ගෝඨා අතහැර දැමූ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය යළි ක්‍රියාත්මක කිරීමට පියවර

ගෝඨා අතහැර දැමූ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය යළි ක්‍රියාත්මක කිරීමට පියවර


ගෝඨා අතහැර දැමූ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය යළි ක්‍රියාත්මක කිරීමට පියවර

(16.03.2023 – 15:17 +0530 – hirunews.lk/sinhala)

අතරමග නවතා දැමුණු කොළඹ කොටුව සිට මාලඹේ දක්වා වූ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය යළිත් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා.

අමාත්‍යවරයා සඳහන් කළේ, කොළඹ නගරයේ මාර්ගවල පවතින දැඩි රථ වාහන තදබදයට විසඳුමක් ලෙස යෝජනා වූ මෙම ව්‍යාපෘතිය සඳහා විකල්ප යෝජනා ලබා ගැනීම සඳහා වූ කැබිනට් පත්‍රිකාවක් ද පසුගියදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බවයි.

2020 වසරේ දී ආරම්භ කළ අදාළ ව්‍යාපෘතිය 2024 මැද භාගය වන විට අවසන් කිරීමට සැලසුම් කර තිබුණත් පසුගිය ගෝඨාභය රාජපක්ෂ පාලන සමය තුළ එම ව්‍යාපෘතියේ ඉතිරි කටයුතු අතහැර දැමුණා.

ජපන් ජාත්‍යන්තර සහයෝගීතා ඒජන්සියෙන් (JICA) මූල්‍ය හා තාක්ෂණික සහාය මත ක්‍රියාත්මක වූ මෙම ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත වියදම ලෙස සටහන් වුණේ ඇමරිකානු ඩොලර් මිලියන 1,850 ක මුදලක්.

ජපාන රජයේ ණයක් ලෙස ක්‍රියාත්මක වූ මෙම ව්‍යාපෘතිය අත්තනෝමතික අයුරින් අතහැර දැමීමෙන් ජපානය හා ශ්‍රී ලංකාව අතර වූ සබඳතා පළුදු වීමට පවා හේතු වුණා.

නමුත් ජනපතිවරයා වශයෙන් රනිල් වික්‍රමසිංහ පත් වී සිදු කළ ජපාන සංචාරයේ ප්‍රතිඵලයක් ලෙසයි මෙම ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීමට එකඟතාව පළ කෙරුණේ.

මෙම ව්‍යාපෘතිය යටතේ දිවෙන දුම්රිය, කිලෝමීටර් 16 ක දුරක් ගමන් ගන්නා අතර එය මාලඹේ සිට කොළඹ දක්වා දුම්රිය ස්ථාන 16 ක නවත්වනු ඇති.

අදාළ දුම්රිය ගමනට ගත වන සමස්ත කාලය මිනිත්තු 30 ක් වන අතර එහිදී සෑම මිනිත්තු 10 කට වතාවක් ම එක් දුම්රිය ස්ථානයක් පසුකර යෑමට ද නියමිතයි ෴


සිසුන්ව ලිංගික අපයෝජනය කර වීඩියෝ දර්ශන විකුණූ කල්ලියක් සොයා මෙහෙයුමක්

(16.03.2023 – 16:21 +0530 – hirunews.lk/sinhala)

පාසල් සිසුන් ලිංගික අපයෝජනයන්ට ලක් කරමින් ඒවා රූගත කොට එම දර්ශන අලෙවි කළ කල්ලියක් සොයා යාපනය පොලිසිය මෙහෙයුමක් දියත් කොට තිබෙනවා.

මෙම අපයෝජනයන්ට ගොදුරුව ඇත්තේ, වයස අවු 14 ත් 17 ත් අතර පාසල් වියේ පසුවන යාපන නගරයෙන් බහැර ගම්බද පිරිමි ළමුන් බව රහසිගත මාර්ගයකින් පොලිසියට තොරතුරු ලැබී තිබෙනවා.

අදාල සිසුන්ව මුදල් දෙන බවට රවටා මෙලෙස අපයෝජනය කර ඇති අතර ඔවුන් ලබාගත් දර්ශන අන්තර්ජාලය තුළත් යාපනයේ ප්‍රදේශ කීපයක් තුළත් සංසරණය වන බවටද තොරතුරු ලැබී තිබේ ෴


වර්ජන නිසා රාජ්‍ය බැංකුවක් අර්බුදයක – ගිණුම් වසා වෙනත් බැංකු වෙත මුදල් යවන ලකුණු

(16.03.2023 – 16:38 +0530 – hirunews.lk/sinhala)

මෙරට මූල්‍ය ක්ෂේත්‍රයේ සක්‍රීය ව ඇති රාජ්‍ය බැංකුවක පවතින ගිණුම් වහාම වෙනත් බැංකු වෙත මාරු කිරීමට කටයුතු කරන බව රජයේ සියලුම සංස්ථා සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් මුදල් අමාත්‍යාංශය වෙත දැනුම්දී තිබෙනවා.

මීට අමතරව පෞද්ගලික ව්‍යාපාරිකයන් රැසක් ද මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත වාචිකව දැනුම් දී ඇත්තේ කනගාටුවෙන් වුව ද සිය ගිණුම් අදාළ රාජ්‍ය බැංකුවෙන් ඉවත් කර ගැනීමට සිදුවනු ඇති බවයි.

වැඩ වර්ජන ආදිය නිසා දිගින් දිගටම ගැටළු මතු වුවහොත් සිය ව්‍යාපාරික කටයුතුවලට බලපෑම් එල්ල විය හැකි බැවින් කනගාටුවෙන් වුව ද තම ගිණුම් මෙම රාජ්‍ය බැංකුවෙන් ඉවත් කර ගැනීමට සිදුවනු ඇතැයි ව්‍යාපාරිකයන් ජනාධිපතිවරයාට දැනුම්දී තිබෙනවා.

අදාළ රාජ්‍ය බැංකුවේ සේවකයන් ද ඊයේ (15) පැවැති වර්ජනයට එකතුවීම හේතුවෙන් සිය මූල්‍ය කටයුතු පවත්වාගෙන යාමට නොහැකිවීමෙන් ගැටළු රැසකට මුහුණදීමට සිදු වූ බව සංස්ථා හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් විසින් ජනාධිපතිවරයා වෙත වැඩිදුරටත් අවධාරණය කරනු ලැබුවා.

රාජකාරි කටයුතු වෙනුවෙන් රාජ්‍ය බැංකු වෙත ගිය සේවකයන්ට අවශ්‍යතා වෙනුවෙන් මුදල් ගැනීමට නොහැකි වූ බවත් එම නිසා වෙනත් විකල්ප මාර්ග සෙවීමට සිදුවීමෙන් සේවාදායකයින් අපහසුතාවයට පත් වූ බවත් රාජ්‍ය සංස්ථා හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් මුදල් අමාත්‍යාංශයට පැහැදිලි කර තිබෙනවා.

එම නිසා අත්‍යවශ්‍ය කටයුත්තක් ලෙස සලකමින් සිය ගිණුම් අදාළ රාජ්‍ය බැංකුවෙන් ඉවත් කොට වෙනත් බැංකු වෙත මාරු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් සංස්ථා හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබෙනවා ෴


මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට

(16.03.2023 – 16:48 +0530 – hirunews.lk/sinhala)

දුම්රියක මෝටර් රථයක් ගැටීමෙන් අවහිරව තිබූ මුහුදුබඩ මාර්ගයේ කොග්ගල සිට හබරාදූව දක්වා ගමනාගමනය මේ වන විට (16) යථා තත්ත්වයට පත්කර තිබෙනවා.

කොග්ගල පොහොර ගබඩාව ආසන්නයේදී අද (16) දහවල් සිදු වූ අනතුරින් මෝටර් රථයේ ගමන්ගත් කාන්තාවක් ඇතුළු දෙදෙනෙකු (2) මියගියා.

එලෙස මියගොස් ඇත්තේ, අහංගම – වැල්හේන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 80 හැවිරිදි වියේ පසු වූ කාන්තාවක් සහ 35 හැවිරිදි වියේ පසු වූ අයෙක්.

දුම්රියේ ගැටුණු මෝටර් රථය මීටර 300 ක් පමණ දුරක් ඇදී ගොස් නතර වී තිබුණේ කොග්ගල ගුවන් හමුදා ධාවන පථය ආසන්නයේ බව සඳහන් ෴


බාර නොදුන් ගිණුම් ප්‍රකාශ, බාර දෙන්න මැකොසෙන් පක්ෂවලට දින 14 ක්

(16.03.2023 – 17:16 +0530 – hirunews.lk/sinhala)

2021 වර්ෂයට අදාළ ගිණුම් ප්‍රකාශ මෙතෙක් භාර නොදුන් දේශපාලන පක්ෂවලට අද (16) සිට දින 14 ක් ඇතුළත ඒවා භාරදෙන ලෙස මැතිවරණ කොමිසම දැනුම් දී තිබෙනවා.

එය කඩකරන දේශපාලන පක්ෂ පිළිගත් දේශපාලන පක්ෂ ලෙස පිළිගැනීමට එම පක්ෂවලට ඇති හිමිකම් අවසන් කිරීමටයි අද (16) රැස්වූ මැතිවරණ කොමිසම තීරණය කර ඇත්තේ ෴


භූ විද්‍යා නිලධාරියෙකුට කාර්යාල කාර්යය සහායකයෙකුගෙන් ප්‍රහාරයක්

(16.03.2023 – 17:38 +0530 – hirunews.lk/sinhala)

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාරාංශයේ තොරතුරු තාක්ෂණ නිලධාරිවරයකුට පසුගිය දා එම ආයතනයේ ම සේවය කරන කාර්යාල කාර්ය සහායකයකු විසින් අමානුෂික ලෙස පහරදීමක් සිදුකර තිබෙනවා.

පසුගිය මාර්තු 10 සවස 05:30 ට පමණ අදාළ නිලධාරියා කාර්යාලය තුළ (භූ කම්පන ක්‍රියා සහ සුනාමි සුපරීක්ෂා මධ්‍යස්ථානය) තුල රාජකාරී කටයුතු සිදුකරමින් සිටි අවස්ථාවේ දීයි මෙම පහරදීම සිදුකර ඇත්තේ.

තොරතුරු තාක්ෂණ නිලධාරියෙකු වන බුද්ධික තිලකරත්න මෙසේ පහර කෑමට ලක්ව ඇති අතර ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර තිබෙනවා.

භූවිද්‍යා පතල් කාරාංශයේ කාර්යාල කාර්යය සහායකයකු වන සමන් ප්‍රනාන්දු නැමැත්තා විසින් මෙම පහරදීම සිදුකර ඇති බවත්, එසේ පහරදීමක් සිදු කිරීමට හේතුව ලෙස දක්වා ඇත්තේ ඔහුගේ මෝටර් රථය ඉදිරියේ අදාළ නිලධාරියාගේ මෝටර් බයිසිකලය නවතා තිබීමයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමේ දී අපට දැන ගන්නට ලැබුනේ භූවිද්‍යා හා පතල් කාර්‍යාංශයේ බලධාරීන් පිරිසක් විසින් සිදු කිරීමට ගිය පරිගණක මගඩියකට අදාළ නිලධාරියා බාධා කිරීම හේතුවෙන් මෙම පහරදීම සිදුකර ඇති බවයි.

රාජ්‍ය ආයතනවල වියදම් සීමා කර ඇති පසුබිමක භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්‍යාංශයේ බලධාරීන් පිරිසක් විසින් රුපියල් දෙකෝටි හැත්තෑ අට ලක්ෂ හැත්තෑ දහසක් (27,870,000) වටිනා පරිගණක උපාංග මිල දී ගැනීමට කටයුතු කර ඇති අතර, අදාළ භාණ්ඩ මිල දී ගැනීම අනවශ්‍ය වියදමක් බව අදාළ නිලධාරියා කරුණු සහිතව පෙන්වා දීම හේතුවෙන් මෙම පහර දීම සිදුව ඇති බවත් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්‍යාංශයේ උසස් නිලධාරියකු අප සමග පැවසුවා.

එබැවින් මෙම අමානුෂික පහරදීම බයිසිකලය නතර කිරිමක් නිසා නොව පරිගණක මගඩියෙන් අයුතු ලාභ උපයා ගැනීමට තිබූ අවස්ථාව අහිමි කිරීම නිසා සිදු වූවක් බවට සාධාරණ සැකයක් ඇති බව ද අදාළ නිලධාරියා වැඩිදුරටත් පැවසුවා ෴


මානව හිමිකම් ඉල්ලා හඬ නො නඟන ලක්ෂ 41 ක පාසල් දරුවන්ට හඬක් වෙන්න – අධ්‍යාපන ඇමති

(16.03.2023 – 18:01 +0530 – hirunews.lk/sinhala)

පාසල් වසා තැබීමෙන් සිරගෙවල් ඇරීමට සිදු වන කතා අද සමාජයෙන් නොඇසෙන බවත් ඡන්ද හිමිකමක් පවා නොමැති, මානව හිමිකම් ඉල්ලා හඬ නොනගන ලක්ෂ 41 ක පාසල් දරුවන් වෙනුවෙන් කතා කරන්නට අන් සියලු දෙනාගේ මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින කිසිවකුත් ඉදිරිපත් නොවන ඛේදනීය තත්ත්වයකට අද මානව සමාජය පත් ව ඇති බවත් අධ්‍යාපන අමාත්‍ය නීතිඥ සුසිල් ප්‍රේම්ජයන්ත් පවසනවා.

රටේ ආර්ථික ප්‍රශ්න සැමට පොදු බව පෙන්වා දෙන අමාත්‍යවරයා කියා සිටින්නේ, විවිධ ආර්ථික දුෂ්කරතා මැද දරුවන් කුසගින්නේ නොතබා, උපකාරක පන්ති යවා වසර 13 ක් අධ්‍යාපනය ලබා දුන් දෙමාපියන්ට සිය දරුවන් උසස් පෙළ විභාගය ලියා ජීවිතයේ හැරවුම් ලක්ෂයකට පිවිස සිටින අවස්ථාවේ ඔවුන්ගේ උත්තර පත්‍ර පරීක්ෂා නොවීමේ ඛේදවාචකයකට මුහුණ දීමට මේ වනවිට සිදු ව තිබෙන බවයි.

විභාගයට පෙනී සිටි බොහෝ දරුවන්ට ද විදුලි එළිය නොමැති ව පාඩම් කරමින් කෑම බීම පවා නිසි ලෙස නොලබා ඉතා අපහසුවෙන් විභාගයට සූදානම් වීමට සිදු වූ කාලපරිච්ඡේදයක සමාජයේ අන් අයට වඩා ප්‍රශ්නවලට මුහුණ දෙන්නට සිදු වන්නට ඇති බව වටහාගනිමින් මේ අවස්ථාවේ දී වෘත්තීය වගකීමටත් වඩා සමාජ වගකීම ඉටු කිරීමට මානුෂීය මුහුණුවරකින් බලා ගුරුවරුන් වගවීමෙන් බැඳී ක්‍රියා කළ යුතු බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටිනවා ෴


රුපියල් මිලියන 10,000 කට ආසන්න මුදලක් රටේ ආහාර සුරක්ෂිතතාව සවිමත් කිරීමට

(16.03.2023 – 18:08 +0530 – hirunews.lk/sinhala)

ඒකාබද්ධ ජලධාරා හා ජලසම්පත් කළමනාකරණ ව්‍යාපෘතිය හා දේශගුණික බලපෑම් අවම කිරීමේ බහු අදියර වැඩසටහන (IWWRMP සහ CResMPA) යටතේ ව්‍යාපෘති ප්‍රමුඛතාගත කිරීමේ වැඩසටහන වාරිමාර්ග, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහගේ ප්‍රධානත්වයෙන් දිවයින පුරා සෑම දිස්ත්‍රික්කයකම මේ දිනවල ක්‍රියාත්මක වනවා.

රටේ ආහාර සුරක්ෂිතතාව සවිමත් කිරීමේ වැඩපිළිවෙළ යටතේ දිස්ත්‍රික්ක 25 සදහාම රුපියල් මිලියන 10,000 ආසන්න මුදල් ප්‍රතිපාදන වෙන් කරමින් වාරි පද්ධතිය ශක්තිමත් කිරීම මෙම වැඩසටහන යටතේ සිදු වන බවයි ක්‍රීඩා අමාත්‍යාංශය නිවේදනය කළේ.

මෙහිදී ප්‍රමුඛතාගත කිරීම සඳහා ගොවි නියෝජිතයන්ගෙන් සංවර්ධන යෝජනා හා අදහස් ලබා ගැනීම ද සිදු වු අතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ අනුමැතිය පරිදි ප්‍රතිපාදන ලබා දීම සිදු කෙරෙනු ඇති ෴


සෞදි අරාබියෙන් මෙරටට රටඉඳි ටොන් 50 ක්

(16.03.2023 – 18:51 +0530 – hirunews.lk/sinhala)

සෞදි අරාබි රාජධානියේ සල්මාන් රජුගේ මානුෂීය ආධාර සහ සහන මධ්‍යස්ථානය විසින් මෙරටට රටඉඳි ටොන් 50 ක් පරිත්‍යාග කර තිබෙනවා.

අද (16) පැවති උත්සවයක දී සෞදි අරාබියේ ශ්‍රී ලංකාවේ තානාපති කාලිඩ් හමෞද් අල්කටානි (Khalid Hamoud Alkahtani) විසින් මෙම රට ඉඳි තොගය බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක වෙත බාර දුන්නා ෴


රට බංකොලොත් වූයේ මහබැංකුවේ අස්වාධීන බව නිසයි – නන්දලාල් වීරසිංහ

(16.03.2023 – 19:55 +0530 – hirunews.lk/sinhala)

මහබැංකුව ගනු ලබන්නේ ජනප්‍රිය තීන්දු නොව නිවැරදි තීරණ බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ප්‍රකාශ කළා.

පාර්ලිමේන්තු පනත් කෙටුම්පත සම්බන්ධයෙන් කොළඹ අද (16) පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් ඔහු කියා සිටියේ මෙම පනත් කෙටුම්පත සංශෝධනය වීම තුළින් දේශපාලන ඇඟිලි ගැසීම්වලින් තොරව මහබැංකුවේ කටයුතු ස්වාධීනව පවත්වාගෙන යාමට හැකිවනු ඇති බවයි.

එසේම රජයේ රෝහල්වල පවතින ඖෂධ හිඟය සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂන් සභාව ආරම්භ කර ඇති පරීක්ෂණයට අදාළව සිතාසි යොමුකළ ද සෞඛ්‍ය අමාත්‍යවරයා සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා ඊට නොපැමිණීම හේතුවෙන් පැමිණිලි විභාගය ලබන 23 වනදා කල් දමා තිබෙනවා.

මීට අදාළ පැමිණිල්ල මානව හිමිකම් කොමිසම වෙත යොමුකර තිබුණේ වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සහ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයයි.

+


සරසවි ඇදුරන් තවමත් වර්ජනයේ

(16.03.2023 – 20:47 +0530 – hirunews.lk/sinhala)

රජයේ බදු ප්‍රතිපත්තියට එරෙහිව වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් කෙරුණත්, ඒ හේතුවෙන් ඊයේ (15) දිනයේදී මෙරට ආර්ථිකයට බලපෑම් එල්ල වුණා.

වරාය, අධ්‍යාපන, සරසවි, සෞඛ්‍ය, බැංකු ඇතුළු ක්ෂේත්‍ර රැසක කටයුතුවලට ඉන් බලපෑම් එල්ල වූ අතර, සාමාන්‍ය ජනතාව ද එමගින් පීඩාවට පත්වුණා.

කෙසේ වෙතත්, අනෙකුත් වෘත්තීය සමිති සිය වර්ජන ක්‍රියාමාර්ග අද (16) අවසන් කර, සාමාන්‍ය පරිදි සිය සේවා පවත්වාගෙන ගියත්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අධ්‍යයන කටයුතුවලින් ඉවත්ව ආරම්භ කළ වර්ජනය තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මකයි.

කොළඹ අද (16) පැවති මාධ්‍ය හමුවකදී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග ආචාර්යවරුන්ගෙන් ඉල්ලා සිටියේ හෙට (17) සිට දරුවන්ගේ අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම සඳහා එක්වන ලෙසයි.

කෙසේ වෙතත්, විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සමිමේලනයේ සභාපති මහාචාර්ය ශ්‍යාම් බන්නැහැක කියා සිටියේ පැනවූ බදු සඳහා සහනයක් ලැබෙන තුරු වර්ජන ක්‍රියාමාර්ගයේ නිරත වන බවයි.

මේ අතර, වර්ජනය හේතුවෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයට ඊයේ (15) දිනයේදිත් බලපෑම් එල්ල වූ අතර, අද (16) දිනයේදී කොළඹ ජාතික රෝහල ඇතුළු දිවයිනේ සියලුම රෝහල්වල කටයුතු සාමාන්‍ය පරිදි සිදු කෙරුණා.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ කියා සිටියේ 21 වනදායින් පසු බදු ගැටළුව සම්බන්ධයෙන් රජය සමඟ සාකච්ඡා අරඹන බවයි.

අද (16) දිනයේදී වරායේ කටයුතු ද සාමාන්‍ය පරිදි සිදු කෙරුණු අතර, පාසල්වල අධ්‍යයන කටයුතු ද සාමාන්‍ය පරිදි සිදු කෙරුණු බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මෙහෙයුම් කටයුතුවලට ඊයේ (15) වර්ජනයෙන් බලපෑමක් එල්ල නොවූ බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති මොහොමඩ් උවයිස් කියා සිටියේ.

වෘත්තීය සමිති 47 ක සහභාගීත්වයෙන් පිහිටුවාගෙන ඇති වෘත්තිකයන්ගේ වෘත්තීය සමිති එකමුතුව ඊයේ (15) දිනයේ සිදුකළ වර්ජනයෙන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අද කොළඹ දී රැස්වුණා ෴


11 ශ්‍රේණියේ සිසුවියකට විනය භාර නියෝජ්‍ය විදුහල්පතිගෙන් අසභ්‍ය ඡායාරූප

(16.03.2023 – 21:55 +0530 – hirunews.lk/sinhala)

ඌරාපොල මධ්‍ය මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති සහ විනය භාර ගුරුවරයා ලෙස කටයුතු කරන ආචාර්‍යවරයා විසින් එම විද්‍යාලයේ ම 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන පාසල් සිසුවියකට අසභ්‍ය ඡායාරූප සහ එම සිසුවියගෙන් ලිංගික ප්‍රයෝජන ගැනීම සඳහා දිගින් දිගටම ‘වට්ස්අප්’ පණිවිඩ යොමුකළ සිද්ධියට සම්බන්ධ සැකකාර නියෝජ්‍ය විදුහල්පතිවරයා අත් අඩංගුවට ගෙන තිබෙනවා.

අද (16) අත් අඩංගුවට ගැනුණු අදාළ සැකකාර නියෝජ්‍ය විදුහල්පතිවරයාව අද (16) දිනයේ දී ම අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 28 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි නියෝග කෙරුණේ.

මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කළ සැකකරු ඌරාපොල ප්‍රදේශයේ ම පදිංචි දෙදරු පියෙක්.

සැකකාර ගුරුවරයා අත්තනගල්ල – හග්ගල්ල ප්‍රදේශයේ උපකාරක පන්තියක් පවත්වාගෙන යන අතර එම උපකාර පන්තියේ උගන්වමින් සිටියදීම පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

අදාළ සැකකාර නියෝජ්‍ය විදුහල්පතිවරයා සිය ජංගම දුරකථනයෙන් තමාගේ රහස් ප්‍රදේශ පවා ඡායාරූප ගෙන ‘වට්ස්අප්’ මාර්ගයෙන් සිසුවියට යවා ඇති බවයි විමර්ශනවලදී හෙළි වී ඇත්තේ.

මෙම සැකකාර නියෝජ්‍ය විදුහල්පතිවරයා මීට පෙර ද 11 ශ්‍රේණියේ සිසුවියකට මෙවැනිම ආකාරයේ ‘වට්ස්අප්’ පණිවිඩ යවා තිබූ බවත් පොලිස් විමර්ශනවල දී හෙළි වුණා.

ලිංගික ප්‍රයෝජන ගැනීමට පොළඹවා ගැනීම, අසභ්‍ය ඡායාරූප නිෂ්පාදනය හා බෙදාහැරීම යන චෝදනා යටතේ සැකකාර නියෝජ්‍ය විදුහල්පතිවරයාට එරෙහිව අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබෙනවා.

ගම්පහ කොට්ඨාස ළමා හා කාන්තා නිවාරණ අපයෝජන කාර්යාංශයට සිසුවියගේ මව විසින් සිදුකළ පැමිණිල්ලකට අනුවයි මෙම විමර්ශන ආරම්භ කෙරුණේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *