ජලසම්පාදන මණ්ඩලයෙන් 6,000 කට නඩු

ජලසම්පාදන මණ්ඩලයෙන් 6,000 කට නඩු


ජලසම්පාදන මණ්ඩලයෙන් 6,000 කට නඩු

(31.03.2023 – 11:59 +0530 – hirunews.lk/sinhala)

ජල බිල්පත් නොගෙවූ ගෘහ සහ ගෘහ නොවන පාරිභෝගිකයන් 6000 කට ආසන්න පිරිසකට නඩු පැවරීමට ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පියවර ගෙන තිබෙනවා.

එමෙන්ම මේ දක්වා ගෙවීම් පැහැර හැර ඇති පාරිභෝගිකයින්ගෙන් රුපියල් මිලියන 1650 ක මුදලක් අය විය යුතුව ඇති බවයි එම මණ්ඩලයේ අයකරගැනීම් අංශයේ සහකාර සාමාන්‍යාධිකාරි ඒකනායක වීරසිංහ සඳහන් කළේ.

රාජ්‍ය ආයතන, ආගමික ස්ථාන, පාසල් ගෙවීම් පැහැර හැර ඇති ආයතන අතරට ඇතුළත්.

ජල ගාස්තු ඉහළ දැමීම ඇතුළු තවත් කරුණු කිහිපයක් මුල්කරගමින් ජල බිල්පත් ගෙවීම සියයට 40 කින් පමණ අඩුවී ඇති බවද ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළා ෴


ජාතික වැටුප් කොමිසම අදින් (31) අවසන්

(31.03.2023 – 09:04 +0530 – hirunews.lk/sinhala)

ජාතික වැටුප් කොමිසමේ නිල කාලය අදින් (31) අවසන් වනවා.

එහි කාලය දීර්ඝ කිරීමක් සිදු නොකරන අතර, අද (31) දිනෙන් එහි කටයුතු අවසන් කරන බව ජනාධිපති ලේකම්වරයා විසින් ලිඛිතව දැනුම් දී ඇති බවයි එම කොමිෂන් සභාවේ ලේකම් චන්ද්‍රානි සේනාරත්න සඳහන් කළේ.

ඒ අනුව ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව ජාතික වැටුප් කොමිෂන් සභාවේ කාර්යයන් සහ කර්තව්‍යයන් කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සහ ආයතන අධ්‍යක්ෂ ජනරාල් වෙත පැවරීමට තීරණය කර ඇති බව සඳහන්.

අමාත්‍යාංශ, දෙපාර්තමේන්තුවලට අදාළ සේවා ව්‍යවස්ථා, බඳවා ගැනීමේ පටිපාටි, වැටුප් සහ දීමනාවලට අදාළ කටයුතු රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ආයතන අධ්‍යක්ෂ ජනරාල් වෙත පැවරෙනවා.

අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ පළාත් සභාවල සේවක සංඛ්‍යාවලට අදාළ කටයුතු සහ සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩලවලට අදාළ සේවක සංඛ්‍යා සහ ප්‍රතිව්‍යුහගතකරන බඳවා ගැනීමේ පටිපාටි මෙන්ම වැටුප් හා දීමනා සම්බන්ධ කටයුතු පැවරෙන්නේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව වෙතයි.

එම කටයුතුවලට අමතරව ජාතික වැටුප් කොමිෂන් සභාව වෙත පැවරී තිබූ විශ්‍රාම වැටුපට අදාළ වැටුප් සම්බන්ධ නිර්දේශ ලබාදීම රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ විශ්‍රාම වැටුප් අංශය වෙත යොමු කෙරෙන බවයි ජාතික වැටුප් කොමිෂන් සභාවේ ලේකම් චන්ද්‍රානි සේනාරත්න සඳහන් කළේ.

එමෙන්ම, නව ජාතික වැටුප් ප්‍රතිපත්තිය සකස් කිරීමට අදාළව මෙතෙක් එම කොමිෂන් සභාව විසින් සිදුකළ කටයුතුවල ඉදිරි කාර්යයන් මුදල් අමාත්‍යාංශය වෙත යොමු කිරීමටත් පියවර ගෙන ඇති බව සඳහන් ෴


අඩු වූ ඉන්ධන මිලේ වාසිය විදුලි පාරිභෝගිකයන්ට?

(31.03.2023 – 09:11 +0530 – hirunews.lk/sinhala)

ඉන්ධන මිල අඩුකිරීම හරහා විදුලි බිල පහත දැමීම සම්බන්ධයෙන් යෝජනාවලියක් කඩිනමින් ලබාදෙන ලෙස මහජන උපයෝගීතා කොමිසම විදුලිබල මණ්ඩලයට ලිපියකින් දැනුම්දී තිබෙනවා.

ඉන්ධන මිල පහත දැමීම, ලෝක වෙළඳපොලේ ගල් අඟුරු මිල පහත යෑම සහ ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත්වීම යන කරුණු සළකා මෙම ඉල්ලීම සිදුකළ බවයි හිරු ප්‍රවෘත්ති අංශය සමඟ සංවාදයකට එක්වෙමින් එම කොමිසමේ සභාපති ජනක රත්නායක කියා සිටියේ.

ඉන්ධන මිල පහත දැමීම තුලින් විදුලි ගාස්තුව සියයට විස්සකින් (20%) පමණ අඩු කළ හැකි බවද එහිදී ඔහු සඳහන් කළා ෴


බිත්තර අර්බුදය නිසා කිකිළියන් මසට විකිණීම වැඩි වෙලා

(31.03.2023 – 09:14 +0530 – hirunews.lk/sinhala)

බිත්තර ආනයනයෙන් මෙරට වෙළඳපොල තුළ පවතින බිත්තර හිඟය තවත් අර්බුදයකට පත්වන බව සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමය පවසනවා.

එහි සභාපති ඇන්ටන් නිශාන්ත අප්පුහාමි කියා සිටියේ බිත්තර නිෂ්පාදකයින් මව් කිකිළියන් මස් සඳහා විකිණීමට පෙළඹීම හේතුවෙන් මෙම තත්ත්වය ඉදිරි සතිය තුළ උදාවන බවයි.

මේ අතර, රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර ඊයේ (30) බිත්තර බෙදාදීමේ වැඩසටහනින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ඉදිරියේදී තවත් බිත්තර මිලියන 10 ක පමණ ප්‍රමාණයක් මෙරටට ගෙන්වීම සඳහා ඇණවුම් භාරදී ඇති බවයි.

එමඟින් මෙරට බිත්තර හිඟය පහව යනු ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර, ඊයේ (30) සහ පෙරේදා (29) දිනවල හම්බන්තොට දිස්ත්‍රික්කයේ අඟුණුකොලපැලැස්ස, රන්න, අම්බලන්තොට සහ හම්බන්තොට නගරයේ පාරිභෝගික අධිකාරිය මගින් පාලන මිල ඉක්මවා බිත්තර විකිණූ වෙළඳසැල් පරීක්ෂා කර තිබෙනවා.

එහි දී පාලන මිල ඉක්මවා බිත්තර අලෙවි කළ වෙළඳුන් 18 දෙනෙකුට නඩු පවරා ඇති බවයි පාරිභෝගික අධිකාරියේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ෴

+


රුපියල්වලින් ගත් ණයත් ප්‍රතිව්‍යුහගත කිරීමේ සූදානමක්

(31.03.2023 – 11:20 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය තුළට රුපියල්වලින් ගත් ණය ද ඇතුළත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ අවධානය යොමුව තිබෙනවා.

අදාල තීරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන ඊයේ (30) ප්‍රකාශ කළේ, මෙය විදෙස් ණය හිමියන්ගේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියට සමගාමීව සිදු කරන බවත්, එය විදෙස් ණය හිමියන්ගේ විශ්වාසය තව තවත් වර්ධනය කිරීම සඳහා වන පියවරක් වශයෙනුයි.

ඒ අනුව මෙම රුපියල් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට මහා බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් පමණක් සලකා බලන බව ශ්‍රී ලංකා මහ බැංකුව කියා සිටිනවා.

මේ වන විට මුළු භාණ්ඩාගාර බිල්පත් තොගයෙන් සියයට 62.4 ක් ශ්‍රී ලංකා මහ බැංකුව සතුව පවතින අතර සේවක අර්ථසාධක අරමුදල වැනි විශ්‍රාම අරමුදල් සතුව භාණ්ඩාගාර බැඳුම්කරවලින් සියයට 42.7 ක් පමණ ප්‍රමාණයක් පවතිනවා.

ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාල ක්‍රියාවලියේ දී මෙරට දේශීය ණය මේ වසරේ මැයි මාසය වන විටත්, විදේශීය වශයෙන් ලබා ගත් ණය මේ වසරේ සැප්තැම්බර් මාසය වන විටත් ප්‍රතිව්‍යුහගත කිරීමට බලාපොරොත්තු වන බවයි මහබැංකු අධිපතිවරයා පැවසුවේ.

මේ අතර ‘ස්ට්ව් හෑන්ක්’ගේ උද්ධමන දර්ශකය අනුව ශ්‍රී ලංකාව මේ වනවිට 02 ස්ථානයේ සිට 19 වන ස්ථානය දක්වා පහත බැස තිබෙනවා.

2022 වසරේ ශ්‍රී ලංකාව අධි උද්ධමන රටක් ලෙස 02 ස්ථානයේ පසු වුණා.

මේවනවිට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය සහ වෙනත් ප්‍රදාන ලැබීමත් සමඟ ශ්‍රී ලංකාව 19 ස්ථානයට පත් ඇති බවයි අදාළ දර්ශකයෙන් පෙන්වා දෙන්නේ.

+

+


අඩු කළ ගාස්තුව ක්‍රියාත්මක නොවන බවට බස් මගීන්ගෙන් මැසිවිලි

(31.03.2023 – 13:18 +0530 – hirunews.lk/sinhala)

නව බස් ගාස්තුව අද (31) සිට ක්‍රියාත්මක වුවත් එහි වාසිය තමන්ට නොලැබුණ බව ඇතැම් බස් මගීන් චෝදනා කරනවා. ඔවුන් පෙන්වා දෙන්නේ පෙර පැවති ගාස්තුව අද (31) දිනයේදී තමන්ගෙන් අය කළ බවයි.

ඉන්ධන මිල පහත දැමීමෙන් පසු බස් ගාස්තුව සියයට 12.09 කින් පහත දැමීමට ජාතික ගමනාගමන කොමිසම කටයුතු කළ අතර ඒ අනුව රුපියල් 34 ක්ව පැවති අවම බස් ගාස්තුව 30 දක්වා පහත දැමුණා.

මේ අතර සංශෝධිත බස් ගාස්තුව සෑම බස් රථයකම ප්‍රදර්ශනය කරන ලෙසට ජාතික ගමනාගමන කොමිෂන් සභාව උපදෙස් ලබාදී තිබෙනවා.

හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා කියා සිටියේ නව බස් ගාස්තුව නිසි ලෙස ක්‍රියාත්මක වන්නේදැයි සෙවීම සඳහා ජාතික ගමනාගමන කොමිෂන් සභාව විශේෂ වැඩපිළිවෙලක්ද ආරම්භ කර ඇති බවයි.

එමෙන්ම සිය ඉන්ධන කෝටාව වැඩිකර, අමතර කොටස් සඳහා සහනයක් ලබාදුනහොත් පාසල් වෑන් රථ ගාස්තුව සියයට 10 කින් අඩු කළ හැකි බව සමස්ථ ලංකා අන්තර් පළාත් පොදු පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ සභාපති රුවන් ප්‍රසාද්, අම්බලන්ගොඩ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළා.

මේ අතර වෙළඳපලේ ටයිල් මිල සියයට 12.5 ත් – 15 ත් අතර අගයකින් පහත වැටී ඇති බව ලංකා ටයිල් සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ මහේන්ද්‍ර ජයසේකර හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා.

ඉන්ධන මිල පහත දැමීම නිසා මාළු මිල සියයට 25 කින් පමණ අඩුවනු ඇතැයි පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය ව්‍යාපාරික සංගමයේ ලේකම් ජයන්ත කුරේ කියා සිටියා.

ඉන්ධන මිල අඩු කිරීම හේතුවෙන් එහි වාසිය ආපනශාලා ආහාර සඳහා ද ලබාදීමට අපේක්ෂා කරන බවයි සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් සඳහන් කළේ.

+


කටානේ ඇඟලුම් කම්හලක ඕමාන ජාතික හිමිකරුට ප්‍රහාරයක්

(31.03.2023 – 13:34 +0530 – hirunews.lk/sinhala)

කටාන – හල්පේ – කෝපියාවත්ත ප්‍රදේශයේ පිහිටි ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලයට අයත් ඇඟළුම් කර්මාන්තශාලාවක හිමිකරුවෙකු වන ඕමාන ජාතිකයෙකුට සහ එහි ආරක්ෂක නිලධාරියෙකුට නාඳුනන කණ්ඩායමක් විසින් පහරදී තිබෙනවා.

පහරකෑමට ලක්වූ අදාළ ඕමාන ජාතිකයා ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සහ ආරක්ෂක නිලධාරියා මීගමුව මහ රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඊයේ (30) රාත්‍රියේ පස්දෙනෙකු (5) ගෙන් සමන්විත කණ්ඩායමක් මෙම ඕමාන ජාතිකයාට අයත් කර්මාන්තශාලාවේ තාප්පයෙන් පැන එහි ආරක්ෂක නිලධාරියාට පළමුව පහරදී ඇති බව සඳහන්.

අනතුරුව කම්හල් පරිශ්‍රයේම නිවසක නවාතැන් ගෙන සිටින අදාළ ඕමාන ජාතික කළමනාකාර අධ්‍යක්ෂවරයාට පහර දී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සිද්ධියට පෙර කර්මාන්තශාලාවේ කටයුතුවලට ප්‍රදේශයේ දේශපාලකයෙකුගේ හිතවතුන්ගෙන් බාධා එල්ලවූ බව එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික යාසීර් ලහීර් ප්‍රකාශ කළා.

මේ සම්බන්ධයෙන් අප බඩල්ගම පොලිසියෙන් කරුණු විමසු අතර, එහි නිලධාරියෙකු කියා සිටියේ, මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ අධීක්ෂණය යටතේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි ෴


මට්ටක්කුලියේ ඝාතනයක්

(31.03.2023 – 13:38 +0530 – hirunews.lk/sinhala)

මට්ටක්කුලිය – කැළණිගඟ මෝල පාර ප්‍රදේශයේ දී ත්‍රිරෝද රථයකින් පැමිණි නාඳුනන පිරිසක් සිය නිවස ඉදිරිපිට සිටි පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර තිබෙනවා.

පහරකෑමෙන් බරපතල තුවාල ලැබූ 39 හැවිරිදි මෙම පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇති අතර, ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ ෴


වතුර වැඩිපුර බොන්නැයි ඉල්ලීමක්

(31.03.2023 – 13:43 +0530 – hirunews.lk/sinhala)

මේ දිනවල පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ටද හොදින් ජලය පානය කරන ලෙස බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ පෝෂණ විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස ඉල්ලා සිටිනවා.

පාසල් යන ළමයෙකු නම් දරුවාගේ වයස් සීමාව අනුව වතුර වීදුරු 4 ත් 6 ත් අතර ප්‍රමාණයක් පානය කළ යුතු බවයි ඇය ප්‍රකාශ කළේ.

මේ අතර, දිවයින පුරා මේ වනවිට පවතින උෂ්ණත්වය පිළිබදව හිරු ප්‍රවෘත්ති අංශය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායකගෙන් විමසීමක් කළා ෴


රන් මිල යළිත් ඉහළට

(31.03.2023 – 13:57 +0530 – hirunews.lk/sinhala)

වෙළඳපලේ රත්‍රං මිල යළි ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද (31) කැරට් 22 රන් පවුමක් රුපියල් 165,000 කට අලෙවි කෙරෙන අතර, කැරට් 24 රත්‍රං පවුමක් රුපියල් 180,000 කට අලෙවි වන බවයි සමස්ත ලංකා ස්වර්ණාභරණ සංගමය ප්‍රකාශ කළේ ෴


විදෙස්ගත ශ්‍රමික මුදල් ලැබීම ඉහළට

(31.03.2023 – 13:58 +0530 – hirunews.lk/sinhala)

විදේශ ශ්‍රමිකයින්ගෙන් මෙරටට ලැබුණු ආදායම පෙබරවාරි මාසයේදීත් ඇමරිකානු ඩොලර් මිලියන 400 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

මහ බැංකුව නිවේදනය කළේ ඇමරිකානු ඩොලර් මිලියන 407 ක ප්‍රේෂණ පසුගිය මාසයේ දී ලැබී ඇති බවයි.

2022 වසරේ පෙබරවාරි මාසයේ විදෙස් ගත ශ්‍රමිකයින්ගෙන් මෙරටට ලැබී තිබුණේ ඇමරිකානු ඩොලර් මිලියන 205 ක මුදලක් පමණයි.

පසුගිය මාසයේදී විදේශ රැකියා සඳහා පුද්ගලයින් 23,974 දෙනෙකු පිටත්ව ගොස් ඇති බව සඳහන්.

එසේම පෙබරවාරි මාසයේදී දිවයිනට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 1,07,639 ක්.

ඒ අනුව සංචාරක ඉපයීම් පෙබරවාරි මාසයේත් ඇමරිකානු ඩොලර් මිලියන 170 ක් ලෙස ඇස්තමේන්තු කර ඇති බවයි මහ බැංකුව වැඩිදුරටත් නිවේදනය කළේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *