කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්


කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්

(07.05.2023 – 16:56 +0530 – hirunews.lk/sinhala)

ගිණිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා සහ නාවික යාත්‍රා සඳහා අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර තිබෙනවා.

මේ වනවිට ගිණිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව වායුගෝලයේ කැලඹිලි ස්වභාවය වර්ධනය වී ඇති අතර එම නිවේදනය හෙට (08) දින පස්වරු 3 දක්වා බල පැවැත්වෙන බව එහි සඳහන්.

එම තත්ත්වය ඉදිරි දින කිහිපයේ දී අඩු පීඩන කලාපයක් දක්වාත් පසුව සුළි කුණාටුවක් දක්වාත් වර්ධනය විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

එම නිසා උතුරු අක්ෂාංශ 5-110 ත් අතර, නැගෙනහිර දේශාංශ 90-100 ත් අතර සහ උතුරු අක්ෂාංශ 1-4 ත් සහ නැගෙනහිර දේශාංශ 85-92 ත් අතර මුහුදු ප්‍රදේශවලට ඉදිරි දින කිහිපයේ දී යාත්‍රා නොකරන ලෙස ධීවර හා නාවික ප්‍රජාවට දැනුම් දී තිබෙනවා.

එහිදී එම ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදී සිටින පිරිසට වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා ෴


රාජ්‍ය සේවකයන්ට සුබ ආරංචියක්

(07.05.2023 – 15:06 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය සේවකයින් සඳහා අවසන් කාර්තුව තුළ වැටුප් වැඩිවීමක් සිදුකිරීමට රජය සැලසුම් කර ඇති බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පවසනවා.

එම මහතා ප්‍රකාශ කර සිටියේ රජය බලාපොරොත්තු වන ඉලක්ක වෙත ළඟා වුවහොත් එහි වාසිය මහජනතාවට හිමි වන බවයි.

රටේ ආර්ථිකය ස්ථාවර කර ගත් පසු අවසන් කාර්තුව වන විට රජයේ සේවකයන්ට වැටුප් වර්ධකයක් ලබා දීමට බලාපොරොත්තු වන බව ජනාධිපතිතුමන් ද ප්‍රකාශ කල බවයි පාලිත රංගෙ බණ්ඩාර ප්‍රකාශ කළේ ෴


නීති විරෝධී ලෙස රටින් පනින්න හැදූ පිරිසක් අත්අඩංගුවට

(07.05.2023 – 15:25 +0530 – hirunews.lk/sinhala)

මන්නාරම, එරුක්කුලම්පිඩ්ඩි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ දී නීති විරෝධී ලෙස මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ දෙමළ වැසියන් 06 දෙනෙකු සමඟ ඩිංගි යාත්‍රාවක් ඊයේ (06) දිනයේ අත්අඩංගුවට ගත් බව මන්නාරම පොලිසිය පවසනවා.

මෙම පිරිස එකම පවුලකට අයත් පිරිසක් වන අතර ඔවුන් මන්නාරම ප්‍රදේශයෙන් ඩිංගි යාත්‍රාවක් කුළියට ගෙන ඉන්දියාවට පලා යාමට උත්සහ කර තිබෙන බවයි වාර්තා වන්නේ.

නාවික නෞකා ගජබා ආයතනය මඟින් මන්නාරම, එරුක්කුලම්පිඩ්ඩි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී එම මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරමින් තිබූ සැක කටයුතු ඩිංගි යාත්‍රාවක් පරීක්ෂාවට ලක් කර තිබෙනවා.

එම යාත්‍රාවේ සිටි පිරිස අතර වැඩිහිටි පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු (2) එක් (1) කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු (3) ඇතුළු හය (6) දෙනෙකු සිට ඇති අතර නාවිකව විසින් ඔවුන් තම භාරයට ගෙන තිබෙනවා.

එලෙස නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් පිරිස වව්නියාව සහ මන්නාරම යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවයි මූලික පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ ෴


සරණාගතභාවය ඉල්ලා යාපනයේ පිරිසක් ඉන්දියාවට

(07.05.2023 – 09:47 +0530 – hirunews.lk/sinhala)

යාපනයේ සිට ධීවර බෝට්ටුවක ආධාරයෙන් දස (10) දෙනෙකුගෙන් සමන්විත පිරිසක් ඉන්දියාවේ තමිල්නාඩූ ප්‍රාන්තයට පළා ගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

එම පිරිස මේ වනවිට මණ්ඩපම් සරණාගත කදවුරට ‍රැගෙන ගොස් ඇතැයි වාර්තා වනවා.

ඉන්දියාවට පළා ගිය මෙම පිරිස රාමේස්වරන් ප්‍රදේශයට ළගා වීමෙන් පසුව රාමේස්වරන් වෙරළාරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන පොලීසිය වෙත බාර දී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර සිටියේ.

පොලීසිය හා මණ්ඩපම් සරණාගත කදවුරේ නිලධාරීන් මේ පිරිසගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඔවුන්ට ඉන්දියාවේ සරණාගතභාවය ලබා දිමට තීරණය කර තිබෙනවා.

ගත වූ වසරක කලය ඇතුළත උතුරු පළාතේ සිට පුද්ගලයින් 236 දෙනෙකු ඉන්දියාවට පලා ගොස් එරට සරණාගතභාවය ඉල්ලා ඇති අතර ඉන් හතර (4) දෙනෙකුට හැරෙන්නට ඉතිරි 232 දෙනාටම සරණාගතභාවය ලැබී තිබෙන බවයි සඳහන් වන්නේ ෴


දක්ෂිණ අධිවේගී මාර්ගයේ රිය අනතුරකින් පිරිසක් රෝහලේ

(07.05.2023 – 16:44 +0530 – hirunews.lk/sinhala)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව පිවිසුම ආසන්නයේ දී සිදුවූ රිය අනතුරකින් එකම පවුලේ සාමාජිකයින් පිරිසක් තුවාල ලබා තිබෙනවා

පොලීසිය පැවසුවේ කොළඹ දෙසට ධාවනය වූ මෝටර් රථයක් එම දෙසටම ධාවනය වූ වෑන් රථයක පිටුපස ගැටීමෙන් අද (07) පස්වරුවේ එම අනතුර සිදුව ඇති බවයි

මෝටර් රථයේ ගැටුණු වෑන් රථය මාර්ගයේ පෙරළී ගොස් ඇති අතර මෝටර් රථය අධිවේගී මාර්ගයේ ආරක්ෂිත වැටේ ගැටී තිබෙනවාද්.

අනතුරින් වෑන් රථයේ සිටි 09 හැවිරිදි දැරියක් (1), කාන්තාවන් දෙදෙනෙකු (2) සහ පිරිමි පුද්ගලයෙකු (1) තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුළත් කර තිබෙන බවයි පොලිසිය පවසන්නේ ෴


දිඹුලාගල රිය අනතුරකින් එක්දරු පියෙක් ජීවිතක්ෂයට

(07.05.2023 – 17:50 +0530 – hirunews.lk/sinhala)

දිඹුලාගල මංසන්ධියේදී සිදු වූ රිය අනතුරකින් විදෙස් ගත වීමට අපේක්ෂාවෙන් සිටි එක්දරු පියෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

දරුවා සසුන්ගත කළ දිනයේදී ම රාත්‍රී දිඹුලාගල මංසන්ධියේදී ඔහු ගමන් කළ යතුරුපැදිය වෑන් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ දිඹුලාගල සෝරුවිල දමිළ ගම්මානයේ පදිංචි පුද්ගලයෙක්.

පසුගිය වෙසක් පොහොය දිනයේ දී තම අවුරුදු හයක් (6) වයසැති එකම දමිළ පිරිමි දරුවා වන දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේදී සසුන්ගත කර තිබෙනවා.

දරුවා සම්බුද්ධ ශාහයට පුජාකර විදෙස් ගතවීමටයි මෙම පියා අපේක්ෂාවෙන් සිට ඇත්තේ.

දිඹුලාගල කුඩාවැව ගම්මානයේ පදිංචි වෑන් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු කියා සිටියේ.

මෙම අනතුරෙන් එක් දරු පියා සමඟ ගමන් ගත් අනෙක් පුද්ගලයාද බරපතළ තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අනතුර සිදුවන විට ඔවුන් දෙදෙනාම (2) ආරක්ෂිත හිස්වැසුම් පැළඳ නොසිටි බවටයි විමර්ෂණ වල දී අනාවරණය වී ඇත්තේ.

මියගිය පුද්ගලයාගේ පුත්‍රයා වෙසක් පොහොය දින දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේදී සොරිවිල සිරිධම්මාලංකාර නමින් පැවිදි බිමට පිවිස ඇති අතර එම සාමනේර හිමි නමගේ මව ද මේ වනවිට විදෙස් ගතව සිටින බව සඳහන් ෴


පොලිස් භට නිවාසයේ කලහකාරීව හැසිරුණු කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට

(07.05.2023 – 17:52 +0530 – hirunews.lk/sinhala)

අධික ලෙස බීමත්ව පොලිස් භට නිවාසය තුල කලහකාරී ලෙස හැසිරුණු පොලිස් කොස්තාපල්වරයෙකු ත්‍රිකුණාමලය පොලිසිය විසින් ඊයේ (06) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ත්‍රිකුණාමලය පරණ පොලිස් ස්ථානයේ භට නිවාසය තුල මෙම කොස්තාපල්වරයා බීමත්ව කලහකාරී ලෙස හැසිරී ඇති බවයි පොලිසිය පවසන්නේ

ත්‍රිකුණාමලය පොලිසිය පවසන්නේ අත්අඩංගුවට ගන්නා අවස්තාවේ දී ඔහු සතුව ගෝඩා සහිත ප්ලාස්ටික් බෝතලයක් ද තිබී සොයාගත් බවයි ෴


අනතුරකින් තුවාල වූ කාන්තාවගෙ මාලයත් සොරා අරන්

(07.05.2023 – 18:13 +0530 – hirunews.lk/sinhala)

රිය අනතුරකින් තුවාල ලබා සිටි කාන්තාවක් රෝහලට ගෙන යාමේදී ඇයගේ ගෙල බැඳි රන් මාලය සොරා ගත් පුවතක් කෝපායි පොලිස් බල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

ඇයගේ 72 හැවිරිදි සැමියා විසින් ඇයව රෝහල් ගත කිරීමට යාමේ දී මෙම සිදුවීම සිදුව ඇති බවයි කෝපායි පොලිසිය පවසන්නේ ෴


අනුරාධපුර – තලාව රක්ෂිතයක තිබී අභිරහස් ලෙස මියගිය අයෙකුගේ සිරුරක් හමුවෙයි

(07.05.2023 – 18:21 +0530 – hirunews.lk/sinhala)

අනුරාධපුර – තලාව – නබඩවැව – ඉදිගස්පොතාන රක්ෂිතයේ තිබී අභිරහස් ලෙස මියගිය අයෙකුගේ සිරුරක් හමුවී තිබෙනවා.

මෙලෙස මියගොස් ඇතතේ තලාව – කරගහවැව ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි දෙදරු පියෙක්.

මෙම පුද්ගලයා ඊයේ (07) ඉදිගස්පොතාන රක්ෂිතය ආසන්නයේ ඇති තම හේනට ගොස් නැවත නිවසට නොපැමිණිම හේතුවෙන්, ඥාතීන් සහ ප්‍රදේශවාසින් එක්ව අවට ප්‍රදේශය සෝදිසි කර තිබෙනවා.

එහිදී ඔහුගේ යතුරුපැදිය ඉදිගස්පොතාන රක්ෂිතයට යාබඳ නිවසක තිබී සොයා ගෙන ඇති අතර අද (07) උදෑසන ඔහු මියගොස් සිටියදී සොයා ගත් බවයි පොලිසිය සඳහන් කළේ ෴


පොලිස්පතිවරයාට සේවා දිගුවක්?

(07.05.2023 – 19:07 +0530 – hirunews.lk/sinhala)

පොලිස්පතිවරයාට තවත් සේවා දිගුවක් ලබා දීමට රජය තීරණය කර ඇති බව ඉහළ මට්ටමේ දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

පසුගිය මාර්තු මාසයේ විශ්‍රාම යාමට නියමිත තිබූ පොලිස්පති සි.ඩී. වික්‍රමරත්න හට ජනාධිපතිවරයා විසින් මාස තුනක (3) සේවා දිගුවක් ලබා දී තිබෙනවා.

එය ජුනි මාසයෙන් අවසන් වන බැවින් තවත් සේවා දිගුවක් ලබා දීමට මෙලෙස රජය තීරණය කර ඇති බවයි එම දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ ෴


භාණ්ඩ ප්‍රවාහන දුම්රියේ මෝටර් රථයක් ගැටෙයි

(07.05.2023 – 19:26 +0530 – hirunews.lk/sinhala)

මහනුවර සිට බදුල්ල දක්වා ධාවනය වූ භාණ්ඩ ප්‍රවාහන දුම්රියේ මෝටර් රථයක් ගැටී අද (07) දින දහවල් අනතුරක් සිදුව තිබෙනවා.

හපුතලේ සතිපොළ මාර්ගයේ දුම්රිය හරස් මාර්ගයක දී එම අනතුර සිදුව තිබෙන බවයි වාර්තා වන්නේ.

මෝටර් රථය දුම්රියේ ගැටෙනවාත් සමග ඉවතට විසි වී ගොස් ඇති අතර එහිදී සිදුවීමට ගිය විශාල ඛේදවාචකයක් වැළකී ගොස් තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේ දී මෝටර් රථයේ මොණරාගල ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ සිව්දෙනෙකු (4) සිට ඇති අතර, ඔවුන්ට කිසිදු තුවාලයක් සිදුව නොමැති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

දුම්රිය ගේට්ටු මුරකරුවෙක් නොමැති වීම හේතුවෙන් එම අනතුර සිදුව අතර ප්‍රදේශවාසීන් පවසන්නේ බොහෝ අවස්ථාවලදී එම ස්ථානයෙන් දුම්රිය ධාවනය වනවිට ගේට්ටුව විවෘතව පවතින බවයි ෴


නාරාහේන්පිට මහජන සෞඛ්‍ය කාර්යාලයේ එන්නත් අවදානමක්

(07.05.2023 – 19:43 +0530 – hirunews.lk/sinhala)

නාරාහේන්පිට ලේ බැංකුව ආසන්නයේ පිහිටි මහජන සෞඛ්‍ය ගොඩනැගිලි සංකිර්ණයේ ජෙනරේටරය ක්‍රියාවිරහිත වීමෙන් එහි ගබඩා කර ඇති ඖෂධ සහ එන්නත් භාවිතයට නුසුදුසු තත්ත්වයට පත්වීමේ අවදානමක් මතුව තිබෙනවා.

අදාළ ගොඩනැගිල්ලේ ඊයේ (06) රාත්‍රියේ සිට වරින්වර විදුලිය බිඳවැටි අතර එය අද (07) පස්වරුව දක්වා යථා තත්ත්වයට පත් කිරීමට විදුලි බල මණ්ඩලයේ නිලධාරින්ට හැකිවී තිබුනේ නැහැ.

ඩෙංගු, ජල භිතිකා, මැලේරියා , පාසල් සෞඛ්‍ය, බරවා වැනි ඒකක මෙම ගොඩනැගිල්ලේ පවතිනවා.

ඊට අදාල පර්යේෂණාගාර විද්‍යාගාර මෙන්ම ඖෂධ ගබඩාවන්ද මෙහි ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ ජෙනරේටරය මීට පෙර අලුත්වැඩියා කළ නමුත් එය යළි අක්‍රිය වී ඇති බවයි අනාවරණය වූයේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *