හම්බන්තොට මුහුදේ රික්ටර් මාපක 4.4 ක සුළු භූ කම්පනයක්

හම්බන්තොට මුහුදේ රික්ටර් මාපක 4.4 ක සුළු භූ කම්පනයක්


හම්බන්තොට මුහුදේ රික්ටර් මාපක 4.4 ක සුළු භූ කම්පනයක්

(24.04.2023 – 06:32 +0530 – hirunews.lk/sinhala)

හම්බන්තොට ප්‍රදේශයේ භූ කම්පනයක් සිදු ව තිබෙනවා.

අද (24) අලුයම මෙම භූ කම්පනය සිදු ව ඇත්තේ හම්බන්තොට ප්‍රදේශයේ දී යි.

රික්ටර් මාපක 4.4 ක සුළු භූ කම්පන තත්ත්වයක් වාර්තා වී ඇති බව සඳහන්.

හම්බන්තොට වෙරළට කිලෝමීටර් 25.8 ක් ඔබ්බෙන් වූ මුහුදු තීරයේ දී අද (24) අලුයම 12:45 ට පමණ මෙය සිදු වී තිබෙනවා.

කෙසේ වෙතත් භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්‍යංශය නිවේදනය කළේ මෙම තත්ත්වයෙන් සුනාමි තත්ත්වයක් ඇති වීමේ අවදානමක් නොමැති අතර ඒ හේතුවෙන් මහජතාව අනිසි ලෙස බිය විය යුතු නැති බවයි.

+++++++++

දිවයිනේ ප්‍රදේශ රැසක භූ කම්පන තත්ත්ව වාර්තා වේ

(24.04.2023 – 15:34 +0530 – hirunews.lk/sinhala)

හම්බන්තොටට නුදුරින් දකුණු මුහුදේ සිදුවූ සුළු භූ චලනය මහනුවර, මාවනැල්ල, බදුල්ල යන ප්‍රදේශවලට ද දැනුනු බව එම ප්‍රදේශවල ජනතාව පවසනවා.

අද (24) අලුයම 12:45 ට පමණ හම්බන්තොට සිට කිලෝමීටර 25.8 ක් ඈතින් දකුණු මුහුදේ සිදුවූ මෙම කම්පනය සටහන්ව තිබුණේ රික්ටර් මාපාංකයේ ඒකක 4.4 ක අගයක් ලෙසයි.

මේ අතර ගම්පොල පුපුරැස්ස ප්‍රදේශයේ ද ඊයේ (24) රාත්‍රියේ දී භූ කම්පනයක් සිදු වූ බව ප්‍රදේශවාසීන් පවසනවා

අද (24) පෙරවරුවේ භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය නිවේදනය කළේ මෙමඟින් ශ්‍රී ලංකාවට කිසිදු අවදානමක් නොමැති බවයි.

මේ අතර නවසීලන්තයේ කර්මඩෙක් දූපත් කලාපයේ රික්ටර් මාපකයේ 7.1 ක භූ කම්පනයක් සිදුව තිබෙනවා.

අද (24) අලුයම වාර්තාවූ මෙම කම්පනය කිලෝමීටර 10 ගැඹුරින් වූ මුහුදු පත්ලේ සිදුව ඇති බවයි ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කළේ.

සුනාමි අවදානමක් ප්‍රකාශයට පත් කර තිබූ නමුත් පසුව එය ඉවත් කරගෙන තිබෙනවා.

පසුගිය මාසයේදීද රික්ටර් මාපකයේ 7.1 ක අගයක් ගත් භූ කම්පනයක් කර්මඩෙක් දූපත්වලට ඇතිව තිබුණා.

+


මොරගහකන්දෙන් සෙබළෙකුගේ මළ සිරුරක්

(24.04.2023 – 07:08 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (23) රාත්‍රීයේ මොරගහකන්ද ජලාශයෙන් වැටී පුද්ගලයෙක් මියගොස් තිබෙනවා.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 39 ක් වූ ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචි හමුදා සෙබළෙක්.

දඹුල්ල කිරලගොල්ල යුද හමුදා කදවු‍රේ නිලධාරීන් 10 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක එක් (1) සෙබළෙකු නොමැති බව අනාවරණය වීමෙන් පසු සිදු කළ සෝදිසි මෙහෙයුම දී යී අදාළ මළ සිරුර සොයා ගෙන ඇත්තේ.

ජලාශයේ බැම්මට මීටර 300 පහළින් ජලය ගලායන පාලම යට තිබියදී මළ සිරුර සොයා ගත් බවයි පොලීසිය සඳහන් කළේ ෴


පාසල් ප්‍රවාහන ගාස්තු අඩු කරයි

(24.04.2023 – 07:08 +0530 – hirunews.lk/sinhala)

පාසල් දරුවන්ගේ මවුපියන්ට ලබාදෙන සහනයක් ලෙස සියලු අපහසුකම් මැද වුවත් පාසල් ප්‍රවාහන ගාස්තු 5% ත් – 8% ත් අතර ප්‍රමාණයකින් ලබන මැයි (01) සිට අඩු කිරීමට තීරණය කළ බව ‘සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමයින් ප්‍රවාහන රථ සංගමය’ ප්‍රකාශ කරනවා.

මේ සම්බන්ධයේ අදහස් දැක්වූ එම සංගමයේ සභාපති හරිශ්චන්ද්‍ර පද්මසිරි මහතා අදහස් දක්වමින් කියා සිටියේ, ටයර් ඇතුළු අමතර කොටස්වල කිසිදු අඩුවීමක් සිදු වී නැති අතර ආදායම් බලපත්‍ර ගාස්තු බස් රථයක ආසනයකට රුපියල් හයසිය පනහක් (650) වන අතර වෑන් රථයකට රුපියල් නවදහසක් (9000) බවයි.

මේ සඳහා රජය සහනයක් ලබාදුන්නොත් තවත් පාසල් ප්‍රවාහන ගාස්තු අඩු කිරීමට පියවර ගත හැකි බව පැවසීය.

කෙසේ වෙතත් මේ සියලු අපහසුකම් මැද වුවත් පාසල් දරුවන්ගේ මවුපියන්ට මෙම සහනය ලබා දීමට සංගමය තීරණය කළ තිබෙනවා.

අනෙකුත් සංගම් මොනවා පැවසුවත් ඩීසල් සොයාගත නොහැකිව තිබුණු කාලයක් පැවති අතර දැන් ඩීසල් ලැබී මිලෙහිද යම් අඩුවීමක් සිදුවී ඇති අවස්ථාවක පුළුවන් ආකාරයකට සේවා ලබා ගන්නා ජනතාවට සහනයක් දීමට මෙම තීරණය ගත් බව ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළ සිටියා ෴


ආනයනික බිත්තර බෙදන්න අවසර ලබා දී ඇත්තේ බස්නාහිර පළාත තුළ පමණයි

(24.04.2023 – 07:31 +0530 – hirunews.lk/sinhala)

ආනයනික බිත්තර බෙදාහැරීමට සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් අවසර ලබා දී ඇත්තේ, බස්නාහිර පළාත තුළ පමණක් බව රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව පවසනවා.

එහි සභාපති ආසිරි වලිසුන්දර කියා සිටියේ සෙසු පිට පළාත්වල මහා පරිමාණ බේකරි සහ හෝටල්වලින් ආනයනික බිත්තර සඳහා විශාල ඉල්ලුමක් පවතින බවයි.

එම ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා දීමට හැකියාව ඇතත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අවසරය ඒ සඳහා නොමැති වීම ගැටළුවක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ආනයනික බිත්තර නරක්වීමකින් තොරව කල් තබා ගැනීම සඳහා අවශ්‍ය ශීතාගාර පහසුකම් පිටපළාත් වල ප්‍රමාණවත්ව ඇත්ද යන්න සම්බන්ධයෙන් අප රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දරගෙන් විමසා සිටියා.

මේ අතර පසුගිය 15 වනදා දිවයිනට රැගෙන ආ ලක්ෂ 10 ක බිත්තර තොගය බස්නාහිර පළාතේ මහා පරිමාන බේකරි සහ හෝටල් වෙත අද බෙදා හැරෙනවා. එමෙන්ම පසුගිය 19 වන දා මෙරටට පැමිණි ලක්ෂ 10 ක බිත්තර තොගයේ සාම්පල පරික්ෂාව සඳහා නියැදි ලබා ගැනීම අද සිදු කෙරෙනු ඇති.

+


2022 උසස් පෙළ පාලක පරීක්ෂකවරුන්ගේ රැස්වීම අද (24)

(24.04.2023 – 07:49 +0530 – hirunews.lk/sinhala)

2022 උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇඟයිම හා සම්බන්ධ පාලක පරීක්ෂකවරුන්ගේ රැස්වීමක් අද (24) විභාග දෙපාර්තමේන්තුවේ දී පැවැත්වෙනවා.

විෂයන් 10 කට අදාළ පිළිතුරු පත් ඇඟයීමේ මූලික අදියර කඩිනමින් ආරම්භ කිරීම සම්බන්ධයෙන් මෙහි දී සාකච්ඡා කිරීමට නියමිත බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර සඳහන් කළේ.

හින්දු ධර්මය, ක්‍රිස්තියානි ධර්මය, හින්දු ශිෂ්ඨාචාරය, චිත්‍ර කලාව, භරත නර්තනය, පෙරදිග සංගීතය, කර්නාටක සංගීතය, බටහිර සංගීතය, නාට්‍ය හා රංග කලාව සහ හින්දි යන විෂයන්ට අදාළ පිළිතුරු පත් ඇඟයීමේ කටයුතු එලෙස පළමුව ආරම්භ කරන බවයි වාර්තා වන්නේ.

සෙසු විෂයන් හි පිළිතුරු පත් ඇඟයීමේ කටයුතු ද මෙම සතිය තුළ දී ආරම්භ කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර උසස් පෙළ විභාගයේ පිළිතුරුපත් ඇගයීම් සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා හෙට (25) විධායක සභා රැස්වීමක් පැවැත්වෙන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ප්‍රකාශ කළා.

එහි සභාපති මහාචාර්ය ශ්‍යාම බන්නැහැක කියා සිටියේ සිය ගැටලුවලට විසඳුම් ලබාදෙන්නේ නම් ඉතා කෙටි කාලයක් තුළ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු අවසන් කිරීමට හැකියාව පවතින බවයි.

කෙසේවෙතත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ශ්‍යාම බන්නැහැක කියා සිටියේ 2022 උසස් පෙළ විභාගයේ ඇගයීම්වලට අදාළ ගෙවීම් ද බොහෝ පිරිසකට තවමත් ලැබී නොමැති බවයි ෴


දප්පුල අදත් T.I.D. නාවොත් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට පියවර

(24.04.2023 – 07:50 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරයේ විමර්ශනවලට අදාළව හිටපු නීතිපති දප්පුල ද ලිවේරාට අද (24) දින යළිත් වරක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින්නැයි දැනුම් දී තිබෙනවා.

එසේ නොමැති වුවහොත් නීතිමය පියවර ගන්නා බවයි ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හිටපු නීතිපතිවරයාට ලිඛිතව දැනුම් දී ඇත්තේ.

ඔහුට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට මෙම කැඳවීම කර ඇත්තේ තුන්වන (3) වරටයි.

පසුගිය සිකුරාදා (21) දෙවන (2) වරට ඔහු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටීමට නියමිතව තිබූ නමුත් ඔහු එහි පැමිණියේ නැහැ.

ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය වෙත ලිපියක් යොමු කරමින් ඔහු දැනුම් දී තිබුණේ වත්මන් නීතිපතිවරයා සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය සමඟ සිදුකළ සාකච්ඡාවක් හේතුවෙන් එදින තමාට එම කොට්ඨාසය හමුවට පැමිණීමට නොහැකි බවයි.

හිටපු නීතිපති දප්පුල ද ලිවේරාට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හමුවේ මුල්වරට පෙනී සිටින ලෙස දැනුම්දී තිබුණේ පසුගිය 19 වනදායි. එදිනද ඔහු එම කොට්ඨාසය හමුවේ පෙනී නොසිටි අතර, ඒ වෙනුවෙන් නීතීඥවරයෙකු එහි පැමිණ තිබුණා.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් පිළිබඳව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහායි මොහුට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණේ.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිටුපස දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වූ බවට හිටපු නීතිපති දප්පුල ද ලිවේරා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකර තිබුණේ 2021 වසරේදියි ෴

++++++++

දප්පුලගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

(24.04.2023 – 11:02 +0530 – hirunews.lk/sinhala)

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් ප්‍රකාශයක් ලබාගැනීමට තමන් වෙත නිකුත් කර ඇති කැඳවීම සම්බන්ධයෙන් හිටපු නීතිපති දප්පුල ද ලිවේරා අභියාචනාධිකරණයේ පෙත්සමක් ගොනුකර තිබෙනවා.

අධිකරණ වාර්තාකරු සඳහන් කළේ සිය නීතීඥවරු මාර්ගයෙන් ඔහු මෙම පෙත්සම ඉදිරිපත් කර ඇති බවයි.

++++++++++

හිටපු නීතීපතිව කැඳවීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

(24.04.2023 – 13:58 +0530 – hirunews.lk/sinhala)

හිටපු නීතිපති දප්පුල ද ලිවේරා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙත කැඳවීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

අද (24) දින දහවල් හිටපු නීතිපතිවරයා තමාව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙත කැඳවීම සම්බන්ධයෙන් පෙත්සමක් අභියාචනාධිකරණය වෙත ගොනු කළා.

එම පෙත්සම සලකා බැලීමෙන් අනතුරුවයි අභියාචනාධිකරණය විසින් හිටපු නීතිපතිව ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා TID වෙත කැඳවීම වළක්වාලමින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ.

හිටපු නීතිපතිවරයා විශ්‍රාම යන දිනයේදී මීට සිව් (4) වසරකට ඉහත දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදු වූ මරාගෙන මැරෙන පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් එම සිදුවීම පසුපස කුමන්ත්‍රණයක් ඇති බවට ප්‍රකාශ කිරීමත් සමඟ මෙම අර්බුදකාරී තත්ත්වය මතු වුණා.

ඒ හේතුවෙන් අවස්ථා දෙකකදී (2) හිටපු නීතිපතිවරයාට ප්‍රකාශයක් ලබාදීම සඳහා TID වෙත කැඳවීම් තිබුණද ඔහුගේ පැමිණීම සිදු වූයේ නැහැ.

ඒ හේතුවෙන් පසුගිය දා කැඳවන අවසන් දිනය ලෙස දප්පුල ද ලිවේරාට හිමි වූ දිනය වූයේ අද (24) දිනයයි.

නමුත් අද (24) දිනයේදී ද හිටපු නීතිපතිවරයාගේ පැමිණීම සිදුනොවුණහොත් පොලීසිය නිවේදනය කළේ, ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට සිදුවන බවයි.

එවන් අවස්ථාවකදීයී හිටපු නීතිපති විසින් මෙම පෙත්සම අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබුවේ.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *