වාහන 26 ක් අධිවේගී මාර්ගයේ පෝලිමට ගැටෙයි

වාහන 26 ක් අධිවේගී මාර්ගයේ පෝලිමට ගැටෙයි


වාහන 26 ක් අධිවේගී මාර්ගයේ පෝලිමට ගැටෙයි

(17.04.2023 – 09:44 +0530 – hirunews.lk/sinhala)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ දී වාහන පෝලිමට ගැටී රිය අනතුරක් සිදුව තිබෙනවා.

ඊයේ (16) රාත්‍රියේ දී මෙම අනතුර සිදුව ඇත්තේ දොඩන්ගොඩ පිවිසුම ආසන්නයේදියි.

අනතුරේ දී රථවාහන 26 කට ආසන්න සංඛ්‍යාවක් එකිනෙක ගැටී ඇති බවයි වාර්තාවන්නේ.

අධිවේගී රථවාහන පොලිසිය සඳහන් කළේ මෙම අනතුරට හේතුව වී ඇත්තේ වාහන අතර පරතරයක් නොතබා ගමන් කිරීම බවයි.

මෙම අනතුරින් රථ වාහනවලට අලාභ හානි වුව ද කිසිදු පුද්ගලයෙකුට තුවාල සිදු වී නැහැ.

+

+


මෝටර් රථයක් යාපනය මුහුදට පෙරළෙයි

(17.04.2023 – 11:08 +0530 – hirunews.lk/sinhala)

යාපනය කරෙයිනගර් මාර්ගයේ පොන්නාලේ ප්‍රදේශයේදී මෝටර් රථයක් ඊයේ (16) දින පාරෙන් ඉවතට පැන බෝක්කුවක් ද කඩාගෙන ගොස් මුහුදට පෙරළී තිබෙනවා.

දකුණේ සිට අවුරුදු නිවාඩුව ගත කිරීමට පැමිණි පිරිසක් යාපනය සිට කැෂුරිනා වරාය නැරඹීමට යමින් සිටියදී මෙම අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ අනතුරෙන් එක් (1) අයෙකු පමණක් සුළු තුවාල ලබා යාපනය ශීක්ෂණ රෝහලට ඇතුළත් කොට තිබෙනවා.

මේ වන විට අණාවරනය වී ඇත්තේ, අනතුර සිදු වූ අවස්ථාවේදී මොටර් රථය පැද වූ රියදුරා බීමත්ව සිට ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ යාපනය පොලිසිය විසින් සිදු කරනු ලබනවා ෴


කොත්මලේ ඔයේ ජලය විසවෙයි

(17.04.2023 – 12:29 +0530 – hirunews.lk/sinhala)

අඹේවෙල සිට තලවකැලේ කොත්මලේ ජලාශය දක්වා ජලය ගලා බසින කොත්මලේ ඔයේ වෙසෙන මසුන් ඊයේ (16) දින සිට හදිසියේ මියයන බවත්, එසේ මිය ගොස් ඇති මත්ස්‍යයින් ආහාර සදහා නොගන්නා ලෙස නුවරඑලිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා ඔය දෙපස පදිංචිකරුවන්ගෙන් ඉල්ලා සිටිනවා.

මෙසේ අභිරහස් ලෙස මසුන් විස වී ඇත්තේ, ජලාශයේ අඹේවෙල සිට මෙරායා, ඇල්ජින් අගරකන්ද දක්වා කිලෝමිටර් 12 ක් පමණ දුරටයි.

එසේ මියයන මසුන් ඔය දෙපස පදිංචි වතු කම්කරුවන් සහ ප්‍රදේශවාසින් විසින් රැගෙන යන බවයි වාර්තා වන්නේ.

නුවරඑලිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක නිශ්ශංක විජේවර්ධන මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, එසේ රැගෙන යන මසුන් ආහාර සදහා භාවිතා නොකරන ලෙසයි.

තවද කොත්මලේ ඔයේ මසුන් හදිසියේ මියයාම සම්බන්ධයෙන් විමර්ෂණයක් සිදු කරන ලෙසට ලිදුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා සහ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පිරිසක් එම ප්‍රදේශයට යවා තිබෙනවා.

මේ වන විටත් කොත්මලේ ඔයෙහි ජලය කළු පැහැයෙන් ගලා බසින නිසා තවදුරටත් ඉහල කොත්මලේ ජලාශය දක්වා මසුන් මියයාමට ඉඩ ඇති බැවින් පවත්නා තත්ත්වය මත එහි ජලය භාවිතයට නොගන්නා ලෙසයි නුවරඑලිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ෴


ක්‍ෂය රෝගය ව්‍යාප්තවීමේ අවදානමක්

(17.04.2023 – 13:07 +0530 – hirunews.lk/sinhala)

රත්නපුර දිස්ත්‍රික්කයේ ක්‍ෂය රෝගය වැඩි වශයෙන් ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බව රත්නපුර ශික්ෂණ රෝහලේ ස්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නෙරංජන් දිසානායක පවසනවා.

ක්‍ෂය රෝගය වළක්වාගැනීම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනට ඊයේ (16) එක්වෙමින් ඔහු කියා සිටියේ ක්‍ෂය රෝගය පිළිබඳ ජනතාව තුළ පවතින නොදැනුවත් භාවයද ඊට බලපා ඇති බවයි.

පසුගිය වසරේදී මෙරටින් ක්‍ෂය රෝගීන් 331 දෙනෙකු හමුව තිබෙනවා.

ඉන් 30 දෙනෙකු මියගොස් ඇති අතර, එය සියයට 10 ක පමණ ප්‍රතිශතයක් වීම අවධානයට ලක්විය යුතු කරුණක් බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

ශ්‍රී ලංකාව තුළ වසරකට ඇස්තමේන්තු ගත ක්‍ෂය රෝගීන් සංඛ්‍යාව 14,000 ක් පමණ වුවද ඉන් අනාවරණ කරගැනෙන්නේ රෝගීන් දස දහසක් (10,000) පමණයි.

එලෙස රෝගීන් 4,000 ක පමණ ප්‍රමාණයක් වාර්තා නොවීමට ප්‍රධාන හේතුවක් වන්නේ නොදැනුවත්කම බවයි රත්නපුර ශික්ෂණ රෝහලේ ස්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නෙරංජන් දිසානායක ප්‍රකාශ කළේ.

+


තරුණයෙකුගේ මළ සිරුරක් වවුනියාවේ දී හමුවෙයි

(17.04.2023 – 14:06 +0530 – hirunews.lk/sinhala)

තරුණයෙකුගේ මළ සිරුරක් කුඹුරක තිබී හමු වී තිබෙනවා.

ඒ වවුනියාවේ පුලියන්කුලම පුතූර් ප්‍රදේශයේදීයි.

මෙසේ මිය ගොස් ඇත්තේ රාත්‍රී කාලයේ කුඹුරක් මුර කිරීමට ගිය තරුණයෙක්.

ඔහු කුඹුරේ සිට ආපසු නිවසට නොපැමිණීම නිසා පවුලේ උදවිය එහි ගොස් බලා තිබෙනවා.

එහි දී ඔහුගේ මළ සිරුර හමු ව ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

වැඩිදුර මරණ පරීක්ෂණ සදහා මළ සිරුර වවුනියාව මහ රෝහල වෙත රැගෙන ගොස් තිබෙනවා.

මිය ගිය තරුණයා පුලියන්කුලම් ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි ජගනාදන් කෙජිදන් නමැති තරුණයෙක්.

පුලියන්කුලම පොලීසිය තරුණයා මිය ගිය ස්ථානය ද ස්ථානීය පරීක්ෂවකට ද ලක් කර තිබෙනවා.

ඔහු මිය ගිය හේතුව මෙතෙක් අනාවණය වී නැහැ. මේ පිළිබද වැඩිදුර පරීක්ෂණ කටයුතු පුලියන්කුලම පොලිසිය හා වවුනියාව පොලිසිය විසින් මෙහෙයවයි ෴


බිබිලෙන් පළමු අස්වැන්න බුදුරජුන්ට

(17.04.2023 – 14:53 +0530 – hirunews.lk/sinhala)

කන්නයක් පුරා වෙහෙස වී නෙලා ගන්නා අස්වැන්නේ අග්‍රඵලය බුදුරජානන්වහන්සේටත්, මහා සංඝරත්නයටත්, පූජා කර පසුව පරිභෝජනයට ගැනීම පුරාතනයේ සිට පැවත එන චාරිත්‍රයක්.

බිබිල, ඇකිරියංකුඹුර හේන් වගාවේ පළමු අස්වැන්නත් බුද්ධ පූජාවෙන් අනතුරුව මහා සංඝරත්නය වෙත පිළිගැන්වීමේ අවස්ථාව කැමරාවේ සටහන් කරගන්නට අප වාර්තාකරු සමත් වුණා.

බිබිල, ඇකිරියංකුඹුර ප්‍රදේශයේ ඉඩම් බහුජාතික සමාගම්වලට ලබාදීමට කටයුතු කිරීමට එරෙහිව මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් මෙම ප්‍රදේශයේ ජනතාව පසුගිය සමයේ දැඩි ලෙස සිය හඬ අවධි කළා.

එය හිරු ප්‍රවෘත්ති තුළින් ද අප අවස්ථා ගණනාවක දී වාර්තා කළේ ඒ අනුවයි.

ප්‍රදේශවාසීන්ගේ එකමුතුවේ ප්‍රතිඵලයක් ලෙස අක්කර 550 ක භූමි භාගයක් භවබෝගවලින් පරිපූර්ණ කිරීමට මේ වන විට ඔවුන්ට හැකි වී තිබෙනවා.

මහ කැලෑවක් තුළ සරු ලෙස ඵල දරා ඇති කෙසෙල්, තල, කුරක්කන්, මුං, මඤ්ඤොක්කා ආදියෙහි අස්වනු නෙලීම මේ දිනවල ආරම්භ කර තිබෙනවා.

පාරම්පරික චාරිත්‍රානුකූලව සිය අස්වැන්නේ ප්‍රථම කොටස මහා සංඝරත්නය වෙත පිළිගැන්වීමටයි ගොවීන් කටයුතු කළේ.

ස්වාමීන් වහන්සේ අති දුෂ්කර මාර්ග ඔස්සේ හේන් යායට වැඩම කරවාගෙන මෙම මහරු පින්කම සිදු කිරීමටයි ගොවි ජනතාව කටයුතු කළේ.

එය ඉතා බැරෑරුම් මෙන්ම භාරදූර වගකීමක් වූ බවට මෙම රූපමය සටහන් සාක්ෂි දරනවා.

ඇල කඩිති, පස් ගොඩැලි තැනි තලා ඔස්සේ ට්‍රැක්ටරයක වැඩම කළ උන්වහන්සේගේ මූලිකත්වයෙන්ම හේන් යාය මධ්‍යයේ අභිනව විහාරස්ථානයක් සඳහා ද මුල්ගල තැබුණා.

+


හැටන් ගිය සංචාරකයින් දැඩි අපහසුතාවට

(17.04.2023 – 15:05 +0530 – hirunews.lk/sinhala)

කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පසුගිය දිනවල වතුකරයට විශාල පිරිසක් පැමිණ තිබෙනවා.

ඒ සිංහල හින්දු අලුත් අවුරුද්ද මූලික කර ගනිමින්.

මෙසේ පැමිණි සංචාරකයින් බහුතරයක් රැකියාවල නිරතවන පිරිස්.

ඔවුන්ට නැවත තම රැකියා ස්ථාන වෙත ළඟා වීමට ප්‍රමාණවත් තරම් බස් රථ සේවාවන් නොති බූ බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

ඒ හේතුවෙන් සංචාරකයින් සිය ගමනාන්තය දක්වා යාමට පිවිස ඇත්තේ හැටන් දුම්රිය ස්ථානය වෙතයි.

බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය කරන උඩරට මැණිකේ දුම්රියෙන් ගමන් කිරිමට විශාල මගින් පිරිසක් හැටන් දුම්රිය ස්ථානයට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් දුම්රිය හැටන් දුම්රිය ස්ථානය වෙත ළගා වන විට දීත් සම්පූර්ණයෙන්ම මගීන්ගෙන් පිරීගොස් තිබෙනවා ෴


ප්‍රතිමාවක් නිසා යාපනයේ විරෝධතාවක්

(17.04.2023 – 15:11 +0530 – hirunews.lk/sinhala)

‘නාග පූෂණී අම්මාන් ප්‍රතිමාව’ ඉවත්කරන ලෙස යාපනය අධිකරණය මගින් නියෝගයක් නිකුත් කොට තිබෙනවා.

ඒ යාපනයේ පන්නෙයි මාර්ගය අවහිර වීම හේතුවෙන්.

මෙම ප්‍රතිමාවට අයිතිවාසිකම් කියන කවරෙකු හෝ සිටීනම් අයිතිය තහවුරු කරන ලෙසයි පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියේ.

එසේ නොමැති නම් එම ප්‍රතිමාව ඉවත් කිරීමට සිදුවන බවයි අධිකරණ නියෝගය උපුටා දක්වමින් පොලීසිය වැඩිදුරටත් සදහන් කලේ.

අඳාල ප්‍රතිමාව ඉදි කිරීම සදහා කිසිදු ආයතනයකින් අවසර ලබා ගෙන නොමති බවයි වාර්තා වන්නේ.

එම ප්‍රතිමාව ඉවත් කිරීමට අධිකරණයෙන් නියෝගය ලැබීමත් සමගම එය ඉවත් කරන තුරු ඊට ආරක්ෂාව සපයා දීමට යාපනය පොලීසිය පියවර ගෙන තිබෙනවා.

කෙසේ වෙතත් මෙම ප්‍රතිමාව ඉවත් කිරීමට පියවර ගැනීම සම්බන්ධයෙන් යාපනයේ පාර්ශ්ව රැසකින් විරෝධතා එල්ල වී ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු සදහන් කලේ ෴


යාපනයේ දී හමුදා සෙබළියක් මරුට

(17.04.2023 – 15:20 +0530 – hirunews.lk/sinhala)

යාපනය ගුරුනගර් හමුදා කදවුරේ සේවය කළ යුද හමුදා සෙබළියක් ඊයේ (16) මිය ගොස් තිබේ.

ඒ ඩෙංගු උණ රෝගය වැළදීම හේතුවෙන්. මෙසේ මිය ගොස් ඇත්තේ කොළඹ පදිංචි කේ.එම්.කේ. සෙව්වන්දි නමැත්තියක්.

හමුදා සෙබළිය උණ රෝගය වැළදීමෙන් පසුව යාපනය පලාලී යුද හමුදා රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පසුව වැඩිදුර ප්‍රතිකාර සදහා යාපනය ශීක්ෂණ රෝහල වෙත මාරු කිරීමෙන් අනතුරුව ඇය මිය ගිය බවයි වාර්තා වෙන්නේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *