රක්ෂණ මුදල් ගන්න බිරිඳව මරලා

රක්ෂණ මුදල් ගන්න බිරිඳව මරලා


රක්ෂණ මුදල් ගන්න බිරිඳව මරලා

(04.05.2023 – 10:58 +0530 – hirunews.lk/sinhala)

බිරිඳගේ ජීවිත රක්ෂණ මුදල් ලබා ගැනීමට බිරිඳව ඝාතනය කළ සැමියෙක් පිටිගල පොලිසිය විසින් ඊයේ (03) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 24 ක් වන තරුණයෙක්.

මෙම පුද්ගලයා සිය මිතුරෙකුට රුපියල් ලක්ෂ විස්සක් (20) සහ කුලී රථ සමාගමකින් ජීප් රථයක්ද ලබා දී මිතුරා ලවා මෙම අනතුර සිදු කර ඇති බවයි
මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

පසුගිය අප්‍රේල් මස 30 වැනි දින පිටිගල මාපලගම ප්‍රදේශයේ දී අදාළ කාන්තාව අනතුරට ලක් කර ඇති අතර ඇය එම ස්ථානයේදීම මිය ගොස් ඇතැයි වාර්තා වනවා.

මෙසේ මිය ගිය කාන්තාව වයස අවුරුදු 40 ක් වන අයෙක් බවත් ඇය සතුව ජීවිත රක්ෂණ 4 ක් තිබූ බවත් ප්‍රශ්න කිරීම්වල දී හෙළි වී තිබෙනවා.

අදාළ තරුණයා මෙම කාන්තාව ඝාතනය කර ඇය සතු වූ ජීවිත රක්ෂණ හතරෙහි (4) වන්දි මුදල් ලබා ගැනීමට තැත් කර ඇතැයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.

ඇල්පිටිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට ලත් තොරතුරක් මත විමර්ශන ආරම්භ කර මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර කැබ් රථයේ රියදුරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවයි පිටිගල පොලිසිය සඳහන් කළේ ෴


රුපියල් කෝටි 3 ක මුදල් වංචාවකට පුද්ගලයෙකු අත්අඩංගුවට

(04.05.2023 – 09:18 +0530 – hirunews.lk/sinhala)

පෞද්ගලික සමාගමක මුදල් ආයෝජනය කර විශාල ලාභාංශයක් දෙන බව පවසා රුපියල් කෝටි 3 කට ආසන්න මුදලක් වංචා කළ පුද්ගලයෙකු කෑගල්ල විශේෂ අපරාධ විමර්ශන අංශය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ මුදල් වංචා සම්බන්ධයෙන් ලැබුණු පැමිණිළි 9 කට අනුව සැකකරු ඊයේ (03) අත්අඩංගුවට ගත් බවයි.

40 හැවිරිදි මොහු කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා ෴


පස්සර – මඩොල්සිම මාර්ගය අවහිර වේ

(04.05.2023 – 09:50 +0530 – hirunews.lk/sinhala)

ඊයේ දින (03) සවස් කාලයේදී බදුල්ල දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවලට ධාරානිපාත වර්ෂා තත්වයක් ඇති වී තිබෙනවා.

එම වර්ෂාවත් සමඟින් පස්සර මඩොල්සිම මැටිගහතැන්න මාර්ගයේ කිලෝ මීටර් 23 කණුව ආසන්න ප්‍රදේශයේ විශාල පස් කන්දක් සමගින් ගල් පෙරලී ඇති බවයි වාර්තා වන්නේ.

එම හේතුවෙන් එම මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී තිබෙනවා ෴


මෙහෙකාරියට කොස්සෙන් ගැසූ ඉංජිනේරුවරයාට අත්හිටවූ සිරදඬුවම්

(04.05.2023 – 10:18 +0530 – hirunews.lk/sinhala)

කෑම කවමින් සිටිය දී දරුවාට කෑම සිරවීම නිසා 17 හැවිරිදි මෙහෙකාරියට කොස්සකින් පහර දීමේ සිදුවීමක් බොරුලස්ගමුව ප්‍රදේශයේ දී වාර්තා වී තිබෙනවා.

අදාළ පුද්ගලයා ඉංජිනේරුවරයෙක් වන අතර ඔහු වයස අවුරුදු 46 ක් වන දෙදරු පියෙක් බවයි වාර්තා වන්නේ.

අවුරුදු 18 ට අඩු තැනැත්තියකට පහර දී කෘරත්වයට පත් කිරීමේ චෝදනාව යටතේ විත්තිකරුට එරෙහිව නඩු පවරා තිබෙනවා.

එහි දී විනිසුරුවරයා පෙන්වා දුන්නේ රට ලෝකය ගැන දැනුමක් ඇති දෙදරු (2) පියෙක් ලෙස මීට වඩා සංවේදී හා සානුකම්පිතව කටයුතු කළ යුතු බවයි.

ඒ අනුව අදාළ පුද්ගලයාට වසර දෙකක (2) සිරදඬුවම් නියම කර එම දඬුවම ක්‍රියාත්මක කිරීම වසර 15 ට අත්හිටුවීමට කොළඹ මහ අධිකරණ විනිසුරු නවරත්ත මාරසිංහ ඊයේ (03) නියම කළා.

එමෙන්ම 17 හැවිරිදි දැරියක් වූ එම මෙහෙකාරියට රුපියල් ලක්ෂ තුනක (3) වන්දියක් ගෙවන ලෙස ද නියම කෙරුණා ෴


වැඩි මිලට බිත්තර විකිණූ වෙළඳුන්ට දඩ

(04.05.2023 – 10:51 +0530 – hirunews.lk/sinhala)

පාලන මිල ඉක්මවා වැඩි මිලට බිත්තර අලෙවි කල වෙළඳුන් තිදෙනෙකු (3) නුවරඑලිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ (03) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දඩ මුදලක් නියම කරනු ලැබුවා.

ඒ එක් අයෙකුට රුපියල් ලක්ෂය (1) බැගින් වූ දඩයක් මතයි.

නුවරඑලිය දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරි කාර්යාලයේ නිලධාරින් ඊයේ (03) දිනය පුරා සිදුකළ වැටලීම් අතරතුරදීයි මෙම වෙළඳුන් තිදෙනා (3) හසුව තිබෙන්නේ.

අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ එම චුදිතයන් තිදෙනා නුවරඑලිය, නානුඔය සහ ලිදුල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි.

තවද පාලන මිල ඉක්මවා සහල් අලෙවි කිරිම, කල් ඉකුත් වු ආහාර ද්‍රව්‍ය අලෙවි කිරිම, මිල ප්‍රදර්ශණය නොකිරිම යන චෝදනා යටතේ නුවරඑලිය අධිකරණ බල සිමාවේ ප්‍රධාන නගර කිහිපයකම වැටලිම් සිදු කර සැකකරුවන් 16 දෙනෙකු අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා ෴


කළුතර අනියම් පෙමෙන් සැරයන් පියා රෝහලේ

(04.05.2023 – 11:36 +0530 – hirunews.lk/sinhala)

පුතාගේ පෙම්වතියගේ ඥාතීනෙගෙන් පහරකෑමට ලක් වූ පොලිස් සැරයන් පියා ඊයේ (03) දින ප්‍රතිකාර සඳහා නාගොඩ රෝහලට ඇතුළත් කර ඇති බව කළුතර උතුර පොලීසිය පවසනවා.

මෙලෙස පහරකෑමට ලක්ව ඇත්තේ පානදුර දකුණ පොලිසියට අනුයුක්තව රාජකාරි කරන පොලිස් සැරයන්වරයෙක්.

විවාහකයකු වන සිය පුතා උපකාරක පන්ති ගුරුවරයෙකු ලෙස කටයුතු කරන විවාහක පුද්ගලයෙක්.

ඔහු තවත් තරුණියක් සමග ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන ගොස් තිබෙනවා.

ඒ සම්බන්ධව ඇතිවූ ආරවුලකදී පොලිස් සැරයන්වරයාගේ නිවසට පැමිණි පිරිසක් මෙම පහරදීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරුවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් හතර දෙනෙකු (4) අත් අඩංගුවට ගැනීමට ඇති බව කළුතර උතුර පොලීසිය පවසනවා ෴


නීතිවිරෝධී ලෙස මසුන් මැරූ 25 දෙනෙකු අත්අඩංගුවට

(04.05.2023 – 11:52 +0530 – hirunews.lk/sinhala)

නීතිවිරෝධී ලෙස තහනම් ධීවර දැල් භාවිතයෙන් ධීවර කටයුතුවල යෙදී සිටි පුද්ගලයන් 25 දෙනෙකු ඩිංගි යාත්‍රා 5 ක් සහ ධීවර ආම්පන්න සමඟ නාවික හමුදාව භාරයට ගෙන තිබෙනවා.

ඒ, ත්‍රිකුණාමලය කොරල් කෝච් මුහුදු තීරයේ සිදුකළ මෙහෙයුමකදියි.

අත්අඩංගුවට ගත් ධීවරයින් අවුරුදු 18 ත් 57 ත් අතර වයස්වල පසුවන චීන වරාය, කින්නියා සහ මූතූර් ප්‍රදේශවල පදිංචිකරුවන් ෴


පොලිස් කොස්තාපල්වරයෙක්ට වෙඩි ප්‍රහාරයක්

(04.05.2023 – 12:01 +0530 – hirunews.lk/sinhala)

එරාවුර් පොලිස් ස්ථානය තුළ දී වෙඩි වැදුණු පොලිස් කොස්තාපල්වරයකු ඊයේ (03) ප්‍රතිකාර සඳහා මඩකලපුව රෝහලට ඇතුළත් කර තිබෙනවා.

රාත්‍රී ජංගම මුර සේවයක නිරතව සිටි පොලිස් නිලධාරීන් දෙදෙනකු (2) විසින් සිය භාරයේ තිබූ රාජකාරි ගිනි අවිය නැවත බාරදීමට පැමිණි අවස්ථාවේ ගිනි අවිය ක්‍රියාත්මක වී වෙඩි වැදී ඇති බවයි මුලික පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

එම අවස්ථාවේදී ඔවුන් ඉදිරිපිට සිටි පොලිස් කොස්තාපල්වරයෙකුගේ පාදයට මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බව සඳහන්.

එරාවුර් පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා ෴


පැතිර යන වෛරස උණත් නව කොවිඩ් ප්‍රභේදයක් විය හැකියි – විශේෂඥ වෛද්‍ය වින්‍යා ආරියරත්න

(04.05.2023 – 12:16 +0530 – hirunews.lk/sinhala)

මේ දිනවල පැතිර යන වෛරස් උණ තත්ත්වය කොවිඩ් වෛරසයේ තවත් නව ප්‍රභේදයක් විය හැකි බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය වින්‍යා ආරියරත්න ඊයේ (03) පවසා තිබෙනවා.

සෑම ප්‍රදේශයකම මේ වන විට පැතිර ඇති එම රෝගයේ ස්වභාවය හා කොවිඩ් රෝගයේ ව්‍යාප්තියේ ස්වභාවය අනුව එලෙස විවිධ ප්‍රභේද ඇතිවිය හැකි බවයි හෙතෙම කියා සිටියේ.

කොවිඩ් රෝගයේ ස්වභාවය වන්නේ, අලුත් ප්‍රභේද ඇති කරමින් රෝගය ව්‍යාප්ත කිරීම බවත් එහි නව ප්‍රභේද පිළිබඳව නිසි අවබෝධයක් අපට නොමැති බවත් ඔහු සඳහන් කළා.

එවැනි නව ප්‍රභේද පිළිබඳ විශ්ලේෂණයක් සිදුකර එම වාර්තා ප්‍රසිද්ධ කිරීමට කාලයක් ගත වන බවත් ඉන්දුනීසියාව, වියට්නාමය, සිංගප්පූරුව වැනි සෑම රටක ම වැඩිපුර කොවිඩ් රෝගීන් වාර්තාවන බවත් ඔහු තවදුරටත් කි‍යා සිටියා.

විශේෂයෙන් ම ඉන්ෆ්ලුවෙන්සා රෝගයත් කොවිඩ් රෝගය ව්‍යාප්තිය සිදුවෙන ආකාරට සිදුවන බැවින් මුව ආවරණයක් නිසි ලෙස පැළඳීම ඉතා ම වැදගත් බව‍යි හෙතෙම පවසන්නේ.

පවතින වර්ෂාපතනය හමුවේ වෛරස් රෝග කිහිපයක් පැතිර යමින් පවතින බවත් මෙම වෛරස් රෝගවල රෝග ලක්‍ෂණ එක හා සමාන බැවින් එකිනෙකට වෙන්කර හඳුනා ගැනීම ද අපහසු වී ඇති බවත් ඔහු සඳහන් කළා.

කෙසේ වෙතත් ජනතාව තවදුරටත් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීම අත්‍යවශ්‍ය කාරණයක් බවත් කොවිඩ් කාලයේ පිළිපදින ලද සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රම ඒ අයුරින් ම අපි පිළිපැදීම අත්‍යවශ්‍ය බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ ෴


ඩීසල් සොරකම් කළ පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට

(04.05.2023 – 12:44 +0530 – hirunews.lk/sinhala)

පොලිස් බස් රථයේ ඩීසල් සොරකම් කළ පොලිස් කොස්තාපල් රියදුරු වරයෙකු අලුත්ගම පොලිසිය විසින් ඊයේ (03) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගාල්ල මූලස්ථාන පොලිසියට අයත් මෙම බස් රථය විශේෂ රාජකාරියක් සඳහා පිටත්ව ගිය අවස්ථාවේ දී බේරුවල ප්‍රදේශයේ දී බස් රථය නවත්වා මෙලෙස ඩීසල් සොරා ගැනීම සිදු කර ඇති බවයි වර්තා වන්නේ.

එමෙන්ම එම ඩීසල් මිලදී ගැනීමට පැමිණි ව්‍යාපාරිකයෙකු ද අත්අඩංගුවට ගත් බව අලුත්ගම පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා ෴


මුර කුටියේ සාද දැමූ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට

(04.05.2023 – 12:59 +0530 – hirunews.lk/sinhala)

බණ්ඩාරවෙල පොලීසියේ ඉදිරිපස ගේට්ටුවේ මුර කුටියේ මත්පැන් සාදයක් දැමූ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගැනීමට බණ්ඩාරවෙල පොලීසිය කටයුතු කර තිබෙනවා.

ඒ ඊයේ (03) දින රාත්‍රි කාලයේ දී රාජකාරී කටයුතුවල නිරතවෙමින් සිටිදී.

මෙම නිලධාරීන් දෙදෙනා (2) සිවිල් ඇඳුමින් සැරසී සාද දමා ඇති බවයි පොලීසිය පවසන්නේ ෴


ඇතින්නියක් ඝාතනය කළ පුද්ගලයා අත්අඩංගුවට

(04.05.2023 – 14:16 +0530 – hirunews.lk/sinhala)

අනවසර විදුලි රැහැන් ඇද ඊයේ (03) අළුයම ඇතින්නියක ඝාතනය කළ පුද්ගලයෙකු වැලිකන්ද වනජීවී කාර්යාලයේ නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගෙන තිබෙනවා .

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයා වැලිකන්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

වසර 25 ක් පමණ වයසැති ඇතින්නියක මෙලෙස විදෙස් විදුලි සැර වැදී මිය ගොස් තිබෙන බවයි වනජීවි කාර්යාලය පවසන්නේ ෴


කසල තේ තොගයක් සමග සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට

(04.05.2023 – 14:29 +0530 – hirunews.lk/sinhala)

බලපත්‍රයක් නොමැතිව හැටන් සිට දඹුල්ල දක්වා ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබූ කසල තේ ටොන් 21 ක් සමඟ සැකකරුවන් තිදෙනෙකු (3) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ තලවකැලේ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් විසින්.

බලපත්‍රයක් ද නොමැතිව මෙම කසල තේ තොගය ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබියදියි මෙලෙස පොලිස් භාරයට ගෙන ඇත්තේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *