පැල්මඩුල්ල නිවසේදී අභිරහස් ලෙස මියගිය නීතීඥ දුෂ්මන්ති

පැල්මඩුල්ල නිවසේදී අභිරහස් ලෙස මියගිය නීතීඥ දුෂ්මන්ති


පැල්මඩුල්ල නිවසේදී අභිරහස් ලෙස මියගිය නීතීඥ දුෂ්මන්ති

(01.04.2023 – gossiplankanews.com)

රත්නපුර පැල්මඩුල්ල ප්‍රදේශයේ අභිරහස් ලෙස මියගොස් සිටි නීතිඥවරියකගේ සිරුර ඇය පදිංචිව සිටි නිවසේ නිදන කාමරයේ තිබී හමුවී තිබේ.

මෙලෙස මියගොස් තිබුනේ නීතිඥ දුෂ්මන්ති අබේරත්න (40) නමැති විවාහක නීතීඥවරියයි. ඇයගේ මරණය සිදුව ඇති බව මුලින්ම දැනගන්නට ලැබ ඇත්තේ ඇයගේ නිවස පිරිසිඳු කිරීමට හා රැක බලාගැනීමේ කටයුතු සඳහා බාහිර සිට දිනපතා පැමිණෙන මෙහෙකාර කාන්තාවකටය. මෙම මෙහෙකාර කාන්තාව 31 දින උදේ නිවසට පැමිණ බලද්දී ඉදිරිපස දොර අගුලු නොදමා තිබී ඇති අතර වෙනදාටත් ඇය එද්දී එලෙස පවතින නිසා සැකයක් නැතිව ඇතුළට ඇවිත් වැඩ කරගෙන යද්දී කාමරයේ නීතීඥ නෝනා දිගටම නිදාසිටින බව තේරුම් යාමෙන් ඇය අසළට ගොස් පරීක්ෂා කර තිබේ. එම අවස්ථාවේ සිරුර සීතලව ඇති බව දැක ඇය බියට පත්ව අසල්වාසීන් කැඳවා ඇත.

පසුව පොලිසිය ද පැමිණ ඇගේ මරණය පිලිබඳ විමර්ශන අරඹා තිබුණි.

මෙම නීතීඥ මහත්මිය සේවය කරමින් සිටියේ පැල්මඩුල්ල සහ රත්නපුර මහෙස්ත්‍රාත් අධිකරණවලය. කෙසේ වෙතත් ඇයගේ සැමියා සම්බන්ධ විස්තර පැහැදිලි නැත. පොලිසිය දැනට ලබාදී ඇති තොරතුරු අනුව සිද්ධිය සිදුවූ දිනයේ සැමියා බුලත්වැල්ගොඩ නිවසේ සිටියේ නැතැයි පොලිසියට ඔහු පවසා ඇති බව වාර්තා කර තිබේ. නිවසේ ඔහු වාසය කරන්නේද නැද්ද යන්න ගැන තහවුරු කර නැත.
මරණය සිද්ධවූ ආකාරය ගැන තොරතුරුද තවම පොලිසිය කරුණු විස්තර කර නැත.

මියගිය කාන්තාව මියයන්නට පෙර දිනයේ රාත්‍රි ඥාතියෙකුට යැවූ ‘එස්එම්එස්’ පණිවිඩයක ඇයට කළ පහරදීමක් ගැන තොරතුරු සටහන් වන බව පොලිසිය පවසා ඇති අතර ඒ ඔස්සේ පරීක්ෂණ පවත්වන බව පමණක් දැනට අනාවරණය කර තිබේ. පණිවිඩය අනුව එකී පහරදීම කළේ කවුදැයි පොලිසිය අනාවරණය කර නැත. ඇගේ මරණයට මෙම පහරදීමේ සිදුවීම සම්බන්ධයක් ඇතැයි අනුමාන කෙරේ.

නීතිඥ දුෂ්මන්ති අබේරත්න (40) මහත්මියගේ සිරුර ඇය නිදන කාමරයේ නිදන ඇඳ මත ඊයේ (31) උදෑසන තිබියදී පැල්මඩුල්ල මහෙස්ත්‍රාත්වරයා නීතිඥවරියගේ නිවෙසට පැමිණ ස්ථානීය පරීක්ෂණය සිදු කළේය. එහිදී මෙහෙකාර කත හා ප්‍රදේශවාසී කාන්තාවක් මහෙස්ත්‍රාත්වරයා ඉදිරියේ ප්‍රකාශයක් ලබා දී ඇත. සිරුර ඊයේ (31) දහවල් අධිකරණ වෙද්‍ය පරීක්ෂණය සඳහා කහවත්ත මූලික රෝහලට රැගෙන එනු ලැබූ අතර එහිදී ලැබෙන නිගමනය අනුව ඉදිරි පරීක්ෂණ සිදු කරන බව පැල්මඩුල්ල පොලිසිය පවසයි.

++++++

(01.04.2023 – 07:53 +0530 – hirunews.lk/sinhala)

පැල්මඩුල්ල – බුලත්වැල්ගොඩ ප්‍රදේශයේ නිවසක අභිරහස් ලෙස මියගොස් සිටිය දී සොයාගැනුනු නිතීඥවරියගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයේ දී විවෘත තීන්දුවක් ලබා දී තිබෙනවා.

ඒ අනුව වැඩිදුර පරීක්ෂණ සඳහා සිරුරු කොටස් රජයේ රස පරික්ෂකවරයා වෙත යොමු කිරීමට පියවර ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

40 හැවිරිදි අදාළ නිතීඥවරියගේ සිරුර නිදන කාමරයේ ඇඳ මත තිබී සොයා ගැනුනේ, ඊයේ (31) උදෑසන වන අතර එදින රාත්‍රියේ ඇයගේ සැමියා ප්‍රදේශයේ පැවති ආගමික කටයුත්තකට සහභාගී වී සිට ඇති බව හෙළිව තිබෙනවා ෴


පොල් අස්වනු රැකගන්න ගොවීන්ට තුවක්කු දෙන්න සාකච්ඡා

(01.04.2023 – 07:30 +0530 – hirunews.lk/sinhala)

වන සතුන්ගෙන් සිදුවන අස්වනු හානි වළක්වා ගැනීම සදහා ඉදිරියේදී ගොවීන්ට තුවක්කු ලබාදීම සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා පවත්වන බව පොල් වගාකිරිමේ මණ්ඩලයේ සහාපතිනි මාධවී හේරත් පවසනවා.

මහනුවර පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය කියා සිටියේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන ආකාරයට සහ වෙනත් කොල්ලකෑම් ආදිය සඳහා භාවිත නොකරෙන පරිදි ගොවීන්ට තුවක්කු ලබාදීමට අදාළ ආයතන සමග සාකච්ඡා කරමින් සිටින බවයි ෴


රුධිරගත සීනී පරීක්ෂා කරන ප්‍රතික්‍රියක කට්ටල හිඟයෙන් රෝගීන් අපහසුතාවක

(01.04.2023 – 07:40 +0530 – hirunews.lk/sinhala)

රජයේ රෝහල් තුළ රුධිරගත සීනී ප්‍රමාණය පරික්ෂා කිරීමට භාවිත කරන ප්‍රතික්‍රියක කට්ටල හිඟවීම හේතුවෙන්, වෛද්‍යවරුන් විවිධ වෙළද සන්නාම යටතේ ඒවා බාහිරින් මිලදී ගෙන එන ලෙස පැවසීමෙන් රෝගීන් දැඩි දුෂ්කරතාවකට පත්ව සිටින බව වාර්තා වනවා.

රෝහල් ගතව ප්‍රතිකාර ලබන ඇතැම් රෝගීන්ගේ රුධිර ගත සීනී ප්‍රමාණය පරික්ෂා කිරීම සඳහා අදාළ ප්‍රතික්‍රියක යොදා ගැනීම සිදු කෙරෙනවා.

එහෙත් මේ වන විට උද්ගතව ඇති ඖෂධ හා වෛද්‍ය උපකරණ හිඟය හමුවේ රෝහල් තුළ එම ප්‍රතික්‍රියක නොමැති තත්වයක් පවතින බැවින් රෝගීන්ට අවශ්‍ය ප්‍රතික්‍රියක කට්ටල සොයා විවිධ පිරිස් අධික මුදලක් වැයකරමින් බෙහෝ දුර බැහැර ගමන් කරන බව ශ්‍රී ලංකා ඖෂධ වෙළඳ සංගමයේ සභාපති ඖෂධවේදී කපිල ද සොයිසා සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් කියා සිටියේ, අදාළ ප්‍රතික්‍රියක භාවිත කරමින් රුධිරගත සීනි මට්ටම පරික්ෂා කිරීමෙන් රසායනාගාර පරීක්ෂාවකට වඩා වැඩි මුදලක් වැයවන බවයි.

ඒ හේතුවෙන් රෝගීන්ට ද සහනයක් සලසා දෙමින් රෝහල් තුළ රසායනාගාර පරික්ෂාවන් හරහා රුධිරගත සීනි මට්ටම පරික්ෂා කිරීමට ක්‍රමවේදයක් සැකසිය යුතු බවයි ෴


නුගේගොඩදී අත්අඩංගුවට ගත් අරගල ක්‍රියාකාරී 3 කට පොලිස් ඇප

(01.04.2023 – 07:48 +0530 – hirunews.lk/sinhala)

නුගේගොඩ – ජුබිලි කණුව ආසන්නයේ දී අත්අඩංගුවට ගත් අරගලයේ හිටපු ක්‍රියාකාරීන් තුන්දෙනෙකු (3) පොලිස් ඇප මත මුදාහැර තිබෙනවා.

ඊයේ (31) පස්වරුවේ මොවුන් ඇතුළු පිරිසක් විරෝධතාවක් සංවිධාන කර තිබුණේ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ මිරිහානේ පිහිටි පෞද්ගලික් නිවස ඉදිරිපිට පසුගිය වසරේ මාර්තු 31 වනදා සිදු කළ විරෝධතාවයට වසරක් සම්පූර්ණ විම නිමිත්තෙන්.

කෙසේ වෙතත් එම විරෝධතාවය ආරම්භ කිරීම සඳහා පිරිසක් එම ස්ථානයට පැමිණීමත් සමඟ පොලිසිය සහ විරෝධතාකරුවන් අතර යම් උණුසුම් තත්වයක් හටගත්තා.

එහි දී අරගලයේ හිටපු ක්‍රියාකාරීන් වූ ‘ධානීෂ් අලී’ සහ ‘අනුරුද්ධ බණ්ඩාර’ ඇතුළු තුන්දෙනෙකු (3) අත්අඩංගුවට ගෙන මිරිහාන පොලිසිය වෙත රැගෙන යාමේන් පසුව පොලිස් ඇප මත මුදා හැර තිබුණා ෴


වෛද්‍යවරු 700 ක් ගිය වසරේ රට හැර ගිහින්

(01.04.2023 – 07:53 +0530 – hirunews.lk/sinhala)

වෛද්‍ය, ඉංජිනේරු සහ ගණකාධිකාරි යන ක්ෂේත්‍රවල වෘත්තිකයන්ගෙන් අයකෙරෙන බදු සම්බන්ධයෙන් රජය කඩිනම් පියවරක් ගත යුතු බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා.

අනුරාධපුරයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ, වෘත්තිකයින් රට හැරයාම වලක්වා ගැනීමට රජය සාධනීය මැදිහත් වීමක් සිදු කළ යුතු බවයි.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනෙකු (2) විදේශ ගතවීම හේතුවෙන් ළමා වාට්ටුවක් වසා දැමීමේ පුවතක් ‘හිරු ප්‍රවෘත්ති’ ඔස්සේ පෙරේදා (30) අනාවරණ කළා.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේ, පසුගිය වසර තුළ පමණක් වෛද්‍යවරුන් 700 කට අධික පිරිසක් රට හැර ගොස් ඇති බවයි.

එවන් තත්වයක් හමුවේ වර්තමානය වන විටත් විදෙස් නිවාඩු අයදුම් කරමින් මාසයකට අයදුම් පත් 50 ක් පමණ සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලැබෙන බව එම අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු කියා සිටියා.

වෛද්‍යවරුන් මෙලෙස තවදුරටත් විදේශ ගත වුවහොත් ඉදිරි කාලය තුළ සෞඛ්‍ය සේවය අර්බුදයකට ලක් විය හැකි බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් රට හැර ගිය වෛද්‍යවරුන් බහුතරය සමාජ මාධ්‍ය ඔස්සේ පසුගිය කාලයේ ආණ්ඩු වෙනස් කිරීමට විවිධ ප්‍රචාරයන් දියත් කළ පිරිස් බවයි හිටපු සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන සඳහන් කළේ ෴


සම්මානනීය ජ්‍යෙෂ්ඨ චිත්‍රපට සහ ටෙලිනාට්‍ය රංගන ශිල්පී අමරසිරි කලංසූරිය අභාවප්‍රාප්ත වෙයි

(01.04.2023 – 08:46 +0530 – hirunews.lk/sinhala)

සම්මානිත ප්‍රවීන සිනමා සහ ටෙලිනාට්‍ය නළු අමරසිරි කලංසූරිය මිය ගිය බව ඔහුගේ පවුලේ ආරංචි මාර්ග තහවුරු කළා.

1940 වසරේ සැප්තැම්බර් 20 වැනි දින උපත ලැබූ ඔහු අද (01) උදෑසන ජාඇළ පිහිටි සිය නිවසේ දී මිය යන විට 82 වැනි වියෙහි පසු වුණා.

1969 වසරේ “රැයක් දවාලත්” චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි ඔහු සිංහල සිනමාවේ පෙම්වතාගේ චරිතයට නව අර්ථකථයක් එක් කළ නළුවායි.

සුගතපාල සෙනරත් යාපා අධ්‍යක්ෂණය කළ “හන්තානෙ කතාව”, ධර්මසේන පතිරාජයන්ගේ “අහස් ගව්ව” සහ “බඹරු ඇවිත්” යන චිත්‍රපටවල ඔහු විසින් ප්‍රකට කරන ලද රංගනය එතෙක් සිනමාව තුළ ‘නළුවා’ යන්න වටා ගොඩ නැගී තිබූ සීමාව පුළුල් කරන්නක් වුණා.

ඊට අමතරව “අක්කර පහ”, “නිම් වළල්ල” වැනි චිත්‍රපටවලින් ද ඔහුගේ රංගන දක්ෂතා විෂද කෙරුණු අතර “බඹරු ඇවිත්” හි සනත්, “පොඩි මල්ලි” හි බර්ටි, “අනූපමා” හි රජී අයියා, “අපේක්ෂා” හි නිමල්, “පරිත්‍යාගය” හි ධානප්‍රේම, “සිංහබාහු” හි සිංහබාහු, “යස ඉසුරු” හි සුරංග, “පෙම් රජ දහන” හි සාජන්ට් ජයතිලක සහ “වජිරා” හි නිමල් වැනි චරිත ඔහුව සිංහල සිනමා රසික හදවත් තුළ අමරණීය කරවූ චරිතයි.

මේ අතර ධර්මසිරි ගමගේ ගේ “පූජා” චිත්‍රපටයේ දී අළුගෝසුවා ලෙස රඟ පෑ ජෝ අබේවික්‍රමගේ පුත්‍රයාගේ චරිතය රඟපාමින් අමරසිරි කලංසූරිය විසින් නිරූපණය කළ අනුවේදනීය චරිතය ද සිංහල සිනමාවේ නොමැකෙන චරිතයක් වී හමාරයි.

සිංහල සිනමාවේ පමණක් නොව මෙරට පළමු ටෙලිනාට්‍ය වූ “දිමුතු මුතු” හි ජයසේනගේ චරිතය නිරූපණය කළ අමරසිරි කලංසූරිය ඉතිහාසයට එක් වන්නේ මෙරට ප්‍රථම ටෙලි නාට්‍ය නළුවා ලෙසයි.

දීපශිකා, සරසවි, ජනාධිපති, ස්වර්ණ සංඛ සහ සිග්නීස් සම්මානලාභියෙකු වූ මෙම රංගධරයා 2004 වසරේ දී සිග්නීස් සම්මාන උළෙලේ යාවජීව ගෞරව සම්මානයට පාත්‍ර වූයේ ඔහු සිංහල සිනමාව තුළ ලකුණු කළ නොමැකෙන ලක්ෂයන් ආලෝකමත් කරමින්.

සිහල සිනමාව තුළ එතෙක් සිට පෙම්වතා, හිතුවක්කාරයෙකු බවට පෙරලූ මෙම අසහාය රංගන ශිල්පියාට ‘හිරු නිවුස්’ අපි අහස් ගව්වට ම පිය මැන යන්නට ප්‍රාර්ථනා කරමු.

+++++++

+


මාතලේ පුරාවිද්‍යා ස්ථාන සංචාරක කලාපයක් කිරිමට සැළසුම්

(01.04.2023 – 09:47 +0530 – hirunews.lk/sinhala)

මාතලේ අළු විහාරය සහ තල්ගහගොඩ රජමහා විහාරස්ථානය ආශ්‍රිත ප්‍රදේශය පුරාවිද්‍යා වටිනාකමක් ඇති ස්ථාන ඉදිරියේදී සංචාරක කළාපයක් බවට පත් කිරීමට කටයුතු කරන බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග පවසනවා.

ඔහු කියා සිටියේ ඉදිරි වසර කිහිපය තුළ මාතලේ දිස්ත්‍රික්කය පුරා ඇති පුරාවිද්‍යා ස්ථාන සියල්ලක් ම සංචාරක කලාපයක් බවට පත් කිරිමට මේ වනවිටත් කටයුතු කරමින් ඇති බවයි ෴


ආනයනික අත්‍යවශ්‍ය භාණ්ඩ තුනක මිල අඩුවෙයි

(01.04.2023 – 09:53 +0530 – hirunews.lk/sinhala)

ආනයනික අත්‍යවශ්‍ය භාණ්ඩ තුනක (3) මිල පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව සුදු සීනි, පරිප්පු සහ තිරිඟු පිටිවල මිල අඩුවී ඇති බවයි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

රුපියල් 220 ක්ව පැවති සුදු සීනි කිලෝවක මිල රුපියල් 200 ක් වන අතර,

රුපියල් 340 ට පැවති පරිප්පු කිලෝවක මිල මේ වනවිට සටහන් වන්නේ රුපියල් 310 ක් ලෙසයි.

එමෙන් ම රුපියල් 230 ක් ව පැවති ආනයනික තිරිඟු පිටි කිලෝවක මිල මේ වනවිට දැක්වෙන්නේ රුපියල් 210 ක් ලෙස එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න කියා සිටියේ ෴


2023 අලුත් සහල් මංගල්‍යයේ සම්ප්‍රදායික වතාවත් ජයශ්‍රී මහාබෝධීන් වහන්සේ අභියසින් ඇරඹේ

(01.04.2023 – 10:38 +0530 – hirunews.lk/sinhala)

2023 අලුත් සහල් මංගල්‍යයේ සම්ප්‍රදායික වතාවත් ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේ අභියසින් අද (01) ආරම්භ වුණා.

ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේගේ සතර වාහල්කඩදී සමාරම්භක කිරි ආහාර පූජාව සිදු කරනු ලැබුවේ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර විසින්.

අනතුරුව අමාත්‍යවරයා අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ද බැහැදුටු බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සදහන් කළේ.

මහ කන්නයේ අස්වැන්න ජයශ්‍රී මහා බෝධීන් වහන්සේට පූජා කිරීමේ, අලුත් සහල් මංගල්‍යය හෙට (02) ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි ෴


‘හරක් කටා’ගේ ඥාති පුත්‍රයෙකු හෙරොයින් සමඟ අත්අඩංගුවට

(01.04.2023 – 11:27 +0530 – hirunews.lk/sinhala)

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘හරක් කටා’ගේ ඥාති පුත්‍රයෙකු හෙරොයින් සමඟ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (31) පස්වරුවේ මිදිගම – දිවුල්ගස්හන්දිය ප්‍රදේශයේ සිදුකළ වැටලීමක දී 20 හැවිරිදි එම සැකකරු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන ඇත්තේ.

එහිදී සැකකරු සතුව තිබූ හෙරොයින් ග්‍රෑම් 15 ක් සහ ජංගම දුරකථනයක් පොලිස් විශේෂ කාර්ය බලකා භාරයට ගෙන තිබෙනවා ෴


අලි එළවන්න වනජීවිය හමුදා සහාය ඉල්ලයි

(01.04.2023 – 13:08 +0530 – hirunews.lk/sinhala)

වනඅලි පලවා හැරීමේ මෙහෙයුම් සදහා වන අඩවි සහ බීට්ටු කාර්යාල වෙත හමුදා නිලධාරින්ගේ කණ්ඩායමක් අනුයුක්ත කරන ලෙසට වනජිවි සංරක්ෂණ නිලධාරින්ගේ සහ අඩවි සහකාර වෘත්තීකයින්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කරනවා.

වනජීවි නිලධාරින්ගේ හිඟයට පිළියමක් ලෙස මෙය ක්‍රියාත්මක කළ යුතු බවයි එම සංගමයේ සභාපති කුමාරසිරි විජේකෝන් කියා සිටියේ.

පසුගිය 27 වනදා රාත්‍රීයේ දී රිටිගල – පඩිකාරමඩුව ප්‍රදේශයේදී ගම්වැදුණු වන අලි රංචුවක් පලවා හැරීමට සිදුකළ මෙහෙයුමක දී වනජීවි දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු වන අලි ප්‍රහාරයට ලක්ව ජිවිතක්ෂයට පත්වුණා.

ගත වූ වසර 10 තුළ රාජකාරි මෙහෙයුම්වල නිරතව සිටියදී වනජිවි නිලධාරින් 12 දෙනෙකු මියගොස් ඇති අතර, ඉන් 9 දෙනෙකුම ජිවිතක්ෂයට පත්ව ඇත්තේ වනඅලි පහරදීම හේතුවෙන්.

නිලධාරීන් දෙදෙනෙකු දඩයක්කරුවන් සිදුකළ වෙඩි තැබීම් වලින් මියගොස් ඇති අතර, එක් නිලධාරියෙකු රාජකාරි අතරතුර රිය අනතුරකට ලක්වීමෙන් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

මේ අතර වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කිතුල්කොටේ ප්‍රදේශවාසීන් වන අලි තර්ජන හේතුවෙන් දැඩි පීඩාවට පත්ව සිටිනවා.

ප්‍රදේශය හරහා විදුලි වැටක් සවිකර ඇතත් එය නිසි ආකාරයට නඩත්තු නොකිරීම හේතුවෙන් වන අලි, සිය වගා සහ නිවාස විනාශ කරන බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ ෴


කැළණි ගඟේ දිය නෑමට ගිය අයෙක් අතුරුදහන්

(01.04.2023 – 13:12 +0530 – hirunews.lk/sinhala)

මාපිටිගම පාළම අසල කැළණි ගඟේ ඊයේ (31) දියනෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී අතුරුදහන් වී ඇති බව පොලිසිය පවසනවා.

අතුරුදහන් වූ පුද්ගලයා වයස අවුරුදු 21 ක් වූ කබරගලවත්ත, මඩුකැලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෙම පුද්ගලයා තවත් තිදෙනෙකු සමඟ දිය නෑමට ගොස් සිටිය දී යි මෙසේ දියේ ගිලී අතුරුදහන් වී ඇත්තේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *