ප්‍රහාරයකට ලක්වු ‘මැංගුස් සටනේ’ උප නායකයා ජාතික රෝහලට

ප්‍රහාරයකට ලක්වු ‘මැංගුස් සටනේ’ උප නායකයා ජාතික රෝහලට


ප්‍රහාරයකට ලක්වු ‘මැංගුස් සටනේ’ උප නායකයා ජාතික රෝහලට

(02.05.2023 – 08:31 +0530 – hirunews.lk/sinhala)

කළුතර තිස්ස ජාතික පාසල හා කළුතර මහා විද්‍යාලය අතර පැවති මැංගුස් සටන, එක්දින ක්‍රිකට් තරඟය අවසානයේ පිති ප්‍රහාරයකට ලක්වු තිස්ස විද්‍යාලයේ උප නායකයා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා තිබෙනවා.

මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ද ආරම්භ කර ඇති බවයි මග්ගොන පොලිසිය සඳහන් කළේ.

මග්ගොන සරේ ක්‍රිඩා පිටියේ පෙරේදා පැවති තරඟයේ මුලින්ම තිස්ස මහා විද්‍යාලය පන්දුවට පහර දී ඇති අතර ජයග්‍රාහී ලකුණු ඉලක්කය අවසන් පන්දුවාරයේදී කළුතර ක්‍රීඩකයින් විසින් සපුරා ගැනීමත් සමග තරගයේ ජය ඔවුන්ට හිමිවී තිබෙනවා.

පසුව සිසුන් පිටිය මැද සවි කර තිබූ ක්‍රිකට් පොලු ගලවා ගැනීමත් සමඟයි මෙම ගැටුම හටගෙන ඇත්තේ. එම අවස්ථාවේ තිස්ස විද්‍යාලයේ උප නායක 18 හැවිරිදි නෙත්සර සිල්වාට පිරිසක් ක්‍රිකට් පිත්තකින් පහර දී ඇති බව සඳහන්.

අනතුරුව ඔවුන් කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුවයි කොළඹ ජාතික රෝහලට මාරුකර යැවුණේ.

+

+

ගැටුමෙන් තුවාල ලැබූ සිසුවා නැවත රෝහල්ගත කෙරේ

(02.05.2023 – 22:34 +0530 – hirunews.lk/sinhala)

කළුතර මැන්ගුස් සටනේ සීමිත ඕවර ක්‍රිකට් තරගයේ දී ඇති වූ ගැටුමෙන් තුවාල ලැබූ කළුතර තිස්ස ජාතික පාසලේ 18 හැවිරිදි හිරුෂ නෙත්සර සිසුවා අද (02) දින රාත්‍රී 7 ට පමණ නැවත කළුතර ශික්ෂණ රෝහලට රෝහලට ඇතුලත් කර තිබෙනවා.

ඒ හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් මතයි.

පසුගිය අප්‍රේල් 30 වැනිදා මග්ගොන සරේ ක්‍රීඩාගණයේ දී පැවැති ක්‍රිකට් තරගයෙන් අනතුරුව ඇති වූ ගැටුමෙන් කළුතර තිස්ස ජාතික පාසලේ ක්‍රිකට් කණ්ඩායමේ උප නායක වන ඔහුගේ හිසටද පහරක් එල්ලවීම හේතුවෙන් ඔහුව කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කෙරුණා.

ඉන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔහු කොළඹ ජාතික රෝහල වෙත මාරු කෙරුණු අතර එහිදී සී.ටී. ස්කෑන් පරීක්ෂණයක් සඳහාද යොමු කර තිබුනා.

නේවාසිකව ප්‍රතිකාර ලැබූ හිරුෂ අද (02) දහවල් රෝහලෙන් පිටව ගොස් ඇති අතර ඉන් අනතුරුව ඔහුව මෙලෙස යළි රෝහල්ගත කර තිබෙන බවත්
සිය පුතුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම සිසුවාගේ මව පයාගල පොලීසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර ඇති බවත් වාර්තා වනවා ෴

+

පාසල් අතර ක්‍රිකට් තරග පැවැත්වීමේදී පොලිසිය දැනුවත් කරන ලෙස දැනුම්දීමක්

(02.05.2023 – 19:23 +0530 – hirunews.lk/sinhala)

කළුතර මහා විද්‍යාලය සමග පැවති එක්දින ක්‍රිකට් තරගය අවසානයේ පිති ප්‍රහාරයකට ලක්ව රෝහල් ගත කළ කළුතර – තිස්ස ජාතික පාසලේ ක්‍රිකට් කණ්ඩායමේ උප නායකයාගෙන් පොලිසිය ප්‍රකාශ ලබාගෙන තිබෙනවා.

පොලිසිය ප්‍රකාශ කළේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහු අද (02) පස්වරුවේ සිය නිවෙස වෙත පැමිණ ඇති බවයි.

පාසල් දෙක (2) අතර මැංගුස් සටන වාර්ෂික එක්දින ක්‍රිකට් තරගය මග්ගොන සරේ ක්‍රිඩා පිටියේ පෙරේදා (30) පැවැත්වුණා.

එහිදී කළුතර මහා විද්‍යාලය ජයග්‍රහණය ලැබීමත් සමග තරගය නරඹමින් සිටි පරාජිත තිස්ස ජාතික පාසලේ සිසුන් පිරිසක් පිටියට පැන එහි සවිකර තිබු විකට් පොලු ගලවා ගැනීමට උත්සහ කිරීමත් සමගයි දෙපිරිස අතර ගැටුමක් හටගෙන තිබුණේ.

එහිදී පහරකෑමට ලක්ව තුවාල ලැබු තිස්ස ජාතික පාසලේ උප නායක 18 හැවිරිදි නෙත්සර සිල්වා කළුතර නාගොඩ රෝහලට ඇතුලත් කිරිමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සදහා කොළඹ ජාතික රෝහලට මාරුකර යවා තිබුණා.

පාසල් අතර ක්‍රිකට් තරග පැවැත්වීමේදී පොලිසියෙන් දැනුවත් කිරීමට පියවර ගත යුතු බවයි මෙම සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් කැදවමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව කියා සිටියේ.

මේ අතර, කොළඹ වරාය හරහා ඉදිකරමින් පවතින අධිවේගී මාර්ගයේ දේපල සොරකම් කිරීම සඳහා එහි ගබඩාවට ඇතුලු වීමට උත්සාහ කළ පිරිසකට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් වැඩිදුර විමර්ශණ ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේ.

+

දරුවන් සහ ගැබිණි මව්වරුන් අතර ඩී විටමින් ඌණතාවක්

(02.05.2023 – 19:34 +0530 – hirunews.lk/sinhala)

මෙරට දරුවන්ගෙන් සහ ගැබිනි මව්වරුන්ගෙන් සියයට 25 ක් පමණ විටමින්-ඩී ඌනතාවයෙන් පෙළෙන බව වෛද්‍ය පර්යේෂණ ආයතනය විසින් සිදු කළ ජාතික සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.

විටමින්-ඩී ශරීරයට ලැබෙන ප්‍රධාන ප්‍රභව බවට පත් වන්නේ හිරු එළියයි.

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ පෝෂණ අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස විසින් ප්‍රකාශ කළේ, පසුගිය කාලය පුරාවටම පැවතුණු අධික හිරු රෂ්මිය හේතුවෙන් ජනතාව හිරු එළියට නිරාවරණය නොවීම මෙම තත්වය පැන නැගීමට හේතුවී ඇති බවයි.

+

මෙරට තේ මිලෙහි පහත බැසීමක්

(02.05.2023 – 19:38 +0530 – hirunews.lk/sinhala)

මෙරට තේ මිලෙහි පහත බැසීමක් දක්නට ලැබෙන බව, තේ අලෙවිකරුවන් පවසනවා.

පැවති වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් අමු තේ දළු නිෂ්පාදනය අඩුවීම හේතුවෙන්, එම තත්ත්වය දක්නට ලැබෙන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

ඒ අනුව, පසුගිය සතියට සාපේක්ෂව මේ සතිය තුලදී තේ කිලෝවක මිල රුපියල් 100 කින් පමණ පහත වැටී තිබෙනවා.

පසුගිය සතියේදී තේ කිලෝවක මිල සටහන් වූයේ රුපියල් 1,259 ක් ලෙසයි ෴

+

කරන්නාගොඩගෙන් ජූලි චන්ග්ට ලිපියක්

(02.05.2023 – 20:06 +0530 – hirunews.lk/sinhala)

තමන්ට සහ සිය බිරිඳට ඇමරිකාවට ඇතුළුවීමට වළක්වාලමින් පනවා ඇති තහනමට අදාලව මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට යොමුවන බව හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ පවසනවා.

ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජූලි චන්ග් වෙත ලිපියක් යොමුකරමිනුයි හිටපු නාවික හමුදාපතිවරයා මේ බව සඳහන් කළේ.

වයඹ පළාත් ආණ්ඩුකාර, හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ්ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩට සහ ඔහුගේ බිරිඳ වන ශ්‍රීමති අශෝකා කරන්නාගොඩට ඇමරිකා එක්සත් ජනපදයට ඇතුළුවීම වළක්වාලමින් එරට රජය විසින් තහනමක් පනවනු ලැබුවේ පසුගිය 27 වනදායි.

ඒ ඔහු නාවික හමුදාපතිවරයා ලෙස කටයුතු කළ කාලය තුළ උල්ලංඝනය ඇති බව කියන මානව හිමිකම් සමබන්ධයෙන් රාජ්‍ය නොවන සංවිධාන සහ ස්වාධීන පරීක්ෂණ මගින් ලේඛනගත කරන ලද චෝදනා විශ්වසනීය බව පවසමින්.

අදාළ තහනම සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ්ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මෙරට ඇමරිකානු තානාපතිනි ජූලි චංග් වෙත ලිපියක් යොමුකර ඇත්තේ එවන් පසුබිමකයි.

අදාළ නියෝගය නියමිත ක්‍රියාපටිපාටිය මගින් ගනු ලැබූවක් බවට නෛතිකමය වශයෙන් ඉදිරිපත්කර ඇතත්, ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා ඊට අදාළ චෝදනා පිළිබඳ තමා වෙත කිසිදු දැනුම්දීමක් කර නොමැති බවත් එම ලිපියෙහි සඳහන්.

එමෙන්ම එම චෝදනා පිළිබඳ සිය නිරීක්ෂණ විමසා නොමැති බවටත් හිටපු නාවික හමුදාපතිවරයා පෙන්වා දී තිබෙනවා.

ඒ අනුව එමගින් ලෝකයේ සියලු රජයන් විසින් පිළිගනු ලබන ස්වභාවික යුක්තියේ මූලධර්මය උල්ලංඝණය කර ඇති බවද ඔහු සඳහන් කරනවා.

එමෙන්ම වසර 14 ක් පුරාවට තමා හෝ බිරිඳ ඇමරිකානු වීසා අයදුම්කර නොමැති බවද හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ එම ලිපියේ සඳහන් කර තිබීම විශේෂත්වයක්.

ඒ අනුව තමාට එරෙහිව ඇමරිකානු තානාපතිනිය එල්ලකර ඇති චෝදනා නොපිළිගන්නා බවයි හිටපු නාවික හමුදාපතිවරයා ලිපියෙහි වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ.

මෙම චෝදනා හරහා තමන් වසර 45 ක රාජ්‍ය සේවය තුළ ගොඩ නගාගත් ගෞරවයට සහ කීර්තිනාමයට බලපෑමක් එල්ලවී ඇති බැවින් එලෙස සිය මානව හිමිකම් කඩවීම මත නීතිමය සහනයක් බලාපොරොත්තු වන බව ද හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ්ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ ඇමරිකානු තානාපතිවරියට යොමුකළ ලිපියේ දක්වා තිබෙනවා.

+

දැරියක් අපයෝජනය කළ පුද්ගලයෙක් රක්ෂිත බන්ධනාගාරයට

(02.05.2023 – 20:07 +0530 – hirunews.lk/sinhala)

හපුතලේ ප්‍රදේශයේ 15 හැවිරිදි පාසල් දැරියක්ව කොළඹට දී අපයෝජනය කළ තරුණයෙකු ලබන 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත ගත කිරීමට බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය අද (02) නියෝග කළා.

අපයෝජනයට ලක් වූ සිසුවිය සිය සොයුරිය සහ සොයුරියගෙ පෙම්වතා සමඟ දින 4 කට පමණ පෙර නිවසට නොදන්වා කොළඹ ප්‍රදේශයට පැමිණ ඇති බවයි වාර්තා වෙන්නේ.

පසුව ඔවුන් කොළඹ නිවසක නතර වී සිටිය දී සොයුරියගෙ පෙම්වතාගේ මිතුරකු විසින් දැරිය අපයෝජනයට ලක්කර ඇති බව පොලිසිය පවසනවා.

දියණියන් දෙදෙනා (2) නිවසෙන් අතුරුදන් බවට ලද පැමිණිල්ලක් මත විමර්ශන සිදුකළ හපුතලේ පොලිසිය විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණා ෴

+

සුඩානයේ සිටි තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් සෞදි අරාබියේ ජෙඩා නුවරට

(02.05.2023 – 20:53 +0530 – hirunews.lk/sinhala)

සුඩානයේ යුද ගැටුම්වලට මැදි වූ 11 දෙනෙකුගෙන් යුත් තවත් ශ්‍රී ලාංකිකයින් කණ්ඩායමක් සෞදි අරාබියේ ජෙඩා නුවරට ආරක්ෂිතව රැගෙන විත් තිබෙනවා.

ඒ අනුව මේ වනවිට සුඩානයේ යුද ගැටුම් ඇති ප්‍රදේශවලින් මුදාගෙන ඇති සමස්ත ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාව 31 ක්.

ලක්ෂ 8 කට ජනතාවක් සරණාගතයින් බවට පත් කරමින් සුඩානයේ නිත්‍යානුකුල නොවන සන්නද්ධ හමුදා කණ්ඩායම් සහ එරට රාජ්‍ය හමුදාව අතර හටගෙන තිබෙන යුද ගැටුම්වලින් 500 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව තවත් 2,000 කට අධික පිරිසක් තුවාල ලබා තිබෙනවා.

සරණාගත සඳහා වන එක්සත් ජාතීන්ගේ ඒජන්සිය පෙන්වා දෙන්නේ, යුද ගැටුම්වලට මැදිවූවන් අසල්වැසි රටවල් 7 කට පළා ගොස් ඇති බවයි.

මේ වනවිට සෞදි අරාබිය විසින් සුඩානයෙන් ඉවත් කරගත් සංඛ්‍යාව 5,409 ක් වන අතර, ඒ අතරින් 5,184 ක් විදේශිකයින්.

සුඩාන ගැටුම් ආරම්භ වන අවස්ථාවේ එරට ශ්‍රී ලාංකිකයින් 50 කට අධික පිරිසක් රැඳී සිටියා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *