පළාත් පාලන ඡන්ද විමසීමේ තැපැල් ඡන්ද සළකුණු කිරීම යළි කල් යයි

පළාත් පාලන ඡන්ද විමසීමේ තැපැල් ඡන්ද සළකුණු කිරීම යළි කල් යයි


පළාත් පාලන ඡන්ද විමසීමේ තැපැල් ඡන්ද සළකුණු කිරීම යළි කල් යයි

(23.03.2023 – 16:41 +0530 – hirunews.lk/sinhala)

පළාත් පාලන ඡන්ද විමසීමේ තැපැල් ඡන්ද සළකුණු කිරීම ලබන 28 වනදා ආරම්භ නොකරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඡන්ද විමසීම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ ලේකම්වරුන් සමග අද (23) පැවති සාකච්ඡාවෙන් පසු මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මේ බව කියා සිටියා.

ලබන 28, 29, 30, 31 සහ 03 යන දිනවල දී තැපැල් ඡන්දය සළකුණු කිරීමටයි මැතිවරණ කොමිසම මීට පෙර තීරණය කර තිබුණේ.

කෙසේ වෙතත් අද (23) පැවති සාකච්ඡාවේ දී දේශපාලන පක්ෂ ලේකම්වරුන් සිදුකළ යෝජනා සහ ඡන්ද විමසීම් නීති පිළිබඳ අධ්‍යයනය කර ඡන්දය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් ඉදිරි කාලයේ මැතිවරණ කොමිසම තීරණයකට එළැඹෙන බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

එසේම පවත්නා තත්ත්වය යටතේ අප්‍රේල් මස 25 වනදා පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීමට නොහැකි බැවින් ඉදිරි නිශ්චිත දිනයක් සඳහන් කොට ඡන්ද විමසීම පැවැත්වීම කල්දැමීම පිළිබඳව ද මැතිවරණ කොමිෂන් සභාවේ අද (23) පැවති සාකච්ඡාවේ දී යෝජනා සහ අදහස් ලෙස දේශපාලන පක්ෂ ලේකම්වරුන් ඉදිරිපත් කර තිබෙනවා.

ඊට අමතරව ඡන්ද විමසීම පැවැත්වීම සම්බන්ධව නිශ්චිත දිනයක් සඳහන් නොකොට ඒ සඳහා අවශ්‍ය පහසුකම් හා පසුබිම සාක්ෂාත් වීමෙන් අනතුරුව ඡන්ද විමසීම සඳහා දින නියම කිරීමට එහිදී යෝජනා වී ඇති බව සඳහන්.

ඡන්ද විමසීම කල් නොදැමිය යුතු බවට මෙන්ම එකඟතා මත ඡන්ද විමසීම සඳහා ඉදිරි දිනයක් තීරණය කර ගැනීම පිළිබඳව ද එහිදී යෝජනා වී තිබෙනවා.

මෙම සියලු කරුණු පිළිබඳව මෙන්ම අදාළ ඡන්ද විමසීම් නීති පිළිබඳවද අධ්‍යයනය කොට ඡන්ද විමසීම් දිනය පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව ඉදිරියේදී තීරණයකට එළැඹෙන බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වුණේ.

+


රුධිර පරීක්ෂාවලට වැඩියෙන් මුදල් අය කළ ආයතන 08 කට දඩ

(23.03.2023 – 16:45 +0530 – hirunews.lk/sinhala)

පාලන මිල ඉක්මවා ‘ඩෙංගු ඇන්ටිජන් පරීක්ෂාව’ සහ ‘පූර්ණ රුධිර පරීක්ෂාව’ සඳහා මුදල් අයකළ කොළඹ ප්‍රදේශයේ පෞද්ගලික රෝහල් සහ පෞද්ගලික රසායනාගාර 08 කට රුපියල් ලක්ෂ 55 ක දඩයක් අධිකරණ මගින් නියම කර තිබෙනවා.

පාරිභෝගික කටයුතු අධිකාරියේ වැටලීම් අංශය විසින් මෙම වැටලීම් සිදුකර ඇති අතර පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය, කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ආයතන 05 ක් සම්බන්ධයෙන් කරුණු දක්වා තිබෙනවා.

එහිදී එම ආයතන වරද පිළිගැනීමෙන් අනතුරුව ඔවුන්ට රුපියල් ලක්ෂ 35 ක දඩයක් නියම කිරීමටයි පියවර ගැනුණේ.

එසේම තවත් ආයතන තුනකට (3) ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට කළ කරුණු දැක්වීමේ දී ඔවුන්ට රුපියල් ලක්ෂ 20 ක දඩ මුදලක් නියම කෙරුණා ෴


ව්‍යවසාය 07 ක රජය සතු කොටස් අයිතිය පැවරීමට කටයුතු ඇරඹේ

(23.03.2023 – 17:34 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය ව්‍යවසාය කිහිපයක රජය සතු කොටස් අයිතිය පැවරීමට අමාත්‍ය මණ්ඩලය ගනු ලැබූ තීරණයට අනුව එම කටයුතු සඳහා සහය වීම පිණිස ගනුදෙනුකාර උපදේශන සමාගම් තෝරා ගැනීම කෙටිකාලයකින් ආරම්භ කරන බව මුදල් අමාත්‍යංශය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පවසන්නේ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහකරණ ඒකකය විසින් මෙම ගනුදෙනු විනිවිධභාවයකින් යුක්තව සිදු කිරීම සඳහා සුදුසු ආයෝජකයන් තෝරාගැනීම සඳහා කැමැත්ත පළකිරීමේ නිවේදනය සහ යෝජනා කැඳවීමේ නිවේදන ක්‍රියාවලිය සඳහා දේශීය සහ ජාත්‍යන්තර මාධ්‍යවල දැන්වීම් පළකිරීමට කටයුතු කරනු ඇති බවයි.

කැබිනට් තීරණයට අනුව රජය සතු කොටස් අයිතිය පැවරීම අනුමත කර ඇති සමාගම් වන්නේ, ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඇතුළු ශ්‍රී ලංකන් කේටරින් සමාගම, ටෙලිකොම් සමාගම, රක්ෂණ සංස්ථාව, කොළඹ ග්‍රෑන්ඩ් හයට්, කොළඹ හිල්ටන් හෝටලය, ලිට්‍රෝ සමාගම හා ලංකා හොස්පිටල් සමාගමයි.

+


වියැකෙමින් යන රූකඩ කලාව – නිර්මාණ ශිල්පීන්ගෙන් බලධාරින්ට මැසිවිලි

(23.03.2023 – 18:50 +0530 – hirunews.lk/sinhala)

සම්ප්‍රදායික ජනකලා උරුමයන් අතර කැපී පෙනෙන රූකඩ කලාව ලංකාවේ ගැමි නාට්‍ය කලාවක් ලෙස ද අතිශය ප්‍රචලිත වූ සංස්කෘතික අංගයක්.

එය මේ වනවිට සංස්කෘතික උරුමයක් සේම වර්තමානයේ සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා පාදක කරගන්නා ප්‍රසංගික කලාවක් ලෙසට ද ජනප්‍රිය වී තිබෙනවා.

‘පපට්ස්’ ලෙස ඉංග්‍රීසි බසින් හඳුන්වන රූකඩ කලාවට ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධියක් උසුලන්නේ දකුණු පළාතට අයත් අම්බලන්ගොඩ නගරයටයි.

දකුණු ඉන්දීය කලාවෙන් ආභාසය ලබමින් රූකඩ කලාව මෙරටට තිළිණ වී ඇති අතර එය ශ්‍රී ලංකාව වැළඳගෙන ද වසර 300 කට අධික වනවා.

නාට්‍ය කලාවක් ලෙසින් ද පිළිගැනෙන රූකඩ කලාව සමරන දිනය පසුගිය 21 වැනිදින යෙදී තිබුණේ ද ලෝක රූකඩ දිනය සිහිපත් කරමින් වීම ද විශේෂත්වයක්.

ලංකාවේ සම්ප්‍රදායික රූකඩ නාට්‍ය කලාව අම්බලන්ගොඩ සහ බලපිටිය ප්‍රදේශයන්හි දී උත්පත්තිය ලැබූ බවට පිළිගැනෙන අතර මෙහි පුරෝගාමියා ලෙස සැලකෙන්නේ කන්දෙගොඩ විසූ පොඩිසිරිනා ගුරුන්නාසේ බවට රූකඩ කලාවේ ප්‍රවීණයින්ගේ විශ්වාසයයි.

නූල් රූකඩ, රිටි රූකඩ, සෙවණැලි රූකඩ , අත් රූකඩ හා ඇඟිලි රූකඩ යනුවෙන් රූකඩ වර්ග ඇති අතර මේ වනවිට වැඩි වශයෙන් භාවිතයේ පවතින්නේ නූල් රූකඩ කලාවයි.

එහෙත් මේ වනවිට රූකඩ නිර්මාණ ශිල්පීන් මෙන්ම රූකඩ කලාව පාරම්පරිකව සිදු කරන්නන් මුහුණ දෙන ප්‍රධාන අභියෝගය වී ඇත්තේ රූකඩ නිර්මාණය සඳහා භාවිත කරනු ලබන අමුද්‍රව්‍ය හිඟවීමත්, පවතින අමුද්‍රව්‍ය මිලෙන් අධික වීමත්, රූකඩ නිර්මාණයට වැයවන පිරිවැය සපුරා ගැනීමට හෝ නිසි රාජ්‍ය අනුග්‍රහයක් රූකඩ කලාවේ ප්‍රගමනය සඳහා හිමිනොවීමයි.

දේශීය සංස්කෘතිය පිරිහෙමින් පවතින බවට ඇති තවත් ප්‍රබල සාක්ෂියක් ලෙසට හුවා දැක්විය හැක්කේ රූකඩ නිර්මාණය කිරීම සඳහා භාවිත කරන දැවමය ශාක කඳන් වන කඳුරු හෝ රුක් අත්තන සොයාගැනීමට ඇති අපහසුතාවයි.

කඳුරු ශාකය තිබුණ ද, එය පාරිසරික අණපනත් පැනවීම හේතුවෙන් කැපීමේ නීතිමය අවසරයක් අහිමි කර ඇත්තේ රටේ සංවර්ධනයට අත්‍යවශ්‍යම සාධකයක් වන සංස්කෘතික වර්ධනයට රජයෙන් වැරෙන් පහරක් එල්ල කරමිනි.

රූකඩ ප්‍රසංගික උලෙළක දී නූල් රූකඩ නර්තනයේ යෙදවීම පමණක් නොව, ඊට අවශ්‍ය ඇඳුම් ආයිත්තම් එක් කිරීම, සංවාද, සංගීතය යෙදීම, වේදිකා සැරසිලි ආදියට ද නිර්මාණ ශිල්පියාට දැරීමට සිදුව ඇත්තේ වර්තමානයේ වියදම් තත්ත්වය අනුව දැරිය නොහැකි පිරිවැයකි.

අතීත ජනකතා, මිත්‍යා කතා , ජනප්‍රවාද පමණක් නොව ජාතක කතාවෙන් ලද ආභාෂය මතින් නැටවෙන මෙරට රූකඩ කලාව රටේ සංස්කෘතික ප්‍රවර්ධනයට හෝ එතුළින් සංචාරක ආකර්ෂණය දිනා ගැනීමටත්, දේශීය කලාව සම්බන්ධයෙන් නූතන දරුවාට කිසියම් අවබෝධයක් ඔවුන්ගේ ආධ්‍යාත්මික ජීවිතයට එක් කිරීමට හෝ දායක කරගැනීමට රජයේ මෙන් ම බුද්ධ ශාසන, සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යාංශය වෙත පැවරී ඇති තවත් එක් භාරදූර වගකීමක් නොවන්නේ ද?

ක්‍රමයෙන් විනාශ මුඛයට ඇද වැටෙමින් පවතින සම්ප්‍රදායික රූකඩ කලාව යළිත් නගා සිටුවීමට මේ අවැසි කාලය වන අතර, වගකිව යුතු බලධාරිනී මේ ඔබේ අවධානය පිණිසයි…!


ජලය නොමැති ගම්මුන්ගෙ දුක වර්තා කරන්නට ගිය මාධ්‍යවේදියාට සද්ද දැමූ අජිත් (23.03.2023)

+


රුපියල් බිලියන 06 ක් වටිනා නීතීවිරෝධි සිගරට් තොගයක් රේගුව භාරයට

(23.03.2023 – 18:52 +0530 – hirunews.lk/sinhala)

නීතීවිරෝධි ලෙස මෙරටට රැගෙන ආ විදේශීය සිගරට් තොගයක් කොළඹ වරාය පර්යන්තයේ දී බහාළුමක තිබී රේගුව භාරයට ගෙන තිබෙනවා.

ඒ, ශ්‍රී ලංකා රේගුවේ ආදායම් අධීක්ෂණ අංශයට ලද තොරතුරකට අනුවයි.

රේගු නිලධාරීන් පවසන්නේ එම සිගරට් තොගයේ දේශීය වටිනාකම රුපියල් බිලියන 06 ක් බවයි.

කාම්බෝජියාවේ සිට ප්‍රතිඅපනයනය සඳහා කොළඹ වරායට රැගෙනවිත් තිබූ බහාළුමක කඩදාසි පැකට් අතර දමා මෙම සිගරට් රැගෙනවිත් ඇති බවයි වාර්තා වෙන්නේ.


ගිණිබත් වුණ රත්නපුර නිවස (23.03.2023)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *