කාලගුණයෙන් රතු නිවේදනයක්
(09.05.2023 – 15:33 +0530 – hirunews.lk/sinhala)
සුළඟේ වේගය වැඩි විමේ අවදානමක් නිසා, උතුරු අක්ෂාංශ 02-15 ත් අතර සහ නැගෙනහිර දේශාංශ 85-100 අතර මුහුදු ප්‍රදේශයට නැවත දැනුම් දෙනතුරු යාත්‍රා නොකරන ලෙස ධීවර සහ නාවික ප්‍රජාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.
ඒ අනුව එම මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 50 ත් 60 ත් අතර අගයක් විය හැකි අතර එය විටින්විට පැයට කිලෝමීටර් 70 ක් දක්වා වර්ධනය විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින පීඩන අවපාතය හෙට (10) වනවිට සුළි කුණාටුවක් දක්වාත් ක්‍රමයෙන් වර්ධනය විය හැකි බවයි ෴
තියුණු ආයුධයකින් පහරදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට
(09.05.2023 – 16:13 +0530 – hirunews.lk/sinhala)
පාදුක්ක වටරැක ප්‍රදේශයේ නිවසක ජීවත් වූ කාන්තාවකගේ ගෙල කපා ඝාතනය කර පලා යමින් සිටි එකම පවුලේ සහෝදරයා සහ සහෝදරිය ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව අද (09) මීගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස ඝාතනය කර ඇත්තේ වටරැක ප්‍රදේශයේ නිවසක පෙදරේරුවෙකු සමඟ ජීවත් වූ වලස්මුල්ල – කටුවන ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි වැන්දඹු කාන්තාවක්.
අත්අඩංගුවට ගත් සැකකාරිය අදාළ පෙදරේරුවාගේ දික්කාසද බිරිද බවත් අනෙක් සැකකරු එම කාන්තාවගේ බාල සහෝදරයා බවත් මූලික පොලිස් විමර්ශනවල දී අනාවරණය වී තිබෙනවා.
එම සැකකාරිය පෙදරේරුවා සමගින් දික්කසාද වී වසර තුනක් (3) පමණ ගතවන බවත් ඒ නිසාවෙන් මෙලෙස වෙනත් කාන්තාවක් සමඟ ජීවත් වූ බවත් පෙදරේරුවා පොලිසිය ඉදිරියේ ප්‍රකාශ කර ඇති බව සඳහන්.
ඇඹිලිපිටියේ ප්‍රදේශයේ පදිංචි මෙම දික්කසාද වූ බිරිඳ දරුවන් තිදෙනකුගේ (3) මවක් බවයි හෙළි වී ඇත්තේ.
ජීවත් වීමට මඟක් නොමැතිවීම හේතුවෙන් සැමියා පදිංචිව සිටින වටරැක ගම්මාන පාරේ නිවසට පැමිණ ඇත්තේ තමාගේ අගහිඟකම්වලට මුදල් ඉල්ලා ගැනීම සඳහායි.
නමුත් එම අවස්ථාවේ එම පුද්ගලයා නිවසේ සිට නොමැති අතර මිය ගිය කාන්තාව හා දික්කසාද බිරිඳගේ සහෝදරයා අතර බහින්බස් වීමක් ඇති වී තිබෙනවා.
බහින්බස් වීම දුරදිග යාමෙන් අනතුරුව බිරිඳගේ සොයුරා විසින් සඟවා ගෙන සිටි පිහියකින් අදාළ කාන්තාවගේ ගෙලට පහරක් එල්ල කර තිබෙන බවයි පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ ෴
මෙරටට ලබා දුන් ණය සහනයේ කාල සීමාව දීර්ඝ කිරීමට ඉන්දියාවේ එකඟත්වය
(09.05.2023 – 16:28 +0530 – hirunews.lk/sinhala)
ශ්‍රී ලංකාවට ලබාදුන් ඩොලර් බිලියනයක ණය සහනයේ කාලසීමාව තවත් වසරකින් දීර්ඝ කිරීමට ඉන්දියාව සිය කැමැත්ත පළකර තිබෙනවා.
ලංකාව දැඩි ආර්ථික අර්බුදයකින් පීඩාවිඳි සමයේදී ඉන්දියාව ලබාදුන් ඩොලර් බිලියන 4 ක ණය සහනයෙන් කොටසක් වූ එම මුදල පසුගිය මාර්තු මාසය වනවිට ගෙවීමටයි නියමිතව තිබුණේ.
ඉන්දියාව විසින් ලබාදුන් ඩොලර් බිලියනයක් වූ එම ණය සහනය මූලික ලෙස ම භාවිත කරන ලද්දේ ඖෂධ සහ ආහාර ද්‍රව්‍ය ආනයනය සඳහා බවයි වාර්තා වන්නේ.
හදිසි ආධාරවලින් කොටසක් ලෙස ලැබුණු මෙම ණය සහනය ගෙවීම 2024 මාර්තු දක්වා දීර්ඝ කරගැනීමට හැකිවූ බවයි නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් ප්‍රියන්ත රත්නායක ප්‍රකාශ කළේ.
ඩොලර් බිලියනයක් වූ ණය සහනයෙන් තවත් ඩොලර් මිලියන 350 ක් ඉතිරිව තිබෙන බවත් එම මුදල් අපට අවශ්‍යය ලෙසින් පරිහරනය කිරීමට හැකියාවක් පවතින බවත් ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශකර සිටියා ෴
‘අස්වැසුම’ ජූලි 01 ආරම්භ වෙයි
(09.05.2023 – 17:01 +0530 – hirunews.lk/sinhala)
‘අස්වැසුම’ සුබසාධන ප්රතිලාභ ගෙවීම් ආරම්භ කිරීම සඳහා ප්‍රතිලාභීන් හදුනා ගැනීමේ ක්‍රියාවලිය 91.5% කින් අවසන් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා.
ඒ අනුව මෙම සුබසාධන වැඩපිළිවෙල ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ජූලි 01 ආරම්භ කිරීමට නියමිත බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.
එහිදී සංක්‍රාන්තික පවුල් සදහා ලබන දෙසැම්බර් මස 31 වැනිදා දක්වා මසකට රුපියල් 2,500 ක් ලබා දීමට නියමිතයි.
එමෙන්ම ලබන වසරේ මාර්තු 31 දක්වා අවදානමට ලක් වූ පවුල් සඳහා මසකට රුපියල් 5,000 ක් ලබා දීමට යෝජනා කර ඇති අතර දුප්පත් පවුල් සඳහා රුපියල් 8,500 ක දීමනාවක් ජූලි පළමු වනදා (01) සිට වසර තුනක (3) කාලයක් පුරාවට ලබා දීමට නියමිත බවයි වාර්තා වී ඇත්තේ.
මීට අමතරව අන්ත දිළිදු පවුල් සඳහා ද රුපියල් 15,000 ක දීමනාවක් ජූලි පළමු වැනිදා (01) සිට වසර 03 ක කාලයක් පුරා ලබා දෙන බවද එම නිවේදනයේ සඳහන් ෴
අරගලයේ දී විනාශ වූ බස්වලට තවමත් වන්දි නොලැබුණු බව ගැමුණු විජේරත්න පවසයි
(09.05.2023 – 17:01 +0530 – hirunews.lk/sinhala)
අරගලය අතරතුර මැයි 09 වෙනිදා රටේ සිදුවූ සිදුවීමට වසරක් ගත වුවත් ගිනි තබා විනාශ කළ බස් රථ වෙනුවෙන් කිසිදු වන්දි ප්‍රදානයක් මේ දක්වා සිදුකර නොමැති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.
එම සිදුවීමෙන් බස්රථ 32 ක් සම්පූර්ණයෙන් විනාශ වී බස්රථ පනහකට (50) අධික සංඛ්‍යාවක් අර්ධ හානි සිදු වූ බවයි ඔහු ප්‍රකාශ කළේ.
වන්දි නොලැබුණු නිසා බස් රථ හිමියන් දැඩි දුෂ්කර තත්වයකට මුහුණ දී ඇති බවත් බස් රථ සේවකයන්ට මේ දක්වා රැකියාව අහිමි වී ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන්කර සිටියා.
විපතට පත් දේශපාලනඥයන්ට අවශ්‍ය සහන වැඩපිළිවෙළක් රජය මගින් සකස් කළ ද විනාශ වූ බස් රථ වෙනුවෙන් එවැනි කිසිදු වැඩපිළිවෙලක් මේ දක්වා ක්‍රියාත්මක කර නොමැති බවයි ගැමුණු විජේරත්න පවසන්නේ ෴
දුම්රිය ස්ථානාධිපතිවරුන් අද (09) මධ්‍යම රාත්‍රියේ සිට සංකේත වර්ජනයක
(09.05.2023 – 17:06 +0530 – hirunews.lk/sinhala)
අද (09) මධ්‍යම රාත්‍රියේ සිට සංකේත වැඩවර්ජනයක නිරතවීමට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.
දූෂණ චෝදනා එල්ලවී ඇති පුද්ගලයෙකුට වාණිජ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී තනතුර පිරිනැමීම සම්බන්ධයෙන් විරෝධය පළ කිරීම සඳහා මෙම තීරණය ගෙන ඇත්තෙ එහි විධායක සභාව අද රැස්වූ අවස්ථාවේදියි ෴
සීනි මිල වැඩිවීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය වාර්තාවක් කැඳවයි
(09.05.2023 – 18:25 +0530 – hirunews.lk/sinhala)
වෙළඳපොලේ සීනි මිල ඉහළ යාම සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන ලෙස තමන් වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව වෙත තමන් නියෝග කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
ඉවත් කර තිබූ රුපියල් 3 ක රේගු බද්ද නැවත පැනවීමත් සමග සීනි කිලෝවක මිල රුපියල් 15 කින් සහ තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 10 කින් ඉහළ නැංවීමට අත්‍යාවශ්‍ය ආහාර ආනයනකරුවන්ගේ සංගමය තීරණය කළා.
මේ සම්බන්ධයෙන් අද (09) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් රංජිත් සියඹලාපිටිය රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය සියයට 13 කින් පහළ ගොස් ඇති අතර, ලෝක වෙළඳපොලේ තිරිඟු පිටි මිල ගණන් ද සියයට 15 කින් පහළ ගොස් ඇති බවයි.
එවැනි තත්ත්වයක් තුල සීනි සහ පාන්පිටි මිල ඉහළ යාමට කිසිදු හැකියාවක් නොමැති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ ෴
මැයි මුල් සතියේ පමණක් ඩෙංගු රෝගීන් 1,896 ක් වාර්තා වෙයි
(09.05.2023 – 08:06 +0530 – hirunews.lk/sinhala)
මැයි මාසයේ මුල් සතියේ දී ඩෙංගු රෝගීන් 1,896 දෙනෙකු මෙරටින් වාර්තා වී තිබෙනවා.
ඉන් වැඩිම පිරිසක් බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන කියා සිටියේ.
කෙසේ වෙතත් පසුගිය මස අවසන් සතියට සාපේක්ෂව මේ මාසයේ මුල් සතිය තුළ ගම්පහ දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන්ගේ අඩුවක් දක්නට ලැබෙන බවයි ඔහු ප්‍රකාශ කළේ.
කොළඹ, ගම්පහ වැනි වැඩි වශයෙන් රෝගීන් වාර්තා වන දිස්ත්‍රික්ක මූල් කරගනිමින් විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙන අතර සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේ මෝසම් වැසි හමුවේ නිවෙස් හා ඒ අවට පිරිසිදුව තබා ගන්නා ලෙසයි ෴
++++++++++++
ඩෙංගු ව්‍යාප්තිය කඩිනමින් වැළැක්වීමට ජනපතිගෙන් උපදෙස්
(09.05.2023 – 18:52 +0530 – hirunews.lk/sinhala)
ඩෙංගු ව්‍යාප්තිය වැළැක්වීමට කඩිනමින් පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපදෙස් දී තිබෙනවා.
ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි එම ක්‍රියාවලිය කඩිනමින් අරඹන ලෙසයි ජනාධිපති ලේකම්වරයා සියලු ම ප්‍රධාන ලේකම්වරුන්ට දැනුම් දී ඇත්තේ.
එමෙන් ම ඒ සඳහා හමුදාවට සහ පොලිසියට උපරිම සහයෝගය ලබා දෙන ලෙස ජනාධිපතිතුමන් උපදෙස් දී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ ෴
++++++++++++
ඩෙංගු පිළිබඳ සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමයෙන් ප්‍රකාශයක්
(09.05.2023 – 20:40 +0530 – hirunews.lk/sinhala)
වසංගත තත්ත්වයක් ඇතිවන තුරු ධූමායනය අත්හිටුවමින් සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කර ඇති චක්‍රලේඛය, ඩෙංගු අධිවසංගත තත්ත්වයක් බවට පත්වීමට ප්‍රධාන හේතුවක් බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසනවා.
අද (09) කොළඹ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී එහි සභාපති රවි කුමුදේශ් පෙන්වා දුන්නේ, ඩෙංගු රෝගීන් නිවැරදිව හඳුනාගැනීමේ කටයුතුද නිසි ලෙස ක්‍රියාත්මක නොවන බවයි.
මේ වනවිට මෙරටින් වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 31,920 ක්.
සෞඛ්‍ය අංශ දත්තවලට අනුව ඒ අතරින් බහුතරය බස්නාහිර පළාතෙන් වාර්තා වනවා.
එමෙන් ම මී උණ රෝගයේද යම් වර්ධනයක් මේ වනවිට දක්නට ඇති අතර, කොළඹ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ප්‍රකාශ කළේ, වෛද්‍ය උපදෙස් ලබාගැනීම තුලින් රෝගයේ සංකූලතා අවම කර ගත හැකි බවයි ෴
අමාත්‍ය ටිරාන් අලස්ගේ ඉල්ලීමට ඕමාන ව්‍යාපාරිකයා එකඟවෙයි
(09.05.2023 – 20:00 +0530 – hirunews.lk/sinhala)
ආරක්ෂාව තර කිරීමට දැඩි පියවර ගෙන ඇති බැවින් ශ්‍රී ලංකාව තුළ ව්‍යාපාර කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යන ලෙසට කටාන ‘අල් ඔබෙයිදානි’ ඇපරල් කර්මාන්තශාලාවේ හිමිකරුගෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ඉල්ලීමක් කර තිබෙනවා.
ඒ එම කර්මාන්තශාලාවේ හිමිකරු කලීෆා අල් ඔබෙයිදානි සමග පැවති සාකච්ඡාවකදීයි.
එමෙන්ම මෙම පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණයක් ඉටුකරන බවත් කර්මාන්තශාලාව පවත්වාගෙන යාමට අවශ්‍ය පූර්ණ ආරක්ෂාව ලබාදෙන බවටත් එහිදී ඕමාන ව්‍යාපාරිකයාට අමාත්‍යවරයා විසින් ප්‍රකාශ කර තිබෙනවා.
මේ අතර තමන් ඇතුලු අයෝජන මණ්ඩල නිලධාරින්ද මෙම ඕමාන ව්‍යාපාරිකයා සමග කළ සාකච්ඡාවේදී කර්මාන්තශාලාව මෙරටින් රැගෙන නොයාමට ඔහු එකගතාව පළ කළ බවයි අයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම ප්‍රකාශ කළේ.
කටාන – හල්පේ – කෝපියාවත්ත ප්‍රදේශයේ පිහිටි අල් ඔබෙයිදානි කර්මාන්තශාලාවේ කළමනාකරණ අධ්යක්ෂ කලීෆා අල්ඔබේදානි සහ ආරක්ෂක නිලධාරියෙකු එම කර්මාන්තශාලාවට පැමිණි පිරිසකගේ ප්‍රහාරයට ලක්ව රෝහල්ගත කෙරුණේ පසුගිය මාර්තු 30 වනදායි.
වාහන කුලී පදනම මත ලබාගැනීමට යාමේදී ඇතිවූ ආරවුලක් මත මෙම ප්‍රහාරය එල්ලවී තිබුණා.
පහරදීම සම්බන්ධයෙන් බඩල්ගම පොලිසිය විසින් අත්අඩංගුවට ගත් පුද්ගලයින් තුන්දෙනෙකු (3) කඩිනමින් මුදා හැරීම සම්බන්ධයෙන් කර්මාන්තශාලාවේ පාලනාධිකාරියෙන් සහ එහි සේවකයන්ගෙන් පොලිසියට චෝදනා එල්ලවුණා.
මේ අතර මෙම ප්‍රහාරයට එම ප්‍රදේශයේ රාජ්‍ය අමාත්‍යවරයෙකුගේ අධාරකරුවන් පිරිසක් සම්බන්ධ බවටයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා කියා සිටියේ.
කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ද පැමිණිල්ලක් ඉදිරිපත්ව ඇති බවයි හිරු ප්රවෘත්ති අංශයට මීට පෙර අනාවරණ වුණේ ෴
ආර්ථික මධ්‍යස්ථාන එළවළු මිල ගණන්
(09.05.2023 – 20:03 +0530 – hirunews.lk/sinhala)
ආර්ථික මධ්‍යස්ථාවල බෝංචි මිල ගණන් අද (09) තරමක ඉහළ අගයක සටහන් වුණා. පෑලියගොඩ මැනිං වෙළඳපොල මිල ගණන් අනුව බෝංචි කිලෝවක තොගමිල අද (09) දැක්වුණේ රුපියල් 350 ත් 400 ත් අතර අගයකින්.
මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේද එම මිලම සටහන් වූ අතර, දඹුල්ලේ බෝංචි රුපියල් 250 ක් වැනි අඩු අගයක් ගත්තා.
කෙසේ වෙතත් ආර්ථික මධ්‍යස්ථානවල කැරට් මිල ගණන් සටහන් වුණේ රුපියල් 100 ත් 190 ත් අතර අඩු අගයකින්. ලීක්ස් තොග මිලද රුපියල් 250 ඉක්මවා තිබුණේ නැහැ ෴
සිසුවියක් පාසලේ ගොඩනැගිල්ලක පළමු මහලින් පනී
(09.05.2023 – 21:38 +0530 – hirunews.lk/sinhala)
මහනුවර බාලිකා පාසලක අධ්‍යාපනය හදාරන 15 හැවිරිදි සිසුවියක් එම පාසලේ ගොඩනැගිල්ලක පළමු (1) මහලින් බිමට පැන තිබෙනවා.
තුවාල ලැබූ සිසුවිය මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව සඳහන්.
මෙම සිසුවිය ඊයේ (09) පෙරවරු 11:30 ට පමණ පාසලේ පිහිටා ඇති ගොඩනැගිල්ලක අඩි 15 ක් පමණ උසක සිට බිමට පැන ඇති බවයි වාර්තා වන්නේ.
එම සිසුවිය එම පාසලේ ශිෂ්‍ය නායිකාවක් ලෙසින් ද කටයුතු කරන අතර කටුගස්තොට කළුගමුව වත්ත ප්‍රදේශයේ පදිංචි කාරිනියක් බව සඳහන්.
තුවාල ලැබූ සිසුවිය එම පාසලේ ශිෂ්‍ය නායිකාවක් ලෙසින් ද කටයුතු කරන අතර කටුගස්තොට කළුගමුව වත්ත ප්‍රදේශයේ පදිංචි කාරිනියක් බව සඳහන්.
මෙම සිසුවියට ‘අමතක වීමේ රෝගයක්’ පවතින බව සිසුවියගේ දෙමව්පියන් විසින් පොලීසිය දැනුවත් කර තිබන බව වැඩිදුරටත් වාර්තා වනවා.
සිදුවීම පිළිබඳ කටුගස්තොට පොලීසිය වැඩිදුරටත් විමර්ශන ක්‍රියාත්මකයි ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴