මහජන උපයෝගීතා කොමිසමෙන් නව අනාවරණයක්

මහජන උපයෝගීතා කොමිසමෙන් නව අනාවරණයක්


මහජන උපයෝගීතා කොමිසමෙන් නව අනාවරණයක්

(02.05.2023 – 17:52 +0530 – hirunews.lk/sinhala)

මහජන උපයෝගීතා කොමිසන් සභාවේ සභාපති ජනක රත්නායක ලංකා විදුලිබල මණ්ඩල පනත සම්බන්ධයෙන් අදහස් දැක්වීමක් සිදුකර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙන්නේ, විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයාගේ නිර්දේශ මත පත් කළ කමිටුවක් විසින් ලංකා විදුලිබල මණ්ඩල පනත අහෝසි කර එහි සම්පත්, සමාගම් 14 කට පැවරීම සඳහා යෝජනාවලියක් සහ පනත් කෙටුම්පතක් සකස් කර ඇති බවයි.

අදාළ යෝජනා ක්‍රියාත්මක කළහොත් මහවැලි, ලක්ෂපාන, උමා ඔය ඇතුලු සියලුම ජල බලාගාර සහ සෙසු බලාගාර වෙන් වෙන් වූ සමාගම්වලට පැවරීම හරහා ජාතික බලශක්ති සුරක්ෂිතතාවය සමාගම් පාලනයට නතුවන බවද ඔහු සඳහන් කරනවා.

++++++++

ජනක රත්නායක සිදු කරන ප්‍රකාශ වල කිසිදු පදනමක් නැහැ – ඉන්දික අනුරුද්ධ

(03.05.2023 – 08:54 +0530 – hirunews.lk/sinhala)

මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා සිදුකරන ප්‍රකාශවල කිසිදු පදනමක් නොමැති බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා ඊයේ (02) සිදුකළ ප්‍රකාශයකට පිළිතුරු ලබාදෙමින්.

මහජන උපයෝගීතා කොමිසන් සභාවේ සභාපති ජනක රත්නායක කියා සිටියේ විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයාගේ නිර්දේශ මත පත් කළ කමිටුවක් විසින් ලංකා විදුලිබල මණ්ඩල පනත අහෝසි කර එහි සම්පත්, සමාගම් 14 කට පැවරීම සඳහා යෝජනාවලියක් සහ පනත් කෙටුම්පතක් සකස් කර ඇති බවයි.

මේ හරහා මහවැලි, ලක්ෂපාන, උමා ඔය ඇතුලු සියලුම ජල විදුලි බලාගාර සහ සෙසු බලාගාර වෙන් වෙන් වූ සමාගම්වලට පැවරීම තුළින් ජාතික බලශක්ති සුරක්ෂිතතාවය සමාගම් පාලනයට නතුවන බවද ඔහු සඳහන් කළා ෴

+

බඹර ප්‍රහාරයකින් පාසල් සිසුන් 04 ක් රෝහලේ

(02.05.2023 – 15:18 +0530 – hirunews.lk/sinhala)

නොර්වුඩ් එල්ඛඩ පහල කොටස ද්‍රවිඩ විදුහලට එල්ලවූ බඹර ප්‍රහාරයකින් එම විදුහලේ ඉගෙනුම ලබමින් සිටි සිසු සිසුවියන් හතර (4) දෙනකු තුවාල ලබා දික්ඔය ග්ලැන්කන් දිස්ත්‍රික් මුලික රෝහලට ඇතුලත් කර තිබෙනවා.

එම විදුහලේ ගුරුවරයකු පවසන ලද්දේ අද (02) දින පාසල පැවැත්වෙන කාලය තුළ දී පාසල අසල ගසක බැඳ තිබූ බඹර කුඩුවක් ඇවිස්සීමෙන් එහි සිටි බඹරුන් විසින් පහර දීමෙන් 11 වසරේ ඉගෙනුම ලබන සිසුවියන් තුන් (3) දෙනකු හා එක් (1) සිසුවකු තුවාල ලබා ඇති බවයි.

එසේ තුවාල ලැබූ එම සිසුන් කඩිනමින් දික්ඔය ග්ලැන්කන් දිස්ත්‍රික් මුලික රෝහල වෙත ඇතුලත්කි රිමට පියවර ගත් බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

මෙම සිදුව්වීම පිළිබඳව කරන ලද විමසීමකදී අදහස් දැක්වූ දික්ඔය ග්ලැන්කන් දිස්ත්‍රික් මූලික රෝහලේ නිලධාරියකු පවසන ලද්දේ බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබු සිසුන්ගේ තත්වයන් බරපතල නොවන බවත් එම සිසුන් රෝහලේ නේවාසිකව ප්‍රථිකාර ලබන බවත්ය ෴

+

රක්ෂිතයක් එළිපෙහෙළි කිරීමෙන් සැකකරුවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට

(02.05.2023 – 15:54 +0530 – hirunews.lk/sinhala)

පුල්මුඩේ කඳවුරේ නිලධාරීන්ට ඊයේ (01) දින ලද තොරතුරක් මත කුච්චවේලි පොලිස් වසමේ සෙම්බිකුලම් රජයේ රක්ෂිත ප්‍රදේශයේදී සිදු කරන ලද වැටලීමකින් අක්කර 02 ක පමණ භූමි ප්‍රදේශයක් එළි පෙහෙළි කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් කුච්චවේලී පොලිස් ස්ථානයට භාර දී ඇති බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 30 ක් හා 42 ක් වන උප්පුවේලී හා පුදුකුඩිරුප්පු ප්‍රදේශවල පදිංචිකරුවන්.

සිදුවීම සම්බන්ධයෙන් කුච්චවේලී පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා ෴

+

පුද්ගලයෙකු ඝාතනය කළ පිය පුතු දෙපළක් (2) අත්අඩංගුවට

(02.05.2023 – 16:22 +0530 – hirunews.lk/sinhala)

ගලේවෙල නගරයේ දී පුද්ගලයෙකුට පහර දී ඝාතනය කළ පිය පුතු දෙපළක් (2) සහ තවත් එක් (1) පුද්ගලයෙකු ගලේවෙල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය අප්‍රේල් 25 වැනිදා ගලේවෙල නගරයේ දී මෙම පහරදීම සිදුව ඇති අතර තුවාල ලැබූ පුද්ගලයා රෝහල්ගත කර සිටියදී එම මස 29 දා මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඝාතනයට ලක් වූ පුද්ගලයාට එරෙහිව මාතලේ අධිකරණයෙහි මිනීමැරුම් චෝදනාවක් සම්බන්ධයෙන් නඩුවක් විභාග වන අතර පහර දීමට සම්බන්ධ පුද්ගලයෙකු එම නඩුවේ ප්‍රධාන සාක්ෂිකරුවකු ලෙස පෙනී සිටින බවයි හෙළිව තිබෙන්නේ ෴

+

රන් භාණ්ඩ හා විදෙස් මුදල් සොරා ගත් පුද්ගලයෙක් අත්අඩංගුවට

(02.05.2023 – 17:13 +0530 – hirunews.lk/sinhala)

බොරැල්ලේ නිවසකින් රුපියල් එක්කෝටි තිස්හත් ලක්ෂයක් (1,37,00,000) වටිනා රත්රන් භාණ්ඩ හා විදෙස් මුදල් සොරා ගත් පුද්ගලයෙකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරු 46 හැවිරිදි කිරුළපන ප්‍රදේශයේ පදිංචි ‘කබරයා’ නැමැති අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන පුද්ගලයෙක්

සැකකරු හට ගෙවල් බිඳුම් චෝදනා තිහකට (30) අධික ප්‍රමාණයක් තිබෙන බව කොළඹ අපරාධ කොට්ඨාස විමර්ශන නිලධාරීන් අනාවරණය කරගෙන ඇත්තේ ෴

+

වෙන්නප්පුව – වයික්කාල මුහුදු වෙරළේ නාඳුනන පිරිමි මළ සිරුරක්

(02.05.2023 – 17:37 +0530 – hirunews.lk/sinhala)

වෙන්නප්පුව – වයික්කාල මුහුදු වෙරළට ගොඩ ගසා ඇති නාඳුනන පිරිමි මළ සිරුරක් සම්බන්ධයෙන් විමර්ශණයක් ආරම්භ කර ඇති බව වෙන්නප්පුව පොලීසිය පවසනවා.

ප්‍රදේශයේ ධීවරයෙකු විසින් අද (02) දින පොලීසියට මෙම මළ සිරුර සම්බන්ධයෙන් තොරතුරු ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 45-50 ක් අතර විය හැකි බවත් පොලීසිය සඳහන් කරනවා.

මිය ගොස් ඇති අය හඳුනා ගැනීම සඳහා සහාය වන ලෙස වෙන්නප්පුව පොලීසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරනු ලබනවා ෴

+

වෑන් රථයක් සිදු කළ අනතුරකින් සරුවත් විකිණූ දැරියක් මරුට

(02.05.2023 – 17:46 +0530 – hirunews.lk/sinhala)

සරුවත් විකුණමින් සිටි 16 හැවිරිදි දැරියක වෑන් රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් මියගොස් ඇති බව වෙන්නප්පුව පොලිසිය විසින් පවසනවා.

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීමට සූදානම්ව සිට ඇති මෙම දැරිය අමතර ආදායමක් ඉපයීම සඳහා කටුනේරිය මාර්ගයේ දුම්මලදෙනිය ප්‍රදේශයේ සරුවත් විකිණීමෙහි නිරතව සිට ඇත.

අනතුර සිදුකළ 21 හැවිරිදි රියැදුරා අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේ දී බීමත්ව රිය පැදවීමේ වරදට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන මාස 2 කට රියදුරු බලපත්‍රය අහෝසි වී ඇති අයකු බව අනාවරණය වී තිබෙනවා.

සැකකාර රියදුරා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 08 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාරවිල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙන්නේ ෴

+

ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

(02.05.2023 – 17:54 +0530 – hirunews.lk/sinhala)

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් දිවයිනේ ප්‍රදේශ කීපයකට නායයෑම් අනතුරු නිකුත් කර තිබෙනවා

ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ (හල්දුම්මුල්ල සහ පස්සර ප්‍රාදේශීය සභාව), කෑගල්ල දිස්ත්‍රික්කයේ (කෑගල්ල ප්‍රාදේශීය සභාව) සහ මාතර දිස්ත්‍රික්කයේ (කොටපොල සහ පස්ගොඩ ප්‍රාදේශීය සභාව) මෙලෙස නායයෑම් අනතුරු නිකුත් කර තිබෙන බව එම ආයතනය විසින් නිකුත් කර ඇති නිවේදනයේ සඳහන් ෴

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය ජනතාවට දැනුම් දෙන්නේ අවදානයෙන් පසුවන ලෙසයි.

ජල උල්පත් බොරවීම අවහිර වීම හෝ නැතිවීම, ගොඩනැගිලිවල ගෙබිම හා බිත්තිවල ඇති වන පිපිරීම්, පොළොවේ ඇති වන ඉරි තැලීම් ගැඹුරට හෑරුණු පැලුම් සහ පොළොවේ ගිලා බැසීම් තත්තවයන් ගැන නිතර අවදානයෙන් පසුවන ලෙස ඔවුන් වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා ෴

+

පුද්ගලයෙකු පැහැරගත් කණ්ඩායමක් යාපනයේ දී අත්අඩංගුවට

(02.05.2023 – 18:09 +0530 – hirunews.lk/sinhala)

ත්‍රිරෝද රථ රියදුරෙකු පැහැරගෙන ගොස් යාපනය කෝපායි හි නිවසක රඳවා වද හිංසා සිදුකරමින් සිටි කාන්තාවන් තුන්දෙනෙකු ඇතුලු 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය කියා සිටියේ, වවුනියාව ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයා කුලී ගමනක් යන මුවාවෙන් ගෙන්වාගෙන වෑන් රථයක් මගින් පැහැරගෙන විත් ඇති බවයි.

ඒ අනුව පොලිසියට ලද තොරතුරකට අනුව සැකකරුවන් පොලිස් භාරයට ගෙන ඇති අතර, අදාළ ත්‍රිරෝද රථ රියදුරා වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය රෝහලට යොමු කර තිබෙනවා ෴

+

කසල තේ තොගයක් ගිනි තබා විනාශ කෙරේ

(02.05.2023 – 18:28 +0530 – hirunews.lk/sinhala)

බලපත්‍රයක් නොමැතිව ආගරපතන ප්‍රදේශයේ සිට ගම්පොල වෙලම්බොඩ දක්වා ප්‍රවාහනය කරමින් තිබු කසල තේ කිලෝ 800 ක් සැකකරුවන් තිදෙනෙකු (3) සහ වෑන් රථයක් සමගින් වටවල පොලිසිය විසින් ඉකුත් මස (09) වන දින සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව එම නඩුව අද (02) දින අධිකරණය හමුවේ කැඳ වු අවස්ථාවේ දී සැකකරුවන් දෙදෙනා (2) වරද පිළිගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී එක් චුදිතයෙකුට රුපියල් 15,000 ක් බැගින් සැකකරුවන් තිදෙනාට (3) රුපියල් 45,000 ක මුදලක් ගෙවන ලෙස නියම කර කසල තේ තොගය ගිනි තබා විනාශ කරන ලෙසට හැටන් මහෙස්ත්‍රාත් ෆරුක් ඩින් නියෝග කර තිබෙනවා.

වරද පිළිගත් චුදිතයන් ගම්පොළ වෙලම්බොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, වැන් රථය ඇපකරයක් මත මුදා හැර යලිත් මෙම නඩුව වෙනත් දිනයක කැදවීමටයි මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙන්නේ ෴

+

බුදු බුදුපිළිමයකට හානි කළ පුද්ගලයෙක් රක්ෂිත බන්ධනාගාරයට

(02.05.2023 – 18:33 +0530 – hirunews.lk/sinhala)

කෝකිලායි – මොහොත්වාරම් මාර්ගයේ ස්ථාපිත බුදු බුදුපිළිමයේ සිරස කඩා හානි කළ පුද්ගලයෙකු ලබන 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය අද (02) නියෝග කළා.

පොලිසිය පවසන්නේ, අධික ලෙස බීමත්ව සිටි 33 හැවිරිදි සෙල්වපුරම් ප්‍රදේශයේ පදිංචිකරුවකු මෙලෙස බුදු බුදුපිළිමයට හානි කර ඇති බවයි.

එමෙන්ම කෝකිලායි පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා ෴

+

ඵලදායිතා කොමිෂන් සභාවට ඕස්ට්‍රේලියාවෙන් සහය

(02.05.2023 – 18:46 +0530 – hirunews.lk/sinhala)

ප්‍රමුඛතා ව්‍යාපෘති සහ ජාතික ඵලදායිතා කොමිසම ඇතුළු පරිපූර්ණ ආර්ථික ප්‍රතිසංස්කරණ ශ්‍රී ලංකාව විසින් ක්‍රියාවට නංවනු ලබන බව ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කළ නිවේදනයක සඳහන් වනවා.

ඊට අදාළ දැනුම හුවමාරු කරගැනීම වෙනුවෙන් කොමිසමේ ක්‍රියාකාරී කණ්ඩායම, ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහා කොමසාරිස් කාර්යාලයේ සහාය ඇතිව ඕස්ට්‍රේලියාවේ ඵලදායිතා කොමිෂන් සභාව සමග සහයෝගයෙන් කටයුතු කරනු ඇති බවත් එම නිවේදනයේ සඳහන් ෴

+

Dialog සහ Airtel සමාගම් ඒකාබද්ධ වේ

(02.05.2023 – 18:57 +0530 – hirunews.lk/sinhala)

Bharti Airtel Lanka (Pvt) Ltd ශ්‍රී ලංකාව තුළ සිය මෙහෙයුම් Dialog Axiata PLC සමඟින් ඒකාබද්ධ කිරීමට තීරණය කර තිබෙන බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ දැනුවත් කරමින් Dialog Axiata PLC හි අධ්‍යක්ෂ / සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ පවසන්නේ, අදාළ නීති සහ රෙගුලාසිවලට අනුව පාර්ශව දෙක (2) විසින් අදාළ නියාමන බලධාරීන් සමඟ සාකච්ඡා කරමින් සිටින බවයි.

එසේම යෝජිත ගනුදෙනුව සඳහා නිශ්චිත ගිවිසුම් අත්සන් කිරීමට සහ අදාළ නියාමන සහ කොටස් හිමියන්ගේ අනුමැතිය ඇතුළුව අවශ්‍ය අවසන් කොන්දේසිවලට යටත් වනු ඇති බව කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත ඔහු වැඩිදුරටත් දැනුම් දී සිටී ෴

+

කිව්-ආර් කේතය අහෝසි වන ලකුණු

(02.05.2023 – 19:13 +0530 – hirunews.lk/sinhala)

කිව්-ආර් කේතය හරහා ඉන්ධන නිකුත් කිරීම නුදුරේදීම අත්හිටුවන බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක ප්‍රකාශ කළා.

මේ අතර හෙට (03) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100 කින් පමණ පහත හෙලන බවයි එහි සභාපති මුදිත පීරිස් කියා සිටියේ.

ඊට සමගාමීව කිලෝග්‍රෑම් 05 ලිට්රෝ ගෑස් සිලින්ඩරයක සහ කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරවල මිලද පහත හෙළනු ඇති.

මේ අතර සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ ඊයේ (01) පැවති එක්සත් ජාතික පක්ෂ මැයි දින රැළිය අමතමින් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක කියා සිටියේ කිව්-ආර් කේතය හරහා ඉන්ධන නිකුත් කිරීම නුදුරේදීම අත්හිටුවන බවයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *