‘ස්ටීම්’ (STEAM) අධ්‍යාපනය අද (31) සිට මෙරට අධ්‍යාපන පද්ධතියට

‘ස්ටීම්’ (STEAM) අධ්‍යාපනය අද (31) සිට මෙරට අධ්‍යාපන පද්ධතියට


‘ස්ටීම්’ (STEAM) අධ්‍යාපනය අද (31) සිට මෙරට අධ්‍යාපන පද්ධතියට

(31.03.2023 – 14:13 +0530 – hirunews.lk/sinhala)

විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව, ගණිතය සහ කලා විෂයන් සහිත නව ‘ස්ටීම්’ (STEAM) අධ්‍යාපන ක්‍රමවේදය අද මෙරට පාසල් අධ්‍යාපනයට හඳුන්වා දෙනු ලැබුවා.

මෙහි සමාරම්භක උළෙල කොළඹ රාජකීය විද්‍යාලයේදී පැවැත්වුණේ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්තගේ ප්‍රධානත්වයෙන්.

මෙය, ලොව පුරා රටවල් 96 ක පමණ භාවිත වන සාර්ථක අධ්‍යාපන ක්‍රමවේදයක් බවයි එහිදී අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත කියා සිටියේ.

එමෙන්ම මෙම ක්‍රමවේදයේ දී විෂය ධාරාව අනුව කිසිදු දරුවෙකු පාසල් අධ්‍යාපනයෙන් අතරමගදී ඉවත් නොකෙරෙන බව අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළා ෴

ජාත්‍යන්තර ප්‍රමිතියේ ස්ටීම් අධ්‍යාපන ක්‍රමය මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයට හඳුන්වා දීම අද (31) කොළඹ රාජකීය විද්‍යාලයේදී සිදු කෙරුණා.

පංති කාමරයකට සීමා වූ අධ්‍යාපන ක්‍රමයක් වෙනුවට ප්‍රායෝගික ක්‍රමවේදයක් හඳුන්වාදෙන ස්ටීම් අධ්‍යාපන ක්‍රමය ඔස්සේ වඩාත් ක්‍රියාශීලී දරු පරපුරක් බිහි කළ හැකි බවයි එම අවසථාවට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් ප්‍රකාශ කළේ.

මේ අතර විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය සහ ලංකා ගුරු සංගමය එක්ව උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමට සම්බන්ධ නොවීම හේතුවෙන් පාසල් දරුවන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු අඩාල වීම පිළිබඳන ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අවධානය යොමුව ඇති බව රජයේ ආරංචි මාර්ග පවසනවා.

අදාළ ගැටලුව මතුව ඇත්තේ සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍යයට පමණක් වන අතර දෙමළ භාෂා පිළිතුරු පත්‍ර ඇගයීම සඳහා බලපෑමක් සිදුව නොමැති බව ද වාර්තාවනවා.

+


හෝමාගම රෝහලේ රෝගියෙක් උඩු මහලෙන් බිමට වැටී ජීවිතක්ෂයට

(31.03.2023 – 15:11 +0530 – hirunews.lk/sinhala)

හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු එහි දෙවැනි (2) මහලෙන් බිමට ඇද වැටී අද (31) ජීවිතක්ෂයට පත්ව ඇතැයි හෝමාගම මූලස්ථාන පොලීසිය පවසනවා.

මෙසේ මියගොස් ඇත්තේ පාදුක්ක, මීරියගල්ල පදිංචි වයස අවුරුදු 59 පුද්ගලයෙක්.

මොහු ඉකුත් 29 දා කිසියම් කැපුම් තුවාලයකට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා රෝහලට පැමිණ ඇති බවත් එහි දී ඔහුව නේවාසිකව ප්‍රථිකාර සඳහා රෝහලෙහි නවත්වා ගෙන තිබෙනවා.

ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (30) අළුයම 5 ට පමණ එම ගොඩනැගිල්ලේ දෙවැනි (2) මහලෙන් බිමට පැන අනතුරට පත් වූ අදාල තැනැත්තා රෝහල් සේවකයින් සහ ආරක්ෂක අංශය මැදිහත්ව වාට්ටුවකට ඇතුළත් කොට තිබෙනවා.

එලෙස ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ මියගොස් ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම මූලස්ථාන පොලිසිය වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කරනවා ෴


රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී ‘සලේ’ ගොනුකළ වන්දි නඩුවට දින නියම වෙයි

(31.03.2023 – 15:22 +0530 – hirunews.lk/sinhala)

සිරිල් ගාමිණි පියතුමන්ගෙන් රුපියල් මිලියන 50 ක වන්දියක් අයකර දෙන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී ‘සුරේෂ් සලේ’ ගොනුකළ නඩුවක් සැප්තැම්බර් මස 04 වනදා විභාගයට ගැනීමට කොළඹ දිසා අධිකරණය අද (31), දින නියම කළා.

ඒ කොළඹ දිසා විනිසුරු පූර්ණිමා පරණගම ඉදිරියේ එය කැඳවූ අවස්ථාවේයි.

එහිදී පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය අවසන් කළ දිසා විනිසුරුවරිය අදාළ නඩු විභාගය සඳහා දින නියම කළ බවයි අප අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.

පාස්කු ප්‍රහාරයේ වින්දිතයින් වෙනුවෙන් අන්තර්ජාතික යුක්ති සංසදය විසින් 2021 වසරේ ඔක්තෝබර් 23 වනදා පැවැත්වූ සම්මන්ත්‍රණයකදී සිරිල් ගාමිණි පියතුමා කළ අදහස් දැක්වීමෙන් තම කීර්ති නාමයට වූ හානියට රුපියල් මිලියන 50 ක වන්දියක් අයකර දෙන ලෙස ඉල්ලමිනුයි රාජ්‍ය බුද්ධි සේවයේ ‘සුරේෂ් සලේ’ මෙම නඩුව ගොනුකර තිබුණේ ෴


දුම්රිය රියදුරන්ගේ වැඩවැරුමෙන් ගමන් වාර 04 ක් අවලංගුයි

(31.03.2023 – 16:28 +0530 – hirunews.lk/sinhala)

දුම්රිය රියදුරන් ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් හේතුවෙන් අද (31) දහවල් ගමන්වාර 04 ක් අවලංගු වී තිබෙනවා.

අද (31) දහවල් 12 සිට පස්වරු 03 දක්වා දුම්රිය රියදුරයන් මෙලෙස ධාවන කටයුතුවලින් ඉවත් වී තිබුණේ දුම්රිය බලවේග කට්ටල රියදුරන්ගේ උසස් වීම් ගැටලුවක් මුල්කරගමින්.

කෙසේ වෙතත් දුම්රිය රියදුරන් සහ සාමාන්‍යාධිකාරිවරයා සිදුකළ සාකච්ඡාවකින් පසුව වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අත්හිටුවීමට ඔවුන් එකඟතාවකට පැමිණ තිබෙනවා.

ඒ අනුව අද (31) පස්වරුවේ කාර්යාල දුම්රිය අවලංගුවීමකින් තොරව ධාවනය කිරීමට කටයුතු කරන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළා ෴


‘බූරු මූණා’ට පලා යාමට ආධාර අනුබල දුන් සැකකරුවන් යළි රිමාන්ඩ්

(31.03.2023 – 16:32 +0530 – hirunews.lk/sinhala)

අපරාධ කල්ලි සාමාජික ‘රවිදු සංඛ ද සිල්වා’ හෙවත් ‘බූරු මූණා’ට කටුනායක ගුවන්තොටුපළ පොලිස් අත්අඩංගුවෙන් මිදී පලායාමට සහාය දීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන සිටි ශ්‍රමණවේශධාරීන් දෙදෙනා (02) ඇතුළු සැකකරුවන් 07 දෙනා ලබන මස 04 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ මීගමුව වැඩබලන මහේස්ත්‍රාත් සියන් තිසේරාගේ නියෝගයක් අනුවයි.

පසුගිය පෙබරවාරි මස 24 වනදා විදේශගතවීමට කටුනායක ගුවන්තොටුපළට පැමිණි ‘බූරු මූණා’ හෙවත් ‘රවිදු සංඛ ද සිල්වා’ ආගමන විගමන නිලධාරින් විසින් රඳවාගෙන කටුනායක ගුවන්තොටුපළ පොලිසිය භාරයට පත්කර තිබුණා.

පොලිස් අත්අඩංගුවේ පසුවන අතරතුර සැකකරු පළාගොස් තිබූ අතර ඊට සහාය වූ බවට ශ්‍රමණවේශධාරීන් දෙදෙනා (02) ඇතුළු අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතකර තිබුණා.

සැකකරුවන් අද (31) යළි අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ වැඩබලන මහේස්ත්‍රාත්වරයා විසින් ඔවුන්ට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කළ බවයි අප අධිකරණ වාර්තාකරු සඳහන් කළේ ෴


බඹර ප්‍රහාරයකින් කම්කරුවෙක් ජීවිතක්ෂයට

(31.03.2023 – 17:05 +0530 – hirunews.lk/sinhala)

ලිඳුල ‘ෆර්රාම්’ වතු යායේ වැඩ කරමින් සිටි වතු කම්කරුවන් තිදෙනෙකුට (3) අද (31) උදෑසන බඹර ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

අසාධ්‍ය වූ ඔවුන් තිදෙනා (3) ලිඳුල ප්‍රාදේශීය රෝහලට රැගෙන ගොස් ඇති අතර එහිදී එක් (1) අයෙක් ජීවිතක්ෂයට පත් වී ඇති බව සඳහන්.

බඹර ප්‍රහාරයෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 72 ක් වන එම වතුයායේම පදිංචි අයෙක් ෴


ඇමති කංචනගෙන් පොලිස්පතිට ලිපියක්

(31.03.2023 – 18:45 +0530 – sinhala.adaderana.lk)

කොලොන්නාව තෙල් ගබඩා පර්යන්තයට බලහත්කාරයෙන් කඩාවැදුණු වෘත්තීය සමිති නායකයින් ඇතුළු පුද්ගලයින් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් නිසි විමර්ශනයක් සිදුකරන ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

එවැනි අනාරක්ෂිත තත්ත්වයක් යළි ඇති නොවීමට අවශ්‍ය ආරක්ෂාව ඉන්ධන ගබඩාකරන හා බෙදාහැරීම් සිදුකරන සියලු කලාපවලට ලබාදෙන ලෙස අමාත්‍යවරයා සිය ලිපියෙන් ඉල්ලා තිබුණි.

කොලොන්නාව ඛනිජතෙල් පර්යන්තය අසල පසුගිය 28 වනදා උපවාසයක් ආරම්භකළ වෘත්තීය සමිති නියෝජිතයින් ඉන්ධන බෙදාහැරීම් කටයුතු සිදුකරන ආරක්ෂිත කලාපයට බලහත්කාරයෙන් ඇතුළු වී අත්‍යවශ්‍ය සේවාවක් ලෙස නම් කර ඇති ඉන්ධන බෙදාහැරීම අකර්මන්‍ය කළ බව කංචන විජේසේකර අමාත්‍යවරයා පෙන්වාදෙයි.

මෙම තත්ත්වය තුළ රටේ ආර්ථිකයට ද විශාල පාඩුවක් සිදුවූ අතර සිද්ධියට සම්බන්ධ පිරිස් හඳුනාගෙන විනය ක්‍රියාමාර්ග ගැනීමට හා එදින ආයතනයට හා බෙදුම්කරුවන්ට සිදුවූ අලාභය ගණනය කර එම පිරිස්වලින් අයකරගැනීමට අවශ්‍ය නීතිමය පියවර ගනිමින් සිටින බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

+


වෘත්තීය සමිති නායකයෝ වත්කම් බැරකම් හංගා ගනිති !

(31.03.2023 – 17:48 +0530 – hirunews.lk/sinhala)

වෘත්තීය සමිති නායකයින්, වත්කම් බැරකම් පනත අනුව වාර්ෂිකව සිය වත්කම් බැරකම් ප්‍රකාශ නිකුත් කළ යුතුව තිබෙන නමුත් පසුගියදා වැඩ වර්ජනයට සහභාගී වූ කිසිදු වෘත්තීය සමිති නායකයෙක් සිය වත්කම් බැරකම් ප්‍රකාශ නිකුත් කර නොමැති බවට අනාවරණය වී තිබෙනවා.

1975 වත්කම් බැරකම් පනත අනුව රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය අංශයේ වෘත්තීය සමිති නායකයින් වාර්ෂිකව සිය වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු වනවා.

එහෙත් මේ වන තෙක් කිසිදු වෘත්තීය සමිති නායකයෙක් තමන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ නිකුත් කර නැහැ.

කම්කරු අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ කම්කරු කොමසාරිස් ජනරාල්වරයා එක්ව මේ සම්බන්ධයෙන් වන ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව ද අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරනවා ෴


ආහාර උද්ධමනය සියයට පනහ (50%) ට වඩා අඩුවෙයි

(31.03.2023 – 17:48 +0530 – hirunews.lk/sinhala)

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය මෙම මාසයේදී සියයට 50.3 ක් දක්වා අඩුවී තිබෙනවා.

එය පෙබරවාරි මාසයේ දැක්වුණේ සියයට 50.6 ක් ලෙසයි.

එමෙන්ම සියයට 54.4 ක්ව පැවති ආහාර උද්ධමනය මෙම මාසයේදී සියයට 47.6 ක් දක්වා අඩුවී තිබෙනවා.

+


යතුරුපැදි සොරකමකට ඡන්ද අපේක්ෂකයෙකු ඇතුළු 03 ක් අත්අඩංගුවට

(31.03.2023 – 17:58 +0530 – hirunews.lk/sinhala)

කුරුණෑගල – නාරම්මල අවට ප්‍රදේශවල යතුරුපැදි සොරකම් කිරිමේ සිද්ධි කිහිපයකට අදාළව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පළාත් පාලන ඡන්දයට තරඟ කරන අපේක්ෂකයෙකු (1) ඇතුළු තුන්දෙනෙකු (3) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නාරම්මල පොලිසියට ලැබුණු පැමිණිලකට අනුව ඊයේ (30) මොවුන් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරුවන් නාරම්මල හා කුලියාපිටිය අවට පදිංචිකරුවන්.

අත්අඩංගුවට ගත් එක් (1) අයෙකු සතුව තිබී සොරකම් කරන ලද යතුරු පැදියක් සොයා ගෙන ඇති අතර සොරාගන්නා ලද තවත් යතුරුපැදි තුනක් (3) අලෙවිකර තිබියදී මීරිගම, රඹුක්කන සහ හලාවත යන ප්‍රදේශවලින් සොයාගෙන තිබෙනවා ෴


කිළිනොච්චියේ නිවාසාන්තර තරගයට මැර ප්‍රහාරයක්

(31.03.2023 – 18:44 +0530 – hirunews.lk/sinhala)

ඉකුත් 30 වැනි දා කිළිනොච්චියේ ශාන්තපුරම් කලෙයිමගල් විද්‍යාලයේ වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උළෙල පැවත්වෙමින් තිබියදී බීමත්ව ක්‍රීඩාංගණයට කඩා වැදුණු තරුණයින් පිරිසක් ක්‍රීඩාංගනයේ සිටි පිරිසකට පහර දී තුවාල සිදු කර තිබෙනවා.

එහිදී පාසල් සිසුවෙකු ඇතුළු පස් දෙනෙකු (5) තුවාල ලබා කිළිනොච්චිය රෝහලට ඇතුලත් කොට තිබෙනවා.

එම අවස්තාවේදී ක්‍රීඩා උළෙල නැරඹීමට පැමිණි දෙමව්පියන් විසින් මෙම තරුණයන් සිවුදෙනා (4) අල්ලා කිලිනොච්චි පොලිසියට බාර දී ඇති අතර, එහිදී අනාවරණය වූයේ මොවුන් මීට දින කීපයකට පෙර ද, කිළිනොච්චිය ප්‍රදේශයේ සිදු වූ දාමරික ක්‍රියා තුනක් (3) සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පසුව මුදා හරින ලද පිරිසක් බවයි ෴

කිලිනොච්චිය ප්‍රදේශයේ පාසලක නිවාසාන්තර ක්‍රීඩා උත්සවයක් අතරතුර දී දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් පාසල් සිසුවියන් ඇතුළු 5 දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

ක්‍රීඩා උත්සවය නැරඹීමට පැමිණි දෙපිරිසක් අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිගයාමෙන් මෙම ගැටුම හටගෙන ඇති බවටයි වාර්තා වන්නේ.

එම අවස්ථාවේ දී කුපිත වූ පිරිස් ලී පොලු සහ යකඩ බටවලින් පහර දීමත් සමඟ පාසල් සිසුවියන් පිරිසක් ද ප්‍රහාරයට මැදි වී තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ, සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි.

පාසල් භූමිය තුළ ඇති වූ මෙම ගැටුමට විරෝධය පළ කරමින් මව්පියන්, ගුරුවරුන් හා ප්‍රදේශවාසීන් පිරිසක් විරෝධතාවක ද නිරතව වුණා.

මේ අතර මහනුවර – තලාතුඔය ප්‍රදේශයේ නිවසක මත්ද්‍රව්‍ය වැටලීමකට ගිය අවස්ථාවේ දී එම නිවැසියන් පොලිසියට විරෝධය පළ කිරීම සම්බන්ධ විඩියෝ පටයක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ සංචරනය වනවා.

එහිදී නිවැසියන් චෝදනා කරන්නේ, මත්ද්‍රව්‍ය චෝදනා එල්ල කරමින් තරුණයෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය විසින් උත්සාහ කළ බවයි.

කෙසේ වෙතත් නිවැසියන්ගේ විරෝධතාව හේතුවෙන් එම අවස්ථාවේ දී පොලිස් නිලධාරීන් තරුණයා අත්අඩංගුවට නොගෙන පිටව ගොස් තිබෙනවා.

අප කළ විමසීමක දී තලාතුඔය පොලිසිය සඳහන් කළේ පසුව ද අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීමක් සිදු නොකළ බවයි.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *