‘ශ්‍රීලන්කන්’ ගුවන් යානා 5 ක් බිම

‘ශ්‍රීලන්කන්’ ගුවන් යානා 5 ක් බිම


‘ශ්‍රීලන්කන්’ ගුවන් යානා 5 ක් බිම

(16.04.2023 – 19:57 +0530 – sinhala.adaderana.lk)

‘ශ්‍රී ලංකන් ගුවන් සේවය’ සතු නවීනතම ගුවන් යානා 5 ක් මාස ගණනක් පුරාවට භාවිත නොකර පර්යන්තවල නවතා දමා තිබේ.

සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රධානම පාර්ශ්වකරුවෙකු වන ජාතික ගුවන්සේවයේ යානාවලට මෙවැනි ඉරණමක් අත්ව ඇත්තේ ඇයි?

මේ ඒ පිළිබඳව ‘අද දෙරණ’ කළ සොයාබැලීමකි.

ශ්‍රී ලංකන් ගුවන්සේවය සතුව එයාර් බස් ගුවන් යානා 24 ක් ඇති අතර ඉන් යානා 12 ක් දිගු දුර ගුවන් සඳහා යොදා ගනු ලබන A330-200 සහ A330-300 කාණ්ඩයේ ගුවන්යානා වන අතර අනෙක් ගුවන් යානා 12 කෙටිදුර ගුවන් ගමන් සඳහා යොදා ගනු ලබන A320, A321, A320NEO, A321NEO කාණ්ඩයට අයත් වේ.

නමුත් මේ වන විට ශ්‍රී ලංකන් ගුවන් සේවය සතු ගුවන් යානා ඇණියෙන් ගුවන් යානා 5 ක් එන්ජින් සහ අමතර උපංග හිඟ වීම හේතුවෙන් මාස ගණනක් පුරාවට ගුවන් තොටුපළේ නවතා දමා තිබේ.

මෙවැනි භාවිතයට නොගන්න යානා බොහෝමයක් 2017 වසරෙන් පසුව ගුවන්සේවය සමග එක්වූ නවීනතම A320 NEO සහ A321 NEO කාණ්ඩයේ ගුවන් යානා විය.

ඒ අනුව, මගීන් 150 දෙනෙකු රැගෙන යා හැකි A320 NEO වර්ගයේ ගුවන්යානා 2 ක් පමණක් ඇති අතර එම ගුවන් යානා වන 4R-ANA සහ 4R-ANB ගුවන් යානා දෙකම (2) අද (16) ගුවන් තොටුපළේ ගාල් කර තිබු අයුරු දක්නට ලැබුණි.

එමෙන්ම ගුවන් සේවය සතුව A321 NEO කාණ්ඩයේ ගුවන් යානා 4 ක් ඇති අතර අද (16) වන විට ඉන් ගුවන් යානා 3 ක් අමතර කොටස් හිඟය නිසා ගුවන් තොටුපළේ ගාල් කර තිබේ.

එම ගුවන් යානා වන්නේ 4R-AND, 4R-ANE සහ 4R-ANF ගුවන්යානා වන අතර මගින් 188 ක් එම ගුවන් යානාවලින් රැගෙන යා හැකිය.

එමෙන්ම ශ්‍රී ලංකන් ගුවන්සේවය සතු ගුවන්යානා මෙලෙස අමතර කොටස් නොමැතිව ගුවන් තොටුපළේ නවතා දමා ඇති නිසා ගුවන්සේවයට සිදුවන පාඩුව ඉතා විශාල බව වාර්තාවේ.

මේ අතර ඊයේ (15) මෙල්බර්න් සිට කොළඹ දක්වා ක්‍රියාත්මකවීමට නියමිතව තිබු UL605 දරන ගුවන් වාරය ක්‍රියාත්මක කරනු ලබන A330-300 වර්ගයට අයත් (4R-ALM) ගුවන්යානයේ ඇතිවු දෝෂයක් හේතුවෙන් ගුවන් මගීන් මෙල්බර්න් ගුවන්තොටුපළේ දැඩි අසීරුතාවයකට පත්ව ඇති බව වාර්තා වේ.

පැය 24 කට ආසන්න කාලයක් මගීන් ගුවන් තොටුපලේ රඳවා තබාගැනීමට ශ්‍රී ලංකන් බලධාරීන් කටයුතු කර ඇති බවත් කිසිඳු වගකිව යුතු නිලධාරීයෙකු පැමිණ ඇතිව ඇති තත්ත්වය සම්බන්ධයෙන් සොයාබැලීමක් සිදුනොකළ බවටත් මගීන් චෝදනා කරයි.

+


දක්ෂිණ අධිවේගයේ අනතුරු වැළක්

(16.04.2023 – 22:43 +0530 – sinhala.adaderana.lk)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ පිවිසුම ආසන්නයේ සිදුවූ අනතුරු කිහිපයකින් වාහන 26 කට ආසන්න සංඛ්‍යාවකට අලාභ සිදු වී ඇති බව දක්ෂිණ අධිවේගී රථවාහන පොලීසිය පවසයි.

අලාභ වු වාහන අතර මෝටර් රථ 22 කට ආසන්න සංඛ්‍යාවක් තිබෙන බව සඳහන් වේ.

ගාල්ල සිට කොළඹ බලා ගමන් ගත් වාහන කිලෝමීටර් 32 හා 35 අතර දී සිදු වූ අනතුරු 06 කින් මෙම අලාභ සිදු වී තිබේ.

සිදු වූ අනතුරුවලින් කිසිවෙකුටත් තුවාල හෝ අධිවේගී මාර්ගයෙහි දේපළවලට අලාභ සිදු වී නොමැති අතර බහුතරයක් වාහනවල ඉදිරිපස සහ පිටුපස ප්‍රදේශවලට අලාභ සිදුව ඇත.

වාහන අතර පරතරයක් තබාගෙන ධාවනය නොකිරීම හේතුවෙන් මෙම අනතුරු සියල්ල සිදුවී ඇති බව සඳහන් වේ ෴


“ජපන් ආධාර යටතේ ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට සූදානම්”

(16.04.2023 – 11:17 +0530 – hirunews.lk/sinhala)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හා ලෝක බැංකුවේ Spring සමුළුව පැවැත්වෙන අතරතුර මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ ද්විපාර්ශ්වික සාකච්ඡා කිහිපයක් පවත්වා තිබෙනවා.

පැරිස් සමාජ ලේකම් කාර්‍යලයේ සම සභාපති රාජ්‍ය අමාත්‍ය විලියම් රූස් සමඟ පැවති සාකච්ඡාවේ දී ඔහු විසින් ලංකාවේ ණ්‍ය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රගතිය අගය කර තිබෙනවා.

JAICA දකුණු ආසියාවේ ජ්‍යේෂ්ඨ උප ප්‍රධානී ඉමොටෝ සචිකෝ සමඟ පැවති සාකච්ඡාවේ දී ජපන් ආධාර යටතේ ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට එම ආයතනය සූදානමින් සිටින බව ඇය විසින් ප්‍රකාශ කර ඇතැයි පවසනවා.

තවද මෙහි දී අමාත්‍යවරයා විසින් ජපානයේ ජාත්‍යන්තර කටයුතු පිලිබඳ උප අමාත්‍ය කෙන්ටරෝ ඔගටා, ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ සභාපති ජින් ලිකුන්, බ්‍රසීලයේ මුදල් නියෝජ්‍ය අමාත්‍ය ටටියානා රොසීතෝ යන රාජ්‍ය තාන්ත්‍රිකයින් සමඟ ද ලංකාවේ ප්‍රගතිය පිලිබඳ සාකච්ඡා පවත්වා තිබෙනවා.

අමාත්‍ය ෂෙහාන් සේමසිහක් සිය ගිණුමේ ට්විටර් පණිවුඩයක් තබමින් සඳහන් කරන්නේ “ශ්‍රී ලංකාවට සුවිශේෂි බලාපොරොත්තු රැසක් ඇති කළ සතියක් සනිටුවන් කරමින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ හා ලෝක බැංකුවේ වසර මැද ‘ස්ප්‍රිං මීටින් 2023’ හමුව අවසන් විය. ගෝලීය නායකයන් සමඟ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතා සාකච්ඡා කිරීම සඳහා සම්බන්ධ වූ අතර ශ්‍රී ලංකාවේ ආර්ථික පුනරාගමන ක්‍රියාවලිය හා අප ලබා ඇති ප්‍රගතිය ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමටත්, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන ඇතුළු ජාත්‍යන්තර සහයෝගීතාව වර්ධනය කරගැනීමටත් මෙහිදි සිදු කළ සාකච්ජා මහත් පිටුවහලක් වනු ඇත.” යනුවෙනි.


කලකට පෙර දුර්වල රාජ්‍යයක් වූ චීනය, ප්‍රබල රටක් වූ හැටි ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති හෙළිකරයි

(16.04.2023 – 20:27 +0530 – lankaleadnews.com)

චීනයේ ඓතිහාසික පසුබිම හා 1939 වන තෙක් දුර්වල රාජ්‍යයක් ලෙස පැවතුන චීනය ඉන්පසුව ප්‍රබල රාජ්‍යයක් බවට පත්වූ ආකාරය ගැන ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති මහතා සිය දේශනයක දී හෙළිදරව් කරයි.

1949 දී මාවෝ සේතුං නම් විප්ලවීය නායකයාගේ නායකත්වයෙන් චීනය ගොඩ නැගීමේදී සියලුම ජනතාව එක් අරමුණක් වෙනුවෙන් වැඩ කළ බවද, ඊට පෙර බෙදී වෙන්වී සිටි ජනතාව මෙසේ සාමූහික ඒකරාශී කිරීම මගින් පැරණි චීනය බිඳවැටී නව චීනයක් බිහිවූ බව ද ඔහු පවසයි.

චීනය තුළ සංස්කෘතික විප්ලවයක් මෙන්ම, කාර්මික විප්ලවයක් ද මාවෝ සේතුංගේ නායකත්වයෙන් ඇරඹීම නිසා රට අරාජික බවින් මුදවාගෙන ලෝකයේ ප්‍රබලම රාජ්‍යයක් නිර්මාණය කිරීමට හැකිවූ බවද ඒ මහතා පෙන්වා දෙයි.

+


90 videos


කිරිපිටි ගැන වෛද්‍යවරයකුගෙන් රටම හොල්ලන අනාවරණයක් – කිරිපිටි බිව්වත් අයිස් ගැහුවත් දෙකම එකයි

(16.04.2023 – 19:31 +0530 – lankaleadnews.com)

ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සේනක ගමගේ මහතා විසින් මෙරට කිරිපිටි පිළිබඳව භයානක හෙළිදරව්වක් සිදුකර තිබේ.

වෛද්‍ය සේනක ගමගේ මහතා සදහන් කරන්නේ කිරිපිටි යනු විෂ සහිත කුඩක් බවත්, අයිස් මත්ද්‍රව්‍ය හා කිරිපිටිවල වෙනසක් නොමැති බවත් ය.

නවසීලන්තයේ දියර කිරි නිෂ්පාදිතයෙන් සියයට 99 ක්ම එරට ජනයා පරිභෝජනයට ගන්නා බව ද, ඉතිරි සියයට එකක (01) ප්‍රමාණය කුඩක් ලෙස රසායන ද්‍රව්‍ය යොදා නිෂ්පාදනය කර ආසියානු රටවලට එවන බවත් වෛද්‍යවරයා හෙළිකරයි.

සෞඛ්‍ය අමාත්‍යංශයෙන් හා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් කිරිපිටි මගින් අන්තරායන් 21 ක් සිදුවන බවට අනතුරු අඟවා ඇති බවද ඒ මහතා පෙන්වා දෙයි.

සවිස්තරාත්මක වීඩියෝව :

+


මෙල්බන්හිදී කාර්මික දෝෂයකට ලක් වූ ශ්‍රී ලංකන් යානය අද (17) දිවයිනට

(17.04.2023 – 07:36 +0530 – hirunews.lk/sinhala)

ඔස්ට්‍රෙලියාවේ මෙල්බන් නුවර ගුවන්තොටුපලේදී කාර්මික දෝෂයකට ලක් වූ ශ්‍රී ලංකන් ගුවන් යානය අද (17) උදෑසන කටුනායක ගුවන් තොටුපලට පැමිණ තිබෙනවා.

යූ.එල්. 605 දරණ මෙම යානයේ මගීන් 218 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 17 දෙනෙකු සිට තිබෙනවා.

ප්‍රංශයේ නිෂ්පාදිත ඒ 330 එයාර් බස් වර්ගයේ මෙම යානය පසුගිය 15 වනදා රාත්‍රී 10:25 ට කටුනායක ගුවන් තොටුපලට පැමිණීමට නියමිතව තිබියදියි කාර්මික දෝෂයකට ලක්වුණේ.

පසුව මෙම යානය යථා තත්වයට පත් කිරීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉංජිනේරුවන් හයදෙනෙකු (6) ගෙන් සමන්විත පිරිසක් එදිනම රාත්‍රියේ ඔස්ට්‍රෙලියාව වෙත ගොස් තිබුණා.

+


අද (17) සිට ලංගම බස් රථ සහ දුම්රිය සාමාන්‍ය පරිදි

(17.04.2023 – 07:37 +0530 – hirunews.lk/sinhala)

අද (17) සිට ලංගම බස් රථ සහ දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනයට එක් කෙරෙන බව ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කළා.

ඒ අනුව අද (17) ලංගම බස් රථ 4500 ක් ධාවනයට යොදවා තිබෙනවා. මේ අතර විශේෂ අවුරුදු ප්‍රවාහන සේවා වැඩසටහන හෙට (18) දක්වා ක්‍රියාත්මක බව ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කළා.

දුම්රිය ධාවනය ද අද (17) සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බවයි දුම්රිය දෙපාර්තමේන්තුවේ අතිරේක සාමාන්‍යාධිකාරි වී.එස්. පොල්වත්තගේ කියා සිටියේ.

+


අදත් (17) දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු වෙයි

(17.04.2023 – 14:59 +0530 – hirunews.lk/sinhala)

අද (17) දිනයේ මේ දක්වා දුම්රිය ගමන්වාර 05 ක් අවලංගු කිරීමට සිදුවූ බව දුම්රිය පාලක මැදිරිය පවසනවා.

දුම්රිය රියදුරන් සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් ඊයේ (16) දිනයේදීත් දුම්රිය ගමන්වාර 30 කට වැඩි ප්‍රමාණයක් අවලංගු කිරීමටයි බලධාරින් පියවර ගෙන තිබුණේ.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී දුම්රිය අතිරේක සාමාන්‍යාධිකාරි වී.එස්. පොල්වත්තගේ කියා සිටියේ කාර්මික දෝෂයක් හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය දෙකක් (2) පමණක් අවලංගු කළ බවයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *