පළාත් පාලන මැතිවරණය එළඹෙන අප්‍රෙල් 25 වැනි දා පැවැත්වීම වඩා සුදුසු බව මැ.කො.ස. කියයි

පළාත් පාලන මැතිවරණය එළඹෙන අප්‍රෙල් 25 වැනි දා පැවැත්වීම වඩා සුදුසු බව මැ.කො.ස. කියයි


පළාත් පාලන මැතිවරණය එළඹෙන අප්‍රෙල් 25 වැනි දා පැවැත්වීම වඩා සුදුසු බව මැ.කො.ස. කියයි

(07.03.2023 – 16:20 +0530 – hirunews.lk/sinhala)

මේ මස 09 වැනිදා පැවැත් වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණය එළඹෙන අප්‍රෙල් 25 වැනි දා පැවැත්වීම වඩා සුදුසු බව මැතිවරණ කොමිසම විසින් දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරින්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ අනුව ඡන්ද පත්‍රිකා මුද්‍රණ කටයුතු සහ සෙසු පහසුකම් සැපයීම සම්බන්ධයෙන් මතු වූ අනපේක්ෂිත සහ නොවැලක්විය හේතු මත ඡන්දය කල් යන බවයි එම කොමිසම දන්වා සිටින්නේ.

පළාත් පාලන ඡන්ද විමසීම් පනතට අනුව අදාල ඡන්ද විමසීමේ දිනය අප්‍රෙල් මස 25 වැනි දා බව දිස්ත්‍රික් තේරි භාර නිලධාරින් විසින් දන්වනු ඇති ෴


රියදුරු හිඟයෙන් අදත් දුම්රිය 14 ක් අවලංගුයි

(07.03.2023 – 13:33 +0530 – hirunews.lk/sinhala)

රියදුරු හිඟය හේතුවෙන් අදත් (07) දුම්රිය ගමන්වාර 14 ක් අවලංගු වන බව දුම්රිය ස්ථානාධිපති සංගමය පවසනවා.

මේ අතර, ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන්, දුම්රිය පාලනාධිකාරිය සහ සංගම් කිහිපයක් අතර අද (07) පෙරවරුවේ සාකච්ඡාවක් ද පැවැත්වුණා.

එහිදී රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ පත් කිරීම් ප්‍රමාදය සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇති අතර, ඒ පිළිබඳ ගැටලුව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව ප්‍රවාහන අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා.

දැනට පවතින රියදුරු හිගය හේතුවෙන් ඊයේ (07) දිනයේ දී ද දුම්රිය ගමන්වාර 29 ක් අවලංගු කෙරුණා.

මෙම තත්ත්වය මතයි විශ්‍රාමික රියදුරන් කොන්ත්‍රාත් පදනම මත බඳවා ගැනීම සඳහා වන ඉල්ලීම රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත දුම්රිය දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළේ ෴


ණය ගෙවා ගැනීමට නො හැකි වූ තාත්තා, බිරිඳ හා දරු දෙදෙනාට (2) වස පොවා බාල්කයක එල්ලෙයි

(07.03.2023 – 13:07 +0530 – hirunews.lk/sinhala)

වවුනියාව ගුඩ් ෂෙඩ් පාරේ නිවසක, සැමියා විසින් බිරිඳට හා දරුවන් දෙදෙනාට (2) වස පොවා සැමියා ද බාල්කයක එල්ලී මිය ගොස් ඇති බව පොලිසිය වාර්තා කරනවා.

මෙසේ මිය ගිය සැමියා රාජ්‍ය අයතනයක සේවය කරන අතර, බිරිඳ වවුනියාව මහරම්බකුලම ප්‍රදේශයේ පාසලක ගුරුවරියක් බව යි පොලිසිය වාර්තා කරන්නේ.

මිය ගොස් ඇත්තේ, වයස අවුරුදු 9 සහ 3 යන වයස්වල පසු වන ගැහැණු දරුවන් දෙදෙනෙක් (2).

මිය ගිය සැමියා වයස අවුරුදු 42 ක පුද්ගලයෙකු වන අතර, බිරිඳ 36 හැවිරිදි වියේ පසු වන බව සඳහන්.

මෙම පුද්ගලයා විසින් අධික මුදලක් ණය වශයෙන් ලබා ගෙන ඇති අතර, ඒවා ගෙවීමට නො හැකි ව ඔවුන් අන්ත අසරණ වී සිට ඇති බව වාර්තා වනවා.

එම ණය මුදල් ගෙවීමට නොහැකිව ඔවුන් රත්තරන් බඩු සියල්ල ද විකුණා දමා ඇති අතර, එසේ සිදු කළ ද ණය බරින් නිදහ්ස් වීමට නොහැකි වූ නිසා මෙම තීරණය ගන්නට ඇති බව යි පොලිස් විමර්ශන අවධාරණය කරන්නේ.

වවුනියාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබ යි ෴


අඩු ආදායම්ලාභින් සහ කලාකරුවන් සඳහා නිවාස ව්‍යාපෘතියක් ඇරඹේ

(07.03.2023 – 14:04 +0530 – hirunews.lk/sinhala)

අඩු ආදායම්ලාභින් සහ කළාකරුවන් සඳහා නිවාස 1996 ක් ඉදිකිරීමට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා.

ඊට අදාළ ගිවිසුම චීනය සමඟ ඉදිරි සතිය තුළ දී අත්සන් තබන බවයි එම අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

ඒ අනුව, ව්‍යාපෘතිය සඳහා චීනය රුපියල් බිලියන 29 ක් ලබාදීමට නියමිතයි.

පෑලියගොඩ, දෙමටගොඩ, කොට්ටාව, මහරගම සහ මොරටුව යන ප්‍රදේශවල එම නිවාස ව්‍යාපෘති ඉදිකිරීමටයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය සැළසුම් කර ඇත්තේ ෴


මාවනැල්ලේ බස් රථ අනතුරකින් පුද්ගලයකු ජීවිතක්ෂයට

(07.03.2023 – 14:52 +0530 – hirunews.lk/sinhala)

මාවනැල්ල පොලිස් වසමේ කොළඹ-මහනුවර මාර්ගයේ ගනේතැන්න ප්‍රදේශයේ දී සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

මහනුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ලංගම බස් රථයක් හා මීගමුවේ සිට මහනුවර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් එකිනෙක ගැටීමෙනු යි මෙම අනතුර සිදු ව ඇත්තේ.

අනතුරෙන් මිය ගොස් ගොස්, වයස අවුරුදු 59 ක මීරිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මිය ගිය පුද්ගලයා ඇතුළු තවත් 23 දෙනෙකු තුවාල ලබා මාවනැල්ල රෝහලට ඇතුළු කර ඇති බව සඳහන්.

අනතුරු සම්බන්ධයෙන් මාවනැල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ඇති.

+

+

+


රන් මිල අද (07) තවත් අඩු වෙයි

(07.03.2023 – 15:58 +0530 – hirunews.lk/sinhala)

පසුගිය දිනවලට සාපේක්ෂව රන් මිල අද (07) තවත් අඩු වී තිබෙනවා.

ඒ අනුව අද (07) දින රන් මිල සටහන් වන්නේ මෙහෙමයි :

රන් අවුන්ස (Gold Ounce)
Rs.625,791.00

කැරට් 24 ග්‍රෑම් 1 (24 Carat 1 Gram)
Rs.22,080.00

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) (24 Carat 8 Grams (1 Pawn)
Rs.176,600.00

කැරට් 22 ග්‍රෑම් 1 (22 Carat 1 Gram)
Rs. 20,240.00

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) (22 Carat 8 Grams (1 Pawn)
Rs.161,950.00

කැරට් 21 ග්‍රෑම් 1 (21 Carat 1 Gram)
Rs.19,320.00

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) (21 Carat 8 Grams (1 Pawn)
Rs.154,600.00


අන්තරේට ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක්

(07.03.2023 – 16:11 +0530 – hirunews.lk/sinhala)

පළාත්පාලන මැතිවරණය කඩිනමින් පැවැත්වීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යබල මණ්ඩලය සිදුකළ විරෝධතාවට කොළඹ විශ්වවිද්‍යාලය අසළ දී පොලිසිය ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළා.

ඒ ඔවුන් පොලිස් මාර්ග බාධක නොතකමින් ඉදිරියට ගමන් කිරීමට කටයුතු කිරීමත් සමඟයි.

අද (07) දහවල් ලිප්ටන් වටරවුම ආසන්නයෙන් මෙම විරෝධතාව ආරම්භ කළ අතර, ඔවුන් පස්වරුවේ පුරහල ඉදිරිපිටින් නෙළුම් පොකුණ පසු කරමින් කොළඹ විශ්වවිද්‍යාලයට දෙසට පා ගමනින් පැමිණියා.

මෙම විරෝධතාව කොළඹ – කොටුව දුම්රියපල ඉදිරිපිටින් ආරම්භ කිරීමට සැළසුම් කර තිබුණ ද මාළිගාකන්ද අධිකරණය විසින් ලබාදුන් නියෝගය හේතුවෙනුයි එය ලිප්ටන් වටරවුම ආසන්නයෙන් ආරම්භ කිරීමට අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය පියවර ගනු ලැබුවේ.

විරෝධතාව හේතුවෙන් ඒ අවට ප්‍රදේශයේ දැඩි රථ වාහන තදබදයක් ද මතුව තිබෙන බවයි වාර්තා වන්නේ.

+


වීරකැටිය උණුසුම් කල යුද්ධය – පොලිසියේ නිලධාරීන් 6ක් රෝහලේ

(07.03.2023 – 16:26 +0530 – hirunews.lk/sinhala)

හම්බන්තොට – වීරකැටිය- අත්තනයාය ප්‍රදේශයේදී පොලිසිය සිදුකළ සෝදිසියක් අතරතුර ඇති වු බහින්බස් වීමක් දුරදිග යාමෙන් වීරකැටිය පොලිසියේ නිලධාරීන් 06 දෙනෙකු, සිවිල් ආරක්ෂක භටයෙකින් දෙදෙනෙකු (02) හා ගම්වාසීන් දෙදෙනෙකු (02) රෝහල්ගත කර තිබෙනවා.

බරපතළ තත්ත්වයේ පසු වු පොලිස් නිලධාරියෙකු කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

මත්ද්‍රව්‍ය වැටලීමක් සඳහා ඊයේ (06) පස්වරුවේ වීරකැටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් පිටත්ව ගොස් ඇති අතර එම නිලධාරීන් යලි පොලිස් ස්ථානයට පැමිණෙමින් සිටියදී මෙම ගැටුම ඇති වී තිබෙනවා.

ඒ වීරකැටිය – අත්තනයාය ප්‍රදේශයේ මගමග රැඳී සිටි පිරිසක් පිළිබඳ සැකසිතී ඔවුන්ව පරීක්ෂා කිරීමටයාමේදී.

එහිදී ගම්වැසියෙකු විසින් පොලිස් නිලධාරියෙකුගේ කන් දෙක (2) සපා කා ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී ඇති වු නොසන්සුන්තාවත් සමග ඇති වු ගැටුමෙන් වීරකැටිය පොලිසියේ නිලධාරීන් 06 දෙනෙකු, සිවිල් ආරක්ෂක භටයින් දෙදෙනෙකු (2) සහ ගම්වාසීන් දෙදෙනෙකු (2) තුවාල ලබා රෝහල් ගත කළ බවයි පොලිසිය පැවසුවේ.

කනට තුවාල සිදු වු පොලිස් නිලධාරියා මේ වනවිට කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබනවා.

පොලිස් නිලධාරීන්ට පහරදී තුවාල සිදුකොට රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් වීරකැටිය අත්තන යාය ප්‍රදේශයේ එකම පවුලේ 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් අද (07) දිනයේ වලස්මුල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

+


රුසියානු සංචාරකයෙක් අලුත්ගම දී මුහුදට බිලි වෙයි

(07.03.2023 – 17:06 +0530 – hirunews.lk/sinhala)

රුසියාවේ සිට මෙරට සංචාරයට පැමිණි අයෙක් අලුත්ගම මොරගල්ල ප්‍රදේශයට ආසන්න මුහුදේ දියනෑමට ගොස් සිටිය දී දියේ ගිලී මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 38 හැවිරිදි රුසියන් ජාතික සර්ජි ඉතිමොව් නම් අයෙකු බවයි අලුත්ගම පොලිසිය පැවසුවේ.

මියගිය විදෙස් ජාතිකයා සිය පෙම්වතිය සමඟ ඉකුත් 02 වැනි දින ශ්‍රී ලංකාවට පැමිණ අලුත්ගම ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගෙන තිබෙනවා.

මේ වන විට එම මරණකරුගේ ගේ මෘත ශරීරය බේරුවල රෝහලේ තැන්පත් කර තිබේන අතර බේරුවල හදිසි මරණ පරීක්ෂක රෙජිනෝල්ඩ් හෙට්ටිආරච්චි විසින් එහි මූලික මරණ පරීක්ෂණ කටයුතු සිදු කළා ෴


කායවර්ධනයෙන් ශ්‍රී ලංකාවට අභිමානයක් ගෙනා ගණකාධිකාරීවරිය

(07.03.2023 – 17:24 +0530 – hirunews.lk/sinhala)

‘ලොවෙන් එකෙක් එක් දේකට වේ සමත’ කියන කියමනට අභියෝග කළ තවත් ක්‍රීඩිකාවක් තමයි ‘හෂිනි හේවගේ’ කියන්නේ.

වෘත්තියෙන් ගණකාධිකාරීවරියක් වන ඇය පසුගියදා සිංගප්පුරුවේදී පැවති ‘වර්ල්ඩ් කැලසික් ප්‍රෝ’ කායවර්ධන සහ ශාරීරික යෝග්‍යතා තරගාවලියේ ‘මිස් ස්පෝර්ට්ස් මොඩල්’ ශූරතාව දිනා ගැනීමට සමත් වුණා.

ඒ මෙම තරගාවලියට ලොවනන් දෙසින් පැමිණි තරගකාරිනියන් 12 දෙනෙකු අබිබවා යමින්.

මෙම ජයග්‍රහණය වගේම හෂිනිගේ අනාගතය බලාපොරොත්තු ගැනත් ඇය HIRU SPORTS සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අනාවරණය කළා.

+


මේ සතියේ සිට ශ්‍රවණ ආබාධිත අයටත් රියදුරු බලපත්‍ර

(07.03.2023 – 17:38 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රවණ ආබාධිත පුද්ගලයින් සඳහා රියදුරු බලපත්‍ර ලබාදීමේ වැඩසටහන මෙම සතියේ සිට ආරම්භ කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා අද (07) මේ බව ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්.

එහි දී රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ, ශ්‍රව්‍යාබාධිත පුද්ගලයින් 50 දෙනෙකු යොදාගෙන සිදු කරන ලද නියමු ව්‍යාපෘතිය මේ සතියේ අවසන් වූ බවයි එහි දී ඊට සහභාගි වූ පුද්ගලයින් 50 දෙනා ම ඉතාමත් සාර්ථකව වාහන ධාවනය සිදු කර තිබූ බවයි.

ඒ අනුව අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ, “එහි සාර්ථකත්වය මත මුළු ලංකාවටම ඒ රියදුරු බලපත්‍රය.. බිහිරි පුද්ගලයින් සඳහා ලබාදීමේ වැඩපිළිවෙල මේ සතියේ සිට ආරම්භ කරනවා.”

“ඒ වගේම රියදුරු බලපත්‍ර හිමි පාද අහිමිවූ රණවිරුවන් සඳහා අවුරුදු දෙකකට (2) සැරයක් වෛද්‍ය වාර්තාව ලබාගත යුතුයි කියලා සීමාවක් තිබ්බා. අපි දැන් ඒකත් අවුරුදු 4 සහ 8 සීමාව දක්වා දීර්ඝ කලා” යනුවෙන් ෴


‘ශ්‍රී ලංකා මහබැංකුව’ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

(07.03.2023 – 18:36 +0530 – hirunews.lk/sinhala)

“ශ්‍රී ලංකා මහබැංකුව” පනත් කෙටුම්පත පළමුවර කියැවීම සඳහා සභානායක, අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් විසින් අද (07) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බව සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසනවා.

මූල්‍ය සහ පරිපාලනමය ස්වාධීනත්වයක් ලබා දීම පිණිස ශ්‍රී ලංකා මහබැංකුව පිහිටුවීම, මහබැංකුව දැනට පිහිටුවා තිබෙන මුදල් නීති පනත ඉවත් කිරීම ඇතුළු කාරණා සඳහා මෙම කෙටුම්පත ඉදිරිපත් කෙරුණා.

නව පනත් කෙටුම්පත අනුව ශ්‍රී ලංකා මහබැංකුව ස්වාධීනත්වයට සෑම විටම ගරු කරනු ලැබිය යුතු අතර කවර හෝ තැනැත්තෙකු විසින් මහබැංකුවේ අධිපතිවරයාට හෝ පාලක මණ්ඩලයේ සහ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ අනෙකුත් සාමාජිකයන්ට හෝ මහ බැංකුවේ සේවා නියුක්තයන්ට ඔවුන්ගේ බලතල කාර්යය සහ කර්තව්‍යය ක්‍රියාත්මක කිරීමේ දී කවර හෝ බලපෑමක් කිරීම හෝ මහ බැංකුවේ කටයුුවලට බාධා කිරීම නොකළ යුතු බවයි පාර්ලිමෙන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙන්නේ.

එසේම දේශීය මිල ස්ථායිතාව අත්කර ගැනීම සහ පවත්වාගෙන යාමත් මූල්‍ය පද්ධති ස්ථායිතාවය සුරක්ෂිත කිරීම මහබැංකුවේ ප්‍රධාන අරමුණ විය යුතු බවත් පනත් කෙටුම්පතේ සඳහන් ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *