සෞඛ්‍ය, වරාය, විදුලිය, ජල සහ තැපැල් ඇතුලු ක්‍ෂේත්‍ර 40 ක් හෙට (15) වර්ජනයට සැරසේ

සෞඛ්‍ය, වරාය, විදුලිය, ජල සහ තැපැල් ඇතුලු ක්‍ෂේත්‍ර 40 ක් හෙට (15) වර්ජනයට සැරසේ


සෞඛ්‍ය, වරාය, විදුලිය, ජල සහ තැපැල් ඇතුලු ක්‍ෂේත්‍ර 40 ක් හෙට (15) වර්ජනයට සැරසේ

(14.03.2023 – 19:48 +0530 – hirunews.lk/sinhala)

රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව වරාය, ජල, විදුලි, තෙල්, අධ්‍යාපන සහ තැපැල් ඇතුලු වෘත්තිය සමිති 40 ක් හෙට (15) දිනයේ දී වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට එළඹීමට නියමිතයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ දක්වා පළාත් මට්ටමින් වැඩවර්ජනය ක්‍රියාත්මක කළ අතර, හෙට (15) දිනයේ දිවයින පුරා වර්ජනයේ නිරතවන බව එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ කියා සිටියා.

සබරගමුව, වයඹ, ඌව, උතුර සහ උතුරුමැද පළාත්වල අද ක්‍රියාත්මක වූ වෛද්‍ය වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවට පත් වුණා.

මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන කොළඹ අද (14) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වර්ජනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ තම සංගමයේ සහය ඊට හිමි නොවන බවයි.

මේ අතර වරාය සහ ජල සම්පාදන වෘත්තිය සමිති හෙට (15) පැවැත්වෙන දීපව්‍යාප්ත වැඩ වර්ජනයට සහය පළ කරමින් සේවයෙන් ඉවත්වන බව එම සංගම් ප්‍රකාශ කළා.

එමෙන් ම ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තිය සමිති ද හෙට (15) දිනයේ ලෙඩ නිවාඩු වාර්තා කරමින් වර්ජනයට සහය පළ කරනවා.

තැපැල් සේවය ජනාධිපතිවරයා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් මාර්ගයෙන් ඊයේ (13) රාත්‍රියේ සිට අත්‍යවශ්‍ය මහජන සේවයක් බවට පත් කළ ද සැළසුම් කළ පරිදි අද (14) මධ්‍යම රාත්‍රියේ සිට තම වර්ජනය ක්‍රියාත්මක කරන බවයි ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැදවුම්කරු චින්තක බණ්ඩාර කියා සිටියේ.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ අනධ්‍යයන සේවක මණ්ඩලයද හෙට (15) වෘත්තිය ක්‍රියාමාර්ගයට සහය පළ කරන බව ප්‍රකාශ කළා. ගුරුවරුන්ද හෙට (15) දිනයේ පාසල් නොපැමිණෙන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාර්ලින් ප්‍රකාශ කළේ කොළඹ අද (14) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපතිනි වසන්තා හඳපාන්ගොඩ කියා සිටියේ හෙට (15) දිනයේ ක්‍රියාත්මක වර්ජනයට සහභාගි නොවන බවයි ෴

++++++++

වර්ජනයෙන් ප්‍රවාහනයට බාධාවක් නැහැ – පෞද්ගලික බස්, ලංගම සහ දුම්රියේ අංශ රැසක් වැඩ

(14.03.2023 – 21:38 +0530 – hirunews.lk/sinhala)

රජයේ බදු ප්‍රතිපත්තියට එරෙහිව හෙට (15) ක්‍රියාත්මක වර්ජනයට පෞද්ගලික බස් රථ මෙන් ම දුම්රිය සහ ශ්‍රී ලංගම වෘත්තිය සමිති රැසක් සහය පළ නොකරන බව අද (14) ප්‍රකාශ වුණා.

කෙසේ වෙතත් අද (14) මධ්‍යම රාත්‍රියේ සිට පැය 24 ක කාලයක් වර්ජනයේ නිරත වන අතර හෙට (15) දිනයේදී ධාවන කටයුතුවලට එක් නොවන බවයි ලොකොමෝටිව් දුම්රිය රියදුරු සංගමයේ සභාපති කේ. ඒ. යූ. කොන්තසිංහ කොළඹ අද (14) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ.

කෙසේ වෙතත්, අත්‍යවශ්‍ය මහජන සේවාවක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති දුම්රිය දෙපාර්තමේන්තුවේ සියලුම කාර්ය මණ්ඩලවල නිවාඩු අද (14) සිට අවලංගු කර තිබෙනවා.

ඒ අනුව හෙට (15) සේවයට වාර්තා නොකරන සියලු නිලධාරින්ගෙන් නිදහසට කරුණු විමසා තමන් වෙත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා එම දෙපාර්තමේන්තුවේ සියලු ප්‍රධානීන් වෙත දැනුම් දුන්නා.

මේ අතර ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන සමඟ අද (14) පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න කියා සිටියේ මෙම වර්ජනයට දුම්රිය ස්ථානාධිපති සංගමය, දුම්රිය පාලක සංගමය සහ දුම්රිය නියාමක සංගමය එක්නොවන බවයි.

මේ අතර, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ පොදුජන ප්‍රවාහන සේවක සංගමයේ සභාපති නුරාර්ජිත් සිං ප්‍රකාශ කළේ සංගම් 5 ක් මෙම වර්ජනයට සහය නොදක්වන අතර ඔවුන් හෙට (15) දිනයේ සියලුම ශ්‍රී ලංගම ඩිපෝවල බස් ගමනාගමන කටයුතුවල නිරත වන බවයි.

එමෙන් ම, ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කොළඹ අද (14) පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ දීප ව්‍යාප්තව හෙට (15) දිනයේ දී පෞද්ගලික බස් රථ 13,000 කට ආසන්න සංඛ්‍යාවක් ධාවනයේ යෙදෙන බවයි ෴


හොස්ටල් එකේ දී සිසුන්ට වද දුන් පුද්ගලික පාසලේ ගුරුවරු සහ වෝඩ්නර් ‍රිමාන්ඩ්

(14.03.2023 – 19:30 +0530 – hirunews.lk/sinhala)

ඉකුත් 12 වැනි දා රාත්‍රී කාලයේ දී බොක්කාවල පිහිටි පුද්ගලික පාසලක නේවාසිකාගාරය තුළ පාසල් සිසුන් 10 දෙනෙකු (පිරිමි ළමයින් 5 දෙනෙකු සහ ගැහැණු ළමයින් 5 දෙනෙකු) කෲරත්වයට පත්කිරීම සම්බන්ධයෙන් එම පාසලේ ගුරුවරුන් සිව් (4) දෙනෙකු සහ නේවාසිකාගාර පාලිකාවන් දෙදෙනෙකු (2) මහනුවර කොට්ඨාශයේ ළමා හා කාන්තා කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් අද (14) මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මාර්තු 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.

අදාල සිද්ධිය සම්බන්ධයෙන් විදුහලේ විදුහල්පතිවරයා ඇතුළු ගුරුවරුන් පිරිසකට‍යි මෙම චෝදනාව එල්ල වී තිබුණේ.

කෲරත්වයට පත් කළ දරුවන් මහනුවර රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය ෴

+++++


අස්ගිරි – මල්වතු මහ නාහිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්

(14.03.2023 – 20:09 +0530 – hirunews.lk/sinhala)

ඉහළ යන ජීවන වියදම පහත හෙළා මහජන පීඩාවන් අවම කර, සමාජ නොසන්සුන්තාව සමනය කිරීමට නිසි ප්‍රතිපත්තිමය යාන්ත්‍රණයක් සකස් කරන ලෙස ඉල්ලා අස්ගිරි සහ මල්වතු මහ නාහිමිවරුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යොමුකර තිබෙනවා.

එහි දැක්වෙන්නේ රටේ උද්ගතව තිබූ ආර්ථික, දේශපාලන සහ සමාජ අස්ථාවරත්වය යම් පමණකට සමනය කොට ස්ථාවරත්වයක් ඇති කිරිමට ජනාධිපතිවරයා ගත් ක්‍රියාමාර්ග පිළිබඳ ප්‍රසාදය පළ කරන බවයි.

ආර්ථික සංකෝචනය, අධි උද්ධමනය, අධික විදුලි ගාස්තු, ජල ගාස්තු, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ඉහළ යාම ඇතුලු කරුණු හේතුවෙන් ජන ජීවිතය අඩාලවීම සමඟ උද්ගතව ඇති සමාජ පීඩනය පිළිබඳවද එහිදී මහනාහිමිවරුන් සිහිපත් කර තිබෙනවා.

මෙම තත්වයට මුහුණදීමට ජනතා හිතවාදී ප්‍රතිපත්තීන් ක්‍රියාත්මක කිරීම සඳහා රජය වහා කටයුතු කළ යුතු බවයි මහ නාහිමිවරුන් අවධාරණය කරන්නේ.

පළාත් පාලන මැතිවරණය නියමිත පරිදි පැවැත්වීම රජයේ වගකීම බවද එමඟින් සිහිපත් කරනවා.

නීතියේ ආධිපත්‍ය සුරක්ෂිත කරමින් මහජන ගැටළු පිළිබඳව සංවේදීව ජීවන වියදම පාලනය කොට ජන ජීවිත ක්‍රමයෙන් යථාවත් කිරීමට රජය කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරන බවයි ජනාධිපතිවරයා වෙත මහ නාහිමිවරුන් යොමුකළ ලිපියේ වැඩිදුරටත් දැක්වෙන්නේ ෴


මුද්‍රණාලය අදත් (14) මුදල් ඉල්ලයි – ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් පෙත්සමක්

(14.03.2023 – 20:25 +0530 – hirunews.lk/sinhala)

ඡන්ද පත්‍රිකා මුද්‍රණය සදහා අවශ්‍ය මුදල් ලබාදෙන ඉල්ලා භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව වෙත අද (14) දිනයේ ලිපියක් යොමු කළ බව රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ පවසනවා.

හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසිමකදි ඇය කියා සිටියේ මුදල් ලැබුණහොත් දින 3 ක් ගත වූ පසු ජන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම ආරම්භ කරන බවයි.

මීට පෙර මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට ඒ සම්බන්ධයෙන් ලිපියක් යොමුකළ අතර ඒ අනුව අවශ්‍ය ප්‍රතිපාදන වෙන්කල බවට සිදුකළ දැනුම්දීම අනුව භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවට ලිපිය යොමුකළ බවයි මුද්‍රණලයාධිපතිනිය වැඩිදුරටත් කියා සිටියේ.

එමෙන් ම, ආරක්ෂාව ඉල්ලා පොලිස්පතිවරයාට යැවු ලිපියට අද (14) ප්‍රතිචාරයක් ලැබුනු බවත් බොරැල්ල පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා පැමිණ ආරක්ෂාව ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බවට දැනුම් දුන් බවත් ඇය ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, කොළඹ අද (14) පැවති මාධ්‍ය හමුකදි රජයේ මුද්‍රණ සමගි සේවක සංගමයේ නියෝජ්‍ය සභාපති නුවන් බුද්ධික සදහන් කළේ ජන්ද පත්‍රිකා මුද්‍රණය කිරිමේ ප්‍රමාදයට මැතිවරණ කොමිසම වගකිව යුතු බවයි.

මේ අතර, කොළඹ අද (14) පැවති වැඩසටහනකට එක්වෙමින් මැතිවරණ කොමිසන් සභාවේ සභාපති නිමල් පුංචිහේවා කියා සිටියේ අප්‍රේල් 25 වැනි දිනට පළාත් පාලන ජන්ද විමසීම පැවැත්වීමට උත්සහයක් තිබුණද එය ඉදිරියේ දී තීරණය වන දෙයක් බවයි.

මේ අතර පසුගිය 09 වැනි දා පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීම තුලින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක් සිදුකර ඇති බවට තීන්දු කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (14) පෙත්සමක් ගොනු කෙරුණා.

ඒ ජාතික ජනබලවේගයේ ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ, එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙන්ති විසින්.

මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා, නීතිපතිවරයා, රජයේ මුද්‍රණාලායාධිපතිනිය, පොලිස්පතිවරයා, මැතිවරණ කොමිසමේ සභාපතිවරයා, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් 35 දෙනෙකු එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා.

නිදහස් සහ සාධාරණ ලෙස පළාත් පාලන ජන්ද විමසීම පැවැත්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස වග උත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන ලෙසත් එම පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලීම් කර තිබෙනවා.

මේ අතර පළාත්පාලන ඡන්ද විමසීම පැවැත්වීමට රජය විසින් සිදුකරනු ලබන බාධා වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සමගි ජනබලවේගයේ කොළඹ මහ නගර සභා අපේක්ෂක මුජිබර් රහුමාන් ඉදිරිපත් කළ පෙත්සම අද (14) ඉල්ලා අස්කර ගත්තා.

පෙත්සම්කාර පාර්ශවය ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියේ එය තවදුරටත් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවක් නොමැති බවයි ෴


බදු නොගෙවන දැවැන්තයන් කවුද?

“ජන පීඩක බදු සංශෝධන සහ රටේ හෙට දවස ” පුළුල් මහජන කතිකාවත හා එක් වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක්වූ අදහස් – 2023.03.13

+


මහාචාර්ය චරිත හේරත් (14.03.2023)

+


තුවක්කු, බෝම්බ අරගෙන හතර වටේ කොල්ල කාපු හොරු දෙදෙනෙකුට කාන්තාවක් ඇතුළු පිරිසකගෙන් ගුටු පූජාවක්.. (14.03.2023)

+

+


අපේ රට පාලනය කරන එවුන්ගෙ රට මේ රට නෙමෙයි උන්ට ඕන හම්බකරගෙන රටවල් වලට යන්න (12.03.2023)

+


නිරුවත් ඡායාරූප පෙන්නා රුපියල් ලක්ෂ 26 ක් කප්පම් කාලා

(13.03.2023 – 09:43 +0530 – lankadeepa.lk)

පදවි ශ්‍රීපුර ප්‍රදේශයේ පදිංචි රාජ්‍ය නිලධාරිනියකගේ නිරුවත් ඡායාරූප ඇයගේ සැමියාගේ ජංගම දුරකථනයට සහ අන්තර්ජාලයට එක් කරන බවට පවසා තර්ජනය කර බියට පත්කර රුපියල් ලක්ෂ 26 කට අධික මුදලක් වරින්වර බලහත්කාරයෙන් බැංකු ගිණුමක තැන්පත් කරගෙන ඇතැයි පොලිසිය කියයි

මෙම පැමිණිලිකාර රාජ්‍ය නිලධාරිණිය කුලියාපිටිය නාරම්වල ප්‍රදේශයේ පදිංචි අයකු සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන යන අතර වාරයේ රාජ්‍ය නිලධාරිණිය ගේ නිරුවත් ඡායාරූප අනියම් සැමියා ලබාගෙන ඇතැයි පොලිසිය කියයි.

සැකකරු 2019 වසරේ සිට රාජ්‍ය නිලධාරිණිය බියට පත්කරවරින් වර මෙම මුදල ඔහු විසින් ලබාදුන් බැංකු ගිණුමක තැන්පත් කරවාගෙන කරවා ගෙන ඇතැයි පොලීසිය පවසයි.

රාජ්‍ය නිලධාරිනිය මේ බව ශ්‍රී ශ්‍රීපුර පොලිසියට පැමිණිලි කරනු ලැබුවාය.

රාජ්‍ය නිලධාරිනිය කළ පැමිණිල්ල අනුව සැකකරු අත්අඩංගුවට ගැනීමට ශ්‍රීපුර පොලීසිය පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *