යුද හමුදා බිම්බෝම්බ ඉවත් කිරිමේ ප්‍රථම කාන්තා කණ්ඩායම මේ වන විටත් ක්‍රියාත්මකයි

යුද හමුදා බිම්බෝම්බ ඉවත් කිරිමේ ප්‍රථම කාන්තා කණ්ඩායම මේ වන විටත් ක්‍රියාත්මකයි


යුද හමුදා බිම්බෝම්බ ඉවත් කිරිමේ ප්‍රථම කාන්තා කණ්ඩායම මේ වන විටත් ක්‍රියාත්මකයි

(05.04.2023 – 13:58 +0530 – hirunews.lk/sinhala)

ලෝක බිම්බෝම්බ ඉවත් කිරීමේ දිනය අප්‍රේල් මස 04 වැනිදාට යෙදී තිබුණා.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු බළකා සෙබලුන් විසින් 2002 වර්ෂයේ ප්‍රථම වරට මානුෂීයවාදී බිම්බෝම්බ ඉවත් කිරීම ශ්‍රී ලංකාව තුළ ආරම්භ කෙරුණා.

2009 වර්ෂයේ මානුෂීය මෙහෙයුම අවසන් කිරීමෙන් පසුව ජන ජීවිතය යථා තත්ත්වයට පත්කිරීම වෙනුවෙන් උතුරු හා නැගෙනහිර ප්‍රදේශ තුළ බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු මේ වනවිටත් ක්‍රියාත්මකයි.

2027 වර්ෂය වනවිට ශ්‍රී ලංකාව බිම්බෝම්බවලින් තොර රටක් බවට පත්කිරිම එහි ප්‍රමුඛ අරමුණ වෙනවා.

ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව මනා පුහුණුවක් ලැබූ පිරිමි සෙබලුන් පමණක් මේ වනතෙක් එම මෙහෙයුම් සඳහා යොදවා ගැනුණත්, හමුදාපතිවරයාගේ මඟපෙන්වීම සහ උපදෙස් මත මනා පුහුණුවකින් සමන්විත කාන්තා සෙබළියන් කණ්ඩායමක්ද ඊට අනුයුත්ක කෙරුණා.

යුද හමුදාව නිවේදනයක කළේ එලෙස ස්ථාපිත කාන්තා සෙබළියන් කණ්ඩායම බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු මේ වනවිට සාර්ථකව ක්‍රියාත්මක කරන බවයි.

ඔවුන් මේ වනවිට උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල වර්ග මීටර් 5,139 ක භූමි ප්‍රදේශයක් නිසැක කර ඇති බවත් යුද හමුදාව පෙන්වා දෙනවා.

මීට අමතරව තවත් කාන්තා සෙබළියන් 40 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් බිම්බෝම්බ ඉවත් කිරීමේ මෙහෙයුම් සඳහා පුහුණු කෙරෙමින් පවතින බවයි යුද හමුදාව ප්‍රකාශ කළේ.

මේ අතර, ජාත්‍යන්තර බිම්බෝම්බ ඉවත්කිරීමේ දිනයට සමගාමීව උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල බිම්බෝම්බ ඉවත් කිරීමේ මෙහෙයුම් හි නිරත යුද හමුදා සෙබළුන් ඇතුළු පිරිස් ඇගයීමට ලක්කරමින් විශේෂ වැඩසටහනක් ඊයේ (04) පැවැත්වුණේ කිලිනොච්චිය මහ විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදියි.

+


හොරතොට අත්වැල් පාලම අබලන් වීමෙන් ප්‍රදේශවාසීන් දැඩි දුෂ්කරතාවයක

(05.04.2023 – 14:08 +0530 – hirunews.lk/sinhala)

හොරතොට අත්වැල් පාලම අබලන් වීම නිසා ප්‍රදේශවාසීන් දැඩි දුෂ්කරතාවයකට පත්ව සිටිනවා.

එම පාළම ඉදිකර ඇත්තේ හාලිඇල සහ ඌව පරණගම මැතිවරණ කොට්ඨාස යා කරමින් උමා ඔයට අඩි 80 ක් පමණ ඉහළින්.

ප්‍රදේශයේ ගම්මාන රැසක ජනතාව සිය ගමනාගමන අවශ්‍යතා සඳහා මෙම පාලම යොදාගන්නේ හාලිඇල ඇතුළු නගර කිහිපයකට යාම සඳහා ඇති කෙටිම මාර්ගය මේ හරහා වැටී තිබීම හේතුවෙන්.

වසර 70 ක ඉතිහාසයකට උරුමකම් කියන මෙම අත්වැල් පාලම වසර ගණනාවකින් නඩත්තුවකට ලක්නොවීමේ පසුබිම මත මේ වනවිට දැඩි ලෙස අබලන් වී ඇති බවයි වාර්තා වෙන්නේ.

දිරාගොස් ඇති පාලමේ ලෑලි මෙන්ම, එය රඳවා ඇති කේබල පද්ධතියද මේ වනවිට පවතින්නේ දැඩි අබලන් තත්ත්වයකයි.

වර්ෂා දිනවලදි ලෑලි දැඩි ලෙස ලිස්සා යාම හේතුවෙන් පාලම මතින් ගමන් ගැනීම දැඩි අවදානම් තත්ත්වයක් බවයි ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ.

ප්‍රදේශවාසීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ කඩිනමින් හොරතොට පාලම පිළිසකර කර ආරක්ෂිතව ගමන් කිරීමට හැකිවන පරිදි සකසා දෙන ලෙසයි.

+


නීතිවිරෝධීව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ ධීවරයින් 17 ක් අත්අඩංගුවට

(05.04.2023 – 14:29 +0530 – hirunews.lk/sinhala)

යාපනය නාගර් කෝවිල් සහ පුදුකුඩිඉරිප්පු මුහුදු ප්‍රදේශයේ දී නීතිවිරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ ධීවරයින් 17 දෙනෙකු යාත්‍රා 6 ක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නාවික හමුදාව ඊයේ (04) සිදුකළ වැටලීම්වලදී මෙම ධීවරයින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

අත්අඩංගුවට ගත් ධීවරයින් යාපනය සහ මන්නාරම ප්‍රදේශවල පදිංචිකරුවන් ෴


සාමුහික අභිලාෂ ගිවිසුම්වලට අත්සන් තබයි

(05.04.2023 – 14:34 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය ව්‍යාපාරවල කාර්ය සාධනය, පාලනය, වගවීම සහ විනිවිදභාවය ශක්තිමත් කිරීමේ අරමුණින් සාමුහික අභිලාෂ ගිවිසුම්වලට අත්සන් තැබීම ඊයේ (04) මුදල් අමාත්‍යාංශයේ දී සිදුකෙරුණා.

ජාතික ලොතරැයි මණ්ඩලය, සංවර්ධන ලොතරැයි මණ්ඩලය, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, හලාවත වැවිලි සමාගම සහ කුරුණෑගල වැවිලි සමාගම යන රාජ්‍ය ව්‍යාපාර සඳහා අදාළ ගිවිසුම් අත්සන් කර ඇති බව සඳහන්.

සාමුහික අභිලාෂ ප්‍රකාශය යනු රජයේ සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවට අනුකූලව එකඟවූ කාලසීමාව තුල රාජ්‍ය ව්‍යාපාරයන්හි මෙහෙයවූ මූල්‍ය හා සේවා සැපයීමේ කාර්ය සාධනය ඉහළ නැංවීමට අත්සන් කරනු ලබන ත්‍රෛපාර්ශවික ගිවිසුමක් වෙනවා ෴


මත්කරල් තොගයක් සමග කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට

(05.04.2023 – 14:36 +0530 – hirunews.lk/sinhala)

කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ කොස්තාපල්වරයෙකු මත්කරල් තොගයක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය ප්‍රකාශ කළේ ඔහු පොලිස් අභ්‍යාස විදුහලේ භෝජනාගාරයේ රාජකාරි කරන අයෙකු බවයි.

එම විද්‍යාලයේ භට නිවාස පරීක්ෂාවේදී සැකකරු සතුව තිබී මත්කරල් 56 ක් සොයා ගෙන තිබෙනවා ෴


මුදල් ඉල්ලා මුණුපුරෙකු විසින් තම මිත්තනිය සහ මුත්තා ඝාතනය වෙයි

(05.04.2023 – 15:12 +0530 – hirunews.lk/sinhala)

බදුල්ල – ඇල්ල බල්ලකෙටුව ප්‍රදේශයේ දී තරුණයකු විසින් තම මුත්තා සහ මිත්තණිය ඝාතනය වී තිබෙනවා. පොලිසිය සඳහන් කළේ, සැකකාර මුණුපුරා ප්‍රදේශය අතහැර පළාගිය බවයි.

70 හැවිරිදි වියේ පසුවූ මිත්තණිය සහ 80 හැවිරිදි වියේ පසුවූ මුත්තා මෙලෙස ඝාතනය කර ඇති අතර සැකකරු මත්වතුර වලට ඇබ්බැහි වූවෙකු බවට ද අනාවරණ වී තිබෙනවා. මුදල් ඉල්ලා නොදුන් නිසා මෙම ඝාතනය සිදු කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මේ අතර, කාන්තාවකගේ අත්පා ගැට ගසා පහරදී ඇය සතුව තිබූ මුදල් සහ රන් ආභරණ පැහැර ගැනීමේ සිද්ධියකට අදාළව සැකකරුවන් තුන්දෙනෙකු (3) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගල්කිස්ස ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයක සේවය කළ කාන්තාවකට මෙම පහරදීම සිදුකර මුදල් සහ රන් ආභරණ කොල්ලකා ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

පසුගිය 17 වනදා කාන්තාව සම්බාහන මධ්‍යස්ථානයේ රැදී සිටියදී මෙම සැකකරුවන් තිදෙනා (3) පැමිණ ඇය සතුව තිබූ රුපියල් 45,000 ක මුදල් සහ රන් භාණ්ඩ කොල්ලකා පලාගොස් තිබුණා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් රත්මලාන සහ මහනුවර ප්‍රදේශවල පදිංචිකරුවන් ෴


මධ්‍යම ඉන්දියාවේ චත්තිස්ගාර් ප්‍රාන්තය : මධුසමය දා හිටපු පෙම්වතාගෙන් ලැබුණු මිනීමරු තෑග්ග

(05.04.2023 – 15:30 +0530 – hirunews.lk/sinhala)

විවාහ මංගල තෑග්ග ලෙස ලැබුණු ‘හෝම් තියටර් පද්ධතිය’ පුපුරා යෑමෙන් මනාලයා සහ ඔහුගේ සහෝදරයෙකු ජීවිතක්ෂයට පත් වූ පුවතක් මධ්‍යම ඉන්දියාවේ චත්තිස්ගාර් ප්‍රාන්තයෙන් වාර්තා වනවා.

අලුත විවාහ පත් වූ අදාළ යුවලට මංගල තෑග්ගක් වශයෙන් ලැබුණු මෙම හෝම් තියටර් පද්ධතිය විදුලියට සම්බන්ධ කිරීමට යාමේදී සිදු වූ පිපිරීමකිනුයි අදාල මරණ වාර්තා වී ඇත්තේ.

තෑග්ග ලෙස ලැබුණු හෝම් තියටර් පද්ධතිය තුළට කිසියම් පුපුරන ද්‍රව්‍ය‍යක් ඇතුළත් කොට තිබූ බවට සැකයක් මතුව පවතිනවා.

ඔවුන්ට අදාල තෑග්ග ලබා දුන් බවට සඳහන් වන මනමාලියගේ හිටපු පෙම්වතා මේ වන විට පොලිසීය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර පොලීසිය පවසන්නේ තම පෙම්වතිය වෙනත් තරුණයකු හා විවාහ වීමෙන් ඇති වූ කෝපය අදාල සිද්ධියට හේතුවක් වූ බවයි.

මෙම අනතුරෙන් මාස 18 ක් වයසැති බිළිඳෙකු හා තවත් තිදෙනෙක් මියගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

එම මාධ්‍ය වාර්තාවන්ට අනුව පොලීසිය සඳහන් කොට ඇත්තේ, සැකකරු විසින් විවාහ පත් වූ අදාළ කාන්තාවට තම අනියම් බිරිඳ බවට පත් වන ලෙස ද බලපෑම් කොට ඇති බවයි ෴


ප්‍රතිත්‍රස්ත පනතට නීතීඥ සංගමයේ විරෝධය

(05.04.2023 – 17:52 +0530 – hirunews.lk/sinhala)

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පිළිබඳ පුළුල් සංවාදයක් සහ උපදේශනයක් සිදුකරන තුරු එය ඉදිරිපත් කිරීම කල්දමන ලෙස, ‘ශ්‍රී ලංකා නීතිඥ සංගමය’ රජයෙන් ඉල්ලීමක් කරනවා.

නිවේදනයක් නිකුත් කරමින් ‘ශ්‍රී ලංකා නීතිඥ සංගමය’ පවසන්නේ ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ගැසට් කර ඇත්තේ අදාළ පාර්ශ්වකරුවන් සමග ප්‍රමාණවත් උපදේශනයකින් තොරව බවයි.

ඒ අනුව පුළුල් සංවාදයක් සහ උපදේශනයක් සිදුකරන තුරු ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීම කල්දමන ලෙසයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය රජයෙන් ඉල්ලා සිටින්නේ.

සිය නිවේදනය මගින් ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ, පනත් කෙටුම්පතේ නිත්‍යානුකූලභාවය සහ එහි ප්‍රතිවිපාක සමාලෝචනය කිරීමට කමිටුවක් ද පත්කර ඇති බවයි.

මේ අතර ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සහ තවත් කරුණු සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව අදහස් පළ කළා.

+


වතුකරයට නව වෘත්තීය සමිතියක්

(05.04.2023 – 18:25 +0530 – hirunews.lk/sinhala)

වතුකරයේ ජනතාව විසින් නව වෘත්තීය සමිතියක් පිහිටුවා ගෙන තිබෙනවා.

එම වෘත්තීය සමිතිය නම් කර ඇත්තේ , ‘කඳුරට ජනතා බලය’ ලෙසින්.

එහි සමාරම්භක අවස්ථාව අද (05) දින හැටන් ප්‍රදේශයේ දී සිදු කෙරුණා.

වතුකරයේ ජනතාවගේ මෙතෙක් නොවිසඳුනු ගැටලුවලට විසඳුම් ලබා ගැනීමේ අරමුණින් මෙම නව වෘත්තීය සමිතිය පිහිටුවාගෙන ඇති බවයි වාර්තා වන්නේ ෴


රුපියල් මිලියන 92 ක හෂීස් සමග විදෙශිකයන් තුනක් (3) අත්අඩංගුවට

(05.04.2023 – 20:08 +0530 – hirunews.lk/sinhala)

තලෙයිමන්නාරමට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ දී මත්ද්‍රව්‍ය තොගයක් සමග විදේශිකයන් තිදෙනෙකු (3) නාවික හමුදාව විසින් අත්අඩංගුවට පත්වී තිබෙනවා.

එහි දී ඔවුන් සන්තකයේ තිබී හෂීස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 92 ක් ද අත් අඩංගුවට ගත් බවයි නාවික හමුදාව පවසන්නේ.

අදාල මත්ද්‍රව්‍ය තොගයේ වීදි වටිනාකම රුපියල් මිලියන 92 කට අධික බවයි තොරතුරු වාර්තා වන්නේ ෴


ගෙවුණු මාස තුනේ (3) උපයන විට බදු ආදයම රුපියල් මිලියන 25,000 පනී

(05.04.2023 – 22:22 +0530 – hirunews.lk/sinhala)

මේ වසරේ (2023) පළමු කාර්තුවේ දී පුද්ගල අත්තිකාරම් ආදායම් බදු හෙවත් උපයන විට බද්ද මගින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රුපියල් මිලියන 25,577 ක් උපයාගෙන තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කළේ, තම දෙපාර්තමේන්තුව මේ වසරේ ගෙවුණු මාස 03 තුළ ආදායම් රැස් කිරීමේ ක්‍රමික වර්ධනයක් අත්කරගෙන ඇති බවයි.

රටේ ඇති වූ ආර්ථික අර්බුදයත් සමග, එය යම් තරමකින් හෝ සමනය කර ගනිමින් රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීමේ අරමුණින් නව බදු ප්‍රතිපත්තියක් හඳුන්වා දීමට ආණ්ඩුව පියවර ගත්තා.

ඒ අනුව, මේ වසරේ ජනවාරි පළමු (01) වැනිදා සිට පුද්ගල අත්තිකාරම් බදු හෙවත් උපයන විට බදු අයකිරීමේ ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවුණා.

2023 වසර සඳහා සම්මත කළ අයවැය යෝජනාවේ දැක්වුණේ, මේ වසර තුළ උපයන විට බදු ආදායම රුපියල් බිලියන 100 ක් ලෙස රජය අපේක්ෂා කරන බවයි.

මේ වසරේ ජනවාරි මාසය තුළ පුද්ගල අත්තිකාරම් ආදායම් බදු ලෙස රැස් කරගෙන ඇති මුදල රුපියල් මිලියන 3,106 ක් ලෙසින් දැක්වුණා.

රුපියල් මිලියන 10,540 ක් ලෙසින් පෙබරවාරි මාසයේ දී වාර්තා වූ එම ආදායම ගෙවුණු මාර්තු මාසයේ දී සටහන් වුණේ බවත්, රුපියල් මිලියන 11,931 ක් ලෙසයි.

ඒ අනුව මේ වසරේ ගත වූ මාස 03 තුළ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රැස් කරගෙන ඇති උපයන විට බදු ආදායම රුපියල් මිලියන 25,577 ක් වනවා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *