පාසල්වල 2 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීම ගැන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

පාසල්වල 2 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීම ගැන අමාත්‍යාංශයෙන් නිවේදනයක්


පාසල්වල 2 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීම ගැන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

(24.04.2023 – 17:01 +0530 – hirunews.lk/sinhala)

පාසල්වල 2 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

එහි සඳහන් වන්නේ 2 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා (6 ශ්‍රේණිය හැර) පන්ති සඳහා සිසුන් ඇතුළත් කිරීමට අපේක්ෂා කරන අයදුම්කරුවන් අදාළ අයදුම්පත් පාසල්වලට ලියාපදිංචි තැපෑලෙන් යොමු කළ යුතු බවයි.

අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති චක්‍රලේඛන අනුව පවතින පුරප්පාඩුවලට සිසුන් තෝරා ගැනීම සඳහා පාසල් මගින් අවශ්‍ය පියවර ගනු ලබන බවයි වාර්තා වන්නේ.

ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් මින් ඉදිරියට ලිපි නිකුත් නොකරන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ ෴


‘සක් සූරීන්’ මව්රටට ගෙන්වා ගැනීමේ අර්බුදයක – තායිලන්තය දිගින් දිගටම සාකච්ඡාවල

(24.04.2023 – 11:19 +0530 – hirunews.lk/sinhala)

තායිලන්ත රජය විසින් ශ්‍රී ලංකාවට තෑගි වශයෙන් ලබාදුන් ඇතුන් තිදෙනා (3) ගෙන් එක් (1) අයෙක් වන ‘සක් සූරීන්’ යළිත් එරටට ගෙන්වීමට අවධානය යොමුව තිබෙනවා.

2001 වර්ෂයේ දී මෙම අලි ඇතා ශ්‍රී ලංකාවට පරිත්‍යාග කෙරුණු සත්ත්වයෙක්.

මෙම හස්තියාව හසුරුවන්නන් විසින් නොසැලකිල්ලෙන් සිදු කරන ලද අඩත්තේට්ටම් හා අනවධානය හේතුවෙන් අද වනවිට ‘සක් සූරීන්’ නමැති සද්දන්තයාගේ තත්ත්වය බරපතළ බවයි වාර්තාවන්නේ.

එම අලි ඇතා ඇතුන් බලාගන්නන්ගේ අතවරයට ලක්ව ඇති බවට ද සත්ත්ව හිමිකම් සංවිධානයක් පසුගිය වසරේ දී චෝදනා කළා.

‘සක් සූරීන්’ගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් තම රජය මේ වනවිට දැනුවත් ව ඇති අතර, සත්ත්වයාගේ ශරීරයේ පවතින තුවාල සහ මේ වනවිට එම සත්ත්වයාගේ ශරීර ප්‍රමාණය හේතුවෙන් තායිලන්තයට නැවත ප්‍රවාහනය කිරීමේ ගැටලුවක් මතුව තිබෙනවා.

තායිලන්ත පරිසර හා ස්වභාවික සම්පත් අමාත්‍ය Varawut Silpa-archa පැහැදිලි කළේ සක් සූරීන් උපන් බිමට ගෙන ඒම සඳහා C-130 ප්‍රවාහන ගුවන් යානයක් භාවිතා කිරීම මූලික සැලැස්ම බවයි.

කෙසේ වෙතත්, ආයුධ සහ යුද ටැංකි වැනි යුද උපකරණ ප්‍රවාහනය කිරීම සඳහා මුලින් නිර්මාණය කර ඇති ගුවන් යානයේ භාණ්ඩ ප්‍රවාහනය සඳහා ඇතාගේ කොටුව නොගැලපෙන බවට ද පැහැදිලි වූ විට මෙම අදහස අතහැර දමා ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

රජය සලකා බැලූ තවත් විකල්පයක් වූයේ ‘සක් සූරීන්’ ගොඩගැනීමට නැවක් යැවීමයි.

අවාසනාවන්ත ලෙස, තුවාල වූ අලියෙකුට සති දෙකක (2) ගමන දිගු වන බැවින් මෙය ද නුසුදුසු යැයි පශු වෛද්‍යවරුන්ගේ මතයයි.

‘සක් සූරීන්’ නැවත තම රටට ගෙන්වා ගැනීම සඳහා සුදුසු විසඳුමක් සෙවීම සඳහා අමාත්‍යාංශය මේ වනවිට ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය සමඟ සහයෝගයෙන් කටයුතු කරන බව වරාවුත් ප්‍රකාශ කර සිටියා.

මෙම සත්ත්වයා මෑතක් වන තුරුම අලුත්ගම කන්දේ විහාරස්ථානයේ ජීවත් වූ අතර, ශ්‍රී ලංකාවේ සත්ත්ව ආරක්ෂණ සංවිධානයක් වන Rally for Animal Rights and Environment (Rare) පවසන පරිදි, විහාරස්ථානයේ දී අලියාගේ අතපය දම්වැල්වලින් දීර්ඝ කාලයක් රඳවා තැබීමෙන් මෙම තුවාල ඇතාගේ ශරීරයෙහි හටගෙන ඇති බවත් හෙළිව තිබෙනවා.

පසුගිය වසර අවසානයේ දී, Rare සංවිධානය තායි රජයෙන් ඉල්ලා සිටියේ හදිසි වෛද්‍ය ප්‍රතිකාර සඳහා ‘සක් සූරින්’ නැවත තායිලන්තයට ගෙන යන ලෙසයි.

වාර්තාව ප්‍රකාශයට පත් කර සතියක් ඇතුළත එම සත්ත්වයා නැවත තායි දේශයට ගෙන්වා ගැනීම සඳහා රජය සැලසුම් කිරීම ආරම්භ කළ නමුත් ශ්‍රී ලංකාව මහ මැතිවරණයක් මධ්‍යයේ සිටීම හේතුවෙන් එම සැලැස්ම තාවකාලිකව නතර කෙරුණා ෴


ඩෙල්ෆ්ට් දූපතේ උද්ඝෝෂණයක්

(24.04.2023 – 14:23 +0530 – hirunews.lk/sinhala)

ඩෙල්ෆ්ට් (නැදුම් දුපත) හි ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලමින් ප්‍රදේශවාසීන් අද (24) උද්ඝෝෂණයක් ආරම්භ කර තිබෙනවා.

එම ප්‍රදේශයේ ජනතාව නෙඩුන්දිව් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට අලුයම සිට විරෝධතාවයේ නිරත වන බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.

ප්‍රදේශවාසීන් විසින් නෙඩුන්දිව් ප්‍රාදේශීය ලේකම්වරයා මාර්ගයෙන් නෙඩුන්දිව් පොලිසියට පෙත්සමක් ද භාර දී තිබෙනවා.

ඒ ඔස්සේ ප්‍රදේශයේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් ස්ථානය මඟින් සෑම ප්‍රජාවකම සුපරීක්ෂාකාරී කමිටු පිහිටුවීම ආදී වූ විවිධ ඉල්ලීම් ඉදිරිපත් කර තිබෙන බව සඳහන් ෴


දේශබන්දුගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

(24.04.2023 – 13:49 +0530 – sinhala.adaderana.lk)

අරගලකරුවන්ට පහරදීමේ සිද්ධියේ සැකකරුවකු වශයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා නම්කරන ලෙස නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමුකළ ලිපිය ක්‍රියාත්මකවීම වළක්වාලමින් අභියාචනාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කළේය.

දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කර තිබුණි ෴


කාන්තාවක ගෙන් OIC කෙනෙකුට ප්‍රහාරයක්

(24.04.2023 – 15:05 +0530 – hirunews.lk/sinhala)

කාන්තාවන් දෙදෙනෙකු (2) අතර පොලිස් ස්ථානය තුළ දී ඇති වූ ආරවුලක් මැඩලීමට ගිය අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාට ආරක්ෂක හිස්වැසුමකින් පහර දුන් සිදුවීමක් වැලිපැන්න පොලිස් ස්ථානයෙන් වාර්තා වෙනවා.

අදාළ කාන්තාවන් දෙදෙනා (2) පොලිස් ස්ථානයට පැමිණ ඇත්තේ පැමිණිල්ලක් විභාග කිරීම සඳහායි.

මෙම පහරදීම සම්බන්ධයෙන් මතුගම උතුම්ගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 52 වන කාන්තාවක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කාන්තාවන් දෙදෙනා (2) ගෙන් පොලිස් නිළධාරියාට පහර දීමට සම්බන්ධ කාන්තාවකගේ ස්වාමි පුරුෂයා කටුපොල් වත්තක සේවයේ නිරත කම්කරුවෙක් වන අතර අනෙක් පුද්ගලයා එම වත්තෙහිම පරීක්ෂකවරයෙකු බවයි වාර්තා වී ඇත්තේ.

එම කාන්තාවගේ සැමියා දිගින් දිගටම සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් අදාළ පරීක්ෂකවරයා විසින් පාලනාධිකාරියට දැනුම් දී තිබෙනවා.

ඒ අනුව ඔහුගේ වැඩ නතර කර ඇති අතර එය මුල්කරගෙන කම්කරුවාගේ බිරිඳ, වැඩ පරීක්ෂකවරයාගේ බිරිඳ සමඟ ගැටුමක් ඇතිකරගෙන ඇති බවයි පොලීසිය සඳහන් කරන්නේ.

මේ සම්බන්ධයෙන් වැඩ පරීක්ෂකවරයාගේ බිරිද පොලීසියට කර තිබූ පැමිණිල්ලක් විභාග කිරීමට දෙපාර්ශවයම පොලිස් ස්ථානයට කැදවා තිබෙනවා.

එම අවසථාවේ පැමිණිල්ල විභාග කිරීමට පෙර ගැටුම ඇතිකරගෙන ඇති බවත්, එය මැඩලීමට උත්සාහ කළ පොලිස් පරීක්ෂකවරයාට කම්කරුවාගේ බිරිඳ පහර දුන් බවත් පොලිසිය සඳහන් කරනවා.

පහර දීමට සම්බන්ධ කාන්තාව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇපමත මුදා හැර ඇති බවයි පොලිසිය සඳහන් කරනනේ ෴


කටුනායක ගුවන් තොටේ සුනඛ ගැටළුවක්

(24.04.2023 – 15:38 +0530 – hirunews.lk/sinhala)

කටුනායක බණ්ඩාරනායක ජත්‍යන්තර ගුවන් තොටුපල පරිශ්‍රයේ අයාලේ යන සුනඛයන් හේතුවෙන් එහි පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ට බාධා මතුවන බව හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තාවුණා.

මෙම සුනඛයන් ගුවන් තොටුපල පර්යන්ත පර්යන්තයේ පිවිසුම් දොරටුව අසළ ගැවසෙමින් ගුවන් තොටුපල පරිශ්‍රයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින් ඉව කරමින් ඔවුනට බාධා ඇතිවන ආකාරයට හැසිරෙමින් සිටින බව සඳහන්.

මෙහි අවදානම් සහගත තත්වය වන්නේ යම් හෙයකින් සුනඛයන් ගුවන් තොටුපල ධාවන පථයට හෝ ගුවන් යානා අංගනය වෙත පිවිසියහොත් ඉන් බරපතල අනතුරුදායක තත්වයක් සිදුවිය හැකිවීමයි.

මීට වසර කිහිපයකට පෙර මෙසේ කටුනායක ගුවන් තොටුපල තුළ අයාලේ යන සුනඛයන් ඉවත් කිරීම සඳහා එම සතුන්ට වෙඩි තැබීමට විශේෂ නිලධාරීන් පත් කර තිබුණා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය ගුවන් තොටුපල කාර්යභාර නිලධාරීයාගෙන් විමසීමක්ද සිදුකළා.

එහිදී ඔහු කියා සිටියේ ඒ පිළිබඳ තමන් දැනුවත්ව ඇති අතර, මේ සඳහා සීදූව නගර සභාව සමඟ එක්ව අවශ්‍ය පියවර ගෙන ඇති බවයි ෴


වැඩිම කොරියානු රැකියා කෝටාව මෙම වසරේ (2023)

(24.04.2023 – 15:53 +0530 – hirunews.lk/sinhala)

ඉතිහාසයේ වැඩිම කොරියානු රැකියා කෝටාව මෙම වසරේදී (2023) ලබාගැනීමට හැකි වී තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය සඳහන් කළේ මේ වසර (2023) සඳහා කොරියානු රැකියා 6500 ක කෝටාවක් ලැබී ඇති බවයි.

එමෙන්ම ඊයේ (23) දිනයේදී ධීවර අංශයේ රැකියා සඳහා 109 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් කොරියාව බලා පිටත්ව ගියා.

ඊට අමතරව හෙට (25) දිනයේදී තවත් ශ්‍රමිකයින් 65 ක්ද අනිද්දා (26) ශ්‍රමිකයින් 28 ක් කොරියාව බලා පිටත්ව යාමට නියමිත බවයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය නිවේදනය කළේ ෴


ලොරි රථයකට යටවී තරුණියක් මරුට

(24.04.2023 – 16:23 +0530 – hirunews.lk/sinhala)

මාළු මිළදී ගනිමින් සිටී තරුණ යුවලක් ලොරි රථයකට යටවී තරුණිය මියගොස් තරුණයා බරපතළ තුවාල ලබා තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ කළුතර, සේරුපිට, පදිංචිව සිටී 23 හැවිරිදි තරුණියක්.

ඇය කොළඹ පෞද්ගලික විශ්ව විද්‍යාලයක විද්‍යා අංශයෙන් ඉගෙනුම ලබන අවසන් වසරේ සිසුවියක් වන අතර ලබන 28 දා ඔවුන්ගේ විවාහයට දින යොදාගැනිමට අපේක්ෂාවෙන් සිට ඇති බවත් සදහන්.

ඇය විවාහ වීමට සිටි තරුණයා සමග ඊයේ (23) රාත්‍රී කගල්අස්හේන හන්දියේ මාළු මිළදී ගනිමින් සිට ඇති අතර, කළුතර සිට මතුගම දෙසට පැමිණි ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

+


කොළඹ විදුලි සැපයුමට බාධා

(24.04.2023 – 16:34 +0530 – hirunews.lk/sinhala)

හදිසි බිඳවැටීමක් හේතුවෙන් කොළඹ 4, 5, 7, 8, 10, 12 ප්‍රදේශවල සහ තදාසන්න ප්‍රදේශවල විදුලි සැපයුමට බාධා එල්ල වී තිබෙනවා.

කොලොන්නාව සහ මරදාන උප පොළවල් වල හදිසි බිඳවැටීමක් සිදුවී ඇති බැවින් මෙලෙස සපයුමට බාධා එල්ල වී තිබෙන බවයි ලංකා විදුලිබල මණ්ඩලය පවසන්නේ ෴


ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉංජිනේරු අංශයේ 25 දෙනෙකු රටහැර යයි

(24.04.2023 – 17:00 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉංජිනේරු අංශය වෙත බඳවා ගත් 25 දෙනෙකු ඉන් ඉවත්වී වෙනත් රැකියා සඳහා විදේශ රටවලට ගොස් තිබෙනවා.

මේ බව අද (24) අනාවරණ වුණේ, විෂයභාර අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වාගේ ප්‍රධානත්වයෙන් වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍යංශයේ පැවති විශේෂ සාකච්ඡාවකදීයි.

ඒ අනුව ඉංජිනේරු අංශයේ අත්‍යවශ්‍යය 25 දෙනා බඳවා ගැනීමට අවශ්‍ය අනුමැතිය අමාත්‍යවරයා විසින් එහිදී ලබාදී තිබෙනවා ෴


විදෙස් සංචාරකයින්ට ගුවන්තොටුපොළේ විශේෂ කවුළු

(24.04.2023 – 17:11 +0530 – hirunews.lk/sinhala)

විදෙස් සංචාරකයින්ගේ ආගමන විගමන කටයුතු සඳහා විශේෂ කවුළු කිහිපයක් අද (24) සවස සිට කටුනායක ගුවන්තොටුපොළේ විවෘත කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පත්කළ “සංචාරක සංවර්ධන කමිටුව” එම නිර්දේශය කර තිබුණ බව සඳහන් ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *