අන්තර්ජාලය හරහා මුදල් වංචා කළ චීන්නු 39 ක් මාට්ටු

අන්තර්ජාලය හරහා මුදල් වංචා කළ චීන්නු 39 ක් මාට්ටු


අන්තර්ජාලය හරහා මුදල් වංචා කළ චීන්නු 39 ක් මාට්ටු

(01.04.2023 – 16:28 +0530 – lankadeepa.lk)

අලුත්ගම කලුවාමෝදර ප්‍රදේශයේ සංචාරක නිකේතනයක කුලී පදනම මත මාස කිහිපයක් තිස්සේ රැඳී සිට අන්තර්ජාලය ඔස්සේ විවිධ රටවල වාසය කරන පුද්ගලයන්ගේ ගිණුම්වලින් කෝටි ගණනක මුදල් වංචා කළ චීන ජාතිකයන් කණ්ඩායමක් සැකපිට අත්අඩංගුවට ගත් බව අලුත්ගම පොලිසිය කියයි.

තානාපති කාර්යාල හරහා ලැබුණු පැමිණිලි ඔස්සේ සිදු කළ විමර්ශනවලින් අනතුරුව අද (1) එම චීනජාතිකයන් රැඳී සිටි හෝටලයට පොලිස් කණ්ඩායම් කිහිපයක් පැමිණ ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් චීන ජාතිකයන් 39 දෙනා පෞද්ගලික බස් රථයකින් අලුත්ගම පොලිසිය වෙත රැගෙන ගිය අතර නඩු භාණ්ඩ ලෙස පරිගණක හා ඉතා ඉහළ මිල ගණන්වල ස්මාර්ට් ජංගම දුරකතන රැසක් හා මුදල් තොගයක් ද පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් අලුත්ගම පොලිසිය සහ බුද්ධි අංශ නිලධාරීන් පරීක්ෂණ සිදු කරයි ෴

++++++

මූල්‍ය වංචාවක් කර මෙරට සැඟව සිටි චීන ජාතිකයින් පිරිසක් අත්අඩංගුවට

(01.04.2023 – 18:30 +0530 – sinhala.adaderana.lk)

මිලියන 30 ක මුදලක් වංචාකර මෙරටට පළාවිත් සැඟව සිටි චීන ජාතිකයන් 28 දෙනකු සංචාරක හෝටලයක දී අත්අඩංගුවට ගෙන තිබේ.

එම සැකකරුවන් අතර චීන ජාතික කාන්තාවන් 5 දෙනකු ද සිටින බව අලුත්ගම පොලීසිය පවසයි.

ඔවුන් සන්තකයේ තිබී ලැප්ටොප් සහ වටිනා ජංගම දුරකථන ද පොලිස් භාරයට ගෙන ඇත.

මාස දෙකක (2) පමණ කාලයකදී චීනයේ දී අන්තර්ජාලය ඔස්සේ එම මුදල් වංචාව සිදුකර ඇති බවත් ජාත්‍යන්තර පොලීසිය කළ දැනුම්දීමක් අනුව සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවත් සඳහන් ය.

චීන තානාපති කාර්යාලයෙන් භාෂා පරිවර්තකයෙකු කැඳවා සැකකරුවන්ගෙන් සහ සැකකාරියන්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමට නියමිත බව අලුත්ගම පොලීසිය පවසයි ෴


නීතිඥවරුන්ට හා විනිසුරුවරුන්ට උසාවි එන්න ඕන විදිය ගැන ගැසට් පත්‍රයකින් දැනුම්දෙයි

(01.04.2023 – 18:37 +0530 – hirunews.lk/sinhala)

මෙරට අධිකරණ ක්‍රියාවලියේ නිරත වන විනිසුරුවරුන්ගේ සහ නීතිඥවරුන්ගේ ඇඳුම් පිළිබඳ ව වන නීති සංශෝධනය කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නව සංශෝධන ද ඇතුළත් ව ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ කාන්තා නීතිඥවරියකගේ ඇඳුමේ ස්වරූපය පහත දැක්වෙන කරුණුවලට අවධානය යොමු කරමින් සකසා ගත යුතු බවයි.

“කාන්තා නීතිඥවරියකට ඇඳිය හැක්කේ,

(අ) සාරි සහ ජැකට් සුදු, කළු, සුදු, අළු හෝ මුඩු හෝ

(ආ) සුදු බ්ලවුස් සහ කළු කබාය සහ සපත්තු සහිත කළු කලිසම්; හෝ

(ඇ) සුදු බ්ලවුස් සහිත කළු සායක් සහ කළු කබාය සහ සපත්තු

(ආ) උප-රීති (1) හි (ඇ) ඡේදයේ සඳහන් සායේ දිග වාඩි වී සිටින විට දණහිසට පහළින් වැටිය යුතුය.

(ඇ) උප-රීති (1) හි (ආ) සහ (ඇ) ඡේදවල සඳහන් කර ඇති බ්ලවුසය උස් බෙල්ලක් සහ දිගු අත් සහිත විය යුතුය” යනුවෙන් එම සංශෝධනයන් හි සඳහන්.

මීට අමතරව පිරිමි නීතිඥවරුන් සහ විනිසුරුවරුන්ට (2) (අ) උප-රීති (1) හි (ආ) ඡේදයේ සඳහන් කර ඇති පරිදි කලිසමේ දිග වළලුකර දක්වා විය යුතු බව ද ප්‍රධාන වශයෙන් සඳහන් කර තිබෙනවා.

මෙම සංශෝධන 2023 මාර්තු 30 දින නිකුත් කරන ලද අංක 2325/44 අතිවිශේෂ ගැසට් පත්‍රයට අනුව ඉදිරියට බලපැවැත්වෙනු ඇති ෴


පොලිස්පතිගේ මාස 3 ක සේවා දිගුවට ව්‍යවස්ථා සභාවේ අනුමැතිය

(01.04.2023 – 18:54 +0530 – hirunews.lk/sinhala)

පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නට මාස තුනක (3) සේවා දිගුවක් ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් කළ යෝජනාවට එහි අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ, කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් කතානායක නිල නිවසේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (01) රැස්වූ අවස්ථාවේදීයි.

පසුගිය මස 25 වනදා පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න විශ්‍රාම යෑමට නියමිතව තිබුණේ වයස අවුරුදු 60 සම්පූර්ණ වීම හේතුවෙන්. කෙසේ වෙතත්, පසුව පොලිස්පතිවරයාට මාස 03 ක සේවා දිගවක් ලබාදීමටයි පියවර ගැනුණේ.

අද (01) රැස්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේදී සීමා නිර්ණ කොමිෂන් සභාව ඇතුළු ස්වාධීන කොමිෂන් සභා සඳහා සාමාජිකයන් පත් කිරීම පිළිබඳව ද සාකච්ඡා වී ඇති බවයි වාර්තා වන්නේ.

පසුගියදා ස්වාධීන කොමිෂන් සභාවල සාමාජිකයන් ලෙස කටයුතු කිරීමට කැමැත්තක් දක්වන පුද්ගලයින්ට ඒ සඳහා අයදුම් කරන ලෙස දන්වමින් පුවත්පත් දැන්වීම් පළ කෙරුණා ෴

සංශෝධිත ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත් කෙටුම්පත මේ මාසය ඇතුළත පාර්ලිමේන්තුවට ගෙන එන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසනවා.

මහනුවර අද (01) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

+


පෙර පාසල් වියේ සිටම ප්‍රජනන අධ්‍යාපනය ලබාදීමට සැලසුමක්

(01.04.2023 – 19:29 +0530 – hirunews.lk/sinhala)

පෙර පාසල් අවධියේ සිටම ප්‍රජනන සෞඛ්‍ය පිළිබඳ ඉගැන්වීම් දරුවන්ට ලබාදීමට විශේෂ කමිටුවක් පත් කරන ලෙස උපදෙස් ලබාදුන් බව ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපතිනි, පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණී කුමාරි විජේරත්න පවසනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශය හා අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ඇති ආයතන, ජාතික ළමා රක්ෂණ අධිකාරිය, පරිවාස හා ළමා රක්ෂණ සේවා දෙපාර්තමේන්තුව යන ආයතනවල නියෝජිතයන් ද මෙම කමිටුවට ඇතුළත් වන පරිදි පිහිටුවන ලෙසයි එහිදී උපදෙස් ලබාදී ඇත්තේ.

අදාළ සම්බන්ධීකරණ කටයුතු පිළිබඳ වගකීම අධ්‍යාපන අමාත්‍යාංශය වෙත පවරා තිබෙනවා ෴


නීතිය හා සාමය රකින්න ජනපතිගෙන් පොරොන්දුවක්

(01.04.2023 – 19:33 +0530 – hirunews.lk/sinhala)

තමන් ජනාධිපති ධුරයේ සිටින තුරු නීතිය හා සාමය කඩ වන ආකාරයෙන් කටයුතු කිරීමට ඉඩ ලබා නොදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ අද (01) අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේදී ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය අමතමින් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්.

+


බිත්තර පාලන මිල ඉවත් කරන්නැයි කුකුළු ව්‍යාපාරිකයින් ඉල්ලයි

(01.04.2023 – 19:39 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාවෙන් ආනයනය කළ තවත් බිත්තර ලක්ෂ 10 ක තොගයක් කොළඹ වරායට ළඟා වී තිබෙනවා.

රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර කියා සිටියේ ඒ සඳහා ද සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබාගැනීමට නියමිතව ඇති බවයි.

කෙසේ වෙතත්, බිත්තර වෙළඳුන් පෙන්වා දෙන්නේ තවදුරටත් වෙළඳපොලේ බිත්තර හිඟයක් පවතින බවයි.

බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් දක්වමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය හේතුවෙන් මේ වනවිට බිත්තර වෙළඳාම සිදු නොකරන බව ද ඇතැම් වෙළඳුන් ප්‍රකාශ කළා.

සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමයේ ජ්‍යෙෂ්ඨ උපදේශක මාතලී ජයසේකර අද (01) පැවති මාධ්‍ය හමුවකදී බිත්තර වෙළඳපොලේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් කියා සිටියේ උපරිම සිල්ලර මිල ඉවත් කිරීමෙන් බිත්තර හිඟය වලක්වා ගත හැකි බවයි.

දැනට සුදු බිත්තරයක් සඳහා රුපියල් 44 කද, රතු බිත්තරයක් සඳහා රුපියල් 46 ක ද උපරිම සිල්ලර මිලක් නියම කර තිබෙනවා.

+


රට ගිය ඇදුරෝ 122 ක් රුපියල් කෝටි 24 ක් පොලු තියලා

(01.04.2023 – 14:51 +0530 – lankadeepa.lk)

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් එකසිය විසි දෙදෙනකු (120) එම විශ්ව විද්‍යාලයට රුපියල් කෝටි 24 ක පමණ මුදලක් (2022 දෙසැම්බර් 31 වනවිට) ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

අධ්‍යයන කටයුතු සඳහා විදේශ ගතවීමේදී එළැඹි ගිවිසුම් කඩකිරීම හේතුවෙන් ඔවුන්ගෙන් මෙම මුදල අයවිය යුතු බවද එම වාර්තාවේ දැක්වේ.

අධ්‍යන කටයුතු සඳහා විදේශ ගතවීමේදී එළැඹි ගිවිසුම් කඩ කිරීමේ තත්වය ඉදිරියේදී වැළැක්වෙන ආකාරයෙන් කටයුතු කළ යුතු බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) එම විශ්වවිද්‍යාල බලධාරීන්ට පසුගියදා නිර්දේශ කළේය.

මේ තත්වය මේ දක්වාම නිවැරදිවී නැතැයිද විගණන වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ

මේ අතර විශ්ව විද්‍යාලයේ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ නිලධාරීන් පනස් නව දෙනකු (59) සඳහා අන්තර් පර්යේෂණ වාර්තාවක් හෝ අවසාන පර්යේෂණ වාර්තාවක් හෝ ගැනීමකින් තොරව පර්යේෂණ දීමනා ලෙස රුපියල් අට කෝටි තිස් හත් ලක්ෂයක (8,37,00,000) මුදලක් ගෙවා ඇතැයි එම විගණන කාර්යාලය පවසයි.

පර්යේෂණ කළමනාකරණ කමිටු අනුමැතියකින් තොරවඑම පිරිසට මෙම පර්යේෂණ දීමනා ගෙවා ඇතැයි පැවසෙන්නේ 2014 වර්ෂයේ නොවැම්බර් 01 වැනිදා සිට 2022 වර්ෂයේ අගෝස්තු 31 වැනිදා දක්වා කාලයේදීය ෴


අවදානමක් අරගෙන වැඩිම වාහන ප්‍රමාණයක් ලංකාවට ගෙනාවේ Overland ආයතනනය (01.04.2023)

++++++

Ministry of Labour and Foreign Employment Circular No: 02/2022
Scheme for granting permits licenses to import fully electric vehicles for Sri Lankans employed abroad

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *