සිසේරියන් සැත්කමකින් පේරාදෙණියේ ගැබිණි මවක් මිය යයි

සිසේරියන් සැත්කමකින් පේරාදෙණියේ ගැබිණි මවක් මිය යයි


සිසේරියන් සැත්කමකින් පේරාදෙණියේ ගැබිණි මවක් මිය යයි

(07.04.2023 – 20:04 +0530 – hirunews.lk/sinhala)

සිසේරියන් සැත්කමකින් අනතුරුව 26 හැවිරිදි ගර්භණී මවක් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

ඒ ඊයේ (06) දින, පේරාදෙණිය ශික්ෂණ රෝහලේදීයී.

ඇය මීට සතියකට පමණ පෙර දරු ප්‍රසූතිය සඳහා රෝහල් ගත වී ඇති බවයි වාර්තා වන්නේ.

අදාල සැත්කමින් පසු දින දෙකක් (2) දැඩි සත්කාර ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුවයි ඇය ජීවිතක්ෂයට පත් වී ඇත්තේ.

මෙලෙස අවාසනාවන්ත ලෙස මිය ගැබිණි මව මහනුවර, ගන්නෝරුව ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.

රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න සඳහණ් කළේ, ප්‍රසූත කළ බිළිදිය මේ වන විට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි.

දරු ප්‍රසූතිය සඳහා සිසේරියන් සැත්කමේදී ලබාදුන් නිර්වින්දන ඖෂධවල සංකූලතා මත හෝ ශල්‍ය කර්මයේ යම් වරදක් හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවට සැක මතුව තිබෙනවා.

එහෙත් ඇතැම් වාර්තාවල පළව තිබුණේ, අදාළ මවට දුන් නිර්වින්දන ඖෂධවල ප්‍රමිතිය බාල වීම ද මෙම තත්ත්වයට හේතුවී ඇති බවටයි.

කෙසේ වෙතත් අප කළ විමසීමකදී පේරාදෙණිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න සඳහන් කළේ ඒ පිළිබඳව නිශ්චිතව ප්‍රකාශ කළ හැක්කේ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව බවයි.

ඒ පිළිබඳ විමසීමට වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ කපිල වික්‍රමනායක දුරකථනයෙන් සම්බන්ධ කරගැනීමට උත්සහ කළද ඔහු ඊට ප්‍රතිචාර දක්වා සිටියේ නැත ෴


ජපානයේ දී අභිරහස් ලෙස මියගිය, සඳමාලිගේ අවසන් පැය කිහිපයේ CCTV එළියට

(07.04.2023 – 20:54 +0530 – hirunews.lk/sinhala)

ජපානයේ නගෝයා හි පිහිටි රඳවාතැබීමේ මධ්‍යස්ථානයක දී මරණයට පත් වූ ශ්‍රී ලාංකික කාන්තාවක් වන ‘විශ්මා සඳමාලි’ගේ අවසාන දින කිහිපය දැක්වෙන CCTV වීඩියෝවක් ඇගේ ඥාතීන්ගේ නීතිඥයින් විසින් මාධ්‍ය වෙත මුදා හැර තිබෙනවා.

33 හැවිරිදි වියේ පසු වූ ඇය මෙසේ මිය ගියේ වසර දෙකකට (2) පෙරදී යි.

වීසා කාලය ඉක්මවා ජපානය තුළ රැඳී සිටියා යැයි චෝදනා නඟමින් ඇයව සංක්‍රමණිකයින් රඳවා තබන මධ්‍යස්ථානයක් වෙත යවා තිබුණා.

2021 වසරේ මාර්තු 06 වනදා සඳමාලිගේ සෞඛ්‍ය තත්ත්වය හදිසියේම වෙනස් වූ බව බලධාරීන් හෙළි කර තිබුණා.

ඇයගේ මරණයෙන් අනතුරුව විශ්මාගේ සහෝදරිය වන වයෝමි නිසංසලා ජපානයට ගොස් බලධාරීන්ට එරෙහිව නඩු මඟට පිවිසුණා.

එම පැමිණිල්ලෙන් ඇය බලධාරීන්ට චෝදනා කර ඇත්තේ තම සොහොයුරිය මරණයට පත්කර ඇති බවයි.

“මම හිතන්නේ මිනිසුන් මෙම වීඩියෝව නරඹලා තීරණයක් ගනීවි ඒක අපේ පවුලට කරපු ලොකු අසාධාරණයක් කියලා.”

සඳමාලි ගේ මරණයට සති දෙකකටත් (2) අඩු කාලයකට පෙර නිකුත් කරනු ලැබූ ඇතැම් දර්ශනවලින් ඇය ඇඳේ වැතිර සිටින අයුරුත්, ඇය කන්නලව් කරන අයුරුත් දැක ගත හැකියි.

විශ්මා සඳමාලි 2017 දී ශිෂ්‍යාවක් ලෙස ජපානයට පැමිණ තිබුණා.

ඇය මාසයක් පමණ වමනය සහ බඩේ කැක්කුම ඇතුළු රෝග කිහිපයකින් පීඩා වින්ඳා.

විශ්මාගේ හදිසි මරණය වෙනුවෙන් ජපානය සිය කනගාටුව ද ප්‍රකාශ කර තිබුණා.

+


පාන්, සිමෙන්ති, කිරිපිටි මිල තීරණය කරන්න පාරිභෝගික අධිකාරිය මැදිහත්වෙයි

(08.04.2023 – 07:21 +0530 – hirunews.lk/sinhala)

පාන් ඇතුලු බේකරි නිෂ්පාදන, සිමෙන්ති සහ කිරිපිටි මිල තීරණය කිරීම සඳහා ඉදිරියේ දී පාරිභෝගික අධිකාරියට මැදිහත්වීමට සිදුවනු ඇතැයි එහි සභාපති නීතීඥ ශාන්ත නිරිඇල්ල පවසනවා.

කර්මාන්තකරුවන් මේ අවස්ථාවේ ඒවායේ මිල අඩු නොකිරීම ඊට හේතුව බවයි හිරු ප්‍රවෘත්ති අංශය සමඟ සංවාදයකට එක්වෙමින් ඔහු කියා සිටියේ.

එසේම රසායනාගාර පරීක්ෂණ සහ ඔන්ලයින් ක්‍රමයට භාණ්ඩ අලෙවි කිරීම දිරිමත් කිරීමට ඉදිරියේ දී නව රෙගුලාසි හඳුන්වාදෙන බවද පාරිභෝගික අධිකාරියේ සභාපතිවරයා කියා සිටියා.

+


සමාජ සුභසාධන ප්‍රතිලාභීන් සමීක්ෂණයට සහභාගී වූ නිලධාරීන්ට මුදල් ගෙවීම් පමාවූ හේතුව හෙළිවෙයි

(08.04.2023 – 07:51 +0530 – hirunews.lk/sinhala)

දත්ත පද්ධතියේ ඇතිවූ දෝෂයක් හේතුවෙන් සමාජ සුභසාධන ප්‍රතිලාභීන් සමීක්ෂණයට සහභාගී වූ නිලධාරීන්ට මුදල් ගෙවීමට ප්‍රමාද වූ බව සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ඩී. විජේරත්න ප්‍රකාශ කළා.

සුබසාධක ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා අයදුම්කරුවන් ලක්ෂ 37 ක් අයදුම්කර තිබූ අතර මේ වන විට ලක්ෂ 32 ක ගේ තොරතුරු සටහන් කරගෙන අවසන් බවයි සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.

එමෙන්ම සමාජ සුබසාධක ප්‍රතිලාභ සමීක්ෂණය සඳහා තාවකාලිකව බඳවාගත් නිළධාරීයෙකුට එක් නිවසකින් තොරතුර ලබා ගැනීම සඳහා ගෙවීමට පොරොන්දු වූ දීමනාවෙන් හරි අඩක් ලබා දීම සම්බන්ධයෙන් එම නිලධාරීන් රජයට චෝදනා කරනවා.

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ඩී. විජේරත්න ගෙන් විමසීමක දී ඔහු කියා සිටියේ දත්ත පද්ධතිය යථා තත්වයට පත් කිරීමෙන් අනතුරුව අදාළ මුදල් නිසියාකාරව ලබා දෙන බවයි ෴


බෞද්ධ හා පාලි සරසවියේ සිසුන් පිරිසකට අලුත් අවුරුද්දෙන් පසු යළි අධ්‍යයන කටයුතු ඇරඹෙයි

(08.04.2023 – 07:54 +0530 – hirunews.lk/sinhala)

හෝමාගම – පිටිපන පිහිටි බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ තුන්වන (3) වසරේ සිසුන් එළඹෙන 17 වැනිදා කැඳවීමට කටයුතු කරන බව විශ්වවිද්‍යාල පාලනාධිකාරිය සඳහන් කළා.

එම විශ්වවිද්‍යලයේ උප කුලපති මාහාචාර්ය පූජ්‍ය නෙළුවේ සුමනවංශ හිමියන් කියා සිටියේ, විභාග කටයුතු පවත්වාගෙන යාම සඳහා එදිනට ඔවුන් කැඳවීමට කටයුතු කරන බවයි.

මේ වන විට පළමු (1) වසර සහ අවසන් වසර සිසුන් සඳහා විභාග අවසන් වී ඇති අතර පළමු (1) වසර සිසුන් විශ්වවිද්‍යාල භූමියෙන් ඉවත්ව ගොස් තිබෙනවා.

සිව්වන (4) වසර සිසුන්ට එළඹෙන 10 වන දිනට ප්‍රථම විශ්ව විද්‍යාල භූමියෙන් ඉවත් වන ලෙසයි එහි පාලනාධිකාරීය සිසුන්ට දැනුම් දී ඇත්තේ.

ඒ අනුව තුන්වන (3) වසරේ සිසුන්ගේ විභාග වෙනුවෙන් අවශ්‍ය අධ්‍යයන සහය සඳහා 17 වැනිදා සිට විශ්වවිද්‍යාලයේ ඇති පුස්තකාලය සහා ආචාර්යවරුන්ගේ සහයෝගය ලබාගැනීමට හැකි බවයි පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ උප කුලපති මාහාචාර්ය පූජ්‍ය නෙළුවේ සුමනවංශ හිමියන් සඳහන් කළේ ෴


තවත් මාස හයක් (6) සඳහා අවශ්‍ය ගල් අඟුරු මේ මස අවසන්වීමට පෙර දිවයිනට

(08.04.2023 – 08:01 +0530 – hirunews.lk/sinhala)

මේ වසරේ සැප්තැම්බර් මාසය දක්වා අඛණ්ඩව විදුලිය සැපයීමට නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයට අවශ්‍ය ගල් අඟුරු තොග මේ මස අවසන්වීමට පෙර දිවයිනට ආනයනය කර අවසන් කරන බව ශ්‍රී ලංකා ගල් අඟුරු සමාගම පවසනවා.

එහි සභාපති ෂෙහාන් සුමනසේකර කියා සිටියේ මෙවර දිවයිනට ගෙන්වූ ගල් අඟුරු නෞකා 22 ක ගොඩබෑමේ කටයුතු සිදුකර අවසන්ව ඇති බවයි.

එමඟින් ගල් අඟුරු මෙට්‍රික් ටොන් මිලියන 1.3 ක් දිවයිනට ආනයනය කර ඇති බවද ඔහු ප්‍රකාශ කළා.

නොරොච්චෝලේ ලක් විජය බලාගාරය පූර්ණ ධාරිතාවයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා දිනකට අවශ්‍ය කෙරෙන්නේ ගල්අඟුරු මෙට්‍රික් ටොන් 7500 ක් ෴


පීලිපැනීමක් නිසා අඩාල වූ ත්‍රිකුණාමලයේ දුම්රිය මාර්ගය තවමත් අලුත්වැඩියාවේ

(08.04.2023 – 08:06 +0530 – hirunews.lk/sinhala)

කන්තලේ – අග්බෝපුර දුම්රිය ස්ථානය ආසන්නයේ දී පීලිපැනීමට ලක්වූ දුම්රිය මැදිරිය පීලිගත කිරීමේ කටයුතු අද (08) උදෑසන අවසන් කිරීමට බලාපොරොත්තු වන බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

එසේම, දුම්රිය පීලිගත කරන අතරතුර මාර්ගයේ නඩත්තු කටයුතු ඊයේ (07) රාත්‍රියේත් සිදු කෙරුණු අතර, පීලි පැනීම හේතුවෙන් ත්‍රිකුණාමලය සහ කොළඹ අතර ධාවනය වන රාත්‍රි තැපැල් දුම්රිය ඊයේ අවලංගු කිරීමටයි පියවර ගැනුණේ.

ගල්ඔය සිට ත්‍රිකුණාමලය දක්වා දිවෙන එම දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු අද (08) දිනයේ දී පීලිපැනීමට ලක්වූ දුම්රිය මැදිරිය පීලිගත කිරීමෙන් අනතුරුව සිදුකිරීමට සැලසුම් කර තිබෙනවා.

කන්තලේ – අග්බෝපුර දුම්රිය ස්ථානය ආසන්නයේ දී ඊයේ (07) දුම්රියක් පීලිපැනීමෙන් පසු මැදිරියක් පෙරලී යාමත් සමඟ එහි සිටි 16 දෙනෙකු තුවාල ලැබූ අතර, ඔවුන් කන්තලේ රෝහලටයි ඇතුළත් කෙරුණේ.

මේ අතර, දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි වී.එස්. පොල්වත්තගේ කියා සිටියේ කොළඹ – කොටුවේ සිට යාපනය කන්කසන්තුරය දක්වා ඍජු දුම්රිය ගමන් ලබන වසරේ (2024) ජනවාරි මාසයේ දී යළි ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවයි ෴


අධ්‍යාපන අමාත්‍යාංශය සරසවි ඇදුරන්ගෙන් ධනාත්මක ප්‍රතිචාරයක් අපේක්ෂාවෙන්

(08.04.2023 – 08:11 +0530 – hirunews.lk/sinhala)

උසස් පෙළ උත්තර පත්‍ර ඇගයීම් සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ධනාත්මක ප්‍රතිචාරයක් දක්වනු ඇතැයි අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

උසස් පෙළ විභාගය ආරම්භ වීමට පෙර උත්තර පත්‍ර ඇගයීමේ අයදුම්පත් කැඳවීමේ දී ඒ සඳහා ඉල්ලු‍ම් කර තිබුණේ මුළු අවශ්‍යතාවය වන 19,000 ක් පරීක්ෂකයන් සංඛ්‍යාවෙන් 12,000 ක් පමණක් බවයි අමාත්‍යාංශය පවසන්නේ.

තත්ත්වය තේරුම්ගත් අමාත්‍යාංශය ගුරු වෘත්තීය සමිති සමඟ සාකච්ඡා පවත්වා උත්තර පත්‍ර ලකුණු කිරීමට දෙනු ලබන ගාස්තුවට අමතරව දිනකට ගෙවනු ලැබූ රුපියල් 500 ක සංහෘත දීමනාව රුපියල් 2000 ක් දක්වා වැඩි කිරීමට පියවර ගත් බවද අදාළ නිවේදනයේ සඳහන්.

කිලෝමීටර් 81 ට වැඩි දුරක සිට උත්තර පත්‍ර ඇගයීමට පැමිණෙන ගුරුවරුන් සඳහා එම සංහෘත දීමනාව රුපියල් 2900 ක් දක්වා වැඩි කර දීමටත් අදාළ සියලු‍ ක්‍රියාමාර්ග ගෙන ඇති අතර ඒ සඳහා මහා භාණ්ඩාගාරයෙන් අතිරේක ප්‍රතිපාදන ද ලබාගත් බවද අමාත්‍යාංශය කියා සිටියා.

මීට අමතරව විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සමඟ මාර්තු 09 ප්‍රථම සාකච්ඡාව අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පැවැත්වූ අතර ඒ සඳහා භාණ්ඩාගාර නිලධාරීන් ඇතුළු අදාළ සියලු‍ පාර්ශව සහභාගී වූ බවයි ඔවුන් පවසන්නේ.

ඒ අනුව සියලු‍ රජයේ සේවකයන් සඳහා පොදුවේ පනවන ලද බදු මුදල සම්බන්ධයෙන් හැරුණුකොට අනෙකුත් ඉල්ලීම් ලෙස ඉදිරිපත් කළ කරුණු පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශය මුදල් අමාත්‍යාංශයේ ද එකඟතාව ඇති ව විකල්ප විසඳුම් ලබා දී ඇති අතර ඒ සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය ද දැනුම්වත් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළා.

අධ්‍යාපන අමාත්‍යාංශය මෙම සංවේදී ප්‍රශ්නය පිළිබඳව උසස් පෙළ විභාගය ආරම්භයේ සිට ම ගුරු වෘත්තීය සමිති හා විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය සමඟ සාකච්ඡා වට කිහිපයක් පවත්වා විසඳුම් ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වී ඇති අතර උපරිම අයුරින් උත්තර පත්‍ර ඇගයීම කඩිනම් කිරීමට පියවර ගෙන ඇති බව ද ප්‍රකාශ කරනවා.

ඒ සම්බන්ධයෙන් මේ වනවිට ගුරු වෘත්තීය සමිති ධනාත්මක ප්‍රතිචාරයක් දක්වා ඇති අතර විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය ද උත්තර පත්‍ර ඇගයීමේ ක්‍රියාවලියට එක්වීම සඳහා කඩිනමින් ප්‍රතිචාර දක්වනු ඇතැයි අපේක්ෂා කරන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ ෴


රුපියල් මිලියන 120,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

(08.04.2023 – 08:20 +0530 – hirunews.lk/sinhala)

රුපියල් මිලියන 120,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 11 වැනිදා පැවැත්වෙන බව මහ බැංකුව නිවේදනය කළා.

දින 91 කින් කල් පිරෙන රුපියල් මිලියන 60,000 ක බිල්පත්, දින 182 කින් කල් පිරෙන රුපියල් මිලියන 20,000 ක බිල්පත් සහ දින 364 කින් කල් පිරෙන මිලියන 40,000 ක බිල්පත් එහිදී වෙන්දේසි කෙරෙනු ඇති ෴


අයහපත් කාලගුණය හේතුවෙන් ගුවන් ගමන්වලට බාධා

(08.04.2023 – 09:33 +0530 – hirunews.lk/sinhala)

කටුනායක ගුවන් තොටුපල අවට පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් චීනයේ ෂැංහයි නුවර සිට ඊයේ (07) රාත්‍රී හතට (7) පමණ පැමිණි ‘චයිනා ඊස්ටන්’ ගුවන් සේවයට අයත් එම්.යු. 231 යානය මාලදිවයිනේ – මාලේ ගුවන් තොටුපල වෙත යොමුකර තිබෙනවා.

එමෙන්ම කුවේට් සිට කටුනායකට පැමිණීමට නියමිතව තිබූ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්. 230 දරණ ගුවන් යානය ද අද (08) අලුයම මත්තල ගුවන් තොටුපලට ගොඩබැස්සවූ බව හිරු ගුවන් තොටුපල වාර්තාකරු කියා සිටියා.

මේ අතර තවත් ගුවන් ගමන් කිහිපයක් ප්‍රමාදවී තිබෙනවා.

කටුනායකින් ඩුබායි බලා පිටත්ව යාමට නියමිතව තිබූ යූ.එල්. 225 යානය පැය 15 ක් පමණ ප්‍රමාදවූ බව ගුවන් තොටුපල බලධාරින් ප්‍රකාශ කළා.

එමෙන්ම ඩුබායි සිට කටුනායකට අද (08) අලුයම 04:45 ට පැමිණීමට නියමිතව තිබූ යූ.එල්. 226 දරණ ගුවන් යානයද පස්වරු 04:55 දක්වා ප්‍රමාද වන බවයි වාර්තාවන්නේ.

ජපානයේ නරීටා බලා ඊයේ (07) රාත්‍රී 7 ට පමණ පිටත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකන් යානය ද පිටත්ව ගියේ අද (08) අලුයම 01:50 ටයි.

මුම්බායි බලා ඊයේ (07) රාත්‍රී 11:40 ට පිටත්ව යාමට නියමිතව තිබූ ශ්‍රී ලංකන් ගුවන් යානය ද අද (08) අලුයම 05:35 දක්වා ගුවන්ගතවීම ප්‍රමාද වුණා ෴


ඩුබායි ගිය ගුවන් යානයක් යළි කටුනායකට

(08.04.2023 – 14:54 +0530 – hirunews.lk/sinhala)

නියමුවා ඉදිරියේ පිහිටි වීදුරුවක් ඉරිතලා යාම නිසා ඩුබායි බලා පියාසර කරමින් තිබූ ශ්‍රී ලංකන් ගුවන් යානයක් යළි කටුනායක ගුවන් තොටුපලට ගොඩබස්වා තිබෙනවා.

ඊයේ (07) පස්වරු 06:25 ට පිටත්වීමට තිබූ මෙම ගුවන් යානය අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අද (08) පෙරවරු 09:30 ට පමණ කටුනායකින් පිටව ගොස් තිබුණා.

එහෙත් වීදුරුව පුපුරා යාම නිසා පැයයි (1) මිනිත්තු 10 කට පමණ පසු නැවත එය කටුනායක ගුවන් තොටුපලට ගොඩබැස්සවූ බවයි ගුවන් තොටුපල හිරු වාර්තාකරු ප්‍රකාශ කළේ.

මෙම යානයේ මගීන් 189 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 15 දෙනෙකු ගමන් කර තිබෙනවා.

අද (08) පස්වරුවේ යානය යළි ඩුබායි බලා පිටත්වීමට නියමිත බවයි වාර්තාවන්නේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *