අරගලයට අමෙරිකානු අතපෙවීම් සිදු වූ ආකාරය ගැන විමල් වීරවංශගෙන් අනාවරණයක්

අරගලයට අමෙරිකානු අතපෙවීම් සිදු වූ ආකාරය ගැන විමල් වීරවංශගෙන් අනාවරණයක්


අරගලයට අමෙරිකානු අතපෙවීම් සිදු වූ ආකාරය ගැන විමල් වීරවංශගෙන් අනාවරණයක්

(02.05.2023 – 20:27 +0530 – hirunews.lk/sinhala)

පසුගිය සමයේ පැවැති ගාලුමුවදොර අරගලයට අමෙරිකානු අතපෙවීම් සිදු වූ ආකාරය පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා තවත් කරුණු රැසක් අනාවරණ කළා.

ඒ, ‘හිරු සලකුණ’ දේශපාලන වැඩසටහනට එක්වෙමින්.

++++++++

Hiru TV Salakuna Live – Wimal Weerawansa – EP 382 – 2023-05-01

+


පස්සර – නමුණුකුල මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම අඩාල වේ

(02.05.2023 – 21:11 +0530 – hirunews.lk/sinhala)

අද (02) දින විශාල ගලක් සහ පස් කඳු කඩා වැටීමෙන් පස්සර – නමුණුකුල මාර්ගයේ ගමනාගමනය සම්පූර්ණයෙන්ම අඩාල වී තිබෙනවා.

ඒ අද (02) පස්වරුවේ කි:මී: 14-17 කණු අතර ප්‍රදේශයට විශාල ගලක් සහ පස් කඳු කඩා වැටීමෙන් බවයි නමුණුකුල පොලීසිය පවසන්නේ.


ගජමුතු සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

(03.05.2023 – 06:34 +0530 – hirunews.lk/sinhala)

පොතුවිල් පොලිස් වසමේ අල්කලාම් පාර, පොතුවිල් ප්‍රදේශයේදී කල්මුණ විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ (02) දින සවස් කාලයේ සිදුකරන ලද වැටලීමකින් ගජමුතු 02 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (2) අත් අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 37 ක් හා 60 ක් වූ පොතුවිල් ප්‍රදේශයේ පදිංචිකරුවන්.

සැකකරුවන් අද (03) දින පොතුවිල් ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත‍යි.

සිද්ධිය සම්බන්දයෙන් පොතුවිල් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකර ගෙන යනු ලබනවා ෴


පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කරමින් සිටි සැකකරුවන් අත්අඩංගුවට

(03.05.2023 – 07:05 +0530 – hirunews.lk/sinhala)

කරුවලගස් වැව පොලිස් වසමේ කුඩා මැදවච්චිය ප්‍රදේශයේදී ඊයේ (02) දින පුද්ගලික ඉඩමක පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් සිදු කරන බවට පුත්තලම පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර තිබෙනවා.

පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණිම් සිදු කරමින් සිටි සැකකරුවන් 10 දෙනෙකු කැණීම් උපකරණ සමඟින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරුවන් වයස අවුරුදු 48 ත් 59 ත් අතර වයස්වල පසුවන පොළොන්නරුව, අඹන්පොල, අඹේපුස්ස, ඇඹිලිපිටිය, මොණරාගල, බඩල්කුඹුර හා අම්පාර යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

සැකකරුවන් අද (03) දින පුත්තලම ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිදුවීම සම්බන්දයෙන් කරුවලගස් වැව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා ෴


කොල්ලකෑම් රැසකට සම්බන්ධ දෙදෙනෙකු (2) මත්තලදී අත්අඩංගුවට

(03.05.2023 – 07:13 +0530 – hirunews.lk/sinhala)

මත්තල දී රන් මාල කොල්ලකෑම් සහ ගෙවල් බිඳීම් ඇතුළු ක්‍රියාවන් රැසකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු (2) ඊයේ (02) උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදීයි.

අත්අඩංගුවට ගත් එම සැකකරුවන් ගෙල බැදි රන් මාලා කොල්ලකෑම් හා ගෙවල් බිඳ දේපල සොරකම් කිරීම් වලට අවශ්‍යකර සිටි සැකකරුවන් දෙදෙනෙකු (2) වන අතර, මොවුන් අත්අඩංගුවට ගන්නා අවස්තාවේ දී හෙරොයින් ග්‍රෑම් 09 යි මිලිග්‍රෑම් 100 ක් ද සන්තකයේ තිබූ බවයි පොලිසිය පවසන්නේ.

බරවකුඹුර හා සෙල්ලකතරගම පදිංචි මෙම සැකකරුවන් අවුරුදු 26 ක සහ 27 ක වයස් සීමාවන්වල පසුවෙනවා.

සැකකරුවන් විසින් සූරියවැව, බෙලිඅත්ත, අඟුණුකොලපැලැස්ස සහ මත්තල ප්‍රදේශවල දී මෙම කොල්ලකෑම් සිදුකර ඇතැයි සඳහන්.

මොවුන් සන්තකයේ තිබී රන් මාල 01 ක්, රන් මුදු 02 ක්, පංචායුධ 01 ක්, යතුරුපැදියක් සහ ජංගම දුරකතනයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (03) දින තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අත‍ර මත්තල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි ෴


වෛද්‍ය සිසුවෙක් සිය දිවි නසා ගනී

(03.05.2023 – 07:51 +0530 – hirunews.lk/sinhala)

බෙලරූස් රාජ්‍යයේ ග්‍රොඩ්නෝ විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටි ශ්‍රී ලාංකික වෛද්‍ය ශිෂ්‍යයෙකු සිය දිවි නසාගෙන ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

තිෂාන් කුලරත්න නමැති මෙම සිසුවා එම විශ්ව විද්‍යාලයෙහි තෙවැනි (3) වසරේ අධ්‍යාපනය ලැබූවෙක්.

දෙමව්පියන් සමඟ ඉතාම සමීප සම්බන්ධතාවයක් සහිතව සිටි මෙම සිසුවා, මව විසින් ගත් දුරකරථන ඇමතුම් වලට ප්‍රතිචාර නොදැක්වීම නිසා ඇති වූ සැකය මත මව විසින් ඔහුගේ මිතුරන්ට මේ බව දන්වා තිබෙනවා.

ඒ අනුව ඔහුගේ මිතුරන් කිහිපදෙනෙකු ගොස් නේවාසිකාගාරයේ ඔහු නැවතී සිටි කාමරය පරීක්ෂා කිරීමේ දී ඔහුගේ මළ සිරුර සොයාගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

සිසුවාගේ මරණය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණය වී නැහැ ෴


අතුරුගිරිය පොලිස් වසමේ මනුෂ්‍ය ඝාතනයක්

(03.05.2023 – 08:08 +0530 – hirunews.lk/sinhala)

අතුරුගිරිය පොලිස් වසමේ ගොඩගම පාර අතුරුගිරිය ප්‍රදේශයේ පිහිටි ලී වෙළඳසැලක ඊයේ (02) දින කාර්යාල කාමරය අසල කාන්තාවක් ඝාතනය කර, තවත් පුද්ගලයෙකු හිසේ තුවාල සහිතව වෙළදසැල තුල සිහිසුන්ව වැටී සිටින බවට අතුරුගිරිය පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඇය වයස අවුරුදු 62 ක් වූ වෙළද සැලේ හිමිකාරිය වන අතර අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචිකාරියක්.

තුවාලකරු වයස අවරුදු 52 ක් වූ මයිලංගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෙම ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

මෘත ශරීරය සිද්ධිය වූ ස්ථානයේ පොලිස් ආරකෂාව යටතේ ඇති අතර, මහේස්ත්‍රාත් පරික්ෂණය අද (03) දින සිදු කිරීමට නියමිතයි.

බරපතල තුවාල ලැබූ තුවාලකරු වැඩිදුර ප්‍රතිකාර සදහා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් අතුරුගිරිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා ෴


කුඹුරු යායක තිබී කාන්තා මළ සිරුරක් හමු වේ

(03.05.2023 – 08:33 +0530 – hirunews.lk/sinhala)

කුඹුරුයායක නියරක් මත මුනින් අතරට වැටී අභිරහස් ලෙස මියගොස් සිටි කාන්තාවකගේ සිරුරක් සොයා ගෙන තිබෙනවා.

ඌරගස්මංහන්දිය පොලිස් වසමේ වීරජනපදයේ පෙර පාසලක් පිටුපස තිබී ඊයේ (02) දින එම මළ සිරුර හමුවූ බවයි පොලීය සඳහන් කරන්නේ.

එලෙස මියගොස් ඇත්තේ 66 හැවිරිදි වල්ඉඟුරුකැටිය – ඌරගස්මංහ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්.

මරණකාරිය වැටී සිටි ස්ථානය අසල අනවසරයෙන් අදින ලද විදුලි රැහැනක් ද දක්නට ඇති අතර, අනවසර විදුලි රැහැනේ ගැටීමෙන් එම කාන්තාව මියයන්නට ඇති බවටයි පොලීසිය සැක කරන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් ඌරගස්මංහන්දිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා ෴


සම්බාහනය මුවාවෙන් ගණිකා සේවය සැපයූ ආයතනයක් වටලයි

(03.05.2023 – 08:34 +0530 – hirunews.lk/sinhala)

ගල්කිස්ස, විජේසිරිවර්ධන මාවත ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් ඊයේ (02) සවස වටලා පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගල්කිස්ස පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මතයි මෙලෙස වැටලීම සිදුකර ඇත්තේ.

සම්බාහන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන මුවාවෙන් මෙම ගණිකා නිවාසය පවත්වාගෙන ගොස් ඇති අතර වැටලීම සිදුකරන අවස්ථාවේ දී එහි සිටි කාන්තාවන් 09 දෙනෙකු සහ ගණිකා නිවාසය කළමණාකරණය කළ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකාරියන් මිද්දෙනිය, කහටගස්තැන්න, දන්කන්ද, මැදවච්චිය, බුත්තල, මොරටුව, පොතුවිල්, රක්වාන, රත්මලාන හා වාද්දූව යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 20 ත් 43 ත් අතර වයස් සීමාවල පසුවන්නියන් බවයි පොලිසිය පවසන්නේ.

අත්අඩංගුවට ගත් සැකකාරියන අද (03) දින ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි ෴


ත්‍රස්ත විරෝධී කෙටුම්පත ගැන මහජන අදහස් විමසීම ඇරඹේ

(03.05.2023 – 08:51 +0530 – hirunews.lk/sinhala)

යෝජිත ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මැයි 31 වනදා දක්වා මහජන අදහස් යොමු කිරීමේ හැකියාව පවතින බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ ප්‍රකාශ කළා.

ඒ අනුව අදාළ කාලය තුළ ජනතාවට මෙන්ම සිවිල් සංවිධානවලට තම යෝජනා සහ අදහස් ඉදිරිපත් කිරීමට හැකියාව ලැබෙනු ඇති.

ඒවා ලිඛිතව ඉදිරිපත් කරන ලෙසයි අධිකරණ අමාත්‍යාංශය ඉල්ලා සිටින්නේ.

ඒ අනුව අදාළ යෝජනා සහ අදහස් සැළකිල්ලට ගනිමින් නව පනත් කෙටුම්පත සකස් කිරීමට නියමිත අතර, ඒ සඳහා අදාළ පාර්ශවයන් සඳහා සාකච්ඡා කිරීමටද නියමිතයි ෴


උසස් පෙළ ප්‍රශ්න පත්‍ර පරීක්ෂා කිරීමේ අයදුම්පත් කැඳවීම හෙට දක්වා දීර්ඝ කෙරේ

(03.05.2023 – 08:53 +0530 – hirunews.lk/sinhala)

උසස් පෙළ ප්‍රශ්න පත්‍ර පරීක්ෂා කිරීම සඳහා අන්තර්ජාලය ඔස්සේ අයදුම්පත් කැඳවීම හෙට (04) දින මධ්‍යම රාත්‍රිය දක්වා දීර්ඝ කර තිබෙනවා.

ඒ බව විභාග කොමසාරිස් ජනරාල් වරයා විසින් නිකුත් කළ නිවේදනයක සඳහන් ෴


පුංචි චන්දයට නාමයෝජනා භාරදුන් රාජ්‍ය සේවකයින්ට ‍රැකියාවකට අවසර

(03.05.2023 – 09:12 +0530 – hirunews.lk/sinhala)

පළාත් පාලන මැතිවරණයට අපේක්ෂකයන් ලෙස නාමයෝජනා භාර දුන් රාජ්‍ය සේවකයින්ට තමන් තරග කරන දිස්ත්‍රික්කය හැර ළඟම ඇති පළාත් පාලන කොට්ඨාසය තුළ රැකියාවල නිරත වීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

රජයේ සේවකයින් සම්බන්ධයෙන් ඡන්දය පවත්වනු ලබන තෙක් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කරන ලද නිරීක්ෂණ සැලකිල්ලට ගනිමින් එම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ ෴


මහින්ද රාජපක්ෂ ජාතික ටෙලි සිනමා උද්‍යානය පිළිබඳ කැබිනට් අනුමැතියක්

(03.05.2023 – 09:17 +0530 – hirunews.lk/sinhala)

‘මහින්ද රාජපක්ෂ ජාතික ටෙලි සිනමා උද්‍යානය’ (රන්මිණිතැන්න) රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරීත්වය යටතේ කළමනාකරණය කිරීමට පියවර ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද එම යෝජනාවට එලෙස අනුමැතිය හිමිව ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ මුදල් නොමැතිකම හේතුවෙන් ‘මග නැඟුම’ අනුබද්ධ ආයතන 04 ක් නවතා දමන බවයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *