර තිබෙනවා.

පසුව එම පිරිස අතරේ සිටි අයෙක් තමන් සතුව තිබුණු මුදල් පසුම්බිය නැති වී ඇති බව සැරවරයාට පවසා තිබෙනවා.

ඉන්පසු මුදල් පසුම්බියේ තිබුණු මුදල ගැන විමසු සැරයන්වරයා එම පුද්ගලයා ඉදිරියේ පසුම්බියේ තිබුණු මුදල් සියල්ලගණන් කර එය හිමිකරුට භාරදීමට කටයුතු කර තිබෙන බවයි වාර්තාවන්නේ.

එහිදී මුදල් පසුම්බිය හිමි පුද්ගලයාත් ඔහුගේ බිරිය වන පාසල් ගුරුවරයක් ඇතුළු ඥාති පිරිස දෙනෙත්වලට කඳුළු පුරවාගෙන සැරයන්වරයාට සිය ස්තුතිය පළ කරමින් පවසා ඇත්තේ යම්කිසි විදිහකින් මුදල් පසුම්බිය සොයා ගැනීමට නොහැකි වුවානම් මියගිය අයගේ දේහය ගමට රැගෙන යාමට නොහැකි වනු ඇති බවයි.

සැරයන්වරයා විසින් කළ මේ සද්ක්‍රියාව පිළිබඳව පොලිස් ස්ථානාධිපති ප්‍ර.පො.ප.ආර්.සී. රාජපක්ෂ ඇතුළු පොලිස් ස්ථානයේ සියලුම නිධාරීන් සිය ස්තුතිය පළ කර තිබෙනවා ෴


කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය වර්ජනයක්

(11.05.2023 – 10:06 +0530 – hirunews.lk/sinhala)

කුරුණෑගල ශික්ෂණ රෝහලේ ළමා හා මාතෘ ඒකකයේ වෛද්‍යවරයෙකුට පහරදීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු මෙතෙක් අත්අඩංගුවට නොගැනීමට විරෝධය පළ කරමින් එහි වෛද්‍යවරුන් දියත් කර ඇති වර්ජනය හේතුවෙන් රෝහල් කටයුතුවලට බාධා එල්ල වී තිබෙනවා.

මේ හේතුවෙන් බාහිර මෙන්ම සායනික වෛද්‍ය ප්‍රතිකාර සේවාවන් ද ඇණ හිට ඇති බවයි හිරු වාර්තාකරු කියා සිටියේ.

රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටි තම ගැබිණි පෙම්වතියගේ කළලය ඉවත් කරන ලෙසට බල කරමින් මැල්සිරිපුර ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු ඉකුත් 08 වනදා ළමා හා මාතෘ ප්‍රතිකාර ඒකකයේ වෛද්‍යවරයෙකුට පහරදී ඇති බව සඳහන්.

දෙදෙනා අතර පැවති අනියම් සබඳතාවයෙන් පසු කාන්තාව ගැබ්ගෙන ඇති අතර, සති 29 ක පමණ නොමේරු දරු කළලයක් සහිත ඇය ප්‍රතිකාර සඳහා මෙලෙස රෝහල් ගත වී තිබුණා. කෙසේ වෙතත්, වෛද්‍යවරුන් ගැබිනිය පරීක්ෂා කිරීමෙන් පසු සැකකරුට දැනුම්දී තිබුණේ ඇයට හෝ දරුවාට කිසිදු අවදානම් තත්ත්වයක් නොමැති බවයි.

ගබ්සා කිරීම නීති විරෝධී ක්‍රියාවක් බවට වෛද්‍යවරුන් පෙන්වා දුන්න ද, සැකකරු එය අනිවාර්යයෙන්ම සිදුකළ යුතු බවට තර්ජනය කර වෛද්‍යවරයෙකුට පහරදී ඇති බවයි වාර්තා වුණේ. මීට විරෝධය පළ කරමින් මෙම වර්ජනය දියත් කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ කියා සිටියා.

මෙම වර්ජනය නිසා ප්‍රතිකාර ගැනීමට පැමිණි රෝගීන් දැඩි අපහසුතාවයට පත්වුණා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *