මහ බැංකු සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය අවසන්

මහ බැංකු සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය අවසන්


මහ බැංකු සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය අවසන්

(24.03.2023 – 20:10 +0530 – hirunews.lk/sinhala)

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන මහ බැංකු සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි රහසිගත නිගමනය කතානායකවරයා වෙත යොමු කරන බව අද (24) නිවේදනය කළා.

මේ හරහා ශ්‍රී ලංකා මහ බැංකුවට සිය කටයුතු විනිවිදභාවයකින් යුතුව පවත්වාගෙන යාමට අවස්ථාව සැලසෙන බවයි ඔහු පෙන්වා දුන්නේ.

යෝජිත පනත් කෙටුම්පත හරහා ශ්‍රී ලංකා මහ බැංකුව විධායකයේ පාලනයෙන් බැහැර වන බවට පෙත්සම්කරුවන් චෝදනා එල්ල කර තිබුණා.

එහෙත් අද (24) ශ්‍රේෂ්ඨාධිකරණයේදී එම තර්කය ප්‍රතික්ෂේප කළ රජයේ අතිරේක සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න යෝජිත පනත් කෙටුම්පත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව පාර්ලිමේන්තුවට වගකීමට නීතියෙන් බැඳී සිටින බවයි සදහන් කළේ.

ඊට අමතරව මහ බැංකුවේ ගිණුම් විගණනය කිරීමේ බලය රජයේ විගණකාධිපතිවරයාට පැවරී බවද ඔහු අවධාරණය කළා.

මේ අතර අදාළ පනත් කෙටුම්පතට සංශෝධන එක් කිරීමට පියවර ගන්නා බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නා.

ඉන් අනතුරුව පෙත්සම් වලට අදාළ විභාගය අවසන් කල ශේෂ්ඨාධිකරණය ලිඛිත දේශන ඇත්නම් ඒවා ලබන 27 වනදා ගොනු කරන ලෙසයි පාර්ශ්වකරුවන්ට නියෝග කළේ.‍

එහි ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ රහසිගත නිගමනය පාර්ලිමේන්තුවේ කතානායක වරයා වෙත දැනුම් දෙන බව ද ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල නිවේදනය කළා.

මෙම නඩු විභාගය පැවැති අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, අදාළ පනත් කෙටුම්පතේ අන්තර්ගත ඇතැම් කාරණා පිළිබඳව විනිසුරුවරු මතු කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීම හා පැහැදිලි කිරීම් සිදුකළා.

නව මහබැංකු පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් පෙත්සම් ගොනුකර තිබෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උදය ගම්මන්පිල, පූජ්‍ය අතුරලියේ රතන හිමි, විශ්‍රාමික යුධ හමුදා කර්නල් අනිල් අමරසේකර ඇතුළු පාර්ශවයන් 07 ක් ෴


‘ලාංකීය එක්සත් ව්‍යවසායකයින්ගේ සංසදයෙන්’ ඉල්ලීමක්

(24.03.2023 – 20:06 +0530 – hirunews.lk/sinhala)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ලැබුණු ණය මුදලින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහන සැළසීමට රජය කටයුතු කළ යුතු බව ‘ලාංකීය එක්සත් ව්‍යවසායකයින්ගේ සංසදය’ පවසනවා.

එම සංසදයේ සභාපතිනි ටානියා අබේසුන්දර කොළඹ අද (24) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ මහබැංකු අධිපතිවරයා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ඉදිරියේදී ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳ මාර්ගෝපදේශ සැළැස්මක් ද ඉදිරිපත් කළ යුතු බවයි.

මේ අතර සංචාරක කර්මාන්තය මේ වන විට යළි ගොඩනැගෙමින් පවතින බව ‘ශ්‍රී ලංකා වෘත්තීය සූපවේදින්ගේ සංගමය’ පවසනවා.

කොළඹ, හුණුපිටිය – ගංඟාරාම විහාරස්ථානයේ පැවති ආගමික වැඩසටහනකින් අනතුරුව එම සංගමයේ සභාපති සුනිල් සිල්වා සහ ලේකම් දිල්රුක්ෂාන් දාබරේ ජනතාවගෙන් ඉල්ලා සිටියේ සංචාරකයින්ට යහපත් ලෙස සළකන ලෙසයි.

+


IMF පළමු වාරිකයෙන් ඉන්දීය ණයෙන් කොටසක් ගෙවයි

(24.03.2023 – 16:58 +0530 – hirunews.lk/sinhala)

ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ මෙරටට ලැබුණු මුදලෙහි පළමු (1) වාරිකය ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 121 ක් ගෙවා අවසන් කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මෙරටට ලැබුණු විස්තීර්ණ ණය පහසුකමෙහි පළමු වාරිකය වූ අමරිකානු ඩොලර් මිලියන 330 ක මුදලින් එම ඉන්දීය ණය වාරිකය ගෙවූ බවයි ඔහු කියා සිටියේ.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව අනාවරණ කළේ කෑගල්ලේ පැවති උත්සවයකින් අනතුරුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබෙන මුදල් වියදම් කරන ආකාරය සම්බන්ධයෙන් මාධ්‍යවේදීයෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මෙරටට ලබාදීමට නියමිත විස්තීර්ණ ණය පහසුකමෙහි පළමු (1) වාරිකය වන ඇමරිකානු ඩොලර් මිලියන 333 ක මුදල පෙරේදා මහ බැංකුවේ ගිණුමට බැර කර තිබුණා.

ඒ අනුව එය මේ වන විට මුදල් අමාත්‍යංශයේ නියෝජ්‍ය ලේකම්වරයාගේ ගිනුමට බැර කර ඇති අතර ඉන් ඇමරිකානු ඩොලර් මිලියන 121 ක් ඉන්දීය ණය යෝජනා ක්‍රමයේ පළමු වාරිකය ගෙවීමට යොදා ගත් බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය කියා සිටියේ.

මේ අතර ලෝක බැංකුවේ මෙරට අධ්‍යක්ෂිකා චියෝ කණ්ඩා සහ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා අතර හමුවක්ද පවත්වා තිබෙනවා.

මූල්‍ය අරමුදල මඟින් මෙරටට විස්තීර්ණ ණය පහසුකමෙහි මුල් වාරිකය ලබාදීමෙන් පසුව සිදුකළ පළමු සාකච්ඡාව මෙයයි.

ඉදිරි ආර්ථික කටයුතු සහ ලෝක බැංකුවේ සහය හිමිවන ආකාරය සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබෙනවා.

එසේම දරුණු ආර්ථික අර්බුදයක් හමුවේ වුවද මෙරට බැංකු පද්ධතිය ස්ථාවරව පවත්වාගැනීමට හැකිවූ බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ප්‍රකාශ කළා.

ඒ කොළඹ පැවති උත්සවයකට එක්වෙමින්.

මේ අතර ශ්‍රී ලංකා මහබැංකුව අද (24) ප්‍රකාශයට පත්කළ විනිමය අනුපාතිකයන්හි ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 314.74 ක් ලෙසත් විකුණුම් මිල රුපියල් 331.37 ක් ලෙසත් දැක්වුණා.

එමෙන්ම මාර්තු 17 වනදායින් අවසන් වූ සතිය තුළ සියලුම වාණිජ බැංකුවල සාමාන්‍ය බර තැබූ මූලික ණය අනුපාතය සහ අඩුම මූලික අනුපාතය සියයට 23.78 ක් සහ සියයට 17 ක් ලෙසයි වාර්තා වී තිබුණේ.

+++++++++

තවත් ණය ශ්‍රී ලංකාවට

(24.03.2023 – 16:09 +0530 – hirunews.lk/sinhala)

ලෝක බැංකුවෙන් සහ ආසියානු සංවර්ධන බැංකුවෙන් ඉදිරි දින කිහිපය ඇතුළත ඇමරිකානු ඩොලර් බිලියන 7 ක මුදලක් මෙරටට ලැබීමට නියමිත බව වාර්තා වෙනවා.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් අපේ රට වෙත ලබා දීමට එකඟ වූ විස්තීර්ණ ණය පහසුකම ලැබුණු පසු මෙම ණය මුදල ලැබීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ලෝක බැංකුවෙන් සහ ආසියානු සංවර්ධ බැංකුවෙන් එම මුදල් ලැබිමට නියමිත බවයි සඳහන් වන්නේ.

මේ පිළිබද සාකච්චාවක් මෙරටට පැමිණ සිටින ලෝක බැංකුවේ නියෝජිතයන් සමඟ මුදල් රාජ්‍ය අමාත්‍යංශයේ දී පැවැත්වුණා.

ලෝක බැංකුවේ මෙරට අධ්‍යක්ෂිකා චියෝ කන්ඩා (Chiyo Kanda) සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය ඊට එක්ව සිටියා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාව වෙත විස්තීර්ණ ණය වාරිකය ලබා දීමෙන් අනතුරුව සිදු කළ පළමු සාකච්ඡාව මෙය වීම විශේෂත්වයක්.

එහි දී අදාළ ණය මුදල ලැබීමෙන් පසු ඉදිරි ආර්ථික කටයුතු සහ ලෝක බැංකුවේ සහාය හිමි වන ආකාරය පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණා ෴


රැකියා වලට ගොස් ලාඕසයේ සිරවී සිටි ශ්‍රී ලාංකික තරුණයන් පිරිසක් දිවයිනට

(24.03.2023 – dinamina.lk)

ලාඕසයේ පරිගණක ක්ෂේත්‍රයේ රැකියා සදහා ගොස් සිටි ශ්‍රී ලාංකික තරුණයන් 24 දෙනෙකු , තමන්ට පැවරූ පරිගණක මූල්‍ය වංචා සිදු නොකිරීම නිසා එරට විශේෂිත කළාපයක කොටු වී සිටියදී අද (24) දින ඔවුන් බේරා ගෙන කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබුණි.

මොවුන් හම්බන්තොට සහ ගාල්ල ඇතුළු දකුණු පළාත නියෝජනය කරන පරිගණක පිළිබඳ වැඩිදුර අධ්‍යාපනය ලැබූ තරුණයන් පිරිසකි.

ඔවුන් මීට මාස 04 කට පමණ පෙර ලාඕසයේ ‘බොකියෝ’ (Bokio) හි, චීනය විසින් පාළනය කරනු ලබන රන් ත්‍රිකෝණයේ, විශේෂිත ආර්ථික කළාපයේ (Special Economic Zone) පරිගණක ක්ෂේත්‍රයේ රැකියා සදහා ව්‍යාපාරික වීසා යටතේ, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි නොවී පිටත්ව ගොස් තිබේ.

එහිදී මෙම කළාපයට ඇතුළු වත්ම ඔවුන්ගේ ගුවන් ගමන් බලපත්‍ර , ජංගම දුරකථන සහ අනෙකුත් වටිනා ලියකියවිලි සියල්ල මොවුන් රැගෙන ගිය සමාගම විසින් තම භාරයට ගෙන තිබේ.

ඉන්පසුව මෙම විශේෂිත කළාපය තුළ පිහිටි සමාගමේ කාර්යාලය වෙත රැගෙන ගිය මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස වෙත, තම රැකියාවේ කාර්යයභාරය ලෙස , විවිධ ගිණුම් ක්‍රම භාවිතා කරමින්, මෙම කළාපය තුළ ව්‍යාජ ලෙස විවිධ ආයෝජන අවස්ථා පවතින බව පෙන්වා දෙමින්, මේ පිළිබඳව උනන්දුවක් දක්වන්නන්ගෙන්, අන්තර්ජාලය ඔස්සේ මුදල් වංචනික ලබා ගැනීමට කටයුතු කරන ලෙස දන්වා තිබේ.

මෙම කටයුත්ත ප්‍රතික්ෂේප කළ මෙම ශ්‍රී ලාංකික තරුණයන් පිරිසට, මෙම විශේෂිත ආර්ථික කළාපයෙන් පිටවීමට, මේ සිදුවීම පිළිබඳව ශ්‍රී ලංකාවට හෝ බාහිර ලෝකය දැනුවත් කිරීමට අවස්ථාවක් ලබා නොදී සිරගත තත්වයකට පත් කිරීමට එම සමාගම පියවර ගෙන තිබේ.

එහෙත් පරිගණක පිළිබඳව මනා නිපුණත්වයක් ඇති මෙම ශ්‍රී ලාංකික තරුණයන් පිරිස, මෙම බාධක මැඩලමින්, දැඩි ප්‍රයත්නයක් දරා මේ සියලු සිදු වීම් මාලාව ලොවට හෙළි කිරීමට පියවර ගෙන තිබුණි.

ලාඕස රාජ්‍යයේ ශ්‍රී ලංකාව නියෝජනය කරන තානාපති නිලධාරීවරයෙකු නොමැති අතර, ඒ වෙනුවට ගරු දූත සේවා නිලධාරීවරයෙකු වශයෙන් දමිත් අලුත්ගේ මහතා කටයුතු කරමින් සිටින අතර, ඔහු සහ ශ්‍රී ලංකාවේ ‘මගෙන් රටට’ සිවිල් සංවිධානයේ සභාපති සංජය මහවත්ත මහතා එක්ව දැඩි ප්‍රයත්නයක් දරා, මෙම තරුණයන් පිරිස මෙම කළාපයේ, එම සමාගමෙන් බේරා ගෙන, යළි ශ්‍රී ලංකාවට ගෙන ඒමට කටයුතු කර තිබුණි ෴


25-03-2023

25-03-2023

24-03-2023

24-03-2023

24-03-2023

24-03-2023

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *