විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අදත් (27)

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අදත් (27)


විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අදත් (27)

(27.03.2023 – 07:37 +0530 – hirunews.lk/sinhala)

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ආරම්භ කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද (27) දිනයේත් ක්‍රියාත්මක බව එම ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ප්‍රකාශ කළා.

එහි සභාපති මහාචාර්ය ශ්‍යාම බණ්නැහැක සඳහන් කළේ, රජයෙන් මේ දක්වා සාධනීය ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් වර්ජන ක්‍රියාමාර්ග අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට විධායක කමිටු රැස්වීමේ දී තීරණය කළ බවයි.

ඊට සමඟාමීව අද (27) පෙරවරු 11 සිට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට දී විරෝධතාවක් පැවැත්වීමට නියමිතයි.

රජයේ බදු ප්‍රතිපත්තියට එරෙහිව සහ රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයාට එරෙහිව එම විරෝධතාව ක්‍රියාත්මක කරන බවයි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ශ්‍යාම බණ්නැහැක සඳහන් කළේ.

+


පවුල් ලක්ෂ 29 කට නොමිලේ සහල්

(27.03.2023 – 07:39 +0530 – hirunews.lk/sinhala)

අඩු ආදායම්ලාභි පවුල් ලක්ෂ 29 කට නොමිලේ සහල් බෙදාදීමේ වැඩසහටන අද (27) සිට ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍යංශය ප්‍රකාශ කළා.

මෙවර මහකන්නයේදී ගොවි ජනතාවගෙන් රජය මිලදී ගත් වී තොග, සහල් බවට පත් කර ඒවා මෙසේ අඩු ආදායම්ලාභී පවුල් අතර බෙදාහැරෙන බවයි විෂයභාර අමාත්‍ය මහින්ද අමරවීර කියා සිටියේ.

එක් පවුලකට මසකට සහල් කිලෝග්‍රෑම් 10 ක් බැගින් මාස දෙකක් (2) සහල් නොමිලේ ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.

මෙම සහල් සහනාධාරය පළමුව පවුල් ලක්ෂ විස්සකට (20) ලබාදීමට සැළසුම් කර තිබුණත් පසුව එය ලක්ෂ 29 ක් දක්වා ඉහළ දැමීමට කටයුතු කළා.

කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, රත්නපුර, ගාල්ල සහ මාතර ඇතුලු තවත් දිස්ත්‍රික්ක කිහිපයකට පළමු අදියර යටතේ සහල් බෙදාහැරීම සිදු කෙරෙනවා ෴


ආනයනික කිරිපිටි මිල අඩු කළ ද දේශීය කිරිපිටි මිලේ වෙනසක් නැහැ

(27.03.2023 – 08:37 +0530 – hirunews.lk/sinhala)

ආනයනික කිරිපිටි මිල අද සිට පහත දැමුවද දේශීය කිරිපිටි මිලේ වෙනසක් සිදු කළ නොහැකි බව සමාගම් ප්‍රකාශ කළා.

අද (27) සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික කිරිපිටි කිලෝවක් රුපියල් 200 කින් සහ ග්‍රෑම් 400යේ කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 80 කින් අඩු කිරීමටයි කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය තීරණය කළේ.

ඒ අනුව රුපියල් 1,240 කට අලෙවි වූ ග්‍රෑම් 400 යේ කිරිපිටි පැකට්ටුවක මිල 1,160 ක් දක්වා අඩුවන අතර, කිලෝග්‍රෑම් එකේ (1) පැකට්ටුවක් රුපියල් 3,100 සිට රුපියල් 2,900 දක්වා අඩුවනු ඇති.

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ශක්තිමත් වීම මිල පහත දැමීමට හේතුව බව ඔහු කියා සිටියා.

මේ අතර අද (27) සිට කිරි තේ කෝප්පයක් රුපියල් 90 ක මිලට ලබා ගත හැකි බව සමස්ත ලංකා ආපනශාලා හිමින්ගේ සංගමය පවසනවා.

කිරි තේ කෝප්පයක් දැනට රුපියල් 100 ත් 130 ත් අතර මිලකටයි අලෙවි වන්නේ.

ආපණශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් කියා සිටියේ කිරි පිටි හා සීනි මිල අඩුවීමේ වාසිය ජනතාවට ලබා දීමේ අරමුණින් මෙම තීරණය ගත් බවයි.

මෙම තත්ත්වය හමුවේ දේශීයව කිරිපිටි නිෂ්පාදනය කරන මිල්කෝ සමාගම සහ පැල්වත්ත කිරි සමාගමෙන් හිරු ප්‍රවෘත්ති අංශය විමසීමක් කළා.

මිල්කෝ සමාගමේ සභාපති රේණුක පෙරේරා කියා සිටියේ මේ වනවිට ගොවීන්ගෙන් ලැබෙන කිරි ප්‍රමාණයේ අඩුවක් දක්නට ලැබෙන බවයි.

සාමාන්‍යයෙන් දෛනිකව කිරි ලීටර ලක්ෂ 12 ක් නිෂ්පාදනය කරන නමුත් එය මේ වනවිට ලීටර ලක්ෂ පහ (5) දක්වා අඩුවී ඇති බව ද ඔහු කියා සිටියා.

මේ හේතුවෙන් දේශීය කිරිපිටි මිල අඩු කළ නොහැකි බවයි මිල්කෝ සමාගමේ සභාපතිවරයා තවදුරටත් සඳහන් කළේ.

එමෙන්ම පැල්වත්ත කිරි සමාගමේ සභාපති ආරියශීල වික්‍රමනායකගෙන් ද අප මේ සම්බන්ධයෙන් විමසීමක් කළ අතර ඔහු කියා සිටියේ ආනයනික කිරිපිටි මිල අඩුකළ ද දේශීය මිල අඩු කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවයි ෴


ලොව නවීනතම ගුවන් යානයක් කටුනායකට

(27.03.2023 – 07:43 +0530 – hirunews.lk/sinhala)

ලොව නවීනතම මගී ගුවන් යානයක් පළමු වරට අද (27) අලුයම කටුනායක ගුවන් තොටුපල වෙත පැමිණියා.

සිංගප්පූරු ගුවන් සේවයට අයත් ‘බෝයිං 787-10’ වර්ගයේ මෙම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපල වෙත පැමිණි පළමු (1) අවස්ථාව මෙය බවයි වාර්තාවන්නේ.

ඇමරිකාවේ බෝයිං ගුවන් යානා නිෂ්පාදන සමාගම ‘ඩ්‍රීම්ලයිනර්’ ගුවන් යානා කාණ්ඩය යටතේ අලුතින්ම නිෂ්පාදනය කර ඇති මෙම යානය පුළුල් බඳක් සහිත එකවර ගුවන් මගීන් 337 දෙනෙකුට ගමන් කළ හැකි ආකාරයට නිපදවා තිබෙනවා.

රෝල්ස් රොයිස් වර්ගයේ එන්ජින් දෙකකින් (2) බලගැන්වෙන මෙම ගුවන් යානය ව්‍යාපාරික පන්තියේ ආසන 36 කින් සහ පිරිමැසුම්දායක පන්තියේ ආසන 301 කින් සමන්විතයි.

වසර 53 ක අඛන්ඩ සේවයක් සපයන සිංගප්පූරු ගුවන් සේවය මෙම නවතම ගුවන් යානය සේවයේ යෙදවීම තුළින් ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය වැඩිදියුණු කිරීමට මෙන්ම ආනයන අපනයන වෙළඳාම ශක්තිමත් කිරීමට ද විශාල දායකත්වයක් සපයන බව සිංගප්පූරු ගුවන් සේවයේ ශ්‍රී ලංකා නියෝජිත ‘එයිට්කන් ස්පෙන්ස්’ සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ වසන්ත කුඩාලියනගේ ප්‍රකාශ කළා.

සිංගප්පූරු ගුවන් සේවයේ මෙම පළමු මංගල ගුවන් ගමන සඳහා සිංගප්පූරුවේ සිට ගුවන් මගීන් 277 දෙනෙකු පැමිණි අතර, එම ගුවන් යානය අලුයම 12:40 ට කටුනායක සිට එහි සම්පූර්ණ ධාරිතාව වන මගීන් 377 දෙනෙකු රැගෙන යළි සිංගප්පූරුව බලා පිටත්ව ගියා.

අද (27) සිට සතියට දින 4 ක් එනම්, සඳුදා, බදාදා, සිකුරාදා සහ සෙනසුරාදා මෙම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපල සහ සිංගප්පූරුවේ චැංගි ගුවන් තොටුපල අතර ඍජු ගුවන් ගමන්වල නිරතවනවා ෴

(File Photo)

මොරටුව දෙඅත් කැපීමේ සිද්ධියට ඇල්ලූ දෙදෙනා (2) රිමාන්ඩ්

(27.03.2023 – 08:39 +0530 – hirunews.lk/sinhala)

මොරටුවේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකුගේ මැණික්කටුව ආසන්නයෙන් දෑත් කපා රැගෙන යාමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු සහ ඔහුට ආධාර අනුබල දුන් තවත් පුද්ගලයෙකු (1) ලබන මස හයවනදා (06) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ සැකකරුවන් ඊයේ (26) මොරටුව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුවයි.

සිද්ධියේ ප්‍රධාන සැකකරු පසුගිය 24 වනදා නීතීඥයෙකු මාර්ගයෙන් මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට භාරවීමෙන් පසුව පැය 48 ක රැඳවුම් නියෝග මත මොහුගෙන් ප්‍රශ්න කෙරුණා.

ඒ අතරතුරයි මෙම සිද්ධියට ආධාර අනුබලදුන් තවත් අයෙකු ඊයේ (26) අත්අඩංගුවට ගනු ලැබුවේ.

මෙම සිද්ධියට යොදාගත් කඩුව එගොඩඋයන, මෝසස් පාරේ වෙරළ තීරයේ ගල්පර අතර සඟවා තිබියදී ඊයේ (26) සොයාගෙන තිබුණා.

+


අප්‍රේල් සිට ඉන්දියාවට යන්න ඩොලර් 50 යි!

(27.03.2023 – 09:25 +0530 – hirunews.lk/sinhala)

යාපනය – කන්කසන්තුරේ සිට ඉන්දියාවේ කරෙයිකාල් අතර මගී ප්‍රවාහන බෝට්ටු සේවාව අප්‍රේල් මස 29 වනදා සිට ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සහ ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශය විසින් පසුගිය 26 වනදා තහවුරු කරනු ලැබුවා.

යාපනය කන්කසන්තුරේ සහ ඉන්දියාවේ කරෙයිකාල් යන ප්‍රදේශවල ආගමන හා විගමන අංශයන් දෙකක් (2) ද පිහිටුවීමට නියමිතයි.

ඒ සඳහා අවශ්‍ය මූලික පහසුකම් සැපයීමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා.

මුල් වරට මෙම බෝට්ටු සේවාව සඳහා රටවල් දෙකේම (2) යාත්‍රා යෙදවීමට බලපොරොත්තු නොවන අතර, ඒ සඳහා ඉන්දීය විදේශ අමාත්‍යාංශය විසින් ටෙන්ඩර් පටිපාටියකට අනුව යාත්‍රා යෙදවීමට බලාපොරොත්තු වෙනවා.

මෙම යාත්‍රා සේවයේ ගමන් කිරීමේ දී සැලසෙන වාසි අතර, එක් (1) යාත්‍රා ගමන් වාරයකට මගීන් 150 කට ගමන් කළ හැකි අතර, එක් (1) මගියෙක් සඳහා කිලෝග්‍රෑම් 100 ක බරක් රැගෙන යා හැකියි.

ටිකට් පතක් සඳහා ගෙවිය යුතු මිල අමෙරිකානු ඩොලර් 50 ක් බවත් වාර්තා වනවා.

මෙම ටිකට් පත් සඳහා රජයේ සහනාධාර ක්‍රමයක් ක්‍රියාත්මක වීම පිළිබඳ ව තවම තීරණයක් ගෙන නොමැති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා ෴


‘හරක් කටා’ගේ සහ ‘ප්‍රින්ස් කොලම්’ගේ සමීපතමයන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට

(27.03.2023 – 10:11 +0530 – hirunews.lk/sinhala)

මෙරට අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ‘නදුන් චින්තක’ හෙවත් ‘හරක් කටා’ගේ මෙරට අපරාධ සහ කුඩු ජාලය මෙහෙයවන ‘ආමි සනත්’ නමැත්තා මත්ද්‍රව්‍ය සමඟ පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අහංගම – මිදිගම ප්‍රදේශයේ ඊයේ (26) සිදුකළ වැටලීමකදී මෙලෙස අත්අඩංගුවට ගත් 32 හැවිරිදි මොහු පසුගිය කාලයේ ‘හරක් කටා’ගේ මෙහෙයවීම යටතේ සිදුවූ වෙඩි තැබීම් කිහිපයකට ආධාර අනුබල දී ඇති බවටයි හෙළිව ඇත්තේ.

පසුගිය කාලයේ සිදු වූ වෙඩි තැබීම් කිහිපයකට භාවිත කරන ලද ගිනි අවි ප්‍රවාහන කිරීම සහ වෙඩි තැබීම්වලින් පසුව එම අවි පිරිසිදු කර ‘හරක් කටා’ගේ උපදෙස් මත විවිධ පුද්ගලයින් වෙත භාරදීම මොහු විසින් සිදුකර ඇති බවට ද අනාවරණ වී තිබෙනවා.

මේ අතර මහ පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවෙකු වන ‘ප්‍රින්ස් කොලම්’ නමැත්තාගේ සමීපතමයෙකු ද පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගත්තා.

ඒ, ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදියි.

40 හැවිරිදි මොහු වැඩිදුර පරීක්ෂණ සඳහා ග්‍රෑන්ඩ්පාස් පොලිසියට භාර දී තිබෙනවා.

+


වසන්ත මුදලිගේට එරෙහි නීතිපතිගේ අභියාචනය තුන්වනදා (03) කැඳවයි

(27.03.2023 – 11:14 +0530 – hirunews.lk/sinhala)

අන්තර් විශ්වවිද්‍යාලයීය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කිරීමට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ අභියාචනය ලබන මස 03 වනදා කැඳවීමට කොළඹ මහාධිකරණය අද (27) නියෝග කළා.

ඒ මහාධිකරණ විනිසුරුවරයා අද (27) දින නිවාඩු ලබා සිටීම හේතුවෙන්.

අද (27) පෙත්සම සළකා බැලූ අවස්ථාවේ වගඋත්තරකාර වසන්ත මුදලිගේ අධිකරණය හමුවේ පෙනී සිටියා.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව සඳහන් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් ඔහු නිදහස් කර තිබුණා.

එම තීරණය නීතියට පටහැනි යැයි තීන්දු කොට එය ප්‍රතිශෝධනය කරන ලෙස ඉල්ලමිනුයි නීතිපතිවරයා මෙම අභියාචනය කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර ඇත්තේ ෴


පාසල් සිසුවෙකු දුම්රියේ ගැටී ජීවිතක්ෂයට

(27.03.2023 – 11:21 +0530 – hirunews.lk/sinhala)

මහනුවර – මුල්ගම්පොල ගුවන් පාලම අසළ දී දුම්රියේ ගැටී 16 හැවිරිදි පාසල් සිසුවෙකු මියගොස් තිබෙනවා.

මහනුවර – මාදබෝවල ප්‍රදේශයේ පදිංචි මොහු මෙලෙස ගැටී ඇත්තේ මහනුවර සිට බදුල්ල බලා ධාවනය වූ දුම්රියකයි.

පදිකයින් සඳහා වෙන් කර ඇති ගුවන් පාලම භාවිත නොකර දුම්රිය මාර්ගය හරහා ගමන් කිරීම හේතුවෙන් සිසුවා අනතුරට ලක්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ ෴


කොරෝනා ආසාදිතයින් ගැන එළියට ආ අලුත්ම ආරංචිය

(27.03.2023 – 11:26 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් පසු ඇති වූ මොළය ආශ්‍රිතව සංකූලතා හේතුවෙන් ජපානයේ තරුණ ජනගහනයෙන් සියයට 10 කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව අනාවරණ වී තිබෙනවා.

මේ බව හෙළි වී ඇත්තේ ජපානයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යයන කණ්ඩායමක් මෑතක දී සිදුකළ සමීක්ෂණයකින්.

2020 ජනවාරි මාසයේ සිට 2022 මැයි දක්වා කාලය තුළ සිදුකළ මෙම සමීක්ෂණයේදී වයස අවුරුදු 18 ට අඩු කොවිඩ් ආසාදනය වූ දරුවන් 34 දෙනෙකු ‘එන්සෙෆලොපති’ හෙවත් මොළයේ ක්‍රියාකාරීත්වයට බලපෑම් ඇති කරන විවිධ රෝග තත්ත්වයන්ට ගොදුරු වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *