අද (14) මැදියම් රැයේ සිට දුම්රිය වෘත්තිය සමිති වර්ජනයක

අද (14) මැදියම් රැයේ සිට දුම්රිය වෘත්තිය සමිති වර්ජනයක


අද (14) මැදියම් රැයේ සිට දුම්රිය වෘත්තිය සමිති වර්ජනයක

(14.03.2023 – 09:27 +0530 – hirunews.lk/sinhala)

සැළසුම් කළ පරිදි අද (14) මධ්‍යම රාත්‍රියේ සිට එක් (1) දින වර්ජනයක් ක්‍රියාත්මක කරන බව දුම්රිය වෘත්තිය සමිති සන්ධානය පවසනවා.

එහි සම කැඳවුම්කරු එස්.පී. විතානගේ කියා සිටියේ, ඉල්ලීම් 5 ක් මුල් කරගනිමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවයි.

මේ අතර තැපැල් සේවකයන් ද සැලැසුම් කළ පරිදි අද (14) මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයේ යෙදීමට යි තීරණය කර ඇත්තේ ෴

++++++

දුම්රිය දෙපාර්තමේන්තු කාර්‍ය මණ්ඩලවල නිවාඩු අවලංගු කෙරෙයි

(14.03.2023 – 13:17 +0530 – hirunews.lk/sinhala)

අත්‍යවශ්‍ය මහජන සේවාවක් ලෙස නම් කළ දුම්රිය දෙපාර්තමේන්තුවේ සියලු ම කාර්ය මණ්ඩලවල නිවාඩු වහා ම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කෙරී තිබෙනවා.

2023.02.27 දිනැති 2321/07 දරන රජයේ අතිවිශේෂ ගැසට් නිවේදනයට අනුව යි ශ්‍රී ලංකා දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට අතිගරු ජනාධිපතිතුමා විසින් ප්‍රකාශයට පත් කෙරුණේ.

ඒ අනුව 1979 අංක 61 දරන අත්‍යවශ්‍ය මහජන සේවා පනතේ 2 වන වගන්තිය ප්‍රකාර ව අත්‍යවශ්‍ය මහජන සේවාවක් ලෙස ප්‍රකාශ කර ඇති ශ්‍රී ලංකා දුම්රිය සේවයේ සියලුම කාර්ය මණ්ඩලවල නිවාඩු 2023.03.14 වන දින සිට වහා ම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා විසින් පියවර ගෙන ඇති බව සඳහන්.

එම නිවේදනයට අනුව දුම්රිය සේවාව අඛණ්ඩ ව සහ කාර්යක්ෂම පවත්වාගෙන යෑම සඳහා 2023.03.15 දින සේවයට වාර්තා නො කරන සියලු නිලධාරීන්ගෙන් ඒ පිළිබඳ නිදහසට කරුණු විමසා තමන් වෙත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස දුම්රිය සාමාන්‍යාධිකාරි ඩබ්ලිව්.ඒ.ඩී.එස්. ගුණසිංහ විසින් දෙපාර්තමේන්තුව සියලු ප්‍රධානීන් වෙත දන්වා තිබෙන බව යි වාර්තා වන්නේ ෴

++++++++

දුම්රිය සංගම් කිහිපයක් ම හෙට වර්ජනයට නැහැ

(14.03.2023 – 16:39 +0530 – hirunews.lk/sinhala)

හෙට (15) දිනයේ දී පැවැත්වෙන බව කියන වැඩවර්ජන ක්‍රියාමාර්ගයට දුම්රිය සංගම් කිහිපයක් එක් නොවන බවට වාර්තා වනවා.

ඒ අනුව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය, දුම්රිය නියාමකවරුන්ගේ සංගමය, දුම්රිය නියාමකවරුන්ගේ සංගමය ඇතුළු දුම්රිය වෘත්තීය සමිති පිරිසක් කිහිපයක් අදාල වෘත්තීය ක්‍රියාමාර්ගයට අවතීර්ණ වන්නේ නැහැ.

මේ අතර 1979 අංක 61 දරන අත්‍යවශ්‍ය මහජන සේවා පනතේ 2 වන වගන්තිය ප්‍රකාර ව අත්‍යවශ්‍ය මහජන සේවාවක් ලෙස ප්‍රකාශ කර ඇති ශ්‍රී ලංකා දුම්රිය සේවයේ සියලුම කාර්ය මණ්ඩලවල නිවාඩු 2023.03.14 වන දින සිට වහා ම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා විසින් පියවර ගනු ලැබුවා ෴


පුද්ගලයෙකු හප්පා පලාගිය සැප රියක් පසුපස පාර්ලිමේන්තු මන්ත‍්‍රී හඹාගොස් අල්ලා දෙයි…

(14.03.2023 – 10:00 +0530 – lankacnews.com)

යතුරුපැදිකරුවකු හප්පා පලා ගිය සුඛෝපභෝගී මෝටර් රථයක් හඹායමින් එහි රියැදුරු අල්ලා පොලිසියට භාරදීමට කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා කටයුතු කර තිබේ.

බණ්ඩාරගම රයිගම් පදික මාරුව අසලදී යතුරුපැදිකරුවකු අනතුරට ලක් කර එම සුඛෝපභෝගී මෝටර් රථය පලායමින් සිටියදී මන්ත්‍රීවරයා තම රථයෙන් ඔහු පසු පස හඹා ගොස් පොලිසියට දැනුම් දී ඔහු පොලිසියට බාර දී තිබේ.

පොලිසිය විසින් මෝටර් රථය ද සමඟ රියැදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ ඔහු ජාත්‍යන්තර පාසලක ක්‍රිකට් තරගයක් නරඹා ආපසු යමින් සිටිය දී මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුරින් තුවාල ලද පුද්ගලයා මේ වන විට රෝහල් ගත කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා සඳහන් කරන්නේ මෙම අනතුර තම දෑසින්ම දුටු බවත් රිය අනතුරක් සිදුවීම සාමාන්‍ය දෙයක් වුවත් අනතුරට ලක්වූ පුද්ගලයා දෙස නොබලා පලායාම අනුමත කළ නොහැකි බවත්ය ෴


පරිගණක ක්‍රීඩාවේ තිබූ අභියෝගයකට අනුව තට්ටු ගොඩනැඟිල්ලකින් පැන්න යාපනයේ සිසුවකු බේරා ගැනෙයි

(14.03.2023 – 11:09 +0530 – hirunews.lk/sinhala)

පරිගණක ක්‍රීඩාවලට ඇබ්බැහි වූ යාපනයේ ජනප්‍රිය පාසලක සිසුවෙකු එම ක්‍රීඩාවේ සදහන් ආකාරයට තට්ටු කීපයක් උස ගොඩනැගිල්ලකින් පැන සිය දිවිහානි කර ගැනීමට තැත් කොට තිබෙනවා.

ඒ, අද (14) උදෑසන කාලයේ දී යි.

එම සිසුවා තට්ටු ගොඩනැගිල්ලේ අසාමාන්‍ය ලෙසට ගමන් කරන ආකාරය දුටු ගුරුවරුන් හා සිසුන් පිරිසක් ඒ පිළිබඳ අවධානයෙන් සිටිද්දී සිසුවා එක්වරම තට්ටු ගොඩනැගිල්ලෙන් බිමට පැන තිබෙන බව සඳහන්.

කෙසේ වෙතත් විදුලිය සපයා නැති පැරණි විදුලි රැහැන් පද්ධතියක සිසුවා පැටලී බිම වැටීමට ‍යම් කාලයක් ගත වූ නිසා ගුරුවරුන්ට හා සිසුන්ට සුළු තුවාල ලැබූ සිසුවා ව බේරා ගැනීමට හැකි වූ බව යි වාර්තා වන්නේ.

පසු ව සිසුවා ව ගිලන් රථයක ආධාරයෙන් රෝහල්ගත කිරීමට හැකි වී තිබෙන අතර, සිසුවාගේ පොත් බෑගය පරීක්ෂා කිරීමේ දී ඔහුගේ ජීවිතය හා පරිගණක ක්‍රීඩාව ගැන තොරතුරු සදහන් කරමින් ඔහු විසින් ලියා තිබූ පිටු 7 ක ලිපියක් ගුරුවරුන්ට හමු වී තිබෙනවා.

එම ලිපියේ සඳහන් තොරතුරුවලට අනුව එම පරිගණක ක්‍රීඩාවේ නිරත වන පිරිස ඔහු වෙත ලබා දෙන යම් අභියෝගයක් බාර ගත යුතු ව අති අතර, මේ සිසුවා ද එවැනි අභියෝගයක් බාර ගනිමින් පාසලේ තට්ටු ගොඩනැගිල්ලෙන් බිමට පැනීමට තීරණය කර ඇති බව සඳහන්.

වැඩිදුර පරීක්ෂණ යාපනය පොලීසිය මඟින් මෙහෙයවනු ඇති ෴


පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවල සිසුන්ටත් රජයේ රෝහල් තුළ සායනික පුහුණුව

(14.03.2023 – 13:44 +0530 – hirunews.lk/sinhala)

පෞද්ගලික විශ්වවිද්‍යාල තුනක් (3) ඇතුළු තවත් විශ්වවිද්‍යාල කිහිපයක වෛද්‍ය සිසුන්ට සායනික පුහුණුව ලබාදීම සඳහා ශික්ෂණ රෝහල් ලෙස භාවිත කිරීමට සුදුසු රජයේ රෝහල් හඳුනා ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කමිටුවක් පත්කර තිබෙනවා.

සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සීතා අරඹේපොළගේ සභාපතිත්වයෙන් යුත් එම කමිටුවට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය දර්ශන සිරිසේන ඇතුළු 13 දෙනෙකු ඇතුළත්.

ඒ අනුව, රාජ්‍ය විශ්වවිද්‍යාලවල වෛද්‍ය සිසුන්ගේ සායනික පුහුණුවට බාධාවක් නොවන පරිදි කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය, මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල, ලයිසියම් කැම්පස් සහ කොළඹ, කළුතර, ගම්පහ, කුරුණෑගල හා පොළොන්නරුව යන විශ්වවිද්‍යාලවලට ඇතුළත් වන වෛද්‍ය සිසුන් සඳහා ශික්ෂණ රෝහල් ලෙස භාවිතයට යොදාගැනීමට සුදුසු රජයේ රෝහල් මෙම කමිටුවෙන් සොයා බලනු ඇති.

අදාළ කමිටුවේ වාර්තාව මාස 02 ක් තුළ ජනාධිපතිවරයා වෙත භාරදිය යුතු වනවා ෴


ආණ්ඩුකාරවරු කොළඹට කැඳවයි

(14.03.2023 – 13:54 +0530 – hirunews.lk/sinhala)

සියලුම ආණ්ඩුකාරවරුන් අද (14) කොළඹට කැඳවා තිබෙනවා.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු , පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍යවරයා මෙම කැඳවීම සිදුකර ඇති බවයි අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

පළාත් පාලන ආයතනවල කාලය වසරකින් දීර්ඝ කරමින් විෂයභාර අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍යවරයා පසුගිය වසරේ ගැසට් නිවේදනයක් නිකුත් කළ අතර එම කාලය ලබන 19 වැනිදායින් අවසන් වනවා.

ඒ අනුව, පළාත් පාලන ආයතනවල ඉදිරි කටයුතු පිළිබඳ අද (14) පැවැත්වෙන සාකච්ඡාවේ දී අදහස් හුවමාරුවනු ඇති.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ, පළාත් පාලන ආයතනවල පාලනය ලබන 19 වැනිදායි පසු කොමසාරිස්වරුන් යටතට පත්කිරීමට රජය තීරණය කර ඇති බවයි ෴


සම්මත ක්‍රමවේදයෙන් බැහැරව පොඩි මැණිකේට ආසන වෙන්කිරීමක්

(14.03.2023 – 14:06 +0530 – hirunews.lk/sinhala)

කොළඹ කොටුවෙන් දිනපතා උදෑසන 08:30 ට පිටත්වන ‘පොඩි මැණිකේ දුම්රිය’, ලබන 20 වැනිදා වෙන්කරනු ලබන ආසන සියල්ල, නියෝජ්‍ය වානිජ අධිකාරීවරයාගේ නියමයෙන් වෙනත් පුද්ගලයින්ට වෙන් කිරීම අත්හිටුවා තිබෙනවා.

සම්මත ක්‍රමවේදයෙන් පරිබාහිරව විදෙස් සංචාරකයින් පිරිසක් වෙනුවෙන් මෙලෙස ආසන වෙන්කිරීමෙන් සාමන්‍ය ජනතාව දැඩි අසීරුතාවකට පත්ව සිටින බවයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න සඳහන් කළේ.

මේ අතර දියලුම ඇල්ලේ උඩදියලුම නැරඹීමට පැමිණෙන විදෙස් සංචාරකයින්ගෙන් මුදල් අය කිරීමට හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාව කටයුතු කිරීම හේතුවෙන් එම සංචාරකයින් අසීරුතාවකට මුහුණ දී තිබෙනවා.

පහසුකම් සළසා දීම සඳහා බව පවසමින් රුපියල් 350 ක මුදලක් ලබාගත්ත ද එවැනි කිසිදු පහසුකමක් සපයා දී නොමැති බවයි ප්‍රදේශවාසීන් චෝදනා කළේ.

සංචාරකයින්ට සිදු වන මෙම අසාධාරණය සම්බන්ධයෙන් ඔවුන් මුදල් අය කිරීම සඳහා යොදවා ඇති නිලධාරීන්ගෙන් විමසීමට ගිය අවස්ථාවේ උණුසුම් තත්වයක් ද ඇතිවුණා ෴


මාර්තු 09 ඡන්දය නොපැවැත්වීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්

(14.03.2023 – 14:39 +0530 – hirunews.lk/sinhala)

පසුගිය 09 වැනි දා පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීම තුලින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක් සිදුකර ඇති බවට තීන්දු කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (14) පෙත්සමක් ගොනු කෙරුණා.

ඒ ජාතික ජනබලවේගයේ ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ, එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙන්ති විසින්.

මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා, නීතිපතිවරයා, රජයේ මුද්‍රණාලායාධිපතිනිය, පොලිස්පතිවරයා, මැතිවරණ කොමිසමේ සභාපතිවරයා, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් 35 දෙනෙකු එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා.

මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශට නිකුත් කර තිබූ වරෙන්තුව ආපසු කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් අද (14) නියෝග කළා.

අදාළ වරෙන්තුව ඊයේ (13) නිකුත් කෙරුණේ එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස් අල් හුසේන් කුමරු මෙරටට පැමිණි අවස්ථාවේ උද්ඝෝෂණයක් කරමින් මහජන පීඩාවක් ඇති කළේ යැයි කියන සිද්ධියට අදාළ නඩුව ඊයේ (13) කැඳවූ අවස්ථාවේ මන්ත්‍රීවරයා පෙනී නොසිටීම හේතුවෙන්.

කෙසේ වෙතත් ඔහු අද (14) මෝසමක් මාර්ගයෙන් අධිකරණය හමුවේ පෙනී සිටියා ෴


උපාධිධාරින් ගුරු සේවයට බඳවා ගැනීමේ පරීක්ෂණය ලබන 25 වැනිදා

(14.03.2023 – 14:43 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරින් ගුරු සේවයට බඳවා ගැනීම සඳහා පවත්වන පරීක්ෂණය මධ්‍යස්ථාන 341 කදී ලබන 25 වැනිදා පැවැත්වෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ, ඊට අදාළ ප්‍රවේශපත්‍ර විභාග අපේක්ෂකයින් වෙත යැවීම සඳහා අවශ්‍ය කටයුතු යොදා ඇති බවයි.

මෙම පරීක්ෂණයේ ප්‍රතිඵල මත ජාතික සහ පළාත් පාසල්වල ගුරු පුරප්පාඩු සඳහා අවශ්‍ය උපාධිධාරින් ගණනය කර බඳවා ගැනීම් සිදුකරනු ලබනවා ෴


බස්නාහිර හා මධ්‍යම පළාතේ පාසල් වාර විභාග කල් යයි

(14.03.2023 – 16:22 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර පළාතේ වසර අවසාන වාර විභාගවලට අදාළව හෙට (15) දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ විභාග කල් දැමීමට පියවර ගත් බව බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ශ්‍රීලාල් නෝනිස් පවසනවා.

එම තීරණය සියලුම කලාප සහ කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත දැනුම් දුන් බවයි ඔහු කියා සිටියේ.

ඒ අනුව 9 ශ්‍රේණියට අදාළව හෙට (15) පැවැත්වීමට නියමිතව තිබූ ගණිතය, සිංහල සහ දෙමළ විෂයන්වලට අදාළ විභාග ලබන 21 වැනිදා පැවැත්වෙනු ඇති.

එසේම 10 සහ 11 ශ්‍රේණිවල හෙට (15) පැවැත්වීමට නියමිතව තිබූ විෂයන්වලට අදාළ විභාග 22 වැනිදා පැවැත්වීමටයි සැළසුම් කර ඇත්තේ.

ගුරු සහ විදුහල්පති සංගම් කිහිපයක් හෙට (15) ක්‍රියාත්මක කිරීමට නියමිත වර්ජනය සැළකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන තිබෙනවා.

මේ අතර, මධ්‍යම පළාතේ සියලුම පාසල්වල හෙටට (15) යෙදී තිබූ 6 සහ 9 ශ්‍රේණි වාර විභාගය මාර්තු 17 වැනිදාටත්, 10 සහ 11 ශ්‍රේණි වාර විභාග මාර්තු 22 දිනටත් පවත්වන ලෙසට මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා ෴


සම්භාගනයට මුවා වූ ගණිකා වෘත්තියේ යෙදුණු හතරක් පයාගලින් අල්ලයි

(14.03.2023 – 18:05 +0530 – hirunews.lk/sinhala)

පයාගල ඈතගම ප්‍රදේශයේ ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවසක් වටලා කාන්තාවන් සිව්දෙනෙකු (4) සහ කළමණාකරු අද (14) දහවල් අත්අඩංගුවට ගත්බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසනවා.

කළුතර මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත සිදුකළ මෙම පරික්ෂාවේ දී අත්අඩංගුවට පත් මෙම තරුණියන් හම්බන්තොට වීරකැටිය ප්‍රදේශයේ පදිංචි 20, 21 සහ 22 යන වයස්වල අය බවටයි හෙළිදරව් වී ඇත්තේ.

උපාය දූතයකු යොදා සිදු කළ මෙම විමර්ශනයේ දී අනාවරණය වී ඇත්තේ මෙම තරුණියන් කොළඹ ඇගළුම් කර්මාන්ත ශාලාවල සේවය කරන බවට නිවෙස්වලට දැනුම් දී අදාල ගණිකා නිවාසයේ සේවය කර ඇති බවයි.

අත් අඩංගුවට පත් සැකකාරිණියන් කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴


රත්නපුර‍යෙන් අලුත් භෞමික උඩවැඩියා මලක් යොයා ගැනේ

(14.03.2023 – 18:42 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවට ආවේණික නව භෞමික උඩවැඩියා ශාක විශේෂයක් සබරගමු පළාතේ වලංකන්ද ප්‍රදේශය තුලින් සොයා ගැනීමට පර්යේෂකයන් පිරිසක් සමත්වී තිබෙනවා.

රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වලන්කන්ද ප්‍රදේශයේ අධ්‍යනයේ යෙදුනු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂක, පේරාදෙණිය උද්භිද උද්‍යාන ජාතික ශාකාගාරයේ හිටපු නිලධාරියකු වන භාතිය ගොපල්ලව සහ රජරට විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අපේක්ෂකයෙකු වන අමිල පෙරේරා යන අය විසින් 2021 වර්ෂයේ දී සිදුකළ අධ්‍යයනයක දී ප්‍රථම වරට මෙම ශාක විශේෂය වාර්තා කිරීමට හැකි වී තිබෙනවා.

2021 වර්ෂයේ දී වූ මෙම සොයා ගැනීමත් සමග භාතිය ගොපල්ලව විසින් පර්යේෂණ පත්‍රිකාව සකස් කිරීමේ කටයුතු ආරම්භ කර පර්යේෂණ පත්‍රිකාව ප්‍රකාශයට පත් කරන කාලය අතුර තුර ශාක පිලිබඳව පර්යේශණයේ යෙදෙන හර්ශ සම්පත් විසින් දෙවන වරට සිංහරාජය තුළින් සහ ලසිත ප්‍රගීත්හට තෙවන වරට කලවාන ප්‍රදේශය තුළින් මෙම ශාක විශේෂය වාර්තා කිරීමට හැකිව තිබෙනවා.

සිංහල භාෂාවෙන් මෙම පැළෑටිය හඳුන්වන නාමයක් තවමත් නොමැති බැවින් හා මෙය මෙරටට ආවේණික නව භෞමික උඩවැඩියා විශේෂයක් බැවින් ඉංග්‍රීසි හෝ වෙනත් භාෂාවකින් හඳුන්වන නාමයක් ද මෙම පෑලෑටි විශේෂය සඳහා නොමැති නිසා එයට නමක් යෝජනා කිරීමේ දී රත්නපුර දිස්ත්‍රික්කයෙන් වාර්ථා වූ නිසාවෙන් රත්නපුර ප්‍රදේශයේ ප්‍රසිද්ධ මැණික් ප්‍රභේදයක් වූ පුෂ්පරාග මැණික සිහි වීම සඳහා ‘පුෂ්පරාග’ යන යන යෝජනා වී තිබෙනවා.

අදාල පුෂ්පයට එම නම යෝජනා කිරීමේ දී එය පුෂ්පරාග මැණිකේ පැහැයට මෙම උඩවැඩියා විශේෂයේ පැහැය සමාන වීමත්, පුෂ්පරාග මැණික් සොයා ගන්නා පොලවෙන් ම හමු වූ භෞමික උඩවැඩියා විශේෂයක් වීමත්, පුෂ්පරාග මැණික් තුළ පවතින කහ සහ රතු පැහැ අනුවර්ණය මෙම ශාක විශේෂයේ කහ පැහැති පුෂ්පයත් එහි මැද ඇති රතු පැහැයට සමාන වීම හේතු නිසාවෙන් පර්යේශකයන් විසින් මෙම ශාක විශේෂය නාමකරණයේ දී අදාල නම යෙදීමට කටයුතු කර තිබෙනවා.

ඒ අනුව Gastrodia pushparaga යන විද්‍යාත්මක නාමය සහිත මෙම ශාක විශේෂයේ විද්‍යාත්මක වර්ගීකරණය සැලකීමේ දී ශාක රාජධානියේ Asparagales පෙළපතට අයත් Orchidaceae පවුලේ Epidendroideae උප පවුලට අයත් Gastrodieae ගෝත්‍රයේ Gastrodia ගණයේ G. pushparaga යන විශේෂයට අයත් බවයි පර්යේෂකයන් පවසන්න්නේ.

උඩවැඩියා විශේෂ අතරින් භෞමික උඩවැඩියා විශේෂයක් වන මෙම ශාක විශේෂය පරපෝෂී (Holomycotrophic) ශාක විශේෂයකි. මෙහි ශාක පත්‍ර දක්නට නොලැබෙන අතර පොලව අභ්‍යන්තරයේ පවතින රෛසෝමයක් මගින් මලක් පමණක් හට ගන්නා අතර එය සෙන්ටිමීටර කිහිපයක විශාලත්වයකින් යුක්ත බවයි පර්යේෂකයන් පවසන්නේ.

මෙම ශාක විශේෂය අයත් වන Gastrodia ශාක ගණය තුල ලෝකය පුරාම විශේෂ 95 ක් පමණ වාර්තා වී ඇති අතර නව සොයා ගැනීමට අයත් ශාක විශේෂය සහ Gastrodia zeylanica, Gastrodia gunethilakeorum යන විශේෂ තුන (3) පමණක් ලංකාවට අවේනික වනවා.

මෙම නව සොයා ගැනීමත් සමග ලාංකාවේ සියළුම ‘දේශීය උඩවැඩියා විශේෂ’ සංඛ්‍යාව 194 ලෙස ඉහළ යන අතර ‘ආවේනික උඩවැඩියා විශේෂ’ සංඛ්‍යාව 63 ලෙස ඉහල යෑම සිදුවනවා.

පර්යේෂකයන්ගේ පුරෝකථනයන්ට අනුව ඉදිරියේ දී මෙම සංඛ්‍යාව ඉහළ යා හැකි අතර නව සොයා ගැනීම සිදුකල ශාක විශේෂය පිලිබඳව සකස්කල පර්යේෂණ පත්‍රිකාව 2023.03.14 වන දින අන්තර් ජාතික පර්යේෂණ පත්‍ර ප්‍රකාශයට පත්කරන https://www.biotaxa.org/ යන වෙබ් අඩවිය තුළ ලෝකයට ප්‍රකාශයට පත්කිරීම සිදු වුණා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *