වෛද්‍යවරුන් සහ විශේෂඥ වෛද්‍යවරුන් රැසක් නොදන්වා විදෙස් ගතවේ

වෛද්‍යවරුන් සහ විශේෂඥ වෛද්‍යවරුන් රැසක් නොදන්වා විදෙස් ගතවේ


වෛද්‍යවරුන් සහ විශේෂඥ වෛද්‍යවරුන් රැසක් නොදන්වා විදෙස් ගතවේ

(04.05.2023 – 08:35 +0530 – hirunews.lk/sinhala)

පසුගිය වසරේ අගෝස්තු මාසයේ සිට මේ දක්වා ගතවූ මාස නවයේදී නොදන්වා වෛද්‍යවරුන් 350 ක් පමණ විදේශගතවී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

ඒ අතර විශේෂඥ වෛද්‍යවරුන් 50 දෙනෙකු සිටින බවයි එහි තෘතීය සත්කාරක සේවා ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු කියා සිටියේ.

මෙය රෝගී සත්කාරක සේවා පවත්වාගෙන යාමට බාධාවක් බැවින් එලෙස විදේශ ගතවූ වෛද්‍යවරුන් 50 දෙනෙකු පමණ අසාදු ලේඛණ ගතකිරීමට කටයුතු කළ බවද අධ්‍යක්ෂවරයා සඳහන් කළා ෴


වෛද්‍යවරු හිඟයෙන් බලන්ගොඩ රෝහල උණුසුම්

(04.05.2023 – 13:38 +0530 – hirunews.lk/sinhala)

බලන්ගොඩ මුලික රෝහලේ ශල්‍යාගාරයේ පවතින වෛද්‍ය හිගය හේතුවෙන් එම රෝහලට ප්‍රතිකාර සඳහා පැමිණෙන රෝගීන් දැඩි පීඩාවට පත්ව තිබෙනවා.

අද (04) පෙරවරුවේ එම රෝහලේ බාහිර රෝගී අංශයට පැමිණි රෝගීන්ට තුන්ඩු නිකුත් කිරීමේදී ඇතිවූයේ උණුසුම් තත්වයක්.

වෛද්‍යවරුන් හයදෙනෙකු (6) බාහිර රෝගීන් අංශයේ සේවයේ නිරතවුවද අද (04) එහි සිට ඇත්තේ දෙදෙනෙකු (2) පමණයි.

නැවත දැනුම්දෙනතුරු හදිසි ශල්‍යකර්ම පමණක් සිදුකිරීමට කටයුතු කරන බව දන්වමින් රෝහල් පරිශ්‍රයේ දැන්වීම් පුවරුද අලවා තිබෙනු දක්නට ලැබුනු බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

කෙසේ වෙතත් අද (04) පෙරවරුවේ බලන්ගොඩ රෝහලේ ඇතිවූ තත්වය සම්බන්ධයෙන් රෝගීන් අදහස් දක්වමින් කියා සිටියේ අවශ්‍ය ප්‍රතිකාර ලබාදීම සඳහා රෝහල් බලධාරින් අවශ්‍ය කටයුතු නිසි පරිදි සිදුකර නොතිබූ බවයි.

+


වකුගඩු ජාවාරම් චෝදනා එල්ලවූ බොරැල්ලේ පෞද්ගලික රෝහලට අවයව බද්ධ කිරීම තහනම්

(04.05.2023 – 22:46 +0530 – hirunews.lk/sinhala)

වකුගඩු බද්ධ කිරීම් සැත්කම් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන කටයුතු අවසන් වන තෙක් බොරැල්ලේ පෞද්ගලික රෝහලට අවයව බද්ධ කිරීම සඳහා ලබා දී තිබූ අනුමැතිය අත්හිටුවන ලෙස ඒ පිළිබඳව සොයා බැලූ පරීක්ෂණ කමිටුව නිර්දේශ කර ඇතැයි නීතිපතිවරයා අභියාචනාධිකරණයට දැනුම් දුන්නා.

ඒ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් එම රෝහලට නිකුත් කර ඇති ලිපියක් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අදාළ පෞද්ගලික රෝහල විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් අද (04) කැඳවූ අවස්ථාවේයි.

වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් සිදු කිරීම අත්හිටුවන ලෙස දන්වා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් එම රෝහල වෙත අදාළ ලිපිය නිකුත් කර තිබුණා.

මේ අතර පෙරටුගාමි සමාජවාදි පක්ෂය අද (04) කැඳවා තිබූ මාධ්‍ය හමුවක දී එහි අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ ඉන්දියාවෙන් ආනයනය කරන ඖෂධයක් හේතුවෙන් අන්ධ භාවයට පත්වීමේ අවධානමක් මතුව ඇති බවට අනාවරණයක් සිදු කළා.

වකුගඩු බද්ධ කිරීම් සැත්කම් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන කටයුතු අවසන් වන තෙක් බොරැල්ලේ පෞද්ගලික රෝහලට අවයව බද්ධ කිරීම සඳහා ලබා දී තිබූ අනුමැතිය අත්හිටුවන ලෙස ඒ පිළිබඳව සොයා බැලූ පරීක්ෂණ කමිටුව නිර්දේශ කර ඇතැයි නීතිපතිවරයා අභියාචනාධිකරණයට දැනුම් දුන්නා.

ඒ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් එම රෝහලට නිකුත් කර ඇති ලිපියක් බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අදාළ පෞද්ගලික රෝහල විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් අද (04) කැඳවූ අවස්ථාවේයි.

වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් සිදු කිරීම අත්හිටුවන ලෙස දන්වා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් එම රෝහල වෙත අදාළ ලිපිය නිකුත් කර තිබුණා.

රෝහල විසින් ඉදිරිපත් කළ රීට් පෙත්සම අද (04) කැඳවූ අවස්ථාවේ දී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් විකුම්ද ආබෲ අධිකරණයට දැනුම් දුන්නේ වකුගඩු බද්ධ කිරිම සම්බන්ධයෙන් එල්ල වී තිබෙන චෝදනා විමර්ශනයට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් සාමාජිකයින් 09 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත්කර ඇති බවයි.

මෙම සිද්ධීන්වලට අදාල විමර්ශන කටයුතු අවසන් වන තෙක් අදාළ රෝහලට අවයව බද්ධ කිරීම සඳහා ලබා දී තිබූ අනුමැතිය අත්හිටුවන ලෙස එම කමිටුව විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත නිර්දේශ කර ඇති බවද එහිදී අතිරේක සොලිසිටර් ජනරාල්වරයා කියා සිටියා.

කෙසේ වෙතත් අවයව බද්ධ කිරීම සඳහා අදාල රෝහලට ලබා දී තිබු අනුමැතිය පසුගිය දෙසැම්බර් මස 31 වැනිදා අවසන් වී ඇති බවද අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා ප්‍රකාශ කළා.

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පනවා ඇති අවයව බද්ධ කිරීමේ සැත්කම් තහනම නිසා රෝහල් සේවකයින්ට වැටුප් ගෙවීමට පවා නොහැකි තත්වයක් උද්ගතව ඇති බව පෙන්වා දුන්නා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයාගේ නියෝජිතයෙකුගේ අධික්ෂණය යටතේ අදාල අවයව බද්ධ කිරීමේ සැත්කම් සිදු කිරීමට අනුමැතිය දීම සම්බන්ධයෙන් තම විරුද්ධත්වයක් නොමැති බවයි පෙත්සම්කාර බොරැල්ල පෞද්ගලික රෝහල වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කියා සිටියේ.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය අදාළ පෙත්සම් පිළිබඳ විභාගය ලබන 11 වැනිදා කැඳවීමට දින නියම කළා.

මෙම පෙත්සම් විභාගය පැවති අවස්ථාවේ දී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා සහ වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල් විකුම් ද ආබෲ අතර උණුසුම් වචන හුවමාරුවක් ද වරින් වර සිදු වූ බවයි අප අධිකරණ වාර්තාකරු සඳහන් කළේ ෴

+++++++

+


රැකියා ලබාදෙන බව පවසා වංචා කළ දෙදෙනෙකු (2) අත්අඩංගුවට

(04.05.2023 – 06:47 +0530 – hirunews.lk/sinhala)

කටාර් රාජ්‍යයේ රැකියාවක් ලබාදෙන බවට පවසා රුපියල් ලක්ෂ 06 ක මුදලක් වංචා කර ඇති සැකකාරියන් දෙදෙනෙකු (2) ඊයේ (03) දින අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ මන්නාරම පොලිස් ස්ථානයට කරන ලද පැමිණිල්ලක් මතයි.

අත්අඩංගුවට ගත් සැකකාරියන් අවුරුදු 23 ක් හා 42 ක් වන වයස් වල පසුවන කයිට්ස් ප්‍රදේශයේ පදිංචිකාරියන්.

ඔවුන් ඊයේ (03) දින මන්නාරම ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර ඇති බවයි වාර්තා වන්නේ.

සිද්දිය සම්බන්ධයෙන් මන්නාරම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකර ගෙන යයි ෴


සොරාගත් ලැප්ටොප් පරිඝණක 02ක් සමඟ සැකකාරියක් අත්අඩංගුවට

(04.05.2023 – 07:13 +0530 – hirunews.lk/sinhala)

කොල්ලුපිටිය පොලිස් වසමේ පිහිටි ලංකා සංචාරක මානව සම්පත් හා පාලන කාර්යංශයේ රුපියල් ලක්ෂ 05 කට අධික වටිනාකමකින් යුත් ලැප්ටොප් පරිඝණක 02 ක් සොරකම් කර තිබෙනවා.

ඒ එම ආයතනයේ කළමණාකරණ සහකාරවරියක් විසින් පසුගිය මැයි 02 වන දින කොල්ලුපිටිය පොලිස් ස්ථානයට සිදුකරන ලද පැමිණිල්ලක් මතයි.

එදිනම එම ආයතනයේ පුද්ගලික පිරිසිදු කිරීමේ අංශයක සේවය කළ කාන්තාවක් සොරකම් කරන ලද ලැප්ටොප් පරිඝණක 02 ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 58 ක් වන බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකාරියක්.

සැකකාරිය ඊයේ (03) දින කොටුව ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මැයි 05 වන දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවයි වාර්තාවන්නේ.

සිද්දිය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකර ගෙන යනු ලබනවා ෴


සිසුවියන්ට අතවර කළ විදුහල්පති අත්අඩංගුවට

(04.05.2023 – 07:57 +0530 – hirunews.lk/sinhala)

ගම්පොළ අධ්‍යාපන කලාපයට අයත් ප්‍රධාන පෙළේ පාසලක ශිෂ්‍යාවන් දෙදෙනෙකුට (2) ලිංගික අතවර කළ විදුහල්පතිවරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 51 ක් වන පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ.

අදාළ ශිෂ්‍යාවන්ගේ දෙමාපියන් පොලිසිය වෙත සිදු කළ පැමිණිල්ලකට අනුව මෙම විදුහල්පතිවරයා අත්අඩංගුවට ගත් බව ගම්පොළ පොලිසිය සඳහන් කළා.

මෙම විදුහල්පතිවරයාට එරෙහිව මීට පෙරද පාසල් සංවර්ධන සමිතිය සහ දෙමාපියන් එක්ව කලාප අධ්‍යාපන කාර්‍යාලයට පැමිණිලි කර ඇති අතර කලාප අධ්‍යාපන කාර්‍යාලය මඟිනන් ද පරීක්ෂණයක් සිදු කරන බව අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළා.

අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයා ඊයේ (03) අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා ෴


කුවේට් හී ගෘහ සේවිකාවක් මරණය ඝාතනයක් දැයි සැකයි – ඇමති ගීතා

(04.05.2023 – 08:20 +0530 – hirunews.lk/sinhala)

කුවේට් රාජ්‍යයේ වසර 7 කට වැඩි කාලයක් ගෘහ සේවයේ නිරතව සිට නැවත මෙරටට පැමිණීමට සූදානමින් සිටි දිනයේදීම ගෘහ සේවිකාවක් ගෙල වැළලාගෙන සියදිවි හානිකර ගැනීම ඝාතනයක් බවට සැකකරන බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය ඇමතිනි ගීතා කුමාරසිංහ පවසනවා.

ඒ පිළිබඳව හිරු පුවත් ඔස්සේද පසුගියදා කරුණු අනාවරණය කළා.

මාතලේ – යටවත්ත – මරගස්යාය – උඩස්ගිරිය ප්‍රදේශයේ පදිංචි පී.ජී. අනෝමා නැමති එක් (1) දරු මවක් මෙලෙස ජීවිතක්ෂයට පත්වී තිබූ අතර ඇය පසුගිය අප්‍රේල් 25 වනදා මෙරටට පැමිණීමට නියමිතව තිබුණා.

එහෙත් පවුලේ ඥාතීන් විසින් කළ සොයාබැලීමකදී අනාවරණය වූයේ ඇය එරට ගුවන් තොටුපළෙන් පිටවී නොමැති බවටයි.

ඒ අනුවයි පසුව සිදුකළ සොයා බැලීමකදී ඇය සිය දිවි හානිකරගෙන තිබූ බවට අනාවරණ වී ඇත්තේ.

කෙසේ වෙතත් කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය ඇමතිනි ගීතා කුමාරසිංහ කොළඹ ඊයේ (03) මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ මෙලෙස විදෙස්ගතවන ශ්‍රී ලාංකික කාන්තාවන්ට සිදුවන හිරිහැර පිළිබඳව තානාපති කාර්යාලය විසින් නිසි සැළකිල්ලක් දැක්විය යුතු බවයි.

මේ අතර සෞදි අරාබියේ ගෘහ සේවයට ගොස් විවිධ වධ හිංසාවන්ට ලක්වූ ආදිවාසි තරුණියක් ඊයේ දිවයිනට පැමිණ තිබෙනවා.

+++++++

+


උඩරට එළවළු වර්ග රැසක තොග මිල ගණන් පහළට

(04.05.2023 – 08:44 +0530 – hirunews.lk/sinhala)

වෙළදපළේ උඩරට එළවළු වර්ග රැසක තොග මිල ගණන් තවදුරටත් රුපියල් 100 ත් 240 ත් අතර සටහන් වනවා.

ආර්ථික මධ්‍යස්ථාන රැසක කැරට් කිලෝවක තොග මිල ඊයේ (03) සටහන් වූයේ රුපියල් 160 කට අඩු අගයකයි.

ලීක්ස් කිලෝවක මිලද බොහෝ ආර්ථික මධ්‍යස්ථානවල රුපියල් 200 ට වඩා අඩුවෙන් පැවතුණා.

කෙසේ වෙතත් බෝංචි කිලෝවක තොග මිල ඊයේ (03) පෑලියගොඩ මැනිං වෙළඳපළේ සටහන් වූයේ රුපියල් 300 ත් 350 ත් අතර අගයකයි.

පහතරට එළවළු මිල ගණන්ද සාමාන්‍ය අගයක පැවති අතර කරවිල, මාළු මිරිස් සහ අමු මිරිස් මිල ගණන් පමණක් තරමක ඉහළ අගයක් ගත්තා.

ආනයනික අර්තාපල් තවදුරටත් රුපියල් 170 කට අඩුවෙන් අලෙවිවන අතර නුවරඑළිය අර්තාපල් රුපියල් 250 ත් 300 ත් අතර මිලකට අලෙවි වුණා ෴


ඩෙංගු රෝගීන් ගණන 30000 ඉක්මවයි

(04.05.2023 – 09:00 +0530 – hirunews.lk/sinhala)

මේ වසරේ ගත වූ මාස 5 ක කාලසීමාව තුළ මෙරටින් ඩෙංගු උණ රෝගීන් 30,365 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

වසංගත රෝග විද්‍යා අංය සඳහන් කළේ බස්නාහිර පළාතෙන් පමණක් රෝගීන් 14,935 දෙනෙකු වාර්තා වන බවයි.

ඉන් වැඩිම පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 6,788 ක්.

කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 6,359 ක් සහ කළුතරින් 1,788 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

එමෙන්ම ජනවාරි සිට මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු මරණ ගණන 16 ක් වන බවයි වාර්තා වී ඇත්තේ.

කෙසේ වෙතත් සෞඛ්‍ය අංශ අවධානය කරන්නේ ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීමට ජනතාවගේ සහයෝගය නොමඳව බලාපොරොත්තු වන බවයි.

මෙම තත්ත්වය දිගින් දිගටම පැවතුණහොත් ඩෙංගු අධි අවධානම් තත්ත්වයකක් උදා විය හැකි බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *