බෙලිහුල් ඔයේ ගිලී දැරියක් මරුට

බෙලිහුල් ඔයේ ගිලී දැරියක් මරුට


බෙලිහුල් ඔයේ ගිලී දැරියක් මරුට

(06.05.2023 – 19:56 +0530 – hirunews.lk/sinhala)

මතුරට – අඹගස්පිටිය ප්‍රදේශයේ බෙලිහුල්ඔයේ දිය නාමින් සිටි කුඩා දරුවෙකු සහ දැරියක් අද (06) දියේ ගිලී තිබෙනවා.

ප්‍රදේශවාසීන් විසින් දැරිය ගොඩට ගෙන රිකිල්ලගස්කඩ රෝහලට ඇතුලත් කර ඇති අතර ඒ වන විටත් ඇය මියගොස් සිටි බවයි වාර්තා වන්නේ.

මිය ගිය දැරිය වයස අවුරුදු 13 ක් වන මතුරට තබරාව ප්‍රදේශයේ පදිංචිකාරියක්.

අතුරුදන් වූ දරුවා එම ලිපිනයේම පදිංචි වයස අවුරුදු 12 ක දරුවෙක් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මියගිය දැරිය තම ඥාති සහෝදරයකු වන පිරිමි දරුවා සහ අවුරුදු 21 ක් පමණ වන ඔවුන්ගේ ඥාති සහෝදරියක් ද සමඟ පදියපැලැල්ල විහාරස්ථානයේ පැවති ධාතු ප්‍රදර්ශනය නැරඹීමට ගොස් තිබෙනවා.

ඉන් අනතුරුව දිය නෑම සඳහා මොරපාය විහාරය අසලින් ගලා බසින බෙලිහුල් ඔයට ගොස් දිය නාමින් සිටිය දී දැරිය ඔයේ ගිලි ගසාගෙන යාමේදී ඇය බේරාගැනීමට කුඩා දරුවා උත්සාහ කර තිබෙන අතර එහිදී දෙදෙනාම (2) දියේ ගසාගෙන ගොස් ඇති බවයි මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

පසුව ප්‍රදේශවාසීන් දැරිය ගොඩට ගෙන රෝහල් ගත කර ඇති අතර අතුරුදන් වූ දරුවා මෙතෙක් හමු වී නොමැති බවයි වාර්තා වන්නේ.

මතුරට පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව අතුරුදන් දරුවා සෙවීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා.

මියගිය දැරියගේ මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා රිකිල්ලගස්කඩ් රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර මතුරට පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි ෴


දියබෙදුම නගරයට වන අලියෙක් කඩා වදී

(06.05.2023 – 20:48 +0530 – hirunews.lk/sinhala)

දියබෙදුම නගරයට කඩා වැදුණ වන අලියෙකු කුලප්පු වී නගරයේ කඩ සාප්පු හා වාහනවලට පහර දී හානි කර තිබෙනවා.

මෙසේ නගරයට කඩා වැදුණු වන අලියා අලුයම කාලයේ දී එම ප්‍රදේශයේ රෝහල වෙතට පැමිණ එහි සිර වී ඇති අතර මිනිසුන් දැකීමෙන් කලබලයට පත් වීම නිසා මෙසේ කුලප්පු වී ඇති බවයි වර්තා වන්නේ.

අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ අලියා මඟ දෙපස තිබූ වාහනවලට හා කඩ සාප්පුවලට විශාල වශයෙන් හානි කර ඇති බවයි.

නගරයේ සිටි ජනතාව ආරක්ෂිත ස්ථාන කරා දිව ගොස් තිබෙන අතර කිසිදු පුද්ගලයෙකුට හානි සිදු වී නොමැති බවයි වාර්තා වන්නේ.

+


වල් අලි ප්‍රහාරයකින් සෙබළෙක් මරුට

(06.05.2023 – 22:56 +0530 – hirunews.lk/sinhala)

ගෝමරන්කඩවල කරගහවැව ගම්මානයට අද (06) සවස අලි රංචුවක් කඩා වැදී තිබෙනවා.

එම අලි රංචුව එළවීමට නිලධාරීන් පිරිසක් ඉදිරිපත් වී ඇති අතර එහි සිටි සිවිල් ආරක්ෂක බළකායේ භටයෙකුට වල් අලියකු පහරදී තිබෙන බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.

අලියාගේ පහර දීමෙන් සිවිල් ආරක්ෂක නිළධාරියා එම අවස්ථාවේදීම මිය ගිය බව ගෝමරන්කඩවල පොලීසිය සඳහන් කළා.

මෙසේ මියගොස් ඇත්තේ ආනන්ද ගාමිණි නැමැති සිවිල් ආරක්ෂක බළකායේ භටයෙක්.

වනජීවී නිලධාරීන් සහ සිවිල් ආරක්ෂක බළකායේ කණ්ඩායමක් කරගහවැව ගම්මානයට කඩා වැදුණු වල් අලි රංචුව එළවීමට උත්සහ කිරීමේ දී අදාළ නිළධාරියාට මෙම පහර දීම සිදු වී ඇතැයි ගෝමරන්කඩවල පොලිසියේ නිලධාරියෙක් වැඩිදුරටත් සඳහන් කළා ෴


ජුලි මාසයේ විදුලි බිලට සහනයක්

(06.05.2023 – 19:14 +0530 – hirunews.lk/sinhala)

ජුලි මාසය වන විට විදුලිබිල සඳහා යම් සහනයක් ලැබෙනු ඇති බව වැවිලි කර්මාන්ත අමාත්‍ය ‍වෛද්‍ය රමේෂ් පතිරණ පවසනවා.

එය තේ කර්මාන්තයට ද ශක්තියක් වනු ඇති බවයි අමාත්‍යවරයා ප්‍රකාශකර සිටියේ.

කොටපොළ ඓතිහාසික ගැටබරු විහාරස්ථානයේ පැවති වාර්ෂික තේ මංගල්‍යයට එක් වෙමින් ඔහු මේ අදහස් පැවසූ බවයි වාර්තා වන්නේ ෴


අවුකන පුරාණ රජමහා විහාරස්ථානයට ආරක්ෂාව ඉල්ලයි

(06.05.2023 – 19:30 +0530 – hirunews.lk/sinhala)

අවුකන පුරාණ රජමහා විහාරස්ථානයට මේ වන විට කිසිදු ආරක්ෂාවක් නොමැති වීම හේතුවෙන් විහාර භුමිය නිදන් හොරුන්ගේ ග්‍රහණයට ලක්ව ඇති බව අවුකන රජමහා විහාරාධිපති පුජ්‍ය ශාස්ත්‍රවෙල්ලියේ ධම්මකිත්ති හිමියන් ප්‍රකාශ කළා.

පසුගිය වසරේ (2022) සිට අවුකන විහාරස්ථානයේ ආරක්ෂාව සඳහා යොදවා තිබූ පොලිස් නිළධාරින් ඉවත් කිරිම හේතුවෙන් මෙම තත්ත්වය මතුව ඇති බවයි උන්වහන්සේ සඳහන් කළේ ෴


සැරසිලි ආනයන තහනමෙන් රුපියල් මිලියන 900 ක ඉතිරියක්

(06.05.2023 – 08:03 +0530 – hirunews.lk/sinhala)

වෙසක් සැරසිලි සඳහා ආනයන තහනමක් පනවා තිබුණා.

එම තහනම නිසා රුපියල් මිලියන 900 ක් ඉතිරි වූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

රුවන්වැල්ල ප්‍රදේශයේ ඊයේ (05) පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ පිළිබඳව ප්‍රකාශකර සිටියා.

තරඟකාරී මිල ගණන් යටතේ තම නිෂ්පාදන අලෙවි කිරීමට හැකි දේශීය නිෂ්පාදකයින් සඳහා නව වෙළෙඳපොළක් නිර්මාණය කළ බවයි ඔහු සඳහන්කර සිටියේ.

ආනයනය තහනම් කළ ද මෙවර වෙසක් සැරසිලි සහ ප්‍රදර්ශනවල අඩුවීමක් සිදු නොවූ බව ද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශකර සිටියා ෴


කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥධාතුන් වහන්සේ පුදන හිරු උත්තම ධාතු වන්දනාව අද (06) සිට

(06.05.2023 – 08:06 +0530 – hirunews.lk/sinhala)

හිරු ශාක්‍යසිංහ මංගල්‍යයට සමගාමීව පැවැත්වෙන හිරු උත්තම ධාතු වන්දනා – කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතු වන්දනාව ඓතිහාසික තිස්සමහාරාම පුදබිමේදී අද (06) උදෑසන හතට (7) ආරම්භ වුණා.

මේ වන විටත් අති විශාල බැතිමතුන් පිරිසක් ධාතූන් වහන්සේ වැද පුදා ගැනීම සඳහා එහි පැමිණ සිටින බව සඳහන්.

හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයක් අනුව වසර ගණනාවක් පුරා හිරු උත්තම ධාතු වන්දනා – කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතු වන්දනාව ක්‍රියාත්මක වන්නේ බැතිමතුන්ගේ නොමඳ ආශිර්වාදය මධ්‍යයේයි.

ඒ වෙනුවෙන් පැමිණෙන සියලුදෙනාට අවශ්‍ය සියලු පහසුකම් හිරු මාධ්‍ය ජාලය තිස්සමහාරාම පුදබිමේ සංවිධාන කර තිබෙනවා.

වස්කඩුව ශ්‍රී සුභූති විහාරයේ තැන්පත් කර තිබූ කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥධාතූන් වහන්සේ මෙන්ම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පාත්‍ර ධාතූන් වහන්සේ ද තිස්සමහාරාම පුදබිමට සුබ මොහොතින් වැඩම කරවනු ලැබුවා.

ඒ ධාතූන් වහන්සේ වෙනුවෙන් සිදු කෙරෙන පුදපූජා කටයුතු සම්පූර්ණ කිරීමෙන් අනතුරුවයි.

ඒ අනුව අද (06) පෙරවරු හතේ (7) සිට බැතිමතුන්ට ධාතූන් වහන්සේ වැඳ නමස්කාර කළ හැකියි.

සම්බුදු තෙමගුල සිහි කරමින් වෙසක්පුර පසළොස්වක පොහොය වෙනුවෙන් හිරු මාධ්‍ය ජාලය සංවිධාන කළ හිරු ශාක්‍යසිංහ මංගල්‍යය ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ගේ ආශිර්වාද මැද ඓතිහාසික තිස්සමහාරාම පුද බිමේදී ඊයේ (05) දින පුරා ක්‍රියාත්මක වුණා.

හිරු උත්තම ධාතු වන්දනා කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතු ප්‍රදර්ශනය අනිද්දා දක්වා පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා ෴


සිරිපා වන්දනා වාරය අවසන්

(06.05.2023 – 17:42 +0530 – hirunews.lk/sinhala)

සිරිපා වන්දනා වාරය අවසන් කරමින් සිරිපා මළුවේ තැන්පත් කර තිබූ සධාතුක කරඬුව, සමන්දේව ප්‍රතිමාව සහ දේවාභරණ පැල්මඩුල්ල – ගල්පොත්තාවල රජමහා විහාරස්ථානය වෙත වැඩම කරවීම අද (06) සිදු කෙරුණා.

මීළග සිරිපා වන්දනා වාරය එළඹෙනතුරු චාරිත්‍රානුකූලව එම පූජා භාණ්ඩ ගල්පොත්තාවල රජමහා විහාරස්ථානයේ තැන්පත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

මේ අතර, අවාරයේ සිරිපා කරුණා නොකරන ලෙසත් එසේ සිදුකරන්නේ නම් පරිසරය සහ පුදබිම ආරක්ෂා කර ගන්නා ලෙසත් ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ශ්‍රී ධම්මදින්න නාහිමියන් බැතිමතුන්ගෙන් ඉල්ලා සිටියා ෴


ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළට ජපානයේ සහාය

(07.05.2023 – 06:51 +0530 – hirunews.lk/sinhala)

ආසියානු සංවර්ධන බැංකුවේ පාලක මණ්ඩලයේ 56 වන වාර්ෂික රැස්වීම අමතමින් ජපාන මුදල් අමාත්‍ය සුසුකි සඳහන් කළේ ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා සහයෝගය ලබාදෙන බවයි.

අනාගත ණය අර්බුදය වළක්වා ගැනීම සඳහා ණය දත්ත විනිවිදභාවය සහ නිර්වද්‍යතාවය වැඩිදියුණු කිරීම අත්‍යවශ්‍යය බව එහිදී ජපානයේ මුදල් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය තුළින් බැංකු පද්ධතියට ගැටලුවක් නොවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව මෙම මස අවසන්විමට ප්‍රථම පුළුල් විග්‍රහයක් කිරීමට බලාපොරොත්තු වන බව ද රංජිත් සියඹලාපිටිය අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළා.

ශ්‍රී ලංකාව සිය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්ම මේ මස අගදී එළිදැක්වීමට නියමිතයි.

දළ දේශීය නිෂ්පාදිතයට බදු සහ ණය අඩු කිරීමේ රජයේ සැලසුම් පිළිබඳව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ඊයේ (06) මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කළා.

ආදායම් ඉලක්ක සපුරා ගත් පසු ඉදිරි වසර පහ තුළ රජය ක්‍රමානුකූලව බදු අඩු කරන බවයි සියඹලාපිටිය අමාත්‍යතුමන් එහි දී සඳහන් කළේ.

ශ්‍රී ලංකාවේ ණය බර දැනට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 128 ක් වන අතර ඉදිරි වසරවලදී එය සියයට 95 දක්වා අඩු කිරීමට නියමිත බවයි ඔහු ප්‍රකාශ කළේ.

රජයට තවමත් සපුරා ගැනීමට ඇති දුෂ්කර ඉලක්ක කිහිපයක් ඇති නමුත් එම සැලැස්ම සාර්ථක වනු ඇති බවට තමන් විශ්වාස කරන බව ද අමාත්‍යතුමන් වැඩිදුරටත් ප්‍රකාශකර සිටියා ෴


ප්‍රහාරයට ලක්වූ ඕමාන ව්‍යාපාරිකයා මෙරට කර්මාන්තශාලාව ඉවත්කර ගැනීම අරඹයි

(07.05.2023 – 09:39 +0530 – hirunews.lk/sinhala)

ප්‍රහාරයකට ලක්වූ කටාන ‘අල් ඔබේදාන් ඇපරල් කර්මාන්තශාලාවේ’ හිමිකරු වන ඕමාන ජාතිකයා සිය කර්මාන්තශාලාව ඉවත්කර ගැනීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව වාර්තා වනවා.

එහි මූලික අදියර යටතේ කර්මාන්තශාලාවේ තිබූ විශාල රෙදි තොගයක් ගබඩාවලින් ඉවත්කර ඕමානයේ කර්මාන්තශාලාවක් වෙත යැවීමට කටයුතු කර ඇති බව සඳහන්.

කර්මාන්තශාලාව ඉවත්කර ගැනීමට විරෝධය පළකරමින් එහි සේවකයින් පිරිසක් විරෝධතා ව්‍යාපාරයක නිරත වූ අතර එහි භාණ්ඩ පිටතට ගෙනයෑමට නොහැකි වන ලෙස අවහිර කිරීමට ද කටයුතු කළා.

පසුව පොලිසිය මැදිහත්ව විරෝධතාකරුවන් ඉවත් කර අමුද්‍රව්‍ය ඉවත්කර ගැනීමට පහසුකම් සලසා දුන්නා.

ඉකුත් මාර්තු 30 වැනිදා රාත්‍රියේ ප්‍රහාරයට ලක්වීමෙන් පසු මෙම ඕමාන් ජාතික ව්‍යාපාරිකයා කටානේ පිහිටි සිය කර්මාන්තශාලා භූමිය වෙත කිසිම අවස්ථාවක පැමිණ තිබුණේ නැහැ.

වාහන කුලී පදනම මත ලබාගැනීමට යෑමේදී සිදුවූ ආරවුලක් මත ප්‍රදේශයේ දේශපාලඥයෙකුගේ සහයකයන් පිරිසක් මෙම ඕමාන ජාතික ව්‍යාපාරිකයාට සහ ඔහුගේ ආරක්‍ෂක නිලධාරීන්ට පහර දී ඇති බවටයි වාර්තා වුණේ.

රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධගේ නම මෙම පහරදීම හා සම්බන්ධ කරමින් විවිධ වාර්තා පළවී තිබුණා.

ඒ හේතුවෙන් හිරු ප්‍රවෘත්ති අංශය රාජ්‍ය අමාත්‍යවරයාගෙන් විමසූ අතර, ඔහු කියා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණයක් සිදුකරන ලෙසට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර ඇති බවයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *