භෞතික විද්‍යාවේ නව පෙරළියක් – ශ්‍රී ලාංකික විද්‍යාඥයකු ලෝකයම උඩුයටිකුරු කරන සුපිරි සන්නායකයක් සොයාගනී

භෞතික විද්‍යාවේ නව පෙරළියක් – ශ්‍රී ලාංකික විද්‍යාඥයකු ලෝකයම උඩුයටිකුරු කරන සුපිරි සන්නායකයක් සොයාගනී


භෞතික විද්‍යාවේ නව පෙරළියක් – ශ්‍රී ලාංකික විද්‍යාඥයකු ලෝකයම උඩුයටිකුරු කරන සුපිරි සන්නායකයක් සොයාගනී

(16.03.2023 – 09:17 +0530 – sinhala.asianmirror.lk)

ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකු ප්‍රමුඛ කණ්ඩායමක් විසින් භෞතික ලෝකයේ නව පෙරළියක් ඇති කළ හැකි සුවිශේෂී සන්නායකයක් සොයාගෙන තිබෙනවා.

මෙම සුපිරි සන්නායක පදාර්ථය සොයාගෙන ඇත්තේ අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර රෝචෙස්ටර් සරසවියේ සහකාර මහාචාර්ය රංග ඩයස් සහ ඔහුගේ ශිෂ්‍ය කණ්ඩායම විසින්.

වසර 10 කට වැඩි කාලයක් සිදුකළ පර්යේෂණයකින් අනතුරුව ශ්‍රී ලාංකික මහාචාර්යවරයෙකු වන රංග ඩයස් මහතා ඇතුළු කණ්ඩායම මෙම සුපිරි සන්නායක ගුණයක් ඇති පදාර්ථය සොයාගැනීමට සමත්ව තිබෙනවා.

මෙම සුපිරි සන්නායක ද්‍රව්‍යය නිර්මානය කර ඇත්තේ හයිඩ්‍රජන්, නයිට්‍රජන් සහ ලුටේෂියම් යන මූලද්‍රව්‍ය මුසු කිරීමෙන් බව පැවසෙනවා.

මෙහි ඇති විශේෂත්වය වන්නේ විදුලිය එක් තැනක සිට තවත් තැනකට ශක්තියක් වැය නොකර ගෙන යාමට ඇති හැකියාව සහ චුම්භක ක්ෂේත්‍රය හරහා යැවීමේදී එය පාවෙමින් ඝර්ෂණයකට ලක්නොවී ගමන් කිරීමෙන් ශක්තියක් වැය නොවීමයි.

විදුලි හානියකින් තොර අධිබල විදුලි සම්ප්‍රේෂණය, ඝර්ෂණණයකින් තොරව, පොළවට මදක් ඉහළින් ගමන්කරන අධිවේගී දුම්රිය, අඩු වියදම් එම්.ආර්.අයි. ස්කෑන් තාක්ෂණය ආදිය සඳහා මෙය යොදාගත හැකියි.

එමෙන්ම ලුටිෂියම් හයිඩ්රයිඩ් උපයෝගි කරගනිමින් අධිවේගී දුම්රිය ධාවනය කිරීමේ හැකියාව, විද්‍යුත් ගුවන් යානා සහ බැටරි ආයු කාලය දිර්ඝ කරගැනීමේ හැකියාව ඇති තාක්ෂණික පෙරළියක් ඇතිකර හැකි නව නිපැයුම් නිෂ්පාදනය කිරීමේ හැකියාව පවතින බවද වාර්තා වෙනවා.

මෙම පදාර්ථය සොයාගැනිමට පරීක්ෂණ මෙහෙයුම් සිදුකළ මහාචාර්ය රංග ඩයස් මහතා කොළඹ විශ්වවිද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධිය ලබා භෞතික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය වොෂින්ටන් සරසවියෙන් ලබාගෙන තිබෙනවා.

ඒ මහතා පශ්චාත් ආචාර්ය උපාධි ශිෂ්‍යත්වයක් ලැබ හාවඩ් සරසවියේ පර්යේෂණවල නිරතවීමෙන් අනතුරුව රොචෙස්ටර් සරසවියේ ආචාර්යවරයකු ලෙස මේ වන විට කටයුතු කරනවා ෴


අමතර කොටස් අහේනියෙන් ශ්‍රී ලංකන් යානා 5 ක්ම ගාල් වෙයි

(18.04.2023 – 08:04 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකන් ගුවන් සේවය සතු ගුවන් යාන ඇණියෙන් ගුවන් යාන 5 ක් එන්ජින් සහ අමතර උපාංග හිඟවීම හේතුවෙන් මාස ගණනක සිට කොළඹ ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ගාල් කර ඇතැයි ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පවසා සිටිනවා.

මෙවැනි භාවිතයට නොගන්නා යානා බොහෝමයක් 2017 වසරෙන් පසුව භාවිතයට ගන්නා ලද A320 එන්.ඊ.ඕ හා w321 එන්.ඊ.ඕ කාණ්ඩයේ ගුවන් යානා බවයි ඔහු සඳහන් කරන්නේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවය සතුව එයාර් බස් ගුවන් යානා 24 ක් තිබෙන බවත් ඉන් යානා 12 ක් දිගු දුර ගුවන් ගමන් සඳහා යොදා ගනු ලබන A330-200 සහ A330-300 කාණ්ඩයේ ගුවන්යානා වන බවත් ඔහු සඳහන් කර සිටියා.

එමෙන්ම ඔහු වැඩි දුරටත් සඳහන් කළ සිටියේ, අනෙකුත් ගුවන් යානා 12 කෙටි දුර ගුවන් ගමන් සඳහා යොදා ගනු ලබන අතර එලෙස යොදා ගනු ලබන්නේ A320, A321, A320, A321 එන්.ඊ.ඕ, W321 එන්.ඊ.ඕ කාණ්ඩයට අයත් ගුවන් යානා බවයි.

තවද, මගීන් 150 දෙනෙකු රැගෙන යා හැකි A320 එන්.ඊ.ඕ. වර්ගයේ ගුවන්යානා දෙකම (2) ගාල් කර ඇති බවත් එසේම මගීන් 188 ක් රැගෙන යා හැකි W321 එන්.ඊ.ඕ. කාණ්ඩයේ ගුවන් යානා 4 ක් ඇති අතර අද (18) වන විට ඉන් ගුවන් යානා 3 ක් අමතර කොටස් හිඟය නිසා ගුවන් තොටුපළේ ගාල් කර ඇති බවත් ඔහු විසින් පවසා සිටියා.

මෙලෙස ශ්‍රී ලංකන් ගුවන් සේවය සතු ගුවන්යානා අමතර කොටස් නොමැතිව ගාල් කර දැමීම හේතුවෙන් ගුවන් සේවයට විශාල පාඩුවක් සිදු වන බවයි ඔහු වැඩි දුරටත් පවසා සිටින්නේ ෴


ගිලන් රථයේ ගැටී පදිකයෙකු මරුට

(18.04.2023 – 08:25 +0530 – hirunews.lk/sinhala)

අම්පාර බිබිල මාර්ගයේ පේරණ ප්‍රදේශයේ දී ඊයේ (17) දහවල් ත්‍රීරෝද රථයක් පෙරළී යාමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

බිබිල දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක ඉදිරිපස රෝදය ගැලවී යාම නිසා එම රථය මාර්ගයේ දකුණු පස ඇති කැලෑ ප්‍රදේශයකට පෙරළී ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.

එහිදී එම රථයේ ගමන් ගත් කාන්තාවන් දෙදෙනෙකු (2) හා පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු (2) තුවාල ලබා බිබිල රෝහලට ඇතුලත් කර තිබෙනවා.

එහිදී වයස අවුරුදු 65 ක් වූ බොරපොල, මහඔය ප්‍රදේශයේ පදිංචි එක් (1) කාන්තාවක් මියගොස් තිබෙන බව කරඬුගල පොලිසිය පවසනවා.

තවද ඊයේ (17) දිනයේ දීම හලාවත පුලියන්කඩවල ප්‍රදේශයේ දී හලාවත සිට කුරුණෑගල දක්වා ධාවනය වූ ගිලන් රථයක පුද්ගලයෙකු (1) ගැටී අනතුරට ලක් වී තිබෙනවා.

එහිදී එම ගිලන් රථය මාර්ගය හරහා පා පැදියක් තල්ලු කරගෙන යමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී තිබෙන අතර, තුවාල ලැබූ පදික පුද්ගලයා හලාවත රෝහලට ඇතුලත් කර තිබෙනවා.

රෝහල්ගත කරන අවස්තාවේදී ම මියගොස් සිටි එම පුද්ගලයා වයස අවුරුදු 64 ක් වන මුගුණූවටවන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෘත ශරීරය හලාවත රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, අනතුර සිදුකළ ගිලන්රථ රියදුරු හලාවත පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴


බීමතින් සර්පයෙකු කරේ දමාගත් පුද්ගලයෙකු මිය යයි

(18.04.2023 – 08:38 +0530 – hirunews.lk/sinhala)

මුලතිව් මාන්කුලම් කිවන්කුලම් ප්‍රදේශයේ පුද්ගලයෙකු බීමතින් සර්පයෙකු කරේ දමා ගෙන යාමේදී සර්පයා දෂ්ඨ කිරීමෙන් එම පුද්ගලයා ඊයේ (17) දින මරණයට පත් වී තිබෙනවා.

බාලසුන්දරම් ජගතීස්වරන් නැමැති මොහු (47) හැවිරිදි පුද්ගලයෙක්.

ඔහු සාදයකට සහභාගී වී රාත්‍රියේ ආපසු ඔහුගේ නිවස බලා එමින් සිටියදී මාර්ගයේ සර්පයෙකු සිටිනු දැක තිබෙනවා.

ඔහුට සර්පයා දෂ්ඨ කොට තිබෙන්නේ, අසල වූ මුගුරකින් සර්පයාට පහර දී ඌ මැරුණු බව සිතා කරේ දමාගෙන නිවස වෙත එමින් සිටියදී යී.

පාරේ ගමන් කළ පිරිසක් ඔහු වැටී සිටිනු දැක මාන්කුලම රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ඔහුව කිළිනොච්චිය රෝහල වෙත මාරු කොට යවා ඇතත් ඒ වන විටත් ඔහු සර්ප විෂෙන් මියගොස් තිබෙනවා.

මියගිය පුද්ගලයා සම්බන්ධයෙන් කිළිනොච්චිය රෝහලේදී පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත් වූ අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මාන්කුලම පොලීසිය විසින් සිදු කරනු ලබනවා ෴


විදුලි , ඉන්ධන සහ සෞඛ්‍ය තවදුරටත් අත්‍යවශය සේවාවන්

(18.04.2023 – 09:03 +0530 – hirunews.lk/sinhala)

විදුලි බලය, ඉන්ධන සහ සෞඛ්‍ය යන සේවාවන් තවදුරටත් අත්‍යවශය සේවාවන් බවට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අදාළ ගැසට් නිවේදනය නිකුත්කර ඇත්තේ, ජනාධිපතිවරයා විසින්.

එම සේවාවන් වලට අමතරව තැපැල් සේවය ද තවදුරටත් අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් වනු ඇතියි ෴


නව පාසල් වාරය ආරම්භයත් සමඟ පාචනය පැතිරයෑමේ අවදානමක්

(18.04.2023 – 09:35 +0530 – hirunews.lk/sinhala)

නව පාසල් වාරය ආරම්භ වීමත් සමඟ ළමයින් අතර පාචනය වැනි රෝග තත්ත්වයක් පැතිර යෑමේ අවදානමක් ඇතැයි කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ දීපාල් පෙරේරා ඊයේ (17) දින පවසා සිටියා.

එහිදී ඔහු විසින් ප්‍රකාශ කළේ, උත්සව සමයේ දරුවන් විවිධ ස්ථානවලින් විවිධ වර්ගයේ ආහාර අනුභව කිරීමත් සමඟ මෙම තත්ත්වය ඇති වූ බවත් සෑම වර්ෂයකම මෙම තත්ත්වය ව්‍යාප්ත වන බවයි.

දරුවන්ට උණ සමඟ වමනය, බඩ රිදිල්ල, ආහාර අජීර්ණය වැනි තත්ත්වයක් ඇති වුවහොත් පාචන තත්ත්වයක් විය හැකි බවත් මේ පිළිබඳ මවුපියන් වැඩි අවදානයක් ලබා දිය යුතු බවට ඔහු සඳහන් කර සිටිනවා.

එවැනි තත්ත්වයක දරුවන්ට ස්වභාවික දියර ආහාර, පළතුරු යුෂ, තැඹිලි වතුර, බැදිහාල් කැඳ හා ජීවනී ලබාදිය හැකි බවත් වමනය සඳහා ප්‍රතිකාර ලබා නොගතහොත් දරුවන් විජලනයට පත් විය හැකි බව ද ඔහු සඳහන් කළා.

මේ පිළිබඳ වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ,වමනය හා උණ තත්ත්වය උත්සන්න වන අවස්ථාවක වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට කටයුතු කළ යුතු බවත් එවැනි තත්ත්වයකදී හැකි ඉක්මනින් ළඟම පිහිටි රෝහල වෙත දරුවන් යොමු කළ යුතු බවයි.

නමුත් විජලන තත්ත්වය අවම කර ගැනීමට මවුපියන් කටයුතු කරන්නේ නම් දරුවන් රෝහල්ගත කිරීමේ සංඛ්‍යාව අඩු කරගත හැකි බවයි ඔහු වැඩි දුරටත් පවසා සිටියේ ෴


පදික වේදිකාවේ වෙළඳාම් කිරීමට ලබා දුන් කාලය අදින් අවසන්

(18.04.2023 – 09:45 +0530 – hirunews.lk/sinhala)

උත්සව සමයට සමඟාමීව පදික වේදිකාවේ වෙළඳාම් කිරීම සඳහා ලබාදී ඇති කාලය අදින් අවසන් වන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.

ඉන් අනතුරුව, වෙළඳාම් සිදුකරන පුද්ගලයින් ඉවත් කිරීමට නිලධාරින්ට උපදෙස් ලබාදී ඇති බවයි හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් එහි අධ්‍යක්ෂ ජනරාල් එස්. වීරකෝන් කියා සිටියේ ෴


ගුරුවරියකට හාද්දක් දුන් පෞද්ගලික පාසලක විදුහල්පතිවරයෙකු අත්අඩංගුවට

(18.04.2023 – 10:02 +0530 – hirunews.lk/sinhala)

අවුරුද්දට සුබ පැතීමට නොහැකි වූ බව පවසමින් මිනුවන්ගොඩ ප්‍රදේශයේ පෞද්ගලික පාසලක ගුරුවරියක් බලහත්කාරයෙන් සිප වැළඳගත් බව කියන එම පාසලේ විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොහු කඩවත ප්‍රදේශයේ පදිංචි 61 හැවිරිදි දෙදරු පියෙක්.

එම පාසලේ ඉංග්‍රීසි ඉගැන්වීම භාරව කටයුතු කරන 23 හැවිරිදි ගුරුවරියක කළ පැමිණිල්ලක් මත සැකකාර විදුහල්පතිවරයා ඊයේ (17) මෙලෙස අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

පැමිණිලිකාර ගුරුවරියට විදුහල්පතිවරයා පවරා තිබූ වැඩ කොටස අවසන් කර ඉන් පිටව යාමට සූදානම් වන අවස්ථාවේ අලුත් අවුරුද්දට සුබ පැතීමට නොහැකි වූ බව පවසමින් මොහු තමාව සිප වැළඳගත් බවයි ඇය සිදුකළ පැමිණිල්ලේ දැක්වෙන්නේ ෴


අතුරුදන්ව සිටි වෙන්නප්පුවේ දරුවන් තිදෙනා (3) සොයා ගනී

(18.04.2023 – 10:20 +0530 – hirunews.lk/sinhala)

ආර්ථික අපහසුකම් නිසා බව පවසමින් නිවෙස්වලින් පලාගිය බාල වයස්කාර සිසුන් තුන්දෙනා (3) අම්බලන්ගොඩ ප්‍රදේශයේ රැදි සිටියදී පොලිස් භාරයට ගෙන තිබෙනවා.

වයස අවුරුදු 14 සහ 15 අතර වයස්වල පසුවන මොවුන් වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචිකරුවන්.

සිංහල දෙමළ අලුත් අවුරුද්ද යෙදී තිබූ පසුගිය 14 වනදා නිවෙස්වලින් පිටව ගිය මොවුන් යළි නොපැමිණි බවට ඔවුන්ගේ දෙමාපියන් ඇතුළු ඥාතීන් පොලිසියට පැමිණිලි කර තිබුණා.

එක් (1) සිසුවෙකු පවුලේ ඥාතියෙකුට පවසා තිබුණේ පවුලේ අගහිඟකම් පවතින බවත් ඒ හේතුවෙන් තමන්ට රැකියාවක් කිරීමට අවශ්‍ය බවයි.

අනෙක් සිසුන් දෙදෙනා (2) සංගීත ප්‍රසංගයක් නැරඹීමට යන බවට පවසමින් නිවෙස්වලින් පිටව ගොස් තිබෙනවා ෴


වැඩි වූ ඉන්ධන කෝටාව තව සතියක් ලබා දීමේ තීරණයක්

(18.04.2023 – 10:33 +0530 – hirunews.lk/sinhala)

උත්සව සමය නිමිත්තෙන් පසුගිය සතියේ වැඩි කළ ඉන්ධන කෝටාව ලබන සතියේත් එලෙසම පවතින බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක ප්‍රකාශ කරනවා.

එමෙන්ම ඉන්ධන කෝටාව වැඩිකළ කාලසීමාවේ ඉන්ධන පරිභෝජනය පිළිබඳ දත්ත විශ්ලේෂණය කර තවදුරටත් මෙම කෝටාවම ක්‍රියාත්මක කරන්නේද, නැද්ද යන තීරණය කරන බවට ඔහු පවසා සිටියා.

මේ අතර අධිවේගි මාර්ගවල ඊයේ (17) දිනයේදී ආදායම රුපියල් ලක්ෂ 24 ඉක්මවා ගිය බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා. එහි අධ්‍යක්ෂ ජනරාල් එස්. වීරකෝන් සඳහන් කළේ ඊයේ (17) දිනයේදී මෝටර් රථ එක්ලක්ෂ අටදහස් නවසිය පනස් හතරක් (1,08,954) ඒවායේ ගමන් කර ඇති බවයි.

මේ අතර අර්ධ සුඛෝපභෝගි බස් රථ සේවාව මැයි මාසයෙන් පසුව අහෝසි කරන බැවින් මැයි මස 31 වනදාට පෙර එම බස් රථ සාමාන්‍ය බස් රථ ලෙස පරිවර්තනය කරන ලෙස ජාතික ගමනාගමන කොමිෂන් සභාව එහි හිමිකරුවන්ට දැනුම් දෙනවා.

මේ වන විට අර්ධ සුඛෝපභෝගි බස්රථ 430 ක් පමණ ධාවනයේ යෙදෙන බවයි එම කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරැන්ඩා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *