2023 ලෝකයේ සංචාරයට සුදුසු රටවල් අතරට ශ්‍රී ලංකාවත් එක්වෙයි

2023 ලෝකයේ සංචාරයට සුදුසු රටවල් අතරට ශ්‍රී ලංකාවත් එක්වෙයි


2023 ලෝකයේ සංචාරයට සුදුසු රටවල් අතරට ශ්‍රී ලංකාවත් එක්වෙයි

(17.04.2023 – 06:44 +0530 – hirunews.lk/sinhala)

2023 වසරේ සංචාරය කිරීමට හොඳම ස්ථාන 23 න් එකක් ලෙස ශ්‍රී ලංකාව ලැයිස්තුගත වී තිබෙනවා.

‘ෆෝබ්ස්’ ලැයිස්තුවේ මෙම නව ලැයිස්තුගත කිරීම සිදු කර ඇති බවයි ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය සඳහන් කරන්නේ.

සම්මානලාභී සංචාරක චිත්‍රපට නිෂ්පාදකවරියක් සහ ලොව පුරා වික්‍රමාන්විත හා විනෝදජනක දේවල් ප්‍රදර්ශනය කරන මෙන්ම ජාත්‍යන්තර සංචාරක කර්මාන්තයේ ප්‍රධාන සාමාජිකාවක් වන Juliana Broste විසින් ද ශ්‍රී ලංකාව මෙම වසරේ දී සංචාරය කිරීමට වඩාත් සුදුසු රාජ්‍යයක් බවටයි ප්‍රකාශ කර තිබෙන්නේ.

ඇයගේ මගපෙන්වීම යටතේයි ශ්‍රී ලංකාව Forbes ලැයිස්තුවේ ලැයිස්තුගත කර ඇත්තේ.

මෙලෙස ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට ජාත්‍යන්තරයෙන් තැනක් හිමිවීමට හේතුව වූයේ SLTPB 2022 හි Visiting Blogger වැඩසටහන යටතේ එම වසරේ දී ජුලියානා ලංකාවේ සිදු කළ සංචාරය බවයි වාර්තාවන්නේ.

එමෙන්ම නුවරඑළියේ පැමිණිමෙන් පුංචි එංගලන්තයක අසිරිය විඳගැනීමේ හැකියාවක් ඇති බව ද ඇය පෙන්වාදෙනවා.

ඇය ශ්‍රී ලංකාවේ සංචාරය කරන්නෙකුට ලැබිය හැකි සුන්දරතම අත්දැකීම් ලෙස පෙන්වාදෙන්නේ,

“You can go on safari to an Elephant Sanctuary, go whale watching on the Indian ocean and spy on birds, lizards, jellyfish and monkeys in a mangrove.” යනුවෙන්.

එමෙන්ම යාල ජාතික වනෝද්‍යානය, අනුරාධපුරය සහ මහනුවර ද මෙම සංචාරක මධ්‍යස්ථාන අතරට අයත් ව තිබෙනවා.

මේ අතර චීන රජය විසින් තම පුරවැසියන්ට සංචාරය කිරීම සඳහා අනුමත කරන රටවල් 20 අතරට ශ්‍රී ලංකාව ද ඇතුළත් කර ඇති බව එරට ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන පවසනවා.

ඒ අනුව ඉදිරි මාස කිහිපය තුළ චීන සංචාරකයින් වැඩි පිරිසක් මෙරටට පැමිණෙනු ඇති බවයි ඔහු කියා සිටියේ.

ශ්‍රී ලංකාවට අමතරව චීන වැසියන්ට සංචාරය කළ හැකි ගමනාන්ත ලෙස තායිලන්තය, සිංගප්පූරුව, පිලිපීනය, සහ නවසීලන්තය වැනි රටවල් ද එරට රජය විසින් නම් කර තිබෙනවා ෴


පළමු (1) පාසල් වාරයේ දෙවන (2) අදියර ඇරඹේ

(17.04.2023 – 07:34 +0530 – hirunews.lk/sinhala)

මේ වසරේ (2023) පළමු (1) පාසල් වාරයේ දෙවන (2) අදියර අදින් (17) ආරම්භ වනවා.

ඒ අනුව එම පාසල් වාරය මැයි මස 26 වනදා දක්වා ක්‍රියාත්මක වනු ඇති.

එමෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ චක්‍රලේඛයකට අනුව ලබන 20 වනදා සිට බලපැවැත්වෙන පරිදි ජාතික පාසල්වල අතරමැදි පංති සදහා සිසුන් ඇතුළත් කිරිමේ ලිපි නිකුත් නොකරන බවයි.

මේ අතර 2022 වසරේ සාමාන්‍ය පෙළ විභාගය මැයි 29 වනදා දක්වා කල් දමා තිබෙනවා ෴


පැළ සිටුවීමේ නැකත ලබන 20 වනදා පූර්ව භාග 06:38 ට

(17.04.2023 – 07:38 +0530 – hirunews.lk/sinhala)

උදා වූ අලුත් අවුරුද්දේ රැකී රක්ෂා සඳහා පිටත්ව යාමේ නැකත අද (17) පූර්ව භාග 06:28 ට යෙදි තිබුණා.

සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දීකිරි මිශ්‍ර කිරිබතක් සහ කැවිලි වර්ගයක් අනුභව කර දකුණු දිශාව බලා පිටත්ව යාම සුදුසු බවයි නැකැත් චාරිත්‍රවල දැක්වුණේ.

මෙවර අලුත් අවුරුද්දේ පැළ සිටුවීමේ නැකත ලබන 20 වනදා පූර්ව භාග 06:38 ට යෙදී තිබෙනවා ෴


මොනරුත් රට යයි ?

(17.04.2023 – 07:41 +0530 – hirunews.lk/sinhala)

රිලවුන් පමණක් නොව, මොනරුන් ද හැකි නම් අපනයනය කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර පවසනවා.

රිලවුන් මෙන්ම, මොනරුන්ගෙන් සහ වනඅලින්ගෙන් ද වගාවලට සිදුවන හානි වළක්වා ගැනීම සඳහා එම සතුන් පාලනය කළ යුතු බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

පුත්තලමේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර කියා සිටියේ රිලවුන් චීනයට අපනයනය කිරීමට එරෙහිව හඬ නගන ඇතැම් පිරිස් මුදල් ඉපයීමේ අරමුණින් එලෙස කටයුතු කරන බවයි.

චීනයේ සත්ත්වෝද්‍යාන සඳහා මෙරට රිලවුන් ලක්ෂයක් අපනයනය කිරීම සඳහා යෝජනා වීමත් සමඟ ඒ සම්බන්ධයෙන් මෙරට සමාජය තුළ දැඩි කතාබහක් නිර්මාණය වුණා.

එල්ල වූ විවේචනත් සමඟ ඒ සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට ආයතන 04 කින් සමන්විත කමිටුවක් ද පත්කිරීමටයි රජය පියවර ගනු ලැබුවේ.

එමෙන්ම රිළවුන් ඇල්ලීම සඳහා දුරස්ථ පාලකයකින් ක්‍රියාත්මක කළ හැකි විශේෂ කූඩු වර්ගයක් හඳුන්වාදීමට ද සැලසුම්කර ඇති අතර එම කූඩු භාවිතය සම්බන්ධයෙන් රිලවුන් අල්ලන පුද්ගලයින්ට විශේෂ පුහුණුවක් ද ලබාදීමට නියමිත බවයි කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කළේ ෴


හක්ගලටත් රිළව් කරදර – චීනයේ යෝජනාව කැබිනට් මණ්ඩලයට

(17.04.2023 – 13:44 +0530 – hirunews.lk/sinhala)

හක්ගල උද්භිද උද්‍යායනය ආශ්‍රිතව රිළවුන් ගහණය ඉහළ යාම හේතුවෙන් ප්‍රදේශයේ ජනතාව සහ සංචාරකයින් දැඩි අපහසුතාවට පත්ව තිබෙනවා.

ප්‍රදේශය ආශ්‍රිතව සිදු කෙරෙන ව්‍යාපාරික කටයුතුවලටද රිළවුන්ගෙන් එල්ලවී ඇත්තේ දැඩි බලපෑමක්.

සංචාරක පාරාදීසයක් වන හක්ගල උද්භිද උද්‍යායනය නැරඹීමට විශාල පිරිසක් මේ දිනවල පැමිණෙමින් සිටිනවා.

ඔවුන් පැමිණෙන රථවාහනවලට ද රිළවුන් හානි කරන බවයි ප්‍රදේශවාසීන් කියා සිටියේ.

මේ අතර රිළවුන් චීනයට අපනයනය කිරීම සම්බන්ධයෙන් වන යෝජනාව කැබිනට් මණ්ඩලය හමුවට ඉදිරිපත් කරන බව කෘෂිකර්ම හා වනජීවී අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. හම්බන්තොටදී ඊයේ (16) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ රිළවුන්ගෙන් මෙරට කෘෂි ක්‍ෂේත්‍රයට දැඩි බලපෑමක් එල්ලවී ඇති බවයි ෴


රිළවුන් රට යැවීම ගැන තීරණය කිරීමට ඇමති කමිටුවට භාර දෙයි

(17.04.2023 – 20:10 +0530 – hirunews.lk/sinhala)

චීනයට රිළවුන් ලබාදිය හැක්කේ ඒ සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා පත්කරන ලද කමිටුව නිර්දේශ කළහොත් පමණක් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

චීනයට රිළවු අපනයනය කිරීම සම්බන්ධයෙන් මේ වන විට සමාජයේ දැඩි කතාබහට ලක්වන මාතෘකාවක් වී අවසන්.

ඒ සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන් අදහස් පළකරන අතර පරිසරවේදින් සහ පරිසර සංවිධාන චීනයට රිළවුන් අපනයනය කිරීම පිළිබඳ විවේචනාත්මකව අදහස් පළකරනවා.

මේ අතර රිළවුන් හේතුවෙන් තම දෛනික කටයුතුවලට මෙන්ම වගාවන්ටද බලපෑම් එල්ලවී ඇති බවයි ගොවීන් පෙන්වා දෙන්නේ ෴


දකුණු මුහුදේ දී ඇල්ලූ හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් මිලියන 3500ක්

(17.04.2023 – 07:46 +0530 – hirunews.lk/sinhala)

දකුණු මුහුදු තීරයේදී නාවික හමුදා භාරයට ගනු ලැබූ හෙරොයින් තොගයක් රැගත් යාත්‍රාව මේ වනවිට (17) ගාල්ල වරාය වෙත රැගෙන විත් තිබෙනවා.

නාවික හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ අද (17) අලුයම 05:55 ට සැකකරුවන් හයදෙනෙකු (6) ද සමඟ මෙම බහුදින යාත්‍රාව ගාලු වරාය වෙත රැගෙන ආ බවයි.

පාර්සල් 10 ක අසුරා ඇති එම හෙරොයින් තොගයේ බර කිලෝග්‍රෑම් 200 කට අධික බවට විශ්වාස කරන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ගයාන් වික්‍රමසූරිය කියා සිටියා.

එම තොගයේ නියමිත බව ගණනය කිරීමේ කටයුතු අද (17) දිනයේ සිදු කරන බවයි ඔහු ප්‍රකාශ කළේ.

බහුදින ධීවර යාත්‍රාවකින් මෙරටට රැගෙන එමින් තිබිය දී නාවික හමුදාව, පොලිසිය සහ රාජ්‍ය බුද්ධි සේවය එක්ව සිදුකළ විශේෂ මෙහෙයුමකදියි ඊයේ (16) මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගනු ලැබුවේ.

වැඩිදුර :

දකුණු මුහුදු තීරයේදී නාවික හමුදා භාරයට ගෙන ගාලු වරායට රැගෙන ආ යාත්‍රාවේ දැනට සිදුකර ඇති ගණනය කිරීම්වලට අනුව හෙරොයින් කිලෝග්‍රෑම් 175 ක් පවතින බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ගයාන් වික්‍රමසූරිය ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ එහි වටිනාකම රුපියල් මිලියන 3,500 ක් බවයි.

+

දකුණු මුහුදු තීරයෙන් ඇල්ලූ හෙරොයින් ප්‍රමාණය තවත් ඉහළට

(17.04.2023 – 20:00 +0530 – hirunews.lk/sinhala)

දකුණු මුහුදු තීරයේ දී නාවික හමුදා භාරයට ගෙන ගාලු වරායට අද (17) රැගෙන ආ යාත්‍රාවේ තිබූ හෙරොයින් ප්‍රමාණයේ බර කිලෝග්‍රෑම් 179 ක් බවට තොරතුරු වාර්තා වෙනවා.

එහි වටිනාකම රුපියල් මිලියන 3,593 ක් බවයි නාවික හමුදා මාධ්‍ය අංශය සඳහන් කළේ ෴


දේශීය බිත්තරයක මිල අඩු කෙරේ

(17.04.2023 – 07:50 +0530 – hirunews.lk/sinhala)

දේශීය බිත්තරයක මිල රුපියල් 50 ට අඩුවෙන් ලබාදීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ ඊයේ (16) තම සංගමයේ නියෝජිතයින් රැස්වී මෙම තීරණය ගත් බවයි.

මේ අතර සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමයේ ලේකම් අනුර මාරසිංහ ප්‍රකාශ කළේ ඉන්දියාවෙන් ගෙන්වන බිත්තර ප්‍රමාණය වැඩි කර, ඒවා පාරිභෝගික ජනතාවට ද අලෙවි කළ යුතු බවයි.

+


තරුණ විශෝධන මධ්‍යස්ථානයෙන් රැඳවියන් හතර (4) දෙනෙකු පලා යයි

(17.04.2023 – 08:12 +0530 – hirunews.lk/sinhala)

බදුල්ල – තල්දෙණ – තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානයෙන් රැඳවියන් හතර (4) දෙනෙකු පලාගොස් තිබෙනවා.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක ප්‍රකාශ කළේ අද (17) අලුයම් කාලයේ මෙම රැඳවියන් මෙලෙස පලාගොස් ඇති බවයි.

සුළු වැරදි සහ අපරාධවලට සම්බන්ධ තරුණයන් මෙම බන්ධනාගාරයේ රඳවා තබා තිබෙනවා.

+


නාවික සෙබළෙකු නිදියහනේදීම මිය යයි

(17.04.2023 – 11:42 +0530 – hirunews.lk/sinhala)

මුලතිව් ගෝඨාභය නාවික හමුදා කදවුරේ සේවය කළ නාවික සෙබලෙකු රාත්‍රි කාලයේ නිදි යහනේදීම මියගොස් සිටියදී අද (17) දින සොයාගෙන තිබෙනවා.

මුලතිව් නාවික හමුදා කදවුරේ විමර්ශන නිලධාරියෙක් ලෙස සේවය කළ මොහු බදුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ වන විට මරණයට හේතුව සොයා ගැනීම සඳහා ඔහුගේ මළ සිරුර මුලතිව් රෝහල වෙත බාර දී තිබෙන බවයි වාර්තා වන්නේ.

අදාළ සිද්ධිය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ මුලතිව් පොලීසිය විසින් පවත්වනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *