ලබන වසරේ (2024) මුල ජනාධිපතිවරණයක්?

ලබන වසරේ (2024) මුල ජනාධිපතිවරණයක්?


ලබන වසරේ (2024) මුල ජනාධිපතිවරණයක්?

(18.03.2023 – 10:17 +0530 – hirunews.lk/sinhala)

ලබන වසරේ මුල ජනාධිපතිවරණයක් පවත්වන තුරු කිසිදු මැතිවරණයක් නොපැවැත්වීමට රජය සූදානම් බව ආණ්ඩුවේ ඉහළ පෙළේ ආරංචි මාර්ගවලින් වාර්තා වූ බව ජාතික පුවත්පතක් අද (18) වාර්තා කළා.

එහි දැක්වෙන පරිදි ලබන වසරේ 2024 මුල ජනාධිපතිවරණයකට සූදානම් වන ලෙස ජනාධිපතිවරයා විසින් රජයේ ඉහළ පිරිසකට දී ඇති බවයි සඳහන් වන්නේ.

ජනාධිපතිවරයා පාර්ලිමේන්තු රැස්වීමේ දී හා එක්සත් ජාතික පක්‍ෂ ක්‍රියාකාරීන් සමග ඒ සම්බන්ධයෙන් පැවසූ බවත් එම පුවත්පත වැඩිදුරටත් වාර්තා වනවා.

එසේ වුවත් ජනාධිපතිවරයා විසින් දැනට පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය නොපවත්වන බවට කිසිදු තැනක සඳහන් නොකළ බවත් නියෝජිතයන් අට දහසක් (8000) ඇතුළත් වන පරිදි පළාත් පාලන ආයතන පවත්වාගෙන යාම අසීරු බවත් ජනාධිපතිවරයා විසින් පවසා ඇති බව ද එම පුවත්පත් වාර්තාවේ වැඩි දුරටත් සඳහන් ෴


පවුලේ ගින්න නිවස ම අළු කළ හැටි

(18.03.2023 – 12:44 +0530 – hirunews.lk/sinhala)

මොරටුමුල්ල, කඩලාන, බොල්ගොඩ – සිරිමාවතේ නිවසක ඊයේ (17) රාත්‍රියේ හටගත් ගින්නකින් නිවස සහ එහි ගෘහ උපකරණ සියල්ල මුළුමනින් ම විනාශ වුණා.

ඒ පවුල් ආරවුලක් දුර දිග ගොස් පියා විසින් දරුවන් දෙදෙනා (2) සහා බිරිඳ නිවසින් පිටව ගොස් අවස්ථාවේ දී නිදන කාමරයේ මෙට්ටයට ගිනි තැබීමෙන් ඇති වූ ගින්න ගෑස් සිලින්ඩර ට ඇවිලී එය මුළු නිවෙස පුරා පැතිරීමෙන්.

සිද්ධිය වාර්තා වූ වහා ම මොරටුව නගර සභාවේ ගිනි නිවන රථ තුනක් (3) එම ස්ථානයට පැමිණ ඇති අතර පොලීසිය සහ ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව ගින්න මුළුමනින්ම නිවාදැමීමට කටයුතු කර තිබෙනවා.

එහෙත් ඒ වනවිට මුළු නිවස ම ගිනිබත් වී තිබූ අතර, අවට නිවාසවලට ගින්න පැතිරීම වළක්වා ගැනීමට අදාල අංශ කටයුතු කළා.

විශාල පිපුරුම් හඬක් සමඟ ගින්න හටගත් බවයි සිද්ධිය ඇසින් දුටුවන් පවසන්නේ.

ගින්නෙන් ජීවිත හානි කිසිවක් සිදුව නොමැති බවයි පොලිසිය සදහන් කළේ.

ගිනිතැබු පුද්ගලයා මොරටුමුල්ල පොලිසිය විසින් අත්තඩංගුවට ගත් ඇති අතර තමා විසින් ගිනිතැබු බව ඔහු විසින් පිළිගෙන තිබෙනවා.

+


ගත වූ මාස තුන (3) තුළ දුම්රිය අනතුරුවලින් 57 ක් මිය ගිහින්

(18.03.2023 – 13:16 +0530 – hirunews.lk/sinhala)

මේ වසරේ ගත වූ මාස තුනහමාරක (3½) කාලසීමාව තුළදී අපරික්ෂාකාරීව දුම්රිය මාර්ගයේ ගමන් කිරීමෙන් සහ දුම්රියට පැන සියදිවි හානි කරගැනීමෙන් පුද්ගලයින් 57 දෙනෙකු මියගොස් ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

එය පසුගිය වසරට සාපේක්ෂව වැඩීවීමක් බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

පසුගිය වසරේ දුම්රියට පැන සියදිවි හානිකරගෙන ඇති සංඛ්‍යාව 175 ක් වන අතර, තුවාල ලැබූ සංඛ්‍යාව 276 ක්.

මේ අතර, මේ වසරේ ගත වූ කාල සීමාව තුළදී දුම්රිය අනතුරු 13 ක් සිදුව තිබෙනවා.

පසුගිය වසරේ දුම්රිය අනතුරු 94 ක් සිදුව ඇති අතර ඉන් පුද්ගලයින් 18 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තවත් 45 දෙනෙකු තුවාල ලබා තිබුණා.

දිවයිනේ දුම්රිය හරස් මාර්ගයන්හි ‘බෙල් ඇන්ඩ් ලයිට්’ ක්‍රමයට සංඥා සවිකර ඇති ස්ථානයන්හි සංඥා ක්‍රියත්මකව තිබිය දී බහුලව අනතුරු සිදුව ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

කෙසේ වෙතත් දුම්රිය හරස් මාර්ග භාවිත කිරීමේදී සුපරීක්ෂාකාරි වන ලෙසට දුම්රිය දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා ෴


ගඟේ වැලි වෙනුවට මුහුදු වැලි

(18.03.2023 – 13:26 +0530 – hirunews.lk/sinhala)

මුහුදු වැලි කියුබික් මීටර මිලියන දෙකක (2) ප්‍රමාණයක් මේ වසර තුළ දී ලබාගැනීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව පවසනවා.

සෝදා පිරිසිදුකර නියමිත ප්‍රමිතියට සකස්කරනු ලබන මුහුදු වැලි ජනතාවට දැරිය හැකි මිලකට අලෙවි කරන ලෙසයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවට උපදෙස් ලබාදී ඇත්තේ.

මුතුරාජවෙල වෙරළේ සිට මීගමුව දක්වා වූ මුහුදු තීරයේ කිලෝමීටර 10-15 ත් අතර දුරකින් වූ ගැඹුරු මුහුදේ සිට ගොඩබිම දක්වා වැලි පොම්ප කිරීම සිදුකරනු ලබනවා.

ලවණ ඉවත්කළ මුහුදු වැලි ඉංජිනේරුවන්ගේ අධීක්ෂණය මත නියමිත ප්‍රමිතියට සකස් කරනු ලබන අතර, ඒවා කෙරවළපිටිය – මුතුරාජවෙල වැලි විකුණුම් මධ්‍යස්ථානයෙන් අලෙවි කිරීමට නියමිතයි.

මුහුදු වැලි ලබා ගැනීමට පෙර වෙරළ සංරක්ෂණ අධිකාරිය, නාරා ආයතනය සහ මධ්‍යම පරිසර අධිකාරිය යන ආයතන පාරිසරික ඇගයීම් වාර්තා ලබාගන්නා ලෙසයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය උපදෙස් ලබාදී ඇත්තේ.

මේ අතර මෙම වැලි කැණීමේ ව්‍යාපෘතිය හේතුවෙන් බලපෑම් එල්ලවල කොළඹ සිට මීගමුව දක්වා වන මුහුදු තීරයේ ධීවර ප්‍රජාවගේ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා රුපියල් මිලියන 200 ක මුදලක් ලබාදීමටද එම අමාත්‍යාංශය එකඟවී තිබෙනවා ෴


නීතිවිරෝධි චොකලට් වැටලීමේ මෙහෙයුමක්

(18.03.2023 – 13:29 +0530 – hirunews.lk/sinhala)

විදෙස් රටවලින් නීතිවිරෝධි ලෙස මෙරටට ගෙන්වන ලද චොකලට් අලෙවි කරන ස්ථාන වැටලීමේ මෙහෙයුමක් ආරම්භ කරන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති උපුල් රෝහණ කියා සිටියේ මෙලෙස නීත්‍යානුකූල නොවන අන්දමින් ගෙන්වන චොකලට් සම්බන්ධයෙන් ජනතාව ද අවධානය යොමු කළ යුතු බවයි.

+


IMF එකඟතා ලබන සතියේ පාර්ලිමේන්තුවට

(18.03.2023 – 13:57 +0530 – hirunews.lk/sinhala)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් එකඟතාවන් ලබන සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

කොළඹ අද (18) පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

+


ධාවනය වෙමින් තිබූ උඩරට මැණිකෙව නවත්වන්න හැදූ අයෙක් බරපතළ තුවාල ලබා රෝහල්ගත කෙරේ

(18.03.2023 – 14:13 +0530 – hirunews.lk/sinhala)

ධාවනය වෙමින් තිබූ උඩරට මැණිකේ දුම්රිය නතර කිරීමට උත්සාහ කළ පුද්ගලයෙකු දුම්රියේ ගැටීමෙන් බරපතළ තුවාල ලබා තිබෙනවා.

තුවාල ලැබූ පුද්ගල‍යා දුම්රිය ස්ථානයේ සේවය කරන සේවකයින් පිරිසක් එක්ව රෝහල්ගත කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

අද (18) පස්වරු 1 ට පමණ මෙම පුද්ගලයා දුම්රියේ ගැටී ඇත්තේ රොසැල්ල – හැටන් දුම්රිය ස්ථාන දෙක (2) අතර පිහිටි මල්ලිඅප්පුව ප්‍රදේශයේදියි.

මීට දින හතරකට (4) පෙර මෙම පුද්ගලයාගේ නිවසෙහි ඇති වූවා යැයි කියන පෞද්ගලික ආරවුලක් හේතුවෙන් උරණ වූ තුවාලකරු අධික ලෙස බීමත්ව දුම්රිය මාර්ගය මැදට වී ධාවනය වෙමින් තිබූ දුම්රිය නතර කිරීමට උත්සාහ කර තිබෙන බව හැටන් පොලිසිය සඳහන් කළා.

පසුව දුම්රියෙහි ගැටී රේල් පාරෙන් පිටතට මෙම පුද්ගලයා විසී වී තිබෙනවා.

තුවාල ලැබූ පුද්ගලයා 41 හැවිරිදි අයෙක් වන අතර ඔහු දික්ඔය පොඩයිස් වතුයායේ පදිංචිකරුවෙක් ෴


දියර බිත්තර කිලෝ 1 ක් සඳහා බද්ද රුපියල් 1,100 කින් බහී

(18.03.2023 – 14:21 +0530 – hirunews.lk/sinhala)

බිත්තර ආනයනය සඳහා අවශ්‍ය මූලික පියවර සියල්ල විෂයභාර අමාත්‍යවරයා ලෙස ගෙන තිබුණ ද ඇතැම් පුද්ගලයින්ගේ ක්‍රියාකලාප හේතුවෙන් එය ප්‍රමාද වූ බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසනවා.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, දියර බිත්තර ආනයනය සඳහා බදු සහනයක්ද ලබා දී ඇති බවයි.

ඒ අනුව දියර බිත්තර ආනයනය කිරීමේ දී කිලෝ 1 ක් සඳහා පනවා තිබූ රුපියල් 1300 ක බද්ද රුපියල් 200 ක් දක්වා ඊයේ (17) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි අඩු කළ බව අමාත්‍යවරයා පැවසුවා.

මේ අතර එළවළු , ලොකු ලූණු අර්තාපල් ඇතුළු දුව්‍යවල තොග මිලෙහි ද ශීඝ්‍ර අඩුවීමක් දක්නට ලැබුණ ද එහි වාසිය පාරිභෝගික ජනතාව වෙත නොලැබෙන බවටයි ‘ආපනශාලා හිමියන්ගේ සංගමයේ’ සභාපති අසේල සම්පත් චෝදනා කරන්නේ.

+++++++

බදු අඩු කළත්, බේකරි හිමියන්ට අවසර ප්‍රශ්නයක්

(18.03.2023 – 19:30 +0530 – hirunews.lk/sinhala)

දියර බිත්තර ආනයනය සඳහා පනවා තිබූ බදු ප්‍රතිශතය අඩු කළ ද මෙතෙක් ඒවා ආනයනයට අවශ්‍ය අවසර ලබා දී නොමැති බව ‘සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය’ පවසනවා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී එම සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන කියා සිටියේ දියර බිත්තර ආනයනය සඳහා තම සංගමය පමණක් කටයුතු කරන බැවින් ඉතා ඉක්මනින් අදාළ ආයතනවලින් අනුමැතිය ලබා දුනහොත් හැකි ඉක්මනින් ඒවා ආනයනය කිරීමට කටයුතු කරන බවයි.

ආනයනික දියර බිත්තර කිලෝ 1 ක් සඳහා පනවා තිබූ බද්ද ඊයේ (17) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 1300 සිට 200 දක්වා අඩුකර තිබෙනවා.

වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මේ බව කියා සිටියේ ජා-ඇල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

දියර බිත්තර ආනයනය කිරීමෙන් අනතුරුව ඒවා බේකරි කර්මාන්තයට සහ බිස්කට් නිෂ්පාදනය සඳහා යොදා ගන්නා බවයි සමස්ත ‘ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ’ සාමාජික උමංග විතානගේ කියා සිටියේ.

මේ අතර, වෙළදපොලේ මේ වනවිට බිත්තර හිඟයක් නිර්මාණය වී ඇති අතර, ආනයනය ප්‍රමාද වූ බිත්තර තොගය හෙට (19) දිනයේ ඉන්දියාවේ සිට නැව්ගත කිරීමට නියමිත බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු සඳහන් කළා.

බිත්තර මිලියන 2 ක තොගයක් එලෙස නැව්ගත කිරීමට නියමිත බවයි අමාත්‍යවරයා කියා සිටියේ ෴


ඝාතන තුනක (3) සැකකරුවෙකු අත්අඩංගුවට

(18.03.2023 – 14:31 +0530 – hirunews.lk/sinhala)

කාන්තාවන් තුන්දෙනෙකුගේ (3) ගෙළ සිරකර ඝාතනය කළ සැකකරුවෙකු ඇල්පිටිය – අවිත්තාව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඇල්පිටිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් ඊයේ (17) මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව සඳහන්.

සැකකරු පසුගිය වසරේ නොවැම්බර් 02 වනදා ඉත්තෑපාන ප්‍රදේශයේදී සහ පසුගිය පෙබරවාරි මස පළමුවනදා (01) ද ඇල්පිටිය ප්‍රදේශයේදී මෙම ඝාතන සිදුකර දේපල කොල්ලකා ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකරු යගිරල ප්‍රදේශයේ 34 හැවිරිදි පුද්ගලයෙක්.

ඔහුගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීම්වල දී කොල්ලකන දේපලවලින් කොටසක් පොලීසිය සොයාගෙන තිබෙනවා ෴


අවමගුලෙන් කෙලවර වූ මගුල

(18.03.2023 – 14:35 +0530 – hirunews.lk/sinhala)

අඟුරුවාතොට ප්‍රද්ශයේ දී දෙපිරිසක් (2) අතර ඇති වූ ගැටුමකින් පුද්ගලයෙකු (1) මියගොස් තවත් 5 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

පොලිසිය පැවසූවේ මංගල උත්සවයක දී ඇති වූ බහින්බස් වීමක් දුරදිග යෑමෙන් මෙම ගැටුම හටගෙන ඇති බවයි.

ඊයේ (17) අලුයම 3 ට පමණ අගුරුවාතොට බටගොඩ හන්දියේ දී දෙපිරිසක් (2) අතර මෙම ගැටුම හටගෙන තිබෙනවා.

අප වාර්තාකරු පැවසූවේ මෙම දෙපිරිස (2) නිව්ටල් වත්ත ක්‍රීඩාංගනයේ පැවති සංගීත ප්‍රසංගයක් නරඹා ආපසු පැමිණෙමින් සිටින අතරතුරදී මෙම ගැටුම හටගෙන ඇති බවයි.

ගැටුමෙන් එක් (1) පුද්ගලයෙකු මියගොස් ඇති අතර ඔහුගේ සිරුර එම ප්‍රදේශයේ වෙල්යායක තිබිය දී අද (18) පෙරවරුවේ සොයාගෙන තිබෙනවා.

දරුණු කැපුම් තුවාල සහිතව මෙලෙස මියගොස් ඇත්තේ බටගොඩ යටවර ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙක්.

ගැටුමෙන් තුවාල ලැබූ තවත් පුද්ගලයින් 5 දෙනෙකු මේ වනවිට කොළඹ, නාගොඩ සහ හොරණ රෝහල්වල ප්‍රතිකාර ලබනවා.

කෙසේවෙතත්, මෙම සිදුවීම සම්බන්ධයෙන් කිසිවෙකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ.

බටගොඩ ප්‍රදේශයේ පැවති මංගල උත්සවයක දී ඇතිවූ බහින්බස් වීමක් මෙම ගැටුමට හේතුවිඇති බවට පොලිසිය සිදුකළ මූලික විමර්ශනවල දී අනාවරණය වී තිබෙනවා.

මේ අතර පොලොන්නරුව – අරලගංවිල ප්‍රදේශයේ දී පිරිසක් සිදුකළ පහරදීමකින් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයෙකුගේ අවසන් කටයුතු ඊයේ (17) පස්වරුවේ සිදු කෙරුණා.

ඔහුගේ ඥාතීන් විසින් දේහය අරලගංවිල – මහියංගනය ප්‍රධාන මාර්ගයට රැගෙන විත් විරෝධතාවක නිරත වුණේ පහරදීමට සම්බන්ධ පුද්ගලයින් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවට පවසමින්.

මාර්ගය අවහිර කරමින් පැවති මෙම විරෝධතාවය අසලට පැමිණි අරලගංවිල පොලිස් ස්ථානාධිපතිවරයා අදාල සැකකරුවන් අත්අඩංගුවට ගත් බව ප්‍රකාශ කිරීමත් සමඟ විරෝධතාකරුවන් එම ස්ථානයෙන් විසිර ගියා.

අඟුරුවාතොට – බටගොඩ ප්‍රදේශයේ දී දෙපිරිසක් (2) අතර ඇති වූ ගැටුමකින් මියගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීම සඳහා සිරුර හොරණ මූලික රෝහල වෙත යොමුකර තිබෙනවා.

හොරණ මහේස්ත්‍රාත්වරිය පැමිණ මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කිරීමෙන් අනතුරුව දේහය රෝහල වෙත යොමුකළ බවයි පොලීසිය සඳහන් කළේ.

ඊයේ (17) රාත්‍රියේ අඟුරුවාතොට – බටගොඩ ප්‍රදේශයේ නිවසක පැවති මංගල උත්සවයකට සහභාගි වූ දෙපිරිසක් (2) අතර ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් මෙම ගැටුම සිදුව තිබුණා.

එහිදී තුවාල ලැබූ පිරිමි පුද්ගලයින් 5 දෙනෙකු සහ කාන්තාවක (1) රෝහල් ගත කෙරුණු අතර, අද (18) උදෑසන බටගොඩ ප්‍රදේශයේ වෙල්යායක තිබී මියගිය පුද්ගලයාගේ සිරුර සොයා ගත්තා ෴


මාරු මණ්ඩල අහෝසියට ගුරු සංගම් එරෙහි වෙයි

(18.03.2023 – 19:47 +0530 – hirunews.lk/sinhala)

කොළඹ ප්‍රධාන පාසල් කිහිපයක ගුරු විදුහල්පතිවරුන්ගේ අවශ්‍යතාවන් මත මාරු මණ්ඩලය අහෝසි කිරීම පිලිගත නොහැකි බවට ගුරු සංගම් චෝදනා කරනවා.

විනිවිදභාවයකින් යුතුව මාරු මණ්ඩල හරහා සිදුකළ ගුරු මාරු ක්‍රියාත්මක කිරීම අවසන් අදියරේ පැවතිය දී එලෙස මාරු මණ්ඩලය අහෝසි කිරීමට එරෙහිව දැඩි ක්‍රියාමාර්ගවලට එළඹෙන බවයි ඔවුන් පවසන්නේ.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ගුරු මාරු මණ්ඩලය වහාම ක්‍රියාත්මක වන පරිදි විසුරුවා හැර ඇති අතර, ඒ අනුව එම ගුරු මාරු මණ්ඩලයේ ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ ගුරුවරුන් 12,500 කගේ පමණ සියලු මාරුවීම් අහෝසිවී යන බවයි වාර්තා වුණේ.

මාරු මණ්ඩල විසුරුවා හැරීම සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා ශ්‍රී ලංකා රජයේ ගුරුවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ෂෙහාන් දිසානායක ද අද (18) නුවරදී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *