දකුණු මුහුදු තීරයෙන් සොයාගත් හෙරොයින් තොගය කිලෝ 175 ක් බවට හෙළිවේ

දකුණු මුහුදු තීරයෙන් සොයාගත් හෙරොයින් තොගය කිලෝ 175 ක් බවට හෙළිවේ


දකුණු මුහුදු තීරයෙන් සොයාගත් හෙරොයින් තොගය කිලෝ 175 ක් බවට හෙළිවේ

(16.04.2023 – 08:23 +0530 – hirunews.lk/sinhala)

දකුණු මුහුදු තීරයේදී නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාවේ හෙරොයින් කිලෝග්‍රෑම් 175 කට වැඩි ප්‍රමාණයක් පවතිනු ඇති බවට පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය පවසනවා.

ඒවා පාර්සල් 10 ක් ලෙස සකස්කර තිබූ බවයි එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

අදාළ බහුදින යාත්‍රාව මේ වන විට දකුණු මුහුදේ සිට ගාල්ල වරාය වෙත රැගෙන එමින් පවතින බවයි වාර්තා වන්නේ.

මෙම යාත්‍රාව සැකකරුවන් 06 දෙනෙකු සමග අත්අඩංගුවට ගෙන තිබුණේ නාවික හමුදාව, පොලිසිය සහ බුද්ධි අංශ එක්ව සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදියි.

අදාළ හෙරොයින් තොගය කුමන රටක සිට ගෙන ආවේද යන්න පිළිබඳ තවමත් නිශ්චිතව අනාවරණය කරගෙන නැහැ ෴


මහා පරිමාණයෙන් කේරළ ගංජා ජාවාරමේ යෙදුනු පුද්ගලයෙකු විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට

(16.04.2023 – 08:41 +0530 – hirunews.lk/sinhala)

විශේෂ කාර්ය බලකායේ ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව පසුගිය 15 වන දා හැඳල, වත්තල ප්‍රදේශයේ පිහිටි නිවසක වැටලීමක් සිදු කර තිබෙනවා.

එහි දී මහා පරිමාණයෙන් කේරළ ගංජා ජාවාරම් කල පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔහු සන්තකයේ ගංජා 16 Kg යි 451 g ක් සහ ජංගම දුරකතනයක් තිබී ඇති අතර පොලිස් විශේෂ කාර්‍ය බලකාය විසින් ඒවා සිය භාරයට ගෙන තිබෙන බවත් සඳහන්.

මෙම පුද්ගලයා වයස අවුරුදු 36 ක පුද්ගලයකු වන අතර, අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වත්තල පොලිස් ස්ථානය වෙත පොලිස් විශේෂ කාර්‍ය බලකාය විසින් භාර දී තිබෙනවා.

+


කේරල ගංජා සමඟ ඉන්දීය ධීවරයින් පිරිසක් අත්අඩංගුවට

(16.04.2023 – 10:34 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, ඩෙල්ෆ්ට් දූපතට බටහිර දෙසින් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ පසුගිය 15 වන දින රාත්‍රී කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු (3) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර තිබෙනවා.

ඒ කේරළ ගංජා කිලෝග්‍රෑම් 62 කට අධික තොගයක් රැගත් ඉන්දීය ඩව් යාත්‍රාවක්.

එහිදී එම යාත්‍රාවෙහි උර දෙකක් (2) තුල පාර්සල් විසි තුනක (23) අසුරන ලද කේරළ ගංජා කිලෝ 62 ග්‍රෑම් 400 ක පමණ තොගයක් ඉතා සූක්ෂම ලෙස සඟවා තිබූ බව නාවික හමුදාව පවසනවා.

තවද මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන 20 කට අධික වන බව සදහන්.

සැකකරුවන් තිදෙනා, කේරළ ගංජා තොගය සහ ඉන්දීය ඩව් යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා ඩෙල්ෆ්ට් පොලිසිය වෙත භාරදීමට කටයුතු කර තිබෙනවා.


තවත් අන්තර්ජාල මුදල් වංචාවක් ගැන හෙළිදරව්වක්

(16.04.2023 – 07:49 +0530 – hirunews.lk/sinhala)

අනාරක්ෂිතව අන්තර්ජාල යෙදවුමක් හරහා මුදල් ආයෝජනය කිරීම තුළින් වංචාවකට හසු වූ පිරිසක් පිළිබඳ පුවතක් ‘හිරු ප්‍රවෘත්ති අංශය’ට වාර්තා වුණා.

දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින් මෙම වංචාවට හසුව ඇති බවයි වාර්තා වන්නේ.

අන්තර්ජාලය ඔස්සේ පළ කළ දැන්වීම් හරහා ‘ටෙලිග්‍රෑම් සමූහයක්’ නිර්මාණය කර අන්තර්ජාල යෙදවුමක් මගින් මෙම පිරිස මුදල් වංචාව සිදුකළ බවයි ඊට මුදල් යෙදවූ පිරිස චෝදනා කරන්නේ.

විසි දහසක (20,000) පමණ පිරිසක් එම වංචාවට හසුව ඇති බව සඳහන්.

ඔවුන් පවසන්නේ ආයෝජන ලෙස යොදවන දේශීය මුදල් ඩොලර්වලට හුවමාරු කර ගැනීම තුළින් 2% ක ලාභයක් උපයාගත හැකි බව අදාළ සමූහය හරහා ප්‍රචාරය කර ඇති බවයි.

කෙසේ වෙතත්, රුපියල් ඩොලර්වලට මාරු කිරීම සඳහා ආයෝජනය කළත්, ප්‍රතිලාභය හෝ තමන් යෙදවූ මූලික මුදලවත් තමන්ට නොලැබුණු බවයි එහි මුදල් යෙදවූ පුද්ගලයින් ප්‍රකාශ කළේ.

මේ අතර මහ බැංකුව අවස්ථා කිහිපයකදී ජනතාව දැනුවත් කරමින් කියා සිටියේ අන්තර්ජාලය හරහා සිදුවන මෙවැනි ගණුදෙනු පිළිබඳව නිරන්තර අවධානයෙන් කටයුතු කරන ලෙසයි ෴


තරුණ ප්‍රජාවට නොමිලේ එළුවන්

(16.04.2023 – 08:18 +0530 – hirunews.lk/sinhala)

මේ වසර තුළ එළුවන් 70,000 ක් එළු පාලනයට කැමති තරුණ ප්‍රජාව අතරේ නොමිලේ බෙදාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා.

ඒ අනුව රැකියා විරහිත තරුණයින් සහ ග්‍රාමීය අංශයේ ජනතාව සඳහා මෙම එළුවන් බෙදාදීමට කටයුතු කරනු ඇති.

අවශ්‍ය තාක්ෂණය සහ උසස් තත්වයේ එළුවන් ලබාදීම පෞද්ගලික අංශයේ සහයෝගයද ලබාගැනීමට කටයුතු කරන බවයි එම අමාත්‍යාංශය වැඩිදුරටත් කියා සිටියේ.

‘ජම්නපාරි, කොට්ටුකච්චි, බෝයර් සහ සානන්’ යන උසස් වර්ගයේ එළු විශේෂ මෙහිදී හඳුන්වාදීමට නියමිතයි.

+


නව පාසල් වාරය හෙට (17) සිට ආරම්භ වෙයි

(16.04.2023 – 11:54 +0530 – hirunews.lk/sinhala)

රජයේ සියලුම පාසල්, පාසල් වාර සටහනට අනුව 2023 අප්‍රේල් මස 17 වන දින ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරනවා.

තවද, 2023 අප්‍රේල් මස 20 වන දින සිට බල පැවැත්වෙන පරිදී ජාතික පාසල්වල අතරමැදි පන්ති සඳහා සිසුන් ඇතුලත් කිරීමට අදාලව නව චක්‍රලේඛය නිකුත් කරන බැවින් අමාත්‍යාංශය විසින් අතරමැදි පන්ති සඳහා සිසුන් ඇතුලත් කිරීමේ ලිපි නිකුත් කරනු නොලබන බවත් එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන්.

මේ අතර දිවයිනේ සියලුම ජාතික පාසල්වල දස අවුරුදු සහ වාර්ෂික ගුරු ස්ථාන මාරුවීම් දැනට ලබා දී ඇති නිර්දේශ අනුව හෙට සිට ක්‍රියාත්මක බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළා.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පෙන්වා දෙන්නේ විශේෂ අභියාචනාවන්ට යටත් ගුරුවරුන්ගේ හැර අනෙකුත් ස්ථාන මාරු මෙලෙස ක්‍රියාත්මක වන බවයි.

තවද රජයේ පාසල් හෙට දින (17) නොපැවැත්වෙන බවට පැතිර යන ප්‍රචාරය අසත්‍ය බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද කුමාර් පවසනවා.

අලුත් අවුරුද්දට පාසල් සඳහා අප්‍රේල් 05 වනදා සිට 16 දක්වා නිවාඩු ලබාදී තිබූ අතර, ඒ අනුවයි හෙට දිනයේ (17) දී නියමිත පරිදි පාසල් පැවැත්වීමට සැළසුම් කර තිබුණේ.

කෙසේ වෙතත් හෙට දින (17) පාසල් නොපැවැත්වෙන බවට අසත්‍ය ප්‍රචාරයක් පැතිර යන බවයි අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද කුමාර් කියා සිටියේ ෴


විශ්වවිද්‍යාල ආචාර්යවරුන් හෙට (17) සිට අධ්‍යයන කටයුතුවලට

(16.04.2023 – 14:01 +0530 – hirunews.lk/sinhala)

රජයේ බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ආරම්භ කර තිබූ වර්ජනය හේතුවෙන් දින කිහිපයක් පුරාවට විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු සිදුවූයේ නැහැ.

කෙසේ වෙතත් හෙට (17) දිනයේදී අධ්‍යයන කටයුතුවල නියැලුන ද, සිය ඉල්ලීම් සම්බන්ධයෙන් සතුටුදායක නිගමනයකට එනතුරු උසස් පෙළ පිලිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සිදුකිරිම සම්බන්ධයෙන් තමන් මේ වනතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව එම සංගමය සඳහන් කරනවා.

මේ හේතුවෙන් උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීම දින 60 කට ආසන්න කාලයක් තිස්සේ ප්‍රමාදවයි පවතින්නේ.

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ හැකි ඉක්මනින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ඉල්ලීම්වලට විසඳුම් ලබාදිය යුතු බවයි.

එසේ නොමැති වුවහොත් තවදුරටත් අපහසුතාවට පත්වන්නේ පාසල් සිසුන් බවයි ඔහු ප්‍රකාශ කළේ ෴


ව්‍යාජ ගුවන් ගමන් බලපත්වලින් පැමිණි විදේශිකයන් දෙදෙනෙකු (2) කටුනායක දී අල්ලයි

(16.04.2023 – 14:19 +0530 – hirunews.lk/sinhala)

කූඨ ලෙස සකස් කළ, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගුවන් ගමන් බලපත්‍ර භාවිත කරමින් මෙරට ඇතුලුවීමට තැත් කළ විදේශිකයින් දෙදෙනෙකු (2) කටුනායක ගුවන් තොටුපලේදී ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඩුබායි හි සිට ෆ්ලයි ඩුබායි ගුවන් සේවයට අයත් යානයකින් පැමිණි, යේමන සහ චැඩ් ජාතිකයින් වන මොවුන් 39 සහ 36 හැවිරිදි වියේ පසුවන්නන් බව සඳහන්.

ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමේදී භාෂා ගැටළුව තදින්ම බලපා ඇති අතර, සිදුකරන ලද පරීක්ෂාවේදී චැඩ් රාජ්‍යයෙන් සහ යේමනයෙන් නිකුත් කළ සත්‍ය ගුවන් ගමන් බලපත්‍රද සොයාගෙන තිබුණා.

ඊට අමතරව යේමන ජාතිකයාගේ ජංගම දුරකථනයේ තිබී බෙල්ජියම බලා යෑමට සැළසුම් කළ ගුවන් යානා ප්‍රවේශ පත්‍ර දෙකක් (2) ද සොයාගෙන තිබූ අතර, පසුව ඔවුන් පිටුවහල් කිරීම සඳහා පැමිණි ගුවන් සේවය වෙත ම භාර දී ඇති බවයි කටුනායක ගුවන්තොටුපල හිරු වාර්තාකරු කියා සිටියේ ෴


සුදු මැස්සා තවත් ප්‍රදේශ තුනක් (3) ආක්‍රමණය කරයි

(16.04.2023 – 07:47 +0530 – hirunews.lk/sinhala)

මීට පෙර වාර්තා නොවූ ප්‍රදේශ කිහිපයකින් සුදු මැස්සාගේ වර්ධනයක් වාර්තා වන බව පොල් පර්යේෂණ ආයතනය පවසනවා.

එහි පර්යේෂණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා නයනි එස්. ආරච්චිගේ කියා සිටියේ යාපනය, වවුනියාව සහ මන්නාරම යන දිස්ත්‍රික්කවල මෙලෙස සුදු මැස්සාගේ වර්ධනය දක්නට ලැබෙන බවයි.

සුදු මැස්සාගේ හානිය හේතුවෙන් මෙරට තැඹිලි වගාවට විශාල වශයෙන් හානි වී තිබෙනවා.

පොල් වගා කිරීමේ මණ්ඩලය, පොල් සංවර්ධන අධිකාරිය සහ පොල් පර්යේෂණ ආයතනය එක්ව තැඹිලි වගාව සංවර්ධනය කිරීම සඳහා ඒකාබද්ධ වැඩපිලිවෙලක් පවත්වාගෙන යන බවයි, පොල් පර්යේෂණ ආයතනයේ පර්යේෂණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා නයනි එස්. ආරච්චිගේ වැඩිදුරටත් කියා සිටියේ.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *