වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටිමින් පුද්ගලයන් විදෙස් ගත කිරීමේ ජාවාරමා පොලිස් දැලේ පැටලෙයි

වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටිමින් පුද්ගලයන් විදෙස් ගත කිරීමේ ජාවාරමා පොලිස් දැලේ පැටලෙයි


වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටිමින් පුද්ගලයන් විදෙස් ගත කිරීමේ ජාවාරමා පොලිස් දැලේ පැටලෙයි

(06.04.2023 – 06:58 +0530 – hirunews.lk/sinhala)

වෛද්‍යවරයෙකු ලෙස ව්‍යාජව පෙනී සිටිමින් පුද්ගලයන් විදෙස් ගත කිරීමේ ජාවාරමක නියැලුනු පුද්ගලයෙක් ඊයේ (05) පස්වරුවේ බොරැල්ල රිජ්වේ ආර්‍යා ළමා රෝහල අසල දී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ බොරැල්ල පොලීසියට ලැබුණු ඔත්තුවක් මත කරන ලද වැටලීමකින්.

අදාල තැනැත්තා විසින් පුද්ගලයෙකු ඔස්ට්‍රේලියාවට යවන බව පවසා ඔහුගෙන් රුපියල් 70,000 ක මුදලක් වංචා කර තිබෙන බවද විමර්ශනවල දී අනාවරණය වූ බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා.

තවද, රිජ්වේ ආර්යා ළමා රෝහල් පරිශ්‍රය තුල සැරිසරා ඇති සැකකරු, බිරිඳගේ නමට ඔස්ට්‍රේලියාවේ ඇපල් වත්තක් පවතින බවත්, එහි සේවය කිරීමට පුද්ගලයින් සොයන බවත්, රෝගීන් බැලීමට පැමිණෙන පිරිස් වෙත පවසා තිබෙනවා.

එලෙස පවසමින් ඔහු කළක් තිස්සේ මෙම වංචාව සිදුකර ඇති බවටයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ.

සැකකරු සන්තකයේ තිබී වෙද නලාවක් සහ ‘ඩොක්ටර්’ යනුවෙන් සඳහන් නිළ ඇඳුමක්, වෛද්‍ය පොත්පත් කිහිපයක් ද පොලිසිය භාරයට ගෙන ඇති බවයි බොරැල්ල පොලීසිය සඳහන් කළේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ යක්විල – පන්නල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 56 ක පුද්ගලයෙක් වන අතර මොහු දැනට වතුපිටිවල ප්‍රදේශයේ තාවකාලිවක පදිංචි වී සිටිනවා.

සැකකරු අද (06) දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි ෴


පැරණි කාසි රැගෙන ගිය සිවුදෙනෙකු (4) අත්අඩංගුවට

(06.04.2023 – 07:18 +0530 – hirunews.lk/sinhala)

පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුක්ත විවිධ සලකුණු සහිත කාසි තොගයක් සමඟ සැකකරුවන් සිව්දෙනෙකු (4) ඊයේ (05) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ කන්තලේ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්‍යාංශයේ නිලධාරීන් විසින් සිදුකළ සෝදිසි මෙහෙයුමක දී යි.

හබරණ දෙස සිට කන්තලේ දෙසට ධාවනය වූ මෝටර් රථයක් නවතා පරීක්ෂා කිරීමේ දී එම රථය තුල තිබී හමුවූ මෙම කාසි තොගය ගණනින් 389 ක් වන අතර පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුක්ත ඒවා වන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 32 සහ 49 යන වයස්වල පසුවන පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලිසිය පවසන්නේ.

අත්අඩංගුවට ගත් පිරිස කන්තලේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද (06) ඉදිරිපත් කිරීමට නියමිතයි.


අංගොඩ ලොක්කාගේ ගෝලයෙක් STF අත්අඩංගුවට

(06.04.2023 – 07:35 +0530 – hirunews.lk/sinhala)

සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ‘අංගොඩ ලොක්කා’ගේ සමීප සහචරයෙක් වූ ‘අතුරුගිරියේ ජෙරොම්’ නැමැත්තා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්යය බළකායේ විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව අතුරුගිරිය මිලේනියම් සිටි ප්‍රදේශයේ දී යි අදාල සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.

සංවිධානාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන අත්අඩංගුවට ගත් සැකකරු පසුගිය මාර්තු 25 වැනි දින හෝමාගම ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියකට අවශ්‍යව සිටි අයෙක් බවයි වාර්තා වන්න්නේ.

සැකකරු වැඩිදුර විමර්ශන සඳහා අතුරුගිරිය පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.


ඕමාන ජාතික ඇඟලුම්හල් හිමිකරුට පහරදීමේ විමර්ශන සීඅයිඩීයට

(06.04.2023 – 08:24 +0530 – hirunews.lk/sinhala)

කටාන – හල්පේ – කෝපියාවත්ත ප්‍රදේශයේ ඇගලුම් කර්මාන්තශාලාවේ ඕමාන ජාතික හිමිකරුට පහරදීමේ සිද්ධියේ විමර්ශන බඩල්ගම පොලිසියෙන් ඉවත් කර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පවරා තිබෙනවා.

මෙම පැවරීම කර ඇත්තේ මේ සම්බන්ධයෙන් බඩල්ගම පොලිසියෙන් සාධාරණයක් සිදු නොවන බවට සහ එම තත්ත්වය යටතේ කර්මාන්තශාලාව විදේශයකට ගෙන යාමට එහි පාලනාධිකාරිය තීරණය කර ඇති බවට ඕමාන තානාපතිවරයා රජයට දැනුම්දීමෙන් පසුව බවයි වාර්තා වන්නේ.

පොලිසිය සඳහන් කළේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැනට සැකකරුවන් තුන්දෙනෙකු (3) අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් දෙදෙනෙකු (2) සොයා විමර්ශන ක්‍රියාත්මක බවයි.

පසුගිය 30 වනදා කිසියම් පිරිසක් ඇගලුම් කම්හලේ හිමිකරුට සහ ආරක්ෂක නිලධාරියාට පහර දී එහි දේපල වලට හානි කර තිබුණා.

කෙසේවෙතත් මෙහි විමර්ශන නිසි අයුරින් ක්‍රියාත්මක නොවන බවට එහි හිමිකරු ඕමාන තානාපතිවරයා මාර්ගයෙන් මෙරට විදේශ අමාත්‍යවරයාට දැනුම් දී තිබුණා.

එහි හිමිකරු කියා සිටියේ සාධාරණයක් ඉටු නොවන්නේ නම් රට හැරයන බවයි ෴


ගුරුවරුන් උසස් පෙළ ඇගයීම් සටහන් ඉල්ලයි

(06.04.2023 – 09:11 +0530 – hirunews.lk/sinhala)

උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතුවලින් ගුරුවරුන් ඉවත් වී නොමැති බවත්, ඇගයීම් කටයුතු සිදුකිරීම සඳහා මූලික පියවර අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ඉටුකර නොමැති බවත් ලංකා ගුරු සංගමය චෝදනා කරනවා.

එහි සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මේ බව කියා සිටියේ මහනුවර ඊයේ (05) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ෴


සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෙනසක් සිදුවිය යුතුයි – වෛද්‍ය සංගමයක් කියයි

(06.04.2023 – 09:24 +0530 – hirunews.lk/sinhala)

පවතින දේශපාලන නායකත්වයෙන් මිදී, අලුත් දේශපාලන නායකත්වයක් යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනස් විය යුතු බව සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ ඊයේ (05) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ෴


ප්‍රතිත්‍රස්ත පනත ඉදිරිපත් කිරීම කල් යයි

(06.04.2023 – 09:37 +0530 – hirunews.lk/sinhala)

ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම කල් දමන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ විපක්ෂයේ දේශපාලන පක්ෂ ඇතුළු පාර්ශව කිහිපයකින් ඉදිරිපත් වූ ඉල්ලීම් සලකා බලා මෙම තීරණය ගත් බවයි.

අප්‍රේල් අවසන් සතියේ හෝ මැයි මුල සතියේ එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව ද අධිකරණ අමාත්‍යවරයා කියා සිටියා.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය ද මෙම කෙටුම්පත ගැසට් කර ඇත්තේ අදාළ පාර්ශවකරුවන් සමග ප්‍රමාණවත් උපදේශනයකින් තොරව බැවින් එය ඉදිරිපත් කිරීම කල් දමන ලෙස රජයෙන් ඉල්ලා තිබුණා.

අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයාගේ නියමය පරිදි මෙම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්ත විරෝධී පනත්කෙටුම්පත ප්‍රකාශයට පත් කෙරුණේ, පසුගිය පනත් කෙටුම්පත පළකර තිබුණා.

ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් පිටත දී සිදුකරනු ලබන ත්‍රස්තවාදී ක්‍රියාවලින් හෝ ඒ ආශ්‍රිත වෙනත් වැරදිවලින් මෙරටට ජාතික ආරක්ෂාව සහ ජනතාව ආරක්ෂා කිරීම, ත්‍රස්තවාදය ආශ්‍රිත වරදක් සිදු කරන තැනැත්තෙකු හඳුනා ගැනීම, සිරභාරයට ගැනීම, නඩු පැවරීම සහ දඬුවම් දීමට අදාළ විධිවිධාන එමගින් ප්‍රකාශයට පත් කෙරුණා.

කෙසේවෙතත්, මෙම නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, ලංකා ගුරු සංගමය ඇතුළු විවිධ වෘත්තීය සංගම් නියෝජිතයින් දිගින් දිගටම විරෝධය පළ කළා.

ඒ, නව පනත මගින් වෘත්තීය සමිති ක්‍රියාකාරකම් ඇතුළු පුරවැසි අයිතීන් අභියෝගයට ලක්වන බවට චෝදනා කරමින් ෴

+

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම කල් දැමුනු ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත ලබන 25 වැනිදා ආංශික අධීක්ෂණ කාරක සභාවට ඉදිරිපත් කර සාකච්ජා කරන බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ පවසනවා.

විපක්ෂයේ නියෝජිතයින්, නීතිඥවරුන් හා සමාජ ක්‍රියාකාරින් සිදුකළ ඉල්ලීම් සැලකිල්ලට ගනීමින් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම කල්දැමීමට තීරණය කළ බවයි අමාත්‍යවරයා අද (06) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ ෴

+


දූෂණ මර්ධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ

(06.04.2023 – 10:09 +0530 – hirunews.lk/sinhala)

නව දූෂණ විරෝධී පනත් කෙටුම්පත ගැසට් කර තිබෙනවා.

මේ අතර එල්ල වූ විරෝධතා හමුවේ ප්‍රති ත්‍රස්ත පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කිරීම කල් දමන බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ ප්‍රකාශ කළා.

දූෂණ විරෝධී පනත් කෙටුම්පත සකස් කර ඇත්තේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න ඇතුළු විද්වත් කමිටුවක් විසින්.

මෙම කෙටුම්පත හරහා අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිෂන් සභාවේ කාර්යභාරය ශක්තිමත් කර ඇති අතර, ඒ අනුව එම කොමිෂන් සභාවට වැඩි බලතල පවරා තිබෙනවා.

රටේ ප්‍රධානියා ලෙස ජනාධිපතිවරයා ද වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු බව නව කෙටුම්පතෙහි සඳහන්.

එමෙන්ම, පැමිණිල්ලක් නොමැතිව වුවද, විමර්ශනයක් සිදුකිරීමට මෙම කෙටුම්පත හරහා අදාළ කොමිෂන් සභාවට බලය පැවරෙනවා.

ඒ අනුව, යම් තොරතුරක්, පැමිණිල්ලක් ලැබීමෙන්, පසුව හෝ කොමිෂන් සභාවේම අවශ්‍යතාවය මත හෝ කොමිෂන් සභාව වෙත ලැබෙන වෙනත් යම් වැදගත් දෙයක් මත යන කරුණු යටතේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට සිය විමර්ශන ආරම්භ කළ හැකියි.

දූෂණයට එරෙහිව සහ වෙනත් ජාත්‍යන්තර වශයෙන් පිලිගත් සම්මතයන් සහ ප්‍රමිතීන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතියේ විධිවිධාන බලාත්මක කිරීම සහ වත්කම් සහ බැරකම් ප්‍රකාශවලට අදාළ අල්ලස් සහ දූෂණ වැරදි පිලිබඳ විමර්ශනය කිරීම මෙන්ම, ඒ ආශ්‍රිතව නඩු පැවරීමට විධාන කිරීම සඳහා ස්වාධීන කොමිෂන් සභාවක් පිහිටුවීම මෙම පනත් කෙටුම්පත මගින් අපේක්ෂිතයි.

මේ අතර, ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම කල් දමන බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ අද (06) ප්‍රකාශ කළා. ඔහු කියා සිටියේ විපක්ෂයේ දේශපාලන පක්ෂ ඇතුළු පාර්ශව කිහිපයකින් ඉදිරිපත් වූ ඉල්ලීම් සලකා බලා මෙම තීරණය ගත් බවයි.

අප්‍රේල් අවසන් සතියේ හෝ මැයි මුල සතියේ එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව ද අධිකරණ අමාත්‍යවරයා කියා සිටියා.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය ද මෙම කෙටුම්පත ගැසට් කර ඇත්තේ අදාළ පාර්ශවකරුවන් සමග ප්‍රමාණවත් උපදේශනයකින් තොරව බැවින් එය ඉදිරිපත් කිරීම කල් දමන ලෙස රජයෙන් ඉල්ලා තිබුණා ෴


ත්‍රීවීල් උස්සා චැසි අංක වෙනස් කර විකුණූ ජාවාරම හසුවේ

(06.04.2023 – 11:48 +0530 – hirunews.lk/sinhala)

කිසියම් පිරිසක් විසින් සොරකම් කරන ලද වාහන සහ ලීසිං පහසුකම මත ලබා ගෙන ඇති වාහන සොරකම් කරමින් එහි චැසි අංක සහ හැඩය වෙනස් කර යළි අලෙවි කළ තිදෙනෙකු (3) මොරගහහේන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ත්‍රී රෝද රථ සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වමින් සිටි කැස්බෑව පොලීසියට ලද තොරතුරක් මත කරන ලද වැටලීමකදීයි මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

එහිදී සැකකරුවන් සමඟ චැසි අංක සහ එන්ජින් අංක වෙනස් කොට සාදන ලද ත්‍රීරෝද රථ 08 ක් සහ ඒ සඳහා භාවිත කළ උපකරණ කිහිපයක් ද තවත් ලියාපදිංචි අංක තහඩු කිහිපයක් ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් වයස අවුරුදු 19, 31 සහ 39 යන වයස්වල පසුවන හෝමාගම, මොරගහහේන සහ කැස්බෑව ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලීසිය පවසන්නේ.

පොලීසිය සැකකරුවන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් වලදී අණාවරණය වී ඇත්තේ, මෙම පිරිස විසින් මේ ආකාරයෙන් සකස් කරන ලද ත්‍රී රෝද රථ 09 ක් මින් පෙර අලෙවි කළ ඇති බවයි.

අත්අඩංගුවට ගත් මෙම පිරිස අද (06) දින කැස්බෑව මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴


‘කුඩු සලිඳු’ගේ පෙත්සම සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කරයි

(06.04.2023 – 13:08 +0530 – hirunews.lk/sinhala)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින ‘සලිදු මල්ෂික’ හෙවත් ‘කුඩු සලිඳු’ගේ ජිවිත ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සම සලකා බැලීම සඳහා ජුනි මස 21 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.

ඒ අදාළ පෙත්සම අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ අද (06) කැඳවූ අවස්ථාවේදීයි.

මැඩගස්කරයේදී අත්අඩංගුවට ගෙන මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින ‘කුඩු සලිඳු’ගේ ජීවිතයට දැඩි අවදානම් සහගත තත්ත්වයක් පවතින බවට පවසමින් නීතිඥවරයෙකු මාර්ගයෙන් මෙම පෙත්සම ගොනුකර තිබුණා.

ඒ අනුව, ඔහුගේ ජීවිතාරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගයක් නිකුත් කරන ලෙසයි මෙම පෙත්සමෙන් තවදුරටත් ඉල්ලා ඇත්තේ ෴


පිරවුම්හල් 40 ක ඉන්ධන අලෙවිය අත්හිටුවයි

(06.04.2023 – 15:09 +0530 – hirunews.lk/sinhala)

කිව්.ආර්. කේතයෙන් බැහැරව ඉන්ධන අලෙවිකළ පිරවුම්හල් 40 ක ඉන්ධන අලෙවිකිරීමේ කටයුතු අත්හිටවූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ තොග ගබඩා පර්යන්තයේ පාලනාධිකාරිය සහ නිලධාරින් සමඟ අද (06) උදෑසන පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමක දී මෙම තීරණයට එළැඹි බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

ඉදිරි සති 08 වෙනුවෙන් ඉන්ධන ආනයන සැලසුම, පිරිපහදු කටයුතු සහ උත්සව සමයේ ඉන්ධන අඛණ්ඩ බෙදාහැරීම් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කර තිබෙනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *