අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය තවදුරටත් කල් යයි

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය තවදුරටත් කල් යයි


අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය තවදුරටත් කල් යයි

(10.04.2023 – 11:39 +0530 – hirunews.lk/sinhala)

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය තවදුරටත් කල් ‍යන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ අනුව එළඹෙන මැයි මස 15 වැනි දිනට පැවැත්වීමට නියමිතව තිබූ 2022 වසරට අදාළ සා/පෙළ විභාගය එදින පැවැත්වීමට නොහැකි බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් එය තවත් සති දෙකකින් (2) කල් යන අතර, එය දැනට පැවැත්වීමට යෝජනා වී ඇත්තේ මැයි මස 29 වැනි දිනයි.

මීට පෙර පැවැත්වීමට නියමිත ව තිබූ 2022 සා/පෙළ විභාගය කල් යෑම සිදු වූයේ ආණ්ඩුවේ අදූරදර්ශී පාලනයට සහ බදු වැඩපිළිවෙළට එරෙහිව වෘත්තිකයින් විරෝධතා ආරම්භ කරමින් වැඩ වැරීම මත ගුරුවරුන් පවා උත්තර පත්‍ර පරීක්ෂාවෙන් ඉවත් වීම හේතුවෙනි.

කෙසේවෙතත් පසුගිය මස 07 වැනි දින (මාර්තු) අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් පැවසුවේ සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන නිශ්චිත දිනයන් ඉදිරි සති දෙක (2) තුළ ප්‍රකාශයට පත් කිරීමට පියවර ගන්නා බවයි.

එම ප්‍රකාශය කිරීමට පෙරයි මෙලෙස යළිත් සා/පෙළ විභාගය කල් දැමීමට සිදුවන බවට විභාග දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කරනු ලැබුවේ ෴


තක්කාලි සහ බටු මිල ඉහලට

(10.04.2023 – 11:53 +0530 – hirunews.lk/sinhala)

එළඹෙන උත්සව සමයේ තක්කාලි සහ බටු කිලෝවක මිල ඊයේ (09) දින සිට ඉහල ගොස් ඇති බව හැටන් ප්‍රදේශයේ එලවළු වෙළෙඳුන් විසින් පවසා සිටිනවා.

මේ දිනවල අනෙකුත් එලවළු වල මිල ගණන් සැලකිය යුතු ලෙස පහල බැස තිබියදි පසුගිය දිනවල රුපියල් 150 මිලකට අලෙවි වු තක්කාලි කිලෝවක් මේ වන විට රුපියල් 250 දක්වාත්, රුපියල් 200 මිලකට පැවති වම්බටු කිලෝවක් රුපියල් 350 දක්වා ඉහල ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

වෙළඳුන් විසින් වැඩි දුරටත් පවසා සිටියේ, උත්සව සමයේ තක්කාලි සහ වම්බටු වලට වෙළඳපොළේ පවතින ඉහල ඉල්ලුම හමුවේ මිල ඉහල ගොස් ඇති බවයි ෴


නිදි යහනේ දී ස්වාමියා ඝාතනය කළ බිරිය රිමාන්ඩ්

(10.04.2023 – 12:03 +0530 – hirunews.lk/sinhala)

සිය ඥාතී නිවසක පැවති දානමය පිංකමකට යාමට ස්වාමියා ඉඩ නොදුන් නිසා බිරිඳ විසින් ස්වාමියාව නිදි යහනේ දී ම ඝාතනය කර තිබෙනවා.

මෙම පුවත වාර්තා වන්නේ, වලපනේ පාලුගෙදර ප්‍රදේශයේ නිවෙසකයි.

සිය ස්වාමියා මැරූ බිරිඳ ව පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබුවා.

මෙම ඝාතනය සිදු ව ඇත්තේ පෙරේදා (08) දිනයේ දී වන අතර වලපනේ මහේස්ත්‍රාත් අධිකරණය නියෝගය කළේ සැකකාර කාන්තාව එළඹෙන 27 වැනි දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.

ඝාතනයෙන් මියගොස් ඇත්තේ 44 හැවිරිදි දෙදරු පියෙක් වන අතර, නිදා සිටියදී බිරිඳ විසින් ඔහුගේ ගෙල මිරිකා ඇති බවත් හෙළි ව තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වලපනේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා ෴


ණය ප්‍රතිව්‍යුහගතකරණය ජූනි මසදී අවසන්

(10.04.2023 – 12:40 +0530 – hirunews.lk/sinhala)

මෙම වසරේ ජූනි මාසය අවසන් වනවිට ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර හා බාහිර ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්පූර්ණ කළ හැකි බව හිටපු මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි පවසනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට වැඩසටහනේ සමාලෝචනය ලබන සැප්තැම්බර් මාසයට යෙදී ඇති බවටයි වාර්තා වන්නේ.

හිටපු මහ බැංකු අධිපතිවරයා විශ්වාසය පළ කරන්නේ, ඊට පෙර ප්‍රතිව්‍යුහගතකරණය අවසන් කළ හැකි බවටයි.

පෞද්ගලික බැංකුවක් විසින් අන්තර්ජාලය ඔස්සේ පැවැත්වූ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කර ඇති බව සඳහන්.

අභ්‍යන්තර හා බාහිර ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන්නේ කෙසේද යන්න පිළිබඳ පුළුල් එකඟතාවකට එළඹීමට පාර්ශවකරුවන්ට හැකියාව ලැබෙනු ඇතැයි ද හිටපු මහ බැංකු අධිපතිවරයා එහිදී විශ්වාසය පළ කර තිබෙනවා.

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී බැංකු පද්ධතිය අස්ථාවර කෙරෙන කිසිදු දෙයකට එකඟ නොවන බව මහ බැංකුවද පසුගිය සතියේ අවධාරණය කළා.

එමෙන්ම මහ බැංකුව විසින් ප්‍රකාශ කරනු ලැබුවේ, තමන් සතුව පවතින භාණ්ඩාගාර බිල්පත් ප්‍රතිව්‍යුහගත කිරීමට ලක් කරන බවත්, බැඳුම්කර ස්වේච්ඡා පදනමින් ප්‍රතිව්‍යුහගතකරණය කරන බවයි.

බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම ඵලදායී වීමට නම් දේශීය බැඳුම්කර හිමියන් ස්වේච්ඡාවෙන් ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සඳහා පුළුල් සහභාගීත්වයක් ලබාදිය යුතු බවයි හිටපු මහ බැංකු අධිපති ආචාර්ය ආනන්ද කුමාරස්වාමිගේ අදහස වී ඇත්තේ.

එබැවින් රජය බැඳුම්කර හිමියන්ගේ සහභාගීත්වය වැඩිකරගැනීම සඳහා යම් දිරිගැන්වීම් සිදුකළ යුතු බව ද ඔහු පෙන්වා දෙනවා.

මේ අතර වොෂින්ටන් නුවර පැවැත්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ 2023 ස්ප්‍රින් හමුව සඳහා මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සහ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ඇමරිකාව බලා පිටත්ව ගොස් ඇත.

ඔහු මෙලෙස වොෂින්ටනය බලා පිටත්ව ගොස් ඇත්තේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සම්බන්ධීකරණය සහ අදාළ වගකීම් ජනාධිපතිවරයා විසින් රාජ්‍ය අමාත්‍යවරයා වෙත පැවරීමේන් අනතුරුවයි.

මේ පිළිබඳ ට්විටර් සටහනක් තබමින් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ ප්‍රකාශ කර තිබුණේ, ණය තිරසර භාවය සහතික කිරීම සඳහා සහ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සඳහා ලබාගත ඇති ප්‍රගතිය තවදුරටත් ඉහළ නැංවීමට ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ සහයෝගීතාව වැඩිදියුණු කිරීම සඳහා මෙම හමුවෙන් මහඟු අවස්ථාවක් ලැබෙනු ඇති බවයි ෴


ප්‍රතිත්‍රස්ත පනතේ විනිවිද භාවය ගැන යුරෝපා සංගමය ප්‍රශ්න කරයි

(10.04.2023 – 12:54 +0530 – hirunews.lk/sinhala)

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට හදුන්වාදීමට යන නව ප්‍රතිත්‍රස්ත පණත් කෙටුම්පත සම්බන්ධයෙන් යුරෝපා සංගමයේ අවධානය යොමුව තිබෙනවා.

යුරෝපා සංගමයේ මෙරට තානාපති ඩෙනිස් චායිබි සඳහන් කර ඇත්තේ පනතේ විනිවිදභාවය පිළිබද පවතින ගැටලු‍ සහ බලය විධායකය වටා කේන්ද්‍රගතවීම යන කරුණු සම්බන්ධයෙන් මෙහිදී සිය අවධානය යොමුව ඇති බවයි.

පවතින තත්වය තුළ නව පනත මගින් පුද්ගලයකු ත්‍රස්තවාදියෙකු ලෙස සළකා සිරගත කිරීමට බලය පැවරීම, අසාමාන්‍ය ශක්තිමත් බලයක් ලබාදීමක් බව ඔහුගේ අදහසයි.

මේ සම්බන්ධයෙන් තවදුරටත් අධ්‍යයනය කරමින් ඇති බවත් ඒ සඳහා කාලය අවශ්‍ය බවත්, ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් තානාපති ඩෙනිස් චායිබි වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

යෝජිත නව ත්‍රස්ත පනත් කෙටුම්පත, යුරෝපා සංගමය මගින් ‘ජී.එස්.පී. ප්ලස්’ තීරුබදු සහන ලබාදීමේ වැඩසටහනේ කාලය දීර්ඝ කරන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණාත්මක වනු ඇති බවටද වාර්තා පළව තිබෙනවා.

‘ජී.එස්.පී. ප්ලස්’ තීරුබදු සහනය දීර්ඝ කිරීමට අපොහොසත් වුවහොත් මෙරටට ඩොලර් මිලියන 500 කට අධික වෙළඳ සහනයක් අහිමි වීමේ අවදානමක් පවතිනවා. එම තීරුබදු සහනය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් වන ක්‍රියාවලිය මේ වනවිට පවතින්නේ අවසන් අදියරයේයි.

පසුගිය පෙබරවාරි මාසයේදී මෙරට ජර්මන් තානාපති හොල්ගර් සූබට් අනතුරු අඟවා තිබුණේ මානව හිමිකම් ආරක්ෂා කිරීමට ලංකාව ප්‍රමුඛත්වය ලබානොදුනහොත් ‘ජී.එස්.පී.’ සහනය අවසන්වීමට ඉඩ ඇති බවයි.

+


උත්සව සමයේ ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණයේ වර්ධනයක්

(10.04.2023 – 13:09 +0530 – hirunews.lk/sinhala)

අලුත් අවුරුදු සමයේ ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය වර්ධනය වී තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් අවධානය යොමුකරන ලෙස පොලිස් මූලස්ථානය මහ ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව ප්‍රකාශ කළ සිටියේම්, එමෙන්ම වෙළඳ ව්‍යාපාරිකයන්ද තමන් අතට පත්වන මුදල් නෝට්ටුව පිළිබඳව සැළකිල්ලෙන් කටයුතු කළ යුතු බවයි ෴


රුපියල් කෝටි ගණන් යට කළ, වැඩක් නොගන්න වනඅලි මුරකුටි

(10.04.2023 – 13:10 +0530 – hirunews.lk/sinhala)

නිමක් නැති අලි – මිනිස් ගැටුම දෛනිකව ප්‍රවෘත්ති මවන මාතෘකාවක් බවට පත්ව ඇත්තේ මීට දශකයකට (10) අධික කාලයක පටන්.

නමුත්, තවමත් ඒ වෙනුවෙන් ස්ථිර විසඳුමක් සොයා ගැනීමට කිසිදු බලධාරියෙකුට හැකියාවක් ලැබී නැහැ.

ඇතැම් ප්‍රදේශවල ඒ වෙනුවෙන් ආරම්භ කළ වැඩසටහන් වසර ගණනාවක් තිස්සේ වල්වැදී ඇත්තේ ජනතාව තවදුරටත් පීඩාවට පත්කරමින්.

මේ පොලොන්නරුව, ගිරිතලේ – බකමූණ ප්‍රධාන මාර්ගයයි.

දියබෙදුම 5 කණුව රණවිරු ගම්මානය ද මෙහි පිහිටා තිබෙන අතර, නිරන්තරයෙන් මෙම ජනතාවට වනඅලින්ගෙන් එල්ලවන කරදර නම් නිමක් නැහැ.

පසුගිය දින කිහිපය පුරාම 35 ක් පමණ වූ වන අලි රංචුවක් මෙම ප්‍රදේශවල වගා බිම් රැසක් මෙලෙස විනාශ කර තිබුණා.

පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ වනජීවි දෙපාර්තමේන්තුව, දිවයිනම ආවරණය වන පරිදි මුර කුටි ඉදි කිරීම ආරම්භ කළේ අලි මිනිස් ගැටුම විසඳීමේ තවත් එක් පියවරක් ලෙසයි.

ඒ, දැඩි ලෙස වන අලි තර්ජන එල්ලවන ප්‍රදේශ ආවරණය වන පරිදියි.

මෙම වැඩපිළිවෙළ යටතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවල අලිමංකඩ ආශ්‍රිතව මෙම මුර කුටි ඉදි කිරීම ආරම්භ කළද, තවමත් ඒ කිසිවක් අවසන් කර නැහැ.

මින්නේරිය, හතරැස්කොටුව, ගල් ඔය, වැලිකන්ද, මීගස්වැව, මැදිරිගිරිය ප්‍රදේශවල ගම්මාන ආරක්ෂා කිරීමට නිලධාරීන් යෙදවීමට වනජීවි දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබුණත්, ඒ වෙනුවෙන් ඉදි කිරීම් ආරම්භ කළ මුර කුටි වසර 7 ක් පමණ තිස්සේ පවතින්නේ මේ ආකාරයෙන්.

එක් කුටියක් වෙනුවෙන් එවක රුපියල් 15 ලක්ෂයක් පමණ වැය කර තිබෙන අතර, තවමත් ඒවායෙහි වැඩ අවසන් නොකිරීමෙන් ප්‍රදේශවාසීන්ගේ අලි කරදර නිමක් දැක නැහැ.

ජනතාව පෙන්වා දෙන්නේ, මහජන මුදල් මෙලෙස විනාශ නොකර, ආරම්භ කළ වැඩපිළිවෙළට අනුව මෙම කුටි නිමවා, ඒවාට වනජීවී නිලධාරීන් අනුයුක්ත කර තම ජීවිත රැක ගැනීමට කඩිනමින් බලධාරීන් මැදිහත් විය යුතු බවයි.

+


අලුත් අවුරුද්දට පැළයක් සිටුවන්න – මධ්‍යම පරිසර අධිකාරියෙන් ආරාධනයක්

(10.04.2023 – 13:14 +0530 – hirunews.lk/sinhala)

සිංහල දෙමළ අලුත් අවුරුද්දේ වැඩ ඇල්ලීමේ නැකතට පැළයක් සිටුවා ‘අවුරුද්දට සිරිතක් – පරිසරයට පැලයක්’ වැඩසටහනට දායක වන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

එම වැඩසටහන ලබන 20 වනදා දක්වා දිවයින පුරා ක්‍රියාත්මකයි.

ඒ අනුව ඕනෑම වයස් කාණ්ඩයකට අයත් අයෙකුට ඖෂධ, පළතුරු, පැළැටි මෙන්ම දැවමය වටිනාකමකින් යුත් පැළයක් සිටුවීමෙන් මේ සඳහා එක්වීමේ හැකියාව පවතිනවා.

ඒ සඳහා පැළය සිටුවන අවස්ථාවේ ලබාගත් ඡායාරූපයක් මධ්‍යම පරිසර අධිකාරියට යොමුකළ හැකියි.

ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු 011 287 2359 හෝ 011 287 2278 දුරකථන අංකවලට සම්බන්ධ වීමෙන් ලබාගත හැකි බව ද මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා.

පැළ සිටුවීමෙන් වසරකට (1) පසු සිදු කරන සමීක්ෂණයෙන් අනතුරුව නිසි ලෙස පැළ රෝපණය කළ සහ නඩත්තු කළ පුද්ගලයින්ට සහතික පත් ප්‍රදානය සිදු කිරීමට නියමිතව ඇත්තේ ෴


‘හරක්කටා’ට සම්බන්ධ පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට

(10.04.2023 – 13:21 +0530 – hirunews.lk/sinhala)

සංවිධානාත්මක අපරාධකරුවකු වන ‘හරක්කටා’ගේ මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ බවට සැක කරන පොලිස් කොස්තාපල්වරයෙකු සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පොලිස් විශේෂ කාර්ය බලකා බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුවයි.

අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා බස්නාහිර පළාත බුද්ධි කොට්ඨාසයට අනුයුක්ත මිරිහාන උප ඒකකයේ රාජකාරී කරන අයෙක්.

කොස්තාපල්වරයා සමග අත්අඩංගුවට ගත් අනෙක් සැකකරු සන්තකයේ තිබී ‘අයිස්’ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 74 ක්, ඒවා ප්‍රවාහනයට යොදාගත් මෝටර් රථයක් සහ ජංගම දුරකතන දෙකක් පොලිස් භාරයට තිබෙනවා ෴


කසළ තේ සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

(10.04.2023 – 13:24 +0530 – hirunews.lk/sinhala)

බලපත්‍ර නොමැතිව ආගරපතන ප්‍රදේශයේ සිට ගම්පොළ වෙලම්බොඩ දක්වා වෑන් රථයකින් කසළ තේ කිලෝ 800 ක් ප්‍රවාහනය කළ සැකකරුවන් තිදෙනෙකු (3) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වටවල පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා (2) හැටන් මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව රුපියල් ලක්ෂ දෙක (2) බැගින් වු ඇපකරයක් මත මුදාහැර තිබෙනවා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *