ණය හිමියන් සමඟ ප්‍රතිව්‍යුගත කිරීමේ එකඟතාවයක් – මහ බැංකු අධිපති

ණය හිමියන් සමඟ ප්‍රතිව්‍යුගත කිරීමේ එකඟතාවයක් – මහ බැංකු අධිපති


ණය හිමියන් සමඟ ප්‍රතිව්‍යුගත කිරීමේ එකඟතාවයක් – මහ බැංකු අධිපති

(12.04.2023 – 09:25 +0530 – hirunews.lk/sinhala)

එළැඹෙන මැයි මාසයේදී චීනය, ඉන්දියාව, පැරිස් සමාජය ඇතුළු ණය හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ එකඟතාවන්ට එළැඹීමට අපේක්ෂා කරන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ප්‍රකාශ කළා.

රොයිටර් පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ ණය ප්‍රතිව්‍යූහගත කිරීමට අදාළ ක්‍රියාවලිය සඳහා නිල කමිටුවක් පත් කරනවාද නැතහොත් ද්විපාර්ශවික සාකච්ඡා මඟින් අවසන් එකඟතාවකට එළඹෙනවාද යන්න පිළිබඳව අදාළ පාර්ශව අවසන් තීරණයකට එළෙඹෙනු ඇති බවයි.

ජාත්‍යන්තර ණය හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ එකඟතාවයට එළැඹීමට පෙර දේශීය ණය ප්‍රතිව්‍යූගත කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ අවසන් නිගමනයන්ට එළැඹීමට අපේක්ෂා කරන බවද මහබැංකු අධිපතිවරයා ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකාවේ ස්වෛරී ණය දෙන්නන් සමඟ මූලික වශයෙන් ඩොලර් බිලියන 7.1 ක ණය මුදලක් ප්‍රතිව්‍යුහගත කිරීමට නියමිතයි.

+++++++++

මුදල් රාජ්‍ය ඇමති සහ අයි.එම්.එෆ්. කළමනාකාර අධ්‍යක්ෂිකාව අතර හමුවක්

(12.04.2023 – 11:10 +0530 – hirunews.lk/sinhala)

වොෂින්ටනයේ පැවති ජී-24 අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අභියෝග මධ්‍යයේ තිරසාර සහ සාමුහික වර්ධනයක් සුරක්ෂිත කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුවූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසනවා.

එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ගියොර්ගියේවා සමග සාකච්ඡාවක නිරත වූ බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින්.

ආර්ථික අර්බුදයේදී මුහුණදෙන දුෂ්කරතා මගහරවා ගැනීම සදහා ශ්‍රී ලංකාවට සහය වීමට නායකත්වය ලබාදීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ, ඇයට කෘතඥතාව පළ කර තිබෙනවා.

එම සාකච්ඡාව සඳහා මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන ද එක්ව සිටියා.

++++++++++

ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන ජපානය, ඉන්දියාව සහ ප්‍රංශයේ තීරණය හෙට (13)

(12.04.2023 – 16:08 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගතකරණය පිළිබඳව ජපානය, ප්‍රංශය සහ ඉන්දියාවේ ස්ථාවරය හෙට (13) දැනුම්දීමට නියමිතව තිබෙනවා.

ජපාන මුදල් අමාත්‍යාංශයේ වාර්තාවක් උපුටා දක්වමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ බව සදහන් කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය අද (12) වාර්තා කළේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව එක්ව පවත්වනු ලබන වසන්ත සැසිවාරය හෙවත් ස්ප්‍රිං සමුළුව මේ දිනවල ඇමෙරිකාවේ වොෂිංටන් නුවර දී පැවැත්වෙනවා.

ඊට සමගාමීව හෙට (13) දිනයේ දී මෙම රටවල මුදල් අමාත්‍යවරු මාධ්‍ය හමුවක් කැඳවා ඇති අතර, ණය ප්‍රතිව්‍යූහගතකිරිමේ වැඩසටහන සම්බන්ධයෙන් එහිදී ඔවුන් ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

එම සාකච්ඡාවට මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද එක්වනු ඇති.

මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ රොයිටර් පුවත් සේවය සමග සම්මුඛ සාකච්ඡාවට එක්වෙමින් ප්‍රකාශ කළේ ලබන මාසයේ දී චීනය, ඉන්දියාව, පැරිස් සමාජය ඇතුළු ණය හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ එකඟතාවන්ට එළැඹීමට අපේක්ෂා කරන බවයි.

ණය ප්‍රතිව්‍යූහගත කිරීමට අදාළ ක්‍රියාවලිය සඳහා නිල කමිටුවක් පත් කරනවාද නැතහොත් ද්විපාර්ශවික සාකච්ඡා මඟින් අවසන් එකඟතාවකට එළඹෙනවා ද යන්න පිළිබඳව අදාළ පාර්ශව අවසන් තීරණයකට එළෙඹෙනු ඇති බව ද එහිදී ඔහු කියා සිටියා.

මේ අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව එක්ව පවත්වනු ලබන ස්ප්‍රිං සමුළුවට සහභාගි වී සිටින මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ එරට සිට හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ ණ්‍ය ප්‍රතිව්‍යූහගතකරණ වැඩපිළිවෙල සම්බන්ධයෙන් සමුළුවට එක්ව සිටින රටවල් සමග ද්වීපාර්ශවික සාකච්ඡා හෙට (13) සිට ආරම්භ කරන බවයි.

+

+


ත්‍රිකුණාමලයේ ධීවරයින් පිරිසකට පහර දුන් 06 දෙනෙකු අල්ලයි

(12.04.2023 – 09:28 +0530 – hirunews.lk/sinhala)

ත්‍රිකුණාමලය – ඩයික් පාර මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ පිරිසකට ගල් වලින් පහරදීමේ සිද්ධියකට 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන් අවුරුදු 29 ත් 43 ත් අතර වයස්වල පසුවන එම ප්‍රදේශයේම පදිංචිකරුවන් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාල සඳහන් කළේ.

ධීවරයින්ට ගල් වලින් පහර දී ධීවර දැල් කපා අනර්ථයක් සිදු කිරිම සම්බන්ධයෙන් ත්‍රිකුණාමළය වරාය පොලිසියට ඊයේ පැමිණිලි 08 ක් ලැබී තිබුණා ෴


පිරිසක් අතර ඇතිවූ ආරවුලකින් පුද්ගලයෙකු මරුට

(12.04.2023 – 09:33 +0530 – hirunews.lk/sinhala)

පිරිසක් අතර ඇතිවූ ආරවුලක් හේතුවෙන් සිදුකළ පහරදීමකින් පුද්ගලයෙකු මරණයට පත් වී තිබෙනවා.

එසේ මියගොස් ඇත්තේ, 38 හැවිරිදි, බලංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

කෙරවලපිටිය, හැඳල ප්‍රදේශයේදී ඊයේ (11) එම ඝාතනය සිදුව ඇති බවටයි පොලිසිය සඳහන් කළේ.

කෙසේ වෙතත්, ඝාතනය සිදුකළ සැකකරුවන් ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර, වැඩිදුර විමර්ශන වත්තල පොලිසිය විසින් සිදු කරනු ලබනවා ෴


පිහියකින් සහ අලවංගුවකින් කළ පහර දීමකින් සාත්තු සේවකයා ජීවිතක්ෂයට

(12.04.2023 – 10:31 +0530 – hirunews.lk/sinhala)

පිහියකින් සහ අලවංගුවකින් කළ පහර දීමක් හේතුවෙන් සාත්තු සේවකයෙක් ලෙස සේවය කළ පුද්ගලයෙකු ඊයේ (11) දින මරණයට පත් වී තිබෙනවා.

මරණයට පත් වූ පුද්ගලයා වයස අවුරුදු 43 ක් වූ ආනකෝට්ටේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෙය ඝාතනයක් ලෙස අනාවරණය කර ගෙන ඇත්තේ, චාවකච්චේරිය පොලීසියට මීසාලේ ප්‍රදේශයේ රුධිරය වහනය වෙමින් පුද්ගලයෙකු වැටී මියගොස් සිටින බවට ලද තොරතුරක් මත සිදු කළ විමර්ශනයකින් අනතුරුවයි.

පොලිස් විමර්ශනයේ දී අණාවරණය වූයේ, අදාළ ඝාතනය සිදු කළ සැකකරු මානසික ආබාධයක් හේතුවෙන් තෙලිප්පලේ මානසික රෝහලකට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහුගේ සාත්තු සේවකයා වශයෙන් කටයුතු කර ඇත්තේ ද ඔහු විසින් ඝාතනය කළ මෙම පුද්ගලයා බවයි.

අදාළ සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන චාවකච්චේරිය පොලීසිය විසින් සිදුකරනු ලබනවා.

මීට අමතරව ඊයේ (11) දින පිරිසක් අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් සිදු කළ පහරදීමකින් වත්තල, හැඳල ප්‍රදේශයේ ද මනුෂ්‍ය ඝාතන‍යක් වාර්තා වී තිබෙනවා.

පොලිස් මාධ්‍ය නිවේදනයේ දැක්වෙන්නේ, එම සිද්ධියට අදාළ සැකකරුවන් ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා වත්තල පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරන බවයි ෴


මාරක රිය අනතුරු 6 ක්

(12.04.2023 – 11:10 +0530 – hirunews.lk/sinhala)

පොලිස් මාධ්‍ය නිවේදනයන් අනුව , ගත වූ පැය 24 ක කාලය තුළ මාරක රිය අනතුරු 6 ක් දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් වාර්තා වී තිබෙනවා.

සපුකස්කන්ද දෙසට ඊයේ (11) දින ධාවනය වූ යතුරුපැදියක් ඒ දෙසටම ධාවනය වූ කැබ් රථයකක් පසුකර ඉදිරියට යාමට උත්සහ කිරීමේදී එම රථයේ ගැටී සිදූ වූ අනතුරකින් වයස අවුරුදු 67 ක් වන යතුරුපැදියේ පසුපස ගමන් කළ කාන්තාව මිය ගොස් තිබෙනවා.

එමෙන්ම ඊයේ (11) දින රාත්‍රී කාලයේ අවිස්සාවේල්ල දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ යතුරුපැදියක් ඒ දෙසටම ධාවනය වූ බස් රථ‍ය පසුකර ඉදිරියට යාමට උත්සහ කිරීමේදී ත්‍රීරෝද රථයක ගැටී යතුරුපැදිකරුගේ හිස බස් රථයේ පිටුපස රෝදයට යටවී බරපතල තුවාල ලබා මිය ගිය බවයි අවිස්සාවේල්ල පොලීසිය විසින් වාර්තා කරන්නේ.

මීට අමතරව වැල්ලව, දේවාලගම, බිබිල, බුත්තල යන ප්‍රදේශ වලින්ද පුදගල මරණ එක (1) බැගින් වාර්තා වන මාරක රිය අනතුරු 4 ක් වාර්තා වෙනවා ෴


කන්කසන්තුරේ වරායේ යටිතල පහසුකම් ස්ථාපනයට ව්‍යාපෘතියක්

(12.04.2023 – 11:23 +0530 – hirunews.lk/sinhala)

කන්කසන්තුරය වරායේ යටිතල පහසුකම් කඩිනමින් ස්ථාපනය කිරීමේ ව්‍යාපෘතියක් නාවික හමුදාව විසින් මේ වනවිට ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර කන්කසන්තුරේ වරායේ සිට පොන්ඩිචේරි දක්වා මගී ප්‍රවාහන යාත්‍රා සේවාවක් ආරම්භ කිරීමේ ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීම සඳහායි.

සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට මෙන්ම දෙරට අතර පවත්නා දිගුකාලීන සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට මෙම මගී ප්‍රවාහන ව්‍යාපෘතිය මගින් අපේක්ෂිතයි ෴


ඔස්ට්‍රේලියාවේ දී දියේ ගිලීමෙන් ලාංකික පිය පුතු දෙපළ මරුට

(12.04.2023 – 12:25 +0530 – hirunews.lk/sinhala)

ඔස්ට්‍රේලියාවේ උතුරු ක්වීන්ස්ලන්ඩ් හිදී දියේ ගිලීමෙන් ශ්‍රී ලාංකික පියෙකු සහ ඔහුගේ පුත්‍රයා ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 59 ක් සහ 21 ක් වූ පුද්ගලයන් දෙදෙනෙක් (2).

ඔවුන් දෙදෙනා (2) තවත් පිරිසක් සමඟ ඔස්ට්‍රේලියාවේ උතුරු ක්වීන්ස්ලන්ඩ් හි දිය ඇල්ලක් නැරඹීමට ගොස් සිටිය දී යි මෙම අනතුර සිදුව ඇත්තේ.

එහිදී දිය නෑමට ගොස් සිටි පියා ප්‍රථමයෙන් ජලයේ ගසාගෙන ගොස් ඇති බවත්, ඔහුව බේරාගැනීමට දියණිය සහ පුත්‍රයා උත්සාහ දරා තිබෙන අතර එහිදී තිදෙනාම (3) දියේ ගිලී ගොස් තිබෙනවා.

කෙසේ වෙතත් එම අවස්ථාවේ දියණියගේ දිවි බේරී ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.

+


ළමා නිවාසයේ දැරියන් කෙළසී යැයි චූදිත මහලු දේවගැතිවරයා අත්අඩංගුවට

(12.04.2023 – 12:35 +0530 – hirunews.lk/sinhala)

යාපනයේ ඉරුපාලෙයි ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ළමා නිවාසයක නේවාසික දැරියන් 04 දෙනෙකු දූෂණය කළ බව චූදිත දේවගැතිවරයාව කොළඹ දී අත් අඩංගුවට ගෙන තිබෙනවා.

වයස අවුරුදු අසූවක් (80) වන මෙම දේවගැතිවරයා දූෂණ චෝදනා එල්ල වීම සමඟ යාපනයේ සිට කොළඹට පළා ඇවිත් සිටියදි මෙලෙස පොලිසියේ අත් අඩංගුවට පත් වුණා.

ළමා නිවාසයේ දරු දැරියන් 16 දෙනෙකු සිටින අතර ඒ අතරින් දැරියන් 4 දෙනෙකු දූෂණය වී ඇති බවට වෛද්‍ය වාර්තා මගින් තහවුරු වී තිබෙනවා.

ඒ අනුව යි කෝපායි පොලිසිය දේවගැතිවරයාව අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත්තේ ෴


“සෞඛ්‍ය අමාත්‍යාංශය ගැන විමර්ශනයක් කරන්න”- මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්

(12.04.2023 – 12:56 +0530 – hirunews.lk/sinhala)

සෞඛ්‍ය අමාත්‍යාංශය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්, ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.

උන්වහන්සේ මෙම ඉල්ලීම කරනු ලැබුවේ කොළඹදී අද (12) දින මාධ්‍ය හමුවක් කැඳවමින්.

එමෙන්ම උන් වහන්සේ පැවසුවේ මේ වන විට රෝහල් තුල හෙදියන්ගේ සංඛ්‍යාවේ උග්‍ර හිඟයක් පවතින බවත් හෙදියන් තිදෙනෙකු (3) ගේ රාජකාරීන් එක් (1) හෙදියක් හට ආවරණය කිරීමට සිදු වී ඇති බවත් ය ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *