වෛද්‍ය වර්ජනයෙන් රෝගීන්ට පීඩා

වෛද්‍ය වර්ජනයෙන් රෝගීන්ට පීඩා


වෛද්‍ය වර්ජනයෙන් රෝගීන්ට පීඩා

(13.03.2023 – 13:18 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර, දකුණ, මධ්‍යම සහ නැගෙනහිර පළාත් රජයේ රෝහල්වල වෛද්‍යවරුන් ආරම්භ කර ඇති එක්දින (1) වර්ජනය හේතුවෙන් අද (13) දිනයේ රෝගීන් දැඩි අපහසුතාවට පත්වුණා.

අප වාර්තාකරුවන් සඳහන් කළේ එම රෝහල්වල අත්‍යවශ්‍ය සේවා හැර සෙසු ප්‍රතිකාර සේවා බිඳවැටී තිබුණු බවයි.

රජයේ නව බදු ප්‍රතිපත්තියට විරෝධය දක්වමින් අනිද්දා (15) පැවැත්වීමට නියමිත ඒකාබද්ධ වර්ජනයට සමගාමීවයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය මෙම පළාත් 04 හි අද (13) පෙරවරු 08 සිට මෙම වර්ජන ක්‍රියාමාර්ගය ආරම්භ කළේ.

කෙසේ වෙතත් අද (13) වර්ජනය ක්‍රියාත්මක පළාත්වල, මෘතෘ සහ ළමා රෝහල්, ඇතුළු අත්‍යවශ්‍ය සේවා ක්‍රියාත්මක කෙරුණු බවයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ කියා සිටියේ.

එමෙන්ම රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව ජල සහ වරාය, බැංකු සේවකයින් ද අද (13) දිනයේ දී ‘අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක’ නිරතවනවා.

වරාය සේවකයින් අද (13) පෙරවරු 07 සිට පැය 24 ක අකුරට වැඩකිරීමේ ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇති බවයි වරාය ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති ප්‍රසන්න කලුතරගේ කියා සිටියේ.

ජල සම්පාදන හා ජලාපවහන වෘත්තීය සමිතිද අද (13) දිනයේ දී අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.

අනිද්දා (15) පැවැත්වීමට නියමිත ඒකාබද්ධ වර්ජනයට සමගාමීව දිවයින පුරා බැංකු ක්ෂේත්‍ර නිලධාරින් අද (13) කළු ඇදුමින් සැරසී සේවයට වාර්තා කර තිබුණා.

මේ අතර අනිද්දා (15) පැවැත්වෙන විරෝධතාවට දිවයින පුරා සියලු පාසල්වල ගුරු – විදුහල්පතිවරුන්ද එක්වීමට නියමිතයි.

ඒ හේතුවෙන් එදිනට පැවැත්වෙන පාසල් වාර පරීක්ෂණවලින් ගුරු – විදුහල්පතිවරුන් ඉවත්වීමට නියමිත බවයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් කොළඹ අද (13) කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ ෴

+++++++

වර්ජනයට නියමිත වෛද්‍යවරුන්ට සාකච්ඡාවක් සඳහා ජනපතිගෙන් කැඳවීමක්

(13.03.2023 – 20:10 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් සඳහා අද (13) රාත්‍රී 7 ට වෘත්තීය වේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව කැඳවා ඇති බව ‘රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය’ සඳහන් කළා.

ජනාධිපති ලේකම් කාර්යාලය මගින් අද (13) පස්වරුවේ අදාළ දැනුම්දීම සිදු කළ බවයි එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ කියා සිටියේ.

කෙසේ වෙතත් පළාත් 4 ක අද (13) ක්‍රියාත්මක කළ වර්ජනය හෙට තවත් පළාත් 5 කට ව්‍යාප්ත කිරීමට ගත් තීරණයෙහි වෙනසක් සිදුකර නැහැ.

ඒ අනුව සබරගමුව, වයඹ, ඌව, උතුරමැද සහ උතුර පළාත් හී රජයේ රෝහල්වල හෙට (14) පෙරවරු 8 සිට එම වැඩවර්ජනය ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි ‘රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ’ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ කියා සිටියේ.

‘රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය’ බස්නාහිර, දකුණ, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වල රජයේ රෝහල් තුළ දියත්කළ වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක අතර මේ නිසා ප්‍රතිකාරගැනීමට පැමිණි රෝගීන් දැඩි දුෂ්කරතාවට පත් වුණා.

මේ අතර රජයේ නව බදු ප්‍රතිපත්තිය ඉවත්කර ගැනීම ඇතුළු තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අනිද්දා (15) පවත්වන ඒකාබද්ධ වර්ජනයට සමඟාමීව අද (13) තවත් වෘත්තීය සමිති කිහිපයක් වෘත්තීය ක්‍රියාමාර්ග වලට අවතීරණ වුණා.

ඒ අනුව වරාය වෘත්තීය සමිති පැය 48 ක ‘අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකයකට’ අවතීර්ණ වූ අතර ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ වෘත්තීය සමිතිද අද (13) සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළා.

බැංකු සේවකයන් ද අද (13), කළු ඇඳුමින් සැරදී සේවයට වාර්තා කර තිබුණේ, මෙම වෘත්තීය ක්‍රියාමාර්ග වලට සමඟාමීවයි.

මේ අතර ‘විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ සමිති සම්මේලනය’ ද අධ්‍යයන කටයුතුවලින් බැහැර වී වර්ජන ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වුණා.

ඊට සමඟාමීව ගැටඹේ මංසන්දියේ සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලය දක්වා විරෝධතා පා ගමනක නිරත වූ පේරාදෙණිය විශ්ව විද්‍යලයේ ආචාර්යවරුන්ට පොලිසියෙන් බාධා එල්ල කළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

‘සමස්ත ලංකා ප්‍රවාහන සේවා සංගමය’ ද අද (13) මාධ්‍ය හමුවක් පවත්වමින් අනිද්දා (15) වර්ජනයට ලංගම වෘත්තීය සමිති ලෙස තම සහය ලබා දෙන බව කියා සිටියා.

එමෙන්ම ‘රාජ්‍ය මුද්‍රණ, සමගි සේවක සංගමයේ’ නියෝජ්‍ය සභාපති නුවන් බුද්ධික ද කියා සිටියේ අනිද්දා (15) වර්ජනයට මුද්‍රණාලයේ සේවයකින්ද සහය දෙන බවයි.

මේ අතර අවම ආදායම් ලාභීන්ලෙන් බදු අයකරගැනීම, විදුලි බිල ඉහළ දැමීම සහ බැංකු ණය පොලී ඉහළ යාම හමුවේ තම ජීවත් වීමේ අයිතිය උල්ලංඝනය වී ඇති බව පවසමින් ‘රාජ්‍ය හා අර්ධ රාජ්‍ය වෘත්තීය සමිති එකමුතුව’ අද (13) ‘ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව’ට පැමිණිල්ලක් ඉදිරිපත් කළා ෴


සෞඛ්‍ය බලධාරීන් අනිද්දා (15) මානව හිමිකම් කොමිසමට කැඳවයි

(13.03.2023 – 12:59 +0530 – hirunews.lk/sinhala)

සෞඛ්‍ය ලේකම්වරයා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා අනිද්දා (15) දිනයේ දී ‘ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව’ වෙත කැඳවමින් සිතාසි නිකුත් කර තිබෙනවා.

ඒ අත්‍යවශ්‍ය ඖෂධ හිඟය, මිල ඉහළ යාම සහ ශල්‍යකර්ම සීමාවීම හේතුවෙන් ජනතාවගේ මානව අයිතිවාසිකම් කඩවීම සම්බන්ධයෙන් පරික්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා ‘වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානය’ සහ ‘ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය’ ඉදිරිපත් කළ පැමිණිල්ලකට අදාළවයි.

මෙම පැමිණිල්ලට අදාළව මීට පෙරද සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුලු බලධාරීන් ‘ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව’ වෙත කැඳවා තිබුණා ද එදින ඔවුන් ඊට සහභාගිවූයේ නැහැ.

ඒ අනුවයි යළිත් මෙම නිලධාරීන් මානව හිමිකම් කොමිසම වෙත අනිද්දා (15) කැඳවමින් සිතාසි නිකුත් කර ඇත්තේ.

එදිනට නියමිත වේලාවේ දී කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීම අනිවාර්ය බවත්, විමර්ශනයට සම්බන්ධ ප්‍රශ්නවලට පිළිතුරු දීම මෙන්ම අවශ්‍ය ලේඛන ඉදිරිපත් කිරීම, අත්‍යවශ්‍ය බවත් එම සිතාසිවල සඳහන්.

මේ අතර මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා රෝගීන්ට අවශ්‍ය ඖෂධ වර්ග 42 ක් ඉතා ඉහළ මිල ගණන් යටතේ මිල දී ගැනීමේ සූදානමක් පවතින බව වාර්තාවනවා.

පසුගිය වසරවල මිල දී ගත් මුදලට වඩා දස (10) ගුණයකින් ඉහළ මිල ගණන් යටතේ එම ඖෂධ සමාගම් තුනකින් (3) මිල දී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ටෙන්ඩර් කමිටුවෙන් ද අනුමැතිය ලැබී ඇති බව සඳහන්.

ඖෂධ හිඟය සහ ඖෂධ මිලදී ගැනීම් පිළිබඳ තොරතුරු විමසීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා සම්බන්ධ කරගැනීමට අප උත්සහ කළද ඔහු ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් එය ව්‍යර්ථ වුණා ෴


ඡන්දයේ මුවාවෙන් සහන දෙන්න මූල්‍ය ප්‍රතිපත්ති යොදාගැනීම ආර්ථික අර්බුදයට හේතුව යි – මහබැංකු අධිපති

(13.03.2023 – 13:10 +0530 – hirunews.lk/sinhala)

ඡන්ද ලබාගැනීමේ පරමාර්ථයෙන්, ජනතාව ඉල්ලා සිටින සහන ලබාදීමට දේශපාලනඥයින් මූල්‍ය ප්‍රතිපත්ති යොදාගැනීම, ආර්ථික අර්බුදය උග්‍රවීමට හේතු වූ බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

මහ බැංකු අධිපතිවරයා මේ අදහස් පළකළේ, කොළඹ සම්මන්ත්‍රණයකදීයි.

අර්බුදය තුළ නීතියේ කාර්යභාරය මැයෙන ජාතික නීති සම්මන්ත්‍රණය 2023 කොළඹ දී පැවැත්වුණේ, අගවිනිසුරු, ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරියගේ ප්‍රධානත්වයෙන්.

+


කොකේන් සමග විදේශිකයෙකු අල්ලයි

(13.03.2023 – 13:30 +0530 – hirunews.lk/sinhala)

මෙරටට බ්‍රසීලයේ සිට පැමිණි විදේශිකයෙකු විසින් ඉතා සූක්ෂ්ම ලෙස සඟවා ගෙන පැමිණි කොකේන් ග්‍රෑම් 350 ක් සමග ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ විදේශිකයා බ්‍රසීලයේ සිට මෙරටට පැමිණිය ද ඔහු මැසිඩෝනියානු ජාතිකයෙකු බවයි ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරින් පැවසුවේ.

අද (13) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පරිශ්‍රයේ දී මෙම සැකකරුගේ ගමන් බෑගය පරීක්ෂාවේ දී නීතිවිරෝධී මත්ද්‍රව්‍ය හමුව තිබෙනවා.

මෙම සැකකරු කටාර් ගුවන් සේවයට අයත් QR664 දරණ ගුවන් යානයෙන් උදෑසන 08:30 ට පමණ ලංකාවට පැමිණ තිබෙන බවත් වාර්තා වනවා.

සැකකරු සන්තකයේ තිබී හමුවේ කොකේන් ප්‍රමාණයේ වෙළෙඳපොළ වටිනාකම රුපියල් මිලියන 17 ක් බවයි රේගුව පැවසුවෙ.

සැකකරු වයස අවුරුදු 54 ක් වන අයෙක් වන අතර ඔහු ශ්‍රී ලංකාවට මෙලෙස පැමිණ ඇත්තේ පළමු (1) වරටයි.

කොකේන් මත්ද්‍රව්‍ය සුප් පැකට් ආකාරයෙන් අසුරා තිබුණ බවත් රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරින් සඳහන් කළා.


නව මහ බැංකු පනතෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වනවා ද?

(13.03.2023 – 16:15 +0530 – hirunews.lk/sinhala)

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ‘මහ බැංකු සංශෝධන පනත් කෙටුම්පතේ’ ඇතැම් ප්‍රතිපාදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් 04 ක් ඉදිරිපත් වී තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උදය ගම්මන්පිල සහ ජෙහාන් හමීඩ්, විශ්‍රාමික ලුතිනන් කර්නල් අනිල් අමරසේකර, ඒ.ඩී.බී. අබේසේකර ගුණරත්න යන අය විසින් එම පෙත්සම් ඉදිරිපත් කර ඇති බව සඳහන්.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ, යෝජිත ‘මහ බැංකු සංශෝධන පනත් කෙටුම්පතේ’ අන්තර්ගත ඇතැම් විධිවිධානවලින් මහ බැංකුවේ ස්වාධීනභාවයට බරපතළ අනතුරක් සිදු වන බව යි.

මෙම සංශෝධිත පනත් කෙටුම්පත හරහා විෂය භාර අමාත්‍යවරයාට මහ බැංකුවේ කටයුතු සඳහා මැදිහත් වීමට අවකාශ සැලසෙන අතර, ඒ තුළින් අදාළ ආයතනයේ ස්වාධීනභාවය උල්ලංඝනය වන බවත් පෙත්සම්වලින් පෙන්වා දී තිබෙනවා.

මේ හරහා රට තුළ මූල්‍ය අර්බුද ඇතුළු විවිධාකාරයේ ගැටලු මතු කිරීමට ඉඩ කඩ ඇතැ යි පෙන්වා දෙන පෙස්සම්කරුවන්, අදාළ සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් ප්‍රතිපාදන තුළින් රටේ ස්වෛරීභාවය මෙන්ම භෞමික අඛණ්ඩතාවටත් පටහැනි බව පෙන්වා දී තිබෙනවා.

එබැවින් මෙම පනත් කෙටුම්පතේ අන්තර්ගත ප්‍රශ්නගත ප්‍රතිපාදනවලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 1, 2, 3, 4 යන වගන්ති උල්ලංඝනය වන බව යි පෙස්සමේ සඳහන් වන්නේ.

එබැවින් මෙම පනත් කෙටුම්පත සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක (2/3) විශේෂ බහුතර ඡන්දයකින් අනුමත වී, ජනමත විචාරණයකින් ද අනුමත විය යුතු බව පෙස්සම මඟින් ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා තිබෙනවා ෴


ගෝඨාභය පාලන සමයේ සිදු වූ වැරැදි ප්‍රතිපත්තියක අහිතකර ප්‍රතිඵලයක් පිළිබඳ අතිවිශේෂ හෙළිදරවුවක්

(13.03.2023 – 17:34 +0530 – hirunews.lk/sinhala)

ලක්ෂ 16 ක් ව පැවති බදු ලිපි ගොනු ප්‍රමාණය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ පත් වූ රජය හඳුන්වා දුන් බදු ලිහිල් කිරීමේ ප්‍රතිපත්තිය හේතුවෙන් ලක්ෂ 4 ක් දක්වා අඩු වූ බව කොළඹ විශ්වවිද්‍යාලයීය කළමනාකරණ මූල්‍ය පීඨයේ ව්‍යාපාරික ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්‍ය නිහාල් හෙන්නායක පවසනවා.

ඒ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (12) පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

මේ අතර, බදු දැල තුළට අලුතින් පිරිස් හසු කර ගන්නවාට වඩා මෙම බදු ගොනු ලක්ෂ 4 සක්‍රීය කිරීම පහසු බව යි මහාචාර්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ.

එසේම මහාචාර්‍ය නිහාල් හෙන්නායක සඳහන් කරන්නේ, මෙම බදු ලිපි ගොනු ලක්ෂ 12 නැවත සක්‍රීය කිරීමෙන් රජයටත් වෘත්තිකයන්ටත් ජයග්‍රාහී ස්ථානයකට පැමිණිය හැකි බව යි.

මෙසේ බදු ලිපි ගොනු ප්‍රමාණය ලක්ෂ 4 ක් දක්වා පහළ බැසීම නිසා අහිමි වී ගිය සියලු බදු බර දරන්නට වී ඇත්තේ, ලක්ෂ 4 ක් පමණ වන වෘත්තිකයන්ට බව යි මහාචාර්‍යවරයා අවසාන වශයෙන් සඳහන් කරන්නේ ෴


ජාතික ජන බලවේග විරෝධතාවට එල්ල කළ කදුළු ගෑස් ගැන අධිකරණය පොලිසියෙන් වාර්තාවක් ඉල්ලයි

(13.03.2023 – 20:06 +0530 – hirunews.lk/sinhala)

ජාතික ජන බලවේගය විසින් පසුගියදා කොළඹ පැවැත්වූ විරෝධතාවය විසුරුවා හැරීම සඳහා එල්ල කළ කදුළු ගෑස් සම්බන්ධයෙන් සති දෙකක් (2) ඇතුළත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස, පොලිස් මහජන සම්බන්ධතා කළමනාකරණ කොට්ඨාශයේ අධ්‍යක්ෂවරයාට කොළඹ – කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද (13) නියෝග කළා.

ඒ එම විරෝධතාවය අතරතුර මියගිය එම පක්ෂයේ නිවිතිගල ප්‍රාදේශීය සභා අපේක්ෂක නිමල් අමරසිරිගේ මරණය සම්බන්ධයෙන් නඩුව කැඳවූ අවස්ථාවේ දී යි.

එහි දී සාක්ෂි ලබාදෙමින් ඔහුගේ පුත්‍රයා සඳහන් කළේ, තම පියා කදුළු ගෑස් හේතුවෙන් ඇති වූ අසනීප තත්ත්වයක් මත මිය යන්නට ඇති බවට විශ්වාස කරන බවයි.

එහි දී ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයා වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයා විවෘත අධිකරණයේ කරුණු දක්වමින් කියා සිටියේ උද්ඝෝෂණය විසුරුවා හැරීම සඳහා එල්ල කළ ඇති කදුළු ගෑස් කල් ඉකුත් වී ඇත්ද යන්න පිළිබඳ සැක මතු වී ඇති බවයි.

එබැවින් ඒ පිළිබඳව සුදුසු නියෝගයක් නිකුත් කරන ලෙසට ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටි අතර ඒ අනුවයි මහේස්ත්‍රාත් තිළිණ ගමගේ උද්ඝෝෂණය විසුරුවා හැරීම සඳහා භාවිතා කරන ලද කදුළු ගෑස් සම්බන්ධයෙන් වාර්තාවක් නිකුත් කරන ලෙසට දැනුම් දෙනු ලැබුවේ ෴


තැපැල් සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ගැසට් නිවේදනයක්

(14.03.2023 – 06:57 +0530 – hirunews.lk/sinhala)

තැපැල් සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ, දීප ව්‍යාප්ත වෘත්තීය සමිති විරෝධතා මාලාවක් ද ක්‍රියාත්මක වෙමින් පවතිද්දී යි.

ඊයේ (14) දිස්ත්‍රික් රැසක ම වෛද්‍යවරුන් වෘත්තීය ක්‍රියාමාර්ගවල යෙදුණු අතර, එම රෝහල්වල බාහිර ප්‍රතිකාර අංශය සහ සායනික කටයුතු පැවැත්වුණේ නෑ.

මේ අතර, අදාළ වෛද්‍ය වෘත්තිකයන් හා සෙසු වෘත්තීය සමිති නායකයන් අතර සාකච්ඡාවක් පැවැත්වුණේ, ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන්.

කෙසේ වෙතත් රජයේ බදු ප්‍රතිපත්තිය, අසාධාරණ ලෙස විදුලි බිල වැඩි කිරීම, මැතිවරණ කල් දැමීම ආදී සටන් පාඨ මුල් කර ගනිමින් පැවැත්වෙන විරෝධතා මාලාව තවමත් ක්‍රියාත්මක යි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *