ඉතිහාසයේ ප්‍රථම වරට තිස්සමහාරාම සෑ රජුන් ෂඩ් (6) වර්ණයෙන් ආලෝක වෙයි

ඉතිහාසයේ ප්‍රථම වරට තිස්සමහාරාම සෑ රජුන් ෂඩ් (6) වර්ණයෙන් ආලෝක වෙයි


ඉතිහාසයේ ප්‍රථම වරට තිස්සමහාරාම සෑ රජුන් ෂඩ් (6) වර්ණයෙන් ආලෝක වෙයි

(05.05.2023 – 23:45 +0530 – hirunews.lk/sinhala)

උතුම් සම්බුදු තෙමඟු‍ල වෙනුවෙන් හිරු ටී.වී., හිරු එෆ්.එම්. ප්‍රමුඛ හිරු මාධ්‍ය ජාලය සංවිධාන කළ හිරු ශාක්‍යසිංහ මංගල්‍යය ඓතිහාසික තිස්සමහාරාම පුද බිම කේන්ද්‍ර කරගනිමින් පැවැත්වුණා.

ඒ දහස් සංඛ්‍යාත බැතිමතුන්ගේ සහභාගිත්වයෙන්.

ඉතිහාසයේ ප්‍රථම වරටයි තිස්සමහාරාම සෑ රජු ෂඩ්වර්ණ විදුලි ආලෝකයෙන් වර්ණවත් වන්නේ.

ගෞතම බුදුරජාණන් වහන්සේගේ 03 වන ලංකාගමනයේ දී 500 ක් මහරහතන් වහන්සේ සමඟ සමවත් සුවයෙන් වැඩ සිටි ඓතිහාසික තිස්සමහාරාම රාජමහා විහාරස්ථානය – කකුසඳ, කෝණාගම, කාශ්‍යප මෙන්ම ගෞතම යන සිව් බුදුවරයාණන් වහන්සේගේම පාදස්පර්ෂයෙන් අති පාරිශුද්ධත්වයට පත් පිං බිමක්.

ඒ මහා පිං බිමේ සිට දාන, ශීල, භාවනා ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවෙන්ම උත්තම මුණිරදුන් පුදන හිරු ශාක්‍යසිංහ මංගල්‍යය පවත්වනු ලබන්නේ හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයකට අනුවයි.

උදෑසන 05:30 ට ඓතිහාසික තිස්සමහාරාම, සඳගිරි උභය රාජමහා විහාරාධිපති පූජ්‍ය ආචාර්ය දේවාලේගම ධම්මසේන නාහිමියන් විසින් උවැසි උවැසියන් අෂ්ඨාංග ශීලයේ සමාදන් කරමින් හිරු ශාක්‍යසිංහ මංගල්‍යය ආරම්භ කළා.

බොදු බැති දනන්ගේ වන්දනාමානය උදෙසා ඓතිහාසික තිස්සමහාරාම පුදබිමට සම්බුදු පිළිම පූජා කිරීම සිදු කෙරුණේ හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සුරතින්.

2018 වසරේ දී හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතා විසින් තිස්සමහාරාම පුදබිමට පූජා කළ සමාධි බුදු පිළිම වහන්සේ දෙනම (2) වෙත පූජෝපහාර පුද කළා.

එමෙන්ම ඓතිහාසික තිස්සමහාරාම චෛත්‍ය රාජයාණන් වහන්සේ සුවඳ දුමින් පුදා – සුවඳ මලින් පුෂ්පෝපහාර දැක්වීමේ මහා පුණ්‍ය කර්මයද පසුව සිදු කෙරුණේ හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන්.

අධිෂ්ඨාන පූජාවෙන් අනතුරුව ෂඩ්වර්ණ (6) විදුලි ආලෝකයෙන් විචිත්‍රවත්ව ඓතිහාසික තිස්සමහාරාම චෛත්‍ය රාජයාණන් වහන්සේ වෙත ආලෝක පූජාවක් පැවැත්වුණා.

මේ අතර, හිරු ශාක්‍යසිංහ මංගල්‍යයට සමගාමීව පැවැත්වෙන හිරු උත්තම ධාතු වන්දනා – කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතු වන්දනා වැඩසටහන ඓතිහාසික තිස්සමහාරාම පුදබිමේ දී හෙට (06) උදෑසන සිට ආරම්භ වනවා.

හිරු උත්තම ධාතු වන්දනාව වෙනුවෙන් කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥධාතූන් වහන්සේ මෙන්ම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පාත්‍රා ධාතූන් වහන්සේ ද තිස්සමහාරාම පුදබිමට වැඩම කෙරෙණු ඇති.

ඊට පෙර ඓතිහාසික වස්කඩුව ශ්‍රී සුභූති විහාරස්ථාන පරිශ්‍රයේ තැන්පත් කර ඇති සර්වඥ ධාතූන් වහන්සේ උදෙසා දහවල් සම්බුද්ධ පූජාව සිදු කෙරුණා.

දිවයිනේ නන් දෙසින් පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ගේ වන්දනාමානයට ඉඩ සලසන කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥධාතු වන්දනාව ලබන 8 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි ෴


අලිමංකඩ දී ව්‍යාජ මුදල් නෝට්ටු ජාවාරමක් කළ දෙදෙනෙකු (2) අත්අඩංගුවට

(05.05.2023 – 09:38 +0530 – hirunews.lk/sinhala)

රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටු 250 ක් සහ රුපියල් 500 ව්‍යාජ මුදල් නෝට්ටු 27 ක් සමඟ යාපනය විශ්ව විද්‍යාලයේ තරුණයෙකු ඇතුළු දෙදෙනෙකු අලිමංකඩ පොලිස් මාර්ග බාධකයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, යාපනය දෙස සිට කිලිනොච්චිය දෙසට ගමන් ගත් සැකකටයුතු යතුරු පැදියක් පලෙයි පොලිසිය විසින් ඊයේ (04) පස්වරුවේ නවතා පරීක්ෂා කළ අවස්ථාවේ දීයි.

යාපනය සරසවියේ ඉගෙනුම ලබන සිසුවා 24 හැවිරිදි වියේ පසුවන අතර අනෙක් සැකකරු 26 වන වියේ පසුවනවා.

පුදුකුඩුඉරිප්පු සහ මිරුසුවිල් ප්‍රදේශවල පදිංචිකරුවන් වන මොවුන්, වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භර දී තිබෙනවා ෴


පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරින්ට පහරදුන් සැකකරුවෙකු අත්අඩංගුවට

(05.05.2023 – 10:06 +0530 – hirunews.lk/sinhala)

වැටලීමක් සඳහා ගිය පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ කුරුණෑගල දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරින් පිරිසකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තුන් (3) දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නාරම්මල ප්‍රදේශයේ සත්ව ගොවිපොලක් තුළ බිත්තර තොග සඟවාගෙන සිටින බවට ලද තොරතුරක් මත ඒ පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා ගිය අවස්ථාවේයි ඊයේ (04) මෙම පහරදීම සිදුවුණේ.

මේ අතර පාලන මිල ඉක්මවා බිත්තර අලෙවිකළ වෙළදුන් තුන් (3) දෙනෙකු ඊයේ (04) නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂය (01) බැගින් රුපියල් ලක්ෂ 03 ක දඩයක් නියම කර තිබෙනවා ෴


හෝමාගම දී සිදු වූ අනතුරින් දෙදෙනෙකු (2) රෝහල් ගත කෙරේ

(05.05.2023 – 10:16 +0530 – hirunews.lk/sinhala)

හෝමාගම ගලවිලවත්ත හයිලේවල් මාර්ගයේ අද (05) අලුයම මොටර් රථ දෙකක් (2) මුහුනට මුහුණ ගැටී සිදුවු අනතුරින් යුධහමුදා නිළධාරියෙකු ඇතුළු දෙදෙනකු (2) බරපතළ තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

යුධ හමුදා කර්නල්වරයෙකුට අයත් මෝටර් රථයක් පනාගොඩ යුද හමුදධ හමුදා කඳවුරේ සිට කොළඹ දෙසට ධාවනය වෙමින් තිබිය දී කොළඹ දෙස සිට හෝමාගම දෙසට අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක් විරුද්ධ මන්තීරුවේ ධාවනය වූ යුධ හමුදා මෝටර් රථයේ ගැටී අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරින් යුධ හමුදා මොටර් රථය මාර්ගයෙන් ඉවතට පැන යාබද තාප්පයක ගැටී නැවතී ඇති අතර එහි ආරක්ෂිත බැලූන ක්‍රියාත්මක වීම නිසා එය පැදවූ යුධ හමුදා නිලධාරියාට අනතුරක් වී නොමැති බවයි සඳහන් වන්නේ.

නමුත් අනතුරට ලක් වූ අනෙක් මෝටර් රථයේ ‘එයාර් බෑලූන’ ක්‍රියාත්මක නෝවීම නිසා එහි රියදුරුගේ මුහුණට බරපතළ තුවාල සිදුව ඇති අතර ඔහු අද (05) උදෑසන ශල්‍යකර්මයකට යොමු කිරීමට නියමිතයි .

මෝටර් රථ දෙකටම (2) බරපතළ හානි සිදුව ඇති අතර මොටර් රථ දෙක (2) පොලිස් භාරයට ගත් අතර සිද්ධියට සම්බන්ධ රියදුරන් දෙදෙනා (2) සුව වූ වහාම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලීසිය සඳහන් කළේ.

+


කොරියානු සහ ජපන් රැකියා කෝටාව ඉහළට

(05.05.2023 – 10:57 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවට ලබා දෙන රැකියා කෝටාව ඉහළ නැංවීම සම්බන්ධයෙන් ජපානයේ සහ දකුණු කොරියාවේ බලධාරීන් සමග සිදු කළ සාකච්ඡා සාර්ථක බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

ඒ අනුව මේ වසර (2023) අවසානය වන විට එම අතිරේක රැකියා ප්‍රමාණය මෙරටට හිමිවනු ඇති බවටයි වාර්තා වන්නේ.

ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ සුබසාධනය ඉහළ නැංවීම සඳහා මැද පෙරදිග රටවල් කිහිපයක තානාපති අංශ සමඟ සාකච්ඡා සිදු කරන බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කර සිටියේ ෴


පොරවකින් පහර දී සිය බිරිඳ ඝාතනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

(05.05.2023 – 11:12 +0530 – hirunews.lk/sinhala)

පොරවකින් පහර දී සිය බිරිඳ ඝාතනය කළ පුද්ගලයෙකු ඇල්පිටිය පොලිසිය විසින් ඊයේ (04) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

35 හැවිරිදි දෙදරු මවක් මෙලෙස ඝාතනය කර තිබෙන බවයි පොලිසිය පවසන්නේ.

බිරිඳගේ තිබෙන අනියම් සම්බන්ධතාවයක් හේතුවෙන් මෙම සැකකරු ආරවුල් ඇතිකරගෙන ඇති බවත් ඊයේ (04) ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් මෙලෙස ඝාතනය සිදුවී ඇති බවත් පොලිසිය පවසනවා ෴


ප්‍රමිතියෙන් තොර පොල්තෙල් කන්ටේනරයකට මුද්‍රා තබයි

(05.05.2023 – 11:34 +0530 – hirunews.lk/sinhala)

ප්‍රමිතියෙන් තොර පොල් තෙල් තොගයක් සහිත කන්ටේනරයක් මුද්‍රාතැබිමට කැකිරාව මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් ඊයේ (04) කටයුතු කළා.

කැකිරාව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට අයත් අංගනයක ගබඩා කර තිබිය දී මෙලෙස සොයා ගෙන ඇති ප්‍රමිතියෙන් තොර පොල්තෙල් ප්‍රමාණය ලීටර් 23,000 ක් පමණ වන බවයි වාර්තා වන්නේ.

+


නව ආණ්ඩුකාරවරුන් පත් කිරීමේ සූදානමක්

(05.05.2023 – 13:12 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපතිවරයා බ්‍රිතාන්‍ය සංචාරය නිමකර දිවයිනට පැමිණි පසු නව ආණ්ඩුකාරවරුන් පත් කිරීමට නියමිත බව වාර්තා වනවා.

ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ මේ වනවිටත් ඒ සම්බන්ධයෙන් දැනටමත් ඇතැම් ආණ්ඩුකාරවරුන්ට දැනුම් දී ඇති බවයි.

උතුරු පළාත් ආණ්ඩුකාර ධුරය එක්සත් ජාතික පක්ෂයේ හිටපු අමාත්‍යවරයෙකු වන ජෝන් අමරතුංගට ලබාදීමට නියමිත බව පසුගිය දිනවල තොරතුරු වාර්තා වුණා.

එමෙන්ම, එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් කිහිපදෙනෙකු ආණ්ඩුකාර ධුර සඳහා ඉල්ලුම් කර ඇති බව සඳහන් ෴


පෙම්වතාගේ පොලු පහරින් පෙම්වතිය මරුට

(05.05.2023 – 13:55 +0530 – hirunews.lk/sinhala)

පොල්ලකින් පහර දී සිය පෙම්වතිය ඝාතනය කල පෙම්වතෙකු පල්ලෙකැලේ පොලිසිය විසින් අද (05) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පහරදීමෙන් ඝාතනයට ලක් වී ඇත්තේ තිස් පස් (35) හැවිරිදි පිළිමතලාව ප්‍රදේශයේ පදිංචිකාරියක්.

පෙම්වතියට තවත් පෙම්වතුන් සිටින බවට ඇති වූ සැකය මත දෙදෙනා (2) අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාම මෙම පහරදීමට හේතුව බව මූලික පොලිස් විමර්ශනවල දී අනාවරණය වී තිබෙනවා ෴


දියණිය අපයෝජනය කළ පියා සොයා විමර්ශන

(05.05.2023 – 14:26 +0530 – hirunews.lk/sinhala)

15 හැවිරිදි දැරියක අපයෝජනය කළ පියෙකු සොයා රිදිගම පොලීසිය විසින් විමර්ශන‍යක් ආරම්භ කර තිබෙනවා.

දැරිය පියා අතින් අපයෝජනයට ලක්වන බවට රිදිගම ගම්වාසීන්ගෙන් ලද පැමිණිලි මත‍ පොලිසිය ඔහුව සොයා ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.

නමුත් අදාළ පුද්ගලයා සොයා ගැනීමට හැකියාව නොලැබීම මත මෙසේ ඔහුව සොයා විමර්ශනයක් ආරම්භ කළ බවයි පොලිසිය සඳහන් කළේ.

දැරියගේ මව විදෙස්ගතව සිටින බව ද මූලික පොලිස් විමර්ශනවල දී අනාවරණය වී තිබෙනවා ෴


සංචාරයට ආරක්ෂිතම රටවල් අතර ශ්‍රී ලංකාවත්

(05.05.2023 – 15:22 +0530 – hirunews.lk/sinhala)

‘වර්ල්ඩ් පැකර්ස්’ වාර්තා අනුව ලොව සංචාරයට ආරක්ෂිතම රටවල් අතරින් 12 වන ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව තිබෙනවා.

රටවල් 100 කට අධික සංඛ්‍යාවක සංචාරකයන් පදනම් කරගත් ස්වේච්ඡා අත්දැකීම් ගොනු කර ක්‍රියාත්මක වන වෙබ් අඩවියක් ලෙසයි ‘වර්ල්ඩ් පැකර්ස්’ හැඳින්වෙන්නේ.

ඒ අනුව ලොව සංචාරයට ආරක්ෂිතම රටවල් අතර පෙරමුණට පැමිණ ඇත්තේ අයිස්ලන්තයයි.

ස්විට්සර්ලන්තය සහ ඩෙන්මාර්කය පිළිවෙලින් දෙවන සහ තුන්වන ස්ථානවල පසුවනවා.

එහි පෙරමුණේ පසුවන එකම දකුණු ආසියානු රට ශ්‍රී ලංකාව වන අතර, ජපානය මෙම ලැයිස්තුවේ 9 වන ස්ථානයේ සිටින බව සඳහන් ෴


බුදු පාමුල අතැර ගිය දින පහක බිළිදා

(05.05.2023 – 15:25 +0530 – hirunews.lk/sinhala)

ඇල්කඩුව ශ්‍රී මලියදේව ලෙන් විහාරස්ථානයේ බුද්ධ ප්‍රතිමාව අසල අසල දමා ගිය දින පහක් (5) වයසැති බිළිඳෙකු පොලිසිය විසින් ඊයේ (04) සොයාගෙන තිබෙනවා.

වත්තේගම පොලිස් නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම බිළිදාව සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

බිළිදා ප්‍රතිකාර සඳහා නුවර මහ රෝහලට ඇතුළත් කර ඇති බවයි වත්තේගම පොලිසිය පවසන්නේ.

දින 5 ක බිළිඳෙකු කෲරත්වයට පත් කර අතහැර දමා ගිය චෝදනාව යටතේ සැකකාර මව වත්තේගම පොලිසිය විසින් අද (05) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ මව වයස අවුරුදු 36 ක් වන මාතලේ කරගහහින්න ප්‍රදේශයේ පදිංචිකාරියක් බවයි වාර්තා වන්නේ.

මවගෙන් කළ ප්‍රශ්න කිරීම්වල දී අනාවරණය වී ඇත්තේ ඇය තම නිවසේ දී දරුවා බිහි කර මාතලේ ප්‍රදේශය වෙත ධාවනය වූ ලොරි රථයකින් පැමිණ අදාළ ස්ථානයේ දරුවා දමා ගිය බවයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *