මීනගයා දුම්රියේ වැසිකිළියේ දමා ගොස් සිටි බිළිඳාගේ මව හා පියා අත්අඩංගුවට

මීනගයා දුම්රියේ වැසිකිළියේ දමා ගොස් සිටි බිළිඳාගේ මව හා පියා අත්අඩංගුවට


මීනගයා දුම්රියේ වැසිකිළියේ දමා ගොස් සිටි බිළිඳාගේ මව හා පියා අත්අඩංගුවට

(11.03.2023 – 14:26 +0530 – hirunews.lk/sinhala)

මඩකලපුව බලා ධාවනය කිරීමට සූදානම්ව කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ නවතා තිබූ මීනගයා දුම්රියේ වැසිකිලියක දමාගොස් තිබියදී සොයා ගත් බිලිඳාගේ මව සහ පියා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

26 හැවිරිදි පියා කොස්ලන්ද ප්‍රදේශයේදීත්, 25 හැවිරිදි මව බණ්ඩාරවෙල – නායබැද්ද ප්‍රදේශයේදීත් අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව සඳහන් කළේ.

බණ්ඩාරවෙල මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරින් කණ්ඩායමක් බණ්ඩාරවෙල – නායබැද්ද ප්‍රදේශයේ නිවසක් වෙත ගොස් තිබුණේ බණ්ඩාරවෙල පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින්ගෙන් මේ සම්බන්ධයෙන් ලද තොරතුරක් පරීක්ෂා කිරීම සඳහායි.

සැකකාර මව අවිවාහක කාන්තාවක් වන අතර, ඇය හපුතලේ – කොස්ලන්ද ප්‍රදේශයේ තරුණයෙකු සමග පැවැත්වූ ප්‍රේම සබඳතාවක ප්‍රතිඵලයක් ලෙස මෙම දරුවා උපත ලබා ඇති බවත්, විමර්ශනවලදී හෙළිව තිබෙනවා. තරුණිය ගැබ් ගැනීමත් සමග මීට මාස 4 කට පමණ පෙරයි ඔවුන් කොළඹට පැමිණ ඇත්තේ.

තරුණයා දෙහිවල ප්‍රදේශයේ රැකියාවක නිරත වෙමින් තරුණිය විවිධ ස්ථානවල රඳවාගෙන සිට ඇති බව විමර්ශනවලදී හෙළිව තිබෙනවා.

පසුගිය 25 වනදා කොළඹ පිහිටි රෝහලකදී දරු ප්‍රසූතිය සිදුකර ඇති අතර, පසුව හෝටලයක රැඳී සිටි සැකකාර මව බිලිඳා සිය පෙම්වතාට භාරදී බස් රථයකින් බණ්ඩාරවෙල බලා පිටත්ව ගොස් තිබුණා.

ඒ අනුව, බණ්ඩාරවෙල නිවසේ සිටියදී ඇය අත්අඩංගුවට ගත් බවයි බණ්ඩාරවෙල පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත කුමාර කියා සිටියේ.

අදාළ බිළිඳා මේ වනවිට රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කර ඇති අතර දරුවා යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවනවා ෴


හෙට (12) සිට ග්ලෝකෝමා සතියක්

(11.03.2023 – 13:16 +0530 – hirunews.lk/sinhala)

ලෝක ග්ලෝකෝමා දිනයට සමගාමීව හෙට (12) සිට ලබන 18 වනදා දක්වා ජාතික ග්ලෝකෝමා සතියක් ප්‍රකාශයට පත් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශ්‍ය පවසනවා.

ලෝක ග්ලෝකෝමා දිනය හෙටට (12) යෙදී ඇති අතර මෙවර එහි තේමාව වන්නේ ‘ලෝකය දීප්තිමත්ය, ඔබේ පෙනීම සුරකින්න’ යන්නයි.

ග්ලෝකෝමා රෝගී තත්ත්වය හේතුවෙන් ලෝකයේ මිලියන 4.5 ක පමණ ජනතාවක් අන්ධභාවයට පත්ව ඇති අතර තවත් මිලියන ගණනක් අල්ප දෘෂ්ඨිකතාවයෙන් පෙලෙන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළේ.

වයස අවුරුදු 40 ට වැඩි පිරිස් වසර 2 කට 3 කට වරක්වත් ග්ලෝකෝමාව සදහා අක්ෂි පරීක්ෂාව සිදුකර ගත යුතු වනවා.

මෙම රෝගී තත්ත්වයෙන් ජනතාව ආරක්ෂා කර ගැනීමේ අරමුණින් මෙම සතිය තුල දීප ව්‍යාප්තව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන්, වෛද්‍ය ශිෂ්‍යයින් සහ වෛද්‍යවරුන් සදහා පුහුණු වැඩසටහන් සහ සායන පැවැත්වෙනු ඇති.

මේ අතර කුඩා දරුවන්ට කන් ආශ්‍රිත ආබාධ පවතින්නේ නම් අනිවාර්යයෙන් වෛද්‍ය උපදෙස් ලබාගන්නා ලෙස උගුර, කණ, නාසය පිළිබඳ ශල්‍ය විශේෂඥ චන්ද්‍රා ජයසූරිය පවසනවා.

හිරු ප්‍රවෘත්ති අංශය වෙත අදහස් දක්වමින් ඇය මේ බව කියා සිටියා ෴


ප්‍රදේශ කිහිපයක වායු ගුණාත්මක තත්ත්වය පහළට

(11.03.2023 – 13:45 +0530 – hirunews.lk/sinhala)

දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක අද (11) උදෑසන 8 වනවිට වායු ගුණාත්මකභාවය පහළ ගොස් තිබෙනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව කොළඹ නගරයේ වායු ශුද්‍ර අංශ මට්ටම 52 ක් ව පවතින අතර, ඇමරිකානු වායු ගුණ තත්ව දර්ශකයට අනුව එය 149 ක්.

ඇමරිකානු වායු ගුණ තත්ත්ව දර්ශකයට අනුව බදුල්ල නගරයේ 151 ක්, ගාල්ල – කරාපිටිය 146 ක්, පුත්තලම නගරයේ 149 ක්, පොළොන්නරුව නගරයේ 143 ක් ලෙසත් දැක්වුණා ෴


රුපියලේ සහනය ජනතාවට ලබාදිය යුතුයි – රංජිත් සියඹලාපිටිය

(11.03.2023 – 13:47 +0530 – hirunews.lk/sinhala)

ඩොලරයට සාපේක්ෂව රුපියලේ වර්ධනය වීමේ සහනය ජනතාවට ලබාදිය යුතු බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

කොළඹ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියාසිටියා.

+

ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීමත් සමග ඖෂධ, ආහාර ද්‍රව්‍ය, පාරිභෝගික භාණ්ඩ ඇතුළු ආනයන භාණ්ඩ හා සේවාවල මිල ගණන් ඉදිරියේදී තවදුරටත් ක්‍රමයෙන් පහළ යනු ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළා.

ආනයන සීමා ලිහිල් කිරීම සිදුකරන්නේ නම් එය ගැඹුරින් සොයාබලා කළමනාකරණයකින් යුතුව සිදු කළ යුතු බවයි දෙහිඕවිට ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.

එමෙන්ම අපනයනය සඳහා රුපියල ශක්තිමත් වීම තුළින් යම් බලපෑමක් එල්ල කළද එය තාවකාලික තත්ත්වයක් බව ද රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පැවසීය ෴


පොලිස් නිලධාරින් ලෙස වෙස්වලාගෙන සොරකම් කළ පුද්ගලයින් දෙදෙනෙකු (2) අත්අඩංගුවට

(11.03.2023 – 14:33 +0530 – hirunews.lk/sinhala)

මෝදර ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදී පොලිස් නිලධාරින් ලෙස වෙස්වලාගෙන සොරකම් සහ කොල්ලකෑම් සිදුකළ පුද්ගලයින් දෙදෙනෙකු (2) කොළඹ උතුර අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් සතුව තිබී අයි-ෆෝන් වර්ගයේ ජංගම දුරකථන 37 ක්, ලැප්ටොප් පරිගණක 5 ක්, අයි-පෑඩ් 1 ක් සහ ටැබ් පරිගණක 3 ක් සහ ස්මාට් දුරකථන 44 ක් පොලිස් භාරයට ගැනුණා.

සැකකරුවන් 24 සහ 28 හැවිරිදි වියේ පසුවන්නන් බවයි පොලීසිය සඳහන් කළේ.

පසුගියදා කිරුළපන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු විසින් පහරදී ජංගම දුරකථනයක් පැහැර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසියට සිදු කරන ලද පැමිණිල්ලක් පිළිබඳව සිදුකළ විමර්ශනකට අදාළවයි සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ෴


මග නැවතුණු ජල ව්‍යාපෘතිය

(11.03.2023 – 15:02 +0530 – hirunews.lk/sinhala)

රජය මගින් විවිධ ව්‍යාපෘති සදහා මුදල් වෙන්කර ද බොහෝ ව්‍යාපෘති අවසන් වීමටත් පෙර අතරමග නවතා දැමීම නිසා රාජ්‍ය මුදල් නිකරුණේ නාස්ති වීම සුලභ කරුණක්.

මේ එලෙස පොලොන්නරුව දර්ශනපුර ගම්මානනයේ ජල ගැටලුවට විසඳුම් ලෙස ඉදි වූ ජල ව්‍යාපතියක් පිළිබද තොරතුරුයි.

පොළොන්නරුව දර්ශනපුර ප්‍රදේශයේ පවතින ජල ගැටලුවට විසඳුම් ලෙස 2018 වර්ෂයේ මෙම ජල ව්‍යාපෘතිය ඉදිකිරීම් ආරම්භ වී තිබෙනවා.

මෙම ව්‍යාපෘතිය මගින් ගම්මාන රැසක ජල ප්‍රශ්නයට විසඳුම් ලැබුණු නමුත්, ව්‍යාපෘතිය අතරමග නවතා දමා ඇති නිසා ප්‍රදේශවාසීන් පත්වී ඇත්තේ දැඩි අපහසුතාවකටයි.

ව්‍යාපෘතියේ ජලය බෙදා හැරීම සඳහා යොදාගන්නා ජල නල ද ප්‍රදේශයේ තැනින් තැන ගොඩ ගසා තිබෙන අතර ව්‍යාපෘතිය සඳහා ඉදිකර ඇති ගොඩනැගිලි ද මේ වන විට වල් බිහි වී ගොස් තිබෙනවා.

කෙසේවෙතත් මේ පිළිබඳ ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩල උතුරු මැද පළාත් කාර්යාල දැනුවත් කළ ද මේ වන තෙක් විසඳුම් නොලැබී ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

+


රෝහලක් මිනිස්සුන්ට තර්ජනයක් වෙයි – බලධාරින් අඩ නින්දේ

(11.03.2023 – 15:08 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය ආයතන හරහා මහජනතාවට සිදුවන්නේ විශාල සේවාවක්.

නමුත් එම සේවාව සිදුවන අතරතුරම අවට ප්‍රදේශයේ ජනතාව පීඩාවට පත්කරන රාජ්‍ය ආයතනයක් පිළිබඳව අපට වාර්තා වුණා.

කුරුණෑගල මෙන්ම අවට ප්‍රදේශ රැසක ජනතාවට සෙත සලසන කුරුණෑගල මහ රෝහලෙන් දෛනිකව ප්‍රතිකාර ගැනීම සඳහා විශාල පිරිසක් පැමිණෙනවා.

කෙසේ වෙතත්, කුරුණෑගල මහ රෝහලේ එක්රැස් වන සායනික අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහා නිසි ක්‍රමවේදයක් නොමැතිකම වසර ගණනාවක් තිස්සේ මෙම රෝහල මුහුණ දෙන ප්‍රධානතම ගැටලුවක්.

සාමාන්‍යයෙන් දිනකට සායනික අපද්‍රව්‍ය කිලෝග්‍රෑම් 500 ත් 700 ත් අතර ප්‍රමාණයක් රෝහලෙන් බැහැර කෙරෙන අතර, එම අපද්‍රව්‍ය රෝහල් භූමියේ ඇති යන්ත්‍රයක් මගින් දහනය කිරීමටයි බලධාරීන් පියවර ගෙන ඇත්තේ.

කෙසේ වෙතත්, මේ හරහා ඒ ආසන්නයේ පිහිටි හෙද පුහුණු පාසලේ ශිෂ්‍යාවන්ට මෙන්ම අවට වෙසෙන ජනතාවට ද දැඩි අපහසුතාවකට ලක්විමට සිදුව තිබෙනවා.

දෛනිකව පැය 24 පුරා මෙම සායනික අපද්‍රව්‍ය දහනය සිදුවන බවයි අවට වෙසෙන ජනතාව පවසන්නේ.

කෙසේ වෙතත්, මෙම ගැටලුව සම්බන්ධයෙන් අප කුරුණෑගල මහ රෝහලේ අධ්‍යක්ෂ, වෛද්‍ය චන්දන කැඳන්ගමුවගෙන් කළ විමසීමකදී ඔහු ප්‍රකාශ කළේ මෙම ගැටලුව විසඳීමට කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා බවයි.

ඒ සඳහා විශේෂිත දහන යන්ත්‍රයක් ඉදිරියේදී රෝහලට ලැබීමට නියමිත බව ද අධ්‍යක්ෂවරයා පැවසුවා.

+


අනතුරක් අත වනන වක්වැල්ලේ පාලම

(11.03.2023 – 15:10 +0530 – hirunews.lk/sinhala)

ප්‍රදේශ රැසක ජනතාවට සෙත සලසන පාලමක් මේ වනවිට දිරාගොස් අවදානම් තත්ත්වයට පත්ව ඇති පුවතක් ගාල්ල, වක්වැල්ල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ, කඩිනමින් එහි පිළිසකර කිරීම් නොකළහොත් විශාල අනතුරක් සිදුවීමේ අවදානමක් පවතින බවයි.

මේ ගාල්ල දිස්ත්‍රික්කයේ වක්වැල්ල සහ තෙලිකඩ යාකෙරෙමින් ගිං ගඟ මතින් ඉදිකර ඇති වක්වැල්ල පාලමයි.

තෙලිකඩ, දොඩන්ගොඩ, ගෝනපීණුවල, හික්කඩුව ආදී ප්‍රදේශ රැසක ජනතාවට ගාල්ල නගරයට මෙන්ම කරාපිටිය ශික්ෂණ රෝහලට යාමට ඇති කෙටිම මාර්ගයේ මෙම පාලම ඉදිකර තිබෙනවා.

ඒ හේතුවෙන් දෛනිකව පාලම මතින් ගමන් ගන්නා වාහන සංඛ්‍යාව ද 1,000 කට අධිකයි.

කෙසේ වෙතත්, මේ වනවිට පාලමේ යකඩ කණු සහ ආධාරක දිරායාම හේතුවෙන් එය කඩා වැටීමේ දැඩි අවදානමක් පවතින බවයි ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ.

වෙනත් ප්‍රදේශයකින් ගලවා ඉවත් කරන ලද පාලමක යකඩ කණු සහ ආධාරක යොදා ගනිමින් ඉදිකෙරුණු වක්වැල්ල පාලමේ නඩත්තු කටයුත්තක් සම්බන්ධයෙන් ඉන් අනතුරුව බලධාරීන්ගේ අවධානය යොමුනොවීම මෙම තත්ත්වයට හේතු වී තිබෙනවා.

වසර 2 කට පමණ පාලමේ තත්ත්වය සොයා බැලීම සඳහා අදාළ බලධාරීන් පැමිණිය ද ඉන් අනතුරුව සිදු වූ දෙයක් නොමැති බවයි ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ.

වක්වැල්ල පාලම කඩිනමින් පිළිසකර කර එහි ඇති අවදානම් තත්ත්වය ඉවත් කිරීම බලධාරීන්ගේ වගකීමක් වන්නේ, අනතුරක් සිදු වූ පසු පශ්චාත් පරීක්ෂණ පැවැත්වීම ඵලක් නොවන ක්‍රියාවක් වීම හේතුවෙන්.

+


බන්ධනාගාර රැදවියන්ට ස්වයං රැකියා පුහුණු වැඩමුළුවක්

(11.03.2023 – 15:14 +0530 – hirunews.lk/sinhala)

මෙරට සියලු බන්ධනාගාර නියෝජනය වන පරිදි බන්ධනාගාර රැඳවියන් 18 කට නිදහස ලබා දී ඔවුන් සදහා ස්වයං රැකියා සදහා දින තුනක (3) පුහුණු වැඩමුළුවක් ජයිකා ආයතනය සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමෙන් පැවැත්වුණා.

එහිදී ඔවුනට ස්වයං රැකියා සඳහා අවශ්‍ය කරන භාණ්ඩ සහ උපකරණ කට්ටල ලබාදීමද සිදු කෙරුණා ෴


අලවතුගොඩ මඩගොහොරුවක තරුණියකගේ මළසිරුරක්

(11.03.2023 – 15:16 +0530 – hirunews.lk/sinhala)

අලවතුගොඩ ප්‍රදේශයේ වෙල්යායක තිබී මියගිය 25 හැවිරිදි විවාහක කාන්තාවකගේ සිරුරක් සොයා ගෙන තිබෙනවා.

ඊයේ (10) රාත්‍රීයේ සැමියා එම ප්‍රදේශයේ අවමංගල්‍ය උත්සවයකට සහභාගි වී යළි නිවසට පැමිණි අවස්ථාවේ බිරිඳ නිවසේ සිට නොමැති වීම හේතුවෙන් අසල්වැසියන් සමග එක්ව බිරිඳ සොයා ප්‍රදේශය අවට පරීක්ෂා කිරීම් සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව, අද (11) අලුයම නිවසට යාබද වෙල්යායක මඩෙහි තිබී ඇයගේ සිරුර සොයා ගෙන තිබුණා.

අලවතුගොඩ පොලීසිය මේ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත සිද්ධිය පිළිබඳ විමර්ශන ආරම්භ කර ඇති අතර, තවමත් මෙය ඝාතනයක් ද යන්න තහවුරු කළ නොහැකි බවයි පොලීසිය සඳහන් කළේ.

කෙසේ වෙතත්, හෙට (12) දිනයේ මහනුවර ජාතික රෝහලේදී පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිත අතර, ඒ අනුව, ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු අනාවරණ කර ගත හැකි බව පොලීසිය ප්‍රකාශ කළා.

අදාළ කාන්තාවගේ සිරුර සොයා ගැනුණේ ඇය පදිංචිව සිටි නිවසේ සිට මීටර් 100 ක් පමණ දුරින් පිහිටි වෙල් යායක තිබී වන අතර ප්‍රදේශවාසීන් පැවසුවේ ඊයේ (10) රාත්‍රී 09:30 ට පමණ කාන්තාවක් කෑගසන ශබ්දයක් ඇසුණ ද නිවෙස් වල දොර විවෘත කර බැලීමේදී එම ශබ්දය නොඇසුණු බවයි.

මෙලෙස මියගොස් තිබුණේ අලවතුගොඩ – විලාන පල්ලේගම – ඇල්ලේකඩේ ප්‍රදේශයේ පදිංචිව කාන්තාවක් ෴


මාදගල් වෙරළෙන් රුපියල් කෝටි 4 ක කේරළ ගංජා සොයා ගැනේ

(11.03.2023 – 15:19 +0530 – hirunews.lk/sinhala)

යාපනය – මාදගල් වෙරළ තීරයේ තිබී රුපියල් කෝටි 4 කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

නාවික හමුදාව ඊයේ (10) සිදුකළ පාමුර සංචාරයක දී සැක කටයුතු බෑග් 4 ක් තුළ අසුරා තිබී පාර්සල් 55 ක් සොයා ගෙන ඇති අතර, වැඩිදුර විමර්ශනවලදී ඒවා කේරළ ගංජා අඩංගු පාර්සල් බවට හඳුනා ගැණුනා.

සොයා ගත් කේරළ ගංජා තොගයේ බර කිලෝග්‍රෑම් 126 කට අධිකයි ෴


කොළඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘතියෙන් බලපෑමට ලක්වන පිරිසකට නව නිවාස

(11.03.2023 – 16:01 +0530 – hirunews.lk/sinhala)

කොළඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘතිය යටතේ බලපෑමට ලක්වන නිවාස හිමිකරුවන් 150 දෙනෙකු සඳහා නව නිවාස ලබාදීමට අදාළ හිමිකම් ප්‍රදානය සිදුකර තිබෙනවා.

ඒ ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන්.

ආසියානු සංවර්ධන බැංකු ආධාර යටතේ කැළණිවැලි දුම්රිය මාර්ගයේ සංවර්ධන වැඩසටහන යටතේ දුම්රිය රක්ෂිතය තුල පදිංචි අනවසර පදිංචිකරුවන් අතරින්, බලපෑමට ලක්වන පිරිස් සඳහා මෙම නිවාස හිමිකම් ප්‍රදානය කර ඇති බව සදහන්.

මාලිගාවත්ත – ලක්හිරු සෙවණ සහ සියපත් සෙවණ මහල් නිවාස සංකීර්ණයන්හි ඔවුන්ට නව නිවාස ලබාදීම සිදුකෙරෙන බවයි ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කළේ ෴


විදුලියේ ප්‍රතිසංස්කරණ ලබන සතියේ සිට

(11.03.2023 – 17:05 +0530 – hirunews.lk/sinhala)

අවසන් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර විදුලිබල මණ්ඩලයේ කළ හැකි ප්‍රතිසංස්කරණ එළඹෙන සතියේ සිටම ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.

සාමුහික ගිවිසුම්වලින් ඉවත් වීම සහ මුල්‍ය පාලනය පිළිබඳව අවශ්‍ය නව ප්‍රතිපත්ති තීරණ ගැනීම එහි පළමු පියවර බව සඳහන්.

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල පිළිබඳව ප්‍රගතිය සමාලෝචනය කිරීමේ සාකච්ඡාවකදී මෙම කරුණු අනාවරණ වුණා.

ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව, ඇතුලු ආයතනය විසින් එම ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළවෙල වෙනුවෙන් ඔවුන්ට ලබා දිය හැකි සහාය පිළිබඳව දන්වා ඒවා ඇති අතර ඒ අනුව ඔවුන්ගේ සහාය ලබා ගැනීම ද සිදු කරන බව බලශක්ති අමාත්‍යාංශය පැවසුවා.

විශේෂයෙන්ම මුල්‍ය විගණනය, මානව සම්පත් විගණනය, වත්කම් විගණනය සහ නීති සම්පාදනය වෙනුවෙන් එම සහාය ලබා ගැනීමට දැනටමත් එකඟතාවයන් ඇති කර ගෙන තිබෙනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *