හොර අත්සන් ගසා කටුගස්තොට ශා: ආන්තෝනියට සිසුන් අරන් – විමර්ශනයකුත් ඇරඹෙයි

හොර අත්සන් ගසා කටුගස්තොට ශා: ආන්තෝනියට සිසුන් අරන් – විමර්ශනයකුත් ඇරඹෙයි


හොර අත්සන් ගසා කටුගස්තොට ශා: ආන්තෝනියට සිසුන් අරන් – විමර්ශනයකුත් ඇරඹෙයි

(03.04.2023 – 06:43 +0530 – hirunews.lk/sinhala)

අධ්‍යාපන අතිරේක ලේකම්වරයාගේ අත්සන ව්‍යාජ අයුරින් යොදා ප්‍රධාන පෙලේ ජාතික පාසලකට සිසුන් ඇතුළත් කරගැනීමේ පුවතක් වාර්තා වනවා.

සති අන්තයේ නිකුත් වන ජාතික පුවත්පතක් වාර්තා කර ඇත්තේ මෙම කූඨ හා වංචනික ක්‍රියාව සිදුව ඇත්තේ මහනුවර ප්‍රධාන පෙලේ පාසලක් වන කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලයේ බවයි.

එමෙන්ම හොර අත්සන් යොදා ඇතුළත් කරගත් දරුවන් 17 දෙනාට අමතරව තවත් දරුවන් 180 දෙනෙකුත් චක්‍රලේඛයට පිටින් අරන් බවයි හෙළිව ඇත්තේ.

මේ බව සඳහන් කරමින් අධ්‍යාපන අතිරේක ලේකම් (ගුණාත්මක සංවර්ධනය හා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ) එච්.යූ. ප්‍රේමතිලකගේ පැමිණිල්ලෙන් පසුවයි මෙම සිදුවීම් සම්බන්ධයෙන් අධ්‍යාපන බලධාරින් විමර්ශන ආරම්භ කර ඇත්තේ.

මෙම විගණන පරීක්ෂණයේ දී තවදුරටත් අනාවරණය වී ඇත්තේ 2018-2021 වර්ෂවල දී 2, 3, 4, 7, 8 හා 9 ශ්‍රේණිවලට දරුවන් ඇතුළත් කරගෙන ඇත්තේ මෙලෙස ව්‍යාජ අත්සන් යොදා බවයි.

දරුවන් පාසලට ඇතුළත් කරගැනීමේ සෘජු ලිපි යොමුව තිබී ඇත්තේ ද විදුහල්පතිනිය වෙත බවටත් හෙළි ව තිබෙනවා.

එමෙන්ම දරුවන් ඇතුළත් කරගැනීම සඳහා අධ්‍යාපන අතිරේක ලේකම්වරයාගේ අත්සන ව්‍යාජව යොදා නිකුත් කළ ලිපි ශීර්ෂ ද අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල ලිපි ශීර්ෂ නොවන බවටත් අනාවරණය වී ඇති බවයි එම සති අන්ත පුවත්පත වාර්තා කර ඇත්තේ.

දරුවන්ගේ භාරකරුවන් ලෙස යොදා ඇති දෙමව්පියන්ගේ නාමයන් හා තනතුරු ද ව්‍යාජ ඒවා බවත් මෙම සිදුවීම සම්බන්ධයෙන් මේ වනවිට මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය ද විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් වාර්තා වනවා ෴


කොළඹටත් භූකම්පනමාන සවි කිරීමේ යෝජනාවක් – පැපුවානිව්ගිනියාවටත් භූකම්පනයක්

(03.04.2023 – 07:27 +0530 – hirunews.lk/sinhala)

බේරුවල මුහුදේ පසුගිය දා ඇති වූ භූ චලනය සමඟ කොළඹ සහ ඒ අවට ප්‍රදේශවල භූකම්පනමාන සවි කිරීමේ අවශ්‍යතාව ක්ෂේත්‍රයේ විද්වතුන් පෙන්වා දෙනවා.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූගර්භ විද්‍යාව පිළිබඳ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න සඳහන් කළේ, කොළඹ අවට ප්‍රදේශවල දත්ත වැඩි වශයෙන් ලබා ගත යුතු බැවින් එම ප්‍රදේශ ඉලක්ක කර භූකම්පනමාන සවි කළ යුතු බවයි.

පල්ලෙකැලේ, මහකනදරාව, බුද්ධංගල සහ හක්මන යන ප්‍රදේශවල දැනට භූකම්පනමාන සවිකර ඇති අතර, වික්රෝරියා වේල්ල ආශ්‍රීතවද භූකම්පනමාන කිහිපයක් සවි කිරීමටයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැනීම් කාර්යාංශය පසුගිය කාලයේ පියවර ගනු ලැබුවේ.

කෙසේ වෙතත් දිවයිනේ බටහිර කලාපයේ එවැනි භූකම්පනමාන සවිකර නැහැ. එවන් පසුබිමක මෙරට ප්‍රධාන වාණිජ නගරය වන කොළඹ ඇතුළු ඒ අවට ප්‍රදේශවල දත්ත ලබා ගැනීම කෙරෙහි ද අවධානය යොමු කළ යුතු බවයි මහාචාර්ය අතුළ සේනාරත්න පෙන්වා දෙන්නේ.

මෙරට වැඩිම පැරණි ගොඩනැගිලි පිහිටා ඇත්තේ කොළඹ මහ නගර සීමාවේ වන අතර භූ චලනයක් ඇතිවුවහොත් එම ගොඩනැගිලිවල ආරක්ෂාව සම්බන්ධයෙන් අප ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආසිරි කරුණාවර්ධනගෙන් විමසීමක් කළා.

ඔහු කියා සිටියේ, පැලීම් සහ අවදානම් සහිත ගොඩනැගිලි ඇත්නම් ඒ පිළිබඳ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුවත් කර රාජ්‍ය හා පෞද්ගලික ගොඩනැගිලි හිමිකරුවන්ට ඒවා පරික්ෂා කර ගැනීමේ හැකියාවක් පවතින බවයි.

මේ අතර පැපුවා නිව්ගිනියාවේ – අම්බුන්ටි ප්‍රදේශයට ආසන්න මුහුදේ රික්ටර් මාපකයේ 7.0 ක ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා.

කෙසේ වෙතත් මින් සුනාමි අවදානමක් නොමැති බවයි එරට බලධාරීන් මේ වනවිට ප්‍රකාශ කර ඇත්තේ.

පැපුවා නිව්ගිනියාවේ සිදු වූ මෙම භූ කම්පනයෙන් වූ වෙනත් හානි පිළිබඳ මෙතෙක් වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය සඳහන් කළා ෴


අලුත්ගමින් ඇල්ලූ චීන කල්ලිය හය (06) වනදා දක්වා රිමාන්ඩ්

(03.04.2023 – 07:28 +0530 – hirunews.lk/sinhala)

අන්තර්ජාලය ඔස්සේ, රුපියල් කෝටි 30 ක පමණ මූල්‍ය වංචාවක් සිදු කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් චීන ජාතිකයන් 39 දෙනා මේ මස 06 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ ඊයේ (02) ඔවුන් කළුතර මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

චීන තානාපති කාර්යාලය හරහා ලැබුණු පැමිණිල්ලකට අනුව අලුත්ගම – කළුවාමෝදර ප්‍රදේශයේ සංචාරක නිකේතනයක රැදී සිටිය දී මොවුන් අත්අඩංගුවට ගනු ලැබුවේ පෙරේදා දිනයේයි.

පසුගිය පෙබරවාරි මාසයේ දී සංචාරක වීසා මත මෙරටට පැමිණ ඇති අදාළ චීන ජාතිකයන් 39 දෙනා අතර කාන්තාවන් 5 දෙනෙකු සහ වයස අවුරුදු 6 ක කුඩා පිරිමි දරුවෙකුද සිටිනවා.

මොවුන් අන්තර්ජාලය ඔස්සේ විවිධ රටවල ජීවත් වන පුද්ගලයන්ගේ බැංකු ගිණුම්වලින් වංචනිකව රුපියල් කෝටි 30 ක පමණ මුදලක් වංචා කර ඇති බවට සැක මතුව තිබෙනවා.

පෙරේදා මෙම චීන ජාතිකයන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔවුන් සතුව තිබී ලැප්ටොප් පරිගණක 34 ක්, මිල අධික ජංගම දුරකතන 120 ක් මෙන්ම විදේශ මුදල් ඇතුළු මුදල් තොගයක් ද සොයා ගැනුනා.

+


වැඩි ගාස්තු අයකරන බස් අද (03) සිට අල්ලයි

(03.04.2023 – 12:04 +0530 – hirunews.lk/sinhala)

අඩු වූ බස් ගාස්තුව ප්‍රදර්ශනය නොකොට මගීන්ගෙන් වැඩිපුර ගාස්තු අය කරන බස් රථ පරීක්ෂා කිරීමේ වැඩසටහනක් බස්නාහිර පළාතේ මාර්ගවල අද (03) සිට ක්‍රියාත්මකයි.

බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ප්‍රසන්න සංජීව කියා සිටියේ බස් ගාස්තු ලේඛනය මගීන්ට පෙනෙන පරිදි ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය බවයි.

පසුගිය මස 29 වනදා ඉන්ධන මිල අඩු කිරීමත් සමඟ පසුගිය 31 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු සංශෝධනය කෙරුණා. පසුව එම සංශෝධිත ලේඛනය බස් හිමියන් වෙත ලබාදුන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් ෴


දිවයිනේ විවිධ ප්‍රදේශවල මත්ද්‍රව්‍ය වැටලීම් ඔස්සේ සැකකරුවන් අත්අඩංගුවට

(03.04.2023 – 13:54 +0530 – hirunews.lk/sinhala)

ගතවූ පැය 24 ක කාලය තුළ දිවයිනේ විවිධ ස්ථාන කිහිපයකින් සිදුකළ පොලිස් වැටලීම් වලදී මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු (3) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ග්‍රෑන්ඩ්පාස්, ෆර්ගියුෂන් මාවතේ පොලිසිය සිදුකළ වැටලීමක දී හෙරොයින් ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 175 ක් සන්තකයේ තබා සිටි වයස අවුරුදු 42 ක අයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තවද, එම පොලිස් වසමේ ම වදුලවත්ත ප්‍රදේශයේ දී හෙරොයින් ග්‍රෑම් 08 යි මිලිග්‍රෑම් 200 ක් සන්තකයේ තබා සිටි වයස අවුරුදු 50 ක් වන කාන්තාවක් ද එම වැටලීමේදී ම අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කරනවා.

එම සැකකරුවන් දෙදෙනාම (2) ග්‍රෑන්ඩ්පාස් පොලිසිය මඟින් මාලිගාවත්ත මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද (03) ඉදිරිපත් කිරීමට නියමිතයි.

එමෙන්ම, තලංගම කළල්ගොඩ ප්‍රදේශයේ දී අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු ද තලංගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගන්නා අවස්ථවේ දී ඔහු සන්තකයේ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 06 ක් තිබී ඇති අතර, සැකකරු අද (03) දින කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි ෴


තියුණු ආයුධයකින් පහර දී මිනිස් ඝාතනයක්

(03.04.2023 – 14:01 +0530 – hirunews.lk/sinhala)

මිනුවන්ගොඩ පත්තඬුවන ප්‍රදේශයේදී ඊයේ (02) දින පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙනවා.

මියගිය පුද්ගලයා එම ප්‍රදේශයේ ම පදිංචි වයස අවුරුදු 42 ක් වන පුද්ගලයෙක් බව පොලීසිය පවසනවා.

මරණකරු තාවකාලිකව පදිංචි වී සිටි නිවසේ හිමිකරු සමඟ ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් පසුව තියුණු ආයුධයකින් ගෙල ප්‍රදේශයට පහර දී ඇති බවත්, සැකකරුව මිනුවන්ගොඩ පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති තිබෙනවා ෴


කොළඹ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය තවදුරටත් රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරිත්වයට

(03.04.2023 – 14:17 +0530 – hirunews.lk/sinhala)

කොළඹ නගරය ආශ්‍රිත ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරීත්වය යටතේ තවදුරටත් තිරසර ලෙස පවත්වාගෙන යාමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශය පවසනවා.

ඒ සදහා රුපියල් බිලියන 2.12 ක වියදමක් වාර්ෂිකව දැරීමට සිදුවන බව එම ව්‍යාපෘතිය පිළිබඳ සොයා බැලීමට පත්කළ විශේෂඥ තාක්ෂණික කමිටු වාර්තාවේ සඳහන්.

ව්‍යාපාර ආකෘතියක් යටතේ මෙම ව්‍යාපෘතිය පවත්වාගෙන යාමෙන් රජයට යම් කිසි ලාභාංශයක් ලබාගත හැකි බව ද නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශය කියා සිටියා.

සාමන්‍යයෙන් දිනකට කොළඹ නගරයේ පමණක් කැලි කසල මෙට්‍රික් ටොන් 600 කට අධික ප්‍රමාණයක් එකරාශි වන අතර ඒවා කැළණිය ප්‍රදේශයට එකතුකර එතැන්සිට දුම්රිය මගින් අරුවක්කාලු ප්‍රදේශයට රැගෙන ගොස් සනීපාරක්ෂක ක්‍රමයට රඳවනු ලබනවා ෴


උතුරු මුහුදේ දී රුපියල් මිලියන 141 ක කේරළ ගංජා හසුවෙයි

(03.04.2023 – 14:47 +0530 – hirunews.lk/sinhala)

කේරළ ගංජා කිලෝග්‍රෑම් 428 කට අධික තොගයක් රැගත් ඩිංගි යාත්‍රාවක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (2) නාවික හමුදාව විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

ඒ, ඊයේ (02) රාත්‍රියේ කන්කසන්තුරය ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක දී යි.

එම කේරළ ගංජා තොගයේ දල වටිනාකම රුපියල් මිලියන 141 කට අධික බවයි විශ්වාස කෙරෙන්නේ.

නාවික හමුදා මාධ්‍ය අංශය පවසන්නේ අදාළ සිද්ධිය පිළිබඳ ඉදිරි නීතිමය කටයුතු කන්කසන්තුරය පොලීසිය විසින් සිදු කරන බවයි ෴


කෘමිනාශක සහ වල්නාශකවල මිල අඩු කෙරේ

(03.04.2023 – 16:52 +0530 – hirunews.lk/sinhala)

වල්නාශක සහ කෘමිනාශකවල සහ සමහර පළිබෝධනාශකවල මිල අඩු කර තිබෙනවා.

ඒ අනුව, වල්නාශක සහ කෘමිනාශකවල මිල 20% කින් සහ සමහර පළිබෝධනාශකවල මිල 40% කින් අඩු කිරීමට අදාළ සියලු සංවිධාන එකඟ වී ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසන්නේ ෴


සමෘද්ධි සහනාධාර අයදුම්පත්වල තොරතුරු සති කිහිපයකින් තහවුරු කර අවසන්

(03.04.2023 – 18:02 +0530 – hirunews.lk/sinhala)

සමෘද්ධි සහනාධාරය ලබා ගැනීම සඳහා ඉදිරිපත් වූ ලක්ෂ 30 ක අයදුම්පත් සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරන ලද තොරතුරු තහවුරු කිරීමේ කටයුතු සති කිහිපයක් තුළ අවසන් කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ සඳහන් කළා.

ඒ, අනුරාධපුරේ දී පැවති සාකච්ඡාවක් අතරතුර දීයී.

මෙම ව්‍යාපෘතිය සක්‍රීය කිරීම මගින් සමෘද්ධි සහනාධාර වැඩසටහන තුළ වූ විනිවිදභාවය සම්බන්ධවෙන් පවතින ගැටළු නිරාකරණය වන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ ෴


යෝජිත ත්‍රස්ත විරෝධී පනතට ජාත්‍යන්තරයේ විරෝධය

(03.04.2023 – 18:17 +0530 – hirunews.lk/sinhala)

යෝජිත නව ත්‍රස්ත විරෝධී පනතට එරෙහිව ‘ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය’ සිය නොසතුට පළ කර සිටිනවා.

එහි ජ්‍යේෂ්ඨ අධ්‍යක්ෂ ඩිප්‍රොස් මුචේනා ප්‍රමුඛ නියෝජිත පිරිස ඉකුත් 27 වැනි දා සිට අප්‍රේල් 02 වැනි දා දක්වා ශ්‍රී ලංකාවේ කළ සංචාරයකින් අනතුරුව ප්‍රකාශ කළේ, යෝජිත ත්‍රස්ත විරෝධී පනතක් ජාත්‍යන්තර මානව හිමිකම් නීතියට අනුකූල විය යුතු බවයි.

තමාගේ නිල සංචාරය තුළ මෙරට දී දැඩි ලෙස මානව හිමිකම් කඩ වූ පිරිස් හමු වූ අතර ඔවුන් මුහුණ දී ඇති තත්ත්වය සමග තමා කණගාටුවට පත්වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ඒ අතර ම ශ්‍රී ලාංකිකයන් ආර්ථික අර්බුදයක බලපෑම් අඛණ්ඩව විඳිමින් සිටින මොහොතක අත්‍යවශ්‍ය පොදු භාණ්ඩ හා සේවා සඳහා කප්පාදුවක් සිදු නොකළ යුතු බවත් පවසන ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය වැඩිදුරටත් සඳහන් කරන්නේ, මූල්‍ය සහනය ලබා දිමේ තීරණය සම්බන්ධ ඕනෑ ම ගිවිසුමක්, නියමයන් සහ කොන්දේසි පාරදෘශ්‍ය භාවයට ලක් කළ යුතු බවයි ෴


අන්තරේ විරෝධතාවයකට ජල ප්‍රහාරයක්

(03.04.2023 – 15:27 +0530 – hirunews.lk/sinhala)

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ පිරිසක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට ඇතුළු වීමට උත්සහ දැරීමත් සමඟ ඔවුන් විසුරුවා හැරීමට පොලිසිය මීට ටික වේලාවකට පෙර ජල ප්‍රහාරයක් එල්ලකළා.

ශිෂ්‍ය මර්ධනය මර්ධනය අත්හිටුවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමිනුයි ඔවුන් මෙම විරෝධතාව සංවිධානය කර ඇත්තේ.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *