පාසල් ළමුන් ප්‍රවාහනය කරන රථවල ගාස්තු සංශෝධනයක්

පාසල් ළමුන් ප්‍රවාහනය කරන රථවල ගාස්තු සංශෝධනයක්


පාසල් ළමුන් ප්‍රවාහනය කරන රථවල ගාස්තු සංශෝධනයක්

(02.05.2023 – 10:29 +0530 – hirunews.lk/sinhala)

සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමය විසින් පාසල් ළමුන් ප්‍රවාහන රථවල ගාස්තු අඩු කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ රජය විසින් ඉන්ධන මිල අඩු කිරීමට ගත් තීරණයත් සමඟයි.

රජය විසින් ඉන්ධන මිල අඩු කිරීමට පියවර ගෙන තිබුණේ පසුගිය 30 වෙනිදායි.

ඒ අනුව ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් ලීටරයක් රුපියල් 7 කින්, ලංකා පෙට්‍රල් 95 ඔක්ටේන් යූරෝ 4 ලීටරයක් රුපියල් 10 කින්, ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 15 කින්, ලංකා සුපිරි ඩීසල් 4 ස්ටාර් යූරෝ 4 ලීටරයක් රුපියල් 135 කින් වශයෙන් ද අඩු වී තිබුණා.

ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් ලීටරයක නව මිල රුපියල් 333 ක් ද, ලංකා පෙට්‍රල් 95 ඔක්ටේන් යූරෝ 4 ලීටරයක නව මිල රුපියල් 365 ක් ද, ලංකා සුදු ඩීසල් ලීටරයක නව මිල රුපියල් 310 ක් ද, ලංකා සුපිරි ඩීසල් 4 ස්ටාර් යූරෝ 4 ලීටරයක නව මිල රුපියල් 330 ක්ද ලෙස මිල ගණන් නව සංශෝධන විය.

මෙලෙස මිල ගණන් අඩු කිරීම හේතුවෙන් ප්‍රවාහන ගාස්තු අඩු කිරීමට තීරණය ගත් බවයි එම සංගමයේ සභාපති පැවසුවේ.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ ගාස්තු අඩු කරන ප්‍රතිශතය තවමත් ප්‍රකාශයට පත් කළ නොහැකි බවයි ෴

+

දරුවෙකුට අතවර කළ උප පාලක රිමාන්ඩ්

(02.05.2023 – 10:49 +0530 – hirunews.lk/sinhala)

දොළොස් (12) හැවිරිදි පිරිමි දරුවෙකුට බරපතළ ලිංගික අතවර කළ ළමා සංවර්ධන මධ්‍යස්ථානයක උප පාලකවරයෙකු ඊයේ (01) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මහරගම පිරිමි ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ උප පාලකවරයායි.

වයස අවුරුදු 60 ක් වන උප පාලකවරයා මාස හයක (6) පමණ කාලය සිට මෙම දරුවා අපයෝජනය කර ඇති බව විමර්ශනවලදී හෙළි වී ඇති බව මහරගම පොලිසිය පවසනවා.

අත්අඩංගුවට ගත් සැකකරු ලබන මස 10 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ නියෝග කර තිබෙනවා ෴

+

නිල ඇඳුමෙන් ‘ඩාන්ස්’ දැමූ කොස්තාපල්ගේ වැඩ තහනම්

(02.05.2023 – 11:12 +0530 – hirunews.lk/sinhala)

සංගීත ප්‍රසංගයක වේදිකාවක් මත පොලිස් නිල ඇඳුමන් නර්තනයේ යෙදුණු බව කියන පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කිරීමට පොලිස් මූලස්ථානය ඊයේ (01) පියවර ගෙන තිබෙනවා.

මෙලෙස වැඩ තහනමට ලක් වී ඇත්තේ පෑලියගොඩ පොලිසියට අනුයුක්තව රාජකාරී කල පොලිස් කොස්තාපල්වරයෙක්.

පසුගිය 30 වැනි දා බියගම කැලණිය ‘නදී’ ක්‍රීඩාංගනයේදී පැවති සංගීත ප්‍රසංගයකදී ගායකයෙකුගේ ගීතයකට වේදිකාව මත නැග මෙම පොලිස් කොස්තාපල්වරයා නර්තනයේ යෙදී ඇති බවයි පොලිසිය පවසන්නේ ෴

+

ලිට්‍රෝ ගෑස් මිල පහලට

(02.05.2023 – 11:31 +0530 – hirunews.lk/sinhala)

ලිට්රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල හෙට (03) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 100 කින් පමණ පහත හෙලන බව එහි සභාපති මුදිත පීරිස් පවසනවා.

නව මිල ගණන් හෙට (03) දිනයේ දී ප්‍රකාශයට පත් කරන බවයි හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ.

අවසන් වරට පසුගිය මස 4 වනදා ලිට්රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1005 කින් පහත දැමුණු අතර ඒ අනුව එම වර්ගයේ ගෑස් සිලින්ඩරයක් මේ වනවිට අලෙවි වන්නේ රුපියල් 3738 කටයි.

ඊට අමතරව, කිලෝග්‍රෑම් 05 ලිට්රෝ ගෑස් සිලින්ඩරයක් රුපියල් 1502 කට අලෙවි වන අතර, කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක් මේ වනවිට රුපියල් 700 කට අලෙවි වනවා ෴

+

ත්‍රිපෝෂ නිෂ්පාදනය පහළට- සේවකයෝ උද්ඝෝෂණයේ

(02.05.2023 – 11:54 +0530 – hirunews.lk/sinhala)

ත්‍රිපෝෂ ආයතනයට නිසි පරිදි අමුද්‍රව්‍ය නොලැබීම නිසා නිෂ්පාදනය අඩු වීමත් සමඟ සිය රැකියාවන් අහිමි වීමේ අවදානමක් පවතින බව කපුවත්ත ත්‍රිපෝෂ ආයතනයේ සේවකයින් පවසනවා.

මේ පිළිබඳව පවසමින් ඔවුන් ඊයේ (01) උද්ඝෝෂණයක නිරතු වූ බවද සඳහන්.

සේවකයින් 75 ක් පමණ මෙම උද්ඝෝෂණයට සහභාගි වී ඇති බව වාර්තා වෙන අතර පැයක පමණ කාලයක් විරුද්ධත්වය දක්වා එම සේවකයන් පිරිස විසිර ගිය බවයි පොලිසිය අනාවරණය කරන්නේ ෴

+

රූපලාවන්‍යාගාරවල පසුම්බි සොරකම් කරන හෙරක්

(02.05.2023 – 11:59 +0530 – hirunews.lk/sinhala)

රූපලාවන්‍ය කටයුතු කර ගැනීමේ මුවාවෙන් රූපලාවන්‍යාගාර තුළට පැමිණ මුදල් පසුම්බි සොරා ගන්නා කාන්තාවක් අත්අඩංගුවට ගැනීමට අවිස්සාවේල්ල, ගම්පොල, බොරලැස්ගමුව හා වරකාපොල යන පොලිසි විසින් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

කොණ්ඩය සැකසීමට අවශ්‍ය බව පවසමින් රූපලාවන්‍යාගාර තුළට පැමිණෙන මෙම කාන්තාව විසින් මුදල් පසුම්බි සොරකම් කොට එහි තිබෙන බැංකු කාඩ්පත් උපයෝගී කරගෙන විවිධ ස්ථානවලින් භාණ්ඩ මිල දී ගෙන ඇති බවට ද කරුණු හෙළි වී තිබෙන බවයි පොලිසිය සඳහන් කරන්නේ.

දින කිහිපයකට පෙර කොණ්ඩය සැකසීමට අවශ්‍ය බව පවසමින් අවිස්සාවේල්ල පිහිටි රූපලාවණ්‍යාගාරයකට පැමිණි මෙම කාන්තාව එම රූපලාවන්‍යාගාර හිමිකාරියගේ මුදල් පසුම්බිය සොරකම් කර එහි තිබූ බැංකු කාඩ් පත යොදා රුපියල් 143,000 ක වටිනාකමින් යුතු භාණ්ඩ හෝමාගම මහරගම ප්‍රදේශවල වෙළඳසැල්වලින් ලබාගෙන ඇති බවද අනාවරණය වී තිබෙනවා.

මෙම කාන්තාව විසින් සොරාගන්නා බැංකු කාඩ්පත් යොදාගෙන රන්භාණ්ඩ, ජංගම දුරකථන, නිමි ඇඳුම් මිල දී ගැනීමට ද කටයුතු කර ඇති බවයි මූලික පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ ෴

+

තෑගි අරන් දෙන්නම් යැයි රවටා දරුවෙකු අපයෝජනය කරලා

(02.05.2023 – 12:22 +0530 – hirunews.lk/sinhala)

පාසල් උපකරණ ලබා දෙන බව පවසමින් දහතුන් (13) හැවිරිදි පිරිමි දරුවකු රවටා අපයෝජනය කළ පුද්ගලයෙකු එගොඩඋයන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරු වයස අවුරුදු 49 ක් වන හිරණ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

එගොඩඋයන දුම්රිය ස්ථානය අසල වෙරළ තීරයට මෙම දරුවා රැගෙන ගොස් සැකකරු විසින් අපයෝජනය කර ඇති බව එගොඩඋයන පොලීසිය පවසනවා.

සැකකරු අද (02) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴

+

ලබන 08 වනදා දක්වා වැසි සහිත කාලගුණයක්

(02.05.2023 – 13:01 +0530 – hirunews.lk/sinhala)

දිවයිනේ ප්‍රදේශ කිහිපයකටම අද (02) උදෑසන තද වැසි ඇතිවීමට හේතුව පහළ වායුගෝලයේ සුළං රටාවේ වෙනස්වීම බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්නතුව පවසනවා.

කෙසේ වෙතත් එලෙස උදෑසන වැසි හටගැනීම තාවකාලික තත්ත්වයක් බවයි එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක සඳහන් කළේ.

එමෙන්ම දිවයිනට බලපා ඇති වැසි සහිත කාලගුණය ලබන 08 වනදා දක්වා අපේක්ෂා කරන බව ඔහු කියා සිටියා.

මේ අතර දිවයිනේ ප්‍රදේශ රැසකටම අද (02) පස්වරු 02 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

ඒ අනුව, බස්නාහිර, සබරගමුව, නැගෙනහිර සහ ඌව පළාත්වලට මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල, මාතර, මන්නාරම සහ යාපනය යන දිස්ත්‍රික්කවලට ද මිලිමීටර 75 ට වැඩි වැසි ඇතිවිය හැකි බවයි එම නිවේදනයේ සඳහන් වෙන්නේ.

එමෙන්ම පස්සර 13 කනුව දෙමළ මහා විද්‍යාලයේ පාසල් ගොඩනැගිල්ලක් ආසන්නයට පස් කණ්ඩියක් කඩාවැටීම හේතුවෙන් එම පාසලේ 3, 4, 5 ශ්‍රේණිවල සිසුන්ට නිවාඩු ලබාදීමට එහි විදුහල්පතිවරයා තීරණය කළා.

මේ අතර අරලගංවිල 503 කලාපයේ පිහිටි වෙල්යායක කුඹුරු වැඩ කරමින් සිටි පුද්ගලයෙකු අකුණුසැර වැදී ඊයේ (01) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 60 ක් වන අරලගංවිල රත්මල්තැන්න ප්‍රදේශයේ පදිංචි තිදරු පියෙක්.

සිය පියා නිවසට පැමිණීම ප්‍රමාද වීම හේතුවෙන් ඔහුගේ පුත්‍රයා වෙල්යායට ගොස් නිරීක්ෂණය කිරීමේ දී ඔහු ඇඳ වැටී මියගොස් සිට ඇති බව පොලිසිය සඳහන් කළා ෴

+

නුවරඑළියේ මහල් 4 කට වැඩි ගොඩනැගිලි ඉදිකිරීම සීමා කෙරේ

(02.05.2023 – 13:15 +0530 – hirunews.lk/sinhala)

නුවරඑළිය දිස්ත්‍රික්කයේ මහල් 4 කට වැඩි නව ගොඩනැගිලි ඉදිකිරීම ඊයේ (01) සිට සීමා කර තිබෙනවා.

එය නියාමනය කිරීම සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් කාර්යසාධන බලකායක් ද ස්ථාපිත කර ඇති බවයි නාගරික සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කළේ.

නාගරික සංවර්ධන අධිකාරි පනතේ විධිවිධාන අනුව රෙගුලාසි පැනවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ යෝජනාවට පසුගියදා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබීමෙන් පසු මෙම තීරණය ගෙන තිබෙනවා ෴

+

ආදිවාසී නායකයාගේ පෙත්සම විභාගයට දින නියම වෙයි

(02.05.2023 – 13:24 +0530 – hirunews.lk/sinhala)

මහවැලි අධිකාරිය ගෙන තිබෙන තීරණයට එරෙහිව ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලඇතතන් විසින් ඉදිරිපත් කර තිබෙන රිට් පෙත්සම ලබන සැප්තැම්බර් මස 08 වනදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (02) දින නියම කළා.

ඒ එම පෙත්සම සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී යි.

එහිදී පෙත්සම්කාර ආදිවාසී නායකයා කියා සිටියේ රඹකැන්ඔය ප්‍රදේශයෙහි පිහිටි සිය පාරම්පරික නිජබිම හෙළිපෙහෙළි කොට අදාළ ඉඩම් බඩඉරිඟු‍ වගා කිරීම සඳහා පෞද්ගලිකව සමාගම් වෙත ලබාදීමට මහවැලි අධිකාරිය තීරණය කර ඇති බවයි.

මේ තුළින් සිය ප්‍රජාවට දැඩි අසාධාරණයක් සිදුවන බවත් එබැවින් අදාළ තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණා ෴

+

පුහුණුවට විදෙස්ගත වූ වෛද්‍යවරු නැවත පැමිණ නැහැ – සෞඛ්‍ය අමාත්‍යාංශය

(02.05.2023 – 14:10 +0530 – hirunews.lk/sinhala)

පුහුණුව සඳහා විදෙස්ගත වූ වෛද්‍යවරුන් 400 කට ආසන්න සංඛ්‍යාවක් මෙතෙක් දිවයිනට පැමිණි නැතැයි ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා.

එමෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන්නේ මේ වසර තුළ පුහුණුවට විදේශගත වූ විශේෂඥ වෛද්‍යවරු 67 දෙනෙකු යළි මෙරටට පැමිණ නැති බවයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ ගිවිසුමකට එළැඹීමෙන් අනතුරුව ඔවුන් විදෙස්ගත වී ඇති බව වැඩිදුර විමසීමේ දී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළා.

මෙලෙස වෛද්‍යවරු විදෙස්ගත වීම පසුගිය කාලය පුරාවටම දක්නට ලැබුණු සුලභ කරුණක් වූ අතර මේ හේතුවෙන් රෝහලවල වෛද්‍ය ඒකක පවා වසා දැමීමට සිදු වුණා ෴

+

ප්‍රදේශ දෙකක මාරක රිය අනතුරු

(02.05.2023 – 14:41 +0530 – hirunews.lk/sinhala)

කොඩිකාමම් දෙස සිට පේදුරුතුඩුව දෙසට ධාවනය වූ වෑන් රථයක් රියදුරුට වේගය පාලනය කර ගැනීමට නොහැකිව ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරු පැදියක ගැටී අද (02) දින අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් යතුරු පැදි කරු බරපතල තුවාල ලබා චාවකච්චේරි රෝහලට ඇතුලත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි වාර්තා වන්නේ.

මරණකරු වයස අවුරුදු 34 ක් වූ යාපනය, නැගෙනහිර අල්වායි ප්‍රදේශයේ පදිංචි කරුවෙක්.

මෘත ශරීරය යාපනය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අනතුරට සම්බන්ධ වෑන් රථ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම සිදුවීම සම්බන්දයෙන් කොඩිකාමම් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

එමෙන්ම කොටදෙනියාව පොලිස් වසමේ කොළඹ කුරුණෑගල මාර්ගයේ දියගම්පල ප්‍රදේශයේ දී ගිරිඋල්ල දෙස සිට කොටදෙනියාව දෙසට ධවනය වූ ත්‍රීරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පෙරලී අද (02) දින තවත් අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් බරපතල තුවාල ලැබූ ත්‍රීරෝද රථ රියදුරු දඹදෙණිය රෝහලට ඇතුලත් කර ප්‍රතිරකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මරණකරු වයස අවුරුදු 47 ක් වූ කොටදෙනියාව පොලීසියේ පදිංචි කරුවෙක්.

මෘත ශරීරය දඹදෙණිය රෝහලේ මෘත ශරීරාගාරයෙ තැන්පත් කර ඇති අතර කොටදෙනියාව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *