අධිවේගයේ බස් රථ ගාස්තුත් පහළට

අධිවේගයේ බස් රථ ගාස්තුත් පහළට


අධිවේගයේ බස් රථ ගාස්තුත් පහළට

(31.03.2023 – 22:00 +0530 – hirunews.lk/sinhala)

බස් ගාස්තු සියයට 12.09 කින් පහත දැමීමට පියවර ගැනීමත් සමඟ අධිවේගි මාර්ගයේ බස් රථ ගාස්තු ද මේ වන විට (31) පහත දමා තිබෙනවා.

ඒ අනුව මාකුඹුර සිට ගාල්ල දක්වා අධිවේගි මාර්ගයේ ප්‍රවේශපත්‍ර ගාස්තුව රුපියල් 820 ක් බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව නිවේදනය කළේ.

කඩුවෙල සිට ගාල්ලට අධිවේගි මාර්ගයේ ප්‍රවේශ පත්‍රයක ගාස්තුව රුපියල් 910 ක් වනවා.

මාකුඹුර සිට මාතරට ප්‍රවේශ පත්‍රයක ගාස්තුව රුපියල් 1030 ක් වන අතර කඩුවෙල සිට මාතරට අධිවේගි මාර්ගයේ ගාස්තුව රුපියල් 1110 ක්.

කොළඹ සිට ඇඹිලිපිටියට අධිවේගි මාර්ගයේ ප්‍රවේශ පත්‍ර ගාස්තුව රුපියල් 1590 ක් වන අතර කොළඹ සිට කතරගමට ප්‍රවේශ පත්‍රයක ගාස්තුව රුපියල් 2000 ක්.

කොළඹ සිට අකුරැස්සට අධිවේගි මාර්ගයේ ගාස්තුව රුපියල් 1110 ක් වන අතර කොළඹ සිට කඹුරුපිටියට අයකෙරෙන ගාස්තුව රුපියල් 1300 ක්.

මේ අතර අද (31) සිට සාමාන්‍ය සේවා, අර්ධ සුඛෝපභෝගි සහ සුඛෝපභෝගි බස් රථ ගාස්තුද පහත දැමීම ක්‍රියාත්මකයි.

කෙසේ වෙතත් මගීන් චෝදනා කළේ ඇතැම් බස් රථ සේවකයින් පෙර පැවති ගාස්තුම අද (31) දිනයේත් අයකළ බවයි.

සංශෝධිත බස් ගාස්තුවත් සමඟ ආදායම පහතවැටී ඇති බව බස් රථ රියදුරන් මෙන්ම කොන්දොස්තරවරුන් පවසනවා.

ඉන්ධන මිල පහළ යාම හේතුවෙන් එය ගැටලුවක් නොවනු ඇති බවයි ඔවුන් පවසන්නේ.

මේ අතර සංශෝධිත බස් ගාස්තුව සෑම බස් රථයකම ප්‍රදර්ශනය කරන ලෙසට ජාතික ගමනාගමන කොමිෂන් සභාව උපදෙස් ලබාදී තිබෙනවා.

පාසල් බස් ප්‍රවාහන හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළේ ඩීසල් මිල ගණන් පහත වැටීමත් සමඟ දකුණු පළාතේ සියයට 04 කින් පමණ පාසල් බස් රථ ගාස්තු අඩුකිරීමට පියවර ගන්නා බවයි.

මේ ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන පෞද්ගලික පාසල් බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ප්‍රදීප් කුමාර.

මේ අතර ඉල්ලුම පහත වැටීම සහ රුපියල ශක්තිමත් වීම සැළකිල්ලට ගෙන වෙළඳපලේ ටයිල් මිල සියයට 12.5 ත් – 15 ත් අතර අගයකින් පහත වැටී ඇති බව ලංකා ටයිල්ස් සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ මහේන්ද්‍ර ජයසේකර ප්‍රකාශ කළා.

එසේම ඉන්ධන මිල පහත වැටීමත් සමඟ මාළු මිල සියයට 25 කින් පමණ අඩුවනු ඇතැයි පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය ව්‍යාපාරික සංගමයේ ලේකම් ජයන්ත කුරේ කියා සිටියා.

+


‘අනුරුද්ධ බණ්ඩාර’ සහ ‘ධානීෂ් අලී’ අත්අඩංගුවට

(31.03.2023 – 18:42 +0530 – hirunews.lk/sinhala)

අරගලයේ ප්‍රධාන පෙළේ ක්‍රියාකාරීන් ලෙස සමාජයේ වැඩි ප්‍රසිද්ධියක් උසුලන සමාජ ක්‍රියාකාරී ‘අනුරුද්ධ බණ්ඩාර’ සහ ‘ධානීෂ් අලී’ යන දෙදෙනාව මීට ස්වල්ප වේලාවකට (31) පෙර පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබුවා.

ඒ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පුද්ගලික නිවස පිහිටා ඇති මිරිහාන ප්‍රදේශයේ දියි.

පසුගිය වසරේ මාර්තු 31 වැනි දින රටේ දේශපාලනික හා සමාජීය බල පෙරළියක මූලාරම්භය සනිටුහන් වූයේ මිරිහානේ පිහිටි ගෝඨාභය රාජපක්ෂගේ පුද්ගලික නිවසට ජනතාව ඇතුල්වීමට උත්සාහ කිරීමත් සමගයි.

එහිදී විරෝධතාකරුවන් සහ ආරක්ෂක අංශ අතර විශාල කලබගෑනියක් හටගත් අතර, බස් ගිනි තැබීම් ද පහරදීම් ද තුවාල ලැබීම් ද සිදු වුණා.

එම පෙරළියේ සිදුවීමට අදට (31) වසරක් (1) පිරීම නිමිත්තෙනුයි විවිධ බලපෑම් කණ්ඩායම් රැසක් අද (31) දිනයේදිත් ඒකරාශී වී මිරිහානේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිවස වෙත ගමන් කිරීම ආරම්භ කළේ.

මෙම විරෝධතාකරුවන් සමග තවත් දෙදෙනකු (2) ද අත් අඩංගුවට ගෙන ඇති බවත් වාර්තා වනවා.

කෙසේවෙතත් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ, ආරක්ෂක අංශ විසින් විරෝධතාකරුවන් හට පහර දුන් බවයි.

+


ශ්‍රමිකයින්ගේ ප්‍රේෂණත් ඩොලර් මිලියන 400 ඉක්මවයි

(31.03.2023 – 22:03 +0530 – hirunews.lk/sinhala)

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය මාර්තු මාසයේදී සියයට 50.3 ක් දක්වා අඩුවී තිබෙනවා.

එය පෙබරවාරි මාසයේ දැක්වුණේ සියයට 50.6 ක් ලෙසයි.

එමෙන්ම සියයට 54.4 ක්ව පැවති ආහාර උද්ධමනය මෙම මාසයේදී සියයට 47.6 ක් දක්වා අඩු වී තිබෙනවා.

පසුගිය කාලසීමාව තුළ ශ්‍රී ලංකා මහ බැංකුව විවිධ මට්ටමේ පදනම් අංක අගයන් තුළින් පොලී අනුපාත ඉහළ නැංවීම සිදුකළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස උද්ධමනය පහළයෑම සිදුව ඇති බවයි ආර්ථික විශ්ලේෂකයන් පවසන්නේ.

ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ , ආයෝජකයන්ගේ විශ්වාසය ඉහළ නැංවීම හරහා ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ අභියෝගය ජය ගැනීමට ද මෙම ක්‍රියාමාර්ගය ඉවහල්ව ඇති බවයි.

උද්ධමනය ක්‍රමයෙන් අඩුවුව ද , ආනයන පාලනය, විදේශ විනිමය සංචිත කළමනාකරණය, සහ මූල්‍ය හිඟය කළමනාකරණය සදහා ශ්‍රී ලංකාව තවදුරටත් ඉදිරි වසර තුන (3) තුළ පොලී අනුපාතය යම් ඉහළ අගයක පවත්වාගෙන යායුතු බව ආර්ථික විශ්ලේෂකයන් වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.

මේ අතර ලබන සතියේ පැවැත්වෙන මූල්‍ය ප්‍රතිපත්ති තීරණය කිරීමේ ආර්ථික කමිටු සාකච්ඡාවේදී ශ්‍රී ලංකා මහබැංකුව පොලී අනුපාත නොවෙනස්ව පවත්වාගෙනයාමට තීරණය කරනු ඇති බවයි වාර්තාවන්නේ.

එසේම විදේශ ශ්‍රමිකයින්ගෙන් මෙරටට ලැබුණු ආදායම පෙබරවාරි මාසයේදීත් ඇමරිකානු ඩොලර් මිලියන 400 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

මහ බැංකුව නිවේදනය කළේ ඇමරිකානු ඩොලර් මිලියන 407 ක ප්‍රේෂණ පසුගිය මාසයේදී ලැබී ඇති බවයි.

2022 වසරේ පෙබරවාරි මාසයේ විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් මෙරටට ලැබී තිබුණේ ඇමරිකානු ඩොලර් මිලියන 205 ක මුදලක් පමණයි.

+


ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමයෙන් ලිපියක්

(31.03.2023 – 22:05 +0530 – hirunews.lk/sinhala)

අධිකරණය සහ ව්‍යවස්ථාදායක අතර අනවශ්‍ය ගැටුමක් ඇති කිරීම වැලැක්විය යුතු බවට දන්වමින්, ශ්‍රි ලංකා අධිකරණ සේවා සංගමය අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත ලිපියක් යොමුකර තිබෙනවා.

කොමිෂන් සභාවේ ලේකම්වරයා වෙත යොමු කළ මෙම ලිපියේ සඳහන් වන්නේ පසුගිය දා පැවති මූලික අයිතිවාසිකම් නඩුවක දී නිකුත් කළ අතුරු නියෝගයක් පාදක කරගනිමින් ඇතිව තිබෙන ගැටලුකාරි තත්ත්වයක් පිළිබඳවයි.

පසුගිය 18 වනදා ශ්‍රි ලංකා අධිකරණ සේවා සංගමයේ විධායක කමිටුව රැස්වී මේ පිළිබඳව පුළුල්ව සාකච්ඡා කර ඇති අතර එහි දී ගත් තීරණ කිහිපයක් සම්බන්ධයෙන් ද මෙම ලිපියේ අවධානය යොමු කර තිබෙනවා.

එසේම යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය පවත්වාගෙන යාමට කුමන හෝ අයෙකු විසින් බලපෑම් සිදු කරන්නේ නම් ඊට එරෙහිව සියලු ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන බවද ශ්‍රි ලංකා අධිකරණ සේවා සංගමය, අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත යොමුකළ ලිපියේ වැඩිදුරටත් සඳහන් ෴


ප්‍රමිතිය ආරක්ෂා කිරීමට නව පරීක්ෂණ රසායනාගාරයක්

(31.03.2023 – 22:12 +0530 – hirunews.lk/sinhala)

ඇසුරුම්කරණයේ ප්‍රමිතිය ආරක්ෂා කිරීම සඳහා නව පරීක්ෂණ රසායනාගාරයක් කාර්මික තාක්ෂණ ආයතනයේ ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබෙනවා.

මෙරට නිෂ්පාදනය කරන කිරිපිටි, ජල බෝතල් ඇතුළු විවිධ ආහාර ද්‍රව්‍ය මෙන්ම සිමෙන්ති, කාඩ්බෝඩ් ඇතුළු ඇසුරුම් රැසක ප්‍රමිතිය පිළිබඳ පරික්ෂාවට ලක්කිරීමට මෙම ඇසුරුම් පරීක්ෂණ රසායනාගාරය මගින් හැකියාව ලැබෙන බවයි කර්මාන්ත අමාත්‍යංශය සඳහන් කළේ ෴


පුරාවස්තු සෙවූ ලුතිනන් කර්නල්වරයෙකු සමග 4 ක් අත්අඩංගුවට – සැකකරුවන් අතර ශ්‍රමණවේශධාරියෙකුත්

(31.03.2023 – 22:56 +0530 – hirunews.lk/sinhala)

කරදියනාරු ප්‍රදේශයේ දී අධි තාක්ෂණික උපකරණ මගින් පුරාවස්තු සොයමින් සිටි යුද හමුදා කෝප්‍රල්වරයෙකු, ඊට අනුබල දුන් ලුතිනන් කර්නල්වරයෙකු, සැරයන්වරයෙකු සහ ශ්‍රමණවේශධාරියෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.

අද (31) පස්වරුවේ දී කරදියනාරු පොලිස් වසමේ මාවඩිඕඩ ප්‍රදේශයේ දීයි විශේෂ කාර්‍ය බලකායේ වව්නතිව් කඳවුරේ නිලධාරින් විසින් අත් අඩංගුවට ගනු ලැබුවේ.

ලැබුණු තොරතුරකට අනුව සිදු කළ හදිසි වැටලීමක දී අනවසරයෙන් පුරාවිද්‍යා භූමියකට ඇතුල්වී පුරාවස්තු සොයමින් සිටියදියි මෙම සැකකරුවන් අත් අඩංගුවට ගැනුනේ.

විශේෂ කාර්‍ය බලකාය භාරයට සැකකරුවන් සන්තකයේ තිබී වටලනු ලැබූ උපකරණ අතර Deep Seeker වර්ගයේ ස්කෑනර් යන්ත්‍රයක්, Casper වර්ගයේ Tab යන්ත්‍ර‍යක්, ජංගම දූරකථන 04 ක් සමගින් කැබ් රථයක් ද සොයා ගැනුණා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු කරදියනාරු පොලිසිය විසින් ක්‍රියාත්මකයි.

+


පරිත්‍යාගශීලී ඔබෙන් පුංචි සිඟිත්තියකගේ ජීවිතය බේරා ගැනීමට සහාය පතයි

(31.03.2023 – 23:46 +0530 – hirunews.lk/sinhala)

පුංචි මල් කැකුළකගේ ජීවිතය බේරා ගැනීමට මහජන සහාය පැතීමේ පුවතක් ගාල්ල – අම්බලන්ගොඩ ප්‍රදේශයෙන් හිරු ප්‍රවෘත්ති අපට වාර්තා වුණා.

තම ආදරණීය සිඟිති දියණියගේ මොළයේ සිදු කිරීමට අවශ්‍ය හදිසි ශල්‍යකර්මයක් සඳහා අවශ්‍ය කරන රුපියල් ලක්ෂ 50ක මුදල සොයා ගැනීම උදෙසායි මෙම සිඟිත්තියගේ දෙමව්පියන් විසින් මහජන සහාය පතනු ලබන්නේ.

මාස 03ක් වයසැති මෙම බිළිඳිය මේ වනවිට ශල්‍යකර්මය සඳහා ඉන්දියාවේ චෙන්නායි රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබෙනවා.

වෛද්‍ය නිර්දේශ මත දරුවාගේ ජීවිතය බේරාගැනීමට අවශ්‍ය ශල්‍යකර්මය සිදු කිරීමට රුපියල් ලක්ෂ 100ක පමණ මුදලක් වැයවන අතර, දරුවාගේ පියා වන ඉංජිනේරුවරයෙකු වන කුසල් අබේසේකර පැවසුවේ මේ වනවිට ලක්ෂ 50ක පමණ මුදලක් සොයාගෙන ඇති බවත් සෙසු මුදල වන රුපියල් ලක්ෂ 50 සොයා ගැනීමට හැකි පමණින් ආධාර උපකාර කරන ලෙසයි.


දෙහිවල ගුවන් පාලමේ දැවී ගිය ත්‍රීරෝදය සහ කාර් රථය (31.03.2023)

+

+


සටන පුළුල් වෙයි වෘත්තීයවේදීන් රළු වෙයි පනත රිවර්ස් කරලා මිසක් හැරෙන්නෙ නෑ ! (31.03.2023)

+


එක්කො අපි 10% ට අඩුයි. නැත්නම් 50% ට වැඩියි. – අනුර කුමාර (31.03.2023)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *