සම්බුදු තෙමඟුලට රටම සැරසෙයි

සම්බුදු තෙමඟුලට රටම සැරසෙයි


සම්බුදු තෙමඟුලට රටම සැරසෙයි

(04.05.2023 – 13:33 +0530 – hirunews.lk/sinhala)

සම්බුදු තෙමඟුල සැමරීම සඳහා රටම සූදානම් වෙමින් සිටිනවා.

වෙසක් උත්සවය නිමිත්තෙන් කොළඹ ඇතුලු දිවයිනේ විවිධ ප්‍රදේශවල වෙසක් කලාප ක්‍රියාත්මකයි.

බෞද්ධාලෝක මාවත, ගංඟාරාම වෙසක් කලාපය මෙවරත් ක්‍රියාත්මක අතර, තොටලඟ, දෙමටගොඩ, කොටුව – බෝධිරාජමාවත, පෙරහර මාවත, බෞද්ධාලෝක මාවත සහ ෂැංග්‍රිලා පරිශ්‍රයේ තොරණ ඉදිකර තිබෙනවා.

කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක අනුර අබේරත්න කියා සිටියේ නගර සීමාව තුළ දන්සැල් 178 ක් මේ වනවිට ලියාපදිංචි වී ඇති බවයි.

එය පෙර වසරවලට සාපේක්ෂව කැපී පෙනෙන වැඩිවීමක් බව ඔහු සඳහන් කළා.

වෙසක් උත්සවය නිමිත්තෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්ද පොලිසිය ක්‍රියාවට නංවා ඇති අතර, ඒ සඳහා සිවිල් නිලධාරීන්ද යොදවන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව කියා සිටියේ.

මේ අතර වෙසක් උත්සවය නිමිත්තෙන් දුම්රිය දෙපාර්තමේන්තුව විශේෂ දුම්රිය සේවා කිහිපයක් යොදවා තිබෙනවා.

2022 – 2023 ශ්‍රී පාද වන්දනා වාරය හෙට (05) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වනවා.

ශ්‍රී පාද උඩමළුවේ හෙට පිංකම් රැසක් සංවිධාන කර ඇති අතර, අනතුරුව අනිද්දා (06) අලුයම සධාතුක කරඬුව, සමන් දේව ප්‍රතිමාව, දේවාභරණ සහ පූජා භාණ්ඩ රත්නපුර රජමාවත, කුරුවිට – එරත්න මාර්ගය, නල්ලතන්නිය – රත්නපුර මාර්ග ඔස්සේ ගල්පොත්තාවල ශ්‍රී පාද රජමහා විහාරස්ථානය දක්වා වැඩම කරවන බවයි ශ්‍රීපාදස්ථානාධිපති ඌව විශ්වවිද්‍යාලයේ කුලපති අතිපූජ්‍ය බෙංගමුවේ ශ්‍රී ධම්මදින්න නාහිමියන් ප්‍රකාශ කළේ.

එමෙන්ම වෙසක් පුර පසළොස්වක පෝය දිනය නිමිත්තෙන් අමුත්තන්ට බන්ධනාගාර රැඳවියන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක් ලබා දී තිබෙනවා.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක කියා සිටියේ හෙට (05) සහ අනිද්දා (06) අමුත්තන්ට මේ සඳහා අවස්ථාව පවතින බවයි. රැඳවියන්ට, නිවසින් රැගෙන එන ආහාර සහ රසකැවිලි එක් (1) අයෙකුට ප්‍රමාණවත් වන පරිදි ලබාදීමට ද අවස්ථාව සලසා දී තිබෙනවා.

මේ අතර වෙසක් පෝය උදාවීමට තවත් දිනක් පමණක් ඉතිරිව තිබියදී විහාරස්ථානයක විදුලිය විසන්ධි කිරීමේ සිද්ධියක් බදුල්ල ප්‍රදේශයෙන් වාර්තා වුණා.

බදුල්ල – හිඳගොඩ තපෝදනාරාම විහාරස්ථානයේ විදුලිය විසන්ධි කර තිබුණේ විදුලි බිල නොගෙවීම හේතුවෙන්.

විහාරාධිපති පූජ්‍ය ඇකිරියේ සීවලී හිමියන් කියා සිටියේ විදුලිය විසන්ධි කිරීම සඳහා පැමිණි නිලධාරීන්ගෙන් එය සිදු නොකරන ලෙස ඉල්ලීමක් කළද ඔවුන් එය නොපිළිගත් බවයි.

+


වෙසක් උත්සවයට විශේෂ ආරක්ෂාවක්

(04.05.2023 – 08:27 +0530 – hirunews.lk/sinhala)

වෙසක් උත්සවය නිමිත්තෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව පවසනවා.

පොලිස් මූලස්ථානයේ ඊයේ (03) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ පොලිසියට අමතරව සිවිල් නිලධාරින්ද රාජකාරි සඳහා යොදවන බවයි.

එමෙන්ම වෙසක් පොහොය නිමිත්තෙන් සියලු සුරාසැල් අද (04) සිට අනිද්දා (06) දක්වා වසා තැබෙනවා.

මේ අතර හෙට (05) දිනයේ කොළඹ කොටස් වෙළඳපොළේ කටයුතු දහවල් 12 ට අවසන් කරන බව කොළඹ කොටස් හුවමාරුව නිවේදනය කළා.

වෙසක් පොහොයට පසුදින සෙනසුරාදාට යෙදෙන බැවින් ඒ වෙනුවෙන් වරුවක නිවාඩුවක් කොටස් වෙළෙඳපොළේ කාර්ය මණ්ඩලය වෙත අද (04) දිනයේ ලබාදී ඇති බවයි ෴


වෙසක් නිමිත්තෙන් රැඳවියන් බැලීමට විශේෂ දින දෙකක් (2)

(04.05.2023 – 09:15 +0530 – hirunews.lk/sinhala)

හෙටට (05) යෙදී ඇති වෙසක් පුර පසළොස්වක පෝය දිනය නිමිත්තෙන් අමුත්තන්ට බන්ධනාගාර රැඳවියන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක් ලබා දී තිබෙනවා.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක කියා සිටියේ හෙට (05) සහ අනිද්දා (06) අමුත්තන්ට මේ සඳහා අවස්ථාව පවතින බවයි.

රැඳවියන්ට, නිවසින් රැගෙන එන ආහාර සහ රසකැවිලි එක් අයෙකුට ප්‍රමාණවත් වන පරිදි ලබාදීමට ද අවස්ථාව සලසා දී තිබෙනවා ෴


වෙසක් සමයේ ආගමට නොගැළපෙන ක්‍රියා ගැන පොලීසිය සීරුවෙන්

(04.05.2023 – 10:55 +0530 – hirunews.lk/sinhala)

එළඹෙන වෙසක් සතිය තුළ ආගමට, සදාචාරයට සහ සංස්කෘතියට නොගැළපෙන ආකාරයේ කටයුතු සිදුකිරීමෙන් වළකින ලෙස පොලිසිය මහ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

එබැවින් පොහොය දිනය ඇතුළු වෙසක් දිනවල එවන් ක්‍රියාවලට කිසිසේත් ඉඩ නොදෙන බවයි පොලිස් මූලස්ථානය අවධාරණය කරන්නේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව කියා සිටින්නේ ඔළුබක්කන් නැටවීම වැනි ක්‍රියා ද සිදු කිරීමට කිසිසේත් ඉඩනොදෙන බවයි.

මුදල් උපයා ගැනීමේ පරමාර්ථයෙන් වෙසක් කාලයට නොගැලපෙන නුසුදුසු විවිධ කටයුතු සිදු නොකරන ලෙස ද හෙතෙම මහජනයාගෙන් ඉල්ලා සිටී.

එමෙන් ම, වෙසක් කලාපවලට පොලිසිය අවශ්‍ය ආරක්ෂාව සපයන බවත් ඒ සඳහා පොලිස් නිලධාරීන්, රථවාහන නිලධාරීන්, සිවිල් ඇඳුම්ලාගත් නිලධාරීන් පවා යොදවා ඇති බවත් ඒ මහතා කියා සිටියා ෴


හිරු ශාක්‍යසිංහ මංගල්‍යයට තිස්සමහාරාම පුදබිම සූදානම්

(04.05.2023 – 13:25 +0530 – hirunews.lk/sinhala)

අසිරිමත් සම්බුදු තෙමඟුල වෙනුවෙන් හිරු ටී වී, හිරු එෆ්. එම් ප්‍රමුඛ හිරු මාධ්‍ය ජාලය සංවිධාන කරන හිරු ශාක්‍යසිංහ මංගල්‍යය මෙවර පැවැත්වෙන්නේ ඓතිහාසික තිස්සමහාරාම පුද බිම කේන්ද්‍ර කරගනිමින්.

ඒ සඳහා මේ වනවිට සියලු කටයුතු සූදානම් කර අවසන්.

කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය කෙරෙන හිරු උත්තමධාතු වන්දනාවද ඓතිහාසික තිස්සමහාරාම පුදබිමේ දී අනිද්දා (06) ආරම්භ වන්නේ ඊට සමාගමීවයි.

දාන, ශීල, භාවනා යන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවෙන් උත්තම මුණිරදුන් පුදන හිරු ශාක්‍යසිංහ මංගල්‍යය හෙට (05) අලුයම ආරම්භ වනවා.

ඒ අනුව ධර්මදේශනා, කාව්‍යමය ධර්මදේශනා, ධර්ම සාකච්ඡා ඇතුලු පුණ්‍ය ක්‍රියා රැසක් ඓතිහාසික තිස්සමහාරාම පුද බිම කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මකයි.

ඓතිහාසික තිස්සමහාරාම පුදබිමට බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් පූජා කිරීමද හෙට (05) දිනයේ දී සිදු කෙරෙන්නේ හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන්.

එමෙන්ම ඓතිහාසික තිස්සමහාරාම චෛත්‍යරාජයාණන් වහන්සේ සුවඳ දුමින් සුවඳවත් කර නෙළුම් මල් ලක්ෂයක් පූජා කිරීමත් සම්බුදු සසුනේ චිරස්ථිතිය උදෙසා අධිෂ්ඨාන පූජාවක් පැවැත්වීමටත් සැළසුම් කර තිබෙනවා.

විචිත්‍ර ෂඩ්වර්ණ විදුලි ආලෝකයෙන් ඓතිහාසික තිස්සමහාරාම චෛත්‍යරාජයාණන් වහන්සේ වර්ණවත් කිරීම හෙට (05) දිනයේ සිදුවන තවත් පිං කටයුත්තක්.

තිස්සමහාරාම රජමහා විහාරාධිපති පූජ්‍ය ආචාර්ය දේවාලේගම ධම්මසේන නාහිමියන්ගේ අවවාද සහ අනුශාසනා පරිදි හෙට (05) දිනය පුරා මෙම පිංකම් පැවැත්වෙනවා.

මේ අතර දිවයිනේ නන්දෙසින් පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ගේ වන්දනාමානයට ඉඩ සළසන කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතු ප්‍රදර්ශනය අටවනදා (08) දක්වා පැවැත්වීමට නියමිතයි.

එමෙන්ම තිස්සමහාරාම පුදබිමේ වෙසක් අසිරියෙන් ආසිරි ගන්වමින් ඒකාලෝක කෙරෙන හිරු ශාක්‍යසිංහ මංගල්‍යයේ සජීවී රූපාවලිය හිරු ටී වී ඔස්සේ හෙට (05) අලුයම සිට සජීවීව දැක බලා ගැනීමටද සැදැහැවත් ඔබට අවස්ථාව පවතිනවා.

+


වෙසක් නිමිත්තෙන් කොළඹට විශේෂ රථවාහන සැලැස්මක්

(04.05.2023 – 17:48 +0530 – hirunews.lk/sinhala)

වෙසක් සැමරුම් නිමිත්තෙන් කොළඹ නගරය ආශ්‍රිතව විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිසිය ප්‍රකාශ කරනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ බෞද්ධාලෝක මාවත, ගංගාරාමය සහ ගාලු මුවදොර ආශ්‍රිතව මෙම විශේෂ රථවාහන සැලැස්ම ක්‍රියාත්මක බවයි.

එම වෙසක් කලාප සඳහා පැමිණෙන ජනතාවගේ පහසුව සඳහා රථ වාහන නතර කිරීමට ස්ථාන වෙන්කර ඇති බව ද එම නිවේදනයේ සඳහන්.

ඒ අනුව ගංගාරාම වෙසක් කලාපයට පැමිණෙන ජනතාවට යූනියන් පෙදෙස, කොම්පඤ්ඤවීදිය හංදියේ සිට ඉබ්බන්වල හන්දිය දක්වා, ධර්මපාල මාවත, හුණුපිටිය හරස්පාරේ සිට එෆ්.ආර්. සේනානායක මාවත දක්වා මෙන්ම ධර්මපාල මාවත සිට කන්නන්ගර මාවත දක්වා සහ වොක්ෂෝල් වීදියේ රථවාහන නතර කළ හැකි බවයි වාර්තා වන්නේ.

බෞද්ධාලෝක වෙසක් කලාපයට පැමිණෙන රථවාහන මෙට්ලන්ඩ් පෙදෙස රථගාලේත්, නිදහස් මාවත, විද්‍යා මාවත, සරණ පාර, ආර්.ජී. සේනානායක මාවතේත් නතර කිරීමට හැකි බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

එමෙන් ම ගාලුමුවදොර ප්‍රදේශය ආශ්‍රිතව පැරණි ආරක්ෂක අමාත්‍යංශය තිබූ භූමියේ රථවාහන නතර කිරීමට පහසුකම් සලසා දී තිබෙන බව ද සඳහන් ෴


වෙසක් උත්සවයට දන්සැල් 7000 ක්

(04.05.2023 – 18:44 +0530 – hirunews.lk/sinhala)

මෙවර වෙසක් මංගල්‍යය නිමිත්තෙන් දන්සැල් විශාල ප්‍රමාණයක් පැවැත්වෙනවා.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසන්නේ වෙසක් උත්සවය වෙනුවෙන් දන්සැල් 7,000 ක් පමණ ලියාපදිංචි වී ඇති බවයි.

ලියාපදිංචි වී නොමැති දන්සැල් සම්බන්ධයෙන් ද සොයාබැලීමට ඔවුන් තීරණය කර තිබෙන අතර ඒ සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 3,000 ක් පමණ සේවයේ නිරතවීමට නියමිත බවයි වාර්තා වන්නේ ෴


ගුවන් මඟියකුගේ ගමන් බෑගයක් තුළ පිස්තෝලයක්

(04.05.2023 – 07:46 +0530 – hirunews.lk/sinhala)

ප්‍රංශයේ සිට පැමිණි ගුවන් මඟියකුගේ ගමන් බෑගයක් තුළ රිවෝල්වරයක් සහ පිස්තෝලයක් තිබී කටුනායක ගුවන් තොටුපළ පොලිසිය විසින් පසුගිය 02 වැනිදා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ උසස් නිලධාරිවරයෙක් පවසා තිබෙනවා.

සැකකරු කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි ද්‍රවිඩ ජාතික ගුවන් මගියෙක්.

ඔහු පසුගිය 02 වැනිදා රාත්‍රී 06:30 ට ප්‍රංශයේ පැරිස් නුවර සිට ඕමාන් ගුවන් සේවයේ ඩබ්ලිව්.වයි.373 යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙනවා.

ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ලක් වැරදීමකින් වෙනත් ගුවන් මඟියකු රැගෙන ගොස් තිබූ අතර පසුව එම මඟියා ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් විසින්, ආරක්ෂිත කැමරා නිරීක්ෂණය කිරීමෙන් සොයා ගෙන, අවශ්‍ය නිවැරැදි කිරීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

පසුව එම ගමන් මල්ල ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් විසින් පරිලෝකන යන්ත්‍රයක් (Scan Test) මගින් නිරීක්ෂණය කිරීමේදී, ඒ තුළ පිස්තෝලයක් සහ රිවෝල්වරයක් තිබෙන බවයි හඳුනා ගෙන ඇත්තේ.

ඉන්පසුව කටුනායක ගුවන් තොටුපළ පොලිසියේ නිලධාරීන් පිරිසක් එම ස්ථානයට පැමිණ මෙම ගුවන් මඟියා සහ මෙම අවි සහිත ගමන් මල්ල අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය වෙත රැගෙන ගිය මෙම අවිය වැඩිදුර නිරීක්ෂණය කිරීමේදී එම රිවෝල්වරය සහ පිස්තෝලය ප්ලාස්ටික්වලින් නිෂ්පාදන කර ඇති බව කටුනායක ගුවන් තොටුපළ පොලිසියේ ස්ථානාධිපතිවරයාට නිරීක්ෂණය වීමෙන් අනතුරුව මෙම ගුවන් මඟියා ඇප මත මුදාහැර තිබෙනවා.

මෙම අවි දෙක දුඹුරු සහ නිකල් පැහැයෙන් යුතු අතර ඒවා ස්පාඤ්ඤයේ නිෂ්පාදිත ඒවා වේ.

ඒවා මත (Idial Dum) ලෙස සදහන් කර ඇති බව වාර්තා වනවා.

මෙම අවි දෙක පිළිබඳව වැඩිදුර විමර්ශනය කර වාර්තාවක් ලබා ගැනීම සඳහා කොළඹ පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානය වෙත යොමු කර ඇති අතර මේ පිළිබඳව කටුනායක ගුවන් තොටුපළ පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීහු පිරිසක් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *