පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සිව් (4) නිවුන් දරු උපතක්

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සිව් (4) නිවුන් දරු උපතක්


පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සිව් (4) නිවුන් දරු උපතක්

(17.04.2023 – 16:32 +0530 – hirunews.lk/sinhala)

කුරුණෑගල තොරයාය අටමුණේ ප්‍රදේශයේ මවක් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සිව් (4) නිවුන් දරුවන් බිහි කර තිබෙනවා.

පිරිමි දරුවන් තිදෙනෙකු (3) සහ ගැහැණු දරුවෙකු (1) මෙලෙස බිහිකර ඇති බවයි වාර්තා වෙන්නේ.

අලුත උපන් දරුවන් සිව් (4) දෙනා සහ මව මේ වන විට යහපත් සෞඛ්‍ය තත්වයක පසුවන බවයි පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරීවේද විශේෂඥ වෛද්‍ය කථිකාචාර්ය සම්පත් ඥාණරත්න සදහන් කලේ.

නිවුන් දරුවන් බිහි කල මව 30 හැවරිදි වියේ පසුවන පාසල් ගුරුවරියක්.

දරුවන්ගේ පියා මල්ලවපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරන සංවර්ධන නිළධාරියෙකු බව වාර්තා වෙනවා.

දරුවන් සිව් (4) දෙනා රෝහලේ නව ජන්ම ළදරු විශේෂ ප්‍රතිකාර ඒකකයට යොමු කිරීමට වෛද්‍යවරු කටයුතු කර තිබෙනවා ෴


පිළියන්දල සහ දර්ගා නගරයේ ස්ථාන දෙකක (2) ගිනිගැනීම්

(17.04.2023 – 16:45 +0530 – hirunews.lk/sinhala)

පිළියන්දල මණ්ඩාවිල පාර ප්‍රදේශයේ දෙමහල් නිවසක ගින්නක් හටගෙන තිබෙනවා.

ඉන් කිසිවෙකුට හානියක් සිදුවී නොමැති අතර නිවසේ කාමරයක දල්වා තිබූ මදුරු දඟරයක් ගින්නට හේතුවන්නට ඇති බවටයි පොලිසිය සැක කරන්නේ.

මේ අතර අලුත්ගම දර්ගා නගරයේ ඡායාරූප ශාලාවක අද (17) හටගත් ගින්නකින් එය විනාශ වී තිබෙනවා.

කලුතර නගර සභාවේ ගිනිනිවන රථ කිහිපයක්ද ගින්න නිවීම සඳහා පැමිණි බවයි හිරු වාර්තාකරු කියා සිටියේ ෴


මහ බැංකුවේ මුදල් සොරකම ගැන පොලිසිය අධිකරණයට දන්වයි

(17.04.2023 – 17:11 +0530 – hirunews.lk/sinhala)

මහ බැංකුවේ ව්‍යවහාරික මුදල් සුරක්ෂිත ගබඩාවේ තැන්පත් කර තිබූ රුපියල් ලක්ෂ 50 ක මුදලක් අස්ථානගතවීමේ සිද්ධියට අදාළව විමර්ශනයක් සිදුකොට අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල අද (17) නියෝග කළා.

ඔහු මෙම නියෝගය නිකුත් කළේ සිද්ධිය සම්බන්ධයෙන් කොටුව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කළ අවස්ථාවේදීයි.

දැනට සිද්ධිය සම්බන්ධයෙන් මහබැංකුවේ සේවකයින් හත් (7) දෙනෙකු ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේ ෴


බෝබුරු ඇල්ලේ සිදු වූ වෑන් රථ අනතුරකින් පිරිසක් රෝහලේ

(17.04.2023 – 17:45 +0530 – hirunews.lk/sinhala)

ඌව පරණගම බෝබුරු ඇල්ල – ගහලගම මාර්ගයේ වෑන් රථ අනතුරක් සිදු වී තිබෙනවා.

මෙසේ අනතුරට පත්ව ඇත්තේ අම්පාර ප්‍රදේශයේ සිට බෝබුරු ඇල්ල නැරඹීමට පැමිණි පිරිසක්.

අදාල අනතුරින් පුද්ගලයින් 6 දෙනෙකුට තුවාල සිදු වී ඇති බවයි වාර්තා වන්නේ.

කාර්මික දෝෂ‍යකට ලක්ව ඇති වෑන් රිය බෝබුරු ඇල්ල දෙසට පල්ලම් සහිත මාර්ගයේ නතර කර ගැනීමට නොහැකි වී ඉදිරියට ඇදි ගොස් තිබෙන අතර එහි දී වෑන් රථය පාලනය කර ගැනීමට නොහැකි වී අතුරු මාර්ගයකට හරවා තිබෙනවා.

එම අවස්ථාවේ දී වෑන් රථය වේල්ලක වැදී අනතුරට ලක්ව ඇති බවයි මූලික පොලිස් ප‍රීක්ෂණවලදී හෙලි වී ඇත්තේ.

වැඩිදුර ප්‍රතිකාර සදහා තුවාල කරුවන් ඌව පරණගම රෝහලට ඇතුළත්කර තිබෙන අතර කාන්තාවන් තිදෙනෙකු (3) ද ඒ අතර සිටින බවයි වාර්තා වන්නේ.

අඹගස්දෝව පොලීසිය සිදුවීම සම්බන්ධයෙන් විමර්ශණ සිදුකරනු ලබනවා.

+


කසල ගොඩකින් ජීව අත්බෝම්බයක්

(17.04.2023 – 17:53 +0530 – hirunews.lk/sinhala)

ගම්පහ පොලිස් වසමේ විජයාරාම පාරේ, කුණ්ඩිවිල ඇල අසළින් අද (17) පෙරවරුවේ ජීව අත්බෝම්බයක් සොයාගෙන තිබෙනවා.

මෙලෙස සොයා ගත් අත්බෝම්බය නිශ්ක්‍රීය කිරීම සඳහා ගෝනහේන විශේෂ කාර්ය බලකා නිළධාරීන් දැනුවත් කල බවයි පොලිසිය සඳහන් කළේ.

යම් අපරාධයක් සිදු කිරීම සඳහා මෙම අත්බෝම්බ ‍රැගෙන ආවේද යන්න පිළිබදව ගම්පහ පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි ෴


ආණ්ඩුව සමඟ තමන්ට කටයුතු කිරීම අපහසු බව කාදිනල් හිමි පවසයි

(17.04.2023 – 19:11 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරයේ වින්දිතයින් සඳහා පොරොන්දු ඉටු නොකල ජනාධිපතිවරයාට ගෙදර බලා යාමට සිදු වූ බවත්, මෙම ආණ්ඩුවද එම ක්‍රියාවලිය ම සිදුකරමින් මෙම සිදුවීම යටගසමින් සිටිනා බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.

උන්වහන්සේ මේ බව සඳහන් කරේ අද (17) පැවති මාධ්‍ය හමුවකදී යි.

එමෙන්ම මෙම ප්‍රහාරය සඳහා වගකිව යුත්තන් හෝ සත්‍ය සැගවීමට උත්සාහ කරන්නන් සිටීනම් ඔවුන් හට ද, මේ ආකාරයටම ගෙදර යාමට සිදු වනු ඇති බවත් කාදිනල්වරයා පවසනවා.

මෙම සිදුවීමට වගකිවයුතු නිලධාරියෙක් තවමත් ආණ්ඩුව විසින් තවමත් එම තනතුරේ තබා ගැනීම මඟින් නීතියට ගරු නොකරන ආණ්ඩුවක් සමඟ තමන්ට ගණුදෙනු කිරීම අපහසු බවත් උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කරනවා.

+


ඉන්දියාවට යන්නයි එන්නයි දෙකටම රුපියල් 35,000 යි

(17.04.2023 – 19:37 +0530 – hirunews.lk/sinhala)

ඉන්දු ශ්‍රී ලංකා බෝට්ටු ප්‍රවාහන සේවය ලබන මැයි මස 15 වන දා ආරම්භ කිරීමට මේ වන විට සැලසුම් සකස් කරමින් පවතිනවා.

මෙම යාත්‍රා මඟින් ඉන්දියාවට යාමට පැය 04 ක් වැනි කාලයක් ගත වන බව සඳහන්.

මෙම බෝට්ටු ප්‍රවාහන සේවය ආරම්භ කිරීම සඳහා IndSri Ferry Services Pvt Ltd සමාගම වෙත අවසර ලබා දී තිබෙනවා.

මෙම ෆෙරි බෝට්ටු සේවය සඳහා අයකරන මුදල ඇමරිකන් ඩොලර් 100 ක් වන අතර එය ශ්‍රි ලංකා මුදලින් රු. 35,000 ක් පමණ වෙනවා.

එමෙන්ම මෙම ගමනේ දී කිලෝ 100 ක ගමන් මලු රැගෙන යා හැකි අතර, එක් ෆෙරී බොට්ටු සේවාවක මගීන් 120 කට පමණ ගමන් කිරීමට පහසුකම් සැලසෙනවා.

ඊ විසා පහසුකම් ලබා ගැනීම මඟින් ඉන්දියාවේ ඕනෑම තැනක ගමන් කිරිමේ හැකියාව ද මෙමගින් හිමි වනවා ෴


උෂ්ණත්වයේ ඉහළ යාම මැයි මස අග දක්වා

(17.04.2023 – 20:05 +0530 – hirunews.lk/sinhala)

උෂ්ණත්වයේ ඉහළ යාම මැයි මස අග දක්වා අපේක්ෂා කරන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එහි අධ්‍යක්ෂ ශිරෝමනි ජයවර්ධන සඳහන් කළේ වර්ෂාව සමඟ එම තත්ත්වයේ අඩුවීමක් තිබුණද එය තාවකාලික බවයි.

මේ අතර අද (17) සහ හෙට (18) කිලිනොච්චිය, වවුනියාව, මුලතිව්, මන්නාරම, අනුරාධපුර, කුරුණෑගල, මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

පාසල් පැවැත්වෙන කාල සීමාවල එළිමහනේ ක්‍රියාකාරකම් සීමාකරන ලෙසයි සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

පවතින අධික උණුසුම හේතුවෙන් උතුරේ ‘සීනි කැකිරි’ පරිභෝජනය ඉහළ ගොස් තිබෙනවා.

වැඩිවන ඉල්ලුම හමුවේ මේ වන විට ‘සීනි කැකිරි’ කිලෝග්‍රෑමයක මිල ද රුපියල් 450 ත් 500 ත් දක්වා ඉහළ ගොස් ඇති බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ ෴


ඔට්ටු සහ සූදු බද්ද ඉහළට

(17.04.2023 – 20:17 +0530 – hirunews.lk/sinhala)

ඔට්ටු සහ සූදු බදු ඉහළ නැංවීමට අදාළ පනත් කෙටුම්පත ගැසට් මගින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නිකුත් කර ඇති එම ගැසට් පත්‍රයට අනුව ලාංකික පුරවැසියෙකුගෙන් සූදු ව්‍යාපාරික ස්ථානයකට ඇතුළු වීමේදී අයකළ ඇමරිකානු ඩොලර් 50 ක මුදල ඉහළ දමා ඇත්තේ ඩොලර් 100 දක්වායි.

එසේම බුකී ව්‍යාපාර පවත්වාගෙන යනු ලබන සෑම තැනැත්තෙකුම එය ආරම්භ කළ දිනයේ සිට මසක් ඇතුළත දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය යුතු වනවා.

තවද වාර්ෂිකව ගෙවිය යුතු ඔට්ටු සහ සූදු බදු මුදලද සංශෝධනය කිරීමට යෝජනා කර ඇති අතර අප්‍රේල් පළමුවනදා (01) සිට ආරම්භ වන බුකී ව්‍යාපාර සඳහා අයකෙරෙන වාර්ෂික බදු මුදල රුපියල් මිලියන 05 දක්වා ඉහළ දමා තිබෙනවා.

එමෙන්ම සජීවි රූපවාහිනි විකාශන පහසුකම් භාවිතාකරන අවස්ථාවක එම බදු මුදල් ප්‍රමාණය රුපියල් මිලියනයක් දක්වා ඉහළ දමා ඇති අතර මීට පෙර එම අගය පැවතියේ රුපියල් ලක්ෂ 06 ක් ලෙසයි ෴


මරදන්කඩවල දී සිදුවූ අනතුරකින් දෙදරු පියෙක් ජීවිතක්ෂයට

(17.04.2023 – 23:22 +0530 – hirunews.lk/sinhala)

කැකිරාව මරදන්කඩවල දී A9 ප්‍රධාන මාර්ගයේ 101 කිලෝමීටර් කණුව ආසන්නයේ දී අද (17) පස්වරුවේ සිදු වූ රිය අනතුරකින් එකම පවුලේ පියා මියගොස් මව සහ දියණිය තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

මෙම අනතුරින් මියගොස් ඇත්තේ මිදිවත්ත, යොවුන් ගම්මානයේ පදිංචි වයස අවුරුදු 42 ක් වූ දෙදරු පියෙක්.

අවුරුදු නෑගම් ගොස් නැවත තම නිවස වෙත යතුරු පැදියෙන් ගමන් කරමින් සිටිය දී යතුරුපැදියට පිටු පසින් පැමිණි මෝටර් රථයක් එම යතුරු පැදියේ ගැටීමෙන් මෙම මාරක රිය අනතුර සිදුවී ඇති බව මරදන්කඩවල පොලිසිය පවසනවා.

අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු මරදන්කඩවල රෝහලට ඇතුළත් කිරීමේදි මියගොස් ඇති අතර, පසුපැදිකාරියන් වූ මියගිය අයගේ බිරිඳ හා දියණිය බරපතළ තුවාල ලබා සිටීම නිසා වැඩිදුර ප්‍රතිකාර සදහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත යවා තිබෙනවා.

රෝහල් ආරංචි මාර්ග පවසන්නේ එම කාන්තාවගේ තත්වයද බරපතල බවයි.

මෙම අනතුර සිදුකළ මෝටර් රථයේ රියැදුරු මෝටර් රථය සමඟ අත්අඩංගුවට ගෙන ඇති අතර, පොලිසිය පවසන්නේ එම රියදුරුගේ අධික වේගය හා බීමතින් රිය ධාවනයකිරීම මෙම අනතුරට හේතු වී ඇති බවයි.

සැකකාර රියැදුරු කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 26 දා දක්වා රක්ෂිත බන්ධනාගතකර තිබෙනවා.

මරදන්කඩවල පොලිස් ස්ථානය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කර‍යි.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *