ඡන්ද පත්‍රිකා මුද්‍රණයට තවමත් මුදල් නැහැ – මුද්‍රණාලයාධිපතිනියගෙන් ප්‍රකාශයක්

ඡන්ද පත්‍රිකා මුද්‍රණයට තවමත් මුදල් නැහැ – මුද්‍රණාලයාධිපතිනියගෙන් ප්‍රකාශයක්


ඡන්ද පත්‍රිකා මුද්‍රණයට තවමත් මුදල් නැහැ – මුද්‍රණාලයාධිපතිනියගෙන් ප්‍රකාශයක්

(11.03.2023 – 13:20 +0530 – hirunews.lk/sinhala)

ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට අවශ්‍ය මුදල් මෙතෙක් ලැබී නොමැතිවීම හේතුවෙන් ලබන 20 වනදාට පෙර තැපැල් ඡන්ද පත්‍රිකා මැතිවරණ කොමිසමට භාරදීමට නොහැකි තත්වයක් මතු වී ඇති බව රජයේ මුද්‍රණාලායාධිපතිනි ගංගානි ලියනගේ පවසනවා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඇය කියා සිටියේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට අදාළව කිසිදු ගෙවීමක් සිදුකර නොමැති හෙයින් වැඩකටයුතු ආරම්භ කිරීමට නොහැකි වී ඇති බවයි.

එමෙන්ම, ඡන්ද පත්‍රිකා සැකසීම, ප්‍රතිඵල ලේඛන සෑදීම ඇතුළු මේ දක්වා මුද්‍රණය කළ පත්‍රිකාවලට ගෙවිය යුතු රුපියල් මිලියන 152 ක මුදල සහ සේවක ශ්‍රමය සදහා ගෙවිය යුතු තවත් රුපියල් මිලියන 52 ක මුදල් ද තවමත් ලැබී නොමැති බව ද ඇය ප්‍රකාශ කළා.

මේ දක්වා නිමවා ඇති සියලු වැඩකටයුතුවලට ද මිලියන 40 ක් පමණක් භාණ්ඩාගාරයෙන් ගෙවා ඇති බවයි මුද්‍රණාලායාධිපතිනි ගංගානි ලියනගේ ප්‍රකාශ කළේ.

යම් හෙයකින් මුදල් ලැබුණොත් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට මසක කාලයක් ගත වනු ඇති බව ද ඇය වැඩිදුරටත් සදහන් කළා.

මේ අතර, මුද්‍රණාලයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරින් ඉල්ලා සිටියද ඊට දින හතරක පහක කාලයක් ගතවන බවට පොලිස්පතිවරයා දැනුම් දුන් බවයි මුද්‍රණාලායාධිපතිනි ගංගානි ලියනගේ හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමේදී වැඩිදුරටත් සඳහන් කළා.

+++++++

ඡන්දෙට සල්ලි දෙන්න අමාත්‍යංශ ලේකම් මුදල් ඇමතිගේ අනුමැතිය පතයි

(11.03.2023 – 08:09 +0530 – hirunews.lk/sinhala)

මැතිවරණය පැවැත්වීම සඳහා මුදල් නිදහස් කරන ලෙස මැතිවරණ කොමිසම විසින් මුදල් අමාත්‍යාංශ ලේකම් වෙත යොමු කරන ලද ලිපිය, අනුමැතිය සඳහා මුදල් අමාත්‍යවරයාට යොමු කර තිබෙනවා.

මැතිවරණ කොමිසම විසින් පසුගිය 07 වැනිදා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට යොමු කරන ලද ලිපියට පිළිතුරු ලිපියක් යොමු කරමින් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා මැතිවරණ කොමිෂන් සභාපතිවරයා වෙත මේ බව දන්වා තිබෙනවා.

පවතින තත්වය යටතේ මැතිවරණයකට මුදල් නිදහස් කිරීමට තම අනුමැතිය ප්‍රමාණවත් නොමැති බැවින් ඒ සඳහා මුදල් අමාත්‍යවරයා වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත දැනුම් දුන් බවයි ලේකම්වරයා දැනුම් දී ඇත්තේ ෴


විශ්‍රාම වැටුප් ලබන හිටපු මන්ත්‍රීවරුන්ගේ ලැයිස්තුව එළියට

(11.03.2023 – 07:05 +0530 – hirunews.lk/sinhala)

මේ වනවිට විශ්‍රාම වැටුපක් ලබන, විශ්‍රාමික මන්ත්‍රීවරුන්ගේ නාමලේඛනයක් පාර්ලිමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නීතිඥ මධුර විතානගේ සහ කරුණාදාස කොඩිතුවක්කු යන අය විසින් තොරතුරු දැනගැනීමේ පනත යටතේ කළ ඉල්ලීමකට අනුවයි.

ඒ අනුව තොරතුරු දැනගැනීමේ අයිතිය යටතේ ඉකුත් පෙබරවාරි 23 වැනි දා මෙම මන්ත්‍රීවරුන් දෙදෙනා (2) විසින් පාර්ලිමේන්තු මහ ලේකම්වරයාගෙන් අදාල තොරතුරු ඉල්ලීම සිදු කර ඇති අතර ඊට ප්‍රතිචාර වශයෙන් 1977 අංක 01 දරණ පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත අනුව මේ වන විට විශ්‍රාම ලබන මන්ත්‍රීවරුන්ගේ නාමලේඛනය මෙලෙස අනාවරණය කර තිබෙනවා.


කුඹුරු ඉඩම් ගොඩකිරීම විශේෂ අවසරයක් මත පමණයි

(11.03.2023 – 07:24 +0530 – hirunews.lk/sinhala)

කුඹුරු ඉඩම් ගොඩ කිරීම අමාත්‍යාංශයේ විශේෂ අවසරය මත පමණක් සිදු කිරීමට පියවර ගන්නා ලෙසට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ පාර්ලිමේන්තුවේ පැවති කෘෂිකර්ම අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදීයි.

කුඹුරු ඉඩම් ගොඩකිරීම පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් අවධානයට යොමු කළ අවස්ථාවේ අමාත්‍යවරයා මේ බව දැනුම් දුන්නා.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යෝජිත සත්ව සුබසාධන පනත් කෙටුම්පත පිළිබඳව ද කාරක සභාවේදී අවධානය යොමු වුණා.

දැනට මෙරට සත්ව සුබසාධනය සදහා පවතින්නේ 1907 දී සම්මත වූ සත්ව හිංසනය වැළැක්වීමේ පනත බවත් නව ජාත්‍යන්තර නීති අනුව සත්ව සුබසාධනය සදහා නව පනතක් සකස් විය යුතු බවත් මෙහිදි ප්‍රකාශ වුණා.

සත්ව සුබසාධනය සදහා නව නීති සකස් විය යුතු වුවත් කෘෂිකාර්මික හා සංස්කෘතික කටයුතු සදහා සතුන් යොදා ගැනීමේදී ඊට බලපෑමක් නොවන ලෙස මෙම නීති සකස් විය යුතු බව මෙහිදී ඇතැම් මන්ත්‍රීවරු පෙන්වා දි තිබෙනවා.

ඒ අනුව, මීට අදාළ ලිඛිත ඉල්ලීම් ද සහිතව නැවත සති දෙකක (2) කාලයකින් අමාත්‍යාංශ මට්ටමින් රැස්වී සාකච්ඡා කිරීමටයි මෙහිදී තීරණය කෙරුණේ ෴


‘හරක්කටා’ සහ ‘කුඩු සළිදු’ ගැන විමර්ශණයට සී.අයි.ඩී. කණ්ඩායමක් අද (11) මැඩගස්කරයට

(11.03.2023 – 07:54 +0530 – hirunews.lk/sinhala)

මැඩගස්කරයේ දී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙකු (2) වන ‘නදුන් චින්තක’ හෙවත් ‘හරක්කටා’ සහ ‘සලිදු මල්ෂිත’ හෙවත් ‘කුඩු සළිදු’ ඇතුළු පිරිස සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් අද (11) මැඩගස්කරය බලා පිටත් වෙනවා.

මෙම කණ්ඩායමට සහකාර පොලිස් අධිකාරීවරුන් දෙදෙනෙකු (2) සහ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙකු (2) ඇතුළත්.

විමර්ශණ භාර උසස් නිලධාරියෙකු සඳහන් කළේ, එරට පවතින නීතිමය තත්වය අනුව ඉදිරි කටයුතු සිදු කරන බවයි.

මෙම සැකකරුවන් මැඩගස්කරයේදී අත්අඩංගුවට ගත් බව එරට ආරක්ෂක අංශ, විදේශ කටයුතු අමාත්‍යංශයට පසුගිය දා නිල වශයෙන් දැනුම්දී තිබුණා.

ෂී-සෙල්ස් රාජ්‍යයේ පිහිටි මෙරට මහ කොමසාරිස් කාර්යාලය හරහා මෙම දැනුම්දීම සිදුකර ඇති බවයි විදේශ අමාත්‍යාංශය සඳහන් කළේ.

ජාත්‍යන්තර පොලීසිය මගින් නිකුත් කර තිබූ රතු වරෙන්තුවකට අනුව, මැඩගස්කරයේ ඉවොටෝ ජාත්‍යන්තර ගුවන් තොටුපලේ දී මොවුන් අත්අඩංගුවට ගත් අතර මෙම පිරිස අතර ‘හරක්කටා’ගේ බිරිඳ සහ ඇයගේ පියාද සිටින බව සඳහන්.

පෞද්ගලික ජෙට් යානයකින් ඔවුන් පෙබරවාරි මස 12 වැනි දා මැඩගස්කරයට පැමිණ ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මෙම පිරිස අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී සුපිරි ධනවතුන් ලෙස පෙනී සිට ඇති බව සඳහන් ෴


රුපියල් කෝටි 16 ක රත්‍රං ඉන්දියාවට පටවන්න හැදූ 5 ක් කටුනායක දී අත්අඩංගුවට

(11.03.2023 – 09:15 +0530 – hirunews.lk/sinhala)

ගුවන් මාර්ගයෙන් ඉන්දියාව වෙත සූක්ෂම ආකාරයෙන් රැගෙන යාමට සැලසුම් කරන ලද රත්‍රං සමහ සැකකරුවන් පස් (5) දෙකෙකු අත් අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශය නිලධාරීන් කටයුතු කර තිබෙනවා.

සැකකරුවන්ගේ ගමන් මලු තුළ සුක්ෂම ලෙස සඟවා තිබූ මෙම රත්‍රං සැකකරුවන් විසින් ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් UL 141 දරණ ගුවන් යානයෙන් ඉන්දියාවෙ මුම්බායි වෙත රැගෙන යාමට සැලසුම් කර තිබුණා.

මෙලෙස රැගෙන යාමට සූදානම් කර තිබූ රත්‍රංවල බර කිලෝ ග්‍රෑම් 10.5 ක් බවත් ඒවා රන් කැබලි සහ ජෙල් ස්වරූපයෙන් අදාල ගමන් මලුවල සඟවා තිබූ බවත් ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය වාර්තා කරනවා.

මෙම රත්‍රංවල වෙළෙඳපොළ වටිනාකම රුපියල් මිලියන 160 කට ආසන්න වන බවයි වාර්තා වන්නේ.

අත් අඩංගුවට ගත් සැකකරුවන් පස් (5) දෙනා අතරට ඉන්දියානු ජාතිකයෙක් (1) ද වනවා.

+


සංචාරකයින් පිරිවරා ‘ප්‍රින්සස් කෲස්’ කොළඹට

(11.03.2023 – 09:26 +0530 – hirunews.lk/sinhala)

සංචාරකයින් 1894 ක් සහ කාර්‍ය මණ්ඩලයේ සාමාජිකයින් 906 දෙනෙකු රැගෙන ප්‍රින්සස් කෲස් නෞකාව දිවයිනට ළඟා වී තිබෙනවා.

අතිශය සුඛෝපභෝගී මගී ප්‍රවාහන නෞකාවක් වන මෙය අද (11) පෙරවරු 7 ට පමණ කොළඹ වරායේ සමගි ජැටියට සේන්දු වූ බවයි වාර්තා වන්නේ.

මෙම නෞකාවෙන් පැමිණි සංචාරකයින්ගෙන් 159 දෙනෙකු කොළඹ වරායෙන් ගොඩබැස ඇති අතර, ඔවුන් මෙරට මහනුවර, පින්නවල, මීගමුව සහ ඉංගිරිය යන ප්‍රදේශවල සංචාරය කිරීමට නියමිතයි.

බර්මියුඩා ධජය යටතේ ලියාපදිංචි කර ඇති, ඇමරිකානු සමාගමකට අයත්, මෙම නෞකාව දිගින් මීටර් 294 ක් සහ පළලින් මීටර් 37 ක් වන අතර එය පැමිණ ඇත්තේ තායිලන්තයේ පුකට් වරායේ සිටයි.

අද (11) පස්වරු 07:30 ට ‘ප්‍රින්සස් කෲස්’ නෞකාව ඩුබායි වරාය බලා පිටත් වීමට නියමිතයි.

+


ගන්නෝරුවේ නිදන් ගැරූ ‘නිදන් සාදු හොරු’ දෙකක් (2) අත්අඩංගුවට

(11.03.2023 – 09:31 +0530 – hirunews.lk/sinhala ඇසුරෙන්)

පේරාදෙණිය ගන්නෝරුව කන්ද ප්‍රදේශයේ පුරාවස්තු ලබා ගැනීමේ අරමුණින් කැණීම් කරමින් සිටි ‘නිදන් සාදු හොරු’ දෙකක් (2) පේරාදෙණිය පොලිසියේ නිලධාරින් විසින් ඊයේ (10) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාර ‘නිදන් සාදු හොරු’ අත් අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔවුන් විසින් කැණීම් කටයුතු සඳහා භාවිත කරන ලද උපකරණ ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මෙලෙස අත් අඩංගුවට පත්ව ඇත්තේ ගන්නෝරුව ගල්ලෙන් විහාරයේ ලැගසිටි වයස අවුරුදු 30 සහ 58 යන වයස්වල පසුවන ‘නිදන් සාදු හොරු’ දෙකක්.

සැකකාර ‘නිදන් සාදු හොරු’ අද (11) මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි ෴


පුරාවිද්‍යා උපදේශන කමිටුවක් පත් කෙරේ

(11.03.2023 – 10:10 +0530 – hirunews.lk/sinhala)

බුද්ධශාසන, සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක විසින් පුරාවිද්‍යා උපදේශක කමිටුවක් පත්කර තිබෙනවා.

ඊයේ (10) දිනයේ සිට බලපැවැත්වෙන පරිදි මෙම කමිටුව පත් කර ඇත්තේ වසර දෙකක (2) කාලසීමාවක් සඳහායි.

එම කමිටුව සාමාජිකයින් 19 දෙනෙකුගෙන් සමන්විත අතර, ඊට අදාළ ගැසට් නිවේදනය ද මේ වනවිට නිකුත් කර තිබෙනවා.

+

2322/59 – 2023-03-10 – Ministry of Buddhasasana, Religious and Cultural Affairs – Order to Appoint an Archaeological Advisory Committee Consisting of the Members for a Period with effect from 10.03.2023 to 09.03.2025

http://documents.gov.lk/files/egz/2023/3/2322-59_S.pdf


2022 වසරේ ණය කාඩ්පත් භාවිතයේ වැඩිවීමක්

(11.03.2023 – 11:23 +0530 – hirunews.lk/sinhala)

2021 වර්ෂයට සාපේක්ෂව 2022 වසරේ ණය කාඩ්පත් හෙවත් ‘ක්‍රෙඩිට් කාඩ්පත්’ භාවිතය වැඩිවී තිබෙනවා.

මහ බැංකු වාර්තා පෙන්වා දෙන්නේ 2021 වසරේ දෙසැම්බර් මාසයේදී සක්‍රිය කාඩ්පත් 19,027,195 ක් වූ අතර, එය 2022 වසරේ දෙසැම්බර් මාසය වනවිට 19,052,991 වූ බවයි.

ඒ අතරට, දේශීය ‘ක්‍රෙඩිට් කාඩ්පත්’ 13,445 ක් සහ ගෝලීය වශයෙන් පිළිගත් ‘ක්‍රෙඩිට් කාඩ්පත්’ 19,040,720 ක් අයත්.

එමෙන්ම 2021 වසරේ නොපියවූ ශේෂය 133,285 ක් වන අතර, එය, 2022 වසරේ 143,098 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි මහ බැංකු වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *