විරෝධය දැක්වුවොත් රජයේ රස්සා නෑ!

විරෝධය දැක්වුවොත් රජයේ රස්සා නෑ!


විරෝධය දැක්වුවොත් රජයේ රස්සා නෑ!

(10.03.2023 – 10:09 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය විරෝධී විරෝධතාවලට සම්බන්ධ වන පුද්ගලයන්ට ඉදිරියේ දී රාජ්‍ය සේවයේ රැකියා අවස්ථා නොදීමට රජය තීරණය කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

ඒ ආකාරයේ විරෝධතා හෝ කඩාකප්පල්කාරී ක්‍රියාවලට සම්බන්ධ වන පුද්ගලයන් හඳුනාගෙන වාර්තාවක් පවත්වගෙන යාමට කටයුතු කරන බව යි එම ආරංචි මාර්ග වාර්තා කරන්නේ.

මෙකී වාර්තා දත්ත බැංකුවක් ආකාරයෙන් පවත්වා ගෙන යාමට කටයුතු කර ඒ ආකාරයේ පුද්ගලයන් රජයේ රැකියා සඳහා අයදුම් කළ විට ඔවුන් අදාළ රැකියාව සඳහා නුසුදුස්සන් සේ සැලකීමට පදනම් ලේඛනයක් සකස් කරන බව එහි සඳහන් ෴


නිධන් හෑරූ චීවරධාරියෙකු ඇතුළු සැකකරුවන් 6 ක් අත්අඩංගුවට

(10.03.2023 – 07:54 +0530 – hirunews.lk/sinhala)

නිධන් හෑරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චීවරධාරියෙකු ඇතුලු සැකකරුවන් හයදෙනෙකු (6) අම්පාර – දමන බක්මිටියාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකාය සිදු කළ විශේෂ මෙහෙයුමක දී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

මොවුන් සතුව තිබූ පූජා භාණ්ඩ සහ උපකරණ තොගයක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මේ අතර, මන්නාරම – පල්ලිමුණ ප්‍රදේශයේදී සැකකටයුතු ලොරි රථයක් පරීක්ෂා කළ අවස්ථාවේ දී එහි තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, මන්නාරම කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (09) සිදු කළ වැටලීමක දී එම ලොරි රථයේ තිබී ජෙලග්නයිට් කූරු 158 ක්, ඩෙටනේටර් 200 ක් සහ අඩි 160 ක් දිග සේවා නූලක් සොයාගත් බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන ඇති අතර, මොවුන් අවුරුදු 35 සහ 54 යන වයස්වල පසු වන නාරම්මල ප්‍රදේශයේ පදිංචිකරුවන් ෴


ඉතාලි රැකියා සඳහා මුදල් ලබාදී නොරැවටෙන්නැයි ඉල්ලීමක්

(10.03.2023 – 10:23 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාව ඇතුළු යුරෝපා නොවන රටවල් සඳහා වාර්ෂිකව ඉතාලි රජය විසින් ලබාදෙන කෝටා ක්‍රමය යටතේ රැකියා අවස්ථා ලබාගැනීමට ශ්‍රී ලාංකිකයන්ට සෘජුවම අයදුම් කළ නොහැකි බව ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති ජගත් වැල්ලවත්ත පවසනවා.

ඒ හේතුවෙන් ඉතාලි රැකියා ලබා ගැනීමට කිසිදු පුද්ගලයකුට මුදල් ලබා නොදෙන ලෙසයි ඔහු දැනුම් දුන්නේ.

මේ අතර විදේශ රැකියා ලබාදෙන බවට පවසා රුපියල් ලක්ෂ 12 කට අධික මුදලක් වංචා කිරීමේ සිද්ධියකට බණ්ඩාරගම පදිංචි 38 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බණ්ඩාරගම පොලිසියට මෙම කාන්තාව සම්බන්ධයෙන් පැමිණිලි හතක් (7) ලැබී ඇති අතර, ඒ අනුව සිදුකළ විමර්ශනවලට අදාළවයි ඊයේ (09) සැකකාරිය අත්අඩංගුවට ගනු ලැබුවේ.

මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් මෙම කාන්තාවට විරුද්ධව ඉංගිරිය පොලිස් ස්ථානයටද පැමිණිලි හයක් (6) ලැබී තිබෙනවා ෴


වෘත්තීය විෂමාචාර චෝදනාවලට වරදකරු වූ නීතිඥවරයකුගේ නීතිඥ භාවය අහෝසි කෙරේ

(10.03.2023 – 11:25 +0530 – hirunews.lk/sinhala)

වෘත්තීය විෂමාචාර චෝදනාවලට වරදකරු කෙරනු නීතිඥවරයකු, නීතිඥ භාවයෙන් ඉවත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (10) නියෝග කළා.

විජිත් මළල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු සහ එස්. තුරෙයිරාජා යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබා දුන්නේ.

ඉඩම් ගනුදෙනුවකට අදාළ ඔප්පු කටයුත්තක දී අදාළ නීතිඥවරයා නීති විරෝධී ක්‍රියාවක් සිදුකළ බවට ඉදිරිපත් කළ පැමිණිල්ලක් දීර්ඝ වශයෙන් විභාග කිරීමෙන් අනතුරුවයි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එම තීන්දුව ප්‍රකාශයට පත් කළේ.

ඒ අනුව අදාළ නීතිඥවරයාගේ නම නීතිඥ නාමලේඛනයෙන් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය වැඩිදුරටත් නියෝග කර සිටියා ෴


අධික ලෙස කළු දුම පිටකරන ලොරි රථයකින් ගොස් කරන ‘දුම් පරික්ෂාව’

(10.03.2023 – 12:26 +0530 – hirunews.lk/sinhala)

දෛනිකව නුවරඑලිය දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගර වෙත ගොස් එහි වාහනවල දුම් පරික්ෂාව සිදු කරන පෞද්ගලික ආයතනයකට අයත් වාහනයකින් අධික ලෙස කළු දුම පිටවන අයුරු ජංගම දුරකථන කැමරාවක පටිගත වී තිබුණා.

නුවරඑලිය සිට බගවන්තලාව දක්වා දුම් පරික්ෂා කිරිම සදහා ධාවනය වූ මෙම ලොරි රථය අධික ලෙස කළු දුම පිට කරමින් ධාවනය කරන අයුරු එම වාහනයට පිටුපසින් පැමිණි යතුරුපැදියේ සිටි පුද්ගලයෙකු සිය ජංගම දුරකථනයෙන් ඊයේ (09) පටිගත කර තිබුණා.

දුම් පරික්ෂා සිදු කරන එම ජංගම රථයේ පැමිණෙන නිලධාරින් දිනපතා එම වාහනයෙන් නුවරඑලිය දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගර වෙත ගොස් දුම් සහතික නිකුත් කිරිමේ කටයුතු සිදු කරන බවයි වාර්තා වන්නේ ෴


හිඟ ඖෂධ 151 න් 81 ක් ලැබී තියෙනවා – සෞඛ්‍ය ඇමති

(10.03.2023 – 12:59 +0530 – hirunews.lk/sinhala)

ආර්ථික අර්බුදය හමුවේ සෞඛ්‍ය ක්‍ෂේත්‍රයට උපරිම සහයෝගය ලබාදීමට මුදල් අමාත්‍යාංශය එකඟතාව පළ කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල අද (10) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ හිඟ ඖෂධ 151 න් 81 ක් මේ වනවිටත් සපයා ගැනීමට හැකිවී ඇති බවයි.

මේ අතර පළාත්පාලන ඡන්දය කල් දැමීම සම්බන්ධයෙන් කැබිනට් විවාදයේ දෙවන (2) දිනය මේ වනවිට පැවැත්වෙනවා.

මේ අතර ආචාර ධර්ම හා වරප්‍රසාද පිළිබඳ කාරක සභාවේ සභාපති ලෙස පාරේලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ නිතරගයෙන් පත්ව තිබෙනවා.

ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුවේ සභාපති ධුරයට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පත් කර ඇති බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ ෴


15 වැනිදා වෘත්තිය සමිති වර්ජනයට සරසවි අනධ්‍යයන කාර්ය මණ්ඩල සහායත්

(10.03.2023 – 13:12 +0530 – hirunews.lk/sinhala)

ලබන 15 වනදා වෘත්තිය සමිති රැසක් එක්ව ආරම්භ කිරීමට නියමිත වර්ජනයට විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලය ද සහය දක්වා තිබෙනවා.

එමෙන් ම විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඊයේ (09) ආරම්භ කළ වර්ජන ක්‍රියාමාර්ගය අද (10) දෙවන (2) දිනටත් ක්‍රියාත්මකයි.

මේ අතර ශිෂ්‍ය මර්දනය, ජීවන වියදම ඉහළ යාම ඇතුලු කරුණු කිහිපයක් මුල් කරගනිමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ඉදිරිපිට ඊයේ (09) විරෝධතාවක් පැවැත්වුණා.

එමෙන්ම සබරගමුව විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමයේ සිසුන්ද ඊයේ (09) විරෝධතාවක නිරතවුණේ විශ්වවිද්‍යාලයේ සමාන්තර සායනික ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු කඩිනම් කරන ලෙස ඉල්ලමින්.

මේ අතර පසුගියදා කොළඹ විශ්වවිද්‍යාලය ඉදිරිපිට පැවති විරෝධතාවට කඳුළු ගෑස් ප්‍රහාරය එල්ල කරන අවස්ථාවේ සරසවියේ නාන කාමරයක් තුළ ඇදවැටී සිටියදී මියගිය එහි ආරක්ෂක නිලධාරියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද (10) සිදු කෙරෙනවා.

පොලිස් මෘත ශරීරාගාරයේදී එම පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමෙන් පසු දේහය බිරිඳට භාරදීමට නියමිතයි ෴


රාගම දැරියකට පහරදුන් කුඩම්මා අත්අඩංගුවට

(10.03.2023 – 13:17 +0530 – hirunews.lk/sinhala)

රාගම – කුරුකුලාව ප්‍රදේශයේ 17 හැවිරිදි දැරියකට සිය කුඩම්මා විසින් අමානුෂික ලෙස පහරදෙන ආකාරය දැක්වෙන සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝවට අදාළව රාගම පොලිසිය මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පහරකෑමට ලක්වූ දැරිය පොලිස් නිලධාරිනියකගේ අධීක්ෂණය යටතේ රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබනවා.

මෙම දැරියගේ පියා විදේශගතව සිටින අතර, ඇය ජීවත්වන්නේ සිය කුඩම්මා සමඟ බවට අනාවරණ වී තිබෙනවා.

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වූ මෙම වීඩියෝවෙන් පසුව දැරියට පහරදෙන කාන්තාව පොලිසියට කැඳවා ප්‍රකාශයක් සටහන් කරගැනීමෙන් අනතුරුව මුදාහැර ඇති බවයි වාර්තාවන්නේ.

මෙම දැරිය ශාරීරික හෝ මානසික පීඩාවකට ලක්ව ඇත්ද යන්න සම්බන්ධයෙන් වාර්තාවක් අද (10) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

+

+++++++

සමාජ මාධ්‍ය කැළඹූ දැරියට පහර දුන් සිද්ධියේ කාන්තාව අත්අඩංගුවට

(10.03.2023 – dinamina.lk)

කාන්තාවක් දැරියකට අතින් පයින් පහරදෙන ආකාරය දැක්වෙන සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝවට අදාළව එම පහර දීම සිදු කළේ යැයි කියන කාන්තාව අද (10) අත්අඩංගුවට ගත් බව රාගම පොලිසිය සදහන් කරයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පහරකෑමට ලක්වු දැරියගේ කුඩම්මා වන ‘කරවිට ආරච්චිලාගේ දිනූෂා’ නමැති රාගම කුරුකුලාව ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි කාන්තාවකි.

පහරකෑමට ලක්වූ දැරිය රාගම පොලිසියේ පොලිස් නිලධාරීනියකගේ අධීක්ෂණය යටතේ රාගම ශික්ෂණ රෝහලේ 42 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටීයි.

දැරියගේ පියා විදේශගතව රැකියාවක් කරන බවත් පියාගේ දෙවන (2) විවාහයේ බිරිව වන මෙම කාන්තාව සමග මෙම දැරිය ජීවත්වන බවත් පොලිසිය පවසයි.

වින්දිත දැරියගේ පියා විදේශගතව සිට නිවසේ සවි කර තිබෙන සීසීටීවී කැමරා වල දර්ශන සිය ජංගම දුරකථනය ඔස්සේ ලබාගෙන ඔහු විසින් මුහුණු පොත ඔස්සේ දැරියට පහරදෙන මෙම වීඩියෝව මුදා හැර ඇති බවට පොලිස් විමර්ශනවලින් කරුණු අනාවරණය වී ඇතැයි පොලිසිය සඳහන් කරයි.

දැරියගේ පියා සහ කුඩම්මා අතර යම් විරසකයක් තිබීම හේතුවෙන් මෙම වීඩියෝව මෙසේ සමාජ මාධ්‍යයට මුදාහැරිය ඇති බවට පොලිසිය සැක කරයි.

අත්අඩංගුවට ගත් සැකකාරිය වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නියෝග අනුව කැලණිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බැසිල් ක්‍රිෂාන්ත මහතාගේ සහ කැලණිය සහකාර පොලිස් අධිකාරී පෙරමුණ මහතාගේ උපදෙස් මත රාගම වැඩබලන පොලිස් ස්ථානාධිපති අසේල පෙරේරා මහතාගේ අධීක්ෂණයෙන් කාන්තා පොලිස් පරීක්ෂක වත්සලා , කා. පො. කො.8230 කාංචනා යන නිලධාරීහු සිද්ධිය සම්බන්ධ විමර්ශන සිදුකරති ෴


එක්සත් ජාතින්ගේ කාර්‍යාලය ඉදිරිපිට විරෝධතාවක්

(10.03.2023 – 13:37 +0530 – hirunews.lk/sinhala)

එක්සත් ජාතින්ගේ කාර්‍යාලය ඉදිරිපිට ඒකාබද්ධ විරෝධතාවක් කැඳවා තිබෙනවා.

කඳුළු ගෑස් ඝාතනවලට එරෙහි වෙමු, සරසවි තුළ සිදු වන පොලිස් කඩා පැනීම්වලට එරෙහි වෙමු, කුරුඳු පොලු හමුදාවට එරෙහි වෙමු, පාසල් ළමුන්ට කඳුළු ගෑස් ගැස්වීමට එරෙහි වෙමු යන සටන් පාඨ මුල් කර ගනිමිනු යි මෙම ඒකාබද්ධ විරෝධතාව පැවැත්වෙන්නේ.

මීට පෙර අවස්ථා දෙකක (2) දී විරෝධතා අතර තුර පුද්ගලයන් දෙදෙනෙකු (2) ජීවිතක්ෂය පත් වූ අතර, විරෝධතාකරුවන් සෘජු ව ම චෝදනා කරමින් පවසන්නේ, මේවා ආණ්ඩුව විසින් සිදු කළ ඝාතන බව යි.

‘ජාතික ජන බලවේගය’ විසින් සංවිධානය කළ විරෝධතාවෙ දී හා පෙරේ දා (08) කොළඹ සරසවිය සංවිධානය කර තිබූ විරෝධතාවේ දී මෙලෙස පුද්ගලයන් දෙදෙනෙකු (2) මිය ගියා.

මේ පිළිබඳ අදහස් දක්වමින් ඇතැම් පාර්ශවයන් ප්‍රකාශ කළේ, මේවා ‘කඳුළු ගෑස්’ නො ව ‘විෂ වායු වර්ගයක්’ බව යි.

මේ අතර, මෙම විරෝධතා සඳහා භාවිත කරන ඇතැම් කඳුළු ගෑස් උණ්ඩ 2005 දී පමණ කල් ඉකුත් වූ ඒවා බව සමාජය හා සාමයික කේන්ද්‍රය සඳහන් කළේ, පසු ගිය දිනයක දී කෘතියක් ද එළි දක්වමින් ෴

+

+


පමා වූ නව විදුලි සබඳතා 36,000 ක් සති 6 කින්

(10.03.2023 – 13:39 +0530 – hirunews.lk/sinhala)

ප්‍රමාද වූ නව විදුලි සම්බන්ධතා 36,000 ක් සති 6 ක් තුළ කඩිනමින් ලබා දීමට කටයුතු කරන බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ (09) පාර්ලිමේන්තුවේ පැවති අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට එක්වෙමින්.

පැවති මූල්‍ය ගැටලු‍ නිසා නව සබඳතා ලබා දීම සදහා උපකරණ හිඟයක් පැවති බවත් පසුගියදා විදුලි ගාස්තු වැඩි කිරීමට පියවර ගැනීමත් සමග මණ්ඩලයේ මූල්‍ය අංශය ශක්තිමත් වීම තුළ නව සබදතා ලබාදීමට හැකියාව ලැබෙනු ඇති බවත් ඔහු පෙන්වා දුන්නා.

නව සබදතා ලබා ගැනීම සදහා විශාල පිරිසක් ලියාපදිංචි වී සිටියද ඒවා ලබාදීමේදී විශාල ප්‍රමාදයක් පවතින බවට මන්ත්‍රීවරුන් උපදේශක කාරක සභාවේදී කරුණු මතුකළා.

එසේම ලංකා විදුලිබල මණ්ඩලය සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඇතුළු අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවල වියදම හැකිතාක් අවම කිරීමේ වැඩපිළිවෙලක් මේවන විට ක්‍රියාත්මක බවත් අමාත්‍යවරයා සදහන් කළා.

එසේම QR කේතය මගින් ඉන්ධන කෝටාව යාවත්කාලීන කිරීම අඟහරුවාදා දිනට වෙනස් කිරීම සිදුකරනු ලැබූවේ සෙනසුරාදා සහ ඉරිදා දිනවල ඛනිජතෙල් සේවකයන්ට ගෙවීමට සිදුවන රු. මිලියන 20 කට ආසන්න අතිකාල වියදම් ඉතිරිකර ගැනීමට බවත් ඔහු කියා සිටියා.

මෙම ආයතනවලට අලු‍තින් සේවක බදවා ගැනීමක් සිදුනොකරන බවත් දැනට සේවයේ නියුතු කාර්ය මණ්ඩලය කළමනාකරණයකින් යුතුව යෙදවීම හරහා වියදම් හැකිතාක් අවම කරගැනීමට කටයුතුකර ඇති බවත් අමාත්‍යවරයා කාරක සභාවේදී පෙන්වා දුන්නා.

එසේම ‘ස්මාට් මනු කියවීම’ කඩිනමින් හඳුන්වා දීමට අපේක්ෂා කරන බව ද මෙහි නියමු ව්‍යාපෘතිය දෙහිවල ගල්කිස්ස මහ නගර සභා බල ප්‍රදේශයෙන් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බවයි ඔහු කියා සිටියේ.

එය ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර යටතේ ක්‍රියාත්මක පාරිභෝගිකයන් 31,000 කට ස්මාට් බිල්පත් ඒ අනුව ලබාදීමට නියමිතයි.

ඉදිරියේ දී මනුකියවීමෙන් තොරව ඉලෙක්ට්‍රොනික බිල්පත් හා එස්.එම්.එස්. මගින් පාරිභෝගිකයාට බිල්පත් ලබාදෙන බව අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • @ demonstrators being disqualified from government jobs. This is a clear demonstration of that the fake president is running a police state in Sri lanka. This is Intimidation of employees to stop them expressing their grievances, and is a threat to their human rights. IMF and European Union, please take note that this illegal regime is suppressing demonstrations and trying to sustain their corrupt government.

bo වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *