රිදියගම සෆාරියේ ඝාතකාගාරය ගැන හෙළිකළ පශු වෛද්‍යවරයාට මරණ තර්ජන

රිදියගම සෆාරියේ ඝාතකාගාරය ගැන හෙළිකළ පශු වෛද්‍යවරයාට මරණ තර්ජන


රිදියගම සෆාරියේ ඝාතකාගාරය ගැන හෙළිකළ පශු වෛද්‍යවරයාට මරණ තර්ජන

(10.04.2023 – 13:03 +0530 – hirunews.lk/sinhala)

අම්බලන්තොට රිදියගම සෆාරි උද්‍යානයේ සතුන් මරා මස් සඳහා අලෙවි කෙරෙන බවට එම උද්‍යානයේ ස්ථාන භාරව කටයුතු කළ පශු වෛද්‍ය නිලධාරිවරයා සමාජ මාධ්‍ය ඔස්සේ කළ අනාවරණය, හිරු ප්‍රවෘත්ති ඔස්සේ අප වාර්තා කළා.

එම අනාවරණයත් සමඟ ප්‍රදේශයේ ජාවාරම්වලට සම්බන්ධ පුද්ගලයෙකු මෙම පශු වෛද්‍ය නිලධාරියාට තර්ජනය කරන අයුරු දැක්වෙන වීඩියෝ
පටයක් යළි සමාජ මාධ්‍ය වෙත නිකුත් වී තිබෙනවා.

‍මේ සම්බන්ධයෙන් කළ විමසීමකදි ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ හේමන්ත සමරසේකර ප්‍රකාශ කළේ අදාළ පශු වෛද්‍යවරයාට ලැබුණු ස්ථාන මාරුව හේතුවෙන් ඔහු මෙවැනි අදහස් පළ කරන බවයි.

මෙම වීඩියෝ පටය සමාජ මාධ්‍යයට නිකුත් වීමත් සමඟ රිදියගම සෆාරි උද්‍යානයේ ස්ථාන භාර නිලධාරියා ලෙස කටයුතු කළ පශු වෛද්‍ය නිලධාරිවරයා ද වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත වීඩියෝ පටයක් නිකුත් කර තිබෙනවා.

+


යුද හමුදා ක්‍රීඩයකුගේ නිවසක ගින්නක්

(10.04.2023 – 13:26 +0530 – hirunews.lk/sinhala)

වාද්දුව, පොතුපිටිය ප්‍රදේශයේ නිවසක් විදුලි කාන්දුවක් හේතුවෙන් ඇති වූ ගින්නකින් විනාශ වී තිබෙනවා.

වාද්දුව පොලිසිය පැවසුවේ, යුද හමුදා සහ ජාතික වොලිබෝල් කණ්ඩායම් නියෝජනය කරන ක්‍රීඩකයකුගේ නිවසක් මෙසේ ගිනිගෙන ඇති බවයි ෴


පොල්ගහවෙල දී පොලිසිය වෙඩි තැබූ මෝටර් රථයේ මත් කුඩු

(10.04.2023 – 14:53 +0530 – hirunews.lk/sinhala)

පොල්ගහවෙල ප්‍රදේශයේ දී මෝටර් රථයකට අද (10) දින පොලීසිය විසින් වෙඩි තබා තිබෙනවා.

පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණය ආසන්නයේ දී අණ නොතකා ධාවනය කිරීම හේතුවෙන් පොලිසිය වෙඩි තැබූ එම මෝටර් රථයේ තිබී හෙරොයින් ග්‍රෑම් 12 යි මිලිග්‍රෑම් 180 ක් සොයා ගෙන තිබෙනවා.

වෙඩි තැබීමෙන් පසු පලාගිය මෝටර් රථයේ සිටි කාන්තාවක්, ඇගේ ස්වාමීපුරුෂයා සහ මසක් (1) පමණ වයසැති බිළිදෙකු පොලිස් භාරයට ගැණුනු අතර ඔවුන් කෑගල්ල – පරගම්මන ප්‍රදේශයේ පදිංචිකරුවන් බවටයි හෙළිවී ඇත්තේ.

මීට අමතරව මෝටර් රථයේ සිටිය දී තවත් පිරිමි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් අතර ඔහු වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මොවුන් මාර්ග ගත ක්‍රමයට මත් කුඩු බෙදාහරින බවට තොරතුරු ලැබී තිබූ අතර ඒ අනුව පොල්ගහවෙල පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් ජිප් රථයකින් අදාළ මෝටර් රථය අද (10) දහවල් ලුහුබැඳ තිබුණා.

කෙසේ වෙතත් පොල්ගහවෙල අධිකරණය ආසන්නයේ දී පොලිසිය මෝටර් රථය අවහිර කළ අවස්ථාවේ ඔවුන් යලි එය හරවාගෙන කුරුණෑගල දෙසට ධාවනය කිරීමට උත්සාහ කළා.

එම අවස්ථාවේ දී යි පොලිසිය මෝටර් රථයේ රෝද වෙත වෙඩි ප්‍රහාර එල්ලකරනු ලැබුවේ.

කෙසේ වෙතත් ඉන් පසුව ද කිලෝමීටර 4 ක දුරක් අදාළ මෝටර් රථය ධාවනය කර ඇති අතර ඉන් අනතුරුවයි සැකරුවන් පොලිස් භාරයට ගනු ලැබුවේ.

මේ වනවිට පොල්ගහවෙල පොලිසිය ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීම ආරම්භ කර තිබෙනවා.

ඔවුන් කලක් තිස්සේ මාර්ග ගතක්‍රමයට ක්‍රමයට මත් කුඩු බෙදා හැරි බවටයි එහි දී හෙළිවී ඇත්තේ ෴


පලිබෝධනාශක පාලන පනත සංශෝධනයට උපදෙස්

(10.04.2023 – 15:43 +0530 – hirunews.lk/sinhala)

පලිබෝධනාශක පාලන පනත වහාම සංශෝධනය කිරීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශය පලිබෝධනාශක රෙජිස්ට්‍රාර් ජනරාල්වරයාට උපදෙස් ලබා දී තිබෙනවා.

අදාළ පනත සංශෝධනය කිරීමට තීරණය කර ඇත්තේ, දැනට රට තුළ ව්‍යාජ හා ප්‍රමිතියෙන් තොර පලිබෝධ නාශක හා වල්නාශක අලෙවි කිරීමේ ජාවාරමක් පැවතීම හේතුවෙනුයි.

ඒ අනුව නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වන ප්‍රමිතියෙන් තොර වල්නාශක හා පලිබෝධනාශක ජාවාරම්කරුවන්ට රුපියල් ලක්ෂ 15 ක වන්දියක් හා අවුරුදු 3 ක සිර දඬුවම් හෝ එම දඩුවම් දෙකම (2) ලැබෙන පරිදි පනත සංශෝධනය කළ යුතු බවයි කෘෂිකර්ම අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ ෴


රුපියල තවත් ශක්තිමත් වෙයි

(10.04.2023 – 15:54 +0530 – hirunews.lk/sinhala)

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද (10) දිනයේ ශක්තිමත් වී තිබෙනවා.

මහ බැංකුව නිකුත් කළ විනිමය අනුපාතිකයන්ට අනුව ඩොලරයක විකුණුම් මිල දැක්වුණේ රුපියල් 327.72 ක් ලෙසයි.

එහි ගැණුම් මිල 311.63 ක් ලෙස සටහන්ව තිබුණා.

පසුගිය සිකුරාදා ඩොලරයක විකිණුම් මිල රුපියල් 330.56 ක් ලෙස දැක්වුණා ෴


පුංචි ඡන්දේ 25 වැනිදාට පවත්වන්න හැකියාවක් නැහැ – ජානක වක්කුඹුර

(10.04.2023 – 15:59 +0530 – hirunews.lk/sinhala)

පළාත් පාලන මැතිවරණය මේ මස 25 වනදාට පැවැත්වීමේ හැකියාවක් නොමැති බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර ප්‍රකාශ කළා.

ඔහු මේ බව සඳහන් කළේ, ඡන්ද විමසීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා සහ මැතිවරණ කොමිසම අතර අද (10) පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

අද (10) පෙරවරු 11:30 ට අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පැවති සාකච්ඡාවට මැතිවරණ කොමිසමේ සභාපති නිතීඥ නිමල් පුංචිහේවා ඇතුළු කොමිසමේ නියෝජිතයින් එක් වුණා.

පළාත් පාලන ඡන්ද විමසීම මාර්තු 09 වන දා පැවැත් වීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබූ අතර ඊට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන නොලැබීම හේතුවෙන් එය ලබන 25 වන දා දක්වා කල් තැබීමටයි පියවර ගනු ලැබුවේ.

කෙසේ වෙතත් එදිනට ද පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට නොහැකි තත්වයක් මේ වන විට පවතින බවයි පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර ප්‍රකාශ කළේ.

මේ අතර අග්‍රාමාත්‍යවරයා සමඟ අද (10) පැවති සාකච්ඡාවෙන් අනතුරුව මැතිවරණ කොමිසම හෙට (11) රැස්වනවා.

ඉන් අනතුරුව ලබන 25 වන දිනට ඡන්ද විමසීම පවත්වන්නේද නැද්ද යන්න ප්‍රකාශයට පත් කරනු ඇති.

මේ අතර ඉදිරියේ දී විපක්ෂයේ ප්‍රබලයින් 5 දෙනෙකු ඇතුළු 26 දෙනෙකු ආණ්ඩුවට එක්වීමට නියමිත බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ, පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහනුවර අද (10) පැවති මාධ්‍ය හමුවක දී සඳහන් කළා ෴


ජංගම දුරකතනයක් අස්ථාන ගත වීමේ සිද්ධියට ගුවන්තොටුපල සහ ගුවන් සේවා සමාගමේ සභාපතිගෙන් ප්‍රතිචාර

(10.04.2023 – 16:04 +0530 – hirunews.lk/sinhala)

කටුනායක ගුවන් තොටුපලේ දී ජංගම දුරකතනයක් අස්ථාන ගත වී ඇති බවට සමාජ මාධ්‍ය තුළ පළ වු වාර්තාවල කිසිදු සත්‍යතාවක් නොමැති බව ගුවන්තොටුපල සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි පවසනවා.

ඒ තම ජංගම දුරකතනය කටුනායක ගුවන්තොටුපලේ දී අස්ථාන ගතවී ඇති බවට ඉකුත් 5 වැනිදා දිවයිනට පැමිණි ශ්‍රී ලාංකික මගියෙකු කළ චෝදනාවට ප්‍රතිචාර දක්වමින්.

ගුවන් තොටුපලේ දී අද (10) මාධ්‍ය හමුවක් කැඳවමින් ගුවන්තොටුපල සහ ගුවන් සේවා සමාගමේ සභාපතිවරයා කියා සිටියේ ගුවන් තොටුපලේ සී.සී.ටී.වී. නැවත පරික්ෂා කළ නමුත් එවැනි සාක්ෂියක් සටහන් වී නොමැති බවයි.

අදාළ පුද්ගලයා මැද පෙරදිග රටක සංක්‍රමණික ගුවන් තොටුපලක රැදී සිටිය දී එහි පවතින ආරක්ෂක නීති මත ඔහුගේ ජංගම දුරකතනය ආරක්ෂක නිළධාරීන් භාරයට ගෙන ඇති අතර, අදාළ රටෙහි ගුවන් සේවාව ඒ සම්බන්ධයෙන් තමන්ට ලිඛිතව දැනුම් දි ඇති බව ද ගුවන් සේවා සමාගමේ සභාපති ජී.ඒ. චන්ද්‍රසිරි සඳහන් කළා.

කෙසේ වෙතත් මේ පිළිබඳව නිසි සොයා බැලීමක් නොකොට සමාජ මාධ්‍ය ඔස්සේ කරුණු වාර්තා වීම හේතුවෙන් ගුවන් තොටුපලට අපකිරීතියක් සිදුවී ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ෴


ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් ගමන් බලපත්‍ර ලබා ගැනීම සම්බන්ධයෙන් නිවේදනයක්

(10.04.2023 – 16:56 +0530 – hirunews.lk/sinhala)

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් ගමන් බලපත්‍ර ලබා ගැනීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහිදී සඳහන් කර ඇත්තේ අප්‍රේල් මස 12 දින ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා දිනය ලබා දී ඇති අයදුම්කරුවන් එදින දහවල් 12 ට පෙර එම දෙපාර්තමේන්තුව වෙත පැමිණ තම අයදුම්පත්‍ර භාරදෙන ලෙසයි ෴


හමුදා නිලධාරියකුගේ නොසැලකිලිමත් රිය ධාවනය නිසා පුද්ගලයකු (1) මියගොස් තවත් තිදෙනෙකුට (3) තුවාල

(10.04.2023 – 17:27 +0530 – hirunews.lk/sinhala)

මොරටුව දුම්රිය ස්ථානයට යාබද නව ගාලු පාරේ යුධ හමුදා නිලධාරියෙකු විසින් පැදවූ වෑන් රථයක් වේගය පාලනය කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් අනතුරක් සිදු වී තිබෙනවා.

මෙම අනතුරෙන් මාර්ගයේ ගමන් කළ වයස අවුරුදු 53 ක් වන පානදුර, හොරේතුඩුව, පදිංචි පුද්ගලයෙකු එම ස්ථානයේ දී ම ජීවිතක්ෂයට පත්ව ඇති අතර, එම පුද්ගලයා මියගොස් ඇත්තේ එම වෑන් රථයට සහ ඒ අසල නවතා තිබූ කුඩා ලොරි රථයකට මැදිවයි.

මෙම අනතුර සිදුවන අවස්ථාවේ දී කාර්මික දෝෂයක් හේතුවෙන් මාර්ගයේ නවතා තිබූ කුඩා ලොරි රථයේ රියදුරු, එම ලොරියේ යට කාර්මික දෝෂය පරික්ෂා කරමින් සිට ඇති අතර, අනතුරෙන් එම ලොරි රථයේ රියදුරා (23) සහ මාර්ගයේ ගමන් ගත් කාන්තාවක (73) සහ තවත් පුද්ගලයෙකු (50) තුවාල ලබා මොරටුව ලුනාව රෝහලට ඇතුළත් කර තිබෙනවා.

එහිදී ඔවුන් වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලට ඇතුළත් කල බව මොරටුව පොලීසියේ රථවාහන අංශයේ නිලධාරීන් විසින් ප්‍රකාශ කරනවා.

පොලිසිය සඳහන්කළේ මෙම අනතුර සිදු වන අවස්ථාවේ දී රථය ධාවනය කර ඇත්තේ රත්මලාන යුධ හමුදා කඳවුරට අනුයුක්ත යුධ හමුදා නිලධාරියකු බවයි.

+

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *